පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Thursday, June 6, 2013

තුන් ලොවම ඒකාලෝක කළ සම්මා සම්බුදු අසිරිය


උපුටා ගැනීම by
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි වෙනත් ශාස්තෘවරයකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට සමාන කළ නොහැකි ය. එබැවින් උන්වහන්සේ අසම සම වෙති. ඒ අසම උත්තමයන් වහන්සේ තවත් අසම වූ ලොව්තුරා බුදුවරයකුට ම සමවන සේක. එසේ අසම උත්තමයන්ට සමවන හෙයින් බුදුවරු අසමසම වෙති. බුද්ධත්වය ලබා ගැනීම සඳහා අසීමිත කාලාන්තරයක් පුරා පෙරුම් දම් පිරියයුතු ය. ප්‍රඥාධික බෝසත්වරයෙක් නියත විවරණ ලබාගත්තායින් පසු සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්දම් පිරිය යුතු ය. ශ්‍රද්ධාධික බෝසත්වරයෙක් ‘අටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්’ පාරමී සම්පූර්ණ කළ යුතු ය. වීර්යාධික බෝසත්වරයෙක් ‘සොළසාසංඛ්‍ය’ දාසය අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ කළ යුතු ය.
සිදුහත් කුමරු උපත ලබා මාස ගණනාවකට පසු සුද්දෝධන මහා රාජයා වාර්ෂිකව පවත්වනු ලබන වප්මඟුල් උත්සව අවස්ථාව ද එළඹුණේ ය. රජතුමා සිඟිති සිදුහත් කුමරා ද රාජකීය දෝළාවක තබාගෙන සීසාන කෙතට රැගෙන ගොස් කුඹුර සමීපයෙහි වූ දඹරුකක් යට යහනක් පනවා කුමරු එහි සතප්වා, සී සෑමේ රාජකීය වප්මඟුල් උළෙල ආරම්භ කළේ ය. වප්මඟුල් උළෙලේ අසිරිය බැලීමට සිදුහත් කුමරුට රැකවරණයට සිටි කිරිමව්වරු තිරයෙන් පිටතට පැමිණියහ. ජාතිස්මරණ ඥානයෙන් යුත් ළදරු මහබෝසතාණෝ වටපිට බලා කිසිවකු නො සිටි හෙයින් වහා නැගිට යහනෙහි පලක් බැඳ වැඩහිඳ ආනාපානසති භාවනාව වඩා ප්‍රථම ධ්‍යානයට සමවැද සිටියහ. කුඩා වියේදී ම එසේ ධ්‍යානගත වීමට හැකි වූයේ බෝධිසම්භාර ධර්මයන් පුරණ සමයෙහි අපරිමිත කාලාන්තරයක සිට ආනාපාන සතිය පුරුදු කර ගෙන සිටි නිසා ය. බුද්ධත්වය සඳහා පාදක වූයේ ද මේ ආනාපාන සති භාවනාව බව දත යුතු ය.
ගිහි කාලයෙහි රම්‍ය, සුරම්‍ය, සුබ යන තුන් සෘතුවට ගැළපෙන මාලිගාවල රාජසම්පත් විඳිමින් සිට, දාසය වන වියේ දී යශෝධරාවන් සමඟ අතිනත ගෙන, රාජාභිෂේකය ද ලබා තෙළෙස් වසරක් මුළුල්ලේ රජකම් කොට, ලෙඩෙක්, මහල්ලෙක්, මළමිනියක් හා පැවිදි රුවක් යන සතර පෙරනිමිති දැක විසි නවවන වියේ දී සසර කලකිරී, රාහුල පුතු උපත ලද දිනයේ ම මහබිනික්මන් කළේ ය. ශාක්‍ය, කෝලිය, මල්ල රාජධානි පසුකර, දීර්ඝ ගමනකට පසු මහබෝසතාණෝ පසුදා උදේවරුවෙහි අනෝමා නදී තීරයට පැමිණ අසුපිට හිඳගෙනම අනෝමා ගඟ තරණය කොට රමණීය වැලිතලාවෙහි සිටියහ.
මේ අවස්ථාවෙහි ඇතිවූයේ අහසෙහි අමුතු අසිරියෙකි. ලාකළුවළාවන්ගෙන් අහස පිරීගියේ ය. පුළුල් අනෝමා නදියෙහි ගලායන ජලධාරාව ද ඒ වර්ණය ම ගත්තේ ය. අහසෙහි මේ කළුවළා පෙළට මැදින් ආලෝකවත් බ්‍රහ්ම රාජයෙක් බෝසතුන් වෙත පැමිණෙන බවක් චමත්කාර ජනක ලෙස දර්ශනය විය. මෙම මහා බ්‍රහ්මරාජයා එසේ මෙසේ බලගතු බ්‍රහ්මයෙක් නොවන බව ඡන්න ඇමැතියාට පමණක් නොව කන්ථක අසුට ද දැනෙන්නට ඇත. බබළන මිනිස් ප්‍රමාණයේ කුඩා රූපයක් මවාගෙන බෝසතුන් සමීපයට පැමිණි ඒ බලගතු බ්‍රහ්ම රාජයා සුවිශේෂ අටපිරිකරක් බෝසතුන්ගේ දෑතට පිළිගැන්වූයේ ය. ඒ අන්කිසිවකු නොව සහම්පතී මහා බ්‍රහ්ම රාජයා බව සැලකිය යුතු ය.
මේ අස්වාභාවික චමත්කාර ජනක ස්වභාවයෙන් එහි සිටි අමතර එකම මිනිසා, ඡන්න ඇමැතියා බැවින් ඔහු ද විමතියට පත්වීය. පෙර ආත්මභාවවල සම්බන්ධතාවන් ඇතුව, මෙලොව බෝසතුන් ළඟ ම විසු කන්ථක අසුට ද බලවත් කම්පනයක් ඇති විය. මේ බබළන රාජ කුමාරයාගේ හදිසි වෙනස් වීමත්, පරිසරය වෙනස් වීමත්, අහස්කුසින් සම්ප්‍රාප්ත වූ දෙව්බඹුන්ගේ බැබලීමත් අටපිරිකර පූජාව සහ හිසකෙස් කපා දමා අටපිරිකරින් සැරැසී, අසීමිත රූප ශෝභාවකින් උරුවෙල්, දනව්ව, බලා වඩින සිදුහත් තවුසාණන් දැකීමෙන් ‘කන්ථක’ අසුට දරාගත නො හැකි පි‍්‍රය විප්‍රයෝග දුකක් ඇති විය. බෝසතාණන් නොපෙනී යන තෙක් බලාසිටි කන්ථක අසු දැඩි ශෝකය දරා ගත නො හැකිව මරණයට පත් ව දෙව්ලොව බලගතු දිව්‍යරාජයෙක්ව පහළ වූයේ ය.
බෝසතාණන් වහන්සේගේ එකම පැතුම වූයේ,
බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණේහං තාරයිස්සාමි
සංසාරෝගා මහබ්භයා

මම සත්‍යය අවබෝධ කොට ගෙන ලෝකයාට ද සත්‍යය අවබෝධ කරවන්නෙමි. තමන් ද දුක්ඛිත සංසාරයෙන් ගැළවී දෙවියන් සහිත ලෝකයා ද ගළවාගන්නෙමි යන පරම පවිත්‍ර අධිෂ්ඨානයෙන් යුතුව පළමුවෙන් ම එදා ප්‍රසිද්ධ සෘර්ධිමතෙක් ව සිටි ආලාර කාලාම තවුසාණන් වෙත ගියේ ය. එහි මාසයක හමාරක පුහුණුවක් ලැබුව ද තමා බලාපොරොත්තු වන නිවනට එය මඟ නොවන බව දැන ඉන් නික්ම ඊටත් වඩා ප්‍රසිද්ධියක් ලබා සිටි උද්දකරාම තවුසාණන් වෙත ගියේ ය. එයින් ද තමා සොයා යන නිවනට මඟ පාදාගත නො හැකි බව දැන හුදෙකලාව උරුවෙල් දනව්වෙහි වෙසෙමින් බෝධිසත්වයන් වහන්සේ සිතන සේක්. “මම කාමසුඛල්ලිකානුයෝගය ඉහළ ම මට්ටමින් වින්ද කෙනෙක් වෙමි. මේ දඹදිව් තලයෙහි කාලාන්තරයක සිට පවතින මතය නම් ශරීරයට දුක් දීමෙන් එනම් අත්තකිලමථානුයෝගයෙන් නිවන ලබාගත හැකි බවය. දැන් ඒ සඳහා සූදානම් වියයුතු යැයි අධිෂ්ඨාන කොටගෙන කෙමෙන් ආහාර වර්ජන කරමින් එසේම නිදි වර්ජන කරමින් භාවනාවට ම කාලය යෙදුවේ ය. ටිකෙන් ටික නින්ද අඩුකරමින්, ටිකෙන් ටික අපරිමිත ලෙස ශරීරයට පීඩා ගෙනදෙන ආකාරයෙන් සය වසරක් පුරා දුෂ්කර ක්‍රියා කළ ද එයින් ප්‍රතිඵලයක් නො ලද හැකි බව අත්දැකීමෙන් ම අවබෝධ කොට ගෙන මධ්‍යම ප්‍රතිපදාව සුදුසු යැයි අවබෝධ කරගත් සේක.
