පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Sunday, June 9, 2013

මා බෞද්ධයකු වූයේ කෙසේ ද?

Posted on by

කතෝලික රටක් වන ස්පාඤ්ඤයෙහිදී 1927දී උපන් අමාදියෝ සොලේ ලෙරිස්, ලංඩන් විශ්වවිද්‍යාලයෙන් ස්පාඤ්ඤ හා ජර්මන් භාෂා පිළිබඳ උපාධියක් දිනාගත්තේ කලක් ලංඩනයේ ‘කිංස් විදුහලේ’ ස්පාඤ්ඤ භාෂාව ඉගැන්වී ය. වර්ෂ 1961දි අන්තර් ජාතික සිවිල් සේවයට පත් හෙතෙම කලක් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙහි තනතුරක් ද හෙබැවී ය. යොවුන් වියේ පටන් ම මැවුම්වාදී ආගම් කෙරෙහි පැහැදීමකින් පසු නොවූ තමා කෙමෙන් කෙමෙන් බුදු දහමෙහි හරය කෙරේ ආකර්ෂණය වූ අන්දම අමාදියෝ සොලේ ලෙරිස් මහතා මේ ලිපියෙන් හෙළිදරවු කරයි.
තමාගේ දෛවය පාලනය කරන කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විද්‍යමාන ව පවතින්නේ යැ යි ද එම අදෘශ්‍යමාන බලයට අවනත වීම, ගෞරව දැක්වීම හා වන්දනා-මාන කිරීම යෝග්‍ය යැ යි ද මිනිසා විසින් පිළිගනු ලැබීම ආගම යැ යි ද ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය සඳහන් කරයි. බුද්ධධර්මය මේ අර්ථයෙන් හෝ වෙනත් කිසියම් අර්ථයකින් හෝ පරම මහෝත්තම දෙවියන් වහන්සේ කෙනකුගේ විද්‍යමානත්වය විශ්වාස කර, එම දෙවියන් වහන්සේ සහ අප අතර ඇති සම්බන්ධතාව තුළින් අප විද්‍යමාන ව සිටීමේ අර්ථය සෙවීමට අදහස් කරන ආගමක් නොවන බව මට අවබෝධ වූ විගස ම මම බෞද්ධයෙක් වීමි.
මගේ සහජ ගතිය අනුව මෙන් ම හැදුණ වැඩුණු ආකාරය අනුව ද භක්තිවාදය හා දේවධර්ම ශාස්ත්‍රය කෙරෙහි මා තුළ වූයේ ඉතා අල්ප නැඹුරුවකි. කතෝලික රටක් වන ස්පාඤ්ඤයෙහි මා උපත ලැබූ නමුත්, මා වැඩුණේ අඥෙයවාදී පරිසරයක ය. මම කවරදා වත් බෞතිස්ම නොවූයෙමි. මා අධ්‍යාපනය ලැබවේ ද නිදහස් චින්තනයට ඉඩ ඇති ස්විට්සර්ලන්ත හා එංගලන්ත පාසල්වල හා විශ්වවිද්‍යාලයවල ය. එහෙත් මා ද ඇතුළත් වන, යුරෝපීය ශිෂ්ටාචාරයෙහි පදනම වශයෙන් ක්‍රිස්තියානි සම්ප්‍රදායෙහි ඇති වැදගත්කම, සැබැවින් ම මම සම්පූර්ණ වශයෙන් වටහාගෙන සිටියෙමි. එබැවින් මම එහි ප්‍රතිපත්ති, වත්පිළිවෙත්, ඓතිහාසික ජයග්‍රහණ සහ ව්‍යසන පිළිබඳ ව අවබෝධයක් ඇති කරගැනීමට ප්‍රයත්න දැරුවෙමි. එහෙත් දිව්‍යමය එළිදරවු කිරීම්, සත්ප්‍රසාද ද්‍රව්‍ය ක්‍රිස්තුන් වහන්සේගේ මාංසය හා රුධිරය බවට හැරවීම, ක්‍රිස්තියානි ආගම අසහාය හා උත්තරීතර එකක් යැ යි කරන ප්‍රකාශය ආදිය පදගතාර්ථ අනුව හෝ සත්‍ය යැ යි පිළිගැනීමට හෝ යටත් පිරිසෙයින් ඒවා පලදායක සංකේත වශයෙන් පිළිගැනීමට හෝ මම මැළි වීමි. තරුණ ශිෂ්‍යයකු වශයෙන් මා පෙරදිගට යොමු වූයේ මේ නිසා ය.
