පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Tuesday, June 11, 2013

වැඩි හොඳ නරකටයි!

Posted on by

තිස්ස තෙරුන් වනාහි රහතන් වහන්සේ නමකි. උන් වහන්සේට මැණික්කරුවකුගේ නිවෙසෙහි දිනපතා දන් වළඳන්නට ආරාධනා ලැබිණි. දැන් මේ ආරාධනාවට වසර දොළොසකි. මේ වසර දොළොසෙහි ම තිස්ස තෙරණුවෝ මැණික්කරුවාගේ නිවෙසින් දන් වැළැඳූ හ. ඒ අඹු-සැමි දෙදෙන ද තිස්ස තෙරුන්ට මවුපියන් වැනි ය.
දිනක් ඒ මැණික්කරුවා තෙරුන් ඉදිරියෙහි ම මස් කපමින් සිටියේ ය. ඔප දමා විදිනු පිණිස පසේනදී කොසොල් රජු විසින් එවනු ලැබූ මැණිකක් මැණික්කරුවාට ලැබුණේ ඒ අවස්ථාවේදී ය. මැණික්කරුවා එය ලේ තැවැරී තිබූ අතින් ම ගෙන පෙට්ටියක් මත තබා අත් සේදීමට ගෙට ගියේ ය. ඒ අවසරයෙන් ළඟ සිටි කොස්වාළිහිණියෙක් මැණික මස් කැටියක් යැ යි සිතා ගිල්ලේ ය.
මැණික්කරුවා පැමිණෙන විට මැණික එහි නො තිබිණි. ඔහු ඒ ගැන දරුවන්ගෙන් හා බිරියගෙන් විමසුවේ ය. “අප ගත්තේ නැත” යනු ම ඔවුන්ගේ පිළිතුර විය. “මැණික ගන්නට ඇත්තේ තෙරුන් වහන්සේ ය,” මැණික්කරුවා බිරියට කීවේ ය.
“හිමියනි, එසේ නො පවසනු. අප මේ තෙරුන් ඇසුරු කරන්නට පටන් ගෙන බොහෝ කල් ය. මෙතරම් දීර්ඝ කාලයක් තුළ වුව උන් වහන්සේගෙන් කිසි වරදක් සිදු වී නැත. උන් වහන්සේ මැණික ගන්නට නැත,”
බිරියගේ පිළිතුර විය.
එහෙත් එහි තෙරුන් හැර අන් කිසිවෙක් ද නො වී ය. විමැසිය යුත්තේ තෙරුන්ගෙන් ම ය. මැණික්කරුවා තෙරුන් වෙත ගියේ ය.
“ස්වාමීනි, මෙහි තිබූ මැණික ඔබ වහන්සේ ගත්තෙහි ද?”
“නොගතිමු” තෙරුන්ගේ පිළිතුර විය.
“ස්වාමීනි, මෙහි වෙන කෙනකු සිටියේ නැත. සිටියේ ඔබ වහන්සේ පමණි. ඒ මැණික රජතුමාගේ ය. එය නැති වුව හොත් අපට ගැලැවීමක් ලැබෙන්නේ නැත. ඒ නිසා වහා ම මැණික දෙන්න,” මැණික්කරුවා කීවේ ය.
තෙරුන් වහන්සේ නිහඬ වූ හ. මැණික්කරුවා ගෙට ගියේ ය.
“හොඳින් හෝ නරකින් හෝ මැණික ගත යුතු යි” හෙතෙම බිරියට කීවේ ය.
“හිමියනි, අප නොනසනු මැනැවි. තෙරුන්ට නපුරක් වනවාට වඩා අප රජුගේ දාසත්වයට පත් වීම හොඳ ය. තෙරුන් වහන්සේට වරදක් කිරීම සුදුසු නැත” බිරිය ආයාචනාත්මක ව පැවැසුවා ය.
“අප සැම රජුගේ දාසත්වයට පත් වූවත් එය මැණික තරම් නො වටී” කියූ මැණික්කරු කඹයක් ගෙන තෙරුන් වෙත ගියේ ය. කඹයෙන් තෙරුන්ගේ හිස පටලවා, පොල්ලකින් කරකවා තද කරමින් මැණික ඉල්ලන්නට විය. තෙරුන් වහන්සේට බලවත් වේදනා දැනෙන්නට වුවත් කිසිත් නොකියා ඉවසා සිටියේ ළිහිණියා කෙරෙහි කරුණාවෙනි. දැන් තෙරුන්ගේ කන්-නාසාවලින් ලේ ගලයි. ඇස් එළියට පනින්නට මෙනි.
තෙරණුවෝ බිම ඇදවැටුණා හ. ළිහිණියා තෙරුන්ගේ ශරීරයෙන් ගලන ලේ බොන්නට විය. “තෝ මෙහි ආවේ කුමට ද?” මැණික්කරුවා ළිහිණියාට පයින් ගැසී ය. ළිහිණියා මැරීවැටුණේ ය. එවිට තෙරණුවෝ “ළිහිණියා මළේ දැ යි බලන්න”යි මැණික්කරුවාට කී හ. කෝපයෙන් සිටින මැණික්කරු “නුඹත් ළිහිණියා මෙන් මැරෙව“ යැ යි මොර දුන්නේ ය.
ළිහිණියා මළ බව සැක හැර දැනගත් තෙරණුවෝ සත්‍යය පවසන්නට වූ හ.
“උපාසකය, මේ ළිහිණියාගේ බඩ පළා බලන්න. මැණික තිබෙනු ඇත.”
මැණික්කරුවා එසේ කළේ ය. මැණික හමු විය. ඔහු සිතට දැනුණේ මහත් බියකි.
“ස්වාමීනි, මා නොදැන කළ වරදට සමා වුව මැනැව,” මැණික්කරුවා වැඳවැටුණේ ය.
“උපාසකය, මෙය අපගේ වත් ඔබගේ වත් දෝෂයක් නො වේ. මෙය සංසාරදෝෂයක් ම ය. මම ඔබට සමාව දෙමි,” හිමියෝ වේදනාවෙන් මිරිකෙමින් වුව කරුණාවෙන් ම පැවැසූ හ.
“ස්වාමීනි, ඔබ වහන්සේ මට සමාව දෙන සේක් නම් පෙර මෙන් ම මගේ නිවෙසින් දන් වැළැඳීම කළ මැනැව,” මැණික්කරු ඉල්ලා සිටියේ ය.
“උපාසකය, මෙවැන්නක් සිදු වූයේ අනුන්ගේ නිවෙස්වලට ඇතුළු වූ නිසා ය. මෙතැන් සිට මම කිසිවකුගේ නිවෙසකට ඇතුළු නොවන්නෙමි. දෙපා ශක්තිමත් ව ඇති තාක් පිඬුසිඟා වළඳන්නෙමි,” යනුවෙන් තෙරණුවෝ පිළිතුරු දුන්හ.
මැණික්කාර නිවෙසට කුලුපග වීමේ විපාකයෙන් හටගත් ව්‍යාධියෙන් ම තිස්ස රහතන් වහන්සේ වැඩි කලක් නොගොස් පිරිනිවන් පෑ හ.
මේ වනාහි කුලයන්ට කුලුපග වීමේ විපාකය යි.

No comments:

Post a Comment