පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Sunday, June 9, 2013

බුදු වූ දා

උපුටා ගැනීම by

“සත්‍යය සොයා නොයෙක් දෑ කළා. එහෙත් ඒ එකකින් වත් පලක් වුණේ නැහැ. මේ දුෂ්කර ක්‍රියාවත් එසේ ම යි.” සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියාව අත්හළේ ය. පසෙක තබා තිබූ පාත්‍රය මහත් වාරුවෙන් වුව අතට ගත්තේ පිඬු සිඟා වැඩ ආහාර ටිකක් සොයාගන්නට ය. එතුමා ටිකෙන් ටික ආහාර වළඳන්නට විය. දුර්වල ව පැවැති ශරීරය යළි ශක්තිමත් වන්නට විය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ද ප්‍රකෘතිමත් වන්නට විය. මෙතෙක් කල් සිදුහත් තවුසාගේ උපස්ථානයට පැමිණ සිටි පස්වග භික්‍ෂූහු මෙය දුටුවහ.
සාම්ප්‍රදායික රාමුවේ ම සිර වී සිටි ඔවුන්ට මෙය වටහාගත නොහැකි විය. “දුෂ්කර ක්‍රියාව අත්හැරදමා ආහාර සොයා යන මේ තවුසාගෙන් ඇති ඵලක් නැතැ” යි සැලකූ ඔවුහු එතුමා අතහැර ගියෝ ය. දැන් මේ යොවුන් තවුසාට උපස්ථානයට වත්, මිතුරු දම් පවත්වන්නට වත් කිසිවෙක් නැත. හෙතෙම මහ වනයේ තනි වූවෙකි.
මේ කාලයේ උරුවෙල් දනවුවෙහි සේනානි නියම්ගම සේනානි කෙළෙඹියාගේ නිවෙසෙහි උපන් සුජාතා නම් දැරියක් වියපත් ව නුගරුකක් වෙත ප්‍රාර්ථනාවක් තැබුවා ය. ඇයගේ පැතුම වූයේ සමාන ජාතික කුල ගෙදරකට ගොස් ලබන පළමු දරුවා පුතකු වීම ය. දැන් එම පැතුම ඉටු වී ඇත. ඇය සිය පැතුම ඉටු කර දුන් ඉටු දෙවියන් වෙනුවෙන් වසරක් පාසා බලි කර්මයක් කරයි. ඒ අනුව දෙනුන් දහසක් අලුතෙන් හටගත් වැල්මී වනයෙහි හසුරුවා ඔවුන්ගෙන් ලබාගත් කිරි පන්සියයක් දෙනුනට පොවයි.
එම පන්සියයෙන් ලබාගත් කිරි තවත් අඩ ප්‍රමාණයකට ද වශයෙන් පොවා කෙමෙන් කෙමෙන් දෙනුන් දහසයකට ද, අටකට ද පොවයි. එම දෙනුන් අටදෙනාගෙන් ලබාගත් කිරිවලින් මී කිරිබතක් සකසයි. සුජාතා තොමෝ එම කිරිබත රුක් දෙවියනට පුදන්නට ගියා ය. එහෙත් එම කිරිබත පිළිගත්තේ රුක්මුල වැඩ හුන් සිදුහත් තවුසා ය.
බෝසතාණන් වහන්සේ පිඬු හතළිස් නවයකට කරමින් වැළැඳූ එම ආහාරය දින හතළිස් නවයකට ම ප්‍රමාණවත් විය. දන් වළඳා අවසන පාත්‍රය උඩු ගං බලා යැවූවේ එදින බුදු වන බව ස්ථිර ව දැනගැනීමට ය. පාත්‍රය ගං මැදට ගොස් එතැන් පටන් ජව සම්පන්න අශ්වයකු මෙන් රියන් අසූවක් පමණ උඩුගං බලා ගොස් එක් දිය සුළියකට හසු වී කාල නාරජුගේ භවනයට ගියේ විය. එහි මීට පෙර බුදු වූ බුදුවරයන් වහන්සේ තුන්නමගේ පාත්‍ර වේ. සිදුහත් තවුසාගේ පාත්‍රය එම පාත්‍ර තුනෙහි ගැටී නැඟූ “කිලි කිලි” ශබ්දය ඇසූ කාල නාරජු “ඊයේ එක බුදුවරයෙක් පහළ විය. නැවත අදත් බුදුවරයෙක් පහළ වියැ” යි නොයෙක් සිය ගණන් පදවලින් ස්තුති කරමින් නැගී සිටියේ ය. ඒ නාරජුට මහ පොළොවෙන් එක් යොදුන් තුන් ගවුවක් පමණ අහස පුරවා ඉහළට නගින කල්හි මේ බුද්ධාන්තර කාලය දැනෙනුයේ අද-ඊයේ මෙනි.