ඒ අනුව සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා ඇසතු බෝරුක් මුල්හි වැඩහිඳ ඒ ‘වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින’ ප්‍රථම යාමය ඉක්මෙත්ම පෙර ආත්ම භාවයන් දැනගැනීමේ නුවණ නම් වූ ‘පුබ්බේ නිවාසානුස්මෘති ඤාණය’ උපදවා ගැනීමට හැකිවිය. නැවත බෝසත් තවුසාණෝ අනාපානා සතියෙන් චතුර්ථ ධ්‍යානයට සමවැද සත්ත්වයන්ගේ චුති උත්පත්ති පිළිබඳ නුවණින් බලා කර්මය වූ පරිදි සත්ත්වයන් සුගති, දුගති දෙක්හි මැරෙන උපදින ආකාරය නන් වැදෑරුම් අයුරින් අවබෝධ කොටගෙන ‘චුතූපපාත ඤාණය’ උපදවා ගත් සේක. ඉන් අනතුරුව මෙයාකාරයෙන් භංගානුදර්ශන ක්‍රම භයතුපට්ඨාන ඤාණය, ආදීනව ඤාණය, මුඤ්චිතු කම්‍යතා ඤාණය, පටිසංඛානු පස්සනා ඤාණය, සංඛාරුපෙක්ඛා ඤාණය, සත්‍යානුලෝම ඤාණය, ගෝත්‍රභූ ඤාණය ලබා ඤාණදස්සන විසුද්ධිය සම්පූර්ණ කරගත් සේක. ඒ සමඟම උන්වහන්සේ ලොව්තුරා බුදුවරයෙක් වශයෙන් සර්වඥතා ඤාණය උපදවාගෙන දෙවියන් සහිත සකල ලෝකවාසීන්ට සතළිස් පස් වසක් පුරා දහම් දෙසා සූවිසි අසංඛ්‍යයක් පමණ සත්ත්වයන් සාංසාරික දුකින් එතෙර කළ සේක. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වය සහ පිරිනිවීම සිදු වූ මේ වෙසඟ පොහෝ දිනයෙන් ආරම්භ වන ඉදිරි වර්ෂය ලෝකයට සාමයත්, සෞභාග්‍යයත් ගුණාත්මක බවින් පිරිපුන් බවත් ද ඇතිවේවා! යි ප්‍රාර්ථනා කරමු.

තොරණින් එහා වෙසක්‌ අදහසක්‌



උපුටා ගැනීම

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට ගලපාගන්න ඕනේ.
ධර්මය කියල කියන්නෙ චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාදය, සතරසතිපට්‌ඨානය, පංච උපාදානස්‌කන්ධය, සප්තබොඡ්ජංග ධර්මයන්, භව නිරෝධය උදෙසා පක්‌ෂවෙන්නාවු සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මයන්මයි. ඔබේ ජීවිතය තුළින් අද දවසේ මේ ධර්මතාවයන් තන්හා, දිට්‌ට, මාන්නයෙන් තොරව වැඩෙන අවබෝධවන දිශාවට ජීවත් වුනා නම් අද දවසේ පිංවත් ඔබ සැබැවින්ම ලොව්තුරා බුදුරජාණන් සරණගිය කෙනෙක්‌ වෙනවා. මෙම අර්ථවත් මාර්ගයෙන් බාහිරව වෙසක්‌ තොරණ්‌, වෙසක්‌ කූඩු, දන්සල්, සැරසිලි, නාට්‍ය සංදර්ශන වැනි දේවල් තුළින් ඔබ සැනසුනානම්, ඒවා වැටෙන්නේ ශාසනයේ නාමයෙන් කෙරෙන සිල්ලර වෙළදාම් ගණයටම බව කිවයුතුයි. නමුත් මේවා ප්‍රතික්‌ෂේප කරන්න කාටවත් බැහැ. තමනුත් සතුටුවෙලා අනුන්වත් සතුටුකිරීම තමයි මේවායේ අරමුණ. ජීවිතයටම පන්සලකට ගොස්‌ ශීලයක්‌ සමාදන්නොවූ මනුෂ්‍යයෙක්‌ හදිස්‌සියේ මැරෙන මොහොතක තමන් නැරඹුවාවූ වෙසක්‌ තොරණක නේක වර්ණ විදුලි බුබුලු වලින් ඒකාලෝක වු බුදුසමිඳුන්ගේ රූපය සිහියට නැගිලා, එම පුණ්‍ය සිතුවිල්ල නිසාම සුගතිගාමී ජීවිතයක්‌ ලබන්න පුළුවන්. නමුත් මේවා භවයේ ලබන්නාවු සිල්ලර සැපයන්මයි.
අපට තිබෙන්නේ එකිනෙකට වෙනස්‌ වු ඉන්ද්‍රීයධර්මයන්ගේ ස්‌වභාවයන් . ඒ නිසා අර්ථයෙන් විවිධවූ ක්‍රියාකාරකම් සමාජය තුළ පැවතීම ධර්මතාවයක්‌මයි. එම ධර්මථාවය ඇලීමෙන්, ගැටීමෙන් තොරව උපේක්‌ෂාවෙන් යුතුව දකිමින් ධර්මයේ සැබෑ අර්ථය තුළට පැමිණීමට පිංවත් ඔබ දක්‌ෂ විය යුතුය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහපොළවෙන් පස්‌ මිටක්‌ අතට අරගෙන, මහ පොළවේ තිබෙන ඉතිරි පස්‌a සමග උපමා කරලා ‘මහණෙනි, මියයන සත්වයන්ගෙන් සුගතිගාමී ජීවිත ලබන්නේ මේ අතේ තිබෙන පස්‌ ප්‍රමාණයටයි’ කියලා. මහ පොළවේ තිබෙන පස්‌ තරමටම සත්වයා දුගතිගාමී ජීවිත වලට වැටෙන්නේ කියලා. මෙම සම්මා සම්බුද්ධ වචනයට අනුව අපි උත්සහ ගන්න ඕනේ සමාජය තූළ සිදුවන දෙය අර්ථවත්ද නැතිද යන්න සෙවීමට නොවේ. ලොව්තූරා බුදුරජාණන්වහන්සේගේ අතේ තිබෙන පස්‌ මිටෙන් එක්‌ පස්‌ කැටයක්‌ වෙනවාය කියන උත්සාහයටයි එන්න ඕනේ.
ලෝකය කියන්නේ හාස්‍යයක්‌. සත්වයාගේ මෝහය වැඩිවන්න වැඩිවන්න විකට ජවනිකා වැඩිවෙනවා. හාස්‍ය රසය තව තව වැඩිවෙන්න. ලෝකය සංකීර්ණයි කියන්නේ, ලෝකය ලස්‌සනයි කියන්නේ, බලා ඉවරයක්‌ කරන්න බැහැය කියන්නේ ඔබේ සිත මේ සියල්ලටම වඩා වේගවත්ය කියන කාරණයයි. රූපය සැම විටම තිබෙන්නේ රූපයේ සAවභාවයෙන්. රූපය කෙරෙහි ඇති ඡන්දරාගය නිසාම ඔබමයි රූපයට අනේකවිධ වටිනාකම් දෙන්නේ. ඉහත අර්ථය පිංවත් ඔබට හොඳින් වැටහෙන්න සුදුසු කතා ප්‍රවෘත්තියක්‌ මෙහි සටහන් කරනවා.
