පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Tuesday, December 25, 2012

සිවු සඟරා වත

උපුටා ගැනීම (බුදුසරණ 2010.01.07)



ලොවුතුරා දහම තුළින් අප සසර ගමන කෙටි කර ගැනීමට ලැබෙන ශක්තිය අප්‍රමාණ ය. අප කාගේත් දිවි පවත්නා කාලය ඉතා අල්ප ය. ඒ අල්ප දිවියෙන් පිනට දහමට යොමු කෙරෙන කාලය බොහෝ සෙයින් ඊටත් වඩා අල්ප ය. ගෙවී ගෙන යන කාලය පිළිබඳව සිතා බලන හැම විට අතීත ආවර්ජනයේදී සතුටුවීමට හැකි අතීතයක් තිබේ ද?. නොමැති නම් අනාගත කාලය සුචරිත දහමින් ආලෝකවත් කර ගන්නට වර්තමානය පිරිසුදු පිවිතුරු කර ගත යුතු කාලය එළඹී ඇත.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස


‘’චත්තාරිමානි භික්ඛවේ සගහවත්ථුනි කතමානි චත්තාරි දානං, පෙය්‍යවජ්ජං, අත්ථචරියා සමානත්තතා ඉමානි ඛො භික්ඛවේ චත්තාරි සංග්‍රහ වත්ථුනීති’

තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොවට වැඩ පිණිස දේශනාකොට වදාළ කරුණු හතරක් ඉහත සූත්‍ර පාඨයට ඇතුළත් වේ. එනම් දානය, පි‍්‍රය වචනය, අර්ථය පිණිස කටයුතු කිරීම, සමානාත්මතාව - දුක සැප සමව බෙදාගෙන ජීවත්වීම යන ඒ සතර කරුණුය.
මෙ කරුණු හතර මිනිස් වර්ගයා තුළ දියුණුකර ගැනීමෙන් සිදුවන යහපත විමසා බලමු. නව වර්ෂයකට පියමං කරන අප විසින් ගෙවී ගිය කාලයට වඩා එළඹෙන කාලය යහපත් කර ගැනීමට මෙම කරුණු සතර දියුණු කිරීම සඳහා අධිෂ්ඨාන කළ යුතුව ඇත.
සුගත තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල සම්බුදු සසුන අපට දායාද වූයේ සංසාරගත මහානුභාව සම්පන්න කුසල ශක්තිය නිසා බැව් අප නිතර සිහි කටයුතුය. ලොවුතුරා දහම තුළින් අප සසර ගමන කෙටි කර ගැනීමට ලැබෙන ශක්තිය අප්‍රමාණය. අප කාගේත් දිවි පවත්නා කාලය ඉතා අල්පය. ඒ අල්ප දිවියෙන් පිනට දහමට යොමු කෙරෙන කාලය බොහෝ සෙයින් ඊටත් වඩා අල්ප ය.
ගෙවී ගෙන යන කාලය පිළිබඳව සිතා බලන හැම විට අතීත ආවර්ජනයේදී සතුටුවීමට හැකි අතීතයක් තිබේ ද?. නොමැති නම් අනාගත කාලය සුචරිත දහමින් ආලෝකවත් කර ගන්නට වර්තමානය පිරිසුදු පිවිතුරු කර ගත යුතු කාලය එළඹී ඇත.
මන්ද යත් වසරක් නිමා වී නව වර්ෂයකට පා තබන මොහොතේ අප ජීවිත සමාපත්තියට යොමුවිය යුතුය. ගතකළ ජීවිතය පිළිබඳව ආපසු හැරී බැලිය යුතුය. අප කාගේත් යම්යම් මතකයේ පවතින විශේෂ දිනයන් අනුස්මරණය කරනු ලැබේ. එනම් ජන්ම දින විවාහ පත් වූ දින ආදී වශයෙනි. එම දිනයන් ඇතැම්විට අනුස්මරණය කිරීම යථාර්ථයෙන් තොරව ඇතැම් අයකු සිදු කරනු දැකිය හැකිවේ. සමහර කුඩා දරුවන්ගේ ජන්ම දින සමරන ඇතැම් මව්පියන්ගේ බහුරු කෝලන් හා වැරැදි ආදර්ශ දෙන අවස්ථා ගැන දක්නට ලැබේ. මවුපියවරුන් ඥාතීන් හිතවතුන් ඒකරාශිකර විවිධ සාද පවත්වා ආශිර්වාදයන් හෝ සුබ පැතීමක් අපේක්ෂා කැරේ.
එම නිසා යම් යම් විශේෂ සන්ධි ස්ථානයන් සිහි කරන මොහොතේ ලොව්තුරා දහම මුසුව ඒ දිනයන් සැමරීම තුළින් මහත් ලෝක ශාන්තියක් ඉටුවන්නේ ය. එම නිසා මේ එළඹෙන වර්ෂය නව සුබ වර්ෂයක් කර ගැනීමට අප හැම අධිෂ්ඨාන කර ගන්නවා නම් වියයුත්තේ ගතකළ වර්ෂය තුළ අප සිත, කය, වචනය යන තිදොරින් සිදු වී ඇති අඩුපාඩු , හොඳ නරක දෑ පිළිබඳව ආවර්ජනා කිරීමයි. නොදැන හෝ සිදු වී ඇති කාය දුශ්චරිතාදී අකුසලයන් නැවත මේ වර්ෂය තුළත් ඉදිරියටත් නොවීමට අදිටන් කර ගැනීමයි.
සිදු කොට ඇති මව්පිය උපස්ථානාදී කුසල ධර්මයන් නැවත නැවතත් තම දිවිය සාර්ථක කරගන්නට රත්නත්‍රයේ ආශිර්වාද ලබා ගැනීමය. එම නිසා නූපන් අකුසල් නූපදවා ගැනීමට අධිෂ්ඨාන කළ යුතුය. උපන් කුසල් වැඩිදියුණු කර ගැනීමට අදිටන් කළ යුතුය.
තිදොරේ සංවරය ඇතිකරලමින් සදාචාර සම්පන්න ඇවතුම්, පැවතුම් ඇති ගුණ ගරුක දිවියක් ගෙවීමට අධිෂ්ඨාන කරගත යුතු කාලයත් මිනිසත් බව ලබා ඇති කාලය වේ. එලඹෙන වර්ෂයට පා තැබුණ මොහොතේ කළයුතු වන්නේ අප නිරතුරු අප දිවිය පිවිතුරු කරන ඉහත කරණු හතරට අපගේ අවධානය යොමු කිරීම තුළින් ඒ සුචරිතවත්බව අප තුළ ක්‍රමයෙන් දියුණු කර ගැනීමය.
දැඩි ලෝභයෙන්, මුසපත් නොවී තම ආහාර වේලෙන් කොටසක් හෝ සතෙකුට පවා දීමෙන් හෝ දාන චේතනාව දියුණු කළ හැකිය. දීම අන් අයට හිතවත් පුද්ගලයෙකු කරගන්නේය. පි‍්‍රය පරිවාර සම්පත් ලබන්නෙකු වන්නේය.
පි‍්‍රය මව්පියන් හිතවතුන් ලැබීමට හේතු වන්නේය. දානය හෙවත් පරිත්‍යාගය තිදොරම පිරිසුදු කරන මාහැඟි කුසල කර්මයක් වන්නේය. එබවැනින් මේ වර්ෂය තුළ දානය හැකි තරම් සිදු කර ගැනීමට අධිෂ්ඨාන කළ යුතුය.
අප නිවස තුළ සමගිය සමාදානය ඇතිවන්නේ පි‍්‍රය වචනය තුළිනි. බොරුවෙන් කේලමෙන් පරුෂ, හිස් වචනයෙන් වෙන්වීම තුළින් අපගේ වාචසික සංවරය තුළින් අප අන් අයට පි‍්‍රයශීලි පුද්ගලයෙක් වන්නේය. එ බැවින් පි‍්‍රය වචනය අප දිවිය තුළ වචනයෙ පිරිසුදු බවටත් පරිවාර සම්පත් ලබන්නටත් අප අපගේ විශ්වාස කටයුතු පුද්ගලයෙකු වන්නටත් හේතු වන්නකි. තමාටත් අන් අයටත් අර්ථ පිණිස හැසිරීම අර්ථචර්යාවයි.
කාය දුෂ්චරිතාදී අකුසල කර්මයන්ගෙන් බැහැරව අර්ථ පිණිස, තමන්ටත් අන් අයටත් යහපත පිණිස කටයුතු කිරීම වනාහී මහා කල්‍යණ ගුණැතියන් විසින් සිදු කරන්නෙකි.
සැමගේ දියුණුවට අර්ථයෙන් අනුශාසන කරමින් පරහිතකාමීව තද මසුරු අය ත්‍යාගශීලින් කරවීම,නොහික්වුණු පුද්ගලයා හික්මවාලීම ආදී වශයෙන් අවිචාරී පුද්ගලයා සදාචාර සම්පන්න කිරීම ධර්ම දේශනා කරවීම, ධර්ම සාකච්ඡා කිරීම, උපදේශන පැවැත්වීම ආදි තුළින් අපට අර්ථය පිණිස කටයුතු කළ හැකි වේ. තථාගත බුදුපියාණන් වහන්සේ සෑම බුදු ගුණයන් තුළින්ම අර්ථය පිණිස කටයුතු කර ඇති ආකාරය සිතා බලා ඒ සම්බුදු සිරිත ආදර්ශයට ගන්න.
මේ නව වසර තුළ සතර සංග්‍රහ වස්තුවෙන් සියලු ලෝ වැසියන් සම මෙත් සිතින් කටයුතු කිරීමට ශක්තිය ලැබේවා!

Saturday, December 15, 2012

දුරුතු මහේ සඳ එළියෙන් නව වසරක සාර්ථක ගිහි ජීවිතයකට මග

උපුටා ගැනීම (බුදුසරණ 2009.12.31)





නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
භූතත්තා භොගා භතා භච්ඡා - විතිණ්ණා ආපදාසුව
උද්ධග්ගා දක්ඛිණා දින්නා - අථො පඤ්ච බලීකතා
උපට්ඨිතා සීලවනෙතා - සඤ්ඤතා බ්‍රහ්ම චාරියො
යදත්ථං භොග මිච්ඡන්ති - පණ්ඩිතො ඝර මාවසං
සොමෙ අත්ථො අනුප්පතෙතා - කතං අනනු තාපියං
එතං අනුස්සරං මච්චෝ - අරියධම්මෙඨි තොනරො
ඉධචෙව නං පස්සන්ති - පෙච්ච සග්ගෙ පමෝදති”


පින්වත්නි ...

බෞද්ධ අප හැම කෙනෙක් තුළම විවිධ බලාපොරොත්තු බොහොමයක් තිබෙනවා. ඒ අතර අපේ ජීවිතයේ තීරණාත්මක බලාපොරොත්තු තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කළ දහම අප බලාපොරොත්තු වන ඒ සියලු සිතුම් පැතුම් ඉටු කරගැනීමේ මාර්ගයකි. අද ධර්ම දේශනාවෙන් අප මේ මාර්ගය කුමක් දැයි තේරුම් ගැනීමට උනන්දු වෙමු.

වසරක් ගෙවී අවසන් වී නව වසරක උදාව ජන හදවත් තුළ බොහෝ ප්‍රාර්ථනා ඇතිවන කාලයකි. උදාවන නව වසර අර්ථවත් කර ගැනීම අපේ අධිෂ්ඨානය කර ගනිමු. අපේ ජීවිතය වැදගත් ලෙස ඉදිරියට ගෙන යාමට වැදගත් වන කරුණු දෙකක් තිබෙනවා.