1950 මැද භාගයෙහි සිට, මගේ වෘත්තීය කටයුතු සඳහා ඉන්දියාව සහ ඈත පෙරදිග ද ඇතුළත් ලෝකයෙහි බොහෝ ප්‍රදේශවල සංචාරය කළෙමි. මෙම සංචාරයේදී මට ඉඩ ලැබුණු සැම විටක ම මම තවදුරටත් ආගම ධර්ම පිළිබඳ ව විමර්ශනයක යෙදුණෙමි. එහෙත් ඒ සෑම විටක ම කාලය කෙටි වූ අතර, මගේ වෘත්තීය අවශ්‍යතා සඳහා එය යෙදැවිය යුතු විය. ඇති කරගත් සම්බන්ධතා පවා වඩා විචක්ෂණ ඒවා නොවූ හෙයින්, ‘බුද්ධාගම’ යනු තවත් එක් ආගමක් පමණක් ය යන වැරැදි මතයෙහි තවදුරටත් රැඳී පැවැතුණෙමි.
මා ලංකාවට ගිය විට පාලි ත්‍රිපිටකයෙහි සූත්‍රවලින් පරිවර්තනය කරන ලද කරුණු ඇතුළත් ධර්ම සංග්‍රහයක් කියැවීමේ අවස්ථාව මට ලැබිණි. එම ධර්ම සංග්‍රහය නම් පූජ්‍ය ඤාණාතිලෝක හිමිපාණන්ගේ ‘බුදුන් වහන්සේගේ වචනය’(The Word of the Buddha)  නමැති ග්‍රන්ථය යි. විසි වැනි ශත වර්ෂයෙහි මුල් භාගයෙහි ප්‍රකාශයට පත් ව ඇති මෙම ග්‍රන්ථය බුද්ධ ධර්මය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. එය පරිශීලනය කිරීමෙන්, බුද්ධ ධර්මය පිළිබඳ ව පැහැදිලි අදහසක් ඇති කරගත් අයගේ සහ බුද්ධාගම වැලැඳගත් අයගේ සංඛ්‍යාව මෙපමණ යැ යි නිවැරැදි ලෙස සඳහන් කිරීම දුෂ්කර ය. නිසැක ලෙස ම, මම ඒ අය අතර එක් අයෙක් වෙමි. සරල, ඍජු, භාෂා ශෛලියකින් සම්පාදනය කර තිබූ එම ග්‍රන්ථයෙහි අන්තර්ගත වූ අර්ථවත් ප්‍රකාශ කියැවීමෙන් බුදුන් වහන්සේගේ ධර්මයෙහි ඇති අසහාය ස්වරූපය හා ඍජු භාවයත්, කාර්යඵල සාධකත්වය හා ස්ථිර ස්වභාවයත් මම මැනැවින් වටහා ගතිමි.
බුදුන් වහන්සේගේ දේශනාවල නිතර නිතර හමු වන පැරැණි වචනවලින් ම කියතොත්, ඒ වූකලි යටිකුරු කරන ලද භාජනයක් උඩුකුරු කළාක් මෙන් ද, සැඟැවුණු යම් දෙයක් එළිදරවු කළාක් මෙන් ද, මංමුළා වූ කෙනකුට මඟ පෙන්නුවාක් මෙන් ද, ඇස් ඇත්තන්ගේ දර්ශන පථයට ලක් වීම පිණිස අඳුරට පහනක් දැන්වූවාක් මෙන් ද විය. ‘බුදුන් වහන්සේගේ වචනය’ මා අතට පත් කරන අතර ම තවත් වැදගත් උපදේශයක් මට ලැබිණි.