බෝසතාණන් වහන්සේ නදී තෙර සුපිපි සල් වනයෙහි දිවා විහරණය කළ සේක; අනතුරු ව සවස් කාලයෙහි බෝ රුක මුලට වැඩම කළහ. ගමන අතරමඟදී හමු වූ සොÀථිය නම් තණ ගෙනයන්නා විසින් දුන් තණ මිටි අට ද ගත් එතුමා බෝ රුක මුලදී තණ’ග ගෙන සෙලවූයේ ය. එකෙණෙහි ම රියන් දහහතරක පලඟක් ඇති විය. උන් වහන්සේ එහි වැඩ හුන්හ; ශරීරයේ සම්, නහර, ඇට ගැන වත් නොසිතා දැඩි අධිෂ්ඨානයෙන් සත්‍යවබෝධය කරමි යි වීර්යය ගෙන හුන්හ. මාරයා සිය මාර සේනාවත් රැගෙන පැමිණියේ මේ අවස්ථාවේදී ය.
කෙලෙස්වලට, මරණයට ආදියටත් මාරයා හා මාර සේනා ප්‍රඥප්තිය දෙන බව සැබෑ ය. එහෙත් මෙහි සඳහන් මාරයා හා මාර සේනාව යනු පුද්ගලයෝ ය. එහිදී මේ ‘කෙලෙස්’ සහ ‘පුද්ගල’ යන දෙවර්ගයේ ම මාරයන් හා මාර සේනා සමඟ සටනක් සිදු වී ඇත.
සුත්තනිපාත අටුවාවට අනුව මාරයා යනු වසවත්ති භූමියෙහි එක්තරා දාමරික දිව්‍ය පුත්‍රයෙකි. ඔහු සිය විෂයය ඉක්මවා යනු කැමැති වෙයි. මාරයා යනු සැබැවින් ම පුද්ගලයකු බව පැහැදිලි වන්නේ මුගලන් හිමියන්ගේ කථාවකිනි. ඒ අනුව මුගලන් හිමියෝ දිනක් මාරයාට මෙසේ වදාළහ:
“පවිට, පෙර වූවක් කියමි. මම පෙර දූසි නම් මාරයා වූයෙමි. ඒ මට කාළි නම් නැගණියක් විය. ඔබ ඇයගේ පුත්‍රයා ය. ඔබ එකල මාගේ බෑනා ය.”
තව ද මුගලන් හිමි පෙර දූසි මාරයා ව සිටි කල්හි කකුසන්‍ධ තථාගතයන් වහන්සේ ලොව පහළ වූ හ. ඒ දූසි මාරතෙමේ කකුසන්‍ධ බුදුරදුන්ට හා උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බොහෝ හිරිහැර කළේ ය; හිරිහැර කොට දිව්‍යාත්මභාවයෙන් චුත ව මහනිරයෙහි ඉපිද බොහෝ කලක් දුක් වින්දේ ය. ගෞතම බුදුන් වහන්සේ ලොව පහළ වූයේ ඉන් බොහෝ කලකට පසු ව ය. කෙසේ වෙතත් අප බෝසතාණන් වහන්සේ බුදු වන කල්හි කරදර කිරීමට පැමිණියේ මුගලන් හිමි වෙත පැමිණ මුලින් සඳහන් කළ පාපී මාරයා ය. ඔහු නොයෙක් වැසි වස්වමින් සිදුහත් තවුසා බිය ගන්වා පලවාහැරීමටත්, මැරීමටත් උත්සාහ ගත් මුත් ඒ සියලු උත්සාහයන් නිරර්ථක විය. අනතුරු ව හෙතෙම සිය සේනාවත් සමඟ පලා ගියේ ය.
