පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Tuesday, June 11, 2013

පව පහුරුගාමින් නොසිට කුසල නිධිය මතුකරගන්න

Posted on by

මේ සටහන තබන වේලාවේ භික්‍ෂුවට මතක්‌ වෙනවා භික්‍ෂුව ගිහිකාලයේ ගමේ පුරාණ විහාරයේ වැඩසිටි අපවත්වී වදාළ ගෞරවනීය නායක ස්‌වාමීන් වහන්සේව. උන්වහන්සේ සෑම වසරකට වරක්‌ම තම කුටිය හිස්‌කරනවා. එය සිද්ධකරන්නේ වාර්ෂිකව පැවැත්වෙන දානමය පිංකමට. කුටියේ ඉතිරිව තිබූ සෑම පිරිකරක්‌ම පිංකමට වඩින ස්‌වාමීන් වහන්සේලාට පූජා කරනවා. මට මතකයි ඒ ක්‍රියාව තුළින් උන්වහන්සේ පිංකමට පස්‌සේ ලොකු ආශ්වාදයක්‌ ලබනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ විනය කාරණාවලට යටත්ව සිටිමින් තමන්ට ලැබෙන අතිරික්‌ත සිව්පසය ඒවා හිඟපාඩු ස්‌වාමීන්වහන්සේලාට බෙදා දීම විනය කාරණා ආරක්‍ෂා කරගැනීමෙන් අපිට ගොඩාක්‌ උපකාරීවෙනවා. නායක ස්‌වාමීන් වහන්සේ මට කියලා තිබෙනවා රැස්‌කොට තබාගැනීමට වඩා බෙදා දීමෙන් මහා සැපයක්‌, නිදහසක්‌ ජීවිතයට ලැබෙනවා කියලා.
පැවිදිවීමට පෙරාතුව වසර පහක්‌ පමණ මම ගමේ පුරාණ විහාරස්‌ථානයේ දායක සභාවේ සභාපතිවරයා හැටියට කටයුතු කළා. ඒ කාලයේ නායක ස්‌වාමීන් වහන්සේ මා කෙරෙහි ලොකු විශ්වාසයක්‌ ඇතිකරගත්තා. ඒ නිසාම පන්සල උපයෝගීකරගෙන මහා පිංකම් රාශියක්‌ සිදුකරගත්තා. ඉන් එක්‌ ගෞරවනීය පිංකමක්‌ තමයි ලොකු පිංකමක්‌ සිදුකරලා කුඩා සාමනේර ස්‌වාමීන් වහන්සේලා එකළොස්‌ නමක්‌ පැවිදි කිරීමේ පිංකම. මේ වෙලාවේ උන්වහන්සේලාගෙන් කී නමක්‌ පැවිදි භාවය තුළ ඉන්නවාද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. නමුත් එම පිංකම තුළින් ලැබුණා වූ කුසලය මට ලැබුණාය කියන විශ්වාසය මා තුළ තිබෙනවා. ලෝකය උපයෝගි කරගෙන ලැබුණු අවස්‌ථාව ප්‍රයෝජනයට ගෙන මගේම නිදහස්‌ පාර සොයාගෙන ගියා. මෙතන තමයි ඔබ හඳුනාගත යුතු දක්‍ෂභාව තිබෙන්නේ.
මේ කාලයේදී මට මතකයි වයස අවුරුදු අසූවක්‌ පමණ වූ වයෝවෘද්ධ නායක ස්‌වාමීන් වහන්සේ දැඩිලෙස ගිලන් වූ අවස්‌ථාවක්‌. ගිහියෙක්‌ හැටියට හරියටම අවුරුද්දක කාලයක්‌ දවසක්‌ හැර දවසක්‌ සබන්ගාල ඇඟ අතුල්ලල උන්වහන්සේව නාවල තිබෙනවා. ඒ සෑම දිනකම උන්වහන්සේ සිවුරු අඳන සෝදල තිබෙනවා. උන්වහන්සේට දානය වැළඳීමට දෑත් වෙව්ලන අවස්‌ථාවන්හිදී උන්වහන්සේට මා සියතින් දන් වළඳවල තිබෙනවා. අවශ්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍ය මහත්වරුන් ළඟට රැගෙන ගොස්‌ තිබෙනවා. නමුත් මේ මොහොතේ උන්වහන්සේ මොන ලෝකෙක කව්රුන් වශයෙන් ඉන්නවද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. නමුත් උන්වහන්සේට උපස්‌ථානය කිරීම තුළින් රැස්‌වුණාවූ කුසලය භික්‍ෂුවට ලැබුණාය කියන විශ්වාසය වර්තමානයේ භික්‍ෂුවට තිබෙනවා. වයෝවෘද්ධ නායක ස්‌වාමීන්වහන්සේ පුංචි දරුවෙක්‌ වගේ උන්වහන්සේව නාවන්න එන තුරු තම උස ආසනයේ වාඩිවී ජනේලයේ කවුළුවෙන් බලාසිටින දර්ශනය මට තාම මතකයි. උන්වහන්සේගේ ඒ බැල්ම තුළ ආදරය, රැකවරණය, ආරක්‍ෂාව, කරුණාව ගැබ්වෙලා තිබුණා. එහි දිට්‌ඨදම්මවේදනීය කුසලය නිසාම ඒ හැම දෙයක්‌ම භික්‍ෂුවට මේ මොහොතේ ලෝකයෙන් ලැබෙනවා. ලෝකයේ ශේ්‍රෂ්ඨම ආයෝජනයට ජීවිතය යොදවල එහි ප්‍රතිලාභයන් ලබන කෙනෙක්‌ භික්‍ෂුව. භික්‍ෂුවට මතකය ජීවිතයේ එක්‌තරා රාත්‍රියකදී විහාරස්‌ථානයේ අධිෂ්ඨාන පූජාවක්‌ සංවිධානය කළා. සුප්‍රසිද්ධ ගෞරවනීය ස්‌වාමීන් වහන්සේ නමක්‌ පිංකමට වැඩමකළේ. පන්දහසක්‌ පමණ ගිහිපිංවතුන්ලා මේ පිංකමට සහභාගි වුණා. රාත්‍රි 8.00 විහාරස්‌ථානයේ සියලුම විදුලි ආලෝකයන් නිවීයනවිට පන්දහසක්‌ පමණ ගිහිපිංවතුන්ලාගේ දෑතේ පහන් හෝ ඉටිපන්දමක්‌ දැල්වුණා. ඝනාන්ධකාර රාත්‍රියක්‌ පහන් ආලෝක පහන් දහසකින් ආලෝකවත් වෙනවිට එම පිංකම සංවිධානය කරපු මම හිස්‌ දෑතින් පන්දහසක්‌ පහන් ආලෝක දෙස බලාසිටියා පමණක්‌මයි කළේ. මේ පිංකම නිසාම ශිල්වත් පන්දහසක්‌ පමණ පිංවතුන්ලාගේ හදවත් තුළ ඇතිවුණ අධිෂ්ඨාන ශක්‌තිය මා ලෝකයාට හොරෙන් තනිවම අනුමෝදන් වුණා.වෙහෙස මහන්සි වී පිංකම් සංවිධනය කර අනුන් පිංකම් වල යොදවා ඒ අයට සොරා මා මගේ කුසල් පක්‌ෂය ශක්‌තිමත් කරගත්තා. පිංකම් හුදු ආශ්වාදයක්‌ කරගත්තේ නැහැ. අතීතයේ දැල්වූ පහන් ආලෝක පහන් දහසක්‌ මොහොතකින් නිවීගියත් නිවීගිය පහන් ආලෝක දෙස බලමින් මා ඇතිකරගත්තා වූ අනිත්‍යයේ බීජය ප්‍රඥාවේ ආලෝකයක්‌ බවට පත්වී තවමත් නොනිමී භික්‍ෂුව තුළ දැල්වෙනවා. පන්සලේ වේවා ආරණ්‍යයේ වේවා ගිහිගෙදර වේවා ඕනෑතරම් කුසල්නිධි තිබෙනවා සැඟවිලා. මේවා සොයාගෙන ගිහිල්ලා සුවසේ හරාගන්න. ලෙඩෙක්‌, මහල්ලෙක්‌, පිංකමක්‌ දෙස ඔබ නොබලා යනවා කියන්නේ කුසල් නිධියක්‌ මගහැර යනවා කියන කාරණයයි. වසරක්‌ එරමිණිය ගොතාගෙන කායානුපස්‌සනා භාවනාව වැඩුවත් නොලැබෙන අවබෝධයක්‌ දිනක්‌ ලෙඩෙක්‌, මහල්ලෙකුට උපස්‌ථාන කිරීමෙන් ලැබීමට හැකි බව භික්‍ෂුව අත්දැකීමෙන් දන්නවා. නමුත් එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්‌වභාවය අනුව මෙය වෙනස්‌ වෙන්න පුළුවන්. කායානුපස්‌සනාව කියන කාරණය, අසුභය කියන කාරණය භික්‍ෂුව වඩාත්ම අත්දැක්‌කේ ගිහි ජීවිතයේදී රෝගීන්ට උපස්‌ථාන කිරීම තුළින්මයි. අවබෝධයම අරමුණු කරගත් අවංක ෙච්තනාවෙන් රෝගීන්ට උපස්‌ථානය කිරීමේදී කවදාකවත් රෝගියාගේ අශූචි, මුත්‍ර වල ගඳක්‌ අපුලක්‌ දැනුනේ නැහැ. කුසලයේ ශක්‌තිය විසින් අශූචි, මුත්‍රා වල දුගත් නිශේධ කරනවා. මේ සටහන අවසන් කරනවිට මේ දෙයත් සඳහන් කරන්න ඕන. තරුණ කාලයේ ආවේගශීලීභාවයන් නිසාම ස්‌වාමීන් වහන්සේ සමග ගැටුමුත් එකක්‌ දෙකක්‌ ඇතිකරගෙන තිබෙනවා. ඒවායේ අකුසල් විපාකත් සමහරවිටදී ඉදිරියේදී විපාක දෙන්න පුළුවන්.
භික්‍ෂුව මේ මොහොතේ වැඩ සිටින කුටිය අසල නිතර ගැවසුණ, නමුත් හුඟ දවසක්‌ පේන්නේ නැතිව සිටි වළිකිකිළි අම්මලා දෙන්නෙක්‌ ආයෙමත් රංචුව සමග කුටිය සමීපයට එන්න පටන් අරගෙන. වෙනදාට නැති කිචි, බිචි ගාන හඬ ඇසිල බලනවිට එක වළිකිකිළි අම්මා කෙනෙකුට කුඩා පැටව් හතර දෙනයි. අනෙක්‌ වළිකිකිළි අම්මාට පැටව් එක්‌කෙනයි. අලුත් සාමාජිකයෝ පස්‌ දෙනෙක්‌ වළිකුකුල් රෑනට එකතුවෙලා. මේ පස්‌දෙනාම ගැහැනු සත්තු. වළිකුකුළන්ගේත් පිරිමි ගහනය අඩුවෙනවා වගේ. ඒ අයගේත් කාමයේ වරදවා හැසිරීමේ ක්‍රියාවන් වැඩිවෙලා ඇති. පුංචි පැටව් හතරදෙනෙක්‌ ඉන්න වළිකිකිළි අම්මලා වෙනදාට වඩා බෝහෝම කඩිසරයි. වේගයෙන් පොළව පහුරුගාමින් ආහාර සොයනවා. වෙනදාට තමාට පමණයි කෑම සොයන්න වෙහෙසුණේ. දැන් පස්‌දෙනකුට කෑම සොයන්න ඕනේ. කෑම සොයන ගමන්ම පැටව්න්ගේ ආරක්‍ෂාවත් බලන්න ඕනි. ඒ නිසා වළිකිකිළි අම්මා තියුණු අවධානයකින් නිතර පසුවෙන්නේ. වෙනදා තරම් භික්‍ෂුව සමීපයට එන්නේත් නැහැ. ඒ තරමට ඇය පැටව්න්ගේ ආරක්‍ෂාව පිළිබද අරමුණු කෙරෙහි අවධානයෙන් පසුවෙන්නේ. ඒ තියුණු අවධානයත් හරියට ශීලයෙන් තොරව සකස්‌වෙන මිථ්‍ය සමාධියක්‌ වගේ. දුක ආරක්‍ෂා කරගැනීම උදෙසායි. ඒ තියුණු අවධානය හේතුවෙන්නේ. වළිකිකිළි අම්මා වගේම පැටවුණුත් බොහෝම උපක්‍රමශීලියි. පුංචි හෝ අනතුරක ඉවක්‌ දැනුන සැණින් මේ වළිකිකිළි පැටවුන් වේගයෙන් සැඟවෙනවා.
කාමච්ඡන්දයන්ට යටවූ මනුෂ්‍ය සිතත් නිරතුරුවම සැඟවිලා තිබෙන්නේ. ඔබට සමහරවිට පෙනෙනවා ඇති සිත කාමයන්ටමයි දුවන්නේ. බොහෝම අකීකරුයි. ධර්ම මනසිකාරයට කැමතිම නැහැ. මේ සැඟවුණා වූ සිත මතුකරගැනීමට ධර්මවිජය බොජ්ජංගය වඩන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සිත ධර්ම මාර්ගය සඳහා උපක්‍රමශීලීව සැඟවුණවිට සද්ධර්මයක්‌ ශ්‍රවණය කරන්න. ධර්ම සාකච්ජාවක යෙදෙන්න. ධර්ම පොතක්‌ කියවන්න. තෙරුවන් වන්දනාවක යෙදෙන්න. එවිට යටපත්ව ගිය සිත ධර්ම මාර්ගය තුළට ධර්මය කෙරෙහි කැමත්ත තුළට යොමුවේවි. ඒ මෝදුවන සිතුවිල්ල තුළින් වීර්ය, ප්‍රීතිය, පස්‌සද්ධිය, සකස්‌කර දේවි. දැන් ඔබට පුළුවන් සමාධි, උපේක්‍ෂා ධර්මයන්ට ක්‍රමාණුකූලව සිත යොමුකරන්න.
සිත අකීකරු වන විට ඔබ උපක්‍රමශීලී වන්න. ධර්ම මනසිකාරයක්‌ම සිත තුළින් මතුකොට ගන්න දක්‍ෂ වෙන්න. ඇසට ප්‍රිය, හුරුබුහුටි දකින ඕනෑම කෙනෙක්‌ ආදරය කරන වළිකිකිළි අම්මාගේ ජීවිතය තුළ සැඟවුණ අනතුරත් පිංවත් ඔබ නුවණින් මෙනෙහි කරන්න. වළිකිකිළි අම්මා වේගවත්ය කියන්නේ ඇය වේගයෙන් සංස්‌කාර රැස්‌කර ගන්නවාය කියන කාරණයයි. සෑම නිමේෂයකම ඇය තුළ රැස්‌වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන්මයි. ඇය සෑම නිමේෂයකම අනාගතභවය සඳහා අප්‍රමාණ අකුසල් ප්‍රමාණයක්‌ රැස්‌කරගන්නවා. ඇය කවදානම් ගැලවෙන්නද? වළිකිකිළි අම්මාගේ පවටම උපන් දරුවො පස්‌දෙනෙක්‌. කාමයන් උදෙසා කාමයම රැස්‌කරමින් භවයේ වේදනාත්මකව නිරයේ දුකට සියතින්ම පාර සකස්‌ කර ගන්නවා. මනුෂ්‍යයන් වන අපත් අනාගතයේදීත් වනවදුලුවල සංචාරය කර වළිකුකුළන්ගේ සුන්දරත්වය දැක සතුටුවේවි. සුන්දර ඡායාරූප සිහිවටන ලෙස ගනීවි. අවසානයේදී අපි දෙගොල්ලන්ම එකම තැනයි ඉන්නේ. පෙනෙන සුන්දරත්වය තුළින් හුදු ආශ්වාදයම නොව අවබෝධය ලබන්න.

වැඩි හොඳ නරකටයි!

