බළන්ගොඩ නළුවෙල
නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යෝ පාණමතිපාතේතී
මුසාවාදඤ්ච භාසතී
ලෝකේ අදින්නං ආදියති
පරදාරඤ්ච ගච්ඡති
සුරාමේරය පානඤ්ච
යො නරෝ අනුයුඤජති
ඉධේව මේ සෝ ලෝකස්මිං
මූලං ඛණති අත්තනෝ
(ධම්මපදය මලවග්ගය 12, 13)
පින්වතුනි,
මෙම ගාථා දෙකින් ඉදිරිපත් වී ඇත්තේ මෙලොව ජීවත් වන පුද්ගලයෙක් තම වටිනා දිවි පෙවෙත විනාශ කරගන්නා දුසිරිත් පහක් පිළිබඳවයි. මේවාට පඤ්ච දුශ්චරිතයැයි දහමෙහි ව්‍යවහාර වී ඇත. මෙහි සිංහල අනුවාදය මෙසේය. යමෙක් ප්‍රාණඝාතය කෙරෙත් ද සොරකම් කෙරෙත්ද කාම මිථ්‍යාචාරයෙහි හැසිරෙත් ද බොරු කියත් ද සුරාපානයෙහි යෙදෙත්ද හෙතෙම තම දිවි පෙවෙතෙහි මූලය හෙවත් වටිනාකම විනාශ කර ගන්නේය.
මේ කරුණු දෙස විමසා බැලීමේදී පෙනෙන්නේ මෙම පඤ්ච දුශ්චරිත කවදත් සමාජය යහගුණ දහමින් පරිහානියට පත් කරන බවයි. මේ හේතුකොට මනා බොදු දිවි පෙවෙතක් අධිෂ්ඨානශීලීව ගත කිරීම සදහා මෙම දුසිරිත් පහෙන් වැළකෙන ලෙස තුන්කල් ඇතැඹුලක් සේ දත්, බුදුරජාණන් වහන්සේ වදාළහ.
මෙසේ වැළකීම ගිහියා ගේ නිත්‍ය සීලය ආරක්ෂා කිරීමෙකි. බෞද්ධයන් නිති පන්සිල් සමාදන්වන්නේ, පුද්ගලයා සමඟ ලෝකය වනසා දමන, අපරාධ වර්ධනය කරන පඤ්ච දුසිරිත් වලින් මිදීම සඳහාය.
පින්වත, බුදුරජාණන් වහන්සේ විසින් මෙහිලා වදාළේ සිත,කය, වචන යන තිදොර සංවර කර ගැනීමට ත්‍රිශික්ෂා අනුගමනය කරන ලෙසයි. මෙයින් පැහැදිලි කර දෙන්නේ කිමෙක්ද? කය වචන දෙක පාලනයට සීලයත් සිත පාලනය කර ගැනීමෙන් ජීවිත විමුක්තියත් සසර විමුක්තියත් ලැබීමට සමාධියත්, ප්‍රඥාවත් අනුගමනය කළ යුතු බවයි. බෞද්ධ ප්‍රතිපදාව අනුව ජීවිතයේ සෑම අවස්ථාවකදීම මෙම පිළිවෙත් තුන (සීල, සමාධි, ප්‍රඥා) ප්‍රායෝගිකව ජීවතවල පිහිටිය යුතුය.
මේ සඳහා වෙන් වූ ස්ථානයක් හෝ සීමාවක් හෝ නැත. මේ පඤ්ච දුශ්චරිත අසංවර වූ කය, වචන දෙකින් සිදුවන සැටියෙන් වෙන්කර ගනිමු. කයින් සිදුවන දෑ අතර ප්‍රාණඝාතය හෙවත් පරපණ නැසීම, සොරකම, කාමමිත්ථ්‍යාචාරය ප්‍රධාන වෙයි. වචනයෙන් බොරුකීම සිදුවේ.
බොරු කියන්නාගෙන් කේලාම් කීම, පරුෂවචන හෙවත් අමිහිරි වචන භාෂිතය හා දෙලොවට වැඩක් නැති හිස්වචන (සම්ඵප්‍රලාප) කිසිදු පැකිලීමක් නැතිව කියැවෙයි. දස අකුසල කර්ම විග්‍රහයේදී මේවාට චතුර්විධ වාග් අකුසල කර්ම යැයි හැඳින්වේ. සුරාව සියලු පාප කර්මයන්ට නිදාන වූ, අකුසල් කර්මයකි. සුරා පානය කිරීමෙන් මිනිසා ගේ ලජ්ජා බිය නැතිවෙයි. කළයුත්ත නොකළ යුත්ත නොවැටහෙයි.
සුරා ධූර්තයෙක්වීම පරිහානියට හේතුවක් බව පරාභව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළහ. ඒ මෙසේය.