මේ වන විට බෝසතාණන් වහන්සේ ආනාපානසති භාවනාවෙහි යෙදෙමින් සිටිති. සිත දැහැන්ගත වී මනා ව තැන්පත් වී ඇත. මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, කෙලෙස් නැති වූ කල්හි, උපකෙලෙස් පහ ව ගොස් මෘදු වූ කල්හි, නිසල බවට පත් වූ කල්හි උන් වහන්සේ පෙර විසූ කඳපිළිවෙළ දක්නා නුවණ ලබනු පිණිස සිත යොමු කළහ. උන් වහන්සේට කෙමෙන් කෙමෙන් පෙර ජාති පෙනෙන්නට විය. පෙර ජීවිත එකක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත සතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පණහක්, ජීවිත සියයක් මේ ආදි වශයෙන් බොහෝ පමණ කළ නොහැකි තරම් කල්ප ගණන් දැකීමේ හැකියාව ඇති පුබ්බේනිවාසානුස්සති ඤාණය පහළ විය.
‘අසවල් තැනදී මම මෙනම් ඇති ව විසුවෙමි; මේ ගෝත්‍ර ඇතියෙම් වීමි; මෙබඳු පැහැ ඇතියෙම් වීමි; මෙබඳු ආහාර ඇතියෙම් වීමි; මෙබඳු සුව-දුක් විඳින්නෙම් වීමි; මෙතෙක් ආයු ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත ව අසවල් තැන උපන්නෙමි; එහි මෙනම් ඇත්තේ වීමි; මේ ගෝත්‍ර ඇතියෙම් වීමි…’ මේ ආදි වශයෙන් අනේකවිධ වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන්නට වූ හ.
යම් සේ පුරුෂයෙක් සිය ගමෙන් අන් ගමකට යන්නේ ද, ඒ ගමෙන් තවත් ගමකට යන්නේ ද, ඒ ගමෙනුත් තවත් ගමකට යන්නේ ද, අනතුරු ව නැවැතත් සිය ගමට ම පෙරළා එන්නේ ද එබඳු අයකුට මෙසේ සිතෙයි: ‘මම වූකලි මගේ ගමෙන් අසවල් ගමට ගියෙමි; එහි මෙසේ සිටියෙමි; මෙසේ හුන්නෙමි; මෙසේ කථා කළෙමි; මෙසේ නිහඬ වීමි; ඒ ගමෙනුත් අසවල් ගමට ගියෙමි; එහි ද මෙසේ සිටියෙමි; මෙසේ හුන්නෙමි; මෙසේ කීමි; මෙසේ නිහඬ වීමි. ඒ මම ඒ ගමෙන් මගේ ගමට ම පෙරළා ආවෙමි,’ යනුවෙන් ඒ පුරුෂයාට සිත් ඇති වන ආකාරයට පුබ්බේනිවාසානුස්සති ඤාණ ලාභියාට ද පෙර ජීවිත පිළිබඳ ව විස්තර දැනෙයි; පෙනෙයි. බෝසතුන් වහන්සේට මේ ඤාණයට පහළ වූයේ රාත්‍රී පළමු යාමයේදී ය.
රාත්‍රී මධ්‍යම යාමය උදා විය. පිරිසිදු සිත් ඇති බෝසත් තෙම තවත් ඤාණයකට සිත යොමු කළේ ය. ඒ චුතූපපාත ඤාණයට ය. ඒ ඤාණය මෙබන්දකි: එනම්; සතර මං සන්ධියක මහල් සහිත නිවෙසක් වේ. එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියි. ඔහු නිවෙසට පිවිසෙන අයත්, නිවෙසින් නික්මෙන අයත්, වීථියෙහි ඈත-මෑත යන එන අයත්, සිවු මං සන්‍ධිය මැද හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට ‘මේ මිනිස්සු නිවෙසට පිවිසෙති, මේ මිනිස්සු නිවෙසින් නික්මෙති, මේ මිනිස්සු වීදියෙහි ඈත-මෑත ගමන් කරති, මේ අය සිවු මං සන්‍ධිය මැද හුන්නෝ වෙති’ යනුවෙන් සිතක් ඇති වන්නේ ය.