Posted on by

තිස්ස තෙරුන් වනාහි රහතන් වහන්සේ නමකි. උන් වහන්සේට මැණික්කරුවකුගේ නිවෙසෙහි දිනපතා දන් වළඳන්නට ආරාධනා ලැබිණි. දැන් මේ ආරාධනාවට වසර දොළොසකි. මේ වසර දොළොසෙහි ම තිස්ස තෙරණුවෝ මැණික්කරුවාගේ නිවෙසින් දන් වැළැඳූ හ. ඒ අඹු-සැමි දෙදෙන ද තිස්ස තෙරුන්ට මවුපියන් වැනි ය.
දිනක් ඒ මැණික්කරුවා තෙරුන් ඉදිරියෙහි ම මස් කපමින් සිටියේ ය. ඔප දමා විදිනු පිණිස පසේනදී කොසොල් රජු විසින් එවනු ලැබූ මැණිකක් මැණික්කරුවාට ලැබුණේ ඒ අවස්ථාවේදී ය. මැණික්කරුවා එය ලේ තැවැරී තිබූ අතින් ම ගෙන පෙට්ටියක් මත තබා අත් සේදීමට ගෙට ගියේ ය. ඒ අවසරයෙන් ළඟ සිටි කොස්වාළිහිණියෙක් මැණික මස් කැටියක් යැ යි සිතා ගිල්ලේ ය.
මැණික්කරුවා පැමිණෙන විට මැණික එහි නො තිබිණි. ඔහු ඒ ගැන දරුවන්ගෙන් හා බිරියගෙන් විමසුවේ ය. “අප ගත්තේ නැත” යනු ම ඔවුන්ගේ පිළිතුර විය. “මැණික ගන්නට ඇත්තේ තෙරුන් වහන්සේ ය,” මැණික්කරුවා බිරියට කීවේ ය.
“හිමියනි, එසේ නො පවසනු. අප මේ තෙරුන් ඇසුරු කරන්නට පටන් ගෙන බොහෝ කල් ය. මෙතරම් දීර්ඝ කාලයක් තුළ වුව උන් වහන්සේගෙන් කිසි වරදක් සිදු වී නැත. උන් වහන්සේ මැණික ගන්නට නැත,”
බිරියගේ පිළිතුර විය.
එහෙත් එහි තෙරුන් හැර අන් කිසිවෙක් ද නො වී ය. විමැසිය යුත්තේ තෙරුන්ගෙන් ම ය. මැණික්කරුවා තෙරුන් වෙත ගියේ ය.
“ස්වාමීනි, මෙහි තිබූ මැණික ඔබ වහන්සේ ගත්තෙහි ද?”
“නොගතිමු” තෙරුන්ගේ පිළිතුර විය.
“ස්වාමීනි, මෙහි වෙන කෙනකු සිටියේ නැත. සිටියේ ඔබ වහන්සේ පමණි. ඒ මැණික රජතුමාගේ ය. එය නැති වුව හොත් අපට ගැලැවීමක් ලැබෙන්නේ නැත. ඒ නිසා වහා ම මැණික දෙන්න,” මැණික්කරුවා කීවේ ය.
තෙරුන් වහන්සේ නිහඬ වූ හ. මැණික්කරුවා ගෙට ගියේ ය.
“හොඳින් හෝ නරකින් හෝ මැණික ගත යුතු යි” හෙතෙම බිරියට කීවේ ය.
“හිමියනි, අප නොනසනු මැනැවි. තෙරුන්ට නපුරක් වනවාට වඩා අප රජුගේ දාසත්වයට පත් වීම හොඳ ය. තෙරුන් වහන්සේට වරදක් කිරීම සුදුසු නැත” බිරිය ආයාචනාත්මක ව පැවැසුවා ය.
“අප සැම රජුගේ දාසත්වයට පත් වූවත් එය මැණික තරම් නො වටී” කියූ මැණික්කරු කඹයක් ගෙන තෙරුන් වෙත ගියේ ය. කඹයෙන් තෙරුන්ගේ හිස පටලවා, පොල්ලකින් කරකවා තද කරමින් මැණික ඉල්ලන්නට විය. තෙරුන් වහන්සේට බලවත් වේදනා දැනෙන්නට වුවත් කිසිත් නොකියා ඉවසා සිටියේ ළිහිණියා කෙරෙහි කරුණාවෙනි. දැන් තෙරුන්ගේ කන්-නාසාවලින් ලේ ගලයි. ඇස් එළියට පනින්නට මෙනි.
තෙරණුවෝ බිම ඇදවැටුණා හ. ළිහිණියා තෙරුන්ගේ ශරීරයෙන් ගලන ලේ බොන්නට විය. “තෝ මෙහි ආවේ කුමට ද?” මැණික්කරුවා ළිහිණියාට පයින් ගැසී ය. ළිහිණියා මැරීවැටුණේ ය. එවිට තෙරණුවෝ “ළිහිණියා මළේ දැ යි බලන්න”යි මැණික්කරුවාට කී හ. කෝපයෙන් සිටින මැණික්කරු “නුඹත් ළිහිණියා මෙන් මැරෙව“ යැ යි මොර දුන්නේ ය.
ළිහිණියා මළ බව සැක හැර දැනගත් තෙරණුවෝ සත්‍යය පවසන්නට වූ හ.
“උපාසකය, මේ ළිහිණියාගේ බඩ පළා බලන්න. මැණික තිබෙනු ඇත.”
මැණික්කරුවා එසේ කළේ ය. මැණික හමු විය. ඔහු සිතට දැනුණේ මහත් බියකි.
“ස්වාමීනි, මා නොදැන කළ වරදට සමා වුව මැනැව,” මැණික්කරුවා වැඳවැටුණේ ය.
“උපාසකය, මෙය අපගේ වත් ඔබගේ වත් දෝෂයක් නො වේ. මෙය සංසාරදෝෂයක් ම ය. මම ඔබට සමාව දෙමි,” හිමියෝ වේදනාවෙන් මිරිකෙමින් වුව කරුණාවෙන් ම පැවැසූ හ.
“ස්වාමීනි, ඔබ වහන්සේ මට සමාව දෙන සේක් නම් පෙර මෙන් ම මගේ නිවෙසින් දන් වැළැඳීම කළ මැනැව,” මැණික්කරු ඉල්ලා සිටියේ ය.
“උපාසකය, මෙවැන්නක් සිදු වූයේ අනුන්ගේ නිවෙස්වලට ඇතුළු වූ නිසා ය. මෙතැන් සිට මම කිසිවකුගේ නිවෙසකට ඇතුළු නොවන්නෙමි. දෙපා ශක්තිමත් ව ඇති තාක් පිඬුසිඟා වළඳන්නෙමි,” යනුවෙන් තෙරණුවෝ පිළිතුරු දුන්හ.
මැණික්කාර නිවෙසට කුලුපග වීමේ විපාකයෙන් හටගත් ව්‍යාධියෙන් ම තිස්ස රහතන් වහන්සේ වැඩි කලක් නොගොස් පිරිනිවන් පෑ හ.
මේ වනාහි කුලයන්ට කුලුපග වීමේ විපාකය යි.

ලිංගිකත්වය පිළිබඳ ව බුදුසමයෙන්. [පශ්චාත්නූතනවාදය සහ බුදුසමය ලිංගිකත්වය පිළිබඳ ව දරන මත සැසඳීමකි]