එය නම් විසි වැනි සියවසෙහි බෞද්ධ ධර්ම සාහිත්‍යයෙහි තවත් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වන බෞද්ධ භාවනාවෙහි හදවත (The Heart of Buddhist Meditation)නමැති, පූජ්‍ය ඤාණපෝනික හිමියන්ගේ ග්‍රන්ථය කියවන ලෙස දැන්වීම යි. මෙය දෙවිධියකින් ඉතා අගනා බව මට ප්‍රත්‍යක්ෂ විය. ප්‍රථමයෙන් ම, බුද්ධිමය වශයෙන් ධර්මය පිළිබඳ ව ඇති කරගන්නා අවබෝධයටත් වඩා බුදුන් වහන්සේගේ මාර්ගය අනුගමනය කිරීමේදී ඒ සඳහා භාවනාවෙහි ඇති වැදගත්කම එහි මැනැවින් විස්තර කර තිබිණි. නිශ්චිත ලෙස ම ක්‍රමානුකූල ව සම්මා සමාධිය ප්‍රගුණ කිරීමෙන් කෙනකුගේ මනස පුහුණු කර සංවර්ධනය කිරීමේ ඇති දැඩි අවශ්‍යතාව ඉන් පැහැදිලි විය. දෙවනු ව එහි ශෛලිය හා ස්වරූපය දැඩි අවධාරණයෙන් තොර, උපශාන්ත එකක් වූ අතර, ඉන් ඉදිරිපත් කරන අදහස් මුළුමනින් ම ව්‍යාකුලත්වයෙන් තොර විය.
‘බුදුන් වහන්සේගේ වචනය’ කියැවීමෙන් මා සිත් ගත් සියලු අංග තුළ වූ උපෙක්ෂා සහගත භාවය හා දයාන්විත භාවය එහි ද අඩු නැති ව දකින්නට ලැබිණි. ධර්ම මාර්ගයෙහි හැසිරෙමින් ජීවත් වන පුද්ගලයන් කරා ශතවර්ෂ ගණනාවකට පසු ව වුවත් ධර්මය දායාද කරන ගුණාංග පිළිබඳ ව එය ජීවමාන සාක්ෂියක් විය. තදනන්තර ව මා විසින් ලියා විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ආරම්භ කරන ලද, මේ දක්වා ම නොකඩවා පවතින නිරන්තරයෙන් ම අලුත් උපදෙස් හා මඟ පෙන්වීම් ලබාගැනීමේ මාර්ගයක් වශයෙන් වැදගත් වූ ලියුම් ගනුදෙනුවේදී ද, මේ ගුණාංග සුලභ ලෙස ප්‍රදර්ශනය විය. භාවනා කිරීම සම්බන්ධයෙන් මා ලබාගෙන ඇති කිසියම් දක්‍ෂතාවක් වෙත් නම් ඒ සඳහා මා ණයගැති වන විපස්සනා භාවනා පිළිබඳ ආචාර්යවරයකු වූ, ඇස්. ඇන්. ශොන්කා මහතා තුළ ද මෙම ගතිගුණ ආදර්ශවත් ලෙස විද්‍යමාන වන බව අවුරුදු කීපයකට පසු මම දිටිමි.
මම 1972දී දෙවැනි වරට ශ්‍රී ලංකාවට ගියෙමි. මේ ගමනේදී එම රටෙහි බෞද්ධයන් සමඟ සම්බන්ධතාවක් ගොඩනගාගැනීමට මට පුළුවන් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බුදුන් වහන්සේගේ ධර්මය වඩාත් නිවැරදි ලෙස, බටහිර හාෂිතය අනුව ‘මානවහිතවාදයක්’ වශයෙන් හැඳීන්විය හැකි බව මට වැටැහී ගියේ ය. ඒ වූකලි ආචාර සම්පන්න වීම පිළිබඳ ව විනයක් ඇති කිරීමෙන් ද, මනසට ක්‍රමානුකූල පුහුණුවක් ලබාදීමෙන් ද ගොඩනැඟෙන ජීවන ක්‍රමයක් තුළින් මෙම ජීවිතය තුළ ම සර්වඥතාඥානය පහළ කරගැනීම නොහොත් සම්මාසම්බුද්ධත්වයට පත් වීම යනුවෙන් හඳුන්වනු ලබන, මානුෂික උත්තරීතර භාවය ළඟා කරගැනීමට මඟ පෙන්වන ධර්මයකි.