එනම්
1.උත්සාහය සහ
2.වාසනාව යි

උත්සාහය හා වාසනාව අපේ ජීවිත සාර්ථක කරගැනීමට ඉතාමත් වැදගත් වන කරුණු දෙකකි. මේ ජීවිතය සාර්ථක කර ගැනීමටත් සියලු දුක් නසා නිවන් අවබෝධ කර ගැනීමටත් අප උත්සාහ විය යුතුයි. මේ එළැඹෙන නව වසරේ අපි එය අධිෂ්ඨාන කරගෙන වැඩ ආරම්භ කල යුතු වෙමු. නිවන් මාර්ගයේදී මෙම උත්සාහය “සම්මා වායාම “ යන්නෙන් දක්වා තිබෙනවා. සම්මා වායාමය ඔබේ නව වසර සාර්ථක කර ගැනීමට වඩාත් යෝග්‍ය වෙනවා. එනම් ගෙවී ගිය වසර තුළ ඔබෙන් සිදුවූ වැරැදි අඩුපාඩු අත් හරින්නට,
ඔබ විසින් කරන ලද තමාට හා අන්‍යයන්ට යහපත් වූ කටයුතු තවත් ඉදිරියට ඉටු කර ගෙනයන්නට,ඔබට මෙතෙක් කරගැනීමට අතපසු වූ යහපත් කටයුතු ආරම්භ කරන්නට, ඔබේ අතින් යළි කිසිදු අයහපත් කටයුත්තක් සිදු නොවන්නට යන මෙම කාරණා ඉදිරි වසර ජය ගැනීමට ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. අතීතය දිහා කල්පනා කර කර ජීවිතය තැවෙන මිනිස්සුන්ට කවදාවත් සාර්ථක ජීවිතයක් ගත කරන්න බැහැ. ඊට හේතුව බුදු දහම උගන්වන්නේ සංසාර ජීවිතය ජය ගන්න ක්‍රමයයි. අතීතය සුමිහිරි හෝ අමිහිරි වෙන්න පුළුවන්. ඒත් එය අනාගතය සාර්ථක කරගන්න මාවතක් කරගත යුතුයි. මේ මොහොත අතීතයට හා අනාගතය යන දෙකටම අයිතියි. අතීතයේ සිට මේ මොහොත ගැන සිතුවොත් එය අනාගතයයි. දැන් මේ මොහොත වර්තමානයයි. මේ මොහොත පසු වූ විට එය නැවත අතීතයයි. එනිසා ජීවිතය සාර්ථක කරගැනීමට වටින්නේ මේ මොහොතයි. අංගුලිමාල , පටාචාරා, කිසාගෝතමී,අම්බපාලි, වැනි සමාජයේ ජීවත් වූ ඒ හැම දෙනාගේම අතීතය අමිහිරි වුවත් ඒ අය ධර්මය තුළින් තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගන්නට උත්සාහ කළා. එහි ප්‍රතිඵලය නම් සමාජයේ කොන්වී සිටි ඔවුන් සමාජය ගරුකරන පූජනීයත්වයට පත්වුනා. එනිසා ජීවිතය වාසනාවන්ත වීමට උත්සාහය හැම අතින්ම වැදගත් වනවා.
වාසනාව නැතිව උත්සාහයේ නියම ප්‍රතිඵල ලබන්න බැහැ. කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. මම කෙතරම් උත්සාහ කලත් වාසනාව නැති නිසා උත්සාහවීමේ තේරුමක් නැහැ කියල. ඒක වැරැදියි. අපි දැනගන්න ඔය වාසනාව ලැබෙන්නේ කොහොමද කියලා. වාසනාව ලැබෙන්නේ අප කරන ලද කුසල් අනුවයි. අපි සමාජයට, ලෝකයාට අනෙකුත් සත්වයන්ට පිරිසුදු සිතින් කරනු ලබන පරිත්‍යාගයන් වල ප්‍රතිඵලය වාසනාවයි. එනිසා වාසනාව නැත්නම් එය ඇති කරගන්නට වෙහෙස විය යුත්තේද තමා මයි. ඔබ ඔබේ ජිවිතය තුළ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී අන් අයගේ යහපතට සේවයක් කරන්න. එවිට ඔබට වාසනාව ලැබෙනු නො අනුමානයි. එනිසා උත්සාහයත් වාසනාවත් දෙකම ඇති කරගත හැක්කේ ඔබට මයි. ඒ තුළින් මේ වසර සාර්ථක සුබ නව වසරක් බවට පත්කරගන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සමාජයට අවබෝධ කරගන්න බැරිවීම නිසා සමාජය ධර්මයෙන් ඇතැම් විට ඈත් වෙලා. බුදු හාමුදුරුවෝ සරණ ගියාට අප ඒ වෙනුවෙන් අනුගමනය කළ යුත්තේ කුමක්ද යන්න තේරුම් ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා. බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම ඉගැන්වූ ගැඹුරු දහම උන්වහන්සේ පෙන්නුවේ ආදර්ශයෙන්. ඒ තමා අනිමිසලෝචන පූජාව. අද සමාජයේ බෞද්ධයන් ඒක අමතක කරනවා. එතකොට මුල අමතක කරලා කොහොමද බුදුන් සරණ යන්නේ. තමන්ට උදව් උපකාර කළ අයට ඔබෙන් කෘතගුණ සැලකීම බුදුන් සරණ යාමයි.
ඉන් පසුව බුදු හාමුදුරුවෝ සමාජයේ ජීවත්වන සත්වයන් අතර මනුෂ්‍යයා මුල්කරගෙන ධර්මය දේශනා කළා. මුලින් ගිහි ජීවිතය අතහැර සත්‍ය සෙවු පිරිස්වලට ජීවිතයේ නිසරු බව තුළින් ධර්මය වටහාගෙන පැවිදි බිමට ඇතුළත් වෙලා තමාගේත්, අනුන්ගේත් හිතසුව පිණිස හැසිරෙන්නට මග පෙන්නුවා. එසේම සමාජයේ ජීවිත අවුල් කරගත් නිසි මාර්ගයක් නොදත් සියලු වෘත්තිකයන්ට ඒ ඒ ජීවිත සාර්ථක ගිහි ජීවිත ගෙවන මාර්ගය පෙන්නුවා. ජීවිතයේ දුක නැති කරන්නට මේ සැම දේශනාවක්ම මුල්වුනා.



ජීවිතයේ දුක නැති කිරීම යනු සැපවත් ජීවිතයකට මාර්ගයයි. එනම් සාර්ථක ජීවිතයකට පදනම බුදුදහමේ පදනමයි. මෙය තේරුම්ගත හැක්කේ තමා ළඟ ඇති දෘෂ්ටිකෝණවලට නොව මැදහත්ව ධර්මය දෙස බලන පුද්ගලයන්ට පමණයි. ඒ බව “පච්චත්තබබං වේදිතබෙබා විඤ්ක්‍්‍යුහීති “ යන්නෙන්ම පැහැදිලි වෙනවා. මේ ධර්මය ප්‍රත්‍යක්‍ෂ හෙවත් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නුවනින්ම පමණයි. යන්න බුදුන් වහන්සේගේ දේශනාවයි
පින්වතුනි ,
ගිහි ජීවිතයක් ගත කරන ඔබ නිතරම බලාපොරොත්තු වන කාරනා රාශියක් ඉහත ගාථාවෙන් පෙන්වාදී තිබෙනවා. “ ඉධ ඵෙව නං පසංසන්ති .පෙච්ච සග්ගෙ පමොදති “ යන්නෙන් අර්ථවත් කලේ ඔබ කුමන ජීවිතයක් ගත කළත් මෙලොව ප්‍රශංසාවත් පරලොව සුගතියත් ඇති කරගත යුතුයි යන්නයි. මෙහි දක්වන ප්‍රධාන කරුණු 2 ක් තිබෙනවා. එනම් “භුත්ත “ “භෝගා” යන වචන දෙකයි. “භොගා මේ උප්පජ්ජන්තු සහ ධම්මො “ යන්නෙන් අදහස් වෙන්නේ ධාර්මික වස්තුවයි. අද සමාජයේ ජීවත්වන ඕනෑම අයෙකුට වටිනම දේ තමයි ආර්ථිකය . තමන්ගේ ආර්ථිකය ශක්තිමත් නැත්නම් මේ සමාජයේ ජීවිත අසරණ තත්ත්වයකට පත්වෙනවා. ඒ අතර බුදු දහම පෙන්වා දෙන්නේ ආර්ථිකය ධාර්මික නොවුනොත් මෙලොව පරිහානිය වගේම පරලොව ජීවිතයද අගාධයට පත්වන බවයි.
අපි අධාර්මික ආර්ථිකයක් ඇති කර ගන්නවා කියන්නේ අන් අයට අයුක්තියක් ඉටු කිරීම යි. එනිසා බුදුදහම පුද්ගලයා යහපත් වීම තුළ තමා පමණක් නොව සමාජයම යහපත් අතට පත්වීමට පුද්ගලයා යහපත් වීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා. අපි භුක්ති විදින ධනය අධාර්මික දෙයක් නොවන්නට අපි වග බලා ගන්න ඕනෑ.
“යසො මේ උප්පජ්ජන්තු සහ ධම්මෙන “ යන්නෙන් ධනවත් වීමෙන් අපි සමාජයේ කීර්තියක් අපේක්‍ෂා කරනවා. මේ කීර්තිය රඳා පවතින්නට නම් අපි උපයන දේ ධාර්මික වෙන්නට ඕන. නැතිනම් ටික දවසකින් තමන්ගේ අධාර්මික ව්‍යාපාර බිඳවැටී කායික හා මානසික බිඳවැටීමක් තුළින් සමාජයට මුහුණදෙන්න බැරි තත්ත්වයකට පත්වෙනවා.
පින්වතුනි
අපි සමාජයේ ජීවත් වෙන කොට ධර්මය ට අනුවම ජීවිතය සකස් කරගන්නට උත්සාහ කරන්නට ඕන. හේතුව සමාජය ලාභ අලාභ නින්දා ප්‍රශංසා යසස අයස සැප දුක වැනි ලෝක ධර්මයන් වලින් නිතරම වෙනස් වෙනවා. ලාභය නිසාම අලාභය සිදුවෙනවා නම් ලාභයේ අන්තය හොයන්න හොඳ නැහැ. තමන්ගේ තරම කුමක්ද යන්න කල්පනා කාරීව ජීවත්වෙන්නට ඕන. නින්දා, ප්‍රශංසා , සැප දුක ආදියත් තමන්ට අත්විඳින්නට වෙනවා. ඒ නිසා සැපක් හෝ සැපයේ කෙලවරක් සොයන පුද්ගලයෙකුට ඒ සැපයේ කෙලවර සොයන්න වන්නේ ධර්මය තුළයි. ධර්මය මිනිසාගේ සැපයට කිසිම තැනක බාධා ඇති කරන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කළේ සැප තුනක් පිළිබඳවයි. එනම් මනුෂ්‍ය ‘දිව්‍ය’ නිවන් යන සැප තුනයි. ඔබ ඔබේ ජීවිතය ධර්මානුකූලව ධාර්මිකව ගත කිරීමට අධිෂ්ඨානය ඇතිකරගන්න උත්සාහවත් වෙන්න. එවිට ජිවිතයේ යථාර්ථය තුළින් සාර්ථක ගිහි හෝ පැවිදි ජීවිතයක් ගත කිරීමට ඔබට දැනුම තුළින් බුද්ධිය පහළවෙනු නිසැකයි. ඔබ සැමට තෙරුවන් සරණයි.

නැණවතුන් පසසන මහඟු යුතුකම

 (බුදුසරණ 2009.12.15)

 ආණමඩුව වෙම්බුවැ ශ්‍රී වර්ධනාරාමයේ  

හිදව සෝභිත හිමි


අප සතු යුතුකම් මොනවාදැයි හරිහැටි වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ. තමා සතු යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම ඔවුනොවුන්ට ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා රාශියක එම යුතුකම් සඳහන් වෙයි.

“නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
යො මාතරංවා පිතරංවා -
මච්චො ධම්මෙන පොසති
තායං න පාරිචරියා -
මාතා පිතූසු පණ්ඩිතා
ඉධවෙ නං පසංසන්ති -
පෙච්ච සග්ගෙ පමොදති.


පින්වත්නි,

මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ටත් අනුන්ටත් හිතකර මෙලොවත් පරලොවත් දියුණුව සලසන උතුම් දහමකි. ධර්මෝපදේශ රාශියක් අන්තර්ගත එහි ඒ හැම උපදේශයක්ම නුවණැති උත්සාහවත් මනුෂ්‍යයකුට ක්‍රියාත්මක කළ හැකි වේ. එබඳු ඉගැන්වීම් දෙස බලන බුද්ධිමත් නූතනලෝකයා පවා අදත් බුදුදහම කෙරෙහි සිත් ඇද ගනිති. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව සත්ව ජීවිත කෙරෙහි බලපාන සාධක රාශියක් තිබේ.
සත්වයා විසින් කරනු ලබන කර්ම ඔහුගේ ජීවිතය කෙරෙහි බලපාන ප්‍රධානම සාධකය වෙයි. සුබ මානවකයාගේ පියා වූ තෝදෙය්‍ය බමුණාගේ ජීවිතය ඊට නිදසුනක්. පුද්ගලයා කරන හොඳ, නරක ක්‍රියාවන්ට ලැබෙන විපාකවලට වගකිවයුත්තේ ද එම පුද්ගලයාම බව චුල්ල කම්ම විභංග සූත්‍රයේ පැහැදිලි කර තිබෙනවා. තමාගේ විමුක්තිය ඇත්තේ තමා තුළම බවත්, අනිත් කෙනෙකුට තමාගේ විමුක්තිය සලසාදීමට නොහැති බවත් දමනය කර ගන්නා ලද පසිඳුරන් ඇති තමා විසින්ම දුර්ලභ වූ නිවන් සුවය අත්පත් කරගන්නා බවත් කුමාරකාශ්‍යප මාතාව නිමිති කරගෙන දේශනා කර තිබේ.
පින්වතුනි, මෙලොව ජීවත්වන අප හැම කෙනෙක්ම කුඩා අවදියේ සිට මරණය දක්වාම ජීවිතයේ විවිධ අවස්ථා පසු කරනවා. ඒ ඒ අවස්ථාවලදී ඉටු කළ යුතු අප සතු යුතුකම් මොනවාදැයි හරිහැටි වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ.
තමා සතු යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම ඔවුනොවුන්ට ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා රාශියක එම යුතුකම් සඳහන් වෙයි.
සමාජයේ ජීවත්වන ඒ ඒ පුද්ගලයන් සතු යුතුකම් මොනවාදැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. එම සිඟාලෝවාද සූත්‍රයේ දී මව්පිය, දූ දරු, ගුරු, ශිෂ්‍ය, ස්වාමි, භාර්යා, හිත, මිතුරු, ස්වාමි, සේවක, ගිහි පැවිදි යනුවෙන් මුළු සමාජයම දිසා වශයෙන් හයකටත් පුද්ගලයන් වශයෙන් කොටස් දොළහකටත් බෙදා ඒ ඒ පුද්ගලයන්ගෙන් ඉටු විය යුතු යුතුකම් සියල්ල උගන්වා තිබේ. එමකොටස්වලට ඇතුළත් නොවන කිසිවෙක් මනුෂ්‍යයන් අතර නැහැ.
මේ යුතුකම් මඟින් සමාජයට අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධ කර තිබේ. සිගාල ගෘහපති පුත්‍රයාට බුදුරදුන් වදාළ සදිසා පිළිබඳ සියලු කරුණු එක්කොට ගත්විට වගකීම් හා යුතුකම් අතර ඇති සම්බන්ධය පැහැදිලි වේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සදිසාවෙන් එක් දිශාවක් පෙන්නුම් කළේ දෙමාපියන් පිළිබඳවය. උන්වහන්සේත් එම උදාර ගුණය පුරුදු කළහ. බෝධිසත්ව කාලයේ දීත් බුද්ධත්වයෙන් පසුවත් මව්පිය උපස්ථානය ආදර්ශයෙන් පෙන්නුම් කළහ. මාතු පොසක ජාතකය, සාම ජාතකය ඊට නිදසුන්ගෙන් කීපයකි. තථාගතයන් වහන්සේ පස්වැනි වස ගත කළ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ දී දිනක් මහා කරුණා සමාපත්තියෙන් ලොව බලද්දී ශුද්ධෝදන මහ රජතුමා දැඩි ලෙස රෝගාතුරව මරණ මඤ්චකයෙහි සිටින බව දැන ගත්තා එදිනම උන්වහන්සේ භික්‍ෂු පිරිසකුත් සමග කිඹුල්වත්පුර රජ මාලිගාවට වැඩමවා පිය රජුගේ ඇඳළඟ පනවන ලද අසුනෙහි වැඩහිඳ පියාගේ හිසට දකුණත තබා සත්‍ය ක්‍රියා කළහ. විගස හිසේ වේදනාව දුරු වී ගියේය. සත්‍ය ක්‍රියා කරත්ම රජතුමාගේ සියලුම ශාරීරික වේදනා දුරුවී ගියහ.
අනතුරුව සතුටට පත් පියාණන්ට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයක් දේශනා කළ විට එතුමා උතුම් වූ රහත් ඵලයට පත් වූහ. තම මවට සැළකීම සඳහා තව්තිසා දිව්‍ය ලෝකයට වැඩඬම කර විජම් බණ, දේශනා කර මාතෘදිව්‍ය රාජයා ඇතුළු දේව සමූහයාට ශාන්තිය සැලැස්වූහ. පින්වතුනි අපේ අම්මාගේ තාත්තාගේ දරු සෙනෙහස සිවියත් සමත්, මසත්, නහරත්, ඇටත්, විනිවිද ගොස් එයින් නොනැවතී ඇට මිදුලුව හැපී පවතී . මවුපියන් විසින් දූ දරුවන් ඇති දැඩි කරනුයේ දහසක් පැතුම් සිත තුළ රඳවාගෙනය. එයින් බලාපොරොත්තු පහක් ගැන සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කොට තිබේ. මවුපියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කටයුතු කරදීම, පරපුර ආරක්‍ෂා කිරීම, මව්පියන් දුන් ධනය රැකීම සහ මියගිය දෙමාපියන්ට පින්දීමය.
එම කරුණු පහෙන් දරුවන් දෙමාපියන්ට සංග්‍රහ කළ යුතුව තිබේ. දූ දරුවන්ගෙන් මෙම සංග්‍රහ ලැබීම දෙමාපියන්ගේ අයිතියකි. ඒ කරුණු එසේ ඉටු කිරීම දරුවන්ගේ යුතුකම සහ වගකීම වේ. දූ දරුවන් කෙරෙහි ඉටු කළ යුතු දෙමාපියන් සතු යුතුකම් ඉටුවන විට එම දූදරු, මව්පිය දෙපක්‍ෂය අතර අන්‍යොන්‍ය සමගිය හා සාමය ඇති වේ. යහපත් සමාජයක් ගොඩනැඟීමේ පදනම එයින් ඇති වේ. ආචාරශීලී ගුණ ගරුක දෙමාපියන්ගේ දරුවන් යහපත් ගුණවතුන් වේ.
මංගල සූත්‍රයේ දී දෙලොව දියුණුව ඇති කරන කරුණු දේශනා කරන බුදුරජාණන් වහන්සේ ‘මාතා පිතූ උපට්ඨානං’ මවුපිය උපස්ථානය මංගල කරුණක් බව දේශනා කර තිබේ. ‘යො මාතරං වා පිතරංවා ජිණ්ණකං ගත යොබ්බනං පහුසන්තො නභරති’ යනුවෙන් යම්කිසි දරුවෙකු පිළිවන්කම තිබියදී තම මවුපිය දෙදෙනාට නොසලකන්නේ නම් එය වසල වූ පහත් ගතියක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
මේ කරුණු ගැන මෙනෙහි කර මව්පිය දෙපළ වෙනුවෙන් කළයුතු යුතුකම් නොපමාව ඉටු කරන්න. අපි මවුපියන් හට හොඳින් සලකා මෙම උදාර බෝධිසත්ව ගුණය දියුණු කොට ඒ පින් බෙලෙන් අමාමහ නිවන් සම්පත් ප්‍රාර්ථනා කර ගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි.

