ධර්ම දේශනාව(බුදුසරණ 2009.12.31)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
භූතත්තා භොගා භතා භච්ඡා - විතිණ්ණා ආපදාසුව
උද්ධග්ගා දක්ඛිණා දින්නා - අථො පඤ්ච බලීකතා
උපට්ඨිතා සීලවනෙතා - සඤ්ඤතා බ්‍රහ්ම චාරියො
යදත්ථං භොග මිච්ඡන්ති - පණ්ඩිතො ඝර මාවසං
සොමෙ අත්ථො අනුප්පතෙතා - කතං අනනු තාපියං
එතං අනුස්සරං මච්චෝ - අරියධම්මෙඨි තොනරො
ඉධචෙව නං පස්සන්ති - පෙච්ච සග්ගෙ පමෝදති”
පින්වත්නි ...
බෞද්ධ අප හැම කෙනෙක් තුළම විවිධ බලාපොරොත්තු බොහොමයක් තිබෙනවා. ඒ අතර අපේ ජීවිතයේ තීරණාත්මක බලාපොරොත්තු තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කළ දහම අප බලාපොරොත්තු වන ඒ සියලු සිතුම් පැතුම් ඉටු කරගැනීමේ මාර්ගයකි. අද ධර්ම දේශනාවෙන් අප මේ මාර්ගය කුමක් දැයි තේරුම් ගැනීමට උනන්දු වෙමු.
වසරක් ගෙවී අවසන් වී නව වසරක උදාව ජන හදවත් තුළ බොහෝ ප්‍රාර්ථනා ඇතිවන කාලයකි. උදාවන නව වසර අර්ථවත් කර ගැනීම අපේ අධිෂ්ඨානය කර ගනිමු. අපේ ජීවිතය වැදගත් ලෙස ඉදිරියට ගෙන යාමට වැදගත් වන කරුණු දෙකක් තිබෙනවා.
එනම්
1.උත්සාහය සහ
2.වාසනාව යි
උත්සාහය හා වාසනාව අපේ ජීවිත සාර්ථක කරගැනීමට ඉතාමත් වැදගත් වන කරුණු දෙකකි. මේ ජීවිතය සාර්ථක කර ගැනීමටත් සියලු දුක් නසා නිවන් අවබෝධ කර ගැනීමටත් අප උත්සාහ විය යුතුයි. මේ එළැඹෙන නව වසරේ අපි එය අධිෂ්ඨාන කරගෙන වැඩ ආරම්භ කල යුතු වෙමු. නිවන් මාර්ගයේදී මෙම උත්සාහය “සම්මා වායාම “ යන්නෙන් දක්වා තිබෙනවා. සම්මා වායාමය ඔබේ නව වසර සාර්ථක කර ගැනීමට වඩාත් යෝග්‍ය වෙනවා. එනම් ගෙවී ගිය වසර තුළ ඔබෙන් සිදුවූ වැරැදි අඩුපාඩු අත් හරින්නට,
ඔබ විසින් කරන ලද තමාට හා අන්‍යයන්ට යහපත් වූ කටයුතු තවත් ඉදිරියට ඉටු කර ගෙනයන්නට,ඔබට මෙතෙක් කරගැනීමට අතපසු වූ යහපත් කටයුතු ආරම්භ කරන්නට, ඔබේ අතින් යළි කිසිදු අයහපත් කටයුත්තක් සිදු නොවන්නට යන මෙම කාරණා ඉදිරි වසර ජය ගැනීමට ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. අතීතය දිහා කල්පනා කර කර ජීවිතය තැවෙන මිනිස්සුන්ට කවදාවත් සාර්ථක ජීවිතයක් ගත කරන්න බැහැ. ඊට හේතුව බුදු දහම උගන්වන්නේ සංසාර ජීවිතය ජය ගන්න ක්‍රමයයි. අතීතය සුමිහිරි හෝ අමිහිරි වෙන්න පුළුවන්. ඒත් එය අනාගතය සාර්ථක කරගන්න මාවතක් කරගත යුතුයි. මේ මොහොත අතීතයට හා අනාගතය යන දෙකටම අයිතියි. අතීතයේ සිට මේ මොහොත ගැන සිතුවොත් එය අනාගතයයි. දැන් මේ මොහොත වර්තමානයයි. මේ මොහොත පසු වූ විට එය නැවත අතීතයයි. එනිසා ජීවිතය සාර්ථක කරගැනීමට වටින්නේ මේ මොහොතයි. අංගුලිමාල , පටාචාරා, කිසාගෝතමී,අම්බපාලි, වැනි සමාජයේ ජීවත් වූ ඒ හැම දෙනාගේම අතීතය අමිහිරි වුවත් ඒ අය ධර්මය තුළින් තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගන්නට උත්සාහ කළා. එහි ප්‍රතිඵලය නම් සමාජයේ කොන්වී සිටි ඔවුන් සමාජය ගරුකරන පූජනීයත්වයට පත්වුනා. එනිසා ජීවිතය වාසනාවන්ත වීමට උත්සාහය හැම අතින්ම වැදගත් වනවා.
