“කථංහි නාම සත්තෝ සත්තස්ස ඒවරූපං කරිස්සති…”යනුවෙන් පවසමින් එම ක්‍රියාවට සම්බන්ධ නොවූ පිරිස එම ලිංගික චර්යාවේ කොටස්කරුවන්ට ගරහන්නට, පහර දීමට, හිරිහැර කිරිමට ආරම්භ කරයි. ඇතැම් විට ඊර්ෂ්‍යා පරවශ සිතිවිලි හෝ සමාජ සම්මතයට ගරු කිරීමේ සාම්ප්‍රදායික ක්‍රම වේදය අනුව අනෙක් පිරිස මෙම හැසිරීමට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා ද විය හැකි ය.
එහෙත් සමාජ සම්මත වෙනස් වීම්, අගයන් වෙනස් වීම් තුළ විවිධ ප්‍රතිජානාත්මක හෙවත් යහපත් ඇගැයුම් බිහි වේ නම් බුදුසමය ඒවා පිළිගනී. අධම්ම ලෙස කලකදී හඳුනාගනු ලබන දේ ‘ධම්ම’ ලෙස කලකදී හඳුනාගනු ලබන දේ ‘ධම්ම’ හෙවත් යහපත් දේ බවට තවත් කලකදී පත් විය හැකි ය. එය පුද්ගල පැවැත්මට හානිකර නො වේ. නම් යහපත් සේ පිළිගත යුතු වේ.
චක්කවත්ති සීහනාද සූත්‍රය සදාචාර ඇගැයුම් පරිවර්තනය වීමේ සීමා ඉක්මවා යන ආකාරයත් එවිට සමාජය නැවතත් තිරශ්චීන අවධියකට ප්‍රවිෂ්ට වන ආකාරයත් විග්‍රහ කරයි. සදාචාරය පිරිහීමෙන් පසු මව, පියා, නැන්දා, මාමා, පුතා ආදි සංඥා ඉවත් වී, ලිංගිකත්වයට ප්‍රධාන තැන දෙන යුගය බිහි වන සමයක් ගැන කරුණු ඉදිරිපත් කරන බුදුරදුන් ඒවා සාධනීය ලක්‍ෂණ සේ හඳුනා නොගනී. ලිංගික ඇගැයුම් මිනිස් අවශ්‍යතා අනුව පරිණාමය විය යුතු බව සැබෑ ය. එහෙත් මාතෘත්වය, පිතෘත්වය වැනි උදාර ඇගැයුම් කාමයෙන්, රාගයෙන් වැසී යයි නම් බුදුරදුන් එය හඳුනාගන්නේ පිරිහීම් කාරකයක් ලෙසින් බව එම සූත්‍රයෙන් අනාවරණය වෙයි:
“දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු න භවිස්සති මාතාති වා මාතුච්ඡාතිවා මාතුලානිතිවා ආචරිය භරියාතිවා ගරූනං දාරූතිවා සම්භේදං ලෝකෝ ගමිස්සති යථා අජේලකා කුක්කුට සුකර සෝන සිගාලා…”
පශ්චාත්නූතන චින්තනය ද තිරශ්චීන ලිංගික සබඳතා අනුමත කිරීමක් සිදු නො කරයි. බුදුසමය එම චින්තනයට වඩා ඉදිරි වැඩ පිළිවෙළක් සදාචාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරයි. මිනිසාගේ ජීවිතය ‘සාදාචාර’ රාමුවකට යටපත් කිරීමේ සිරගත කිරීමේ අරමුණක් බුදුසමය තුළ අප්‍රකට ය. බුදුසමයට අවශ්‍ය වන්නේ මනුෂ්‍යත්වය තුළ එසේ ම මිනිස්කමේ සීමා තුළ සෑම සබඳතාවක් ම රඳවාගෙන ජීවිතයට නිවැරදි දෘෂ්ටියක් ලබාදීම යි.