දෙවියන් පිනවීමට ලිංගික කාර්යයේ නිරත විය යුතු බවටත් ආත්මීය තෘප්තිය එමගින් ලබාගත හොත් පාපයට (Sin) හිමිකරුවකු බවට පත් වන බවටත් ඇති මධ්‍යතන යුරෝකිතු අදහස සමඟ බුදුසමයේ සබඳතාවක් නැත. ලිංගිකත්වයේ සීමා, නිර්ණායක හා පැනවීම් ඒ ඒ කාල-අවකාශ සීමා තුළ වෙනස් වේ නම් එය සමාජයීය පරිහානියක් ලෙසින් ම හඳුනාගත යුතු නැත. බුදුසමය එවැනි නව ප්‍රවණතා එකහෙළා ප්‍රතික්‍ෂේප නොකරන බව ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් විෂයයෙහි අවධානය යොමු කිරීමෙන් වටහාගත හැකි ය. එහෙත් මිනිසුන් ‘ශිෂ්ට’ (Civilzed) ‘සංස්කෘතික’ (Culturized) වීමත් සමඟ ලජ්ජාව හා භය සමාජයීය සාරධර්ම බවට පත් වෙයි. එවිට ලිංගික කාර්යය එයට සම්බන්ධ වන පුද්ගලයන් පමණක් දත යුතු යැ යි සමාජය උපකල්පනය කරයි. අප පෙර සඳහන් කළ අග්ගඤ්ඤ සූත්‍රයේදී ලිංගික චර්යාව ‘අසද්ධම්ම’ හෙවත් ‘ධර්මය නොවන’ ලෙස දක්වන්නේ එතෙක් පැවති සම්මතය තුළ එම ක්‍රියාවට හිමි වූ තැන පැහැදිලි කිරීමට යි.
“කථංහි නාම සත්තෝ සත්තස්ස ඒවරූපං කරිස්සති…”යනුවෙන් පවසමින් එම ක්‍රියාවට සම්බන්ධ නොවූ පිරිස එම ලිංගික චර්යාවේ කොටස්කරුවන්ට ගරහන්නට, පහර දීමට, හිරිහැර කිරිමට ආරම්භ කරයි. ඇතැම් විට ඊර්ෂ්‍යා පරවශ සිතිවිලි හෝ සමාජ සම්මතයට ගරු කිරීමේ සාම්ප්‍රදායික ක්‍රම වේදය අනුව අනෙක් පිරිස මෙම හැසිරීමට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා ද විය හැකි ය.
එහෙත් සමාජ සම්මත වෙනස් වීම්, අගයන් වෙනස් වීම් තුළ විවිධ ප්‍රතිජානාත්මක හෙවත් යහපත් ඇගැයුම් බිහි වේ නම් බුදුසමය ඒවා පිළිගනී. අධම්ම ලෙස කලකදී හඳුනාගනු ලබන දේ ‘ධම්ම’ ලෙස කලකදී හඳුනාගනු ලබන දේ ‘ධම්ම’ හෙවත් යහපත් දේ බවට තවත් කලකදී පත් විය හැකි ය. එය පුද්ගල පැවැත්මට හානිකර නො වේ. නම් යහපත් සේ පිළිගත යුතු වේ.
චක්කවත්ති සීහනාද සූත්‍රය සදාචාර ඇගැයුම් පරිවර්තනය වීමේ සීමා ඉක්මවා යන ආකාරයත් එවිට සමාජය නැවතත් තිරශ්චීන අවධියකට ප්‍රවිෂ්ට වන ආකාරයත් විග්‍රහ කරයි. සදාචාරය පිරිහීමෙන් පසු මව, පියා, නැන්දා, මාමා, පුතා ආදි සංඥා ඉවත් වී, ලිංගිකත්වයට ප්‍රධාන තැන දෙන යුගය බිහි වන සමයක් ගැන කරුණු ඉදිරිපත් කරන බුදුරදුන් ඒවා සාධනීය ලක්‍ෂණ සේ හඳුනා නොගනී. ලිංගික ඇගැයුම් මිනිස් අවශ්‍යතා අනුව පරිණාමය විය යුතු බව සැබෑ ය. එහෙත් මාතෘත්වය, පිතෘත්වය වැනි උදාර ඇගැයුම් කාමයෙන්, රාගයෙන් වැසී යයි නම් බුදුරදුන් එය හඳුනාගන්නේ පිරිහීම් කාරකයක් ලෙසින් බව එම සූත්‍රයෙන් අනාවරණය වෙයි:
“දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු න භවිස්සති මාතාති වා මාතුච්ඡාතිවා මාතුලානිතිවා ආචරිය භරියාතිවා ගරූනං දාරූතිවා සම්භේදං ලෝකෝ ගමිස්සති යථා අජේලකා කුක්කුට සුකර සෝන සිගාලා…”
පශ්චාත්නූතන චින්තනය ද තිරශ්චීන ලිංගික සබඳතා අනුමත කිරීමක් සිදු නො කරයි. බුදුසමය එම චින්තනයට වඩා ඉදිරි වැඩ පිළිවෙළක් සදාචාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරයි. මිනිසාගේ ජීවිතය ‘සාදාචාර’ රාමුවකට යටපත් කිරීමේ සිරගත කිරීමේ අරමුණක් බුදුසමය තුළ අප්‍රකට ය. බුදුසමයට අවශ්‍ය වන්නේ මනුෂ්‍යත්වය තුළ එසේ ම මිනිස්කමේ සීමා තුළ සෑම සබඳතාවක් ම රඳවාගෙන ජීවිතයට නිවැරදි දෘෂ්ටියක් ලබාදීම යි.
පශ්චාත්නූතන චින්තකයන් විසින් ලිංගිකත්වය පිළිබඳ ගෙනෙන ප්‍රබල තර්කයක් ඇත. ඔවුන්ගේ විග්‍රහයට අනුව ලිංගිකත්වය පිළිබඳ සකස් වී ඇති නීති-රීති සේ ම ආකල්ප ද අනෙක් බොහෝ දේ පරිදි ම මිනිසා විසින් සිය සංස්කෘතික අංගයක් සේ සකස් කරගෙන ඇත. එනිසා එවන් සංස්කෘතික නිර්මාණයක් වෙනස් නොකළ යුතු පූජනීය අංගයක් ලෙසින් ඔවුහු නොපිළිගනිති. මෙම කරුණ සමඟ බුදුසමය ද එකඟ වෙයි. එසේ ම පශ්චාත් නූතනවාදීන්ට අනුව මිනිසාගේ ලිංගිකත්වය, ලිංගිකකාරණය සහ ලිංග භේදයන්, එසේ ම ඒ හා බැඳී පවතින දේශපාලන බල ව්‍යූහයත් ලිංගික සංකේත කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වීම ද ස්වාභාවික වූවක් නො වේ.
එය සංස්කෘතික වූවකි. මිනිසාගේ ආත්මාර්ථකාමීත්වය තවතවත් වර්ධනය වන, අධිකාරීමය ලක්‍ෂණ තම පෞරුෂය තුළ වැඩෙන ලක්‍ෂණ බුදුසමය අගය නො කරයි. ලිංගිකත්වය පිළිබඳ පවතින සම්බන්ධතාව විසංයෝජනය (deconstruction) කිරීමට බුදුසමය එරෙහි නො වේ. අනිත්‍යය පිළිබඳ බෞද්ධ ආකල්පය මෙම පරිවර්තන කාර්ය විෂයයෙහි ද ආදේශ කළ හැකි ය. ප්‍රත්‍ය සම්බන්ධතාව වෙනස් කළ විට ඕනෑ ම තත්ත්වයක ප්‍රතිඵලය වෙනස් වීම අවශ්‍යයෙන් ම සිදු වෙයි. බුද්ධ කාලීන රහතන් වහන්සේ සමාජය තුළ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිස ම අන්තර්ගත විය.
ථේර ගාථා හා ථේරි ගාථාවලින් මනාව පැහැදිලි වන සත්‍යයක් ඇත. එම සමාජයේ ව්‍යූහය නිර්මාණය වූයේ ලිංගික සංකේතමය බලය කේන්ද්‍ර කොටගෙන නො වේ. සම්මතයන් ලෙස ඇතැම් නම් සහ තනතුරු නියෝජනය කිරීම පමණක් එහිදී සිදු විණි. නව වෙනස්කම් පෞරුෂ තුළ හෝ සමාජ ව්‍යූහය තුළ සිදු වන විටදී එතෙක් පැවැති සදාචාරාත්මක ඇගැයුම් එම වෙනස්කම්වලට නොගැළැපේ නම් ඒවා වෙනස් වෙයි. එනිසා යම් සමාජයක පවතින සදාචාරය යනු වෙනස් නොවන හෝ වෙනස් නොකළ යුතු අනන්‍ය ලක්‍ෂණ සහිත ස්වාභාවික සත්‍යතාවක් නො වේ. සංස්කෘතික නිර්මාණයක් වන සදාචාරය පවතින තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට ඔසවා තැබීමට මිනිසාට ශක්‍යතාව ඇත.
එහෙත් මෙහිදී සැලැකිලිමත් විය යුතු කරුණක් වන්නේ නව පරිවර්තන තුළින් නිර්මාණය කරගනු ලබන සදාචාරය මිනිස් සංහතියේ ප්‍රගතියක් නියෝජනය කරන්නේ ද එසේ නැත් නම් පැවති තත්ත්වයට වඩා ප්‍රාථමික තත්ත්වයකට ගමන් කොට ඇත් ද යන කරුණ යි. ශිෂ්ට සම්පන්නභාවය ඉහළ නැංවීමට මානව සමාජයට අලුතින් නිපදවෙන සදාචාරය ප්‍රතික්‍ෂේප කිරීම බුදුසමය සිදු නොකරන බව මෙහිදී ප්‍රකට ව පෙනෙන කරුණකි.
බුදුසමය මිනිසා හඳුනාගන්නේ ලෝකයේ පාලකයා ලෙසින් නො ව, සුවිශේෂ බුද්ධියක් සහිත පරිපූර්ණත්වයට පත් වීමේ වඩා ශක්‍යතාවක් සහිත ජීවියකු ලෙසිනි. මිනිසා ලිංගිකත්වයට විසංවාදී හෝ පරිබාහිර අංශයක් නො වේ. යම් යම් ජෛවීය සබඳතා සහ මානසික ආකල්ප සමඟ ලිංගිකත්වයේ ඇති ප්‍රබලත්වය බුදුසමයෙහි පිළිගැනේ. මහායාන බුදුසමයේ වජ්‍රායාන හා තන්ත්‍රයාන වැනි ඇතැම් සම්ප්‍රදායයන්හිදී නම් සම්භෝගයෙන් සුරතාන්තයට පත් වීම විමුක්තියට යම් යම් අංශ මඟින් සම වන බව පිළිගැනේ. එසේ ම සෙන් සම්ප්‍රදාය තුළදී මිනිසා පරාර්ථකාමී වීමේ ප්‍රබල අවස්ථාවක් ලෙස සංසර්ගය හඳුනාගැනේ.මිනිසා විසින් මිනිසත් බව ආරක්ෂා කළ යුතු බව බෞද්ධ විග්‍රහය යි.
එහෙත් ලිංගිකත්වය අමනුෂ්‍ය කාර්යයක් බව ඉන් ගම්‍ය නො වේ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධය නිවැරැදි වන විට බුදුසමය ‘ධම්මික’ හෙවත් නිවැරැදි ලිංගික සමවායක් බව පිළිගනියි. ඇතැම් විට එම දර්ශනය ප්‍රභවය වූ සංස්කෘතියට සාපේක්ෂ ව තිබූ ඇගැයුම් සමඟ සමගාමී ව මෙවැනි ආකල්පයන් ප්‍රකාශ වූවා ද විය හැකි ය. ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇති වන සබඳතා අතර ස්පර්ශය හෙවත් කායික සබඳතාව ඉතා ප්‍රබල භාවයක්, චිත්ත වේගයක් බව ‘ඉත්ථි බන්‍ධන’ හා ‘පුරුෂ බන්‍ධන’ සූත්‍ර මඟින් හෙළි කරයි.
‘තේ භික්ඛවේ සත්තා සුබද්ධා යේ ඵස්සේන බද්ධාණි…”
එහෙත් මෙම විග‍්‍රහය තුළ කුමනාකාරයක හෝ ස්ත්‍රී ආධිපත්‍යයක් හෝ පුරුෂාධිපත්‍යයක් ප්‍රකාශ නොවේ. මනුෂ්‍යත්වයේ හෝ පෘථග්ජන ජීවිතයේ භාවමය අංශයේ ස්වභාවය කුමක් ද යන්න පොදුවේ ප්‍රකාශ කරයි. බුදුසමය මිනිස් ලිංගික ක්‍රියා විෂයයෙහි ප්‍රතිවිරෝධතාවක් නොදක්වන බව මෙම එක් පැහැදිලි කිරීමකින් වුව ද පැහැදිලි ය.
