උපුටා ගැනීමJune 3, 2013
කතිකාවකට සුදුසුම කාලය මේ එළැඹ ඇත. අප දැන් පසුකර යමින් සිටින්නේ භීම චින්තන යුගයකි. එය මධ්‍යතන යුගය තරම්ම රුදුරු හා දරුණු යුගයකි. සියලු ප්‍රකාශන මාධ්‍ය අත්හදා බලා ඉනික්‌බිති අඳුර විනිවිදින්නට,සත්‍ය කෙරෙහි අඬහැර නගන්නට, ඒ වෙනුවෙන් කථිකාවතක් ගොඩනගාගන්න, සරලවම අපි යන්නේ කොයි පාරේ දැයි කියන්න, සිය සිරුරට ගිනි අවුළුවා ජීවිත පූජාකරන්නට නූතන මධ්‍යතන යුගයේ යතිවරයකු වූ බෝවත්තේ ඉන්දරතන හිමියෝ එඩිතර වූයේ යටකී අඳුර විනිවිදිය යුතු නිසාය.එම ජීවිත පූජාව අර්ථ දක්‌වන්න මම අසමත් වෙමි. එනිසා එයට ජාතක ගැට පද අටුවා ලියන්නට තරම් මා එඩිතර නොවෙමි. මා හදෙහි ඇත්තේ ධර්ම සංවේගයකි. මේ ලියන්නේ උන්වහන්සේ පැතූ දෙය එම බලවේග තුළම විකිණීයාම වැළැක්‌වීමේ අරමුණෙන් හා වම් උරයෙන් අඟ වසනා යතිවරයකු වෙනුවෙන් වම් උරයෙන් ඇඟ වසා නවකඩය අඳිනා සබ්‍රහ්මචාරියකුගේ සහකම්පනයයි.
එම ජීවිත පූජාව දුටු විට මාගේ රෝමාන්තය තුළ සසලවීමක් උපන්නා සත්තය. ඉන් අනතුරුව මා තුළ සැරිසැරුයේ සොක්‍රටීස් දාර්ශනිකයාය. ත්‍රිපිටකය පෙරලා බලා එම ක්‍රියාව විග්‍රහ කරන්නට තරම් මා දිරිමත් නොවන්නේ එම සත්‍ය උන්වහන්සේ නොදැන සිටි බව මා නොඅහදන බැවිනි. බුද්ධියට වැටහුණද හදවතට නොවාවන සමාජ අවගමනයක අඳුර වෙනුවෙන් සියල් සිරුර දවාලුයේ එබැවිනි. ත්‍රිපිටකය පිළිබඳව අපට තර්කයක් නොමැත. එසේම උන්වහන්සේටද නොමැත.
සොක්‍රටීස් සත්‍ය වෙනුවෙන් වස පානය කළ මිනිසා. සොක්‍රටීස්‌ගේ මර්ණ වාක්‍ය ඔබ දන්නේද?
‘මට මැරෙන්නටත් නුඹලාට ජීවත්වන්නටත් කාලය එළැඹ ඇත. එහෙත් අප දෙගොල්ලන්ගෙන් වඩා හොඳ ලැබෙන්නේ කාටද යන්න දන්නේ දෙවියන් පමණි’
දළදා වහන්සේට නමස්‌කාර කරමින් මේ පවත්නා ජුගුස්‌සාජනක සමාජ, ආර්ථික රටාව සිඳලන ලෙස මරණීය හෝරාවේදී පැවැසූ බෝවත්තේ ඉන්දරතන හිමියෝ පැවැසූ වදන් හා සොක්‍රටීස් ගේ වදන් තුළ ඇත්තේ ව්‍යාකරණමය, භාෂාමය වෙනසක් පමණි. චින්තනමය හා අපේක්‌ෂාමය අතින් ඇත්තේ විශ්මය දනවන සුලු සමානකමකි.
සොක්‍රටීස්‌ගේ මරණීය වටපිටාව සන්සුන්ය. එහෙත් සිතුවිලි එඩිතරය. බෝවත්තේ හිමියන්ගේ අවසන් හෝරාව නොසන්සුන් වටපිටාවකය. එහෙත් සිතුවිලි එඩිතරය. ගිනිගත් සිරුර මිහිමත නොසැතපුනේ එනිසාය.
සොක්‍රටීස්‌ගේ මරණයෙන් කැළඹුණු නුවරු එම මරණයට වගකිවයුතු අයගේ මුහුණු නොබලන තැනට වැඩ යෙදූහ.