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව

හබරණ වෙහෙරහේන යෝගාශ්‍රමයේ

මැල්ලවගෙදර සමණ ධම්ම හිමි (බුදුසරණ 2009.12.24)



මේ සසර ජීවත්වන සත්වයා විඳීන්නෙ අනන්ත දුකක්. තමන්ට ලැබෙන යම් දෙයක් සැපතක් කියා සිතුවත් එහි අවසානය දුකක්. අපි සසර පුරාම ඇවිදින්නෙ මේ දුක් කරගහගෙන. මේ දුක්ගොන්න බිම තියන්න හැකිවුණොත් එදාට අපට මේ සසර නිම වීමේ නවාතැන වන නිර්වාණ ධාතුවට සමීප වීමේ හැකියාව ලැබෙනව.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං


පින්වත්නි,

අටලෝ දහම උපතින් පොදි බැඳගත් මිනිසා අවසානයේ ගමන් කරන්නෙ මරණය වෙතය. එය සංසාර ගමනේ එක් අවස්ථාවක් පමණයි. මියගිය සත්ත්වයා එතැනින් තවත් ස්ථානයක උපත ලබනව. එතැනදීද මේ අටලෝදහමට මුහුණ දෙනවා. කෙළවරක් නැති මේ සසරේ ඉපදෙමින් මැරෙමින් ගමන්කරනව. මේ ගමනේ උපත කොතනද? අවසානය කොතනද? කියල කිසි කෙනෙක් දන්නේ නැහැ. බුදු, පසේබුදු මහරහතන් වහන්සේ මේ ගමනේ අවසානය දුටුවා.
දිනක් භික්‍ෂූන් වහන්සේ පිරිවරා වනයක් මැදින් වඩින බුදුපියාණන් වහන්සේ එම වනයෙන් කොළ කීපයක් අහුලා අතටගෙන භික්‍ෂූන් වහන්සේගෙන් මෙලෙස විචාලා මහණෙනි! මගේ අත තිබෙන දෙය පෙනෙනව නේද? එසේය ස්වාමීනි! කොළ ස්වල්පයක් යයි භික්‍ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.
බුදු පියාණන් වහන්සේ නැවත අහනව ඇවැත්නි! මේ මගේ අතේ තිබෙන කොළද වනයේ තිබෙන කොළද වැඩි කියල. භික්‍ෂූන් වහන්සේ පිළිතුරු දෙනව ස්වාමීනි! ඔබ වහන්සේ අත ඇත්තේ ඉතාම සුළු කොළ ප්‍රමාණයක්.
වනයේ තිබෙන කොළ තමයි වැඩි යනුවෙන්, බුදු පියාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේ අමතා මෙසේ දේශනා කළා. ඇවැත්නි, මා අවබෝධ කළ ධර්‍මය මේ වනයේ තිබෙන කොළවලට සමානයි. ඔබලාට දේශනා කර ඇත්තේ මා අතේ තිබෙන කොළවලට සමාන ප්‍රමාණයක්. ඔබලාගේ ඒකායන බලාපොරොත්තුව මා අවබෝධ කළ ධර්‍මය අනුගමනය කර මේ සසර දුකින් මිදීමටයි.
එයට අවශ්‍ය ධර්ම මාර්‍ගය විනා වෙනත් දෙයක් ඔබට අවශ්‍ය නැහැ. වෛද්‍යවරයා රෝගියාට ප්‍රතිකාර කරන්නේ ඔහුට වැළඳී ඇති රෝගයේ නිධානය සොයා එයට අවශ්‍ය ඖෂධ දීමෙන්. මාද ඔබලාට කියා දෙන්නේ මේ සසර ගමනින් එතරවීමට අවශ්‍ය ධර්ම මාර්‍ගය පමණයි.
මා ඔබලාට කියා දෙන්නෙ කාරණා දෙකයි. ඒ කාරණා දෙකනම් දුක සහ දුක නැති කිරීමයි. මේ කාරණා දෙක පමණක් මා කියා දෙන්නේ මේ ලෝකයේ දුක් විඳින සත්ත්වයාට දුකින් මිදීමට ඔය කරුණු දෙක අවශ්‍ය හෙයින්. මම දුක කුමක්ද? කියල ඔබලාට කියා දෙනව.
දුකෙහි අනෙක් පැත්ත සැපය. සැපය ලබන්නෙ කොහොමද කියල කියා දෙනව. අනෙක් දේවල් දැනගත්තට මේ සසර දුකින් නිදහස් වන්න බැහැ. බුදු පියාණන් වහන්සේ මේ කරුණු දෙක නැවත කරුණු හතරක් වශයෙන් විස්තර කරනව. දුක කියල එකක් තියනව. එහෙමනම් ඔය දුක හටගන්න හේතුවක් තියෙන්න ඕනනේ. දුක දිගින් දිගටම දුකටම පත්කරමින් සසර පුරා ගෙන යන හේතුව හොයන්න ඕන.
හේතුව සොයාගත්තට මදි. එහෙමනම් ඒ දුක නැතිකරගන්න ඕන. දුක නැති කරගන්නනම් එයටත් මාර්ගයක් තියෙන්න ඕන. ඒ දුක නැති කරන මාර්‍ගයත් සොයා ගන්න ඕන.
එම භික්‍ෂූන් වහන්සේලාට සසරින් ගැලවීමට කාරණා හතරයි දේශණා කළේ. ඒ කාරනා හතර නැවත කියනවනම්, සසර දුකයි “දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ” දුක මත ලෝකය පිහිටා තියෙන්නෙ. එහෙම නම් ඒ දුක නැතිකරගන්න ඕන.
දුකක් ඇතිවුනානම් එයට හේතුවක් තියෙන්න ඕන. ඒ හේතුව සොයාගන්න ඕන. දුක නැති කරන්න නම් දුක නැති කරන මාර්‍ගයකුත් තියෙන්න ඕන. ඒ මාර්‍ගයත් සොයාගන්න ඕන.
අපි මෙයට කියනව සත්‍ය හතර කියල. නැත්නම් චතුරාර්ය සත්‍ය කියල. ඔය කාරණා හතර ඔබ හරිහැටි ප්‍රත්‍යක්‍ෂකර ගතහොත් මේ සසර දුකින් මිදීමේ ඔබේ අභිමතාර්ථය සම්පූර්‍ණකර ගන්න පුලුවන්.
පින්වත්නි, මේ සසර ජීවත්වන සත්ත්වයා විඳීන්නෙ අනන්ත දුකක්. තමන්ට ලැබෙන යම් දෙයක් සැපතක් කියා සිතුවත් එහි අවසානය දුකක්. මනුෂ්‍ය සත්ත්වයා මව් කෙනෙක් වෙන්න පිය කෙනෙක් වෙන්න දරුසුරතල් බලන්න හරිම කැමතියි. දරුවා ලැබුණට පසුව ඒ මව් පිය දෙපල අනන්ත දුක් විඳිනවා.
දරුවාගේ කැත කුණු අදින්න පාසල් යවන්න, රැකියා ලබාදෙන්න අනන්ත දුක් විඳිනව. දරුවාට ලෙඩක් දුකක් හැදුනාම අනන්ත දුකක් විඳිනව. සැපත කියා සිතුවත් මේ සැම දෙයක්ම දුක්ගොඩක්මත ජනිතවෙලා තියෙන්නෙ.
”ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චං නලභති දුක්ඛං, සංඛිතෙත්න පඤචුපාදානක්ඛන්ධා දුක්ඛා” ස්කන්ධයන්ගේ පහලවීමයි කියන ලද ජාතිය නොහොත් ඉපදීම දුකයි. අංගප්‍රත්‍යයන්ගේ වෙනස්වීම යෞවනභාවය නැතිව යාම, නම්වූ මහලු බවට පත්වීම, ජරාපිදුක්ඛය.
ජීවිතය විනාශකිරීමට තරම් හේතුවන එක් එක් ලෙඩ රෝග සෑදීම ව්‍යාධිපි දුක්ඛය. ජීවිතයේ විනාශවීම මරණංපි දුක්ඛය. අප්‍රිය පුද්ගලයින් ඇසුරට ලැබීමත් දුකක්. ඔහුගෙන් තමන්ට නිතරම වන්නේ විපතක්. එය අප්පියේහි සම්පයෝගෝ දුක්ඛය. ප්‍රියවූ අයගෙන් වෙන්වීමත් දුකක්. මව්පිය, දූදරුවන්, සහෝදරයින්, තමන්ගේ ප්‍රියමිත්‍රයින් වියෝවීමත් දුකක්. එයට කියනව පියේහි විපයෝගෝ දුක්ඛය කියල. තමන් අභිමතාර්ථ යම් දෙයක් නොලැබුණත් එයත් තමන්ට දුකක්. යම් පිච්චංනලභති දුක්ඛං කීවේ එයට.
කොටින්ම කියනවනම් පඤ්චුපාදානක්ඛන්ධයම දුකයි.
පින්වත්නි, අපි සසර පුරාම ඇවිදින්නෙ මේ දුක් කරගහගන. මේ දුක්ගොන්න බිම තියන්න හැකිවුනොත් එදාට අපට මේ සසර සැරිසැරීමේ නවාතැන වන නිර්වාණ ධාතුවට සමීපවීමේ හැකියාව ලැබෙනව. මේ දුක්ගොන්න බැඳල තියෙන්නෙ පටිච්ච සමුප්පාදයෙන් අවිද්‍යා, තෘෂ්ණා සංඛ්‍යාත සංසාර චක්‍රයේ මූලධර්මයන් හොඳීන් හැදිනාගන්නාතුරු නිවනට පැමිනෙන්න බැහැ.
පටිච්චසමුප්පාදය නොදත් තැනැත්තාට ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට නොහැකිබව බුදුපියාණන් වහන්සේ ආනද ස්වාමීන් වහන්සේට එදා වදාළහ.
“ඒතස්ස ආනන්ද ධම්මස්ස අඤ්ඤාණා අනනුබෝධා අප්පටිවේධා ඒවමයං පජා තන්තාකුලක ජාතා ගුලාගුණ්ඨික ජාතා මුඤ්ඡබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති”
”ආනන්දය, මේ පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීම නිසා, අවබෝධ නොකිරීම නිසා, ප්‍රතිවේධ නොකිරීමනිසා මේ සත්ත්වයෝ අවුල්වූවාවූ නූල් පන්දුවක්සේ, අවුල්වූවාවූ මුඤ්ඡබබ්බඡ නම් තණවලින් ඇඹරූ දිරා කැඩීගිය කඹයක තණකෙඳීමෙන් අවුල්වූවාවූ සැපයෙන් පහවූ දුක්ඛයාගේ පැවැත්ම ඇත්තාවූ අපාය හා සංසාරය නොඉක්මවත්”
සකල දුක්ඛස්කන්ධයාගේ පහලවීමට හේතුවන පටිච්චසමුප්පාදය අවිද්‍යාව නොහොත් නොදැනීම නැතොත් මෝහය නිසාම හට ගන්නව.
අවිද්‍යාව නමැති හේතුව නිසා සංස්කාරයෝ හටගන්නව.
සංස්කාරනිසා විඥානය හටගනී
විඥානය නිසා නාමරූප හටගනී
නාමරූප නිසා ෂඩායතන හටගනී
ෂඩායතන නිසා ස්පර්ශය හටගනී
ස්පර්ශය නිසා වේදනාව හටගනී
වේදනාව නිසා තෘෂ්ණාව හටගනී
තෘෂ්ණාව නිසා උපාදානය හටගනී
උපාදානය නිසා භවය හටගනී
භවය නිසා ජාතිය හටගනී

ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනී.
මේ සියලු හටගැනීම් සඳහා උත්පත්ති ස්ථානය අවිද්‍යාවයි.
එසේනම් මාතෘකා කළ ගාථාව අනුව සියලු පව් නොකිරීමද ලොව්තුරා කුසල් වැඩීමද, සිත නීවරණයන්ගෙන් පිරිසුදු කරගැනීමද යන මෙය සියලු බුදුවරයින්ගේ අනුශාසනය බැවින් එම බුදුමඟ ගමන් කිරීමෙන් සසර දුකින් නිවී අනන්ත සැනසීම ඇති නිර්වාණ ධාතුව අවබෝධකර ගැනීමට අධිෂ්ඨාන කරගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි

Thursday, September 20, 2012

සුගතියට හා දුගතියට මඟ පෙන්වන ධර්ම අධර්ම ප්‍රතිපදාව

(බුදුසරණ 2012.09.08)




නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස


බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ පිරිවරා ගෙන දහම් දෙසමින් කොසොල් ජනපදවාසීන්ගේ සාලා නම් බමුණු ගමට වැඩි සේක. බමුණු ගමේ ජනතාව අතරත් අවට ප්‍රදේශය පුරාත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ කීර්ති රාවය පැතිර ගියත් ඒ හා සම්බන්ධව උන්වහන්සේගේ සිතෙහි කෙලෙස් හට ගැනීමක් නැත්තේ සම්පූර්ණයෙන්ම කෙලෙස් සියල්ල මුලින් උදුරා දැමූ හෙයිනි.

අරහාදී නවගුණ සමුදායයෙන් හෙබි බුදුරජාණන් වහන්සේ සාලා ගමට වැඩම කැරවීම පිළිබඳ ප්‍රවෘත්තිය මහත් වේගයෙන් දසත පැතිර යන්නට ගත වූයේ ඉතා කෙටි කාලයකි. ගුණවතුන්ගේ ගුණ පිළිබඳව රාවය පැතිර යන්නේ අසන හැම දෙනා තුළ ම මහත් බැතියක් මෙන් ම සොම්නසක් දනවමිනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග,ද්වේෂ ,මෝහ සම්පූර්ණයෙන්ම දුරු කළ සේක.උන්වහන්සේගේ ගුණ සුවඳ දෙවියන් සහිත සමස්ත ලෝකය පුරා ම පැතිර ගියේ කිසිදු වෙනසක් නැතිවම ය. සීලාදී ගුණ සුවඳ පමණක් ම උඩු සුළගෙහි මෙන් ම යටි සුළගෙහි ද පැතිර යවන්නේ වෙනසකින් තොරව ය.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුල මැද අග කියන තුන් තැනම යහපත් වනුයේ අර්ථ සහිත පැහැදිලි වචනවලින් යුක්තව දහම් දෙසන බැවිනි. සමස්ත ධර්මදේශනාව ම මුළුමනින් ම පිරිසුදු නිවන් මඟ පැහැදිලි කරන අතර තිරසාර අරමුණ වනුයේ ශ්‍රාවකයා නිවනට පමුණවාලීම යි.
සාලා බමුණු ගමේ වැසියන් මහත් සොම්නසින් බුදුරජාණන් වහන්සේ සොයා ගියේ තමන් සිත් තුළ කලක පටන් පැවති ප්‍රශ්න මාලාවක් නිරාකරණය කර ගැනීමේ අපේක්ෂාවෙනි. බුදුරදුන් හමුවට පැමිණි ඒ පිරිස තම තමන්ගේ පෞරාණික කුල සිරිත් අනුව ගෞරව දක්වමින් පැත්තකින් වාඩි වූ අතර ප්‍රශ්න වාරය පැමිණියේ ඉන් අනතුරුව ය. මුල් ම ප්‍රශ්නය වූයේ සාලා බමුණු ගමේ සමස්ත ප්‍රජාවට ම එකසේ වැදගත් වූවකි.
බුදුරජාණන් වහන්ස, මේ ලෝකයේ සමහර සත්ත්වයින් මරණයෙන් පසු සැපයෙන් පහව ගිය අපාය නම් වූ නිරයෙහි උපදිනවා නම් එයට හේතුව කුමක්ද? ඒ සඳහා බලපාන ලද කරුණු මොනවා ද? එසේ ම මේ ලෝකයේ සමහර සත්ත්වයින් මරණයෙන් පසු සැපයෙන් අධික සුගතියෙහි උපදිනවා නම් එයට හේතුව කුමක් ද? ඒ සඳහා බලපාන කරුණු මොනවා ද ? බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු වූයේ යමෙකු මරණයෙන් පසු අපායෙහි උපදින්නේ නම් එයට ප්‍රධානම හේතුව අධර්මයෙහි දුශ්චරිතයෙහි (අධම්මචරියා -විසමචරියා) හැසිරීමයි. සැප ඇති සුගතියෙහි උපදින්නේ නම් එයට බලපාන ප්‍රධාන හේතුව ධර්මයෙහි සුචරිතයෙහි (ධම්මචරියා – සමචරියා) හැසිරීමයි.
බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන විට අනුගමනය කරන ප්‍රතිපදා දෙකකි. සාරාංශ වශයෙන් හා විස්තර වශයෙනි. ධර්මය සාරාංශ වශයෙන් දේශනා කළ විට ධර්මය කෙරෙහි පි‍්‍රය උපදවන තැනැත්තා දෙසූ ධර්මය විස්තර වශයෙන් දැන ගැනීමට මහත් කැමැත්තක් දක්වයි. සාලා ගම්වැසි ගෘහපතියන්ටත් දැඩි ලෙස අවශ්‍ය වූයේ බුදුරජාණන්වහන්සේ සාරාංශ වශයෙන් දේශනා කළ ධර්මය විස්තර වශයෙන් පැහැදිලි කර දැන ගැනීමට යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අසන ශ්‍රාවකයාට එම ධර්මය තමා ම අරමුණු කර ගෙන තමාට ම දේශනා කරන ධර්මයක් බව වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාගේ චිත්ත සන්තානය තුළ පැවති කෙලෙස්වල අඩු වැඩිකම හඳුනා ගැනීමේ දක්ෂතාවය උන්වහන්සේට ම ආවේණික වූ ගුණයක් නිස යි.
අධර්මචර්යාව හෙවත් විසමචර්යාව කය මුල්කර ගෙන සිදුවන්නේ තුන් ආකාරයෙකිනි. වචනය මුල් කරගෙන එය සිදුවන්නේ සතර ආකාරයෙකිනි. මනස මුල් කරගෙන තුන් ආකාරයෙකින් සිදුවේ.
ලොව වෙසෙන සියල්ලෝ ම තමන්ගේ ජීවිතවලට පි‍්‍රයහ. නපුරු සිතින් යුතුව සත්ත්වයින් කෙරෙහි දයා රහිතව ලේ තැවරුණු අත් ඇතිව ප්‍රාණඝාතයෙහි යෙදේ නම් කයින් කෙරෙන පළමු වරදෙහි යෙදුණාවේ. අන්සතු වස්තුව ගමක නිවසක හෝ පුද්ගලයෙකු සතුව ඇති නොදුන් දෙය සොර සිතින් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම කයින් කෙරෙන දෙවන වරද වේ. ස්වාමියෙකු සිටින එමෙන්ම විවාහ ගිවිස සිටින ස්ත්‍රියක් සමඟ වරදෙහි බැඳීම කාමමිච්ඡාචාරය නම් වේ. වචනය මුල් කරගෙන සිදුවන වැරදි සතරකි. දන්නා දේ නො දන්නා බවත්, දැක්ක දේ නො දැක්ක හැටියටත් ,ඇසූ දෙය නො ඇසූ දෙය ලෙසටත් එසේ නැතිනම් යම් අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි නම් මුසාවාද නම් වේ. මෙතනින් අහගෙන ගිහින් මෙතන බිඳවන්නට එතනට කියනව. එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන්නට මෙතන කියනව. මේ අන්දමින් කේළාම් කීම තුළින් සිදුවන්නේ බරපතල විනාශයකි. කිසිදු ප්‍රයෝජනයක් නැති අනවශ්‍ය අවස්ථාවල කියන, අනර්ථයක් ම ගෙන දෙන වචන හිස් වචන නමින් හැඳින්වේ. මනසේ ක්‍රියාකාරිත්වය තුළින් සිදුවන වැරදි තුනකි.අභිධ්‍යාව යනු විෂම ලෝභයයි. විෂම ලෝභයේ ස්වභාවය නම් අන්සතු වස්තුව තමාට ලබා ගැනීමේ ඇති බලවත් කැමැත්ත යි. අනුනට අයහපත, දුක,වේදනාව, අසහනය ගෙන දෙන සේ සිතීම මෙන් ම ක්‍රියා කිරීම ව්‍යාපාදය නමි. වැරදි දැක්ම මිථ්‍යාදෘෂ්ටිය නම් වෙයි. දසවස්තුක මිත්‍යාදෘෂ්ටිය නමින්ද කරුණු දහයක් ඇත.
අකුසලයේ විපාකය පැහැදිලි කරන විට කුසලයෙහි යහපත ඉතා පහසුවෙන් ම වැටහේ. ප්‍රාණඝාතයෙන් වළකිනවාත් සමඟ ම සකල සත්ත්ව ප්‍රජාව කෙරෙහි මෙත් කරුණාදි ගුණ පැතිරවීමත්,අවි ආයුධ දඬු මුගුරු බහා තැබීමත්, ආදි ගුණ සමුදායක් වරදින් මිදෙනවාත් සමඟ ම හදවෙතෙහි ඇතිවේ.මෙලෙසින් තිදොරින් සිදුවන වැරදි ක්‍රියාවලින් වළකිනවාත් සමඟ ම එය පසුබිම් කරගනිමින් වගා කළ යුතු ගුණධර්ම රාශියකි. දිව්‍යලෝකවල සහ මනුෂ්‍යලෝකයේ සැප සම්පත් වින්දනය කරමින් ජීවත්වීමට හේතු වන්නේ ද කුසලචර්යාව හෙවත් සමචර්යාවයි. ලෞකික සැප සම්පත්වල පවත්නා නිසරු ස්වභාවය අවබෝධ කරගෙන සසර දුකින් මිදී ලබන නිවන් සුව මේ ජීවිතයේ දීම ලැබීම සඳහා උත්සාහ කරන්නේ නම් ඒ සඳහා ද අවස්ථාව උදා වන්නේය.
බුදුරජාණන් වහන්සේ සාලා බමුණු පිරිස හමුව මේ ධර්ම ප්‍රතිපදාව විවරණය කළ විට මහත් සොම්නසට පැමිණි ඔවුහු අද පටන් දිවිහිමියෙන් තෙරුවන් සරණ යන බවට ප්‍රතිඥා දෙමින් දහම් ප්‍රතිපදාව මැනවින් අවබෝධ වූ බව සතුටින් ප්‍රකාශ කළහ.

Friday, August 31, 2012

නොපමාවෙන් වැඩෙන යසස

ධර්ම දේශනාව(බුදුසරණ 2009.11.16)



පස්, පව්, දස අකුසල් කෙරෙහි චිත්ත සන්තානයේ නම්‍යතාව වැඩි ය. එසේම එවන් කර්ම කිරීමෙන් ලබන සතුට නසා මොහොතින් මොහොත මිනිස් සිත නීවරණ තුළින් කිළිටි වන්නේ ය. එය මරණින් මතු සතර අපායෝත්පත්තියක් ලැබීමට හේතු කාරක වේ. එම නිසා සමථ විදර්ශනා වඩා දෙලොව සුව සලසා ගැනීමටත් කෙළවර නිවනින් සැනසෙන්නටත් පවිත්‍ර චේතනාව මූලාධාරයක් වේ


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස....
උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤ තස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඩති....