බුද්ධකාලය වර්තමාන ලෝකයට සාපේක්ෂ ව සංකීර්ණ නොවුණ ද ලිංගිකත්වය සම්බන්ධ විවිධ වෛවාරණ ක්‍රම භාවිත වූ බවට විනය පිටකය සාක්‍ෂි දරයි. විශේෂයෙන් පාරාජිකා පාළිය මෙයට නිදසුනකි. පළමු පාරාජිකාපත්තිය සේ ම පළමු සංඝාදිසේසාපත්තියත් ලිංගික චර්යාව හා සම්බන්ධ වීමෙන් එහි ප්‍රමුඛ බව ස්ඵුට වෙයි. භික්ෂූන් වහන්සේ විමුක්ති මාර්ගයට අවතීර්ණ වූ පිරිසක් බැවින් ‘බ්‍රහ්ම චරිය’ වාසය ඔවුනට දැඩි සේ අවධාරණය කරයි. එහෙත් සාමාන්‍ය මිනිසුන් වන කාන්තාවන්, පුරුෂයන්, පණ්ඩවයන් හා උභතෝ බ්‍යඤ්ජනකයන් සමග විවිධ ලිංගික කාර්යයන් භික්ෂූන් විසින් පවත්වනු ලැබූ ආකාරයට ප්‍රමාණවත් උදාහරණ ඉහත දැක්වූ මූලාශය තුළ ප්‍රකට වෙයි.
“තිස්සෝ ඉÀථියෝ මනුස්සිÀථි, අමනුස්සිÀථි තිරච්ඡාන ගනිÀථි තයෝ උභතෝ ඛ්‍යඤ්ජනකා මනුස්ස…අමනුස්ස…තිරච්ඡානගත… තයෝ පණ්ඩකා මනුස්සා… අමනුස්සා… තිරච්ඡානගතා…”
එකල මිනිසුන් විසින් ලිංගික ආස්වාදය ලැබීමට භාවිත කල ක්‍රම හා ඉරියවු රැසක් ද එහිදී විදහා දැක්වේ. වසමග, පසමග, මුවග, කලවා සංසර්ගය, රහසග හෝ නැබ ගැටීම, උදර ගැටියෙහි ගැටීම, කිසිල්ලෙහි ගැටීම, හස්ත උපක්‍රම භාවිතය (පාරාජිකා පාලි 93 – 94 – 95 – 69 – 80 පිටු අංක ) ආදි විවිධ අංශ ඒ අතර වෙයි. භික්ෂූන් වහන්සේ බ්‍රහ්මචර්යා වාසය අනුගමනය කිරීමට බැඳී සිටින බැවින් සියලු ආකාරයේ ලිංගික ක්‍රියා බැහැර කිරීමට බුදුසමය උපදෙස් දෙයි.
ලිංගික කාර්යයක කොටස්කරුවකු වීම සහ එමගින් ඇවැතකට පත් වීමට නම් පහත සඳහන් ගුණාංගයන් එකක් හෝ අනුමත කිරීම හෝ ඉන් තෘප්තිමත් වීම හෝ ඒවා ඉවසීම ප්‍රමාණවත් බව බුද්ධ දේශනය යි.
“සෝ පවේසනං සාදියති. පවිට්ඨං සාදියති. ඨිතං සාදියති. උද්ධාරණං සාදියති…”
රහසඟ ප්‍රවිෂ්ට වීම ඉවසීම, ප්‍රවේශනය ඉවසීම, එහි රඳා පැවැත්ම ඉවසීම හෝ උද්ධාරණය ඉවසීම යන කරුණු සතරෙන් අවම වශයෙන් එකක් හෝ ඉවසීම පචිති වීමට හේතු වේ.
ලිංගික චර්යාව සම්බන්ධ වැදගත් විවරණයක් ‘මාතාපුත්ත’ සූත්‍රයේ සටහන් වෙයි. මව හා පුත්‍රයා අතර සම්භෝග සුඛය විඳීම බුදුරදුන්ගේ නිග්‍රහයට ලක් වෙයි.
එම සූත්‍රයේදී කාන්තාව සහ පුරුෂයා සදාචාර ධර්ම ඉක්මවා ලිංගික චර්යාවනට පෙලඹීමට තරම් හේතු සාධක මොනවා දැ යි පැහැදිලි කරයි. අන්‍යෝන්‍ය වශයෙන් දෙදෙනා ම එකිනෙකා කෙනෙහි රඤ්ජනයට, කාමයට, මදයට, බන්ධනයට හා කාම මූර්ඡාවට පත් වන බවත් එය රූප ශබ්ද ආදි ගෝචර වස්තු විෂයයෙහි ඇති වන බවත් පහදයි. ප්‍රකෘති මනුෂ්‍ය ලක්ෂණවල ස්වභාවයක් ලෙස එය පෙන්වා දෙයි.
“නාහං භික්ඛවේ අඤ්ඤං ඒක රූපංපී සමනු පස්සාමී යං ඒවං රජනීය ඒවං කාමනීයං ඒවං මදනීයං ඒවං මුච්ඡනීයං… යථයිදං භික්ඛවේ ඉÀථිරූපං… යථයිදං භික්ඛවේ පුරිස රූප…”
විරුද්ධ ලිංගිකයන් අතර ගොඩනැගෙන විශ්වාසය සහ අන්‍යෝන්‍ය බැඳීම කායික සබඳතාවක් දක්වා වර්ධනය වනවා පමණක් නො ව, එකිනෙකා දැකීමත් තෘප්තියට හේතුවක් බන බවත් තම සිත බැඳුණු කෙනාගේ සෑම ඉරියවුවක් ම සිත් ගන්නා බවත් එම සුත්‍රයේදී ම පැහැදිලි කැරේ. සිටීම, හිඳීම, සයනය කිරීම, සිනාව, ගායනය, හැඬීම ද අවම වශයෙන් මිය යන අවස්ථාව දැකීම ද දෙදෙනා අතර බන්ධනය තීව්‍ර කරන බව පැහැදිලි කරයි. මෙම සියලු චර්යා සාමාන්‍ය මිනිස් චරිතයක ප්‍රකෘති ලක්‍ෂණ වුවත් ඒවා සාධාරණීකරණය කළ හැකි වුව ද, මනුෂත්වය සමග නොගැළැපෙන බැවින් අනවශ්‍ය ආකාරයේ බන්ධන වෙනස් කරගැනීමට බුදුසමය උපදෙස් දෙයි.
සමකාලීන ලෝකය තුළ ලිංගික චර්යාවන්ගේ භාවිතය සංකීර්ණ සහ අතිශය ගැටලුකාරී ද වෙයි. පශ්චාත් නූතන විග්‍රහය මිනිසුන්ගේ ප්‍රායෝගිකත්වයේ උපයෝගීතාව ඔවුන්ගේ නිර්ණායක කොට ගනියි. ඔවුහු ස්වාභාවිකත්වයට වැඩි සැලකිල්ලක් දක්වති. මිනිසුන් සංකල්පීය ව වාචික ව අන්‍යයන් හමුවේ සදාචාරය අගය කරන අතර, ප්‍රායෝගික ජීවිතයේදී ඒවා බැහැර කරන බවත් රහසිගත ජීවිතයකට මිනිසා හුරු වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. බුදුසමය ලිංගික චර්යාව සීමා කිරීමේදී භික්‍ෂූන්ට සම්පූර්ණයෙන් ම එමගින් ඉවත් වන්නට උපදෙස් දෙයි. බුදුසමය ලෞකික ජීවිතයක් ගෙවන මිනිසුන්ට ලිංගික තහංචි නොදමන අතර, වඩාත් විධිමත් නිරවුල් සම්බන්ධයකට මග පෙන්වයි. එම මග පෙන්වීම හුදු මනෝමූලික සංකල්පයක් නො වේ. සිගාලෝවාද සූත්‍රයේදී ස්වාමි – භාර්යා දෙදෙනා ම ‘අනති චරියා’ හෙවත් ‘එකිනෙකා’ නොඉක්මවීමට වගබලාගත යුතු බව පෙන්වා දෙයි. ලිංගිකත්වය සහ ඒ හා සබැඳි තෘප්තිය විවාහ දිවියට සීමා කළ යුතු ය. එසේ නොවුණ හොත් අනෝන්‍ය විශ්වාසය තහවුරු නො වේ. විවාහයට මෙවැනි සාරධර්මවල ඇති ආදේශකත්වය එමගින් පැහැදිලි වෙයි.
විවාහ ජීවිතයේ ලිංගික සම්බන්ධතාවන්ගේ සීමා නිර්ණයකට වඩා ප්‍රතිසංස්කරණාත්මක උපදේශනයක් බුදුසමය ලබාදෙයි. විවාහය සංස්ථාවක් ලෙස පැවැත්වීමට නම් එහි සාමාජිකයන් යම් යම් එකඟතාවන්ට පැමිණිය යුතු ය. එම එකඟතා පිතෘ මූලික විය යුතු බව ඉන් ප්‍රකට නො වෙයි. මනුෂ්‍යත්වය අගය කරන ආකාරයේ එකඟතා සම්මත ලෙස බුදුසමයත් අගයයි. සුත්ත නිපාතයේ ‘බ්‍රාහ්මණ ධම්මික’ සූත්‍රයේදී විවාහයේ පුරුෂාර්ථ ලෙස පෙන්වා දෙන්නේ තම බිරිය නොඉක්මවීම, අඹුවන් මිලට නොගැනීම, සහ අඹුවන් නොවිකිණීම යන සාධක පදනම් කොට ගනිමිනි.
“න බ්‍රාහ්මණා අඤ්ඤං අගමුං නපි භාර්යං කිනිං සුතේ සම්පියේනේ ච සංවාසං – සංගහිÀවා සමරෝචයුං”
අන්‍යෝන්‍ය ප්‍රේමය සහ සහයෝගීත්වය සකස් කරගැනීමට අවශ්‍ය පදනමක් මත විවාහය පිහිටුවීමට එහි කොටස්කරුවන් සමත් විය යුතු බව මෙමගින් අදහස් වේ. එසේ ම තත්කාලීන සම්ප්‍රාදායික ලක්‍ෂණයක් වූ කාන්තා වෙළෙඳාමට, ස්ති‍්‍රය වෙළෙඳ භාණ්ඩයක් කරගැනීමට එරෙහි බෞද්ධ එළැඹුම ලෙසත් මෙම අවස්ථාව සැලැකි ය හැකිය.
බුදුසමය පුරුෂාධිපත්‍යය නොපිළිගන්නා අතර ම කාන්තාව ද්විතීයික සත්ත්ව ප්‍රජාවක් සේ අර්ථ දැක්වීමක් නො කරයි. එවැනි ගති ලක්ෂණ පවුලක් තුළ නොතිබිය යුතු බවත් මූලික බෞද්ධ ඉගැන්වීම් විමසන විට ප්‍රකට වෙයි.
පශ්චාත්නූතන චින්තනය තුළදී සමලිංගික සේවනය දෙස සුබවාදී ව අවධානය යොමු කරයි. මිනිසාට විවිධ රුචිකත්වයන් තිබිය හැකි ය. ඒවා සපුරාගැනීමට ඔහු වැර දරයි. මුල් බුදුසමය සමලිංගිකත්වය සියුම් විවරණයකට ලක් නො කරයි. අටුවා තුළදී නම් එවන් අවස්ථා හඳුනාගත හැකි වෙයි. චක්කවත්ති සිහනාද සූත්‍ර විවරණයේදී පැහැදිලි කර ඇත්තේ එය ධාර්මික චර්යාවක් නොවන බවකි.
“අධම්ම රාගෝති මාතා පිතුච්ඡා මාතුලා පිතු ආදිකේ අයුත්තට්ඨානේ… විසම ලෝභෝති පරිභෝග යුත්තේසු පි ඨානේසු අති බලවා ලෝහෝ මිච්ඡා ධම්මෝති පුරිසානං පුරිසේසු ඉÀථි සු ඡÁදරාගෝ…”
සමලිංගිකත්වය මිථ්‍යා චර්යාවක් ලෙස මෙහිදී හඳුනාගැනේ. එහෙත් සමලිංගිකත්වය අගයන චින්තකයන්ගේ අදහස වන්නේ සත්ත්ව ලෝකය තුළත් සමලිංගිකත්වයට ඉඩ ප්‍රස්තා ලැබෙන බව යි. බුදුසමය උසස් වීමේ හැකියාව ඇති සත්ත්වයකු ලෙස මිනිසා හඳුනාගන්නා බැවින් සත්ත්ව ලෝකය මනුෂ්‍යත්වයට ආදේශ කිරීමේදී ආචාර ධර්මීය සීමා පනවයි.
බුදුසමය භෞතිකවාදි දර්ශනයක් නො වේ. මිනිස් චර්යාව හා බැඳි ආචාර ධර්ම පද්ධතියක් නිර්වාණය කේන්ද්‍ර කොට එමගින් ඉදිරිපත් වෙයි. ලිංගිකත්වය සදාචාර විරෝධී සේ අර්ථවත් නොකැරෙන අතර ම, එම අංශය පිළිබඳ මධ්‍යස්ථ වීම ජීවිතයේ සංතෘප්තියට, සහනශීලී භාවයට ඉවහල් වන බව පැහැදිලි වෙයි. ත්‍රිශික්‍ෂා මුල් කොටගත් අරීඅටැඟි මඟෙහි මිනිසා අනුගමනය කළ යුතු චර්යා ධර්ම පද්ධතියක් ඉදිරිපත් වෙයි. එහෙත් ඒවා ලිංගභේදය හෝ ආධිපත්‍යමය අවශ්‍යතා අනුව ස්ත්‍රී හෝ පුරුෂ යන එක් පක්ෂයක හිංසනයට හෝ ද්විතීයිකකරණයට පදනම් නො වේ.
ලිංගිකත්වය පිළිබඳ බෞද්ධ ආකල්පය වන්නේ මනුෂ්‍යත්වය හෝ මනුෂ්‍ය සමාජයට නිගා නොවන පරිදි ලිංගික හැසිරීම් සකස් කරගැනීම යහපත් බව යි. බුදුසමයේ දැක්වෙන ආචාර්යධර්ම රැකීමට මිනිසුන් තම ජීවිතය කැප කළ යුතු බව බුදුසමයේ අපේක්ෂාව නො වේ. මිනිසුන්ගේ ජීවිත වඩාත් පහසු සහ සහනශීලී කරගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීම් භාවිත කිරීමට මඟ පෙන්වීමක් පමණක් බුදුසමය සිදු කරයි. දෙවියකු වැනි පාරභෞතික සංකල්පයකට බෞද්ධ සදාචාරයේ පදනම සම්බන්ධ නැති බැවින් එහිදී සමාජයේ ප්‍රගතිය විෂයයෙහි අදාළ වන ආකාරයේ සමාජ සබඳතා නිරන්තරයෙන් ම සකස් විය යුතු බව අවධාරණය වෙයි.