තථාගත බුදුන් වහන්සේ, තමා සත්‍යය එළිදරවු කරන දෙවියකු හෝ දේව පුත්‍රයකු හෝ අනාගත වක්තෘවරයකු යැ යි නොපැවැසූ බවත්, ඕනෑ ම මනුෂ්‍යයකුට ඒ සඳහා උත්සාහ කිරීමෙන් පත් විය හැකි උත්තරීතර මනුෂ්‍යත්වය පිළිබඳ ආදර්ශයක් බවත් මට අවබෝධ වූ විට, “එය අර්ථවත් ය. තථාගතයාණන් වහන්සේ උත්තරීතරත්වයට පත් විය හැකි ආකාරය අපට උගන්වන සේක” මම මට ම කියාගතිමි. එහෙත් උන් වහන්සේ විසින් වදාළ ධර්මය එපරිදි ම වටහාගැනීමට මට පුළුවන් වූවේ වර්ෂ ගණනාවක් ගත වීමෙන් පසු ව ය. සත්‍යය වශයෙන් බුදුන් වහන්සේගේ පණිවිඩය කුමක් දැ යි අනාවරණය කරගැනීමට කෙනකු උත්සාහ දරන විට, සිත වික්‍ෂිප්තභාවයට පත් කරනසුලු විවිධාකාර විග්‍රහයන්ට මුහුණ දීමට සිදු වේ. බටහිර ඉතා බහුල ව පැතිර ඇති (මේ පිළිබඳ ව දැනුමැතියන් වශයෙන් පෙනී සිටින විද්වතුන් අතර පවා) වැරැදි මත දෙකක් නම්, බුදුන් වහන්සේ ශූන්‍යතා දර්ශනයක් (නිවන ශූන්‍යතාවක් වශයෙන් සලකා) නැති නම් කිසියම් ස්වරූපයක ශාස්වතවාදී දර්ශනයක් (නිවන පාරාදීසයක් වශයෙන් සලකා) දේශනා කර ඇතැ යි යන අදහස ය. පසු ව කී අදහස දරන අය බුදුන් වහන්සේට සලකන්නේ දෙවියකු, දෙවියකුගේ නියෝජිතයකු හෝ දෙවියකුගේ පහළ වීමක් වශයෙනි.
පෙරදිග සම්බන්ධයෙන් වූ විට, බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මුල් ධර්මය, එය අග්නිදිග ආසියාව, තිබ්බතය, චීනය සහ ජපානය යන රටවල් කරා ව්‍යාප්ත වීමත් සමඟ, සම්බන්ධතා පැවැත්වීමට සිදු වූ ද ඓතිහාසික වශයෙන් නොවැළැක්විය හැකි වූ ද විවිධ සංස්කෘති හා ආගම්වල බලපෑමට ලක් වී ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ධර්මයේ හරය හා සලකන විට, ඉතාඅල්ප වැදගත්කමක් ඇති, බුද්ධිමය, ආවේගමය හා චාරිත්‍රමය සංවර්ධනයකට එය යොමු වී තිබේ. එපමණක් නො ව, බ්‍රහ්මන් හා ආත්මය පවා අප්‍රබුද්ධ මනසෙහි ඇති වන මායාවක් වශයෙන් ප්‍රකාශ කරන මෙම අසහනශීලී මිථ්‍යාදෘෂ්ටික ධර්මය යළිත් එහි (විශේෂයෙන් වේදාන්ත හා උපනිෂද් ස්වරූපයෙහි) සත්‍ය ලබ්ධිය තුළට ගෙන ඒමට සාම්ප්‍රදායික හින්දු ආගම විසින් සැලැකිය යුතු බලපෑමක් කර තිබේ. බුදුන් වහන්සේ වූකලි, විෂ්ණුගේ අවතාරයක් යැ යි ද නිර්වාණය යනු ආත්මය බ්‍රහ්ම සහවාස තත්ත්වයට පත් වීමක් යැ යි ද කැරෙන ප්‍රකාශ ඉන්දියාවේදී අද පවා ඇසීමට පිළිවන.