භික්‌ෂුව වැඩසිටි ප්‍රදේශයක එක දායක ගෙදරක වයෝවෘද්ධ අම්මා කෙනෙක්‌ සිටියා. භික්‌ෂුව මේ නිවසට හත් අට වතාවක්‌ම පිණ්‌ඩපාතය සඳහා වැඩම කරලා තියෙනවා. මේ හැම වතාවකම භික්‌ෂුවට පෙනෙනවා නිවසේ කාමරයක සිට බිත්තිය අල්ලමින් ඉතා අපහසුවකින් අම්මා කෙනෙක්‌ ඇවිත් පුටුවක වාඩිවෙනවා. ඇයට වයස අවුරුදු අසූ පහක්‌ පමණ ඇති. ටිකක්‌ මහත ශරීරයක්‌ තිබෙනවා. හොඳින් පිරිසිදු වෙලා ඉන්න පාටක්‌ පෙනෙන්නේ නැහැ. තමන්ගේම දරුවා සිටියත් එම අම්මාව අතින් අල්ලලා හාමුදුරුවො වැඩම කිරීමට පෙර පුටුවේ වාඩි කරන්නේවත් නැහැ. එයාම බිත්තිය අල්ලාගෙන එන්නේ. කොටින්ම ඒ අම්මා දැන් එම නිවැසියන්ට එපා වෙලා. අඩුම තරමින් එම නිවැසියන් හාමුදුරුවන්ට පූජා කරන ආහාරයක්‌වත් එම අම්මාට අත ගස්‌වන්නේ නැහැ. වයෝවෘද්ධභාවය නිසාම, ජරා ව්‍යාධි ලක්‍ෂණ නිසාම හැමෝටම එපා වෙලා සිටි මේ අම්මා මිය යනවා. මේ අම්මා මැරුණාට පස්‌සෙ භික්‌ෂුවක්‌ අරමුණු කොට බලනවා මේ අම්මා කුමන ආකාරයේ නැවත උපතකට ගියාද කියලා. ඒ වෙලාවේ භික්‌ෂුවට අරමුණු වෙනවා මියගිය අම්මාගේ රූප ස්‌වභාවයෙන්ම යුත් පාවෙන භූත රූපයක්‌. වෙනසකට තිබුණේ කොණ්‌ඩේ කරල් දෙකකට ගොතලා බැඳලා තිබුණා. ළමා වයසේ ගැහැණු දරුවෙකුගේ වගේ. භික්‌ෂුව ඉදිරියේ ඇය පාවෙනවා. හරස්‌ අතටයි පාවෙන්නේ. මෙය භවයේ තවත් උපතක්‌. ඇස, කණ, නාසය, දිව, මනස, කය ඇයට තිබෙනවා. අපට වගේම මේ භූත සත්වයාට බාහිර රූප ඵස්‌සය වීමෙන් පංච උපාදානස්‌කන්ධය සකස්‌ වෙනවා. මිය යන අවස්‌ථාවේ ශක්‌තිමත් කුසල් අකුසල් නිමිත්තක්‌ සකස්‌ නොවීම නිසා මෙවැනි භූත ස්‌වභාවයේ ජාතියක්‌ සකස්‌ වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි අයට තමයි පාංශකූල පිංකම, සත් දවසේ බණ පිංකම වටින්නේ. මෙවැනි පිනකින් කුසල් අකුසල් නිමිත්තක්‌ ශක්‌තිමත් කරවලා ඊළඟ උපතට ඇය පැන ගන්නවා. මෙම භූත ස්‌වභාවය හරියට නිදාගෙන ඇහැරුන දරුවෙක්‌ වගේ. තද නින්දෙන් අවදිවුණ ගමන් දරුවා පියවි සිහියෙන් නොවේ ඉන්නේ. මුහුණට වතුර ටිකක්‌ ඉස්‌සාම හොඳින් අවදි වෙනවා. ශක්‌තිමත් කුසල් අකුසල් චිත්තයක්‌ මිය යන මොහොතේ සකස්‌ නොවූ නිසා භූත ස්‌වභාවයට පත් මෙම සත්වයාටත් පාංශකූල පිංකම, සත් දවසේ පිංකම හරියට අඩ නින්දේ පසුවෙන දරුවෙකුට වතුර ටිකක්‌ මුහුණට ඉසීම වැනිය. අසිහියෙන් මියයාම, නින්දේදී මියයාම, ක්‌ෂණිකව සිදුවන අනතුරු මරණ වලදී මෙන්ම ළමා මරණ වලදීද ඉහත ස්‌වභාවයක්‌ සකස්‌ විය හැකියි. මෙම මව මියගොස්‌ දින තුනේදී තමයි භික්‌ෂුවට මෙම මවගේ භූත ස්‌වභාවයේ උපත සමාධියේදී දර්ශනය වුනේ.
ඒ අසරණ මෑණියන් වෙනුවෙන් මෙය සටහන් තබන භික්‍ෂුවද නිරතුරුවම පිං අනුමෝදන් කළා. මරණයේ භූමිදාන කටයුතු අහවරවෙලා දිනකට පසුව ඇයව භික්‍ෂුවක්‌ සමාධියෙන් අරමුqණු කොට බලද්දි භික්‍ෂුවට දර්ශනය වෙනව කුඩා ගැහැණු දරුවෙක්‌. ඒ කියන්නෙ ඇය මව් කුසක බිළඳියක්‌ ලෙස උපත ලැබූ බවයි. මෙතැනදී උපත කියල සටහන් කළේ මවගේ ගර්භාෂ කුටියට බැසගත් බවයි. භික්‍ෂුව මේ ඔබට පැහැදිලි කරමින් එන්නේ ලෝකය හාස්‍යයක්‌ වෙන්නෙ කොහොමද කියලා. දැන් කවුද මේ මැරුණ වයෝවෘද්ධ අම්මා. වයස අවුරුදු අසූපහක්‌ වන, හැමෝටම එපාවෙලා කරදරයක්‌ වෙලා හිටපු, හරි හැටි පිරිසිදු භාවයක්‌වත් නොතිබුණ, ශරීරයෙන් තෙල් බෙහෙත් ගඳ හමපු, ජරා ව්‍යාධියට පත්වූ අයෙක්‌. මේ අම්මා කළාවූ කුසල් අකුසල් හේතුවෙන් සකස්‌වුන විඤ්ඤාණ ධාතුව මුලින් භූත සත්වයෙක්‌ හැටියට බැසගත්තා. භූත සත්වයා තුළ සකස්‌ වුන සංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌වූ විඤ්ඤාණ ධාතුව ඉන් චුත වී මව්කුසක බිළිඳියක්‌ව බැසගත්තා.