Sunday, June 9, 2013

මා බෞද්ධයකු වූයේ කෙසේ ද?

Posted on by

කතෝලික රටක් වන ස්පාඤ්ඤයෙහිදී 1927දී උපන් අමාදියෝ සොලේ ලෙරිස්, ලංඩන් විශ්වවිද්‍යාලයෙන් ස්පාඤ්ඤ හා ජර්මන් භාෂා පිළිබඳ උපාධියක් දිනාගත්තේ කලක් ලංඩනයේ ‘කිංස් විදුහලේ’ ස්පාඤ්ඤ භාෂාව ඉගැන්වී ය. වර්ෂ 1961දි අන්තර් ජාතික සිවිල් සේවයට පත් හෙතෙම කලක් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙහි තනතුරක් ද හෙබැවී ය. යොවුන් වියේ පටන් ම මැවුම්වාදී ආගම් කෙරෙහි පැහැදීමකින් පසු නොවූ තමා කෙමෙන් කෙමෙන් බුදු දහමෙහි හරය කෙරේ ආකර්ෂණය වූ අන්දම අමාදියෝ සොලේ ලෙරිස් මහතා මේ ලිපියෙන් හෙළිදරවු කරයි.
තමාගේ දෛවය පාලනය කරන කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විද්‍යමාන ව පවතින්නේ යැ යි ද එම අදෘශ්‍යමාන බලයට අවනත වීම, ගෞරව දැක්වීම හා වන්දනා-මාන කිරීම යෝග්‍ය යැ යි ද මිනිසා විසින් පිළිගනු ලැබීම ආගම යැ යි ද ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය සඳහන් කරයි. බුද්ධධර්මය මේ අර්ථයෙන් හෝ වෙනත් කිසියම් අර්ථයකින් හෝ පරම මහෝත්තම දෙවියන් වහන්සේ කෙනකුගේ විද්‍යමානත්වය විශ්වාස කර, එම දෙවියන් වහන්සේ සහ අප අතර ඇති සම්බන්ධතාව තුළින් අප විද්‍යමාන ව සිටීමේ අර්ථය සෙවීමට අදහස් කරන ආගමක් නොවන බව මට අවබෝධ වූ විගස ම මම බෞද්ධයෙක් වීමි.
මගේ සහජ ගතිය අනුව මෙන් ම හැදුණ වැඩුණු ආකාරය අනුව ද භක්තිවාදය හා දේවධර්ම ශාස්ත්‍රය කෙරෙහි මා තුළ වූයේ ඉතා අල්ප නැඹුරුවකි. කතෝලික රටක් වන ස්පාඤ්ඤයෙහි මා උපත ලැබූ නමුත්, මා වැඩුණේ අඥෙයවාදී පරිසරයක ය. මම කවරදා වත් බෞතිස්ම නොවූයෙමි. මා අධ්‍යාපනය ලැබවේ ද නිදහස් චින්තනයට ඉඩ ඇති ස්විට්සර්ලන්ත හා එංගලන්ත පාසල්වල හා විශ්වවිද්‍යාලයවල ය. එහෙත් මා ද ඇතුළත් වන, යුරෝපීය ශිෂ්ටාචාරයෙහි පදනම වශයෙන් ක්‍රිස්තියානි සම්ප්‍රදායෙහි ඇති වැදගත්කම, සැබැවින් ම මම සම්පූර්ණ වශයෙන් වටහාගෙන සිටියෙමි. එබැවින් මම එහි ප්‍රතිපත්ති, වත්පිළිවෙත්, ඓතිහාසික ජයග්‍රහණ සහ ව්‍යසන පිළිබඳ ව අවබෝධයක් ඇති කරගැනීමට ප්‍රයත්න දැරුවෙමි. එහෙත් දිව්‍යමය එළිදරවු කිරීම්, සත්ප්‍රසාද ද්‍රව්‍ය ක්‍රිස්තුන් වහන්සේගේ මාංසය හා රුධිරය බවට හැරවීම, ක්‍රිස්තියානි ආගම අසහාය හා උත්තරීතර එකක් යැ යි කරන ප්‍රකාශය ආදිය පදගතාර්ථ අනුව හෝ සත්‍ය යැ යි පිළිගැනීමට හෝ යටත් පිරිසෙයින් ඒවා පලදායක සංකේත වශයෙන් පිළිගැනීමට හෝ මම මැළි වීමි. තරුණ ශිෂ්‍යයකු වශයෙන් මා පෙරදිගට යොමු වූයේ මේ නිසා ය.
1950 මැද භාගයෙහි සිට, මගේ වෘත්තීය කටයුතු සඳහා ඉන්දියාව සහ ඈත පෙරදිග ද ඇතුළත් ලෝකයෙහි බොහෝ ප්‍රදේශවල සංචාරය කළෙමි. මෙම සංචාරයේදී මට ඉඩ ලැබුණු සැම විටක ම මම තවදුරටත් ආගම ධර්ම පිළිබඳ ව විමර්ශනයක යෙදුණෙමි. එහෙත් ඒ සෑම විටක ම කාලය කෙටි වූ අතර, මගේ වෘත්තීය අවශ්‍යතා සඳහා එය යෙදැවිය යුතු විය. ඇති කරගත් සම්බන්ධතා පවා වඩා විචක්ෂණ ඒවා නොවූ හෙයින්, ‘බුද්ධාගම’ යනු තවත් එක් ආගමක් පමණක් ය යන වැරැදි මතයෙහි තවදුරටත් රැඳී පැවැතුණෙමි.
මා ලංකාවට ගිය විට පාලි ත්‍රිපිටකයෙහි සූත්‍රවලින් පරිවර්තනය කරන ලද කරුණු ඇතුළත් ධර්ම සංග්‍රහයක් කියැවීමේ අවස්ථාව මට ලැබිණි. එම ධර්ම සංග්‍රහය නම් පූජ්‍ය ඤාණාතිලෝක හිමිපාණන්ගේ ‘බුදුන් වහන්සේගේ වචනය’(The Word of the Buddha)  නමැති ග්‍රන්ථය යි. විසි වැනි ශත වර්ෂයෙහි මුල් භාගයෙහි ප්‍රකාශයට පත් ව ඇති මෙම ග්‍රන්ථය බුද්ධ ධර්මය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. එය පරිශීලනය කිරීමෙන්, බුද්ධ ධර්මය පිළිබඳ ව පැහැදිලි අදහසක් ඇති කරගත් අයගේ සහ බුද්ධාගම වැලැඳගත් අයගේ සංඛ්‍යාව මෙපමණ යැ යි නිවැරැදි ලෙස සඳහන් කිරීම දුෂ්කර ය. නිසැක ලෙස ම, මම ඒ අය අතර එක් අයෙක් වෙමි. සරල, ඍජු, භාෂා ශෛලියකින් සම්පාදනය කර තිබූ එම ග්‍රන්ථයෙහි අන්තර්ගත වූ අර්ථවත් ප්‍රකාශ කියැවීමෙන් බුදුන් වහන්සේගේ ධර්මයෙහි ඇති අසහාය ස්වරූපය හා ඍජු භාවයත්, කාර්යඵල සාධකත්වය හා ස්ථිර ස්වභාවයත් මම මැනැවින් වටහා ගතිමි.
බුදුන් වහන්සේගේ දේශනාවල නිතර නිතර හමු වන පැරැණි වචනවලින් ම කියතොත්, ඒ වූකලි යටිකුරු කරන ලද භාජනයක් උඩුකුරු කළාක් මෙන් ද, සැඟැවුණු යම් දෙයක් එළිදරවු කළාක් මෙන් ද, මංමුළා වූ කෙනකුට මඟ පෙන්නුවාක් මෙන් ද, ඇස් ඇත්තන්ගේ දර්ශන පථයට ලක් වීම පිණිස අඳුරට පහනක් දැන්වූවාක් මෙන් ද විය. ‘බුදුන් වහන්සේගේ වචනය’ මා අතට පත් කරන අතර ම තවත් වැදගත් උපදේශයක් මට ලැබිණි.
එය නම් විසි වැනි සියවසෙහි බෞද්ධ ධර්ම සාහිත්‍යයෙහි තවත් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වන බෞද්ධ භාවනාවෙහි හදවත (The Heart of Buddhist Meditation)නමැති, පූජ්‍ය ඤාණපෝනික හිමියන්ගේ ග්‍රන්ථය කියවන ලෙස දැන්වීම යි. මෙය දෙවිධියකින් ඉතා අගනා බව මට ප්‍රත්‍යක්ෂ විය. ප්‍රථමයෙන් ම, බුද්ධිමය වශයෙන් ධර්මය පිළිබඳ ව ඇති කරගන්නා අවබෝධයටත් වඩා බුදුන් වහන්සේගේ මාර්ගය අනුගමනය කිරීමේදී ඒ සඳහා භාවනාවෙහි ඇති වැදගත්කම එහි මැනැවින් විස්තර කර තිබිණි. නිශ්චිත ලෙස ම ක්‍රමානුකූල ව සම්මා සමාධිය ප්‍රගුණ කිරීමෙන් කෙනකුගේ මනස පුහුණු කර සංවර්ධනය කිරීමේ ඇති දැඩි අවශ්‍යතාව ඉන් පැහැදිලි විය. දෙවනු ව එහි ශෛලිය හා ස්වරූපය දැඩි අවධාරණයෙන් තොර, උපශාන්ත එකක් වූ අතර, ඉන් ඉදිරිපත් කරන අදහස් මුළුමනින් ම ව්‍යාකුලත්වයෙන් තොර විය.
‘බුදුන් වහන්සේගේ වචනය’ කියැවීමෙන් මා සිත් ගත් සියලු අංග තුළ වූ උපෙක්ෂා සහගත භාවය හා දයාන්විත භාවය එහි ද අඩු නැති ව දකින්නට ලැබිණි. ධර්ම මාර්ගයෙහි හැසිරෙමින් ජීවත් වන පුද්ගලයන් කරා ශතවර්ෂ ගණනාවකට පසු ව වුවත් ධර්මය දායාද කරන ගුණාංග පිළිබඳ ව එය ජීවමාන සාක්ෂියක් විය. තදනන්තර ව මා විසින් ලියා විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ආරම්භ කරන ලද, මේ දක්වා ම නොකඩවා පවතින නිරන්තරයෙන් ම අලුත් උපදෙස් හා මඟ පෙන්වීම් ලබාගැනීමේ මාර්ගයක් වශයෙන් වැදගත් වූ ලියුම් ගනුදෙනුවේදී ද, මේ ගුණාංග සුලභ ලෙස ප්‍රදර්ශනය විය. භාවනා කිරීම සම්බන්ධයෙන් මා ලබාගෙන ඇති කිසියම් දක්‍ෂතාවක් වෙත් නම් ඒ සඳහා මා ණයගැති වන විපස්සනා භාවනා පිළිබඳ ආචාර්යවරයකු වූ, ඇස්. ඇන්. ශොන්කා මහතා තුළ ද මෙම ගතිගුණ ආදර්ශවත් ලෙස විද්‍යමාන වන බව අවුරුදු කීපයකට පසු මම දිටිමි.
මම 1972දී දෙවැනි වරට ශ්‍රී ලංකාවට ගියෙමි. මේ ගමනේදී එම රටෙහි බෞද්ධයන් සමඟ සම්බන්ධතාවක් ගොඩනගාගැනීමට මට පුළුවන් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බුදුන් වහන්සේගේ ධර්මය වඩාත් නිවැරදි ලෙස, බටහිර හාෂිතය අනුව ‘මානවහිතවාදයක්’ වශයෙන් හැඳීන්විය හැකි බව මට වැටැහී ගියේ ය. ඒ වූකලි ආචාර සම්පන්න වීම පිළිබඳ ව විනයක් ඇති කිරීමෙන් ද, මනසට ක්‍රමානුකූල පුහුණුවක් ලබාදීමෙන් ද ගොඩනැඟෙන ජීවන ක්‍රමයක් තුළින් මෙම ජීවිතය තුළ ම සර්වඥතාඥානය පහළ කරගැනීම නොහොත් සම්මාසම්බුද්ධත්වයට පත් වීම යනුවෙන් හඳුන්වනු ලබන, මානුෂික උත්තරීතර භාවය ළඟා කරගැනීමට මඟ පෙන්වන ධර්මයකි.
තථාගත බුදුන් වහන්සේ, තමා සත්‍යය එළිදරවු කරන දෙවියකු හෝ දේව පුත්‍රයකු හෝ අනාගත වක්තෘවරයකු යැ යි නොපැවැසූ බවත්, ඕනෑ ම මනුෂ්‍යයකුට ඒ සඳහා උත්සාහ කිරීමෙන් පත් විය හැකි උත්තරීතර මනුෂ්‍යත්වය පිළිබඳ ආදර්ශයක් බවත් මට අවබෝධ වූ විට, “එය අර්ථවත් ය. තථාගතයාණන් වහන්සේ උත්තරීතරත්වයට පත් විය හැකි ආකාරය අපට උගන්වන සේක” මම මට ම කියාගතිමි. එහෙත් උන් වහන්සේ විසින් වදාළ ධර්මය එපරිදි ම වටහාගැනීමට මට පුළුවන් වූවේ වර්ෂ ගණනාවක් ගත වීමෙන් පසු ව ය. සත්‍යය වශයෙන් බුදුන් වහන්සේගේ පණිවිඩය කුමක් දැ යි අනාවරණය කරගැනීමට කෙනකු උත්සාහ දරන විට, සිත වික්‍ෂිප්තභාවයට පත් කරනසුලු විවිධාකාර විග්‍රහයන්ට මුහුණ දීමට සිදු වේ. බටහිර ඉතා බහුල ව පැතිර ඇති (මේ පිළිබඳ ව දැනුමැතියන් වශයෙන් පෙනී සිටින විද්වතුන් අතර පවා) වැරැදි මත දෙකක් නම්, බුදුන් වහන්සේ ශූන්‍යතා දර්ශනයක් (නිවන ශූන්‍යතාවක් වශයෙන් සලකා) නැති නම් කිසියම් ස්වරූපයක ශාස්වතවාදී දර්ශනයක් (නිවන පාරාදීසයක් වශයෙන් සලකා) දේශනා කර ඇතැ යි යන අදහස ය. පසු ව කී අදහස දරන අය බුදුන් වහන්සේට සලකන්නේ දෙවියකු, දෙවියකුගේ නියෝජිතයකු හෝ දෙවියකුගේ පහළ වීමක් වශයෙනි.
පෙරදිග සම්බන්ධයෙන් වූ විට, බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මුල් ධර්මය, එය අග්නිදිග ආසියාව, තිබ්බතය, චීනය සහ ජපානය යන රටවල් කරා ව්‍යාප්ත වීමත් සමඟ, සම්බන්ධතා පැවැත්වීමට සිදු වූ ද ඓතිහාසික වශයෙන් නොවැළැක්විය හැකි වූ ද විවිධ සංස්කෘති හා ආගම්වල බලපෑමට ලක් වී ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ධර්මයේ හරය හා සලකන විට, ඉතාඅල්ප වැදගත්කමක් ඇති, බුද්ධිමය, ආවේගමය හා චාරිත්‍රමය සංවර්ධනයකට එය යොමු වී තිබේ. එපමණක් නො ව, බ්‍රහ්මන් හා ආත්මය පවා අප්‍රබුද්ධ මනසෙහි ඇති වන මායාවක් වශයෙන් ප්‍රකාශ කරන මෙම අසහනශීලී මිථ්‍යාදෘෂ්ටික ධර්මය යළිත් එහි (විශේෂයෙන් වේදාන්ත හා උපනිෂද් ස්වරූපයෙහි) සත්‍ය ලබ්ධිය තුළට ගෙන ඒමට සාම්ප්‍රදායික හින්දු ආගම විසින් සැලැකිය යුතු බලපෑමක් කර තිබේ. බුදුන් වහන්සේ වූකලි, විෂ්ණුගේ අවතාරයක් යැ යි ද නිර්වාණය යනු ආත්මය බ්‍රහ්ම සහවාස තත්ත්වයට පත් වීමක් යැ යි ද කැරෙන ප්‍රකාශ ඉන්දියාවේදී අද පවා ඇසීමට පිළිවන.
පෙරදිග චින්තන ක්‍රම හා සංස්කෘතිය පිළිබඳ මගේ උනන්දුව, මගේ නව යොවුන් විය තරම් ඈතට යතත් (මම විසිහැවිරිදි වියේදී පතාඤ්ජලීයෝගසූත්‍රයෙහි ඉංගී‍්‍රසි පරිවර්තනය හැදෑරූ අතර, හත යෝග ක්‍රම 1949 සිට දශක දෙකක් තිස්සේ පුරුදු කළෙමි.) අවුරුදු ගණනාවක් යන තෙක් ම මා විශ්වාස කළේ බුදධාගම යනු, සත්‍ය ලබ්ධික හින්දු ආගමෙහි ම තවත් කොටසක් වශයෙනි; එනම් කිසියම් ස්වරූපයක විශ්ව ආත්මයක් සමඟ ගුප්ත සම්බන්ධතාවක් ඇති කරගැනීම හෝ එක ම සත්‍යය වන අසහාය, අමරණීය, පරමෝත්කෘෂ්ට දෙවියන් වහන්සේ සහ තමන්ගේ ආත්මය අතර ඇති අනන්‍යතාව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගැනීමක් වශයෙනි.
මේ අයුරින් මා බුද්ධ ධර්මය වැලැඳගත් බව ඔබට ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
විශේෂයෙන් එහි කිසියම් විස්මයක් හෝ විචිත්‍රත්වයක් නො වී ය. ඒ වෙනුවට එහි දකින්නට තිබුණේ අනුගමනය කිරීමට ඉතා විශිෂ්ට ලෙස යෝග්‍ය වන, තමන්ට කිරීමට පුළුවන් දේ කෙරෙහි මඟපෙන්නීමකි. ඒ සඳහා පැහැදිලි අවංක ප්‍රයත්නයක් අවශ්‍ය විය.
මම බුද්ධ ධර්මය වැලැඳගෙන, තිසරණ සරණ ගතිමි; අනතුරු ව ධර්මය පිළිබඳ ව මූලික කරුණු විශේෂ වශයෙන් ථේරවාද ධර්ම සාහිත්‍යය පුළුල් ලෙස ඉගැනීමේ කාර්යයෙහි යෙදුණෙමි. මේ සඳහා මට මහනුවර බෞද්ධ ප්‍රකාශන සමිතියෙන් ලැබුණු ආධාරය අනල්ප ය. විශේෂ වශයෙන් සමිතිය විසින් අඛණ්ඩ ව පළ කරන ලද බෞද්ධ පොත්-පත් ද එහි ගරු ලේකම්වරයයා ව සිටි, මා ගෞරවයෙන් සිහිපත් කරන දිවංගත රිචඩ් අබේසේකර මහතාගෙන් පෞද්ගලික ව ලැබුණු කරුණාන්විත උවදෙස් ද මට මහත් අනුබලයක් විය.
වෘත්තියෙන් වාග් විද්‍යාඥයකු වූ මා පුළුවන් සැම විටක ම පාඨ ග්‍රන්ථ එහි මුල් භාෂාවෙන් කියැවීමේ ඇති වැදගත්කම දැන සිටියෙමි. එබැවින් මෙම පාලි භාෂාව ද උගතිමි. වර්ෂ 1975න් පසු ව යු. බා කිංගේ බුරුම ගිහි සම්ප්‍රදායට අනුකූල වූ විපස්සනා භාවනා සම්බන්ධ එස්. එන්, ශොන්කා මහතාගේ මහතාගේ දැඩි භාවනා පාඨමාලාවට ද සම්බන්ධ වූයෙමි. එස්. එන්. ශොන්කා මහතාගේ උපදෙස් අතිශයින් ප්‍රබෝධජනක විය. සත්‍ය වශයෙන් ම මගේ ධර්මානුකූල ජීවිතය ආරම්භ වූයේ ඔහුගේ ආස්වාදජනක මාර්ගදේශකත්වය යටතේ විපස්සනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් පසු ව ය. ඒ මගේ බුද්ධිමය අවබෝධය, ජීවිතය විෂයයෙහි වින්දනයක් බවට පත් කිරීමට මා තැබූ පළමුවැනි පියවර යි. කාලයාගේ අවෑමෙන්, වඩා අර්ථවත් ව ද, අඛණ්ඩ ව ද සංවර්ධනය වූවේ මේ ජීවන අත්දැකීම් ය. එය සෙසු ධර්මානුකූල කටයුතු සඳහා මා මෙහෙයවයි.
බුද්ධ ධර්මය ඉගැනීම නොකඩවා සිදු කැරෙන අතර, බුද්ධ ධර්මය අන්‍යයන්ට ඉගැනීමට ආධාර වීම සඳහා ලිපි, රචනා හා පොත්-පත් මඟින් ලිඛිත ව ද දේශන හා සම්මන්ත්‍රණ මඟින් වාචික ව ද ක්‍රියා කරමි. මේ සියල්ල සිදු වන්නේ, මූලික වශයෙන් හඳුන්වාදීමේ තත්ත්වයකිනි. පෙර-අපර දෙදිගෙහි ම වෙසෙන අප සියලු දෙනාට ම, ඉතා වැදගත් ලෙස එහි ඇති උචිත භාවය සහ වර්තමානයෙහි ඉන් ලැබිය හැකි අප්‍රමාණ පල-ප්‍රයෝජන වටහාගැනීමට ඉඩ සැලැසෙන පරිදි ධර්මය පිළිබඳ ව දැනීමක් නැති ආධුනිකයන්ට (විශේෂ වශයෙන් මා කලින් සිටියාක් මෙන්) හෝ බුදුන් වහන්සේගේ ධර්මය පිළිබඳ ව නිවැරැදි දැනීමක් නැති ආධුනිකයන්ට හෝ ඉන් පල-ප්‍රයෝජන සැලැසෙන අන්දමින් ගිහියකු වශයෙන් මම දේශන ද පවත්වමි.
ආත්ම වංචාවෙන් තොර ව, දැඩි උත්සාහයකින් යුතු ව කෙනකු අවංක ව ඒ සඳහා ක්‍රියා කරන්නේ නම් ආරම්භයේ සිට ම මෙම පල-ප්‍රයෝජන පැහදිලි ව දකින්නට ලැබේ. තවමත් සීමාසහිත වූ මගේ අත්දැකීම් අනුව බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව, ධර්මයෙහිහදවත වූ විපස්සනා භාවනාව පුහුණු කිරීමේ මාර්ගයෙන් මා ගැන සහ අන්‍යයන් පිළිබඳ ව වඩා යහපත් අවබෝධයක් ඇති කරගැනීමට පිළිවන් වන බව ද වඩා විවෘත ස්වභාවයකින් ක්‍රියා කිරීමට පුළුවන් වීම වැනි යහපත් ගුණාංග වර්ධනය වූ බව ද, මට සහතික කර ප්‍රකාශ කළ හැකි ය. එහි ඇති ස්වාභාවික වටිනාකමට අතිරේක වශයෙන් එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදු වන විවිධාකාර තත්ත්වයන්ට ද එය නිරන්තර වශයෙන් ම ආධාර වේ. මේ හැරුණු විට මගේ මනසෙහි ශාන්ත භාවයක් දියුණු කිරීමට අන් සියල්ලට ම වැඩියෙන් එය සැලැකිය යුතු ලෙස මට උපකාරී වී තිබේ. එහෙත් ඇත්ත වශයෙන් ම මට තව බොහෝ දේ කිරීමට ඉතිරි ව තිබේ. විශේෂ වශයෙන් නොයිවසිලිවන්ත භාවය හා කලබලකාරි ස්වභාවය පිටුදැකිය යුතු ව තබේ. ප්‍රතිඵල සිත ධෛර්යවත් කරනසුලු ය. මට කලබල නොවී සිටින ලෙස මගේ භාර්යාව කියන අවස්ථාවලදී ‘මා භාවනාව පුරුදු නොකළේ නම් තව කොතරම් දුරට මා කලබලයට පත් වේ දැ’ යි මට හිතාගත නොහැකි බව මම ඇයට කියමි.
ඇත්ත වශයෙන් ම භාවනාව වූකලි අනෙකුත් අවස්ථාවන්හිදී කරන දේවල් හා සම්බන්ධයක් නැති, කිසියම් නිශ්චිත වේලාවක් තුළදී පමණක් පුහුණු කළ යුතු ශූන්‍ය දෙයක් නොවන බව සිහියේ තබාගැනීම අත්‍යවශ්‍ය ය. අප වසාගෙන සිටි දුකින් මිදීමට බුදුන් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රධාන අංශ තුන වන ශීලය, සමාධිය හා ප්‍රඥාව එකිනෙකට සම්බන්ධ ව පවතින අතර, එක විට ම ක්‍රියාත්මක වෙයි. භාවනාවෙන් තොර ව ප්‍රඥාව පහළ කරගැනීමට නොපිළිවන. ශීලයෙන් තොර ව භාවනා කිරීමේ කාර්යය සඵල නො වේ. ඇතැම් විට එය මුළුමනින් ම අනතුරුදායක වීමට ද පුළුවනි. කොටින් කියතොත් එය එක ම දෙයක පැති තුනකි. සම්මා සම්බුද්ධත්වයට පත් වූ අයකු සම්බන්ධයෙන් වූ විට ක්‍රියාව, භාවනාව හා ප්‍රඥාව එක ම දෙයකි. ඒ වූකලි අවිරෝධ සවිඥාානකත්වයක අඛණ්ඩ සේ අන්තර්ගත ව ඇති විවිධාකාර වීම් වේ. ප්‍රගතිය ඇති වන්නේ සියලු සාධක අන්‍යෝන්‍ය වශයෙන් අන්තර් ක්‍රියාවලියක යෙදැවූ විට ය.
භාවනාව නිවැරැදි ලෙස පුරුදු කළ විට අවබෝධය නොහොත් ප්‍රඥාව දියුණු කරයි; සියලු දේ අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම ය යන කාරණය පිළිබඳ ව දැනීම වැඩි දියුණු වේ. මෙසේ සතිසම්ප්‍රජන්‍යය වැඩි දියුණු වූ විට එය කෙනකුගේ හැසිරීම කෙරෙහි වැඩදායක බලපෑමක් ඇති කරයි. එලෙසින් ම කෙනකු ක්‍රියාවෙන්, වචනයෙන් හා සිතිවිල්ලෙන් වඩා සිල්වත් අයකු බවට පත් වූ විට භාවනාව සඳහා වඩා හොඳ පදනමක් ඇති වේ. මෙසේ ශීලය, සමාධිය හා ප්‍රඥාව අන් කවරදාටත් වඩා සම්පූර්ණ වී වර්ධනයට පත් වීමෙන් සර්වඥතාඥානය පහළ වේ.
ඉක්මනින් ම සර්වඥතාඥානය පහළ කරගැනීමට අප බොහෝ දෙනකුට පුළුවන්කමක් නැත. එහෙත් ඒ සම්බන්ධ නිසි අවබෝධයෙන් ද පරීක්ෂාවෙන් ද යුතු ව, අතිශයින් විනීත ප්‍රයත්නයක් දැරීමෙන් තමා කෙරෙහි හා ඒ හේතුවෙන් අන්‍යයන් කෙරෙහි ද ඉතා වැඩදායක ප්‍රතිඵල ඇති වේ. සැබැවින් ම සද්ධර්මය අනුගමනය කිරීම තරම් අර්ථවත්, සන්තෝෂදායක අන් යමක් මේ මිහිපිට නැත

