උපුටා ගැනීම (බුදුසරණ 2010.06.19)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ආරකත්තා හතත්තාච
කිලේසාරීන සෝ මුනී
හත සංසාර චක්කාරෝ
පච්චයාදීනවා රහෝ
නර හෝ කරෝති පාපානි
අරහංතේන වුච්චතී”තී
මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!
කාරුණික පින්වත්නි,
ශාක්‍ය මූනීන්ද්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම් වූ උතුමන් වහන්සේ පහළවීම නිසා අප කවුරුත් හරිම වාසනාවන්තයි. ඒ බුදු සසුනේ පිළිවෙත් පුරන්න භාග්‍යය ලැබූ අප හරිම වාසනාවන්තයි. ඒ බුදුපියාණන් වහන්සේ ගැන සිතන්න හොඳ වාසනාවන් සිතක් අපි ලැබුවා. ඒ බුදු ගුණ බුදු බණ අහන්න වාසනාවත් දෙසවන් පත් ලැබුණා. බුදු ගුණයට දෝත නඟා වඳින්න වාසනාවන් දෑතක් ලැබුණා. සියලු කායික මානසික දුක් වේදනා සංහිඳුවා ගන්නට සසර දුක් නිමා කරන්නට බුදු ගුණ බුදු බණ ඔස්සෙ මහා පිහිටක් අපට ලැබුණා.
පින්වත්නි, ඔය ඇත්තන්ගෙ සිත්වලට අරහං බුදුගුණ සුවඳ බෙදා දෙන්නයි අද මගේ බලාපොරොත්තුව . ඉහත සදහන් ගාථාවෙ අදහස විමසමු. “සෝ මුනී”, ඒ මුනින්ද්‍රයන් වහන්සේ
“කිලේසාරීනං” ,කෙළෙස් නමැති සතුරන් “ආරකත්තා” , දුරු කළ නිසාත් “හතත්තාච” , කෙළෙස් නැසු නිසාත්
“හත සංසාර චක්කාරෝ - “ සංසාර චක්‍රයාගේ අර නැසු නිසාත් “ පච්චයාදීනඤ්ච ,” සියලු පූජාවනට
“අරහෝ” , සුදුසුවන නිසාත් “රහෝ” රහසින්වත්
පාපානි, “පව්කම් නකරෝති”, නොකරන ලද නිසාත්,
“තේන, ඒ ඒ කරුණු නිසාත්,” අරහං “අරිහත්ය” යි
“පවුච්චති”, කියනු ලැබේ.
මේ ගාථාවෙන් අරහං ගුණයට අර්ථ පහක් දී තිබෙනව. මුලින්ම කියැවුණේ වාසනා සහිත සියලු කෙළෙසුන් කෙරෙන් දුරු වු නිසා අරහං කියන බව. මොනවද මේ වාසනා කියල කිවුවෙ? අපි මුලිනුත් වාසනාව ගැන කතා බහ කළානෙ.
කෙළෙස් දුරුකළ මහ රහතන් වහන්සේලාගේ සන්තානවලත, කෙළෙස් දුරු නොකළ අයගෙ චිත්ත සන්තානවලත්, ඇසූ දුටු අය නොපහදින යම් යම් ගති පුරුදු තිබෙනව.
එක මහ රහතන් වහන්සේ නමක් වැඩ හිටිය බුද්ධ කාලයේ , අනෙක් අයට වසලය ආදී පහත් විදිහට කතා කළා. මේ ගැන බොහොම දෙනා නොපැහැදීමට ලක්වුණා. බුදුරජාණන් වහන්සෙ වදාළ ඒ පෙර සංසාර කෙලෙස් පුරුදු කියලා. බුදුරජාණන් වහන්සේගෙ බුදු සිතේ මේ වාසනා ගති, සංසාර කෙලෙස් පුරුදු සහමුලින්ම දුරු වුණා.