දැන් මේ බිළිඳිය බැසගත් මව්කුස හිමි තැනැත්තිය දින විසි අටක්‌ ගියාට පස්‌සෙ දැන ගන්නවා තමන්ගේ කුසේ දරුගැබක්‌ ඇති වුණාය කියලා. මේ සුබ ආරංචිය දැනගත් මොහොතේම ඇය මේ බව දැනුම් දෙන්නෙ තමන්ගේ සැමියාට. සැමියා එවිට මොකද කරන්නේ. මෙලෝ සිහියක්‌ නොමැතිව බිරිඳව සිපගන්නවා. වාසනාවන්ත දරුපැටියෙක්‌, සුරතල් දරුපැටියෙක්‌, ලස්‌සන දරුපැටියෙක්‌ ඔයා මට දෙන්න කියලා. එදා ඉඳන් භාරහාර වෙනවා, බේබි සූට්‌ මහනවා, කොට්‌ට හදනවා, ලස්‌සන සුසිනිදු ඇතිරිලි,මල් පීස්‌ රෙදිමයි සොයන්නේ. දරුවා නළවන්න තොටිලි ගේනවා, සෙල්ලම් බඩු එකතු කරනවා. වැදගත් රෝහලක දරු ප්‍රසූතිය කිරීමට සිහින දකිනවා. මේ සියල්ල කරන්නේ කවුරුන් උදෙසාද? දිව්‍යලෝකයෙන් පහළවූ දිව්‍යාංගනාවක්‌ උදෙසාද? නැහැ. මීට මාසයකට පෙර මිය පරලොව ගිය අර වයෝවෘද්ධ ආච්චිගේ සංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌ වුන දරුගැබයි මේ බිහි වෙන්න යන්නේ. එදා එම ආච්චිව අතින් අල්ලවා වාඩිකරන්නවත් කෙනෙක්‌ හිටියෙ නැහැ. ඒ තරමටම ඇයව ජරා, ව්‍යාධි නිසාම කොන්කරලා. වර්තමානයේ ඇයව නලවන්න තොටිලි හදනවා. ප්‍රසූත කරන්න වැදගත් රෝහල් සොයනවා. සුසිනිදුම රෙදිපිළි සොයනවා. මේකම නේද ලෝකය කියන්නේ? එහෙමනම් ලෝකය කියන්නෙ හාස්‍යයක්‌ නොවේද? විඤ්ඤාණය නැමති මැජික්‌කරුවා සංස්‌කාර ධර්මයන්ගේ ශක්‌තියෙන් නිපදවන අනේකවිධ රූපයන් කෙරෙහි ඡන්දරාගයෙන් අපිද විඤ්ඤාණයට බැඳී යනවා. මැජික්‌කරුවෙක්‌ එක මොහොතක පරවියෙක්‌ දෑතට ගෙන සුදු රෙදි කඩකින් එම සතාව වසා, මොහොතකින් රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ ගිරවෙක්‌. මැජික්‌කරුවා ගිරවාව රෙදිකඩකින් වසනවා. මොහොතකින් එම රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ හාවෙක්‌. හාවාව රෙදි කඩකින් වසනවා. මැජික්‌කරුවා තම මැජික්‌ යෂ්ටියෙන් යමක්‌ කරනවා. දැන් එතන ඉන්නේ බෝනික්‌කෙක්‌. මැජික්‌කරුවා තම මැජික්‌ යෂ්ටිය උපයෝගී කොටගෙන ප්‍රේක්‌ෂකයා මුලාකොට රිසිසේ රූපයන් මවයිද සංස්‌කාරධර්මයන් නැමති යෂ්ටිය උපයෝගී කරගෙන විඤ්ඤාණය නැමති මැජික්‌කරුවාද එකිනෙකට වෙනස්‌ රූප නිපදවයි. රොහලේ ලෙඩ ඇඳේ දුක්‌විඳින රෝගීන් ඔබ දැක තිබෙනවාද? නාස්‌ සිදුරුවලට බට දමල. මුඛයට බට දමල. මුත්‍රා මාර්ගයට බටයක්‌ දමල. සේලයින්,රුධිරය දෙනවා. මරණාසන්නව ලෙඩා ඇඳේ වැතිරිලා සිටිනවා. ඥාතීන්ටත් මේ රෝගීන්ව එපාවෙලා. උපස්‌ථායකයින්ටත් මේ රෝගීන්ව එපා වෙලා. සමහරු මෙවැනි රෝගීන් දිහා බලන්නත් බයයි. ඒත් මේ රෝගියා මැරිලා නැවත මව් කුසක උපතක්‌ ලැබුවොත් මොන සැලකිලිද?…. මොනතරම් ආදරයක්‌ද ඔහු ලෝකයාගෙන් ලබන්නෙ. මේක නේද ලෝකය කියන්නේ. පසුගිය ජීවිතයේදී තිරිසන් ලෝකේ හරක්‌ කුළයේ ඉපදිලා,අලි කුළයේ ඉපදිලා, කුකුල් කුළයේ ඉපදිලා මේ ජීවිතයේ මනුෂ්‍යයෝ වෙච්ච අය භික්‍ෂුවකට අරමුණුවෙලා තිබෙනවා.
රූපය කෙරෙහි ඇති ඡන්දරාගය සත්වයාව මොන තරම් හාස්‍යයක්‌ බවට පත්කොට තිබෙනවාද. රූපය කෙරෙහි ඇති ජන්දරාගය මේ තරම් සත්වයාව හාස්‍යයට පත්කොට තිබියදීත් අපි තවම වෙසක්‌ දිනයේවත් රූපයට ඇති ජන්දරාගයෙන් මිදීමට කැමත්තක්‌ දක්‌වන්නෙ නැහැ. එදාටත් රූප සොය සොයා යනවා.
තොරණ්‌, වෙසක්‌ කූඩු, සැරසිලි, භක්‌ති ගීත, නාට්‍ය සංදර්ශන, විදුලි බුබුලු…. මේවා සොය සොයා යන තරමට රැස්‌වෙන සංස්‌කාර ධර්මයන් ඔබට භවයේ කැමැති කැමැති රූප උපද්දවලා දෙනවා. වෙසක්‌ දිනයේ රාත්‍රියේ අගනගරය යම් සේ චමත්කාරජනකද, ඔබටත් භවයේ චමත්කාරජනක උපත් සකස්‌කර දෙනවා. පක්‍ෂීන්ගේ ලෝකය, මාළුන්ගේ ලෝකය මොනතරම් චමත්කාරජනකද කියලා බලන්නකෝ. විවේකී සිතෙන් මේවා සිතන්න. මේවා තමයි කමටහන්.
මේ ලෝකයේ උපත ලබන සෑම සත්වයෙක්‌ම ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා තුන දෝතින් දරාගෙනමයි උපත ලබන්නේ. නමුත් රූපය කෙරෙහි ඇති ඡන්දරාගය නිසා ඔබට මේ යථාර්ථය පෙනෙන්නේ නැහැ. ඉපදුණ අලුත කුඩා බිළිඳකුගේ සුරතල්භාවය, අසරණභාවය හමුවේ ඇතිවන ආදරය නිසා මේ දරුවාගේ ජීවිතය තුළ ඇති ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ සැඟවිලයි තියෙන්නේ. නමුත් පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මේ පුංචි රූපය දෙස බැලුවොත් එම රූපය තුළ සැඟවී ඇති ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා හඳුනාගන්න පුළුවන්. සතිය, සිහිය නැති තැනදී ඔබ දරුවාට ආදරය කරනවාය කියන්නේ, රැකවරණය දෙනවාය කියන්නේ මේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ වසන් කිරීමට, යටපත් කිරීමට, පරාජය කිරීමට ගන්නා වූ උත්සහයක්‌මයි. මේ උත්සහයේදී අප කව්රුත් තාවකාලිකව දිනුවත් අවසානයේදී පරාජය වන එකමයි සිද්ධවෙන්නේ.
