ධර්ම දේශනාව(බුදුසරණ 2007.12.09)
සුගතියට-නිවනට කැඳවන දහමේ බලය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සුවිඡානෝ භවං හෝති
සුවිජානෝ පරාභවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරාභවෝ
කාරුණික පින්වත්නි,
සම්මා සම්බුදුරජාණන් වහන්සේ, විසින් පුද්ගලයාගේ පිරිහීමේ ලක්‍ෂණ පොදු සමාජයට බලපාන අයුරු සමාජ විද්‍යානුකූලව දේශනා කළසේක. පුද්ගලයකු සමාජගත සිද්ධාන්තයන්ට අනුකූලවීමේ දී ඉෂ්ට සිද්ධ කළ යුතු වගකීම් ශිෂ්ට සමාජය විසින් පිළිගෙන ඇති ක්‍රමවේදයන්ට අනුව ක්‍රියාත්මක කරන්නේ නම් ඔහු මිනිසුන් අතර උතුම් මිනිසෙක් වශයෙන් ප්‍රකටවන්නේම ය. ඒසේ නොවේ නම් ඔහු මානුෂිකත්වයෙන් පිරිහෙන බව සමාජ විශ්ලේෂණයේ දී තීරණය කිරීමට පුළුවන.
මිනිසා උපදින්නේ මිනිස් වර්ගයාගෙන්ම නිසා හැදෙන්නේ ද කලින් කලට උපදින උදාරතම මිනිසුන්ගේ නිර්මාණාත්මක චින්තන මාර්ගයේ පිය සටහන් අනුව ගමන් කිරීමෙනි. මෙතෙක් මානව පරපුරේ බිහි වූ ශ්‍රේෂ්ටතම මිනිසා අප බුදුරජාණන් වහන්සේ බව සෑම දෙනාගේම බුද්ධිමත් තීරණයයි. එයට හේතුව මිනිසකු වශයෙන් ඉපිද, එමෙන්ම උත්තම තම මිනිසෙකු වශයෙන් පෙනී සිට, මිනිසා මූලික කරගත්, එමෙන්ම විශ්ව සාධාරණ ධර්මයක් දැනගෙන දේශනා කිරීමයි. මෙම දහමට පිටුපෑ කිසිම කෙනකුට කිසිම සමාජයකට මෙතෙක් වූ සේවාවක් ශාන්තියක් අභිවෘද්ධියක් නොමැත. සොබාදහමේ ස්වයං ක්‍රියාකාරීත්වයත්, නිර්මල බුද්ධ ධර්මයත් සරල සමාන්තරව ජීවිතයට මෙන්ම පරිසරයටද බලපාන බව සිහිබුද්ධියෙන් නිරීක්‍ෂණ කරන විට සක් සුදක්සේ ප්‍රකට වේ.
දේශය, කාලය, ආශ්‍රය සසර පුරුද්ද අනුව නානත්ත කායා නානත්ත සඤ්ඤා, නොයෙක්, ශරීර නොයෙක් සඤ්ඤා වූවද සෑම සත්වයාගේම ජීවන අපේක්‍ෂාවෙන් පවතින සමානකම් රාශියක් දක්නට ඇත. ඒවා උපයෝගී කරගෙන සමාජය පිළිබඳ අනාදිමත් කාලයක් පර්යේෂණය කොට අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිසා පිරිහෙන අයුරු සහ දියුණුවන අයුරු ද තවද අතීත අනාගත භවයේ ගතිපැවතුම් සත්‍ය ධර්මයේ පිහිටා අත්‍යවශ්‍ය පරිදි දේශනා කර වදාළ සේක.