පින්වත්නි, ඔබටත් මේ වගේ ගති පුරුදු තිබෙනව නම් ඒ නරක පුරුදු දැන්ම අත හරින්න. නැතිනම් ඒවා ඔබටම දුක පිණිස පවතිනව. ඊළඟට කෙළෙස් සතුරන් කියන්නෙ කවුද? කෙළෙස් කියන්නෙ කිළිටි සිතිවිලි නරක නපුරු සිතිවිලි සිත දූෂිත කරන සිතිවිලි. අද දවස, හෙට දවස, මතුභවය සියලු අනර්ථය සිදු කරණ, දුක දොම්නස, කණගාටුව , පසුතැවිල්ල ඇති කරණ සිතිවිලිවලට කෙළෙස් කියනව. සරල නිදර්ශන කීපයක් ගනිමු.
ඔබ රූපයක් දකිනව. පිරිමි හරි ගැහැණු හරි වෙනයම් දෙයක් හරි දකිනව. දැන් ඔබේ දෑසට අරමුණක් ලැබිල. අරමුණ ගැන දැන් හිතනව. එයා හරි ලස්සනයි. කොණ්ඩය ලස්සනයි. මුහුණ ලස්සනයි. ඒ ඇඳුමට වඩාත් ලස්සනයි. ගමන ලස්සනයි. ඔය විදිහට ඒ රූපය ගැන ආශා කරණව. ඇලෙනව, බැඳෙනව, වසඟ වෙනව. දැන් ඒ සිත පුරාම වැගිරෙන්නෙ, ආශාව ,රාගය, කෑදරකම, උපාදානය, දැන් සිත කිළිටිවෙලා, කෙළෙස්බරයි. ඒ සිතිවිල්ල ඔස්සෙ උපදින්නෙ අසහනය, නොඉවසීම.
ළඟට ඇසට ලැබුණු ඒ අරමුණ ගැන අකමැත්තෙන්, නොමනාපයෙන් අසුබවාදීව සිතන්න. දැන් සිතේ පහළ වන්නෙ මොනවාද? නොකැමැත්ත, නොමනාපය, ගැටීම , තරහව, ද්වේශය, ක්‍රෝධය ,වෛරය, පලිගැනීම, ඒත් සිත කිළිටි වෙනව නේද? කෙළෙස් බරයි. ඒ නිසාවෙන් සිදු වන්නෙත් දුකම නේද? ඒ වගෙම බලන්න සමහරු ඉන්නවනෙ, අපි මහ ඉහළ කුලවල අපි ධනවත් අය අපි බලවත් අය, අපි තමා සිල්වත්, අපි තමා උගත් කිය කියා තමන්ව මැන ගන්නව. ඔය මැන ගැනිල්ල තමා මානය කියන්නෙ, ඒකත් සිත කිළිටි කර ගැනිල්ලක්.
මහා අසහනයක් දුකක්, අනුන්ගෙ දියුණුව, සැපත දැකල සමහරු ඊර්ෂ්‍යා කරණව. කෙළෙස් , රූප, ශබ්ද, ගන්ධ, රස, සපර්ශ, අරමුණු, මේ හැම දේ ගැනම ඇතිවන ඇලීම ගැටීම සිතට මහ බරක්, ජලයට දුගඳ, සුගඳ කොයිදේ එකතු වුණත් වෙන්නෙ දූෂිත වෙන එකනෙ. ඒ දෙකම නැති ජලය ඉතාම පිරිසුදුයි. ඒ වගෙ ඇලීම ගැටීම සහමුලින් නැති කළ සිත ඉතාම පිරිසුදුයි. බලගතුයි. බුදුරජාණන් වහන්සේගෙ බුදු සිතත් එබඳුයි.
බුදුපියාණන් වහන්සෙ තමන් වහන්සෙගෙම නුවණින් රාග, ද්වේෂ, මෝහාදි සියලු කෙළෙස් සතුරන් සිඳ දැමුව , සංසාර බැමි සහමුලින් සිඳ දැමුව.
සසර සංසාරෙ කියන්නෙ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙහෙම.
“ඛන්ධානං පටිපාටි ධාතු ආයතනනාන්ච
අබ්බොජ්චින්නං වත්තමානං - සංසාරෝති පවුච්ඡතී”
“ඛන්ධානං” පඤ්චස්කන්ධයන්ගෙන් -ධාතු ආයතනානිච,
අටළොස් ධාතු සහ ආයතන හයක් “අබ්බොෂ්චින්නං”
නොසිඳීමෙන් “වත්තමානං” පවත්නා “ පටිපාටි” , පිළිවෙල
“සංසාරෝති” සංසාරයයි
“පවත්තති” කියනු ලබනව.
