May 10, 2013
බෞද්ධ දර්ශනය මෙලොව බිහි වී වසර දෙදහස් පන්සීයකටත් වැඩි කාලයක් ගත වී ඇත. බටහිර දර්ශනයට ද ආසන්න වශයෙන් මීට සමාන්තර වයස් කාලයක් සහිත ය. එහෙත් බටහිර දර්ශනය හා බෞද්ධ දර්ශනය අතර බිහි වීමේ මූලික වෙනස්කම් දෙකක් අපට හඳුනාගත හැකි යි. එනම්,පළමුවැන්න: බටහිර දර්ශනය වසර දහස් ගණනක් තිස්සේ සිය ගණනක් (සමහර විට දහස් ගණනක්) දාර්ශනිකයන්ගේ සහභාගීත්වයෙන් සෙමෙන් නමුත් ක්‍රමයෙන් වර්ධනය වූ දර්ශනයකි. එහෙත් බෞද්ධ දර්ශනය ගෞතම බුද්ධ නම් තථාගතයන් වහන්සේ විසින් තනි ව, එක විට දේශනා කළ දර්ශනයකි. මෙහි අරුමය නම් බටහිර දර්ශනයට තවත් වසර දහස් ගණනක් ගත වී හෝ ලබාගත නොහැකි දාර්ශනික හරයක් (භෞතික හා ආධ්‍යාත්මික) බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගත වීම යි. මෙය බටහිර දර්ශනයට වටහාගැනීමට පවා අපහසු දාර්ශනික තලයකි.
දෙවැන්න: ගෞතම බුදුන් වහන්සේ ලොව බිහි වූ සහ බිහි වන අනෙකුත් සියලු දාර්ශනිකයන්ට වඩා සුවිශේෂ ආකාරයකට මෙම දර්ශනය අවබෝධ කරගැනීම හා දේශනා කිරීම යි. වඩාත් නිවැරැදි ව පැහැදිලි කරතොත්, ලොව අනෙකුත් සියලු දාර්ශනිකයන් තම දර්ශනය දේශනා කරනුයේ මුල සිට අගට තමා දැනගන්නා පිළිවෙළට ය.
එනම්: තමා ප්‍රකාශ කරන දර්ශනයේ අවසන් අන්තය ඒ කිසිවෙකුත් ඒ මොහොතේ නො දනී. තමා දැනගන්නා පිළිවෙළට ම ඔවුහු ප්‍රකාශ කරති. එහෙත් ගෞතම බුදුන් වහන්සේ තමා ප්‍රකාශ කරන දර්ශනයේ අවසාන අන්තය තෙක් ම අතැඹුලක් සේ දනී; දකී. උන් වහන්සේ තමාගේ දර්ශනයේ මුල සිට අගට ම තමන් තනි ව ම ගමන් කොට නැවත මුල සිට දේශනා කිරීම ආරම්භ කරති. ඒ අනුව බුදුන් වහන්සේට අනෙකුත් සියලු දාර්ශනිකයන්ට වඩා නිවැරැදි ම වූ සත්‍යය වෙත ජනයා ළඟා කිරීමේ හැකියාව ලැබේ. අනෙකුත් දාර්ශනිකයන් තමනුත් සැබෑ සත්‍යය සොයනා ගමන් අනෙකාට මඟ පෙන්වීමට වෙහෙසේ. එහෙත් බුදුන් වහන්සේ තමා නිවැරැදි ව ම, එකාන්ත වශයෙන් ම සත්‍යය සොයාගෙන ම අනෙකාට සත්‍යය ප්‍රකාශ කරති.
මඳකට අපි නවීන විද්‍යාව හා බෞද්ධ දර්ශනය දෙසට යොමු වෙමු. මෙහිදී අපට අවශ්‍ය වනුයේ ‘නවීන’ යැ යි කියනු ලබන විද්‍යාවට වඩා බෞද්ධ දර්ශනයේ ඇති කාරණා කොතෙක් දියුණු හා ඉදිරියෙන් ඇත් දැ යි අවබෝධ කරගැනීම යි.