එපරිදි ම බෝසතාණන් වහන්සේ සිත සමාහිත ව, පිරිසිදු ව, කෙලෙස් නැති ව, මෘදු ව, නිසල බවට පත් වූ කල්හි සත්ත්වයන්ගේ චුතියත් උපතත් දක්නා මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දිවැසින් සත්ත්වයන් හීන-ප්‍රණීත; සුගති-දුර්ගති ස්ථානවල උපදින අයුරු මැනැවින් දුටහ; කයින්, වචනයෙන්, මනසින් දුසිරිතෙහි හැසිරී, ආර්ය උතුමන්ට උපවාද කොට, මිථ්‍යා දෘෂ්ටික ව, මිථ්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වී සිටියවුන් කය බිඳී මරණින් පසු අපායෙහි උපදින සැටි දුටහ; තව ද කයින්, වචනයෙන්, මනසින් සුසිරිතෙහි හැසිරී, ආර්ය උතුමන්ට උපවාද නොකොට, සම්මාදිට්ඨික ව, සම්මාදිට්ඨික කර්ම සමාදන් ව සිටියවුන් කය බිඳී මරණින් පසු සුගති වූ ලෝකයන්හි උපදින සැටි ද දුටහ. මෙලෙස බෝසතුනට කර්මානුරූපී ව සත්ත්වයන් ඒ ඒ තැන උපදින – චුත වන අයුරු දක්නා ඤාණය පහළ විය.
රාත්‍රියෙහි පශ්චිම යාමය උදා විය. බෝසතුනට මෙසේ සිත් විය:
“මේ ලෝ වැස්සෝ දුකට පත් ව සිටිති. ඔවුහු උපදිති; දිරති; මිය යති; චුත වෙති; නැවැතත් උපදිති; එහෙත් මේ ජරා-මරණ දුකින් ඉක්ම යෑමක් නො දනිති. කවර දා නම් මේ ජරා-මරණ දුක අවසන් වීමක් පෙනෙන්නේ ද? කුමක් ඇති විට ජරාමරණ වේ ද? කිනම් ප්‍රත්‍යයකින් ජරාමරණ වේ ද? ඉපදීම ඇති විට ජරා- මරණ වේ. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා-මරණ වේ” යනුවෙන් බෝසතුන්ට අවබෝධ විය. එතුමා තවදුරටත් නුවණින් විමසන්නට, මෙනෙහි කරන්නට විය: “කුමක් ඇති විට මේ ඉපදීම වේ ද? කිනම් ප්‍රත්‍යයකින් ඉපදීම වේ ද? භවය ඇති විට ඉපදීම වේ. භවය ප්‍රත්‍යයෙන් ඉපදීම වේ.”
මේ ආකාරයට නුවණින් මෙනෙහි කළ බෝසතුනට ඇති තතු වැටැහිණි. ඒ අනුව ජරා-මරණයනට හේතුව ඉපදීම යි. ඉපදීමට හේතුව භවය යි. භවයට හේතුව දැඩි ව බැඳී යෑමයි (අපදාන). දැඩි ව බැඳී යෑමට හේතුව තණ්හාව යි. තණ්හාවට හේතුව ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන් හා මනසින් යන ආයතන සයෙන් ඇති වන සැප, දුක්, උපේක්‍ෂා විඳීම් ය. ඒ විඳීමට හේතුව ස්පර්ශ වීම ය. ස්පර්ශ වීමට හේතුව ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යනුවෙන් ආයතන සයක් පැවැතීම ය. ආයතන සයක් ඇති වීමට හේතුව නාම-රූප ය (එනම් “නාම” යනු විඳීම (වේදනා), හඳුනාගැනීම (සඤ්ඤා), චේතනා, ස්පර්ශය, මෙනෙහි කිරීම (මනසිකාර) යන පහ යි. රූප යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ (තද බව, වැගිරෙන බව, උණුසුම, වායුව) යන සතර මහා ධාතූන්, එම ධාතූන් නිසා හටගත් දෑත් යනුවෙන් රූප ය). එම නාම-රූපයනට හේතුව විඤ්ඤාණය යි (සිත යි; විශේෂයෙන් දැනගැනීම යි). විඤ්ඤාණයට හේතුව සඞ්ඛාරවලට හේතුව චතුරාර්ය සත්‍යය නොදැනීම නම් වූ අවිද්‍යාව යි.