පශ්චාත්නූතන චින්තකයන් විසින් ලිංගිකත්වය පිළිබඳ ගෙනෙන ප්‍රබල තර්කයක් ඇත. ඔවුන්ගේ විග්‍රහයට අනුව ලිංගිකත්වය පිළිබඳ සකස් වී ඇති නීති-රීති සේ ම ආකල්ප ද අනෙක් බොහෝ දේ පරිදි ම මිනිසා විසින් සිය සංස්කෘතික අංගයක් සේ සකස් කරගෙන ඇත. එනිසා එවන් සංස්කෘතික නිර්මාණයක් වෙනස් නොකළ යුතු පූජනීය අංගයක් ලෙසින් ඔවුහු නොපිළිගනිති. මෙම කරුණ සමඟ බුදුසමය ද එකඟ වෙයි. එසේ ම පශ්චාත් නූතනවාදීන්ට අනුව මිනිසාගේ ලිංගිකත්වය, ලිංගිකකාරණය සහ ලිංග භේදයන්, එසේ ම ඒ හා බැඳී පවතින දේශපාලන බල ව්‍යූහයත් ලිංගික සංකේත කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වීම ද ස්වාභාවික වූවක් නො වේ.
එය සංස්කෘතික වූවකි. මිනිසාගේ ආත්මාර්ථකාමීත්වය තවතවත් වර්ධනය වන, අධිකාරීමය ලක්‍ෂණ තම පෞරුෂය තුළ වැඩෙන ලක්‍ෂණ බුදුසමය අගය නො කරයි. ලිංගිකත්වය පිළිබඳ පවතින සම්බන්ධතාව විසංයෝජනය (deconstruction) කිරීමට බුදුසමය එරෙහි නො වේ. අනිත්‍යය පිළිබඳ බෞද්ධ ආකල්පය මෙම පරිවර්තන කාර්ය විෂයයෙහි ද ආදේශ කළ හැකි ය. ප්‍රත්‍ය සම්බන්ධතාව වෙනස් කළ විට ඕනෑ ම තත්ත්වයක ප්‍රතිඵලය වෙනස් වීම අවශ්‍යයෙන් ම සිදු වෙයි. බුද්ධ කාලීන රහතන් වහන්සේ සමාජය තුළ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිස ම අන්තර්ගත විය.
ථේර ගාථා හා ථේරි ගාථාවලින් මනාව පැහැදිලි වන සත්‍යයක් ඇත. එම සමාජයේ ව්‍යූහය නිර්මාණය වූයේ ලිංගික සංකේතමය බලය කේන්ද්‍ර කොටගෙන නො වේ. සම්මතයන් ලෙස ඇතැම් නම් සහ තනතුරු නියෝජනය කිරීම පමණක් එහිදී සිදු විණි. නව වෙනස්කම් පෞරුෂ තුළ හෝ සමාජ ව්‍යූහය තුළ සිදු වන විටදී එතෙක් පැවැති සදාචාරාත්මක ඇගැයුම් එම වෙනස්කම්වලට නොගැළැපේ නම් ඒවා වෙනස් වෙයි. එනිසා යම් සමාජයක පවතින සදාචාරය යනු වෙනස් නොවන හෝ වෙනස් නොකළ යුතු අනන්‍ය ලක්‍ෂණ සහිත ස්වාභාවික සත්‍යතාවක් නො වේ. සංස්කෘතික නිර්මාණයක් වන සදාචාරය පවතින තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට ඔසවා තැබීමට මිනිසාට ශක්‍යතාව ඇත.
එහෙත් මෙහිදී සැලැකිලිමත් විය යුතු කරුණක් වන්නේ නව පරිවර්තන තුළින් නිර්මාණය කරගනු ලබන සදාචාරය මිනිස් සංහතියේ ප්‍රගතියක් නියෝජනය කරන්නේ ද එසේ නැත් නම් පැවති තත්ත්වයට වඩා ප්‍රාථමික තත්ත්වයකට ගමන් කොට ඇත් ද යන කරුණ යි. ශිෂ්ට සම්පන්නභාවය ඉහළ නැංවීමට මානව සමාජයට අලුතින් නිපදවෙන සදාචාරය ප්‍රතික්‍ෂේප කිරීම බුදුසමය සිදු නොකරන බව මෙහිදී ප්‍රකට ව පෙනෙන කරුණකි.