කාරුණික පින්වත්නි,

සියලු ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් හා දයාවෙන් යුක්තව පුරා පන්සාලිස් වසක් මුළුල්ලෙහි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දහම් දෙසූහ. මනසින් උසස් වූ මිනිස් වර්ගයා ඇතුළු සත්වයන්, බුදුන් වහන්සේ මේ බියකරු සසර කතරින් එතෙර කරවීමට ගත් වෙහෙස අපමණය.
ධම්ම පදයේ අප්පමාද වග්ගයේ ගාථා ධර්මයක් මාතෘකා ගාථාව වශයෙන් ඉහතින් සඳහන් කරන ලදී. එහි සරල අදහස නම් නොපසුබස්නා වීර්යය සහ යහපත් සිහිය ඇති නිවැරැදි කාය, වාග් කර්ම ඇති මනා නුවණින් විමසා කටයුතු කරන දැහැමිව දිවි ගෙවන තැනැත්තාගේ යසස කීර්තිය නොපමාව වැඩෙන බවයි.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන නම් අරමෙහි වැඩ වසන සමයෙහි කුම්භඝෝෂක නම් තරුණ සිටු පුතකු අරභයා ඉහත ගාථා ධර්මය දේශනා කර වදාළ සේක. රජගහ නුවර හතළිස් කෝටියක් ධනයට හිමිකම් කියූ මහා සිටු පවුලක් විය. එකල රජගහනුවර වැසියෝ අභිවාතක නම් දරුණු වසන්ගත රෝගයකින් පෙළෙන්නට වුහ. එම සිටු මැදුරට ද අභිවාතක නමැති එම රෝගය සෙමින් පැතිරිණි.
සිටු දෙමහල්ලෝ මරණාසන්න තත්ත්වයට ද පත් විය. එම පළාතේ පැවති එම පීඩාකාරී රෝගයෙන් මිදී ජීවත් වීමට අවශ්‍ය කෙනෙකු වේ නම් නිවසේ බිත්තියක් හාරා පලා යා යුතු ය. සිටු යුවල එම රෝගයෙන් පීඩිතව වේදනාවෙන් පසුවන අවස්ථාවේදී තම එකම පුතු මරණයෙන් බේරා ගත යුතු යැයි සිතා පුතු අමතා මෙම රෝගයෙන් මිදී ඈත පළාතකට ගොස් ජීවත් වී පසුව නැවත පැමිණ නිදන් කර ඇති මහ ධනස්කන්ධය ගෙන දිවි ගෙවන ලෙස ඉල්ලා සිටියහ. තම මව්පියන් තනිකර දමා යාමට අකැමැති වූවද, පසුව ඔවුන්ගේ කීමට එකඟ වූ කුමරා ඈත පළාතකට ගොස් එම රෝගයෙන් මිදී ජීවත් විය.
වසර ගණනකට පසුව රජගහ නුවරට කුමරු පැමිණිමුත් කිසිවකුට ඔහුව හඳුනා ගැනීමට ද නොහැකි විය. නුවණින් කල්පනා කළ සිටු කුමරා තම මව්පියන් නිදන් කළ ධනස්කන්දය සුරැකිව තිබේදැයි පරීක්‍ෂා කර බලා නිසි කාලය එනතුරු වෙනත් රැකියාවක් කළ යුතු බව තීරණය කළේ ය. කාලයත් සමග මොහුට අපූරු රැකියාවක් ලැබිණි. ගොවියන් කම්කරුවන් මෙන්ම නගරයේ ප්‍රභූ පන්තියේ සැවොමද පහන් දොර අවධි කරවීම මොහු සතු කාර්යය විය.
හිරු උදාවීමට පෙර ඉතා ශබ්ද නගා නගර වැසියන් අවධි කරවන ඝෝෂාවක් නිකුත් කරන නිසා මොහු ‘කුම්භ ඝෝෂක’ නමින් ප්‍රසිද්ධ විය. මෙසේ දින ගණනක් ගතවන කල බිම්බිසාර රජතුමා අලුයම පිබිදී සිටි මොහොතක මෙම කුම්භ ඝෝෂකගේ කටහඬ තම කන වැටී වහා සේවකයන් යවා ඔහු මාළිගාවට කැඳවාගෙන එන ලෙස අණ කරන ලදී. ශබ්ද විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති රජතුමා එම තරුණයා උසස් කුමාරයකු විය හැකි බව දැන තොරතුරු විමසා මහත් සතුටු වී ඔහු සතු සියලුම ධනය වහා මාළිගාවට ගෙන්වා සත්කාර සම්මාන සහිතව සිටුතනතුරක් ද පිරිනමන ලදී. පසුව මහරජතුමා මෙම සිටු තරණයා ද කැටුව බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට වේළුවනාරාමයට ගොස් එම සියලු පවත් පවසන ලදී.
පින්වත්නී!
අනතුරුව බුදුරජාණන් වහන්සේ මහරජතුමා අමතා මෙම ඝෝෂක තරුණ සිටු පුත්‍රයාගේ ජීවිතය බොහෝ ධාර්මිකය. නුවණින් යුක්තය, එපමණක් ද නොව වීර්යයෙන් ද යුක්තය. එවැනි අයගේ දිවිය ධනයෙන්, ඉසුරුමත් බවින් ප්‍රභාමත් වන්නේ ය. නොපමාව තම කීර්තිය දසත පැතිරෙන්නේ ය. යනුවෙන් පවසා ඉහත ගාථා ධර්මය දේශනා කරන ලදී.
මෙම ගාථා ධර්මයෙන් අප ජීවිතයට ගත යුතු වැදගත් කරුණු හතක් පමණ විවරණය වෙයි. ඉන් පළමු වැන්න නම් උට්ඨානවතෝ හෙවත් උත්සාහයයි. උත්සාහයෙන් ක්‍රියා කිරීමට නම් තමන් කරන කාර්යය ගැන විශ්වාසය හා ඉන් ලැබෙන ප්‍රතිඵලය ගැන මනා අවබෝධයකින් යුක්තව සිටිය යුතු ය.
අප මහ බෝසතාණන් වහන්සේ පාරමිතාවක් ලෙස නියත විවරණයේ සිට බුද්ධත්වය ලැබීම දක්වා පුරණය කළ වීර්යය පාරමිතාව හේතුවෙන් සියලුම පාරමී ධර්මයන් ක්‍රියාත්මක කිරීමේ දී පැමිණි බාධක අභිබවා ගමන් කිරීමට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනැගිණි. එම නිසා බුදු, පසේ බුදු, මහ රහත් පදවි ලබන්නට නම් තම සිත් සතන් තුළ උපදින නීවරණ ධර්මයන් යටපත් කර ධ්‍යාන විදර්ශනා වඩා මඟඵල ලැබීමට උට්ඨාන වීර්යය අවශ්‍යම අංගයකි.
දෙවන කරුණ නම් සතිමතෝ හෙවත් සිහිය පිහිටුවා ගැනීමයි. සෑම කාර්යයකදීම සිහිය අවශ්‍ය වන අතර, එම සිහිය දීර්ඝකාලීනව පවත්වා ගැනීමත්, චිත්ත සන්තානයේ ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙස් ධර්මයන් යටපත් කිරීමටත්, එම කෙලෙස් සිතිවිලි එකිනෙක හඳුනා ගැනීමටත්, ඒ තුළින් කමටහන් වඩා මඟ ඵල ලබා ගැනීමටත්, සතිමතෝ හෙවත් සිහිය අනිවාර්යයෙන්ම තිබිය යුතු ය.
‘සුචිකම්මස්ස’ හෙවත් කයින් වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා පිළිබඳ පිරිසුදු බව කුසලයේ දී අත්‍යවශ්‍යය. විශේෂයෙන් ලෞකික ජීවිතයෙහි සාරවත් බව රඳා පවතින්නේ මෙම කාය, වාග්, කර්මයන්ගේ පවිත්‍රතාවය මතය.
විශේෂයෙන් පස්, පව්, දස අකුසල් කෙරෙහි චිත්ත සන්තානයේ නම්‍යතාව වැඩි ය. එසේම එවන් කර්ම කිරීමෙන් ලබන සතුට නසා මොහොතින් මොහොත මිනිස් සිත නීවරණ තුළින් කිළිටි වන්නේ ය. එය මරණින් මතු සතර අපායෝත්පත්තියක් ලැබීමට හේතු කාරක වේ. එම නිසා සමථ විදර්ශනා වඩා දෙලොව සුව සලසා ගැනීමටත් කෙලවර නිවනින් සැනසෙන්නටත් පවිත්‍ර චේතනාව මූලාධාරයක් වේ.
අපි යම් කර්මයක් හෙවත් ක්‍රියාවක් කරන විට ඒ ගැන සොයා බලා නුවණින් මෙනෙහි කර කටයුතු කිරීම නිසම්මකාරිනෝ යන්නයි.සඤ්ඤතස්සච නම් සිත, කය, වචනය යන තිදොරෙ සංවර බවයි. ජීවිතයේ සාර්ථකත්වයට කය වචන දෙකේ සීල ගුණය ද මනසේ සමාධියද අත්‍යවශ්‍යය.
“ධම්මජීවිනෝ” යනු ධාර්මිකව ජීවිතය පවත්වා ගැනීමයි. බුදුදහමට අනුව පුද්ගල ජීවිතය පවත්වා ගැනීමට දැහැමින් උපයා සපයා ගත් ධනය ඉතා වැදගත් වේ. ව්‍යග්ඝ පජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය ආදී සූත්‍ර තුළින් බුදුපියාණන් වහන්සේ ඒ බව තහවුරු කර ඇත.
‘අප්ප මත්තස්ස’ යනු පමා නොවීමයි. මුලානොවී සිහියෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයා දෙලොව දියුණුව සලසා ගන්නා බවද දේශනා කර ඇති අතර, ඒ අයුරින් කටයුතු කරන පුද්ගලයාගේ යසස, කීර්තිය වර්ධනය වන බව ද මෙම ගාථා ධර්මයෙන් පැහැදිලි වේ.
මෙසේ දැක් වූ උතුම් සප්ත ගුණාංගයන්ගෙන් සම්පූර්ණ වූ පුද්ගලයාගේ භෞතික සම්පත් මෙන්ම කීර්තිය වර්ධනය වන බවත් පෙනී යයි. මෙම ධර්මය තුළින් ඔබ සැමට ජාති, ජරා මරණාදී සසර දුකින් මිදී නිවන් සුව අවබෝධ වේවා!...

 

සෙත් සුව සලසන මෙත් සිත

ධර්ම දේශනාව(බුදුසරණ 2009.11.24)



මෙලොවදීත් මෛත්‍රී කිරීමෙන් සැප විඳීමට හැකි බව මේ දේශනා පාඨවලින් මනාව පැහැදිලි වේ. ‘සුඛං සුපති’ බොහෝම හොඳට නින්ද යනවා. එසේම ‘සුඛං පටිභුජඣති’ උදේට සැපසේ ඇහ ඇරෙනවා. ‘නපාපකං සුපිනං පස්සති’ නපුරු හීන දැකීමෙන් බය වන්නේ නෑ. ‘මනුස්සානං පියො හෝති’ මිනිසුන්ට පි‍්‍රය මනාප පුද්ගලයෙක් ලෙස කවුරුත් ඇසුරට ගන්නවා. එසේම ‘අමනුස්සානං පියෝ හෝති’ අමනුස්සයින්ටත් පි‍්‍රය මනාප ලෙස ලැදිකමක් ඇතිවනවා. ‘දේවතාරක්ඛන්ති’ දෙවියෝ රකිනවා.



නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අචඡරා සංඝාත මත්තමපි චෙත
භික්ඛවෙ භික්ඛු මෙත්තං
චිත්තං ආසෙවති අයං වුච්චති
භික්ඛවෙ භික්ඛු
අරිත්තජජානො විහරති සත්ථු
සාසනකරො ඔවද
පතති කරො අමොඝං රඪ පිණ්ඩං
භුඤජති කො ජන
වාදො යේතං බහුලීකරොන්තීති.


පින්වතුනී,

ඉහත සඳහන් කළේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර ධර්මයක්. මෙම සූත්‍ර ධර්මය අංගුත්තර නිකායේ ඒකක නිපාතයට අයිති සූත්‍ර ධර්මයක්. මෙම සූත්‍ර ධර්මයෙන් ප්‍රකාශ වන්නේ භික්ෂුන් වහන්සේ නමක් විසින් අසුරසනක් ගසන කාලයක තුළින් වත් මෛත්‍රී සහගතව වාසය කරනවා නම් එම භික්ෂුව ධ්‍යාන නොවැඩුවත් ධ්‍යාන වඩන ලද භික්ෂුවක් ලෙසත් බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපදින යහපත් භික්ෂුවක් ලෙසත් දායකයින්ගේ සිව්පසය පිළි ගැනීමට සුදුසුවූත් ප්‍රමාණ නොකළ හැකි පින් ලබා ගැනීමට හැකිවූත් යහපත් මෛත්‍රී සහගත භික්ෂුවක් බවත් මම ප්‍රකාශ කරමියි යනුවෙන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කළ සේක.
මෙයින් පින්වතුනි, මෛත්‍රී‍්‍ර වැඩීමේ වටිනාකම ගැන මනාව සිතීමටත් එසේ සිතමින් එම මෛත්‍රීය සියලුම සත්ත්වයින් කෙරෙහි දැක්වීමටත් එම දැක්වීම නිසා ඒ තුළින් භික්ෂූන් වහන්සේට හෝ ගිහි පින්වත් පිරිසට හෝ උතුම් නිර්වාණ සුවයට පත්වීමට හැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.
පින්වතුනී, මෙලොවදීත් මෛත්‍රී කිරීමෙන් සැප විඳීමට හැකි බව මේ දේශනා පාඨවලින් මනාව පැහැදිලි වේ. ‘සුඛං සුපති’ බොහෝම හොඳට නින්ද යනවා. ඉතාමත් සැප සේ එසේම ‘සුඛං පටිභුජඣති’ උදේට සැපසේ ඇහ ඇරෙනවා. ‘නපාපකං සුපිනං පස්සති’ නපුරු හීන දැකීමෙන් බය වන්නේ නෑ. ‘මනුස්සානං පියො හෝති’ මිනිසුන්ට පි‍්‍රය මනාප පුද්ගලයෙක් ලෙස කවුරුත් ඇසුරට ගන්නවා. එසේම ‘අමනුස්සානං පියෝ හෝති’ අමනුස්සයින්ටත් පි‍්‍රය මනාප ලෙස ලැදිකමක් ඇතිවෙනවා. ‘දේවතාරක්ඛන්ති’ දෙවියෝ රකිනවා.
මෛත්‍රී කරන අය දෙවියෝ වඩාත් ආරක්ෂා කරති. එසේම පින්වතුනි, ‘න ස්ස අග්ගිවා විසංවා සත්තංවා ඛමති’ වස විෂ ආදියෙන් අවි ආයුධ වලින් කිසිම හිරිහැරයක් සිදු කරන්න බෑ. මෛත්‍රී වඩන ඕනෑම කෙනෙකුට මෛත්‍රීයේ ඇති යහපත් ගුණය නිසා හිරිහැර කරදර වැලකිලා යනවා. ‘මුඛවණොණා විප්පසීදති’ මුහුණ දකින දකින අයට පි‍්‍රයමනාප ගතියකින් යුක්ත වෙනවා.
‘අසමමූළෙහා කාලං කරෝති’ සිහි කල්පනාවෙන් යුතුව මැරෙන්න පුළුවන් වෙනවා. එවිට සුගතියක ඉපදීමටත් එම හිත බලපානවා. දෙව්ලොව වැනි තැනකට පත්වෙනවාමයි. ‘අත්තරිං අප්පටි විජ්ජනොතා බ්‍රහ්ම ලොකූපගොහොති’ නොවරදවා ම දිව්‍ය ලෝකයේ හෝ බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට මෛත්‍රීය වැඩීමෙන් හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මෙලොවත් පරලොවත් දෙකේදීම සැප විඳීමට ලැබී අවසානයේදී දුක් නොවිඳ සියලු කෙළෙස් ප්‍රහීණ කොට බුදු පසේ බුදු මහරත් උතුමාණන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ අජරාමර අමා මහ නිවන් ලැබීමට හේතු වෙනවාමයි. එසේම හේතු වේවායි ප්‍රාර්ථනා කටයුතුයි. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා!