පරාභව සූත්‍රයෙන් පෙන්වන පිරිහෙන ලක්‍ෂණ එකල බමුණු සමාජය තුළ ඉතා තදින් පැවැති නිසා මිනිසාට කෙතරම් මූලික අවශ්‍යතා තිබුණත්, ආශාව, ක්‍රෝධය, මෝහය මූලික කරගෙන පිරිහෙන මාර්ගයට පිවිසෙන්නට ශීඝ්‍රයෙන් සිදුවන බව ප්‍රකට වේ. කෙනකු බුද්ධාදී උතුමන් විසින් දේශිත ධර්මයට පිටුපාන්නේ නම් කෙතරම් ධනය, තිබුණද ඒකාන්තයෙන් ඔහුගේ කායික හා මානසික දුබලතා සමාජය ඉදිරියේ මූර්තිමත් වේ. පුද්ගලික ජීවිතයේ සිතන පතන කියන කරන අනර්ථකාරී ක්‍රියාකාරකම් සමාජය ඉදිරියේ දී විවෘත වන්නේ නිරායාසයෙනි.
සත්වයා අපායගාමී තලයෙන් මුදා සුගතිගාමී තලයේ දරා සිටීමට ශක්තිය ඇති කරන්නේ ධර්මයේ බලයෙනි. එය පවිත්‍රචේතනාවේ පටන් ක්‍රමයෙන් නිවසේ ගමේ පළාතේ රටේ මෙන්ම මිහිමත සියලු ජනතාව ඉදිරියේ තුලනාත්මකව ඉදිරිපත්කොට පරාර්ථසේවය සඳහා ක්‍රියාත්මක කළ හැකි නම් උතුම් ධර්මයක් වේ. නොඑසේ නම් තමන්ට මෙන්ම මෙරමාහට ද අනර්ථකාරී අසත්ධර්මයක් වේ. සමාජයෙන් පරාජිතවන්නාට රුචිවන්නේ ද ඒ දහමයි.
පිරිහෙන මිනිසාගේ ලක්‍ෂණ ප්‍රකට වන්නේ ක්‍රම ක්‍රමයෙනි. කුඩා කල පවතින උදාසීන කම ශාරීරික හා මානසික වර්ධනයේ සංයුතීන් දුර්වලවීමටත්, මතු ජීවිතයේ අපේක්‍ෂා භංගත්වයටත් මූලික හේතුවක් වේ. එවිට සමාජ කාර්යයේ දී සියදහස්වර පසුතැවිලිවීමට සිදුවේ.
අලසකම චිත්ත සන්තානයේ තහවුරුවූ පුද්ගලයාගේ ශාරීරික වර්ධනය අනුව තමා වටා සිටින්නන්ට ප්‍රථමයෙන් ද්වේෂ කොට යළි පොදු සමාජයෙන් පළිගැනීමේ එකම චේතනාව ක්‍රියාත්මක කිරීමට පෙළඹීම මානසික ප්‍රවණතාවයයි. දෙමවුපියන්, ගුරුවරුන්, ඥාතීන් ආගමික, සාමාජික නායකයන් කෙරෙහි පිළිකුලෙන් බැලීමටත්, පළිගැනීමටත් ක්‍රියාකිරීම පිරිහෙන්නාගේ ප්‍රකට ලක්‍ෂණවේ. එමෙන්ම ආගම දහම දර්ශනය, නීතිය, නියම යන සියලු සංස්ථාපනයන්ට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකිරීමට තමන් අවට ඉතා භයානක අවිආයුධද ප්‍රයෝජනයට ගැණේ. අගතියෙන් රැස්කරගත් ධනය එකම ශක්තියක් කරගත් අධමයා, සුරාවෙන්, සූදුවෙන්, කාමමිථ්‍යාචාරයෙන් කාලය ශ්‍රමය, ධනය, යොදමින් ජීවත්වීම විනා දානය, පරිත්‍යාගය ආදී සත්ක්‍රියාවකට රුචි නොවේ. ආගමික ශික්‍ෂණයකින් ආත්මය පාලනයක් නැත්තා නිතරම ඉන්ද්‍රියන් පිනවීම ප්‍රධාන තේමාව කරගෙන කලකදී ධනයෙන්, බලයෙන් පිරිහී අසහනකාරීව මහත් සන්තාපයක් වේදනාවක් ශෝකයක් සන්තානගත කරගැනීමෙන් පාපතරයෙක් වේ.