අපි මේ පුංචි බිළඳු රූපයට මොන තරම් ඡන්දරාගයක්‌ ඇතිකරගෙන තිබෙනවාද කියලා කියනවා නම් සමාජයේ මතයක්‌ ප්‍රකාශ වෙනවා, බිළිඳු දරුවාගේ සිත ප්‍රභාශ්වරයි කියලා. නොකිලිටියි කියලා. මේ පුංචි රූපයට ඇති තෘෂ්ණාව නිසාමයි මෙවැනි මාර සිත් වැඩිහිටියන් තුළ ඇතිවෙන්නේ. වැඩිහිටියකුගේ සිත යම් සේද කුඩා බිළිදෙකුගේ සිතුවිලිද රාග, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගෙන් සංසාරික පුරුදු, ඉව ඔස්‌සේ වැඩිලයි තිබෙන්නෙ. තමා කැමති උපාදානයන් අහිමි වෙනකොට ළදරුවා කියල වෙනසක්‌ නැහැ. ද්වේෂය සකස්‌ වෙනවා. දරුවෙක්‌ නව මාසයක්‌ මව් කුස ගර්භාෂය මගේ කරගෙනයි ජීවත් වෙන්නෙ. අපිට පෙනුනට මේ දරුවා නව මාසයක්‌ අතපය වකුටු කරගෙන මේ ලේ සැරව පිරුණු බැලුම් බෝලයක්‌ වන් අවකාශය තුල තෙරපෙමින් දුක්‌ විඳිනවා නේද කියලා, ඒ අපි හිතන හැටි. නමුත් මේ ළදරුවා ගර්භාෂය තුල ජීවත් වෙන්නේ මේක මගේ නිවස, මේක මගේ කාමරය, මේක මගේ තැන කියන උපාදානය සකස්‌ කොටගෙන කැමත්තෙන්මයි. එයාට දුකක්‌ දැනෙන්නෙ නැහැ. අපිට පෙනෙන දුක ළදරුවා සැපක්‌ හැටියටමයි දකින්නෙ. ළදරුවා මව් කුස තෘෂ්ණාවෙන් යුතුව උපාදානය කොට ඇති නිසා තමයි අම්මා කෙනෙක්‌ දරුවා බිහිකරන වෙලාවෙ මහා වේගයකින් කෑමොර දෙමින් ලෝකයාට බිහිවෙන්නෙ. දරුවාගේ විරෝධයයි එයා ප්‍රකාශ කරන්නේ. මගේ තැනින් මාව මුදාගත්තාය කියන විරෝධය. මෙතන තිබෙන්නෙ ද්වේෂයක්‌ වෛරයක්‌ නොවේද? ඒ කියන්නෙ දරුවෙක්‌ ඉපදෙනකොටම ද්වේෂය වෛරය සකස්‌ කරගෙනමයි උපදින්නේ. ඉන් පස්‌සෙ බලන්න දරුවා අම්මාගේ උණුසුම උපාදානය කොටගන්නවා, තෘෂ්ණාවෙන්ම. දැන් අම්මාගේ උණුසුම, පියයුරු සැපයි කියල මව් කිරට උපාදානය ඇති කරගෙනයි සිටින්නේ. අම්මාගේ තුරුලේ සිටින මේ දරුවා යමෙක්‌ අතට ගන්න හැදුවොත් මහා වේගයකින් කෑමොරගහනවා. මුහුණ රතු කර ගන්නවා. මේ පුංචි සිතේ සැඟවී ඇති ද්වේෂය, වෛරය,රාගයමයි මේ හැසිරීම් වලට හේතුව. ඒ නිසාම පුංචි සිත ප්‍රභාෂ්වරයි කියන කාරණය, පුංචි දරුවන්ගේ රූපයන් කෙරෙහි අපේ ඇති ඡන්දරාගය නිසාම සකස්‌ කොටගත් මෝහ මූලික අදහසක්‌. එම නිසා කුමන රූපයකට ඔබ බැඳුනත් ඒ බැඳී ඇත්තේ මාරයාටය කියන කාරණයයි අදවන් දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට ගත්තේ.

ඉන්දරතන හිමියන්ගේ පරමත්ත පාරමිතාව අපට ආධ්‍යාත්මික අවියකි

උපුටා ගැනීම by

2013 වෙසක්‌ සඳින් නිකුත් වූයේ අන්ධකාරයකි. ඒ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විරාජමානව වැඩසිටින දළදා මාලිගාව අභියස දුටුවන් කම්පා කරවන අන්දමින් සිදුවූ, මේ වන විට මෙරට ලොකු කුඩා සියලු දෙනා හොඳින්ම දන්නා සංසිද්ධිය නිසාය. උද්ඝෝෂණයකට මිනිසුන් කැඳවා ගැනීම දේශපාලන ඇයි හොඳයිකම් මත හෝ කීයක්‌ හෝ අතමිට මොළවා කළ හැක. එහෙත් යම් පරමාර්ථයක්‌ වෙනුවෙන් බලපෑම් කරනු වස්‌ තම සිරුර ගිනි ගෙන දැවෙනතෙක්‌ ඉවසා සිටිය හැකි පුද්ගලයන්? එබඳු භික්‌ෂූන් වහන්සේ ගැන කලකට ඉහතදී වියට්‌නාමයෙනුත් මෑතකදී ටිබෙටයෙනුත් අසන්නට ලැබිණි. සිරුර ගිනි ජාලාවක්‌ වූ පසුව වියරුවෙන් කෑමොර දෙමින් දිවයනු වෙනුවට තමා සම්පූර්ණයෙන්ම අඩපණව ඇදවැටෙන තෙක්‌ තමන් වහන්සේ පෙනී සිටින පරමාර්ථය පුනරුච්ඡාරණය කරමින් ඔබමොබ ඇවිදගිය බෝවත්තේ ඉන්දරතන හිමියන් අතීතයේ ජීවිත පරිත්‍යාගයෙන් රට දැය සසුන රැකගත් කවර නම් අභීත බුද්ධ පුත්‍රයන් වහන්සේ සමග ගළපාගත යුතුදැයි සිතීමටවත් සිහි එළවා ගැනීමට අපට බොහෝ වේලා ගත විය. උන් වහන්සේ පිළිබඳව පළවූ හා පළවන හැම ප්‍රවෘත්තියක්‌ම විශේෂාංගයක්‌ම ඇරඹුනේ ‘ගව ඝාතනයට එරෙහිව ගිනි තබාගෙන අපවත්වූ හිමිනම…..’ ආදී වශයෙන් බවද කනගාටුවෙන් අප සිහිපත් කරන්නේ ස්‌වකීය ජීවිත පූජාවට මත්තෙන් උන් වහන්සේ මේ අකාරුණික සමාජයේ කාට හෝ කියවා දැනුවත් වන්නට ලියා තුබූ කුඩා සටහනෙහි අවධාරණය කරනු ලැබ තිබූ අයථා අන්‍යාගමිකකරණයට ප්‍රතිපත්තිමය වශයෙන් එරෙහිවීමේ කාලීන දැඩි අවශ්‍යතාව වැනි දැවැන්ත කරුණු ඉතා සරල ලෙස එහෙත් ක්‍රමෝපායිකව හෑල්ලුවට ලක්‌ කර තිබීම නිසාය. ඇතැමෙක්‌ මෙම සංසිද්ධිය හෙළාදැකීමට මහායාන, හීනයාන සම්ප්‍රදායන් ගැන පමණක්‌ නොව නිකාය ඉතිහාසය පවා පිරික්‌සීමට උත්සුක වූහ.
ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාව ‘සියදිවි නසාගැනීමක්‌’ බව තහවුරු කිරීමට වෙරදරන්නා වූ අදිසි ‘බෞද්ධ න්‍යායවාදීන්’ තුළ මෙම අවාසනාවන්ත සිදුවීමෙහි හේතු-ඵල සබඳතාව පිළිබඳව ඇති මුග්ධ දෘෂ්ටිය අප සිත්හි ඇති කරන්නේ කම්පනයකි. සර්වාගමික පූට්‌ටුව නමැති පැණි හැළියට පැන කටමත්තටම ගිලී පැනි බොමින් මනෝරාජික සුවයක පසුවූ අපේ ලොකු කුඩා උන්නාන්සේලාගේත් ඒ නිකායේ ඇබිත්තයන්ගේ බමන ප්‍රීති ප්‍රමෝදයට ඉන්දරතන හිමියන්ගේ ‘ගරු ඇවත’ බාධා කර තිබේ. ශ්‍රී ලංකාද්වීපය සිංහල බෞද්ධ දේශයක්‌ය යන්න දෙසවන වැකීම පවා වහකදුරු වී සිංහල බෞද්ධත්වයට එරෙහි මතවාදයක්‌ සමාජගත කරනු පිණිස කුලියට ලියන පරදේසක්‌කාර කුලීS හේවායින්ගේ උතෝපීය න්‍යායන්ට අනුව ඉන්දරතන හිමියන්ගේ ‘ක්‍රමවේදය’ ‘බරපතළ සමාජ හිංසනයක්‌’ද වී තිබේ. උන් වහන්සේ ‘ගිනි තබාගැනීම’ නම් වූ ඵලයට පදනම් වූ හේතුව කුමක්‌දැයි යුක්‌තියුක්‌තව විමසීම මේ කවුරු කවුරුත් හිතාමතාම අමතක කිරීමට තරම් අකාරුණිකවීම අපට හඬගා සපථ කරන සත්‍යයන් දෙකක්‌ ඇත. පළමුවැන්න, බෞද්ධ සමාජ සංස්‌ථාවේ සෝදාපාළුව ඉදිරියේදී ගුප්ත ලෙස මුනිවත රැකීමට පමණක්‌ නොව එම සෝදා පාළුවට එරෙහිව දියත්වන ඕනෑම තීරණාත්මක සටනක්‌ දියාරු කරවන සුළු, පාවාදෙන සුළු න්‍යායයන් ගොඩ නැංවීමට බුදුසමය පවා අපහරණය කරන පිරිසක්‌ බවට ඔවුන් පත්කරනු ලැබ ඇති බවය. ඔවුන් අත්විඳිමින් සිටින්නා වූ මේ ‘සමාජ සංහිඳියාව’ ඉන්දරතන හිමියන්ගේ ‘හිංසාකාරී හැසිරීම’ විsසින් බරපතළ කම්පනයකට ලක්‌ කර තිබේ. එහෙයින් ඔවුහු මේ සංසිද්ධියෙහි ‘ඵලයට’ නිරන්තරයෙන් දෙස්‌දෙවොල් තබමින් සිටිති. අප ඔවුන්ගෙන් විමසා සිටින්නේ පරමත්ත පාරමිතාවකදී අනුන් වෙනුවෙන් ස්‌වකීය ජීවිතාශාව පවා අතහැරීමේ අවස්‌ථා කොතෙකුත් නම් බෝධි සත්ත්වයාණන් වහන්සේගේ ජීවිතය ආශ්‍රයෙන් පෙන්වාදිය හැකිද යන්නයි.