මෙලෙස අවිද්‍යාව නිසා සඞ්ඛාර වේ. සඞ්ඛාර නිසා විඥානය වේ. විඥාන නිසා නාම රූප වේ. නාම-රූප නිසා ආයතන සය වේ. ආයතන සය නිසා ස්පර්ශය වේ. ස්පර්ශය නිසා විඳීම වේ. විඳීම නිසා තණ්හාව වේ. තණ්හාව නිසා දැඩි ව බැඳී යෑම වේ. දැඩි ව බැඳී යෑම නිසා භවය වේ. භවය නිසා උපත වේ. උපත නිසා ජරා, මරණ, ශෝක, වැලැපීම් ආදි දුක් ඇති වේ. මෙලෙස සියලු දුක් රැසෙහි ම හට ගැනීම වේ. මේ ආකාරයට බෝසතාණන් වහන්සේට “හටගැනීම, හටගැනීම” යනුවෙන් පෙර නෑසූ ධර්ම විෂයයෙහි දහම් ඇස පහළ විය; නුවණ පහළ විය; ප්‍රඥාව පහළ විය; විද්‍යාව පහළ විය; ආලෝකය පහළ විය.
හටගැනීම හෙවත් සමුදය පිළිබඳ ව මෙනෙහි කළ බෝසතුන්ගේ සිත අනතුරු ව නිරෝධය (නිරුද්ධ වීම) කෙරෙහි යොමු විය.
“කුමක් නැති විට ජරා-මරණ නො වේ ද? කිමෙක නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ද? ඉපදීම නැති විට ජරා-මරණ නො වේ. උත්පත්ති නිරෝධයෙන් ජරා-මරණ නිරෝධය වේ,” යනුවෙන් බෝසතුන්ට අවබෝධ විය. එතුමා තවදුරටත් නුවණින් විමසන්නට, මෙනෙහි කරන්නට විය.
“කුමක් නැති විට මේ ඉපදීම නො වේ ද? කිමෙක නිරෝධයෙන් උත්පත්ති නිරෝධය වේ ද? භවය නැති විට උපත නො වේ. භව නිරෝධයෙන් උත්පත්ති නිරෝධය වේ.”
මෙලෙස මෙනෙහි කළ බෝසතුනට නිරෝධය පිළිබඳ ව ද නුවණ පහළ වන්නට විය. ඒ අනුව උපත නැති විට ජරාමරණ නො වේ. භවය නැති විට උපත නො වේ. දැඩි ව බැඳී යෑම නැති විට භවය නො වේ. තණ්හාව නැති විට දැඩි ව බැඳී යෑමක් නො වේ. විඳීම නැති විට තණ්හාව නො වේ. ස්පර්ශය නැති විට විඳීමක් නො වේ. ආයතන සය නැති විට ස්පර්ශය නො වේ. නාම-රූප නැති විට ආයතන සය නො වේ. විඤ්ඤාණය නැති විට නාම-රූප නො වේ. සඞ්ඛාර නැති විට විඤ්ඤාණය නො වේ. අවිද්‍යාව නැති විට සඞ්ඛාර නො වේ.
මෙලෙස අවිද්‍යාව නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වේ. සඞ්ඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාම-රූප නිරෝධය වේ. නාම-රූප නිරෝධයෙන් ආයතන සය නිරෝධය වේ. ආයතන සය නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ. තණ්හා නිරෝධයෙන් දැඩි ව බැඳී යෑම නිරෝධ වේ. දැඩි ව බැඳී යෑම නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් උපත නිරුද්ධ වේ.
උපත නිරුද්ධ වීමෙන් ජරා-මරණාදි දුක් නිරුද්ධ වේ. මෙලෙස සියලු දුක් රැසෙහි ම නිරුද්ධ වීම වේ. මේ ආකාරයට බෝසතාණන් වහන්සේට “නිරෝධය, නිරෝධය” යනුවෙන් පෙර නෑසූ ධර්ම විෂයයෙහි දහම් ඇස පහළ විය; ඤාණය පහළ විය; ප්‍රඥාව පහළ විය; විද්‍යාව පහළ විය; ආලෝකය පහළ විය. අනිත්‍ය ද, දුක ද, අනාත්මය ද අවබෝධ වී සිත කෙලෙසුන් කෙරෙන් නිදහස් විය. ආස්‍රව ක්‍ෂය කර ආසවක්ඛය ඤාණය ද ලැබූ සේක. මෙලෙස පුබ්බේනිවාසානුස්සති, චුතූපපාත, ආසවක්ඛය යන ඤාණ තුන ලැබීමෙන් ත්‍රිවිද්‍යා ලාභී වූ එතුමා අරුණ උදා වන කල්හි උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් විය.