වාසනාව නැතිව උත්සාහයේ නියම ප්‍රතිඵල ලබන්න බැහැ. කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. මම කෙතරම් උත්සාහ කලත් වාසනාව නැති නිසා උත්සාහවීමේ තේරුමක් නැහැ කියල. ඒක වැරැදියි. අපි දැනගන්න ඔය වාසනාව ලැබෙන්නේ කොහොමද කියලා. වාසනාව ලැබෙන්නේ අප කරන ලද කුසල් අනුවයි. අපි සමාජයට, ලෝකයාට අනෙකුත් සත්වයන්ට පිරිසුදු සිතින් කරනු ලබන පරිත්‍යාගයන් වල ප්‍රතිඵලය වාසනාවයි. එනිසා වාසනාව නැත්නම් එය ඇති කරගන්නට වෙහෙස විය යුත්තේද තමා මයි. ඔබ ඔබේ ජිවිතය තුළ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී අන් අයගේ යහපතට සේවයක් කරන්න. එවිට ඔබට වාසනාව ලැබෙනු නො අනුමානයි. එනිසා උත්සාහයත් වාසනාවත් දෙකම ඇති කරගත හැක්කේ ඔබට මයි. ඒ තුළින් මේ වසර සාර්ථක සුබ නව වසරක් බවට පත්කරගන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සමාජයට අවබෝධ කරගන්න බැරිවීම නිසා සමාජය ධර්මයෙන් ඇතැම් විට ඈත් වෙලා. බුදු හාමුදුරුවෝ සරණ ගියාට අප ඒ වෙනුවෙන් අනුගමනය කළ යුත්තේ කුමක්ද යන්න තේරුම් ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා. බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම ඉගැන්වූ ගැඹුරු දහම උන්වහන්සේ පෙන්නුවේ ආදර්ශයෙන්. ඒ තමා අනිමිසලෝචන පූජාව. අද සමාජයේ බෞද්ධයන් ඒක අමතක කරනවා. එතකොට මුල අමතක කරලා කොහොමද බුදුන් සරණ යන්නේ. තමන්ට උදව් උපකාර කළ අයට ඔබෙන් කෘතගුණ සැලකීම බුදුන් සරණ යාමයි.
ඉන් පසුව බුදු හාමුදුරුවෝ සමාජයේ ජීවත්වන සත්වයන් අතර මනුෂ්‍යයා මුල්කරගෙන ධර්මය දේශනා කළා. මුලින් ගිහි ජීවිතය අතහැර සත්‍ය සෙවු පිරිස්වලට ජීවිතයේ නිසරු බව තුළින් ධර්මය වටහාගෙන පැවිදි බිමට ඇතුළත් වෙලා තමාගේත්, අනුන්ගේත් හිතසුව පිණිස හැසිරෙන්නට මග පෙන්නුවා. එසේම සමාජයේ ජීවිත අවුල් කරගත් නිසි මාර්ගයක් නොදත් සියලු වෘත්තිකයන්ට ඒ ඒ ජීවිත සාර්ථක ගිහි ජීවිත ගෙවන මාර්ගය පෙන්නුවා. ජීවිතයේ දුක නැති කරන්නට මේ සැම දේශනාවක්ම මුල්වුනා.