බුදුසමය මිනිසා හඳුනාගන්නේ ලෝකයේ පාලකයා ලෙසින් නො ව, සුවිශේෂ බුද්ධියක් සහිත පරිපූර්ණත්වයට පත් වීමේ වඩා ශක්‍යතාවක් සහිත ජීවියකු ලෙසිනි. මිනිසා ලිංගිකත්වයට විසංවාදී හෝ පරිබාහිර අංශයක් නො වේ. යම් යම් ජෛවීය සබඳතා සහ මානසික ආකල්ප සමඟ ලිංගිකත්වයේ ඇති ප්‍රබලත්වය බුදුසමයෙහි පිළිගැනේ. මහායාන බුදුසමයේ වජ්‍රායාන හා තන්ත්‍රයාන වැනි ඇතැම් සම්ප්‍රදායයන්හිදී නම් සම්භෝගයෙන් සුරතාන්තයට පත් වීම විමුක්තියට යම් යම් අංශ මඟින් සම වන බව පිළිගැනේ. එසේ ම සෙන් සම්ප්‍රදාය තුළදී මිනිසා පරාර්ථකාමී වීමේ ප්‍රබල අවස්ථාවක් ලෙස සංසර්ගය හඳුනාගැනේ.මිනිසා විසින් මිනිසත් බව ආරක්ෂා කළ යුතු බව බෞද්ධ විග්‍රහය යි.
එහෙත් ලිංගිකත්වය අමනුෂ්‍ය කාර්යයක් බව ඉන් ගම්‍ය නො වේ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධය නිවැරැදි වන විට බුදුසමය ‘ධම්මික’ හෙවත් නිවැරැදි ලිංගික සමවායක් බව පිළිගනියි. ඇතැම් විට එම දර්ශනය ප්‍රභවය වූ සංස්කෘතියට සාපේක්ෂ ව තිබූ ඇගැයුම් සමඟ සමගාමී ව මෙවැනි ආකල්පයන් ප්‍රකාශ වූවා ද විය හැකි ය. ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇති වන සබඳතා අතර ස්පර්ශය හෙවත් කායික සබඳතාව ඉතා ප්‍රබල භාවයක්, චිත්ත වේගයක් බව ‘ඉත්ථි බන්‍ධන’ හා ‘පුරුෂ බන්‍ධන’ සූත්‍ර මඟින් හෙළි කරයි.
‘තේ භික්ඛවේ සත්තා සුබද්ධා යේ ඵස්සේන බද්ධාණි…”
එහෙත් මෙම විග‍්‍රහය තුළ කුමනාකාරයක හෝ ස්ත්‍රී ආධිපත්‍යයක් හෝ පුරුෂාධිපත්‍යයක් ප්‍රකාශ නොවේ. මනුෂ්‍යත්වයේ හෝ පෘථග්ජන ජීවිතයේ භාවමය අංශයේ ස්වභාවය කුමක් ද යන්න පොදුවේ ප්‍රකාශ කරයි. බුදුසමය මිනිස් ලිංගික ක්‍රියා විෂයයෙහි ප්‍රතිවිරෝධතාවක් නොදක්වන බව මෙම එක් පැහැදිලි කිරීමකින් වුව ද පැහැදිලි ය.
බුද්ධකාලය වර්තමාන ලෝකයට සාපේක්ෂ ව සංකීර්ණ නොවුණ ද ලිංගිකත්වය සම්බන්ධ විවිධ වෛවාරණ ක්‍රම භාවිත වූ බවට විනය පිටකය සාක්‍ෂි දරයි. විශේෂයෙන් පාරාජිකා පාළිය මෙයට නිදසුනකි. පළමු පාරාජිකාපත්තිය සේ ම පළමු සංඝාදිසේසාපත්තියත් ලිංගික චර්යාව හා සම්බන්ධ වීමෙන් එහි ප්‍රමුඛ බව ස්ඵුට වෙයි. භික්ෂූන් වහන්සේ විමුක්ති මාර්ගයට අවතීර්ණ වූ පිරිසක් බැවින් ‘බ්‍රහ්ම චරිය’ වාසය ඔවුනට දැඩි සේ අවධාරණය කරයි. එහෙත් සාමාන්‍ය මිනිසුන් වන කාන්තාවන්, පුරුෂයන්, පණ්ඩවයන් හා උභතෝ බ්‍යඤ්ජනකයන් සමග විවිධ ලිංගික කාර්යයන් භික්ෂූන් විසින් පවත්වනු ලැබූ ආකාරයට ප්‍රමාණවත් උදාහරණ ඉහත දැක්වූ මූලාශය තුළ ප්‍රකට වෙයි.