බටහිර විද්‍යාඥයන්ගේ ඇස් පෑදෙන්නේ බුදු දහමෙන්

Posted on by

බෞද්ධ දර්ශනය මෙලොව බිහි වී වසර දෙදහස් පන්සීයකටත් වැඩි කාලයක් ගත වී ඇත. බටහිර දර්ශනයට ද ආසන්න වශයෙන් මීට සමාන්තර වයස් කාලයක් සහිත ය. එහෙත් බටහිර දර්ශනය හා බෞද්ධ දර්ශනය අතර බිහි වීමේ මූලික වෙනස්කම් දෙකක් අපට හඳුනාගත හැකි යි. එනම්,
පළමුවැන්න: බටහිර දර්ශනය වසර දහස් ගණනක් තිස්සේ සිය ගණනක් (සමහර විට දහස් ගණනක්) දාර්ශනිකයන්ගේ සහභාගීත්වයෙන් සෙමෙන් නමුත් ක්‍රමයෙන් වර්ධනය වූ දර්ශනයකි. එහෙත් බෞද්ධ දර්ශනය ගෞතම බුද්ධ නම් තථාගතයන් වහන්සේ විසින් තනි ව, එක විට දේශනා කළ දර්ශනයකි. මෙහි අරුමය නම් බටහිර දර්ශනයට තවත් වසර දහස් ගණනක් ගත වී හෝ ලබාගත නොහැකි දාර්ශනික හරයක් (භෞතික හා ආධ්‍යාත්මික) බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගත වීම යි. මෙය බටහිර දර්ශනයට වටහාගැනීමට පවා අපහසු දාර්ශනික තලයකි.
දෙවැන්න: ගෞතම බුදුන් වහන්සේ ලොව බිහි වූ සහ බිහි වන අනෙකුත් සියලු දාර්ශනිකයන්ට වඩා සුවිශේෂ ආකාරයකට මෙම දර්ශනය අවබෝධ කරගැනීම හා දේශනා කිරීම යි. වඩාත් නිවැරැදි ව පැහැදිලි කරතොත්, ලොව අනෙකුත් සියලු දාර්ශනිකයන් තම දර්ශනය දේශනා කරනුයේ මුල සිට අගට තමා දැනගන්නා පිළිවෙළට ය.
එනම්: තමා ප්‍රකාශ කරන දර්ශනයේ අවසන් අන්තය ඒ කිසිවෙකුත් ඒ මොහොතේ නො දනී. තමා දැනගන්නා පිළිවෙළට ම ඔවුහු ප්‍රකාශ කරති. එහෙත් ගෞතම බුදුන් වහන්සේ තමා ප්‍රකාශ කරන දර්ශනයේ අවසාන අන්තය තෙක් ම අතැඹුලක් සේ දනී; දකී. උන් වහන්සේ තමාගේ දර්ශනයේ මුල සිට අගට ම තමන් තනි ව ම ගමන් කොට නැවත මුල සිට දේශනා කිරීම ආරම්භ කරති. ඒ අනුව බුදුන් වහන්සේට අනෙකුත් සියලු දාර්ශනිකයන්ට වඩා නිවැරැදි ම වූ සත්‍යය වෙත ජනයා ළඟා කිරීමේ හැකියාව ලැබේ. අනෙකුත් දාර්ශනිකයන් තමනුත් සැබෑ සත්‍යය සොයනා ගමන් අනෙකාට මඟ පෙන්වීමට වෙහෙසේ. එහෙත් බුදුන් වහන්සේ තමා නිවැරැදි ව ම, එකාන්ත වශයෙන් ම සත්‍යය සොයාගෙන ම අනෙකාට සත්‍යය ප්‍රකාශ කරති.
මඳකට අපි නවීන විද්‍යාව හා බෞද්ධ දර්ශනය දෙසට යොමු වෙමු. මෙහිදී අපට අවශ්‍ය වනුයේ ‘නවීන’ යැ යි කියනු ලබන විද්‍යාවට වඩා බෞද්ධ දර්ශනයේ ඇති කාරණා කොතෙක් දියුණු හා ඉදිරියෙන් ඇත් දැ යි අවබෝධ කරගැනීම යි.
බටහිර ලෝකය විශ්වාස කරනුයේ විද්‍යාව මේ වන විට අතිශය දියුණු මට්ටමකට ළඟා වී ඇති බව යි. අප වැනි රටවල ද මෙම මතය තහවුරු කරමින් පවතී. එහෙත් ‘නවීන විද්‍යාව‘ යනු තවමත් කොතෙක් ළදරු විෂයයක් දැ යි බෞද්ධ දර්ශනය ගැන අධ්‍යයනය කරන ඕනෑ ම කෙනකුට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි සත්‍යයකි. මෙහිදී 1898දී ප්‍රංසයේදී සිදු වූ සිදුවීමක් මෙම කරුණ වඩාත් ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා උදාහරණයක් ලෙස ගනිමු. 1898 දිනෙක ප්‍රංසයේ පැරිස් නුවර ලුවී පාස්චර් ආයතනයේදී ලොව පුරා විසිරී සිටි ප්‍රධාන විද්‍යාඥයන්ගේ සහභාගීත්වයෙන් හා ලුවී පාස්චර්ගේ ප්‍රධානත්වයෙන් ලෝක විද්‍යාඥයන්ගේ සමුළුවක් පැවැත්විණි. මෙම සමුළුවේ අරමුණ විද්‍යාවේ පටු බව මොනවට විදහාපායි. මෙහි අරමුණ වූයේ, 1898 වන විට විද්‍යාව ලෝකයේ සොයාගැනීමට තිබූ සියල්ල සොයාගෙන අවසන් ය, මින් පසු ව විද්‍යාඥයන්ගේ කාර්යභාරය කුමක් ද යන්න යි…!
අද වන විට එම සමුළුව කොතරම් හාස්‍යජනක සමුළුවක් දැ යි ඕනෑ ම කෙනකුට පසක් වේ. වර්තමානයේ ද විද්‍යාව තම අභිමානය සම්බන්ධ ව මීට වඩා බොහෝ දියුණු තැනක සිටින්නේ යැ යි පිළිගැනීමට සැලැකිය යුතු සාධක හමු නො වේ.
විද්‍යාව විසින් ඩොලර් මිලියන ගණන් වැය කොට අලුතෙන් සොයාගන්නා ඇතැම් දේ මීට වසර දෙදහස් පන්සීයකට පෙර බුදුන් වහන්සේ තම ඥානයෙන් දැක දේශනා කළ දේ ම ය. ඒ සඳහා උදාහරණ කීපයක් විමසා බලමු:
විශ්වයේ උපත පිළිබඳ විද්‍යාත්මක මතය වන්නේ ‘මහා පිපිරුම් න්‍යාය’ යි. (The Big Bang Theory). මෙම මතයෙන් කියැවෙන මූලික අදහස නම් අධික ලෙස තෙරපීමට සහ සංකෝචනයට ලක් වූ කුඩා ශක්ති පුංජයක් (කැටියක් වැනි යමක්) තවදුරටත් එහි ශක්තිය දරාගත නොහැකි ව පුපුරා යෑමෙන් අප ජීවත් වන විශ්වය නිර්මාණය වූ බව යි. මෙම මතය වැඩි දියුණු කරන ප්‍රධාන විද්‍යාඥයන් අතර අමෙරිකාවේ කාල් සේගාන් (1934 – 1996) නම් විද්‍යාඥයා ප්‍රමුඛස්ථානයක් ගනී. ඔහු පසු ව ප්‍රකාශ කළේ තමා එම මතය වැඩිදියුණු කිරීමට මූලික අදහස ලබාගත්තේ ඉන්දියාවේ විසූ ගෞතම බුදුන් නම් කෙනකුගේ දේශනාවලින් බව යි (එහෙත් සත්‍යය නම් ත්‍රිපිටකය තුළ එම මතය සම්පූර්ණයෙන් ම අඩංගු ව ඇති බව යි. විද්‍යාඥයන් විසින් කර ඇති එක ම දේ අදාළ කාලයන් ගණනය කිරීම පමණි!). කාල් සේගාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ විද්‍යාඥයන්ට අලුතෙන් සොයාගැනීමට දෙයක් නැති බව යි. කිරීමට ඇත්තේ ගෞතම බුදුන් ප්‍රකාශ කළ දෑ පර්යේෂණාත්මක ව සොයාබැලීම පමණක් බව යි. ඇතැම් තැනක පසු කලෙක කාල් සේගාන් විද්‍යාඥයා බෞද්ධයකු වූ බව ද පැවැසේ.
වර්තමානයේ විශ්වයේ ස්වභාවය පිළිබඳ ව විද්‍යාව සොයාගත් දෑ බුදුන් වහන්සේ තම ත්‍රිපිටක දේශනා තුළ පැහැදිලි කරන ස්වරූපයන්වලට සහමුලින් ම සමාන වේ.
විද්‍යාව විස්තර කරනුයේ අප අයත් වන විශ්වයේ ස්වභාවය පිළිබඳ ව පමණි. මන්ද: විද්‍යාවට මේ වන විට ඉන් එහා අනුමාන කිරීමට වත් නොහැකි ය. එහෙත් බුදුන් වහන්සේ මේ විශ්වයේ පමණක් නො ව, වෙනත් විශ්වවල ස්වභාවයන් ද පැහැදිලි කරති. ප්‍රසාරණය වෙමින් පවත්නා විශ්ව, සංකෝචනය වෙමින් පවත්නා විශ්ව, ප්‍රසාරණය වී අවසන් වූ විශ්ව ආදි වශයෙන් නොයෙක් ආකාරයන්ගේ විශ්වයන් ගැන උන් වහන්සේ දේශනා කරති; විශ්වයන් ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් මෙම ලෝක ධාතුවේ ඇති බව ද මෙම සහස්සී ලෝක ධාතුව අනන්ත බව ද දේශනා කරති. අනෙක් වැදගත් කරුණ වන්නේ බුදුන් වහන්සේ මේ සියල්ල දේශනා කරන්නේ බටහිර විද්‍යාව, බටහිර ආගම් හා බටහිර දර්ශනය ලෝකය යනු කවුරුන් විසින් හෝ ඔසවාගෙන සිටින පැතලි තැටියක් බව ද හිරු සඳු තාරකා යනු දෙවිවරුන් ය යි ද සිතා සිටි සමයක වීම යි.
තවත් උදාහරණයක් ගන්නේ නම්, පෘථිවිය මත ජීවය ඇති වීම පිළිබඳ මූලික මත දෙකක් විද්‍යාවේ පවතී. පළමුවැන්න රසායනික පරිණාමික මතය යි. දෙවැන්න පෑනස්පර්මියා මතය හෙවත් කොස්මොසොයික වාදය යි(Cosmosoic Theory).  මින් දෙවැන්නෙන් කියැවෙන්නේ විශ්වයේ සිට පැමිණි මූලික ජීව අණු මගින් පෘථිවියේ ජීවය මූලාරම්භ වූ බව යි (මෙම මතය මහාචාර්ය ෆෙ‍්‍රඩ් හොයිල් සහ ලාංකික විද්‍යාඥ ආචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ යන අය විසින් හඳුන්වා දෙනු ලැබූවකි). මෙම මතය ද බෞද්ධ දර්ශනයේ තථාගත දේශනාවේ ඉතා පැහැදිලි ව සඳහන් වේ.
මෙවැනි උදාහරණ අතිවිශාල සංඛ්‍යාවක් සැපැයීමේ හැකියාව ඇත. මේ හැමෙකකින් ම සත්‍යාපනය වනුයේ කාල් සේගාන් විද්‍යාඥයාගේ ඉහත සඳහන් ප්‍රකාශය යි.
බුදුන් වහන්සේ මෙම කරුණු පැහැදිලි කරන්නේ ශ්‍රාවකයකු ඒ පිළිබඳ පැනයක් නැඟූ විට පමණි. සත්‍ය ලෙස ම බුදුන් වහන්සේ බොහෝ තැන්වල මෙම පැහැදිලි කිරීම් කරන්නේ ද ලෝක විෂය අනන්ත බව ද නිවන් මඟ සාක්ෂාත් කරගැනීම සඳහා මෙම කාරණා අදාළ නොවන බව ද දේශනා කිරීමෙන් අනතුරු ව යි. කෙසේ වුව ද සර්වඥතා ඥානයට හසු නොවන කිසිවක් විශ්වයේ නැති බව අවබෝධාත්මක ව වටහාගත හැකි වන්නේ බෞද්ධ දර්ශනය ගැන ප්‍රාමාණික ඥානයක් ඇතියකුට පමණි.
මේ අතර ඉඳුරා ම පැවැසිය යුතු යමක් ද තිබේ: විද්‍යාව කොතෙක් දියුණු වුව ද බෞද්ධ දර්ශනය විද්‍යාවෙන් පැහැදිලි කරගැනීමට යෑම අනුවණ කමක් බව යි. මන්ද: විද්‍යාවට බෞද්ධ දර්ශනය නිවැරැදි ව වටහාගැනීමට තවත් බොහෝ කාලයක්, සමහර විට වසර දහස්ගණනක් වුව ද ගත කිරීමට සිදු වන නිසා ය. සත්‍ය ලෙස ම සිදු කළ යුත්තේ බෞද්ධ දර්ශනය මගින් විද්‍යාව පැහැදිලි කරගැනීම යි