මොනවද පඤ්චස්කන්ධ? ඔබටත් මටත් භවයෙන් භවය නොසිඳී පවතින,රූප වේදනා සංඥා සංඛාර ,විඤ්ඤාණ කියන පහට අටළොස් ධාතු කියන්නෙ මොනවාද?
ඒ තමා චක්ඛුධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු , සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාණ ධාතු, ගන්ධ ධාතු, ඝාණ විඤ්ඤාණ ධාතු, ජිව්හා ධාතු, රස ධාතු, ජිව්හා විඤ්ඤාණ ධාතු, කාය ධාතු ඵොට්ඨබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු ඊළඟට ආයතන හය නැත්නම් සළායතන කියන්නෙ මොනවද? චක්ඛායතන සෝතායතන ඝාණායතන ජිව්හායතන , කායායතන, මනායතන, ඒ වගේම බාහිර ආයතන හයකුත් තියෙනව. ඒ තමා රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, ඵොට්ටබ්බායතන ධම්මායතන, මේ සියලුම දේ නොසිඳී පැවතගෙන එන පටිපාටියට තමා සංසාරය කියන්නෙ. මේවා ඉපදී ඉපදී මැරී මැරී නොයෙක් ගතිවල නැවත ඉපදෙමින් ගමන් කරණ හින්දයි සංසාර චක්‍රය කියන්නෙ.
අපි දැන් පඤ්චස්කන්ධය ගැන විස්තර ටිකක් සොයා බලමු. මෙයින් රූප නැත්නම් රූපස්කන්ධ ගැන විමසමු. පඨවි ධාතු හෙවත් තද බවින් යුක්ත කොටස් ආපෝ ධාතු හෙවත් වැගිරෙණ ජලය වැනි කොටස් තේජෝ ධාතු හෙවත් ශරීරයේ සිසිලස හරි උණුසුම හරි වායෝ ධාතු හෙවත් වැනෙන , සැලෙන ගතියෙන් යුක්ත දේවල්. අපේ ශරීරය කුණප හැටියට කොටස් තිස් දෙකකට බෙදෙනව. කුණප කියන්නෙ කුණු ගඳ ගහන, කුණුවෙන කියන එක මොනවද ඒ කොටස්? කෙස්,ලොම් , නියපොතු, දත්, සම, මස්, නහර ඇට, ඇට මිදුළු, වකුගඩු, හෘදය, අක්මාව, ඇලදිව, බඩදිව, පපුමස, පැසුණූ ආහාර, නොපැසුණු ආහාර , උදරය , අශුචි, හිස් මොළ කියන මේවා තද මොළොක් ගතියෙන් යුක්තයි. පඨවි ධාතුවට අයත් පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදය, කබ, කඳුළු , කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍ර වගෙ දියර කොටස් ආපෝ ධාතු, ශරීරයේ පවතින උණුසුම සිසිල්බව තේජෝ ධාතුවට අයත් අපි ගන්න හෙලන සුළඟ ශරීරයේ තැනින් තැන දිව යන සුළඟ, වායෝ ධාතුව ඒ වගෙම රූප දැකීමට මුල්වන ඇහේ ඔප ගතිය හෙවත් චක්ඛු ප්‍රසාදය, ශබ්ද ඇසීමට මුල්වන සෝත ප්‍රසාදය, ගඳ සුවඳ දැනීමට මුල් වෙන ඝාන ප්‍රසාදය, රස දැනීමට මුල් වෙන ජිව්හා ප්‍රසාදය, පහස දැනීමට මුල්වෙන කාය ප්‍රසාදය, ඇසට අරමුණූ වන රූපාරම්මනය, කණට අරමුණු වන ශබ්දාරම්මනය, නාසයට අරමුණු වන ගන්ධාරම්මනය, කයට අරමුණු වන ස්පර්ශය, ස්ත්‍රිභාවය හඟවන , ස්ත්‍රිභාව රූපය, පුරුෂ භාවය හඟවන පුරුෂ භාව රූප හදය වස්තුරූපය ,ජීවිතේන්ද්‍රිය, වැනි දහ අට වැදෑරුම් රූප රූප්කන්ධයට අයිතියි. මේ හැම රූපයක්ම කැඩෙනව, බිඳෙනව, කුණු වෙනව, ලෙඩ වෙනව, ජරා වෙනව, ගඳ ගහනව, විනාශවෙන සුළුයි, මේව කාගෙද? මම කියන එක්කෙනාගෙ මගේදැයි සිතා බලන්න.