“තිස්සෝ ඉÀථියෝ මනුස්සිÀථි, අමනුස්සිÀථි තිරච්ඡාන ගනිÀථි තයෝ උභතෝ ඛ්‍යඤ්ජනකා මනුස්ස…අමනුස්ස…තිරච්ඡානගත… තයෝ පණ්ඩකා මනුස්සා… අමනුස්සා… තිරච්ඡානගතා…”
එකල මිනිසුන් විසින් ලිංගික ආස්වාදය ලැබීමට භාවිත කල ක්‍රම හා ඉරියවු රැසක් ද එහිදී විදහා දැක්වේ. වසමග, පසමග, මුවග, කලවා සංසර්ගය, රහසග හෝ නැබ ගැටීම, උදර ගැටියෙහි ගැටීම, කිසිල්ලෙහි ගැටීම, හස්ත උපක්‍රම භාවිතය (පාරාජිකා පාලි 93 – 94 – 95 – 69 – 80 පිටු අංක ) ආදි විවිධ අංශ ඒ අතර වෙයි. භික්ෂූන් වහන්සේ බ්‍රහ්මචර්යා වාසය අනුගමනය කිරීමට බැඳී සිටින බැවින් සියලු ආකාරයේ ලිංගික ක්‍රියා බැහැර කිරීමට බුදුසමය උපදෙස් දෙයි.
ලිංගික කාර්යයක කොටස්කරුවකු වීම සහ එමගින් ඇවැතකට පත් වීමට නම් පහත සඳහන් ගුණාංගයන් එකක් හෝ අනුමත කිරීම හෝ ඉන් තෘප්තිමත් වීම හෝ ඒවා ඉවසීම ප්‍රමාණවත් බව බුද්ධ දේශනය යි.
“සෝ පවේසනං සාදියති. පවිට්ඨං සාදියති. ඨිතං සාදියති. උද්ධාරණං සාදියති…”
රහසඟ ප්‍රවිෂ්ට වීම ඉවසීම, ප්‍රවේශනය ඉවසීම, එහි රඳා පැවැත්ම ඉවසීම හෝ උද්ධාරණය ඉවසීම යන කරුණු සතරෙන් අවම වශයෙන් එකක් හෝ ඉවසීම පචිති වීමට හේතු වේ.
ලිංගික චර්යාව සම්බන්ධ වැදගත් විවරණයක් ‘මාතාපුත්ත’ සූත්‍රයේ සටහන් වෙයි. මව හා පුත්‍රයා අතර සම්භෝග සුඛය විඳීම බුදුරදුන්ගේ නිග්‍රහයට ලක් වෙයි.
එම සූත්‍රයේදී කාන්තාව සහ පුරුෂයා සදාචාර ධර්ම ඉක්මවා ලිංගික චර්යාවනට පෙලඹීමට තරම් හේතු සාධක මොනවා දැ යි පැහැදිලි කරයි. අන්‍යෝන්‍ය වශයෙන් දෙදෙනා ම එකිනෙකා කෙනෙහි රඤ්ජනයට, කාමයට, මදයට, බන්ධනයට හා කාම මූර්ඡාවට පත් වන බවත් එය රූප ශබ්ද ආදි ගෝචර වස්තු විෂයයෙහි ඇති වන බවත් පහදයි. ප්‍රකෘති මනුෂ්‍ය ලක්ෂණවල ස්වභාවයක් ලෙස එය පෙන්වා දෙයි.
“නාහං භික්ඛවේ අඤ්ඤං ඒක රූපංපී සමනු පස්සාමී යං ඒවං රජනීය ඒවං කාමනීයං ඒවං මදනීයං ඒවං මුච්ඡනීයං… යථයිදං භික්ඛවේ ඉÀථිරූපං… යථයිදං භික්ඛවේ පුරිස රූප…”
විරුද්ධ ලිංගිකයන් අතර ගොඩනැගෙන විශ්වාසය සහ අන්‍යෝන්‍ය බැඳීම කායික සබඳතාවක් දක්වා වර්ධනය වනවා පමණක් නො ව, එකිනෙකා දැකීමත් තෘප්තියට හේතුවක් බන බවත් තම සිත බැඳුණු කෙනාගේ සෑම ඉරියවුවක් ම සිත් ගන්නා බවත් එම සුත්‍රයේදී ම පැහැදිලි කැරේ. සිටීම, හිඳීම, සයනය කිරීම, සිනාව, ගායනය, හැඬීම ද අවම වශයෙන් මිය යන අවස්ථාව දැකීම ද දෙදෙනා අතර බන්ධනය තීව්‍ර කරන බව පැහැදිලි කරයි. මෙම සියලු චර්යා සාමාන්‍ය මිනිස් චරිතයක ප්‍රකෘති ලක්‍ෂණ වුවත් ඒවා සාධාරණීකරණය කළ හැකි වුව ද, මනුෂත්වය සමග නොගැළැපෙන බැවින් අනවශ්‍ය ආකාරයේ බන්ධන වෙනස් කරගැනීමට බුදුසමය උපදෙස් දෙයි.