 

‘අනුන්ගේ දොස් සෙවීම සැපතට මඟ නොවේ’

ධර්ම දේශනාව(බුදුසරණ 2009.12.01)


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
න පරෙසං විලොමානි - න පරෙසං කතාකතං
අත්තනොව අවෙ‍ෙක්‍ඛය්‍ය -කතානි අකතානි ච


අද උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය යි. ඉහත සඳහන් කළ මාතෘකා ගාථාවෙන් අර්ථවත් වනුයේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකත්වයට පත් කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු පිළිවෙතක් ගැන ය.ලෝකයාගේ සාමාන්‍ය පිළිවෙත වනුයේ අනුන්ගේ දොස් පරොස් ගැන සොයා බැලීම යි. එවැනි දෑ මගින් , එවැනි අය , පරිහානියට පත් වනු මිස , යහපතක් සිදු නොවේ. ඉන් පසක් වන තවත් එක් සත්‍යයක් වනුයේ පුහුදුන් මනුෂ්‍යයා තුළ දුර්වලතා අඩුපාඩු දක්නට ලැබෙන බවයි.ඊට හේතුව නම් බුදුදහමෙන් පෙන්වා දුන් මිනිස් සිතේ ඇති ක්ලේශයන්හි ස්වභාවය යි. එම ක්ලේශ පුහුදුන් සත්වයන් තුළ දක්නට ලැබෙන අතර, ඔවුන්ගේ සසර පැවැත්ම අනුව එහි අඩු වැඩි බවක් දක්නට ලැබෙයි.

එක් පුද්ගලයෙක් අධික ලෙස ලෝභීව කටයුතු කරන අතර, තවත් කෙනෙක් නිර්ලෝභීව කටයුතු කරන අයුරු දක්නට ලැබෙයි. කෙනෙකු තුළ ද්වේශ සහගත ස්වරූපයක් දක්නට ලැබෙන අතර තවත් කෙනෙක් තුළ එහි අඩුවක් දක්නට ලැබිය හැකිය.කෙනෙකු බුද්ධිමත්ව කටයුතු කරන අතර, තවත් කෙනෙක් ඊට වෙනස්ව කටයුතු කරනු දැකිය හැකි ය.
මෙයට හේතු වශයෙන් සම්බුදු දහම පෙන්වා දෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ සිත්වල ස්වභාවය යි.
පාරමිතා යනුවෙන් බුදුදහමේ ඉගැන්වෙන පිළිවෙත් ඉහත කී දුර්වලතා ඉවත් කර ගැනීමට කෙනකුට මඟ සලසා දෙයි. පාරමී පිරූ තැනැත්තකු හා පාරමිතා නොපිරූ තැනැත්තකු අතර දක්නට ඇති වෙනස මගින් එය වටහා ගත හැකියි. රහත් බවට පත්වන තෙක් පුද්ගලයන් තුළ කෙලෙස් අඩු වැඩි වශයෙන් පවතින්නේ ඒ නිසාය.
දාන ,ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මගින් සිදු කරනු ලබන්නේ ද එම වැරැදි අනුක්‍රමයෙන් අඩු කර ගැනීම යි.
ඉහත සඳහන් කළ පරිදි තමා තුළ පවත්නා අඩු පාඩු දෙස අවංකව බලා, ඒවා සකස් කර ගැනීමට ක්‍රියා කරන ලෙස බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුශාසනා කළ වදාළහ.
සසර ගමනේ පැවැත්මට හෝ නැවැත්මට වගකිව යුතු වන්නේ තමා ම බව, බුදුරජාණන් වහන්සේ නිතර පෙන්වා දුන්හ. තම තමන්ගේ අඩුපාඩු දෙස බලා ඒවා නිවැරැදි කර ගැනීමෙන් යහපත් ජීවිතයකට පිවිසීමේ වගකීම ඒ ඒ පුද්ගලයා වෙත ම පැවරෙන බව පෙන්වා දුන්හ.
“තුම්හෙහි කිච්චං ආතප්පං - අක්‍ඛාතාරො තථාගතා “ යනුවෙන් තථාගතයන් වහන්සේ මග කියා දෙන බවත්, ඒ මග ගමන් කිරීමේ වගකීම තමා තුළ පවත්නා බවත් පැහැදිලි කිරීමෙන්, එය වඩාත් සනාථ කර ඇත. එහෙත් භාරතීය සමාජයේ පැවැති යම් යම් ඉගැන්වීම්වලට අනුව පුද්ගලයාගේ විමුක්තිය වෙනත් කෙනකුට පවරා දී තිබූ අදහස එමගින් ඉවත් කර, තමන්ගේ විමුක්තිය තමා තුළම පවත්නා බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
සම්බුදු දහමට අනුව තමාගේ විමුක්තියට මාවත් තුනක් විවරණය වී ඇත. තුන්තරා බෝධිය නමින් හඳුන්වන බුදු, පසේබුදු, මහරහත් යන මාර්ග තුන එමගින් පෙන්වා දෙයි. එය සාර්ථක කර ගැනීමට, ක්‍රියා කළ යුත්තේ ඒ ඒ පුද්ගලයා ය. තමා පතන බෝධියකින් නිවන් සුවයට පැමිණීමට පාරමී පිරිය යුතුයි.
තමාට අභිමත මාවතක් තෝරා ගෙන ඒ ඔස්සේ ගමන් කර, සම්මා සම්බුද්ධත්වයට පත්ව හෝ පච්චේක බුද්ධත්වයට පත්ව හෝ අරහන්ත බුද්ධත්වයට පත්ව නිවනට පිවිසීමට ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වය ම හේතුවෙයි.
ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත නිසි ආකාරයට අනුගමනය කිරීමෙන් තමාගේ අභිමතාර්ථය සාර්ථක කර ගැනීමට හැම කෙනකුටම අවස්ථාව ඇත.
මට නිවන් සුව ලැබේවා යි පතමින් සිටීමෙන් පමණක් එය ලබා ගැනීමට හැකියාවක් නැත. ඒ සඳහා අවශ්‍ය පිළිවෙත ක්‍රියාත්මක කළ යුතුය.
අධ්‍යාපනය ලබන කුඩා දරුවෙක් අනාගත අපේක්‍ෂා වශයෙන් වෛද්‍යවරයකු , ඉංජිනේරුවරයකු ආචාර්යවරයකු ආදී වශයෙන් යම් තත්ත්වයකට පත්වීම සඳහා ප්‍රාර්ථනා කරමින් සිටීමෙන් පමණක් ඔහුට ඒ තත්ත්වයට පත් විය නොහැකි වනු ඇත. එහෙත් නියමිත පරිදි එම කුඩා දරුවා අධ්‍යාපන කටයුතු තමා බලාපොරොත්තු වන තත්ත්වයට සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීම මගින් අදාළ තත්ත්වයට පත්විය හැකි බව පැහැදිලිය.
පුහුදුන් ගතිය නිසා තමා තුළ ඇති අඩුපාඩු ඉවත් කර ගනිමින් භවයෙන් භවය මනස දියුණු කර ගැනීමට පුරුදු පුහුණු විය යුතුය.
ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දස පාරමිතා ආදී පිළිවෙත් පුද්ගල විමුක්තියට ඉවහල් වනුයේ ඒ අයුරිනි. පළමුව සඳහන් කළ පරිදි නිවන් පසක් කර ගැනීම දක්වා එවැනි ක්ලේශ පුහුදුන් මනුෂ්‍යයා තුළ දක්නට ලැබේ.
මිනිස් සන්තාන තුළ පවත්නා විවිධ අන්දමේ ක්ලේශ අනුක්‍රමයෙන් ප්‍රහාණය වන ආකාරය සෝවාන් සකෘදාගාමී අනාගාමී ආදී මාර්ග ඵල පිළිබඳ ඉගැන්වීම් වලින් පැහැදිලි වෙයි.
මිනිස් සිත තුළ බල පවත්නා හැඟීම් වල අවස්ථා තුනක් බුදු දහම පෙන්වාදෙයි. අනුසය, පරියුට්ඨාන සහ ද්වීතික්කම යනු , එම තුනයි. සිතෙහි කෙලෙස් තැන්පත්ව ඇති අවස්ථාව, අනුසය අවස්ථාවයි.එසේ තිබීම, වෙනත් කුසල ක්‍රියා සිදු කිරීමට බාධාවක් නොවේ. එසේ පවතින කෙලෙස් ඉස්මතු වීමට යම් අරමුණක් පැමිණිය යුතුය. ක්ලේශ නැගී සිටීමට හේතුවන අරමුණක් පැමිණි විට ඒවා නැගී සිටියි. එසේ නැගී සිටීමේ අවස්ථාව පරියුට්ඨාන වශයෙන් සඳහන් කළ හැකි ය. එසේ නැගී සිටි ක්ලේශ ක්‍රියාවෙන් සහ වචනයෙන් ක්‍රියාත්මක වන අවස්ථාව ‘ද්විතික්කම’ අවස්ථාවයි.
කෙලෙස් සන්තානයෙන් ඉවත් කිරීමේ වගකීම ඒ ඒ පුද්ගලයා සතුව පවත්නා බව, දහමට අනුව සඳහන් කළ හැකිය.
බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථාවෙන් පෙන්වා වදාළේ, අනුන්ගේ දොස් සෙවීමට වඩා තමන් තුළ පවත්නා දුර්වලතා තේරුම් ගෙන, ඒවා නිවැරැදි කර ගැනීමට උනන්දුවීම වඩාත් ඵලදායක බවයි. දරුවකු යහපතෙහි පිහිටුවීමට මවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් කරන කාරුණික අනුශාසනා සහ මඟ පෙන්වීම්, අඩුපාඩු සොයා බලා නිවැරැදි කිරීම් මෙයට අදාළ නොවේ. එමගින් සිදු කැරෙනුයේ එම දරුවන්ගේ යහපත පිණිස කටයුතු කිරීමයි.

සැමට තෙරුවන් සරණයි

බොදු දිවි පෙවෙත හඳුනා ගනිමු

බළන්ගොඩ නළුවෙල



නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යෝ පාණමතිපාතේතී
මුසාවාදඤ්ච භාසතී
ලෝකේ අදින්නං ආදියති
පරදාරඤ්ච ගච්ඡති
සුරාමේරය පානඤ්ච
යො නරෝ අනුයුඤජති
ඉධේව මේ සෝ ලෝකස්මිං
මූලං ඛණති අත්තනෝ

(ධම්මපදය මලවග්ගය 12, 13)


                                                                                 පින්වතුනි,

මෙම ගාථා දෙකින් ඉදිරිපත් වී ඇත්තේ මෙලොව ජීවත් වන පුද්ගලයෙක් තම වටිනා දිවි පෙවෙත විනාශ කරගන්නා දුසිරිත් පහක් පිළිබඳවයි. මේවාට පඤ්ච දුශ්චරිතයැයි දහමෙහි ව්‍යවහාර වී ඇත. මෙහි සිංහල අනුවාදය මෙසේය. යමෙක් ප්‍රාණඝාතය කෙරෙත් ද සොරකම් කෙරෙත්ද කාම මිථ්‍යාචාරයෙහි හැසිරෙත් ද බොරු කියත් ද සුරාපානයෙහි යෙදෙත්ද හෙතෙම තම දිවි පෙවෙතෙහි මූලය හෙවත් වටිනාකම විනාශ කර ගන්නේය.
මේ කරුණු දෙස විමසා බැලීමේදී පෙනෙන්නේ මෙම පඤ්ච දුශ්චරිත කවදත් සමාජය යහගුණ දහමින් පරිහානියට පත් කරන බවයි. මේ හේතුකොට මනා බොදු දිවි පෙවෙතක් අධිෂ්ඨානශීලීව ගත කිරීම සදහා මෙම දුසිරිත් පහෙන් වැළකෙන ලෙස තුන්කල් ඇතැඹුලක් සේ දත්, බුදුරජාණන් වහන්සේ වදාළහ.
මෙසේ වැළකීම ගිහියා ගේ නිත්‍ය සීලය ආරක්ෂා කිරීමෙකි. බෞද්ධයන් නිති පන්සිල් සමාදන්වන්නේ, පුද්ගලයා සමඟ ලෝකය වනසා දමන, අපරාධ වර්ධනය කරන පඤ්ච දුසිරිත් වලින් මිදීම සඳහාය.
පින්වත, බුදුරජාණන් වහන්සේ විසින් මෙහිලා වදාළේ සිත,කය, වචන යන තිදොර සංවර කර ගැනීමට ත්‍රිශික්ෂා අනුගමනය කරන ලෙසයි. මෙයින් පැහැදිලි කර දෙන්නේ කිමෙක්ද? කය වචන දෙක පාලනයට සීලයත් සිත පාලනය කර ගැනීමෙන් ජීවිත විමුක්තියත් සසර විමුක්තියත් ලැබීමට සමාධියත්, ප්‍රඥාවත් අනුගමනය කළ යුතු බවයි. බෞද්ධ ප්‍රතිපදාව අනුව ජීවිතයේ සෑම අවස්ථාවකදීම මෙම පිළිවෙත් තුන (සීල, සමාධි, ප්‍රඥා) ප්‍රායෝගිකව ජීවතවල පිහිටිය යුතුය.
මේ සඳහා වෙන් වූ ස්ථානයක් හෝ සීමාවක් හෝ නැත. මේ පඤ්ච දුශ්චරිත අසංවර වූ කය, වචන දෙකින් සිදුවන සැටියෙන් වෙන්කර ගනිමු. කයින් සිදුවන දෑ අතර ප්‍රාණඝාතය හෙවත් පරපණ නැසීම, සොරකම, කාමමිත්ථ්‍යාචාරය ප්‍රධාන වෙයි. වචනයෙන් බොරුකීම සිදුවේ.
බොරු කියන්නාගෙන් කේලාම් කීම, පරුෂවචන හෙවත් අමිහිරි වචන භාෂිතය හා දෙලොවට වැඩක් නැති හිස්වචන (සම්ඵප්‍රලාප) කිසිදු පැකිලීමක් නැතිව කියැවෙයි. දස අකුසල කර්ම විග්‍රහයේදී මේවාට චතුර්විධ වාග් අකුසල කර්ම යැයි හැඳින්වේ. සුරාව සියලු පාප කර්මයන්ට නිදාන වූ, අකුසල් කර්මයකි. සුරා පානය කිරීමෙන් මිනිසා ගේ ලජ්ජා බිය නැතිවෙයි. කළයුත්ත නොකළ යුත්ත නොවැටහෙයි.
සුරා ධූර්තයෙක්වීම පරිහානියට හේතුවක් බව පරාභව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළහ. ඒ මෙසේය.
ඉත්ථි ධුත්තෝ
සුරා ධුත්තෝ
අක්ඛ ධුත්තෝ ච යෝනරෝ
ලද්ධං ලද්ධං විනාසේති
තං පරාභවතෝ මුඛං