ඔබ විනෝදය ලෙස දකින්නේ තෘෂ්ණාවේ ගින්දරයි

උපුටා ගැනීම by

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්‍රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්‌කකොට පමණක්‌මයි. මේ සා අසිරිමත් රැකවරණයක්‌ වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක්‌ උදෙසා, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, තනතුරක්‌, දේපලක්‌ උදෙසා මගහරිනවානම් එම අනුවණකමේ විපාකයන් ඔබට අනාගතයේදී අවුරුදු ලක්‍ෂ ගණනාවක්‌ ගෙවන්නට සිදුවේවි.
පිංවත් ඔබට අයිති නැති දරුවෙක්‌, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌ උදෙසා ඔබට අයිති සද්ධර්මයේ රැකවරණය අහිමි කරගන්න එපා. මේ කෙටි මනුෂ්‍ය ජීවිතය, අතිදීර්ඝ දුකෙන් මිදීම උදෙසාම ප්‍රයෝජනයට ගන්න. බුදුරජාණන්වහන්සේ සාරසංඛ කල්ප ලක්‍ෂ ගණනාවක්‌ දස පාරමීධර්ම පිරුවේ පිංවත් ඔබ උදෙසාමයි. ඇස්‌ ගලව ගලවා දන්දුන්නේ, මහා සාගරයේ ජලය පරදවා යන තරමට රුධිරය දන්දුන්නේ, මහ පොළොවේ පස්‌ පරදවන තරමට ශරීර මාංශ දන්දුන්නේ පිංවත් ඔබ උදෙසාමයි. හය අවුරුද්දක්‌ දුෂ්කරක්‍රියා කෙරුවේ ඔබ උදෙසාමයි. නමුත් පිංවත් ඔබට ඇස්‌, මස්‌, ලේ දන්දෙන්න අවශ්‍යම නැහැ. රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා ඔබ තුළ සකස්‌වෙන ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන් පමණක්‌ ඔබ දන්දෙන්න. එවිට අප බෝධිසත්වයාණෝ ඔබ වෙනුවෙන් දන් දුන් ඇස්‌, මස්‌, රුධිරය වෙනුවෙන් ඔබ කෘතගුණ දැක්‌වූවා වෙනවා. ඔබට ලැබුණ මේ උතුම් අවස්‌ථාවේදී එවන් අසිරිමත් ශාස්‌තෘන්වහන්සේනමකට ණයකාරයෙක්‌ නම් වෙන්න එපා.
මාරයා සැඟවී බලා සිටිනවා, ඔබට දරුවාගේ සුරතල් පෙන්වලා, බිරිඳගේ, සැමියාගේ ආදරය පෙන්වලා, මෙවරත් ඔබව බුදුරජාණන් වහන්සේගේ ණයකාරයෙක්‌ කරවන්නට.
බැංකුවට ඔබ ණය වුණොත් දේපල රාජසන්තක කරාවී, බුදුරජාණන් වහන්සේට ඔබ ණය වුණොත් භවයේ සැපයම මාරසන්තක වෙනවා. දුකින් බැහැරට මගපෙන්වූ ඒ උතුම් ශාස්‌aතෘන්වරයාණන් වහන්සේට පිංවත් ඔබ නිරතුරුවම ඔබේ ජීවිතය තුළින් අලෝභ, අද්වේශ, අමෝහ සුවඳ කුසුම් පූජාකරන්න. බුදුරජාණන් වහන්සේ ඒ මල් සුවඳ නිරතුරුවම වර්ණනා කළා. ‘මේ ලෝකයේ කිසිම මනුෂ්‍යයකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට විඳින්නට තබා සිතන්නවත් බැරි අප්‍රමාණ වූ දුක්‌ කන්දරාවක්‌ සය අවුරුද්දක්‌ පුරා මම දුෂ්කරක්‍රියා කළ කාලයේදී වින්දා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
මේ හැම දුක්‌ගැහැටක්‌ම උන්වහන්සේ කැමැත්තෙන්ම දරාගත්තේ පිංවත් ඔබ මේ මොහොතේ ලබන සද්ධර්මයේ සැනසිල්ල ඔබට ලබාදීමටයි. එවන් අසිරිමත් ශාස්‌තෘන්වහන්සේ නමක්‌ වෙනුවෙන් නිරතුරුවම පිංවත් ඔබ තුළ අලෝභ, අද්වේෂ, අමෝහ සිතිවිලි ඇතිකරගෙන බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිතෙන් මවාගෙන ඒ පවිත්‍ර සිත බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයන්, ඥානයන්ට නිරතුරුවම ඔබ මනසින් සමීපවෙන්න. එවිට පිංවත් ඔබ තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අයෝමය විශ්වාසයක්‌ සකස්‌ වේවී.
භික්‍ෂුවට මතකයි අතීතයේ එක්‌තරා දවසක උදෑසන සුදු සරමක්‌ සුදු කමිසයක්‌ බෑගයක දමාගෙන උදෑසන 5ට බසයේ නැගලා, කිසිම ඥාතියෙක්‌ හිතවතෙක්‌ ගෙන් තොරව භික්‍ෂුව පැවිදිවීම සඳහා උපන් නිවසින් පිටව ගිය ආකාරය. එදා පටන් මේ මොහොත දක්‌වා භික්‍ෂුවට අයෝමය ශක්‌තිය වුණේ බුදුරජාණන් වහන්සේමයි. ස්‌ථිර වාසස්‌ථානයක්‌ නොමැතිව තැන්තැන්වල ආරණ්‍යවල හුදෙකලා කුටිවලට ගිය ගමනේදී සමහර පිංවතුන්ලා භික්‍ෂුව හැඳින්වූවේ ‘අහිගුන්ඨක භික්‍ෂුව’ කියලා. මගේම කණට ඇසිලා තියෙනවා පිංවතුන්ලා එහෙම කියනවා. මා හඳුනාගත්තා ඒ කථාකරන්නේ මාරයාය කියලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තුළින් ඒ වෙලාවේ භික්‍ෂුව මාරයාව හඳුනාගෙනයි තිබුණේ. මාරයාට අවශ්‍ය වුණේ ‘අහිගුන්ඨක හාමුදුරුවෝ’ කියන නම පටබැඳලා මා තුළ ලැ-ජාව සකස්‌ කරලා ආරණ්‍යයක, පන්සලක ස්‌ථිර නිත්‍ය පදිංචිකරුවෙක්‌ කරන්න. උතුම් පැවිද්ද ලැබීමට පෙරාතුවම මාරයාගේ එම අවකාශය මම බලාපොරොත්තුවුණා. භික්‍ෂුවට, ස්‌ථිර නිත්‍ය තැනක්‌ නැති ‘අහිගුණ්‌ඨක හාමුදුරුවෝ’ කියනකොට මට සතුටක්‌ ඇතිවුණා. භික්‍ෂුව කල්පනා කළේ, සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ, මහා කාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේටත් ස්‌ථිර, නිත්‍ය තැනක්‌ තිබුණේ නැහැ නේද කියලා. ඒ කියන්නේ උන්වහන්සේලාත් ‘අහිගුණ්‌ඨක’ ජීවිත ගතකළේ. ඒ උතුම් ජීවිතය මටත් ලැබීම භාග්‍යයක්‌කොටයි භික්‍ෂුව සැලකුවේ. ඒ ‘අහිගුණ්‌ඨක භික්‍ෂුව’ කියන නාමය භික්‍ෂුවට ලැබුණු ගෞරව නාමයක්‌ ලෙසයි භික්‍ෂුව මේ මොහොතේත් දකින්නේ. ඒ ගතකළ අහිගුණ්‌ඨකභාවයමයි මේ සටහන් ලියන්න අවශ්‍ය අවබෝධය ලබාදුන්නේ. මොකද භික්‍ෂුවට පැවිදිවෙන්න පෙරාතුව කවදාකවත් බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ සූත්‍ර පොතක්‌ කියවා තිබුණේ නැහැ. කවදාවත් භාවනා පංතියකට ගිහින් තිබුණේ නැහැ. ජීවිතේ කවදාවත් දහම් පාසලකට ගිහින් තිබුණේ නැහැ. භික්‍ෂුව ගිහිකාලයේ අධ්‍යාපනය ලැබුවේ ක්‍රිස්‌තියානි පාසලක. එහි බුදුදහම ඉගැන්වුවේ 7 වැනි ශ්‍රේණියෙන් පසුවයි. මෙවැනි පසුබිමක්‌ තුළ ‘අහිගුණ්‌ඨක හාමුදුරුවෝ’ කියන අර්ථයේම ඵලයයි මේ භික්‍ෂුව. අහිගුණ්‌ඨක කියන වචනයේ අර්ථය මෙතැනදී භික්‍ෂුව දකින්නේ ‘අතහැරීම’ කියන අර්ථයෙන්. ඔබ අතහැරිය යුත්තේ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව පමණක්‌මයි. එතැනදී ඔබට මුළු සද්ධර්මයේම රැකවරණය ලැබෙනවා. සද්ධර්මයේ රැකවරණය ලබාගත් තැනැත්තාට මිනිස්‌, දෙව්, බඹුන් තුන් ලෝකයේම ගරු බුහුමන් ලැබෙනවා. ‘ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ල ලැබෙයි’ කියන අර්ථය භික්‍ෂුව නිරතුරුවම කියන්නේ ඉහත අත්දැකීම නිසාමයි.
භික්‍ෂුවට ඉහත ශක්‌තිය ලබාදුන්නේ, සසර පිළිබඳ ඇතිකරගත් බිය විසින්මයි. මේ බිය සකස්‌ කර දුන්නේ තෙරුවන් කෙරෙහි ඇතිකරගත් ශ්‍රද්ධාවයි.
සමාජය තුළ පිංවතුන්ලා විනෝදවෙනකොට, සෙල්ලම් කරන විට භික්‍ෂුවට හරි බයක්‌ දැනෙනවා, ඔබලා පිළිබඳව. විනෝදවෙන්න සෙල්ලම් කරන්න පුළුවන් ලෝකයක්‌ නොවෙයි මේක. ලෝකය නිරතුරුවම ගිනිගන්නවා තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවේ ගින්දරයි ඔබ විනෝදය, සෙල්ලම හැටියට දකින්නේ. නොදන්නාකම නිසාම ගින්දරත්, විනෝදයත් සෙල්ලමක්‌ කොටගනිද්දී පිච්චීමට අදාළ සංස්‌කාරයන් අනාගත විපාකයන් පිණිස සකස්‌වෙනවා. පරිස්‌සමෙන් විනෝදවෙන්න. තෘෂ්ණාව කියන්නේ ගින්දරක්‌. අනුනගේ විනෝදය, සෙල්ලම ඔබ ගින්දරක්‌ ලෙස දකිමින් ඒ ගිනි නිවන දිශාවට යොමුවෙන්න