සමකාලීන ලෝකය තුළ ලිංගික චර්යාවන්ගේ භාවිතය සංකීර්ණ සහ අතිශය ගැටලුකාරී ද වෙයි. පශ්චාත් නූතන විග්‍රහය මිනිසුන්ගේ ප්‍රායෝගිකත්වයේ උපයෝගීතාව ඔවුන්ගේ නිර්ණායක කොට ගනියි. ඔවුහු ස්වාභාවිකත්වයට වැඩි සැලකිල්ලක් දක්වති. මිනිසුන් සංකල්පීය ව වාචික ව අන්‍යයන් හමුවේ සදාචාරය අගය කරන අතර, ප්‍රායෝගික ජීවිතයේදී ඒවා බැහැර කරන බවත් රහසිගත ජීවිතයකට මිනිසා හුරු වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. බුදුසමය ලිංගික චර්යාව සීමා කිරීමේදී භික්‍ෂූන්ට සම්පූර්ණයෙන් ම එමගින් ඉවත් වන්නට උපදෙස් දෙයි. බුදුසමය ලෞකික ජීවිතයක් ගෙවන මිනිසුන්ට ලිංගික තහංචි නොදමන අතර, වඩාත් විධිමත් නිරවුල් සම්බන්ධයකට මග පෙන්වයි. එම මග පෙන්වීම හුදු මනෝමූලික සංකල්පයක් නො වේ. සිගාලෝවාද සූත්‍රයේදී ස්වාමි – භාර්යා දෙදෙනා ම ‘අනති චරියා’ හෙවත් ‘එකිනෙකා’ නොඉක්මවීමට වගබලාගත යුතු බව පෙන්වා දෙයි. ලිංගිකත්වය සහ ඒ හා සබැඳි තෘප්තිය විවාහ දිවියට සීමා කළ යුතු ය. එසේ නොවුණ හොත් අනෝන්‍ය විශ්වාසය තහවුරු නො වේ. විවාහයට මෙවැනි සාරධර්මවල ඇති ආදේශකත්වය එමගින් පැහැදිලි වෙයි.
විවාහ ජීවිතයේ ලිංගික සම්බන්ධතාවන්ගේ සීමා නිර්ණයකට වඩා ප්‍රතිසංස්කරණාත්මක උපදේශනයක් බුදුසමය ලබාදෙයි. විවාහය සංස්ථාවක් ලෙස පැවැත්වීමට නම් එහි සාමාජිකයන් යම් යම් එකඟතාවන්ට පැමිණිය යුතු ය. එම එකඟතා පිතෘ මූලික විය යුතු බව ඉන් ප්‍රකට නො වෙයි. මනුෂ්‍යත්වය අගය කරන ආකාරයේ එකඟතා සම්මත ලෙස බුදුසමයත් අගයයි. සුත්ත නිපාතයේ ‘බ්‍රාහ්මණ ධම්මික’ සූත්‍රයේදී විවාහයේ පුරුෂාර්ථ ලෙස පෙන්වා දෙන්නේ තම බිරිය නොඉක්මවීම, අඹුවන් මිලට නොගැනීම, සහ අඹුවන් නොවිකිණීම යන සාධක පදනම් කොට ගනිමිනි.
“න බ්‍රාහ්මණා අඤ්ඤං අගමුං නපි භාර්යං කිනිං සුතේ සම්පියේනේ ච සංවාසං – සංගහිÀවා සමරෝචයුං”
අන්‍යෝන්‍ය ප්‍රේමය සහ සහයෝගීත්වය සකස් කරගැනීමට අවශ්‍ය පදනමක් මත විවාහය පිහිටුවීමට එහි කොටස්කරුවන් සමත් විය යුතු බව මෙමගින් අදහස් වේ. එසේ ම තත්කාලීන සම්ප්‍රාදායික ලක්‍ෂණයක් වූ කාන්තා වෙළෙඳාමට, ස්ති‍්‍රය වෙළෙඳ භාණ්ඩයක් කරගැනීමට එරෙහි බෞද්ධ එළැඹුම ලෙසත් මෙම අවස්ථාව සැලැකි ය හැකිය.