ඉත්ථි ධුත්තෝ
සුරා ධුත්තෝ
අක්ඛ ධුත්තෝ ච යෝනරෝ
ලද්ධං ලද්ධං විනාසේති
තං පරාභවතෝ මුඛං
මෙහි දැක්වෙන්නේ පරදාර කර්මය, සුරාධූතයෙක්වීම, අන්සතු වස්තු සූදුව නමැති කපටිකමින් ගැනීමට වෙහෙසීම ලබන සම්පත් විනාශ කර දැමීම පුද්ගල දිවි මගෙහි පරිහානි දොරටු බවය.
ආත්මාභිමානී පෞරුෂයෙන් හෙබි දිවි පෙවෙතක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන්නන් විසින් මෙම පස්වැදෑරුම් දුසිරිත් වාරණය කොට පඤ්ච සීලය සුරැකිය යුතුය. පුද්ගල සමාජයේ සුරක්ෂිතය සඳහා මෙම සීල ප්‍රතිපදාව දේශනා කර ඇත.
සමාජයක් පැවැත්වීමේදී එහි ජීවත් වන්නන් ගේ හදවත් තුළ අනිවාර්යයෙන්ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා (මැදිහත් බව) පිහිටා තිබිය යුත්තේය.
මේවා ශ්‍රේෂ්ඨ උතුම් ගුණාංග බැවින් ඒ අරුතින්ම මේ අධ්‍යාත්ම පැවතුම් වලට දහමෙහි සතර බ්‍රහ්ම විහරණ ධම්මයැයි සඳහන් කර ඇත. පඤ්චසීල ප්‍රතිපදාවේ පළමුවෙනි ශික්ෂාපදයෙන් “සබ්බේ සත්තා සුඛී හොන්තු” සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! යන පොදු මානව හැඟීම සංවර්ධනය කරයි.
අන්සතු වස්තුව පැහැර ගැනීම වංචනික ක්‍රියාවකි. මෙයට සොරකම යන නාමය සුපරසිදු නාමයයි. තවද උපක්‍රමශීලිව වෙළඳාමේ දී හොරට කිරීම, මැනීම ආදියෙන් ද නොවටිනා භාණ්ඩවලට අධික මිල ගැනීමෙන්ද අදත්තාදාන අකුසල සිදුකරගත හැකිය. එපමණක්ම පමණක් නොව, වේතනයක් අරභයා දෛනිකව වැඩ කරන්නෙක් වැටුපට සරිලන සේ වැඩ නොකරයි ද එම ක්‍රියමාර්ගය ද සොරකමට අදත්තාදානයට අයත් වෙයි.
කාම මිත්ථ්‍යාචාරය නම් අදහැමිව පසිඳුරන් පිනවීමය. මෙහි අර්ථ දැක්වීමේදී ප්‍රධාන වශයෙන් ගැනෙන පරඹුවන් කතුන් සොයායෑම කාම මිථ්‍යාචාරය වශයෙන් දක්වා ඇත. එපමණකින් ම එය විග්‍රහ කිරීම ප්‍රමාණවත් නොවේ. සජීවී මිනිසා ප්‍රධාන සත්ත්වයනට පසිඳුරන් පිනවීම පොදු ධර්මතාවයකි.
මුසාවාදය හෙවත් බොරුවෙන් රැවටීම වචනය ප්‍රධාන වී කෙරෙන්නක් වුව ද ක්‍රියාවද අන්‍යයන් රැවටෙන පරිදි කළ හැකිය.
මුසාවාදයෙන් විශ්වාසය අහෝසි වෙයි. එය පුද්ගලයාටත් සමාජයටත් හානිදායකය. ඉන් අවංකභාවය දුරස්ථ වන්නේය.
‘සුරාව‘ පාපයට මඟ හෙළි කරන අසද්ධර්මයකි. සමාජ අසංවර කම, පුද්ගල විනාශය මින් ඇති කෙරෙයි. එය තේරුම් ගත් පාලකයෝ මත්ද්‍රව්‍ය නිවාරණය කෙරෙති. මෙසමයෙහි අප රටෙහි මත් උවදුරට දැඩි නිති පනවා තිබීම යහපත් ශ්‍රී ලංකාවක් සඳහා දොරටුව විවෘත කිරීමකි.
මනුෂ්‍යයා යනු අරමුණක් ඇතිව මද කලක් ලොව වෙසෙන්නෙකි. එම කාලය තුළ පඤ්ච දුෂ්චරිතයෙන් වෙන්ව සාමකාමී නිදහස් දිවි පෙවෙතක් ගත කළ යුත්තේය. පිළිවෙතින් සපිරුණු බෞද්ධ දිවි පෙවෙත එයම වන්නේය.
ඔබ සැමට තෙරුවන් සරණයි!
No comments:
Post a Comment