බුදු වූ දා

උපුටා ගැනීම by

“සත්‍යය සොයා නොයෙක් දෑ කළා. එහෙත් ඒ එකකින් වත් පලක් වුණේ නැහැ. මේ දුෂ්කර ක්‍රියාවත් එසේ ම යි.” සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියාව අත්හළේ ය. පසෙක තබා තිබූ පාත්‍රය මහත් වාරුවෙන් වුව අතට ගත්තේ පිඬු සිඟා වැඩ ආහාර ටිකක් සොයාගන්නට ය. එතුමා ටිකෙන් ටික ආහාර වළඳන්නට විය. දුර්වල ව පැවැති ශරීරය යළි ශක්තිමත් වන්නට විය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ද ප්‍රකෘතිමත් වන්නට විය. මෙතෙක් කල් සිදුහත් තවුසාගේ උපස්ථානයට පැමිණ සිටි පස්වග භික්‍ෂූහු මෙය දුටුවහ.
සාම්ප්‍රදායික රාමුවේ ම සිර වී සිටි ඔවුන්ට මෙය වටහාගත නොහැකි විය. “දුෂ්කර ක්‍රියාව අත්හැරදමා ආහාර සොයා යන මේ තවුසාගෙන් ඇති ඵලක් නැතැ” යි සැලකූ ඔවුහු එතුමා අතහැර ගියෝ ය. දැන් මේ යොවුන් තවුසාට උපස්ථානයට වත්, මිතුරු දම් පවත්වන්නට වත් කිසිවෙක් නැත. හෙතෙම මහ වනයේ තනි වූවෙකි.
මේ කාලයේ උරුවෙල් දනවුවෙහි සේනානි නියම්ගම සේනානි කෙළෙඹියාගේ නිවෙසෙහි උපන් සුජාතා නම් දැරියක් වියපත් ව නුගරුකක් වෙත ප්‍රාර්ථනාවක් තැබුවා ය. ඇයගේ පැතුම වූයේ සමාන ජාතික කුල ගෙදරකට ගොස් ලබන පළමු දරුවා පුතකු වීම ය. දැන් එම පැතුම ඉටු වී ඇත. ඇය සිය පැතුම ඉටු කර දුන් ඉටු දෙවියන් වෙනුවෙන් වසරක් පාසා බලි කර්මයක් කරයි. ඒ අනුව දෙනුන් දහසක් අලුතෙන් හටගත් වැල්මී වනයෙහි හසුරුවා ඔවුන්ගෙන් ලබාගත් කිරි පන්සියයක් දෙනුනට පොවයි.
එම පන්සියයෙන් ලබාගත් කිරි තවත් අඩ ප්‍රමාණයකට ද වශයෙන් පොවා කෙමෙන් කෙමෙන් දෙනුන් දහසයකට ද, අටකට ද පොවයි. එම දෙනුන් අටදෙනාගෙන් ලබාගත් කිරිවලින් මී කිරිබතක් සකසයි. සුජාතා තොමෝ එම කිරිබත රුක් දෙවියනට පුදන්නට ගියා ය. එහෙත් එම කිරිබත පිළිගත්තේ රුක්මුල වැඩ හුන් සිදුහත් තවුසා ය.
බෝසතාණන් වහන්සේ පිඬු හතළිස් නවයකට කරමින් වැළැඳූ එම ආහාරය දින හතළිස් නවයකට ම ප්‍රමාණවත් විය. දන් වළඳා අවසන පාත්‍රය උඩු ගං බලා යැවූවේ එදින බුදු වන බව ස්ථිර ව දැනගැනීමට ය. පාත්‍රය ගං මැදට ගොස් එතැන් පටන් ජව සම්පන්න අශ්වයකු මෙන් රියන් අසූවක් පමණ උඩුගං බලා ගොස් එක් දිය සුළියකට හසු වී කාල නාරජුගේ භවනයට ගියේ විය. එහි මීට පෙර බුදු වූ බුදුවරයන් වහන්සේ තුන්නමගේ පාත්‍ර වේ. සිදුහත් තවුසාගේ පාත්‍රය එම පාත්‍ර තුනෙහි ගැටී නැඟූ “කිලි කිලි” ශබ්දය ඇසූ කාල නාරජු “ඊයේ එක බුදුවරයෙක් පහළ විය. නැවත අදත් බුදුවරයෙක් පහළ වියැ” යි නොයෙක් සිය ගණන් පදවලින් ස්තුති කරමින් නැගී සිටියේ ය. ඒ නාරජුට මහ පොළොවෙන් එක් යොදුන් තුන් ගවුවක් පමණ අහස පුරවා ඉහළට නගින කල්හි මේ බුද්ධාන්තර කාලය දැනෙනුයේ අද-ඊයේ මෙනි.
බෝසතාණන් වහන්සේ නදී තෙර සුපිපි සල් වනයෙහි දිවා විහරණය කළ සේක; අනතුරු ව සවස් කාලයෙහි බෝ රුක මුලට වැඩම කළහ. ගමන අතරමඟදී හමු වූ සොÀථිය නම් තණ ගෙනයන්නා විසින් දුන් තණ මිටි අට ද ගත් එතුමා බෝ රුක මුලදී තණ’ග ගෙන සෙලවූයේ ය. එකෙණෙහි ම රියන් දහහතරක පලඟක් ඇති විය. උන් වහන්සේ එහි වැඩ හුන්හ; ශරීරයේ සම්, නහර, ඇට ගැන වත් නොසිතා දැඩි අධිෂ්ඨානයෙන් සත්‍යවබෝධය කරමි යි වීර්යය ගෙන හුන්හ. මාරයා සිය මාර සේනාවත් රැගෙන පැමිණියේ මේ අවස්ථාවේදී ය.
කෙලෙස්වලට, මරණයට ආදියටත් මාරයා හා මාර සේනා ප්‍රඥප්තිය දෙන බව සැබෑ ය. එහෙත් මෙහි සඳහන් මාරයා හා මාර සේනාව යනු පුද්ගලයෝ ය. එහිදී මේ ‘කෙලෙස්’ සහ ‘පුද්ගල’ යන දෙවර්ගයේ ම මාරයන් හා මාර සේනා සමඟ සටනක් සිදු වී ඇත.
සුත්තනිපාත අටුවාවට අනුව මාරයා යනු වසවත්ති භූමියෙහි එක්තරා දාමරික දිව්‍ය පුත්‍රයෙකි. ඔහු සිය විෂයය ඉක්මවා යනු කැමැති වෙයි. මාරයා යනු සැබැවින් ම පුද්ගලයකු බව පැහැදිලි වන්නේ මුගලන් හිමියන්ගේ කථාවකිනි. ඒ අනුව මුගලන් හිමියෝ දිනක් මාරයාට මෙසේ වදාළහ:
“පවිට, පෙර වූවක් කියමි. මම පෙර දූසි නම් මාරයා වූයෙමි. ඒ මට කාළි නම් නැගණියක් විය. ඔබ ඇයගේ පුත්‍රයා ය. ඔබ එකල මාගේ බෑනා ය.”
තව ද මුගලන් හිමි පෙර දූසි මාරයා ව සිටි කල්හි කකුසන්‍ධ තථාගතයන් වහන්සේ ලොව පහළ වූ හ. ඒ දූසි මාරතෙමේ කකුසන්‍ධ බුදුරදුන්ට හා උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බොහෝ හිරිහැර කළේ ය; හිරිහැර කොට දිව්‍යාත්මභාවයෙන් චුත ව මහනිරයෙහි ඉපිද බොහෝ කලක් දුක් වින්දේ ය. ගෞතම බුදුන් වහන්සේ ලොව පහළ වූයේ ඉන් බොහෝ කලකට පසු ව ය. කෙසේ වෙතත් අප බෝසතාණන් වහන්සේ බුදු වන කල්හි කරදර කිරීමට පැමිණියේ මුගලන් හිමි වෙත පැමිණ මුලින් සඳහන් කළ පාපී මාරයා ය. ඔහු නොයෙක් වැසි වස්වමින් සිදුහත් තවුසා බිය ගන්වා පලවාහැරීමටත්, මැරීමටත් උත්සාහ ගත් මුත් ඒ සියලු උත්සාහයන් නිරර්ථක විය. අනතුරු ව හෙතෙම සිය සේනාවත් සමඟ පලා ගියේ ය.
මේ වන විට බෝසතාණන් වහන්සේ ආනාපානසති භාවනාවෙහි යෙදෙමින් සිටිති. සිත දැහැන්ගත වී මනා ව තැන්පත් වී ඇත. මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, කෙලෙස් නැති වූ කල්හි, උපකෙලෙස් පහ ව ගොස් මෘදු වූ කල්හි, නිසල බවට පත් වූ කල්හි උන් වහන්සේ පෙර විසූ කඳපිළිවෙළ දක්නා නුවණ ලබනු පිණිස සිත යොමු කළහ. උන් වහන්සේට කෙමෙන් කෙමෙන් පෙර ජාති පෙනෙන්නට විය. පෙර ජීවිත එකක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත සතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පණහක්, ජීවිත සියයක් මේ ආදි වශයෙන් බොහෝ පමණ කළ නොහැකි තරම් කල්ප ගණන් දැකීමේ හැකියාව ඇති පුබ්බේනිවාසානුස්සති ඤාණය පහළ විය.
‘අසවල් තැනදී මම මෙනම් ඇති ව විසුවෙමි; මේ ගෝත්‍ර ඇතියෙම් වීමි; මෙබඳු පැහැ ඇතියෙම් වීමි; මෙබඳු ආහාර ඇතියෙම් වීමි; මෙබඳු සුව-දුක් විඳින්නෙම් වීමි; මෙතෙක් ආයු ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත ව අසවල් තැන උපන්නෙමි; එහි මෙනම් ඇත්තේ වීමි; මේ ගෝත්‍ර ඇතියෙම් වීමි…’ මේ ආදි වශයෙන් අනේකවිධ වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන්නට වූ හ.
යම් සේ පුරුෂයෙක් සිය ගමෙන් අන් ගමකට යන්නේ ද, ඒ ගමෙන් තවත් ගමකට යන්නේ ද, ඒ ගමෙනුත් තවත් ගමකට යන්නේ ද, අනතුරු ව නැවැතත් සිය ගමට ම පෙරළා එන්නේ ද එබඳු අයකුට මෙසේ සිතෙයි: ‘මම වූකලි මගේ ගමෙන් අසවල් ගමට ගියෙමි; එහි මෙසේ සිටියෙමි; මෙසේ හුන්නෙමි; මෙසේ කථා කළෙමි; මෙසේ නිහඬ වීමි; ඒ ගමෙනුත් අසවල් ගමට ගියෙමි; එහි ද මෙසේ සිටියෙමි; මෙසේ හුන්නෙමි; මෙසේ කීමි; මෙසේ නිහඬ වීමි. ඒ මම ඒ ගමෙන් මගේ ගමට ම පෙරළා ආවෙමි,’ යනුවෙන් ඒ පුරුෂයාට සිත් ඇති වන ආකාරයට පුබ්බේනිවාසානුස්සති ඤාණ ලාභියාට ද පෙර ජීවිත පිළිබඳ ව විස්තර දැනෙයි; පෙනෙයි. බෝසතුන් වහන්සේට මේ ඤාණයට පහළ වූයේ රාත්‍රී පළමු යාමයේදී ය.
රාත්‍රී මධ්‍යම යාමය උදා විය. පිරිසිදු සිත් ඇති බෝසත් තෙම තවත් ඤාණයකට සිත යොමු කළේ ය. ඒ චුතූපපාත ඤාණයට ය. ඒ ඤාණය මෙබන්දකි: එනම්; සතර මං සන්ධියක මහල් සහිත නිවෙසක් වේ. එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියි. ඔහු නිවෙසට පිවිසෙන අයත්, නිවෙසින් නික්මෙන අයත්, වීථියෙහි ඈත-මෑත යන එන අයත්, සිවු මං සන්‍ධිය මැද හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට ‘මේ මිනිස්සු නිවෙසට පිවිසෙති, මේ මිනිස්සු නිවෙසින් නික්මෙති, මේ මිනිස්සු වීදියෙහි ඈත-මෑත ගමන් කරති, මේ අය සිවු මං සන්‍ධිය මැද හුන්නෝ වෙති’ යනුවෙන් සිතක් ඇති වන්නේ ය.
එපරිදි ම බෝසතාණන් වහන්සේ සිත සමාහිත ව, පිරිසිදු ව, කෙලෙස් නැති ව, මෘදු ව, නිසල බවට පත් වූ කල්හි සත්ත්වයන්ගේ චුතියත් උපතත් දක්නා මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දිවැසින් සත්ත්වයන් හීන-ප්‍රණීත; සුගති-දුර්ගති ස්ථානවල උපදින අයුරු මැනැවින් දුටහ; කයින්, වචනයෙන්, මනසින් දුසිරිතෙහි හැසිරී, ආර්ය උතුමන්ට උපවාද කොට, මිථ්‍යා දෘෂ්ටික ව, මිථ්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වී සිටියවුන් කය බිඳී මරණින් පසු අපායෙහි උපදින සැටි දුටහ; තව ද කයින්, වචනයෙන්, මනසින් සුසිරිතෙහි හැසිරී, ආර්ය උතුමන්ට උපවාද නොකොට, සම්මාදිට්ඨික ව, සම්මාදිට්ඨික කර්ම සමාදන් ව සිටියවුන් කය බිඳී මරණින් පසු සුගති වූ ලෝකයන්හි උපදින සැටි ද දුටහ. මෙලෙස බෝසතුනට කර්මානුරූපී ව සත්ත්වයන් ඒ ඒ තැන උපදින – චුත වන අයුරු දක්නා ඤාණය පහළ විය.
රාත්‍රියෙහි පශ්චිම යාමය උදා විය. බෝසතුනට මෙසේ සිත් විය:
“මේ ලෝ වැස්සෝ දුකට පත් ව සිටිති. ඔවුහු උපදිති; දිරති; මිය යති; චුත වෙති; නැවැතත් උපදිති; එහෙත් මේ ජරා-මරණ දුකින් ඉක්ම යෑමක් නො දනිති. කවර දා නම් මේ ජරා-මරණ දුක අවසන් වීමක් පෙනෙන්නේ ද? කුමක් ඇති විට ජරාමරණ වේ ද? කිනම් ප්‍රත්‍යයකින් ජරාමරණ වේ ද? ඉපදීම ඇති විට ජරා- මරණ වේ. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා-මරණ වේ” යනුවෙන් බෝසතුන්ට අවබෝධ විය. එතුමා තවදුරටත් නුවණින් විමසන්නට, මෙනෙහි කරන්නට විය: “කුමක් ඇති විට මේ ඉපදීම වේ ද? කිනම් ප්‍රත්‍යයකින් ඉපදීම වේ ද? භවය ඇති විට ඉපදීම වේ. භවය ප්‍රත්‍යයෙන් ඉපදීම වේ.”
මේ ආකාරයට නුවණින් මෙනෙහි කළ බෝසතුනට ඇති තතු වැටැහිණි. ඒ අනුව ජරා-මරණයනට හේතුව ඉපදීම යි. ඉපදීමට හේතුව භවය යි. භවයට හේතුව දැඩි ව බැඳී යෑමයි (අපදාන). දැඩි ව බැඳී යෑමට හේතුව තණ්හාව යි. තණ්හාවට හේතුව ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන් හා මනසින් යන ආයතන සයෙන් ඇති වන සැප, දුක්, උපේක්‍ෂා විඳීම් ය. ඒ විඳීමට හේතුව ස්පර්ශ වීම ය. ස්පර්ශ වීමට හේතුව ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යනුවෙන් ආයතන සයක් පැවැතීම ය. ආයතන සයක් ඇති වීමට හේතුව නාම-රූප ය (එනම් “නාම” යනු විඳීම (වේදනා), හඳුනාගැනීම (සඤ්ඤා), චේතනා, ස්පර්ශය, මෙනෙහි කිරීම (මනසිකාර) යන පහ යි. රූප යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ (තද බව, වැගිරෙන බව, උණුසුම, වායුව) යන සතර මහා ධාතූන්, එම ධාතූන් නිසා හටගත් දෑත් යනුවෙන් රූප ය). එම නාම-රූපයනට හේතුව විඤ්ඤාණය යි (සිත යි; විශේෂයෙන් දැනගැනීම යි). විඤ්ඤාණයට හේතුව සඞ්ඛාරවලට හේතුව චතුරාර්ය සත්‍යය නොදැනීම නම් වූ අවිද්‍යාව යි.
මෙලෙස අවිද්‍යාව නිසා සඞ්ඛාර වේ. සඞ්ඛාර නිසා විඥානය වේ. විඥාන නිසා නාම රූප වේ. නාම-රූප නිසා ආයතන සය වේ. ආයතන සය නිසා ස්පර්ශය වේ. ස්පර්ශය නිසා විඳීම වේ. විඳීම නිසා තණ්හාව වේ. තණ්හාව නිසා දැඩි ව බැඳී යෑම වේ. දැඩි ව බැඳී යෑම නිසා භවය වේ. භවය නිසා උපත වේ. උපත නිසා ජරා, මරණ, ශෝක, වැලැපීම් ආදි දුක් ඇති වේ. මෙලෙස සියලු දුක් රැසෙහි ම හට ගැනීම වේ. මේ ආකාරයට බෝසතාණන් වහන්සේට “හටගැනීම, හටගැනීම” යනුවෙන් පෙර නෑසූ ධර්ම විෂයයෙහි දහම් ඇස පහළ විය; නුවණ පහළ විය; ප්‍රඥාව පහළ විය; විද්‍යාව පහළ විය; ආලෝකය පහළ විය.
හටගැනීම හෙවත් සමුදය පිළිබඳ ව මෙනෙහි කළ බෝසතුන්ගේ සිත අනතුරු ව නිරෝධය (නිරුද්ධ වීම) කෙරෙහි යොමු විය.
“කුමක් නැති විට ජරා-මරණ නො වේ ද? කිමෙක නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ද? ඉපදීම නැති විට ජරා-මරණ නො වේ. උත්පත්ති නිරෝධයෙන් ජරා-මරණ නිරෝධය වේ,” යනුවෙන් බෝසතුන්ට අවබෝධ විය. එතුමා තවදුරටත් නුවණින් විමසන්නට, මෙනෙහි කරන්නට විය.
“කුමක් නැති විට මේ ඉපදීම නො වේ ද? කිමෙක නිරෝධයෙන් උත්පත්ති නිරෝධය වේ ද? භවය නැති විට උපත නො වේ. භව නිරෝධයෙන් උත්පත්ති නිරෝධය වේ.”
මෙලෙස මෙනෙහි කළ බෝසතුනට නිරෝධය පිළිබඳ ව ද නුවණ පහළ වන්නට විය. ඒ අනුව උපත නැති විට ජරාමරණ නො වේ. භවය නැති විට උපත නො වේ. දැඩි ව බැඳී යෑම නැති විට භවය නො වේ. තණ්හාව නැති විට දැඩි ව බැඳී යෑමක් නො වේ. විඳීම නැති විට තණ්හාව නො වේ. ස්පර්ශය නැති විට විඳීමක් නො වේ. ආයතන සය නැති විට ස්පර්ශය නො වේ. නාම-රූප නැති විට ආයතන සය නො වේ. විඤ්ඤාණය නැති විට නාම-රූප නො වේ. සඞ්ඛාර නැති විට විඤ්ඤාණය නො වේ. අවිද්‍යාව නැති විට සඞ්ඛාර නො වේ.
මෙලෙස අවිද්‍යාව නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වේ. සඞ්ඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාම-රූප නිරෝධය වේ. නාම-රූප නිරෝධයෙන් ආයතන සය නිරෝධය වේ. ආයතන සය නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ. තණ්හා නිරෝධයෙන් දැඩි ව බැඳී යෑම නිරෝධ වේ. දැඩි ව බැඳී යෑම නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් උපත නිරුද්ධ වේ.
උපත නිරුද්ධ වීමෙන් ජරා-මරණාදි දුක් නිරුද්ධ වේ. මෙලෙස සියලු දුක් රැසෙහි ම නිරුද්ධ වීම වේ. මේ ආකාරයට බෝසතාණන් වහන්සේට “නිරෝධය, නිරෝධය” යනුවෙන් පෙර නෑසූ ධර්ම විෂයයෙහි දහම් ඇස පහළ විය; ඤාණය පහළ විය; ප්‍රඥාව පහළ විය; විද්‍යාව පහළ විය; ආලෝකය පහළ විය. අනිත්‍ය ද, දුක ද, අනාත්මය ද අවබෝධ වී සිත කෙලෙසුන් කෙරෙන් නිදහස් විය. ආස්‍රව ක්‍ෂය කර ආසවක්ඛය ඤාණය ද ලැබූ සේක. මෙලෙස පුබ්බේනිවාසානුස්සති, චුතූපපාත, ආසවක්ඛය යන ඤාණ තුන ලැබීමෙන් ත්‍රිවිද්‍යා ලාභී වූ එතුමා අරුණ උදා වන කල්හි උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් විය.
සසර බොහෝ කලක් සොයා පැමිණි සත්‍යය හමු විය. සියලු බන්ධනවලින් නිදහස් විය. සිතට දැනුණ අපිරිමිත නිදහසත්, ඒ තුළින් පැනනැගුණු සතුටත් නිසා උදානයක් පහළ විය:
“අනේකජාති සංසාරං
සන්‍ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං,”
“භවයෙහි නැවැත නැවැත උපත යම් හෙයකින් දුක ද, එහෙයින් ජීවිතය නමැති ගෙය කරන තණ්හාව නමැති වඩුවා සොයන මම මෙතෙක් කල් මුළුල්ලෙහි නොයෙක් ජීවිතවල නැවැත නැවැත උපදිමින් සසර ඇවිද්දෙමි.”
“ගහකාරක දිට්ඨෝසි
පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා
ගහකූටං විසඞ්ඛිතං
විසඞ්ඛාරගතං චිත්තං
තණ්හානං ඛයමජ්ක්‍ධගා.”
“එම්බා වඩුව, මා විසින් දැන් ඔබ දක්නා ලද්දේ වෙහි. නැවැත ඔබ මට ගෙයක් නො කරන්නෙහි ය. ඔබගේ සියලු කෙලෙස් නමැති පරාල බිඳදමන ලදි. ඔබ කළ ගෘහයෙහි අවිද්‍යාව නමැති කැණිමඬල මා විසින් විසුරුවා හරින ලදි. දැන් මා සිත නිවනට පත් විය. තණ්හාව ක්‍ෂය වීම යැ යි කියන ලද රහත් පලයට මම පැමිණියෙමි.”
බුදු රජාණන් වහන්සේ උතුරා යන පී‍්‍රතියෙන් යුක්ත ව මේ උදානය මෙනෙහි කරන්නට විය.
“අයෝඝනහතස්සේව
ජලතෝ ජාතවේදසෝ,
අනුපුබ්බුපසන්තස්ස
යථා න ඤායතේ ගති,
“යකුළෙන් ඇති කළ නැගී දිලිසෙන ගින්න පිළිවෙළින් නිවුණු කල්හි ඒ ගින්න ගිය තැනක් යම් සේ නො පැනේ ද,
“ඒවං සම්මා විමුත්තානං
කාමබන්ධෝඝතාරිනං,
පඤ්ඤාපේතුං ගති නÀථි
පත්තානං අචලං සුඛං.”
“එසේ ම කාම ප්‍රබන්ධය නමැති සැඩ පහර ද සෙසු කෙලෙස් සැඩ පහරවල් ද තරණය කළ, නොසැලෙන නිවන් සුවයට පැමිණි රහතුන්ගේ දෙව් මිනිස් ආදි ගති අතරින් මෙනම් ගතියකට පැමිණියේ යැ යි පනවන්නට ගතියක් නැත.”
(දීඝනිකායේ මහාවග්ග අට්ඨකථාව)
බොහෝ තැන්වල බුදුරදුන්ගේ පළමු උදානය වශයෙන් දැක්වෙනුයේ ඉහත පළමු ගාථා දෙක පමණි. එහෙත් දීඝ නිකාය අටුවාවට අනුව පසු ව දැක්වෙන ගාථා දෙක ද පහළ කොට ඇත.
මීට වසර දෙදහස් හයසිය ගණනකට පෙර බෝසතාණන් වහන්සේ විසින් සිදු කළ ආර්ය පර්යේෂණයෙන් ලද ශ්‍රී සද්ධර්මය නමැති ප්‍රතිඵල තවමත් සුරැකි ව ඇත. තථාගතයන් වහන්සේ විසින් සොයාගත්, නැවැත අපට අමුතුවෙන් සොයා නොගත යුතු වූ ඒ දහම අවබෝධ කිරීම ම අප සැමගේ කටයුත්ත බව මේ පින්බර වෙසක් සමයෙහි ද සිහිපත් කරමි.