මේ අනුව අපට පිළිගැනීමට සිදුවී ඇති දෙවන සත්‍යය නම් මෙබඳු සංසිද්ධියක්‌ විග්‍රහ කර ගැනීමේදී පවා මේ සමාජය ඉදිරියේ ප්‍රබුද්ධයන් වගකිවයුත්තන් ලෙස පෙනී සිට ප්‍රකාශ නිකුත් කරන පැවිදි, ගිහි කවුරුත් මතවාදීමය වශයෙන් බෞද්ධ දෘෂ්ටිකෝණයක නොපිහිටා කටයුතු කරන බවය. සිංහලකම, ආගම දහම හා බැඳුණු දේශීය ගොවිතැනෙහි ඓතිහාසික තිරසාරභාවය ගැන ලෝකයම කතාකරද්දී, ‘කෘෂි ආර්ථික විද්‍යාත්මකව’ ගවයින් නොමරා සිටිය නොහැකි බව දෙසා බාමින් මිනිසුන්ගේ කුස්‌ පුරවනු පිණිස මරාදමනු ලබන එක්‌ සත්ත්ව කොට්‌ඨාසයක්‌ පිළිබඳව ඉන්දරතන හිමියන් සපථ කළ කරුණාව බාල බොළඳ ඉල්ලීමක්‌ බවට හුවාදැක්‌වීමට වෙරදැරීම එබඳු එක්‌ නින්දිත අවස්‌ථාවකි. එම ප්‍රකාශ ඔස්‌සේ අපට ඉස්‌මතු වී පෙනෙන්නේ කෘෂි ආර්ථික විද්‍යාවට වඩා ලාබෙට හරක්‌ මස්‌ ටිකක්‌ ගිල දැමීමට ඇති අවස්‌ථාව ගිලිහීයයිද යන ජුගුප්සාජනක භීතියයි. වඩාත් උපහාසාත්මක කරුණ නම් සිංහල බෞද්ධ මිනිසුන්හට පශු පාලනය තිරසාරව සිදුකිරීමට නම් නිබඳවම ගවමස්‌ බුදින ‘සහෝදර ජාතියක්‌ද’ සිටිය යුතු බව නිර්දේශ කිරීමට තරම් ඒ කෘෂි ආර්ථික දර්ශනය ‘හලාල්’ වී ‘ජාතික සමගිය සමගද ඒකාබද්ධ වී’ තිබීමයි.
සමහරුන් සිතන්නේ ඉන්දරතන හිමියන් සිය සිරුරට ගිනි තබා ගැනීම හදිසියේ පහළ වූ මනෝභාවයකින් සිදුකළ බවය. එහිමියන්ගේ සමාජ දේශපාලනික අතීතය පරීක්‌ෂා කිරීමේදී උන් වහන්සේ බෞද්ධ සමාජ සංස්‌ථාවේ පරිහානියට එරෙහිව සැලකිවයුතු සටනක නිරතවී සිට ඇති බව ඉතාම පැහැදිලිය. එහෙත් උන් වහන්සේ සමාජමය හා දේශපාලනික ප්‍රතිගාමීත්වයේ හේතුවෙන් බරපතළ පරාරෝපනයකට ලක්‌ව සිටි බවත් ඉඳුරාම පැහැදිලිය. අනතුරුව උන් වහන්සේ තමන් වහන්සේ නියෝජනය කළ දේශපාලන කඳවුරට හෝ වෙනත් කිසිවකුවත් ගල් කැටක්‌ ගෙන දමා ගැසුවේ නැත. ඒ වෙනුවට උත්තරීතර පරමාර්ථ රැසක්‌ පෙරදැරි කරගෙන මේ නිර්වින්දිත සමාජය අවදි කරවන සුළු අන්දමින් පරමත්ත පාරමිතාවක නිරතවූහ. උන් වහන්සේ පන්සලේ දේපළ බෙදා ගැනීමට නොහැකිව, නොඑසේනම් වෙනත් නොමනා ක්‍රියාවක නිරතවී මේ සමාජයට මුහුණදිය නොහැකිව ‘සියදිවි නසා’නොගත් බව කවුරුත් සිහියට නගා ගැනීම වටී. එහෙයින් ඉන්දරතන හිමියන් කළ පූජාවට අංශුමාත්‍ර වශයෙන් හෝ සැසඳිය හැකි කැපකිරීමක්‌ කළ නොහැකි ඇස්‌ පනාපිට සිදුවන ජාතික ශාසනික විනාශයට එරෙහිව කට අරින්නට බය උන්නාන්සේලාත් ඇබිත්තයෝත් උන්වහන්සේගේ මහා පාරමිතාවට නින්දිත අර්ථකථන සපයා තම නොහැකියාවේ විළි වසාගැනීමට උත්සාහ නොකළ යුතු බව අපි අවධාරණය කරමු. ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාව වරදක්‌ නම් එහි වගකීම උන් වහන්සේ මත පමණක්‌ පටවා ‘නිවැරදිකරුවන්’ වීමටත්, උන් වහන්සේට තිබුනේ ‘ජීවත් වෙමින් සටන්
කිරීම යෑයි’ වැදි බණ කීමටත් හදිසි වී සිටින ඊනියා බෞද්ධ න්‍යායවාදීන් එම සිදුවීමට හේතු පාදක වූ සමාජ තත්ත්වයන් වෙනස්‌ කිරීමට සුළුවෙන් හෝ උත්සාහ නොකළ බව බොදු බල සේනාවෙහි විශ්වාසයයි. උන්වහන්සේට ජීවත් වෙමින් සටන් කිරීමට තිබූ අවස්‌ථාව අහිමි කළෝද උන්මය. මෙය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මෙබඳු සිදුවීමක්‌ වාර්තා වූ ප්‍රථම වතාව මෙන්ම එය එක්‌ නිමේශයකින් ලොව පුරා ව්‍යාප්ත වූ ද අවස්‌ථාවකි. එහෙත් එම සිදුවීම සම්බන්ධයෙන් බහුතර ජනතාව බෞද්ධයන් යෑයි උදම් අනන මේ ධර්මදීපයේ සමස්‌ත සමාජ ප්‍රතිචාරය කෙතරම් දුර්වලද? එය බොහෝ දෙනකුට වැල් ටෙලි නාට්‍යයක තවත් ජවනිකාවක්‌ පමණක්‌ වූ සෙයකි. සමාජය ඊට ප්‍රතිචාර දැක්‌වූයේ ඉන්දරතන හිමියන් උන්වහන්සේගේ පෞද්ගලික අරමුණක්‌ වෙනුවෙන් පෙනී සිටි ලෙසිනි. මේ නිර්වින්දිත තත්ත්වය දෙස බලා ඉන්දරතන හිමියන්ගේ පූජාවට ගරහන පිරිසද, උන් වහන්සේ 21 වන සියවසට නුසුදුසු යෑයි කටමැත දොඩවන පිරිසද අපට මතක්‌ කරන්නේ මේ සමාජය සිංහල බෞද්ධ අනන්‍යතාවයෙන් කෙතරම් නම් ඈත්වී ඇතිද යන බවයි.