සසර බොහෝ කලක් සොයා පැමිණි සත්‍යය හමු විය. සියලු බන්ධනවලින් නිදහස් විය. සිතට දැනුණ අපිරිමිත නිදහසත්, ඒ තුළින් පැනනැගුණු සතුටත් නිසා උදානයක් පහළ විය:
“අනේකජාති සංසාරං
සන්‍ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං,”
“භවයෙහි නැවැත නැවැත උපත යම් හෙයකින් දුක ද, එහෙයින් ජීවිතය නමැති ගෙය කරන තණ්හාව නමැති වඩුවා සොයන මම මෙතෙක් කල් මුළුල්ලෙහි නොයෙක් ජීවිතවල නැවැත නැවැත උපදිමින් සසර ඇවිද්දෙමි.”
“ගහකාරක දිට්ඨෝසි
පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා
ගහකූටං විසඞ්ඛිතං
විසඞ්ඛාරගතං චිත්තං
තණ්හානං ඛයමජ්ක්‍ධගා.”
“එම්බා වඩුව, මා විසින් දැන් ඔබ දක්නා ලද්දේ වෙහි. නැවැත ඔබ මට ගෙයක් නො කරන්නෙහි ය. ඔබගේ සියලු කෙලෙස් නමැති පරාල බිඳදමන ලදි. ඔබ කළ ගෘහයෙහි අවිද්‍යාව නමැති කැණිමඬල මා විසින් විසුරුවා හරින ලදි. දැන් මා සිත නිවනට පත් විය. තණ්හාව ක්‍ෂය වීම යැ යි කියන ලද රහත් පලයට මම පැමිණියෙමි.”
බුදු රජාණන් වහන්සේ උතුරා යන පී‍්‍රතියෙන් යුක්ත ව මේ උදානය මෙනෙහි කරන්නට විය.
“අයෝඝනහතස්සේව
ජලතෝ ජාතවේදසෝ,
අනුපුබ්බුපසන්තස්ස
යථා න ඤායතේ ගති,
“යකුළෙන් ඇති කළ නැගී දිලිසෙන ගින්න පිළිවෙළින් නිවුණු කල්හි ඒ ගින්න ගිය තැනක් යම් සේ නො පැනේ ද,
“ඒවං සම්මා විමුත්තානං
කාමබන්ධෝඝතාරිනං,
පඤ්ඤාපේතුං ගති නÀථි
පත්තානං අචලං සුඛං.”
“එසේ ම කාම ප්‍රබන්ධය නමැති සැඩ පහර ද සෙසු කෙලෙස් සැඩ පහරවල් ද තරණය කළ, නොසැලෙන නිවන් සුවයට පැමිණි රහතුන්ගේ දෙව් මිනිස් ආදි ගති අතරින් මෙනම් ගතියකට පැමිණියේ යැ යි පනවන්නට ගතියක් නැත.”
(දීඝනිකායේ මහාවග්ග අට්ඨකථාව)
බොහෝ තැන්වල බුදුරදුන්ගේ පළමු උදානය වශයෙන් දැක්වෙනුයේ ඉහත පළමු ගාථා දෙක පමණි. එහෙත් දීඝ නිකාය අටුවාවට අනුව පසු ව දැක්වෙන ගාථා දෙක ද පහළ කොට ඇත.
මීට වසර දෙදහස් හයසිය ගණනකට පෙර බෝසතාණන් වහන්සේ විසින් සිදු කළ ආර්ය පර්යේෂණයෙන් ලද ශ්‍රී සද්ධර්මය නමැති ප්‍රතිඵල තවමත් සුරැකි ව ඇත. තථාගතයන් වහන්සේ විසින් සොයාගත්, නැවැත අපට අමුතුවෙන් සොයා නොගත යුතු වූ ඒ දහම අවබෝධ කිරීම ම අප සැමගේ කටයුත්ත බව මේ පින්බර වෙසක් සමයෙහි ද සිහිපත් කරමි.

No comments:

Post a Comment