බුදුසමය පුරුෂාධිපත්‍යය නොපිළිගන්නා අතර ම කාන්තාව ද්විතීයික සත්ත්ව ප්‍රජාවක් සේ අර්ථ දැක්වීමක් නො කරයි. එවැනි ගති ලක්ෂණ පවුලක් තුළ නොතිබිය යුතු බවත් මූලික බෞද්ධ ඉගැන්වීම් විමසන විට ප්‍රකට වෙයි.
පශ්චාත්නූතන චින්තනය තුළදී සමලිංගික සේවනය දෙස සුබවාදී ව අවධානය යොමු කරයි. මිනිසාට විවිධ රුචිකත්වයන් තිබිය හැකි ය. ඒවා සපුරාගැනීමට ඔහු වැර දරයි. මුල් බුදුසමය සමලිංගිකත්වය සියුම් විවරණයකට ලක් නො කරයි. අටුවා තුළදී නම් එවන් අවස්ථා හඳුනාගත හැකි වෙයි. චක්කවත්ති සිහනාද සූත්‍ර විවරණයේදී පැහැදිලි කර ඇත්තේ එය ධාර්මික චර්යාවක් නොවන බවකි.
“අධම්ම රාගෝති මාතා පිතුච්ඡා මාතුලා පිතු ආදිකේ අයුත්තට්ඨානේ… විසම ලෝභෝති පරිභෝග යුත්තේසු පි ඨානේසු අති බලවා ලෝහෝ මිච්ඡා ධම්මෝති පුරිසානං පුරිසේසු ඉÀථි සු ඡÁදරාගෝ…”
සමලිංගිකත්වය මිථ්‍යා චර්යාවක් ලෙස මෙහිදී හඳුනාගැනේ. එහෙත් සමලිංගිකත්වය අගයන චින්තකයන්ගේ අදහස වන්නේ සත්ත්ව ලෝකය තුළත් සමලිංගිකත්වයට ඉඩ ප්‍රස්තා ලැබෙන බව යි. බුදුසමය උසස් වීමේ හැකියාව ඇති සත්ත්වයකු ලෙස මිනිසා හඳුනාගන්නා බැවින් සත්ත්ව ලෝකය මනුෂ්‍යත්වයට ආදේශ කිරීමේදී ආචාර ධර්මීය සීමා පනවයි.
බුදුසමය භෞතිකවාදි දර්ශනයක් නො වේ. මිනිස් චර්යාව හා බැඳි ආචාර ධර්ම පද්ධතියක් නිර්වාණය කේන්ද්‍ර කොට එමගින් ඉදිරිපත් වෙයි. ලිංගිකත්වය සදාචාර විරෝධී සේ අර්ථවත් නොකැරෙන අතර ම, එම අංශය පිළිබඳ මධ්‍යස්ථ වීම ජීවිතයේ සංතෘප්තියට, සහනශීලී භාවයට ඉවහල් වන බව පැහැදිලි වෙයි. ත්‍රිශික්‍ෂා මුල් කොටගත් අරීඅටැඟි මඟෙහි මිනිසා අනුගමනය කළ යුතු චර්යා ධර්ම පද්ධතියක් ඉදිරිපත් වෙයි. එහෙත් ඒවා ලිංගභේදය හෝ ආධිපත්‍යමය අවශ්‍යතා අනුව ස්ත්‍රී හෝ පුරුෂ යන එක් පක්ෂයක හිංසනයට හෝ ද්විතීයිකකරණයට පදනම් නො වේ.
ලිංගිකත්වය පිළිබඳ බෞද්ධ ආකල්පය වන්නේ මනුෂ්‍යත්වය හෝ මනුෂ්‍ය සමාජයට නිගා නොවන පරිදි ලිංගික හැසිරීම් සකස් කරගැනීම යහපත් බව යි. බුදුසමයේ දැක්වෙන ආචාර්යධර්ම රැකීමට මිනිසුන් තම ජීවිතය කැප කළ යුතු බව බුදුසමයේ අපේක්ෂාව නො වේ. මිනිසුන්ගේ ජීවිත වඩාත් පහසු සහ සහනශීලී කරගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීම් භාවිත කිරීමට මඟ පෙන්වීමක් පමණක් බුදුසමය සිදු කරයි. දෙවියකු වැනි පාරභෞතික සංකල්පයකට බෞද්ධ සදාචාරයේ පදනම සම්බන්ධ නැති බැවින් එහිදී සමාජයේ ප්‍රගතිය විෂයයෙහි අදාළ වන ආකාරයේ සමාජ සබඳතා නිරන්තරයෙන් ම සකස් විය යුතු බව අවධාරණය වෙයි.
No comments:
Post a Comment