අපට යාබද ඉන්දියාවේ දුම්රියක්‌ පීලිපැන්නද ප්‍රවාහන ඇමැති ඉල්ලා අස්‌වේ. අප මේ යෝජනා කරන්නේ රජයට ඉල්ලා අස්‌වීමට නොවේ. එහෙත් පක්‌ෂයක බලය අවදානමට ලක්‌වෙද්දී මධ්‍යම රාත්‍රියේ වුව අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීම් කැඳවන මෙරට ‘සිංහල බෞද්ධ’ දේශපාලන සංස්‌කෘතියට හදිසි කැබිනට්‌ රැස්‌වීමක්‌ හෝ පවත්වා මේ තත්ත්වය ගැන කතා කිරීමේ යුතුකමක්‌ තිබිණි. වගකිවයුතු තවත් අමාත්‍යවරයෙකු මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ‘ගව ඝාතනය තහනම් කිරීම එතරම් පහසු නොවන බව’ ජනමාධ්‍ය අමතා කියා තිබිණි. ඒ අතර උන්වහන්සේට පෙට්‍රල් සැපයූ පුද්ගලයා සොයා පුළුල් පරීක්‍ෂණ ඇරඹීම වැනි විසුළු කථාද අසන්නට ලැබිණි. මේ ඉන්දරතන හිමියන්ගේ පරමාර්ථ පිළිබඳ වගකිවයුත්තන්ගේ විග්‍රහයේ දිග පළලෙහි ස්‌වභාවයයි. ‘රජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය’ කියා ව්‍යවස්‌ථාවෙහි ලියා තිබුණද එය හුදු ප්‍රකාශයක්‌ පමණක්‌ බව යළි යළිත් අප කියන්නේ එනිසාය. බෞද්ධ සමාජ සංස්‌ථාවේ පුරෝගාමියා හෝ කුල දේවතාවා වූ භික්‌ෂූන් වහන්සේගේ විනාශයම පැතූ තවත් පිරිසකගේ මන්දස්‌මිතයට හේතුව එක්‌ අභීත බුද්ධ පුත්‍රයකු හෝ මෙලොවින් සමුගැනීමෙන් උපන් කුරිරු සතුට බව අපි දනිමු. සමාජය ඉදිරියේ සාධූන් මෙන් පෙනී සිටින ඒ සාපරාධී අපරාධකරුවන්ටත්, ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාවට නිගා කරමින් උන් වහන්සේ ඝාතනයට වෙරදරන පාපතර මුග්ධයින්ටත් බොදු බල සේනාවෙහි අපි එක්‌ සත්‍යයක්‌ අවධාරණය කරමු. ඒ, නුඹලාගේ කැණහිලු අභිප්‍රායන් පරදා දැමුමට ඉන්දරතන හිමියන්ගේ පරමාදර්ශී පූජාවෙහි පණිවුඩය අප ආධ්‍යාත්මික අවියක්‌ කරගන්නා බවය. පුරන් අප්පු පාවාදෙනු වෙනුවට තම මරණය තෝරාගත් කුඩාපොළ රාහුල පරපුර තවමත් නොඅවසන් බව ස්‌ඵුට කරමින් පරමත්ත පාරමිතාවක්‌ පුරා, නිවනට ඇති දුර ලඝූ කරගත් ඒ අභීත උතුම් බුද්ධ පුත්‍රයාණන්ගේ පරමාර්ථ ඉටු කිරීමට දිවි හිමියෙන් කැපවන බවට ද අපි ප්‍රතිඥ දෙන්නෙමු.

සබ්‍රහ්මචාරියකුගේ සහකම්පනය

උපුටා ගැනීම  by

කතිකාවකට සුදුසුම කාලය මේ එළැඹ ඇත. අප දැන් පසුකර යමින් සිටින්නේ භීම චින්තන යුගයකි. එය මධ්‍යතන යුගය තරම්ම රුදුරු හා දරුණු යුගයකි. සියලු ප්‍රකාශන මාධ්‍ය අත්හදා බලා ඉනික්‌බිති අඳුර විනිවිදින්නට,සත්‍ය කෙරෙහි අඬහැර නගන්නට, ඒ වෙනුවෙන් කථිකාවතක්‌ ගොඩනගාගන්න, සරලවම අපි යන්නේ කොයි පාරේ දැයි කියන්න, සිය සිරුරට ගිනි අවුළුවා ජීවිත පූජාකරන්නට නූතන මධ්‍යතන යුගයේ යතිවරයකු වූ බෝවත්තේ ඉන්දරතන හිමියෝ එඩිතර වූයේ යටකී අඳුර විනිවිදිය යුතු නිසාය.
එම ජීවිත පූජාව අර්ථ දක්‌වන්න මම අසමත් වෙමි. එනිසා එයට ජාතක ගැට පද අටුවා ලියන්නට තරම් මා එඩිතර නොවෙමි. මා හදෙහි ඇත්තේ ධර්ම සංවේගයකි. මේ ලියන්නේ උන්වහන්සේ පැතූ දෙය එම බලවේග තුළම විකිණීයාම වැළැක්‌වීමේ අරමුණෙන් හා වම් උරයෙන් අඟ වසනා යතිවරයකු වෙනුවෙන් වම් උරයෙන් ඇඟ වසා නවකඩය අඳිනා සබ්‍රහ්මචාරියකුගේ සහකම්පනයයි.
එම ජීවිත පූජාව දුටු විට මාගේ රෝමාන්තය තුළ සසලවීමක්‌ උපන්නා සත්තය. ඉන් අනතුරුව මා තුළ සැරිසැරුයේ සොක්‍රටීස්‌ දාර්ශනිකයාය. ත්‍රිපිටකය පෙරලා බලා එම ක්‍රියාව විග්‍රහ කරන්නට තරම් මා දිරිමත් නොවන්නේ එම සත්‍ය උන්වහන්සේ නොදැන සිටි බව මා නොඅහදන බැවිනි. බුද්ධියට වැටහුණද හදවතට නොවාවන සමාජ අවගමනයක අඳුර වෙනුවෙන් සියල් සිරුර දවාලුයේ එබැවිනි. ත්‍රිපිටකය පිළිබඳව අපට තර්කයක්‌ නොමැත. එසේම උන්වහන්සේටද නොමැත.
සොක්‍රටීස්‌ සත්‍ය වෙනුවෙන් වස පානය කළ මිනිසා. සොක්‍රටීස්‌ගේ මර්ණ වාක්‍ය ඔබ දන්නේද?
‘මට මැරෙන්නටත් නුඹලාට ජීවත්වන්නටත් කාලය එළැඹ ඇත. එහෙත් අප දෙගොල්ලන්ගෙන් වඩා හොඳ ලැබෙන්නේ කාටද යන්න දන්නේ දෙවියන් පමණි’
දළදා වහන්සේට නමස්‌කාර කරමින් මේ පවත්නා ජුගුස්‌සාජනක සමාජ, ආර්ථික රටාව සිඳලන ලෙස මරණීය හෝරාවේදී පැවැසූ බෝවත්තේ ඉන්දරතන හිමියෝ පැවැසූ වදන් හා සොක්‍රටීස්‌ ගේ වදන් තුළ ඇත්තේ ව්‍යාකරණමය, භාෂාමය වෙනසක්‌ පමණි. චින්තනමය හා අපේක්‌ෂාමය අතින් ඇත්තේ විශ්මය දනවන සුලු සමානකමකි.
සොක්‍රටීස්‌ගේ මරණීය වටපිටාව සන්සුන්ය. එහෙත් සිතුවිලි එඩිතරය. බෝවත්තේ හිමියන්ගේ අවසන් හෝරාව නොසන්සුන් වටපිටාවකය. එහෙත් සිතුවිලි එඩිතරය. ගිනිගත් සිරුර මිහිමත නොසැතපුනේ එනිසාය.
සොක්‍රටීස්‌ගේ මරණයෙන් කැළඹුණු නුවරු එම මරණයට වගකිවයුතු අයගේ මුහුණු නොබලන තැනට වැඩ යෙදූහ.
තත්තවඥ වූ නීතිඥවරු හා උසාවිය, පොළොව කැරකැවෙන්නේ නැතැයි කියන්නට සොක්‍රටීස්‌ට ඇයද සිටියහ. එහෙත් ඔහු පැවැසුවේ,
‘මේ උගත් නීතිඥ මහත්වරුන් මට උපදෙස්‌ දෙන නිසා මා කියනවා පොළොව කැරකැවෙන්නේ නැහැ කියලා. ඒත් ඒක එහෙම්මම කැරකැවෙනවා.’