පෙරදිග චින්තන ක්‍රම හා සංස්කෘතිය පිළිබඳ මගේ උනන්දුව, මගේ නව යොවුන් විය තරම් ඈතට යතත් (මම විසිහැවිරිදි වියේදී පතාඤ්ජලීයෝගසූත්‍රයෙහි ඉංගී‍්‍රසි පරිවර්තනය හැදෑරූ අතර, හත යෝග ක්‍රම 1949 සිට දශක දෙකක් තිස්සේ පුරුදු කළෙමි.) අවුරුදු ගණනාවක් යන තෙක් ම මා විශ්වාස කළේ බුදධාගම යනු, සත්‍ය ලබ්ධික හින්දු ආගමෙහි ම තවත් කොටසක් වශයෙනි; එනම් කිසියම් ස්වරූපයක විශ්ව ආත්මයක් සමඟ ගුප්ත සම්බන්ධතාවක් ඇති කරගැනීම හෝ එක ම සත්‍යය වන අසහාය, අමරණීය, පරමෝත්කෘෂ්ට දෙවියන් වහන්සේ සහ තමන්ගේ ආත්මය අතර ඇති අනන්‍යතාව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගැනීමක් වශයෙනි.
මේ අයුරින් මා බුද්ධ ධර්මය වැලැඳගත් බව ඔබට ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
විශේෂයෙන් එහි කිසියම් විස්මයක් හෝ විචිත්‍රත්වයක් නො වී ය. ඒ වෙනුවට එහි දකින්නට තිබුණේ අනුගමනය කිරීමට ඉතා විශිෂ්ට ලෙස යෝග්‍ය වන, තමන්ට කිරීමට පුළුවන් දේ කෙරෙහි මඟපෙන්නීමකි. ඒ සඳහා පැහැදිලි අවංක ප්‍රයත්නයක් අවශ්‍ය විය.
මම බුද්ධ ධර්මය වැලැඳගෙන, තිසරණ සරණ ගතිමි; අනතුරු ව ධර්මය පිළිබඳ ව මූලික කරුණු විශේෂ වශයෙන් ථේරවාද ධර්ම සාහිත්‍යය පුළුල් ලෙස ඉගැනීමේ කාර්යයෙහි යෙදුණෙමි. මේ සඳහා මට මහනුවර බෞද්ධ ප්‍රකාශන සමිතියෙන් ලැබුණු ආධාරය අනල්ප ය. විශේෂ වශයෙන් සමිතිය විසින් අඛණ්ඩ ව පළ කරන ලද බෞද්ධ පොත්-පත් ද එහි ගරු ලේකම්වරයයා ව සිටි, මා ගෞරවයෙන් සිහිපත් කරන දිවංගත රිචඩ් අබේසේකර මහතාගෙන් පෞද්ගලික ව ලැබුණු කරුණාන්විත උවදෙස් ද මට මහත් අනුබලයක් විය.