ඊළඟට වේදනාස්කන්ධ විඳීම් ගොඩ ඒ මොනවද? සැප විඳීම දුක් විඳීම මධ්‍යස්ථ විඳීම සොම්නස දොම්නස වගෙ හැම විඳීමක්ම මීට අයත්. මේව කාගෙ විඳිම්ද? කවුද විඳින්නෙ? මම විඳින්නෙ. මගේ විඳිම්, මේ විඳීම් තමා ජීවත් වෙනව කියන්නෙ. ඒකට ලොකු පොඩි භේද නැහැනේ. හැම විදිහයකම හඳුනා ගැනීම් සංඥාස්කන්ධ සංස්කාර කියන්නෙ කළ කී දේවල එකතුව. පින් එක් රැස් කරණ වනෙ .
මිය ගිය අයට පින් දෙන්න, අපල උවදුරු ගෙවෙන්න. ජනපි‍්‍රය වෙන්න, දෙව් මිනිස් සැප ලබන්න , පරලොව සුගතිගාමි වෙන්න. ඒ වගෙ නොයෙක් බලාපොරොත්තු ඉටු කර ගැනීමෙ ආශාවෙන් කරන පින්කම් පුඤ්ඤාභිසංඛාර කළ කී හැම පවක්ම අපුඤ්ඤාභිසංඛාර, ධ්‍යාන, සෘධිබල ලැබීමේ ආශාවෙන් කරන සමථ භාවනාවලින් ලබන අනේඤ්ඤාභි සංඛාර මෙම සංස්කාරස්කන්ධයට අයිතියි. ඔය ගොඩටද ඔබත් වැටිල ඉන්නෙ?
කාමාවචර ,රූපාවචර, අරූපාවචර , ලෝකෝත්තර හැටියට බෙදී යන සිත්වල එකතුව තමා විඥානස්කන්ධ මේ පඤ්චස්කන්ධය හදා ගත්තෙ අපිමයි. මම , මට, වගේ කියල උපාදානයෙන් බැඳි බැඳි අපි අපිමයි මෙය හදා ගන්නෙ. අපේ බුදුරජාණන් වහන්සේ මේ පඤ්චස්කන්ධය හට ගැනීමෙ හේතු සියල්ලම, සසර බැමි සියල්ලම සහමුලින් නැති කළා. මේ නිසාම උන් වහන්සේගෙ සිත අරිහත් වුණා. වන්දනීයාති වන්දනීය වුණා. පූජනීයාති පූජනීය වුණා. පරම පූජාර්හ වුණා. සියලු පුජාවනට සුදුසු වුණා. ඒ බුදු සිතේ රහසින්වත් පාප සිතිවිල්ලක් පහළ වුණේ නැහැ. එවැනි උතුම් බුදු සිතක පිරිසුදුකම මොන තරම්ද කියල වර්ණනා කරල අවසන් කළ නොහැකියි.බුදුරජාණන් වහන්සෙගෙ
අරහං බුදු ගුණය මෙනෙහි
කිරීමෙන් පවා
සිත පිරිසුදු වෙනව. සිත සන්සුන් වෙනව.
“අරහං අරහෝති නාමේන
අරහං පාපං නකාරයේ
අරහත්ත ඵලං හෝතී
අරහං නාමතේ නමෝ
අරහං බුදු ගුණ සිසිලසින් ඔබ සැමට යහපත උදාවේවා! බුදු සරණයි
No comments:
Post a Comment