ජීවිතයේ දුක නැති කිරීම යනු සැපවත් ජීවිතයකට මාර්ගයයි. එනම් සාර්ථක ජීවිතයකට පදනම බුදුදහමේ පදනමයි. මෙය තේරුම්ගත හැක්කේ තමා ළඟ ඇති දෘෂ්ටිකෝණවලට නොව මැදහත්ව ධර්මය දෙස බලන පුද්ගලයන්ට පමණයි. ඒ බව “පච්චත්තබබං වේදිතබෙබා විඤ්ක්‍්‍යුහීති “ යන්නෙන්ම පැහැදිලි වෙනවා. මේ ධර්මය ප්‍රත්‍යක්‍ෂ හෙවත් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නුවනින්ම පමණයි. යන්න බුදුන් වහන්සේගේ දේශනාවයි
පින්වතුනි ,
ගිහි ජීවිතයක් ගත කරන ඔබ නිතරම බලාපොරොත්තු වන කාරනා රාශියක් ඉහත ගාථාවෙන් පෙන්වාදී තිබෙනවා. “ ඉධ ඵෙව නං පසංසන්ති .පෙච්ච සග්ගෙ පමොදති “ යන්නෙන් අර්ථවත් කලේ ඔබ කුමන ජීවිතයක් ගත කළත් මෙලොව ප්‍රශංසාවත් පරලොව සුගතියත් ඇති කරගත යුතුයි යන්නයි. මෙහි දක්වන ප්‍රධාන කරුණු 2 ක් තිබෙනවා. එනම් “භුත්ත “ “භෝගා” යන වචන දෙකයි. “භොගා මේ උප්පජ්ජන්තු සහ ධම්මො “ යන්නෙන් අදහස් වෙන්නේ ධාර්මික වස්තුවයි. අද සමාජයේ ජීවත්වන ඕනෑම අයෙකුට වටිනම දේ තමයි ආර්ථිකය . තමන්ගේ ආර්ථිකය ශක්තිමත් නැත්නම් මේ සමාජයේ ජීවිත අසරණ තත්ත්වයකට පත්වෙනවා. ඒ අතර බුදු දහම පෙන්වා දෙන්නේ ආර්ථිකය ධාර්මික නොවුනොත් මෙලොව පරිහානිය වගේම පරලොව ජීවිතයද අගාධයට පත්වන බවයි.
අපි අධාර්මික ආර්ථිකයක් ඇති කර ගන්නවා කියන්නේ අන් අයට අයුක්තියක් ඉටු කිරීම යි. එනිසා බුදුදහම පුද්ගලයා යහපත් වීම තුළ තමා පමණක් නොව සමාජයම යහපත් අතට පත්වීමට පුද්ගලයා යහපත් වීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා. අපි භුක්ති විදින ධනය අධාර්මික දෙයක් නොවන්නට අපි වග බලා ගන්න ඕනෑ.
“යසො මේ උප්පජ්ජන්තු සහ ධම්මෙන “ යන්නෙන් ධනවත් වීමෙන් අපි සමාජයේ කීර්තියක් අපේක්‍ෂා කරනවා. මේ කීර්තිය රඳා පවතින්නට නම් අපි උපයන දේ ධාර්මික වෙන්නට ඕන. නැතිනම් ටික දවසකින් තමන්ගේ අධාර්මික ව්‍යාපාර බිඳවැටී කායික හා මානසික බිඳවැටීමක් තුළින් සමාජයට මුහුණදෙන්න බැරි තත්ත්වයකට පත්වෙනවා.
පින්වතුනි
අපි සමාජයේ ජීවත් වෙන කොට ධර්මය ට අනුවම ජීවිතය සකස් කරගන්නට උත්සාහ කරන්නට ඕන. හේතුව සමාජය ලාභ අලාභ නින්දා ප්‍රශංසා යසස අයස සැප දුක වැනි ලෝක ධර්මයන් වලින් නිතරම වෙනස් වෙනවා. ලාභය නිසාම අලාභය සිදුවෙනවා නම් ලාභයේ අන්තය හොයන්න හොඳ නැහැ. තමන්ගේ තරම කුමක්ද යන්න කල්පනා කාරීව ජීවත්වෙන්නට ඕන. නින්දා, ප්‍රශංසා , සැප දුක ආදියත් තමන්ට අත්විඳින්නට වෙනවා. ඒ නිසා සැපක් හෝ සැපයේ කෙලවරක් සොයන පුද්ගලයෙකුට ඒ සැපයේ කෙලවර සොයන්න වන්නේ ධර්මය තුළයි. ධර්මය මිනිසාගේ සැපයට කිසිම තැනක බාධා ඇති කරන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කළේ සැප තුනක් පිළිබඳවයි. එනම් මනුෂ්‍ය ‘දිව්‍ය’ නිවන් යන සැප තුනයි. ඔබ ඔබේ ජීවිතය ධර්මානුකූලව ධාර්මිකව ගත කිරීමට අධිෂ්ඨානය ඇතිකරගන්න උත්සාහවත් වෙන්න. එවිට ජිවිතයේ යථාර්ථය තුළින් සාර්ථක ගිහි හෝ පැවිදි ජීවිතයක් ගත කිරීමට ඔබට දැනුම තුළින් බුද්ධිය පහළවෙනු නිසැකයි. ඔබ සැමට තෙරුවන් සරණයි.
No comments:
Post a Comment