බටහිර ලෝකය විශ්වාස කරනුයේ විද්‍යාව මේ වන විට අතිශය දියුණු මට්ටමකට ළඟා වී ඇති බව යි. අප වැනි රටවල ද මෙම මතය තහවුරු කරමින් පවතී. එහෙත් ‘නවීන විද්‍යාව‘ යනු තවමත් කොතෙක් ළදරු විෂයයක් දැ යි බෞද්ධ දර්ශනය ගැන අධ්‍යයනය කරන ඕනෑ ම කෙනකුට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි සත්‍යයකි. මෙහිදී 1898දී ප්‍රංසයේදී සිදු වූ සිදුවීමක් මෙම කරුණ වඩාත් ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා උදාහරණයක් ලෙස ගනිමු. 1898 දිනෙක ප්‍රංසයේ පැරිස් නුවර ලුවී පාස්චර් ආයතනයේදී ලොව පුරා විසිරී සිටි ප්‍රධාන විද්‍යාඥයන්ගේ සහභාගීත්වයෙන් හා ලුවී පාස්චර්ගේ ප්‍රධානත්වයෙන් ලෝක විද්‍යාඥයන්ගේ සමුළුවක් පැවැත්විණි. මෙම සමුළුවේ අරමුණ විද්‍යාවේ පටු බව මොනවට විදහාපායි. මෙහි අරමුණ වූයේ, 1898 වන විට විද්‍යාව ලෝකයේ සොයාගැනීමට තිබූ සියල්ල සොයාගෙන අවසන් ය, මින් පසු ව විද්‍යාඥයන්ගේ කාර්යභාරය කුමක් ද යන්න යි…!
අද වන විට එම සමුළුව කොතරම් හාස්‍යජනක සමුළුවක් දැ යි ඕනෑ ම කෙනකුට පසක් වේ. වර්තමානයේ ද විද්‍යාව තම අභිමානය සම්බන්ධ ව මීට වඩා බොහෝ දියුණු තැනක සිටින්නේ යැ යි පිළිගැනීමට සැලැකිය යුතු සාධක හමු නො වේ.
විද්‍යාව විසින් ඩොලර් මිලියන ගණන් වැය කොට අලුතෙන් සොයාගන්නා ඇතැම් දේ මීට වසර දෙදහස් පන්සීයකට පෙර බුදුන් වහන්සේ තම ඥානයෙන් දැක දේශනා කළ දේ ම ය. ඒ සඳහා උදාහරණ කීපයක් විමසා බලමු:
විශ්වයේ උපත පිළිබඳ විද්‍යාත්මක මතය වන්නේ ‘මහා පිපිරුම් න්‍යාය’ යි. (The Big Bang Theory). මෙම මතයෙන් කියැවෙන මූලික අදහස නම් අධික ලෙස තෙරපීමට සහ සංකෝචනයට ලක් වූ කුඩා ශක්ති පුංජයක් (කැටියක් වැනි යමක්) තවදුරටත් එහි ශක්තිය දරාගත නොහැකි ව පුපුරා යෑමෙන් අප ජීවත් වන විශ්වය නිර්මාණය වූ බව යි. මෙම මතය වැඩි දියුණු කරන ප්‍රධාන විද්‍යාඥයන් අතර අමෙරිකාවේ කාල් සේගාන් (1934 – 1996) නම් විද්‍යාඥයා ප්‍රමුඛස්ථානයක් ගනී. ඔහු පසු ව ප්‍රකාශ කළේ තමා එම මතය වැඩිදියුණු කිරීමට මූලික අදහස ලබාගත්තේ ඉන්දියාවේ විසූ ගෞතම බුදුන් නම් කෙනකුගේ දේශනාවලින් බව යි (එහෙත් සත්‍යය නම් ත්‍රිපිටකය තුළ එම මතය සම්පූර්ණයෙන් ම අඩංගු ව ඇති බව යි. විද්‍යාඥයන් විසින් කර ඇති එක ම දේ අදාළ කාලයන් ගණනය කිරීම පමණි!). කාල් සේගාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ විද්‍යාඥයන්ට අලුතෙන් සොයාගැනීමට දෙයක් නැති බව යි. කිරීමට ඇත්තේ ගෞතම බුදුන් ප්‍රකාශ කළ දෑ පර්යේෂණාත්මක ව සොයාබැලීම පමණක් බව යි. ඇතැම් තැනක පසු කලෙක කාල් සේගාන් විද්‍යාඥයා බෞද්ධයකු වූ බව ද පැවැසේ.
වර්තමානයේ විශ්වයේ ස්වභාවය පිළිබඳ ව විද්‍යාව සොයාගත් දෑ බුදුන් වහන්සේ තම ත්‍රිපිටක දේශනා තුළ පැහැදිලි කරන ස්වරූපයන්වලට සහමුලින් ම සමාන වේ.