තත්තවඥ වූ නීතිඥවරු හා උසාවිය, පොළොව කැරකැවෙන්නේ නැතැයි කියන්නට සොක්‍රටීස්‌ට ඇයද සිටියහ. එහෙත් ඔහු පැවැසුවේ,
‘මේ උගත් නීතිඥ මහත්වරුන් මට උපදෙස් දෙන නිසා මා කියනවා පොළොව කැරකැවෙන්නේ නැහැ කියලා. ඒත් ඒක එහෙම්මම කැරකැවෙනවා.’
ඉන්දරතන හිමියන්ගේ අත් පත්‍රිකාව හා මාධ්‍යට පැවැසූ වදන් තුළ ඇත්තේ මෙයම නොවේද?
මෙය ජීවත පූජාවක් මිසක දිවිනසා ගැනීමක් නොවන බව කියන්නට එම ගින්න නිසි ලෙස වටහා ගත්තන්ටවත් එයින් ඇතිවන කම්පනය බුද්ධිය අවදි කිරීමටවත් ප්‍රමාණවත් නොවන තරම් සමාජය අඳුරේ බව දන්නා නිසාය.
‘තුන්වන ලෝක යුද්දයේදී පරිහරණය කරන යුද අවි ගැන මම නොදනිමි. ඒත් හතරවැනි ලෝක යුද්ධයේදී පොලු මුගුරු, ගල්කැට යුද අවි ලෙස පරිහරණය කරනු ඇත.’ මේ ඇල්බට් අයින්ස්‌ටයින්ගේ කියමනකි. බුදුදහමේ ඉගැන්වෙන මුරුගසන් වැසි වසිනා අවදියද මෙයම වේ. මේ පහළව ඇත්තේ කලි යුගයේ වනචාරී අවදියයි.
මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ධර්ම සංවේගයට පත්වන ලෙසය. එය රහතුන්ට අයත් ධර්මතාවකි. එහෙත් එහි ආසන්නයට හෝ පැමිණිය හැකිය.
ඉන්දරතන හිමියන්ගේ ක්‍රියාව දිවිහානිකර ගැනීමකි පවසා කඳවුරු බඳිනා විට මෝඩකම, වෛරය හා අන්තවාදය ඇසුරේ පෝෂණය වූ දැක්‌මක් ඔබව යටපත් කරගෙනු යනු ඇත.
මෙය වීර ක්‍රියාවකැයි ඔබ කඳවුරු බඳින්නේ නම් එයට යුක්‌ති යුක්‌ත වූ උන්වහන්සේගේ ජීවිත පූජාව අර්ථවත්වන ලෙස මෙම හායන පක්‌ෂයෙහි ඇති සමාජ ප්‍රවණතා නවතා දැමීමට උත්සුක විය යුතුය. එසේ නොවන්නේ නම් එය ආත්ම වංචාවකි. විජීගිෂාවකි. (පිළිකුල්සහගත ආශාවකි)
ඔබට ආරෝහ පරවිඥනය උපදින්නේ නම් මැනවි. මින් ඉදිරියට වසර හැටක් පමණ වෘද්ධයකුගේ තැන්පත් පැසුණු බුද්ධියකින් ලොව බලන සිතුවිල්ලකි එය.
ඔබට කිව යුත්තක් ඇත. අප ලැඡ්ජා විය යුතුය. සිරිදේවමිත්ත ධර්මපාල හිමියෝ අපවත්වන්නේ නැවත ලක්‌දෙරණ නූපදින ප්‍රාර්ථනාවෙනි. කැප්පෙටිපොල හිස සිඳලන්නට අවසර දෙන්නේ පාවා දෙන්නන්ගේ දේශය අතහරිමිනි. කුඩාපොල හිමියන් අපවත් වන්නේ උන්වහන්සේට වෙඩිතබන්නට අණ දුන් ටොරින්ටන් ආණ්‌ඩුකාරවරයාව සිහිපත් කරන්නට ස්‌මාරක හදනා රටකය. (එහෙත් කුඩාපොල හිමියන් අනුස්‌මරණය කරන්නට දෙයක් ඒ රටේ නොමැත) හසලක ගාමිණී කුලරත්න විරුවා දිවි පුදන්නේ ජාතියම ඔහුගේ පවුලට කළ යුතු යුතුකම් නොතකා වැඩකරන රටකය. බෝවත්තේ ඉන්දරතන හිමියෝ දිවි පුදන්නේ එම මරණය අර්ථකථනය කරන්නට කඳවුරු බඳිනා රටකය. එය තවත් එක්‌තරා කතා මාතෘකාවක් කොට රට කරවන රටකය.