වෘත්තියෙන් වාග් විද්‍යාඥයකු වූ මා පුළුවන් සැම විටක ම පාඨ ග්‍රන්ථ එහි මුල් භාෂාවෙන් කියැවීමේ ඇති වැදගත්කම දැන සිටියෙමි. එබැවින් මෙම පාලි භාෂාව ද උගතිමි. වර්ෂ 1975න් පසු ව යු. බා කිංගේ බුරුම ගිහි සම්ප්‍රදායට අනුකූල වූ විපස්සනා භාවනා සම්බන්ධ එස්. එන්, ශොන්කා මහතාගේ මහතාගේ දැඩි භාවනා පාඨමාලාවට ද සම්බන්ධ වූයෙමි. එස්. එන්. ශොන්කා මහතාගේ උපදෙස් අතිශයින් ප්‍රබෝධජනක විය. සත්‍ය වශයෙන් ම මගේ ධර්මානුකූල ජීවිතය ආරම්භ වූයේ ඔහුගේ ආස්වාදජනක මාර්ගදේශකත්වය යටතේ විපස්සනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් පසු ව ය. ඒ මගේ බුද්ධිමය අවබෝධය, ජීවිතය විෂයයෙහි වින්දනයක් බවට පත් කිරීමට මා තැබූ පළමුවැනි පියවර යි. කාලයාගේ අවෑමෙන්, වඩා අර්ථවත් ව ද, අඛණ්ඩ ව ද සංවර්ධනය වූවේ මේ ජීවන අත්දැකීම් ය. එය සෙසු ධර්මානුකූල කටයුතු සඳහා මා මෙහෙයවයි.
බුද්ධ ධර්මය ඉගැනීම නොකඩවා සිදු කැරෙන අතර, බුද්ධ ධර්මය අන්‍යයන්ට ඉගැනීමට ආධාර වීම සඳහා ලිපි, රචනා හා පොත්-පත් මඟින් ලිඛිත ව ද දේශන හා සම්මන්ත්‍රණ මඟින් වාචික ව ද ක්‍රියා කරමි. මේ සියල්ල සිදු වන්නේ, මූලික වශයෙන් හඳුන්වාදීමේ තත්ත්වයකිනි. පෙර-අපර දෙදිගෙහි ම වෙසෙන අප සියලු දෙනාට ම, ඉතා වැදගත් ලෙස එහි ඇති උචිත භාවය සහ වර්තමානයෙහි ඉන් ලැබිය හැකි අප්‍රමාණ පල-ප්‍රයෝජන වටහාගැනීමට ඉඩ සැලැසෙන පරිදි ධර්මය පිළිබඳ ව දැනීමක් නැති ආධුනිකයන්ට (විශේෂ වශයෙන් මා කලින් සිටියාක් මෙන්) හෝ බුදුන් වහන්සේගේ ධර්මය පිළිබඳ ව නිවැරැදි දැනීමක් නැති ආධුනිකයන්ට හෝ ඉන් පල-ප්‍රයෝජන සැලැසෙන අන්දමින් ගිහියකු වශයෙන් මම දේශන ද පවත්වමි.
ආත්ම වංචාවෙන් තොර ව, දැඩි උත්සාහයකින් යුතු ව කෙනකු අවංක ව ඒ සඳහා ක්‍රියා කරන්නේ නම් ආරම්භයේ සිට ම මෙම පල-ප්‍රයෝජන පැහදිලි ව දකින්නට ලැබේ. තවමත් සීමාසහිත වූ මගේ අත්දැකීම් අනුව බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව, ධර්මයෙහිහදවත වූ විපස්සනා භාවනාව පුහුණු කිරීමේ මාර්ගයෙන් මා ගැන සහ අන්‍යයන් පිළිබඳ ව වඩා යහපත් අවබෝධයක් ඇති කරගැනීමට පිළිවන් වන බව ද වඩා විවෘත ස්වභාවයකින් ක්‍රියා කිරීමට පුළුවන් වීම වැනි යහපත් ගුණාංග වර්ධනය වූ බව ද, මට සහතික කර ප්‍රකාශ කළ හැකි ය. එහි ඇති ස්වාභාවික වටිනාකමට අතිරේක වශයෙන් එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදු වන විවිධාකාර තත්ත්වයන්ට ද එය නිරන්තර වශයෙන් ම ආධාර වේ. මේ හැරුණු විට මගේ මනසෙහි ශාන්ත භාවයක් දියුණු කිරීමට අන් සියල්ලට ම වැඩියෙන් එය සැලැකිය යුතු ලෙස මට උපකාරී වී තිබේ. එහෙත් ඇත්ත වශයෙන් ම මට තව බොහෝ දේ කිරීමට ඉතිරි ව තිබේ. විශේෂ වශයෙන් නොයිවසිලිවන්ත භාවය හා කලබලකාරි ස්වභාවය පිටුදැකිය යුතු ව තබේ. ප්‍රතිඵල සිත ධෛර්යවත් කරනසුලු ය. මට කලබල නොවී සිටින ලෙස මගේ භාර්යාව කියන අවස්ථාවලදී ‘මා භාවනාව පුරුදු නොකළේ නම් තව කොතරම් දුරට මා කලබලයට පත් වේ දැ’ යි මට හිතාගත නොහැකි බව මම ඇයට කියමි.