විද්‍යාව විස්තර කරනුයේ අප අයත් වන විශ්වයේ ස්වභාවය පිළිබඳ ව පමණි. මන්ද: විද්‍යාවට මේ වන විට ඉන් එහා අනුමාන කිරීමට වත් නොහැකි ය. එහෙත් බුදුන් වහන්සේ මේ විශ්වයේ පමණක් නො ව, වෙනත් විශ්වවල ස්වභාවයන් ද පැහැදිලි කරති. ප්‍රසාරණය වෙමින් පවත්නා විශ්ව, සංකෝචනය වෙමින් පවත්නා විශ්ව, ප්‍රසාරණය වී අවසන් වූ විශ්ව ආදි වශයෙන් නොයෙක් ආකාරයන්ගේ විශ්වයන් ගැන උන් වහන්සේ දේශනා කරති; විශ්වයන් ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් මෙම ලෝක ධාතුවේ ඇති බව ද මෙම සහස්සී ලෝක ධාතුව අනන්ත බව ද දේශනා කරති. අනෙක් වැදගත් කරුණ වන්නේ බුදුන් වහන්සේ මේ සියල්ල දේශනා කරන්නේ බටහිර විද්‍යාව, බටහිර ආගම් හා බටහිර දර්ශනය ලෝකය යනු කවුරුන් විසින් හෝ ඔසවාගෙන සිටින පැතලි තැටියක් බව ද හිරු සඳු තාරකා යනු දෙවිවරුන් ය යි ද සිතා සිටි සමයක වීම යි.
තවත් උදාහරණයක් ගන්නේ නම්, පෘථිවිය මත ජීවය ඇති වීම පිළිබඳ මූලික මත දෙකක් විද්‍යාවේ පවතී. පළමුවැන්න රසායනික පරිණාමික මතය යි. දෙවැන්න පෑනස්පර්මියා මතය හෙවත් කොස්මොසොයික වාදය යි(Cosmosoic Theory). මින් දෙවැන්නෙන් කියැවෙන්නේ විශ්වයේ සිට පැමිණි මූලික ජීව අණු මගින් පෘථිවියේ ජීවය මූලාරම්භ වූ බව යි (මෙම මතය මහාචාර්ය ෆේරඩ් හොයිල් සහ ලාංකික විද්‍යාඥ ආචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ යන අය විසින් හඳුන්වා දෙනු ලැබූවකි). මෙම මතය ද බෞද්ධ දර්ශනයේ තථාගත දේශනාවේ ඉතා පැහැදිලි ව සඳහන් වේ.
මෙවැනි උදාහරණ අතිවිශාල සංඛ්‍යාවක් සැපැයීමේ හැකියාව ඇත. මේ හැමෙකකින් ම සත්‍යාපනය වනුයේ කාල් සේගාන් විද්‍යාඥයාගේ ඉහත සඳහන් ප්‍රකාශය යි.
බුදුන් වහන්සේ මෙම කරුණු පැහැදිලි කරන්නේ ශ්‍රාවකයකු ඒ පිළිබඳ පැනයක් නැඟූ විට පමණි. සත්‍ය ලෙස ම බුදුන් වහන්සේ බොහෝ තැන්වල මෙම පැහැදිලි කිරීම් කරන්නේ ද ලෝක විෂය අනන්ත බව ද නිවන් මඟ සාක්ෂාත් කරගැනීම සඳහා මෙම කාරණා අදාළ නොවන බව ද දේශනා කිරීමෙන් අනතුරු ව යි. කෙසේ වුව ද සර්වඥතා ඥානයට හසු නොවන කිසිවක් විශ්වයේ නැති බව අවබෝධාත්මක ව වටහාගත හැකි වන්නේ බෞද්ධ දර්ශනය ගැන ප්‍රාමාණික ඥානයක් ඇතියකුට පමණි.
මේ අතර ඉඳුරා ම පැවැසිය යුතු යමක් ද තිබේ: විද්‍යාව කොතෙක් දියුණු වුව ද බෞද්ධ දර්ශනය විද්‍යාවෙන් පැහැදිලි කරගැනීමට යෑම අනුවණ කමක් බව යි. මන්ද: විද්‍යාවට බෞද්ධ දර්ශනය නිවැරැදි ව වටහාගැනීමට තවත් බොහෝ කාලයක්, සමහර විට වසර දහස්ගණනක් වුව ද ගත කිරීමට සිදු වන නිසා ය. සත්‍ය ලෙස ම සිදු කළ යුත්තේ බෞද්ධ දර්ශනය මගින් විද්‍යාව පැහැදිලි කරගැනීම යි
No comments:
Post a Comment