ඉන්දරතන හිමියන්ගේ අත් පත්‍රිකාව හා මාධ්‍යට පැවැසූ වදන් තුළ ඇත්තේ මෙයම නොවේද?
මෙය ජීවත පූජාවක්‌ මිසක දිවිනසා ගැනීමක්‌ නොවන බව කියන්නට එම ගින්න නිසි ලෙස වටහා ගත්තන්ටවත් එයින් ඇතිවන කම්පනය බුද්ධිය අවදි කිරීමටවත් ප්‍රමාණවත් නොවන තරම් සමාජය අඳුරේ බව දන්නා නිසාය.
‘තුන්වන ලෝක යුද්දයේදී පරිහරණය කරන යුද අවි ගැන මම නොදනිමි. ඒත් හතරවැනි ලෝක යුද්ධයේදී පොලු මුගුරු, ගල්කැට යුද අවි ලෙස පරිහරණය කරනු ඇත.’ මේ ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ කියමනකි. බුදුදහමේ ඉගැන්වෙන මුරුගසන් වැසි වසිනා අවදියද මෙයම වේ. මේ පහළව ඇත්තේ කලි යුගයේ වනචාරී අවදියයි.
මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ධර්ම සංවේගයට පත්වන ලෙසය. එය රහතුන්ට අයත් ධර්මතාවකි. එහෙත් එහි ආසන්නයට හෝ පැමිණිය හැකිය.
ඉන්දරතන හිමියන්ගේ ක්‍රියාව දිවිහානිකර ගැනීමකි පවසා කඳවුරු බඳිනා විට මෝඩකම, වෛරය හා අන්තවාදය ඇසුරේ පෝෂණය වූ දැක්‌මක්‌ ඔබව යටපත් කරගෙනු යනු ඇත.
මෙය වීර ක්‍රියාවකැයි ඔබ කඳවුරු බඳින්නේ නම් එයට යුක්‌ති යුක්‌ත වූ උන්වහන්සේගේ ජීවිත පූජාව අර්ථවත්වන ලෙස මෙම හායන පක්‌ෂයෙහි ඇති සමාජ ප්‍රවණතා නවතා දැමීමට උත්සුක විය යුතුය. එසේ නොවන්නේ නම් එය ආත්ම වංචාවකි. විජීගිෂාවකි. (පිළිකුල්සහගත ආශාවකි)
ඔබට ආරෝහ පරවිඥනය උපදින්නේ නම් මැනවි. මින් ඉදිරියට වසර හැටක්‌ පමණ වෘද්ධයකුගේ තැන්පත් පැසුණු බුද්ධියකින් ලොව බලන සිතුවිල්ලකි එය.
ඔබට කිව යුත්තක්‌ ඇත. අප ලැඡ්ජා විය යුතුය. සිරිදේවමිත්ත ධර්මපාල හිමියෝ අපවත්වන්නේ නැවත ලක්‌දෙරණ නූපදින ප්‍රාර්ථනාවෙනි. කැප්පෙටිපොල හිස සිඳලන්නට අවසර දෙන්නේ පාවා දෙන්නන්ගේ දේශය අතහරිමිනි. කුඩාපොල හිමියන් අපවත් වන්නේ උන්වහන්සේට වෙඩිතබන්නට අණ දුන් ටොරින්ටන් ආණ්‌ඩුකාරවරයාව සිහිපත් කරන්නට ස්‌මාරක හදනා රටකය. (එහෙත් කුඩාපොල හිමියන් අනුස්‌මරණය කරන්නට දෙයක්‌ ඒ රටේ නොමැත) හසලක ගාමිණී කුලරත්න විරුවා දිවි පුදන්නේ ජාතියම ඔහුගේ පවුලට කළ යුතු යුතුකම් නොතකා වැඩකරන රටකය. බෝවත්තේ ඉන්දරතන හිමියෝ දිවි පුදන්නේ එම මරණය අර්ථකථනය කරන්නට කඳවුරු බඳිනා රටකය. එය තවත් එක්‌තරා කතා මාතෘකාවක්‌ කොට රට කරවන රටකය.
සහකම්පනය නූපදින්නේ මන්ද? සසල නොවන්නේ මන්ද? උන්වහන්සේගේ ජීවිත පූජාව ඉක්‌මන් වූයේ අප සැමගේ දුර්දාන්තකම නිසාය. සත්ව හිංසනය, ආගමික අපයෝජනය හා ජාතික අනන්‍යතාවයෙහි පවත්නා විකෘතිභාවය වළක්‌වන මෙය සැබවින්ම මිදුණු ඇටයක්‌ කළ යුතු දේශයක්‌ නොවන්නේද?
ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි. මුතු ඇටය යනු මුක්‌ත හෙවත් මිදුණු ඇටය යන්නයි. බෙල්ලාගේ කුසින් මිදුන ඇටය මුතු ඇටයයි. ලංකාව ඉන්දියන් සාගරයේ මිදුනු ඇටයකි. එහෙත් එය භෞතික මිදීමකි. සමාජ, සංස්‌කෘතික හෝ ආගමික අතින් නොවේ. අපට කිසිදා මිදී ජීවත්විය නොහැකිය. එහෙත් අප ඉවසිය යුත්තේ සංස්‌පර්ශය මිසක ආක්‍රමණය නොවේ. දැන් පෝෂණය වන්නේ සමාජ, ආර්ථික, දේශපාලනික සංස්‌පර්ශය නොවේ. ආක්‍රමණයකි. එසේ මිදීමට අප තවත් ලේ ඉල්ලා සිටින්නේ මන්ද? ආකල්පමය වෙනසකට නොයන්නේ ඇයි?
ඉන්දියානු හිටපු ජනාධිපතිතුමන් අබ්දුල් කලාම් මහතා මෙසේ පවසන්නේ ගිනිතටු නම් තම ස්‌වයං ආපදානයෙහිය.
‘අප සැම ඉපිද සිටින්නේ දිව්‍යමය ගින්නක්‌ සහිතවය. අපගේ ප්‍රයතන එම ගින්නට තටු ලබාදී එහි සත්භාවයේ ආලෝකයෙන් ලෝකය ඒකාලෝක කිරීම විය යුතුය.’
අපගේ ඇඟ තුළ ස්‌වභාවයෙන්ම ගින්නක්‌ ඇත. නැතිනම් උණක්‌ ඇත. එය වැඩිවූ කලත්, අඩු වූ කලත් රෝගයකි. අවශ්‍ය වන්නේ එයට තටු ලබාදීමකි. නිධන්ගතව ඇති යහපත් බව දැනුම, ආකල්ප හා කුසලතාවන්ට ඉස්‌මතු වන්නට ඉඩදිය යුතුය. එහි සද්භාවය ආලෝකයක්‌ මතුවනු ඇති. එයින් ලොව එළිය කළ යුතුව ඇත.
ඉන්දරතන හිමියෝ සියල් සිරුර අවුලුවා දිවි පිදූහ. ඒ අපගේ සද්භාවය ගින්නට තටු ලබාදෙනු පිණිසය. අප රොද බැඳිය යුතුව ඇත. ඒ මානව යහපත පිණිසය. සත්‍යය පමාවිය හැකිය. එහෙත් නෑවිදින් සිටින්නේ නැත.
‘පොළොව මත ජීවිතය පැවැත්වීම හා මානව සෞඛ්‍ය වැඩිකිරීමට නම් මිනිසා ශාකභක්‌ෂක ආහාරයට පරිණාමය විය යුතුය.’ මෙය අයින්ස්‌ටයින්ගේ කියමනකි. උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ එයයි.
‘ඔබ ධනය හා ගෞරවය සඳහා ඔබගේ ඥනය හා සත්‍ය පාවා දෙනවාදැයි මම අසමි’. මෙය සොක්‍රටීස්‌ගේ කියමනකි. බෝවත්තේ ඉන්දරතන හිමියෝ ඇසුවේ එයයි. මෙම සිදුවීමට ජාතක අටුවා ගැටපද නොලියා අප අපම මෙම ප්‍රශ්න අසමින් ධර්ම සංවේගය පළ කළ යුතුව ඇත.
අනිච්චං සංඛතං සබ්බං වියොගන්තං චලා චලං
අනිසය, වියොවගය, සසලය ලොව ඇති සියලු දහම්.
අපවත්වී වදාළ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ට අමා නිවන අත්වේවා!