ඇත්ත වශයෙන් ම භාවනාව වූකලි අනෙකුත් අවස්ථාවන්හිදී කරන දේවල් හා සම්බන්ධයක් නැති, කිසියම් නිශ්චිත වේලාවක් තුළදී පමණක් පුහුණු කළ යුතු ශූන්‍ය දෙයක් නොවන බව සිහියේ තබාගැනීම අත්‍යවශ්‍ය ය. අප වසාගෙන සිටි දුකින් මිදීමට බුදුන් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රධාන අංශ තුන වන ශීලය, සමාධිය හා ප්‍රඥාව එකිනෙකට සම්බන්ධ ව පවතින අතර, එක විට ම ක්‍රියාත්මක වෙයි. භාවනාවෙන් තොර ව ප්‍රඥාව පහළ කරගැනීමට නොපිළිවන. ශීලයෙන් තොර ව භාවනා කිරීමේ කාර්යය සඵල නො වේ. ඇතැම් විට එය මුළුමනින් ම අනතුරුදායක වීමට ද පුළුවනි. කොටින් කියතොත් එය එක ම දෙයක පැති තුනකි. සම්මා සම්බුද්ධත්වයට පත් වූ අයකු සම්බන්ධයෙන් වූ විට ක්‍රියාව, භාවනාව හා ප්‍රඥාව එක ම දෙයකි. ඒ වූකලි අවිරෝධ සවිඥාානකත්වයක අඛණ්ඩ සේ අන්තර්ගත ව ඇති විවිධාකාර වීම් වේ. ප්‍රගතිය ඇති වන්නේ සියලු සාධක අන්‍යෝන්‍ය වශයෙන් අන්තර් ක්‍රියාවලියක යෙදැවූ විට ය.
භාවනාව නිවැරැදි ලෙස පුරුදු කළ විට අවබෝධය නොහොත් ප්‍රඥාව දියුණු කරයි; සියලු දේ අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම ය යන කාරණය පිළිබඳ ව දැනීම වැඩි දියුණු වේ. මෙසේ සතිසම්ප්‍රජන්‍යය වැඩි දියුණු වූ විට එය කෙනකුගේ හැසිරීම කෙරෙහි වැඩදායක බලපෑමක් ඇති කරයි. එලෙසින් ම කෙනකු ක්‍රියාවෙන්, වචනයෙන් හා සිතිවිල්ලෙන් වඩා සිල්වත් අයකු බවට පත් වූ විට භාවනාව සඳහා වඩා හොඳ පදනමක් ඇති වේ. මෙසේ ශීලය, සමාධිය හා ප්‍රඥාව අන් කවරදාටත් වඩා සම්පූර්ණ වී වර්ධනයට පත් වීමෙන් සර්වඥතාඥානය පහළ වේ.
ඉක්මනින් ම සර්වඥතාඥානය පහළ කරගැනීමට අප බොහෝ දෙනකුට පුළුවන්කමක් නැත. එහෙත් ඒ සම්බන්ධ නිසි අවබෝධයෙන් ද පරීක්ෂාවෙන් ද යුතු ව, අතිශයින් විනීත ප්‍රයත්නයක් දැරීමෙන් තමා කෙරෙහි හා ඒ හේතුවෙන් අන්‍යයන් කෙරෙහි ද ඉතා වැඩදායක ප්‍රතිඵල ඇති වේ. සැබැවින් ම සද්ධර්මය අනුගමනය කිරීම තරම් අර්ථවත්, සන්තෝෂදායක අන් යමක් මේ මිහිපිට නැත

No comments:

Post a Comment