සහකම්පනය නූපදින්නේ මන්ද? සසල නොවන්නේ මන්ද? උන්වහන්සේගේ ජීවිත පූජාව ඉක්‌මන් වූයේ අප සැමගේ දුර්දාන්තකම නිසාය. සත්ව හිංසනය, ආගමික අපයෝජනය හා ජාතික අනන්‍යතාවයෙහි පවත්නා විකෘතිභාවය වළක්‌වන මෙය සැබවින්ම මිදුණු ඇටයක් කළ යුතු දේශයක් නොවන්නේද?
ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි. මුතු ඇටය යනු මුක්‌ත හෙවත් මිදුණු ඇටය යන්නයි. බෙල්ලාගේ කුසින් මිදුන ඇටය මුතු ඇටයයි. ලංකාව ඉන්දියන් සාගරයේ මිදුනු ඇටයකි. එහෙත් එය භෞතික මිදීමකි. සමාජ, සංස්‌කෘතික හෝ ආගමික අතින් නොවේ. අපට කිසිදා මිදී ජීවත්විය නොහැකිය. එහෙත් අප ඉවසිය යුත්තේ සංස්‌පර්ශය මිසක ආක්‍රමණය නොවේ. දැන් පෝෂණය වන්නේ සමාජ, ආර්ථික, දේශපාලනික සංස්‌පර්ශය නොවේ. ආක්‍රමණයකි. එසේ මිදීමට අප තවත් ලේ ඉල්ලා සිටින්නේ මන්ද? ආකල්පමය වෙනසකට නොයන්නේ ඇයි?
ඉන්දියානු හිටපු ජනාධිපතිතුමන් අබ්දුල් කලාම් මහතා මෙසේ පවසන්නේ ගිනිතටු නම් තම ස්‌වයං ආපදානයෙහිය.
‘අප සැම ඉපිද සිටින්නේ දිව්‍යමය ගින්නක් සහිතවය. අපගේ ප්‍රයතන එම ගින්නට තටු ලබාදී එහි සත්භාවයේ ආලෝකයෙන් ලෝකය ඒකාලෝක කිරීම විය යුතුය.’
අපගේ ඇඟ තුළ ස්‌වභාවයෙන්ම ගින්නක් ඇත. නැතිනම් උණක් ඇත. එය වැඩිවූ කලත්, අඩු වූ කලත් රෝගයකි. අවශ්‍ය වන්නේ එයට තටු ලබාදීමකි. නිධන්ගතව ඇති යහපත් බව දැනුම, ආකල්ප හා කුසලතාවන්ට ඉස්‌මතු වන්නට ඉඩදිය යුතුය. එහි සද්භාවය ආලෝකයක් මතුවනු ඇති. එයින් ලොව එළිය කළ යුතුව ඇත.
ඉන්දරතන හිමියෝ සියල් සිරුර අවුලුවා දිවි පිදූහ. ඒ අපගේ සද්භාවය ගින්නට තටු ලබාදෙනු පිණිසය. අප රොද බැඳිය යුතුව ඇත. ඒ මානව යහපත පිණිසය. සත්‍යය පමාවිය හැකිය. එහෙත් නෑවිදින් සිටින්නේ නැත.
‘පොළොව මත ජීවිතය පැවැත්වීම හා මානව සෞඛ්‍ය වැඩිකිරීමට නම් මිනිසා ශාකභක්‌ෂක ආහාරයට පරිණාමය විය යුතුය.’ මෙය අයින්ස්‌ටයින්ගේ කියමනකි. උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ එයයි.
‘ඔබ ධනය හා ගෞරවය සඳහා ඔබගේ ඥනය හා සත්‍ය පාවා දෙනවාදැයි මම අසමි’. මෙය සොක්‍රටීස්‌ගේ කියමනකි. බෝවත්තේ ඉන්දරතන හිමියෝ ඇසුවේ එයයි. මෙම සිදුවීමට ජාතක අටුවා ගැටපද නොලියා අප අපම මෙම ප්‍රශ්න අසමින් ධර්ම සංවේගය පළ කළ යුතුව ඇත.
අනිච්චං සංඛතං සබ්බං වියොගන්තං චලා චලං
අනිසය, වියොවගය, සසලය ලොව ඇති සියලු දහම්.
අපවත්වී වදාළ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ට අමා නිවන අත්වේවා!
No comments:
Post a Comment