අප්ප භෝගෝ මහා තණ්හෝ
ඛත්තියේ ජායතෙ කුලේ
සෝච රජ්ජං පත්තථයති
තං පරාභවතෝ මුඛං
ධනයෙන් පිරිහී තණ්හාවෙන් පිරී උසස් තනතුරු සිතීම පැතීම ක්‍රියා කිරීම පරාභව සූත්‍රයේ දක්වා ඇති දොළොස්වන පරාභවයයි.
ආත්මීය වශයෙන් පිරිහෙන පුද්ගලයා තමන්ට රුචිපරිදි සමාජය මෙහෙය වන්නට යාමෙන් ඉතා සුළු ප්‍රශ්නයක් මූලික කරගෙන ක්‍රමයෙන් ලෝක සංග්‍රාම පවා සිදු වී කෝටි ගණනින් සත්වයන්, අමිලවස්තූන් උදාර ශිෂ්ටාචාරවිනාශ වී ගිය අයුරු මානව ඉතිහාසයෙන් ප්‍රත්‍යක්‍ෂ වේ. ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකම ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ රුධිරයෙන් තෙත් වූ සංග්‍රාම භූමිවල වාර්තා සටහන් දක්නට ඇත්තේ බල කාමයෙන් අන්ධව ක්‍රියා කළ පුද්ගලයන්ගේ ආත්මාර්ථකාමී හැඟීම් නිසාමය.
ඒතේ පරාභවේ ලෝකේ
පණ්ඩිතෝ සමවෙක්ඛිය
අරියො දස්සන සම්පන්නෝ
සලෝකං භජතේ සිවං
මෙහි පෙන්වා ඇති පරාභව කරුණු හඳුනා ගැනීමට උසස් බුද්ධියක් තිබිය යුතු අතර, තම බුද්ධිය තාවකාලික හැඟීමෙන් ආවරණය කර ගන්නේ නම් බුද්ධ දේශනාවෙන් පලක් ලද හැකි නොවේ. ධර්මය දැනීම, පිළිපැදීම, කුසලතාව යන ත්‍රිවිධ අවස්ථාවලදීම හැඟීම්බර නොවී ප්‍රසන්නව, නැණවත්ව ක්‍රියා කිරීමට සතිපට්ඨානය බුදුරදුන් විසින් පෙන්වා දී ඇත. ආර්ය දර්ශනය යනු සෝවාන් ආදී මාර්ගඵල අවබෝධයයි. දෛනික ජීවිතයේ සිරිත් විරිත් ඉෂ්ට සිද්ධ කරන්නා පරාභව කරුණු වලින් ඈත් වී උදාර උත්තම ජීවන පැවැත්මෙන් කෙදිනක හෝ ලෝකෝත්තර වශයෙන් තම ජීවිතය ගුණ දහමින් සම්පූර්ණ කරගනී.
සෑම පුද්ගලයාම සමාජ ඉදිරියේ පිරිහෙන්නට කැමති නොවන අතර දියුණු චින්තනයක පිහිටියහොත් දෙලොව ශාන්තියත් පරලොව නිවනත් අවබෝධ කරගන්නේ ය. සුරාපානය, කාමමිථ්‍යාචාරය යන පාප කර්මය තමාටත්, අනුන්ටත් විශාල විනාශයකට හේතුවේ.
ආත්මීය වශයෙන් පිරිහෙන්නා තමන්ට රුචිපරිදි සමාජ පරිසරය පාලනය කරන්ට යාමෙන් වැරැදි රාශියකට මූලික වෙනවා පමණක් නොව එවැනි පුද්ගල ආයෝජන යළි ශතවර්ෂ ගණනකට සකසාගැනීමට නොහැකි වේ. විද්‍යාත්මක ලෝකයකට පියතබන නිසා ලෝකයේ සෑම පුද්ගලයාම අනුන් සකස් කිරීමට ප්‍රථමයෙන් තම තමන් විසින් ස්වයංවිවේචනයක යෙදී තමාගෙන් වියයුතු අර්ථචරියාව සමාජ සංවර්ධනයට පරිත්‍යාග කළ යුතු වේ.
ඔබ සැමට තෙරුවන් සරණයි.!
No comments:
Post a Comment