මෙහි දැක්වෙන්නේ පරදාර කර්මය, සුරාධූතයෙක්වීම, අන්සතු වස්තු සූදුව නමැති කපටිකමින් ගැනීමට වෙහෙසීම ලබන සම්පත් විනාශ කර දැමීම පුද්ගල දිවි මගෙහි පරිහානි දොරටු බවය.
ආත්මාභිමානී පෞරුෂයෙන් හෙබි දිවි පෙවෙතක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන්නන් විසින් මෙම පස්වැදෑරුම් දුසිරිත් වාරණය කොට පඤ්ච සීලය සුරැකිය යුතුය. පුද්ගල සමාජයේ සුරක්ෂිතය සඳහා මෙම සීල ප්‍රතිපදාව දේශනා කර ඇත.
සමාජයක් පැවැත්වීමේදී එහි ජීවත් වන්නන් ගේ හදවත් තුළ අනිවාර්යයෙන්ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා (මැදිහත් බව) පිහිටා තිබිය යුත්තේය.
මේවා ශ්‍රේෂ්ඨ උතුම් ගුණාංග බැවින් ඒ අරුතින්ම මේ අධ්‍යාත්ම පැවතුම් වලට දහමෙහි සතර බ්‍රහ්ම විහරණ ධම්මයැයි සඳහන් කර ඇත. පඤ්චසීල ප්‍රතිපදාවේ පළමුවෙනි ශික්ෂාපදයෙන් “සබ්බේ සත්තා සුඛී හොන්තු” සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! යන පොදු මානව හැඟීම සංවර්ධනය කරයි.
අන්සතු වස්තුව පැහැර ගැනීම වංචනික ක්‍රියාවකි. මෙයට සොරකම යන නාමය සුපරසිදු නාමයයි. තවද උපක්‍රමශීලිව වෙළඳාමේ දී හොරට කිරීම, මැනීම ආදියෙන් ද නොවටිනා භාණ්ඩවලට අධික මිල ගැනීමෙන්ද අදත්තාදාන අකුසල සිදුකරගත හැකිය. එපමණක්ම පමණක් නොව, වේතනයක් අරභයා දෛනිකව වැඩ කරන්නෙක් වැටුපට සරිලන සේ වැඩ නොකරයි ද එම ක්‍රියමාර්ගය ද සොරකමට අදත්තාදානයට අයත් වෙයි.
කාම මිත්ථ්‍යාචාරය නම් අදහැමිව පසිඳුරන් පිනවීමය. මෙහි අර්ථ දැක්වීමේදී ප්‍රධාන වශයෙන් ගැනෙන පරඹුවන් කතුන් සොයායෑම කාම මිථ්‍යාචාරය වශයෙන් දක්වා ඇත. එපමණකින් ම එය විග්‍රහ කිරීම ප්‍රමාණවත් නොවේ. සජීවී මිනිසා ප්‍රධාන සත්ත්වයනට පසිඳුරන් පිනවීම පොදු ධර්මතාවයකි.
මුසාවාදය හෙවත් බොරුවෙන් රැවටීම වචනය ප්‍රධාන වී කෙරෙන්නක් වුව ද ක්‍රියාවද අන්‍යයන් රැවටෙන පරිදි කළ හැකිය.
මුසාවාදයෙන් විශ්වාසය අහෝසි වෙයි. එය පුද්ගලයාටත් සමාජයටත් හානිදායකය. ඉන් අවංකභාවය දුරස්ථ වන්නේය.
‘සුරාව‘ පාපයට මඟ හෙළි කරන අසද්ධර්මයකි. සමාජ අසංවර කම, පුද්ගල විනාශය මින් ඇති කෙරෙයි. එය තේරුම් ගත් පාලකයෝ මත්ද්‍රව්‍ය නිවාරණය කෙරෙති. මෙසමයෙහි අප රටෙහි මත් උවදුරට දැඩි නිති පනවා තිබීම යහපත් ශ්‍රී ලංකාවක් සඳහා දොරටුව විවෘත කිරීමකි.
මනුෂ්‍යයා යනු අරමුණක් ඇතිව මද කලක් ලොව වෙසෙන්නෙකි. එම කාලය තුළ පඤ්ච දුෂ්චරිතයෙන් වෙන්ව සාමකාමී නිදහස් දිවි පෙවෙතක් ගත කළ යුත්තේය. පිළිවෙතින් සපිරුණු බෞද්ධ දිවි පෙවෙත එයම වන්නේය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව

ධර්ම දේශනාව(බුදුසරණ 2009.12.15)



මේ සසර ජීවත්වන සත්වයා විඳීන්නෙ අනන්ත දුකක්. තමන්ට ලැබෙන යම් දෙයක් සැපතක් කියා සිතුවත් එහි අවසානය දුකක්. අපි සසර පුරාම ඇවිදින්නෙ මේ දුක් කරගහගෙන. මේ දුක්ගොන්න බිම තියන්න හැකිවුණොත් එදාට අපට මේ සසර නිම වීමේ නවාතැන වන නිර්වාණ ධාතුවට සමීප වීමේ හැකියාව ලැබෙනව. 
 
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං



                                                                                             පින්වත්නි,

අටලෝ දහම උපතින් පොදි බැඳගත් මිනිසා අවසානයේ ගමන් කරන්නෙ මරණය වෙතය. එය සංසාර ගමනේ එක් අවස්ථාවක් පමණයි. මියගිය සත්ත්වයා එතැනින් තවත් ස්ථානයක උපත ලබනව. එතැනදීද මේ අටලෝදහමට මුහුණ දෙනවා. කෙළවරක් නැති මේ සසරේ ඉපදෙමින් මැරෙමින් ගමන්කරනව. මේ ගමනේ උපත කොතනද? අවසානය කොතනද? කියල කිසි කෙනෙක් දන්නේ නැහැ. බුදු, පසේබුදු මහරහතන් වහන්සේ මේ ගමනේ අවසානය දුටුවා.
දිනක් භික්‍ෂූන් වහන්සේ පිරිවරා වනයක් මැදින් වඩින බුදුපියාණන් වහන්සේ එම වනයෙන් කොළ කීපයක් අහුලා අතටගෙන භික්‍ෂූන් වහන්සේගෙන් මෙලෙස විචාලා මහණෙනි! මගේ අත තිබෙන දෙය පෙනෙනව නේද? එසේය ස්වාමීනි! කොළ ස්වල්පයක් යයි භික්‍ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.
බුදු පියාණන් වහන්සේ නැවත අහනව ඇවැත්නි! මේ මගේ අතේ තිබෙන කොළද වනයේ තිබෙන කොළද වැඩි කියල. භික්‍ෂූන් වහන්සේ පිළිතුරු දෙනව ස්වාමීනි! ඔබ වහන්සේ අත ඇත්තේ ඉතාම සුළු කොළ ප්‍රමාණයක්.
වනයේ තිබෙන කොළ තමයි වැඩි යනුවෙන්, බුදු පියාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේ අමතා මෙසේ දේශනා කළා. ඇවැත්නි, මා අවබෝධ කළ ධර්‍මය මේ වනයේ තිබෙන කොළවලට සමානයි. ඔබලාට දේශනා කර ඇත්තේ මා අතේ තිබෙන කොළවලට සමාන ප්‍රමාණයක්. ඔබලාගේ ඒකායන බලාපොරොත්තුව මා අවබෝධ කළ ධර්‍මය අනුගමනය කර මේ සසර දුකින් මිදීමටයි.
එයට අවශ්‍ය ධර්ම මාර්‍ගය විනා වෙනත් දෙයක් ඔබට අවශ්‍ය නැහැ. වෛද්‍යවරයා රෝගියාට ප්‍රතිකාර කරන්නේ ඔහුට වැළඳී ඇති රෝගයේ නිධානය සොයා එයට අවශ්‍ය ඖෂධ දීමෙන්. මාද ඔබලාට කියා දෙන්නේ මේ සසර ගමනින් එතරවීමට අවශ්‍ය ධර්ම මාර්‍ගය පමණයි.
මා ඔබලාට කියා දෙන්නෙ කාරණා දෙකයි. ඒ කාරණා දෙකනම් දුක සහ දුක නැති කිරීමයි. මේ කාරණා දෙක පමණක් මා කියා දෙන්නේ මේ ලෝකයේ දුක් විඳින සත්ත්වයාට දුකින් මිදීමට ඔය කරුණු දෙක අවශ්‍ය හෙයින්. මම දුක කුමක්ද? කියල ඔබලාට කියා දෙනව.
දුකෙහි අනෙක් පැත්ත සැපය. සැපය ලබන්නෙ කොහොමද කියල කියා දෙනව. අනෙක් දේවල් දැනගත්තට මේ සසර දුකින් නිදහස් වන්න බැහැ. බුදු පියාණන් වහන්සේ මේ කරුණු දෙක නැවත කරුණු හතරක් වශයෙන් විස්තර කරනව. දුක කියල එකක් තියනව. එහෙමනම් ඔය දුක හටගන්න හේතුවක් තියෙන්න ඕනනේ. දුක දිගින් දිගටම දුකටම පත්කරමින් සසර පුරා ගෙන යන හේතුව හොයන්න ඕන.
හේතුව සොයාගත්තට මදි. එහෙමනම් ඒ දුක නැතිකරගන්න ඕන. දුක නැති කරගන්නනම් එයටත් මාර්ගයක් තියෙන්න ඕන. ඒ දුක නැති කරන මාර්‍ගයත් සොයා ගන්න ඕන.
එම භික්‍ෂූන් වහන්සේලාට සසරින් ගැලවීමට කාරණා හතරයි දේශණා කළේ. ඒ කාරනා හතර නැවත කියනවනම්, සසර දුකයි “දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ” දුක මත ලෝකය පිහිටා තියෙන්නෙ. එහෙම නම් ඒ දුක නැතිකරගන්න ඕන.
දුකක් ඇතිවුනානම් එයට හේතුවක් තියෙන්න ඕන. ඒ හේතුව සොයාගන්න ඕන. දුක නැති කරන්න නම් දුක නැති කරන මාර්‍ගයකුත් තියෙන්න ඕන. ඒ මාර්‍ගයත් සොයාගන්න ඕන.
අපි මෙයට කියනව සත්‍ය හතර කියල. නැත්නම් චතුරාර්ය සත්‍ය කියල. ඔය කාරණා හතර ඔබ හරිහැටි ප්‍රත්‍යක්‍ෂකර ගතහොත් මේ සසර දුකින් මිදීමේ ඔබේ අභිමතාර්ථය සම්පූර්‍ණකර ගන්න පුලුවන්.
පින්වත්නි, මේ සසර ජීවත්වන සත්ත්වයා විඳීන්නෙ අනන්ත දුකක්. තමන්ට ලැබෙන යම් දෙයක් සැපතක් කියා සිතුවත් එහි අවසානය දුකක්. මනුෂ්‍ය සත්ත්වයා මව් කෙනෙක් වෙන්න පිය කෙනෙක් වෙන්න දරුසුරතල් බලන්න හරිම කැමතියි. දරුවා ලැබුණට පසුව ඒ මව් පිය දෙපල අනන්ත දුක් විඳිනවා.
දරුවාගේ කැත කුණු අදින්න පාසල් යවන්න, රැකියා ලබාදෙන්න අනන්ත දුක් විඳිනව. දරුවාට ලෙඩක් දුකක් හැදුනාම අනන්ත දුකක් විඳිනව. සැපත කියා සිතුවත් මේ සැම දෙයක්ම දුක්ගොඩක්මත ජනිතවෙලා තියෙන්නෙ.
”ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චං නලභති දුක්ඛං, සංඛිතෙත්න පඤචුපාදානක්ඛන්ධා දුක්ඛා” ස්කන්ධයන්ගේ පහලවීමයි කියන ලද ජාතිය නොහොත් ඉපදීම දුකයි. අංගප්‍රත්‍යයන්ගේ වෙනස්වීම යෞවනභාවය නැතිව යාම, නම්වූ මහලු බවට පත්වීම, ජරාපිදුක්ඛය.
ජීවිතය විනාශකිරීමට තරම් හේතුවන එක් එක් ලෙඩ රෝග සෑදීම ව්‍යාධිපි දුක්ඛය. ජීවිතයේ විනාශවීම මරණංපි දුක්ඛය. අප්‍රිය පුද්ගලයින් ඇසුරට ලැබීමත් දුකක්. ඔහුගෙන් තමන්ට නිතරම වන්නේ විපතක්. එය අප්පියේහි සම්පයෝගෝ දුක්ඛය. ප්‍රියවූ අයගෙන් වෙන්වීමත් දුකක්. මව්පිය, දූදරුවන්, සහෝදරයින්, තමන්ගේ ප්‍රියමිත්‍රයින් වියෝවීමත් දුකක්. එයට කියනව පියේහි විපයෝගෝ දුක්ඛය කියල. තමන් අභිමතාර්ථ යම් දෙයක් නොලැබුණත් එයත් තමන්ට දුකක්. යම් පිච්චංනලභති දුක්ඛං කීවේ එයට.
කොටින්ම කියනවනම් පඤ්චුපාදානක්ඛන්ධයම දුකයි.
පින්වත්නි, අපි සසර පුරාම ඇවිදින්නෙ මේ දුක් කරගහගන. මේ දුක්ගොන්න බිම තියන්න හැකිවුනොත් එදාට අපට මේ සසර සැරිසැරීමේ නවාතැන වන නිර්වාණ ධාතුවට සමීපවීමේ හැකියාව ලැබෙනව. මේ දුක්ගොන්න බැඳල තියෙන්නෙ පටිච්ච සමුප්පාදයෙන් අවිද්‍යා, තෘෂ්ණා සංඛ්‍යාත සංසාර චක්‍රයේ මූලධර්මයන් හොඳීන් හැදිනාගන්නාතුරු නිවනට පැමිනෙන්න බැහැ.
පටිච්චසමුප්පාදය නොදත් තැනැත්තාට ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට නොහැකිබව බුදුපියාණන් වහන්සේ ආනද ස්වාමීන් වහන්සේට එදා වදාළහ.
“ඒතස්ස ආනන්ද ධම්මස්ස අඤ්ඤාණා අනනුබෝධා අප්පටිවේධා ඒවමයං පජා තන්තාකුලක ජාතා ගුලාගුණ්ඨික ජාතා මුඤ්ඡබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති”
”ආනන්දය, මේ පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීම නිසා, අවබෝධ නොකිරීම නිසා, ප්‍රතිවේධ නොකිරීමනිසා මේ සත්ත්වයෝ අවුල්වූවාවූ නූල් පන්දුවක්සේ, අවුල්වූවාවූ මුඤ්ඡබබ්බඡ නම් තණවලින් ඇඹරූ දිරා කැඩීගිය කඹයක තණකෙඳීමෙන් අවුල්වූවාවූ සැපයෙන් පහවූ දුක්ඛයාගේ පැවැත්ම ඇත්තාවූ අපාය හා සංසාරය නොඉක්මවත්”
සකල දුක්ඛස්කන්ධයාගේ පහලවීමට හේතුවන පටිච්චසමුප්පාදය අවිද්‍යාව නොහොත් නොදැනීම නැතොත් මෝහය නිසාම හට ගන්නව.
අවිද්‍යාව නමැති හේතුව නිසා සංස්කාරයෝ හටගන්නව.
සංස්කාරනිසා විඥානය හටගනී
විඥානය නිසා නාමරූප හටගනී
නාමරූප නිසා ෂඩායතන හටගනී
ෂඩායතන නිසා ස්පර්ශය හටගනී
ස්පර්ශය නිසා වේදනාව හටගනී
වේදනාව නිසා තෘෂ්ණාව හටගනී
තෘෂ්ණාව නිසා උපාදානය හටගනී
උපාදානය නිසා භවය හටගනී
භවය නිසා ජාතිය හටගනී

ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනී.
මේ සියලු හටගැනීම් සඳහා උත්පත්ති ස්ථානය අවිද්‍යාවයි.
එසේනම් මාතෘකා කළ ගාථාව අනුව සියලු පව් නොකිරීමද ලොව්තුරා කුසල් වැඩීමද, සිත නීවරණයන්ගෙන් පිරිසුදු කරගැනීමද යන මෙය සියලු බුදුවරයින්ගේ අනුශාසනය බැවින් එම බුදුමඟ ගමන් කිරීමෙන් සසර දුකින් නිවී අනන්ත සැනසීම ඇති නිර්වාණ ධාතුව අවබෝධකර ගැනීමට අධිෂ්ඨාන කරගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි

නැණවතුන් පසසන මහඟු යුතුකම

ධර්ම දේශනාව(බුදුසරණ 2009.12.24)

අප සතු යුතුකම් මොනවාදැයි හරිහැටි වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ. තමා සතු යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම ඔවුනොවුන්ට ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා රාශියක එම යුතුකම් සඳහන් වෙයි.

“නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
යො මාතරංවා පිතරංවා -
මච්චො ධම්මෙන පොසති
තායං න පාරිචරියා -
මාතා පිතූසු පණ්ඩිතා
ඉධවෙ නං පසංසන්ති -
පෙච්ච සග්ගෙ පමොදති.


පින්වත්නි,

මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ටත් අනුන්ටත් හිතකර මෙලොවත් පරලොවත් දියුණුව සලසන උතුම් දහමකි. ධර්මෝපදේශ රාශියක් අන්තර්ගත එහි ඒ හැම උපදේශයක්ම නුවණැති උත්සාහවත් මනුෂ්‍යයකුට ක්‍රියාත්මක කළ හැකි වේ. එබඳු ඉගැන්වීම් දෙස බලන බුද්ධිමත් නූතනලෝකයා පවා අදත් බුදුදහම කෙරෙහි සිත් ඇද ගනිති. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව සත්ව ජීවිත කෙරෙහි බලපාන සාධක රාශියක් තිබේ.
සත්වයා විසින් කරනු ලබන කර්ම ඔහුගේ ජීවිතය කෙරෙහි බලපාන ප්‍රධානම සාධකය වෙයි. සුබ මානවකයාගේ පියා වූ තෝදෙය්‍ය බමුණාගේ ජීවිතය ඊට නිදසුනක්. පුද්ගලයා කරන හොඳ, නරක ක්‍රියාවන්ට ලැබෙන විපාකවලට වගකිවයුත්තේ ද එම පුද්ගලයාම බව චුල්ල කම්ම විභංග සූත්‍රයේ පැහැදිලි කර තිබෙනවා. තමාගේ විමුක්තිය ඇත්තේ තමා තුළම බවත්, අනිත් කෙනෙකුට තමාගේ විමුක්තිය සලසාදීමට නොහැති බවත් දමනය කර ගන්නා ලද පසිඳුරන් ඇති තමා විසින්ම දුර්ලභ වූ නිවන් සුවය අත්පත් කරගන්නා බවත් කුමාරකාශ්‍යප මාතාව නිමිති කරගෙන දේශනා කර තිබේ.
පින්වතුනි, මෙලොව ජීවත්වන අප හැම කෙනෙක්ම කුඩා අවදියේ සිට මරණය දක්වාම ජීවිතයේ විවිධ අවස්ථා පසු කරනවා. ඒ ඒ අවස්ථාවලදී ඉටු කළ යුතු අප සතු යුතුකම් මොනවාදැයි හරිහැටි වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ.
තමා සතු යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම ඔවුනොවුන්ට ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා රාශියක එම යුතුකම් සඳහන් වෙයි.
සමාජයේ ජීවත්වන ඒ ඒ පුද්ගලයන් සතු යුතුකම් මොනවාදැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. එම සිඟාලෝවාද සූත්‍රයේ දී මව්පිය, දූ දරු, ගුරු, ශිෂ්‍ය, ස්වාමි, භාර්යා, හිත, මිතුරු, ස්වාමි, සේවක, ගිහි පැවිදි යනුවෙන් මුළු සමාජයම දිසා වශයෙන් හයකටත් පුද්ගලයන් වශයෙන් කොටස් දොළහකටත් බෙදා ඒ ඒ පුද්ගලයන්ගෙන් ඉටු විය යුතු යුතුකම් සියල්ල උගන්වා තිබේ. එමකොටස්වලට ඇතුළත් නොවන කිසිවෙක් මනුෂ්‍යයන් අතර නැහැ.
මේ යුතුකම් මඟින් සමාජයට අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධ කර තිබේ. සිගාල ගෘහපති පුත්‍රයාට බුදුරදුන් වදාළ සදිසා පිළිබඳ සියලු කරුණු එක්කොට ගත්විට වගකීම් හා යුතුකම් අතර ඇති සම්බන්ධය පැහැදිලි වේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සදිසාවෙන් එක් දිශාවක් පෙන්නුම් කළේ දෙමාපියන් පිළිබඳවය. උන්වහන්සේත් එම උදාර ගුණය පුරුදු කළහ. බෝධිසත්ව කාලයේ දීත් බුද්ධත්වයෙන් පසුවත් මව්පිය උපස්ථානය ආදර්ශයෙන් පෙන්නුම් කළහ. මාතු පොසක ජාතකය, සාම ජාතකය ඊට නිදසුන්ගෙන් කීපයකි. තථාගතයන් වහන්සේ පස්වැනි වස ගත කළ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ දී දිනක් මහා කරුණා සමාපත්තියෙන් ලොව බලද්දී ශුද්ධෝදන මහ රජතුමා දැඩි ලෙස රෝගාතුරව මරණ මඤ්චකයෙහි සිටින බව දැන ගත්තා එදිනම උන්වහන්සේ භික්‍ෂු පිරිසකුත් සමග කිඹුල්වත්පුර රජ මාලිගාවට වැඩමවා පිය රජුගේ ඇඳළඟ පනවන ලද අසුනෙහි වැඩහිඳ පියාගේ හිසට දකුණත තබා සත්‍ය ක්‍රියා කළහ. විගස හිසේ වේදනාව දුරු වී ගියේය. සත්‍ය ක්‍රියා කරත්ම රජතුමාගේ සියලුම ශාරීරික වේදනා දුරුවී ගියහ.
අනතුරුව සතුටට පත් පියාණන්ට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයක් දේශනා කළ විට එතුමා උතුම් වූ රහත් ඵලයට පත් වූහ. තම මවට සැළකීම සඳහා තව්තිසා දිව්‍ය ලෝකයට වැඩඬම කර විජම් බණ, දේශනා කර මාතෘදිව්‍ය රාජයා ඇතුළු දේව සමූහයාට ශාන්තිය සැලැස්වූහ. පින්වතුනි අපේ අම්මාගේ තාත්තාගේ දරු සෙනෙහස සිවියත් සමත්, මසත්, නහරත්, ඇටත්, විනිවිද ගොස් එයින් නොනැවතී ඇට මිදුලුව හැපී පවතී . මවුපියන් විසින් දූ දරුවන් ඇති දැඩි කරනුයේ දහසක් පැතුම් සිත තුළ රඳවාගෙනය. එයින් බලාපොරොත්තු පහක් ගැන සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කොට තිබේ. මවුපියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කටයුතු කරදීම, පරපුර ආරක්‍ෂා කිරීම, මව්පියන් දුන් ධනය රැකීම සහ මියගිය දෙමාපියන්ට පින්දීමය.
එම කරුණු පහෙන් දරුවන් දෙමාපියන්ට සංග්‍රහ කළ යුතුව තිබේ. දූ දරුවන්ගෙන් මෙම සංග්‍රහ ලැබීම දෙමාපියන්ගේ අයිතියකි. ඒ කරුණු එසේ ඉටු කිරීම දරුවන්ගේ යුතුකම සහ වගකීම වේ. දූ දරුවන් කෙරෙහි ඉටු කළ යුතු දෙමාපියන් සතු යුතුකම් ඉටුවන විට එම දූදරු, මව්පිය දෙපක්‍ෂය අතර අන්‍යොන්‍ය සමගිය හා සාමය ඇති වේ. යහපත් සමාජයක් ගොඩනැඟීමේ පදනම එයින් ඇති වේ. ආචාරශීලී ගුණ ගරුක දෙමාපියන්ගේ දරුවන් යහපත් ගුණවතුන් වේ.
මංගල සූත්‍රයේ දී දෙලොව දියුණුව ඇති කරන කරුණු දේශනා කරන බුදුරජාණන් වහන්සේ ‘මාතා පිතූ උපට්ඨානං’ මවුපිය උපස්ථානය මංගල කරුණක් බව දේශනා කර තිබේ. ‘යො මාතරං වා පිතරංවා ජිණ්ණකං ගත යොබ්බනං පහුසන්තො නභරති’ යනුවෙන් යම්කිසි දරුවෙකු පිළිවන්කම තිබියදී තම මවුපිය දෙදෙනාට නොසලකන්නේ නම් එය වසල වූ පහත් ගතියක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
මේ කරුණු ගැන මෙනෙහි කර මව්පිය දෙපළ වෙනුවෙන් කළයුතු යුතුකම් නොපමාව ඉටු කරන්න. අපි මවුපියන් හට හොඳින් සලකා මෙම උදාර බෝධිසත්ව ගුණය දියුණු කොට ඒ පින් බෙලෙන් අමාමහ නිවන් සම්පත් ප්‍රාර්ථනා කර ගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි.

දුරුතු මහේ සඳ එළියෙන් නව වසරක සාර්ථක ගිහි ජීවිතයකට මග

ධර්ම දේශනාව(බුදුසරණ 2009.12.31)


 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
භූතත්තා භොගා භතා භච්ඡා - විතිණ්ණා ආපදාසුව
උද්ධග්ගා දක්ඛිණා දින්නා - අථො පඤ්ච බලීකතා
උපට්ඨිතා සීලවනෙතා - සඤ්ඤතා බ්‍රහ්ම චාරියො
යදත්ථං භොග මිච්ඡන්ති - පණ්ඩිතො ඝර මාවසං
සොමෙ අත්ථො අනුප්පතෙතා - කතං අනනු තාපියං
එතං අනුස්සරං මච්චෝ - අරියධම්මෙඨි තොනරො
ඉධචෙව නං පස්සන්ති - පෙච්ච සග්ගෙ පමෝදති”


පින්වත්නි ...

බෞද්ධ අප හැම කෙනෙක් තුළම විවිධ බලාපොරොත්තු බොහොමයක් තිබෙනවා. ඒ අතර අපේ ජීවිතයේ තීරණාත්මක බලාපොරොත්තු තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කළ දහම අප බලාපොරොත්තු වන ඒ සියලු සිතුම් පැතුම් ඉටු කරගැනීමේ මාර්ගයකි. අද ධර්ම දේශනාවෙන් අප මේ මාර්ගය කුමක් දැයි තේරුම් ගැනීමට උනන්දු වෙමු.

වසරක් ගෙවී අවසන් වී නව වසරක උදාව ජන හදවත් තුළ බොහෝ ප්‍රාර්ථනා ඇතිවන කාලයකි. උදාවන නව වසර අර්ථවත් කර ගැනීම අපේ අධිෂ්ඨානය කර ගනිමු. අපේ ජීවිතය වැදගත් ලෙස ඉදිරියට ගෙන යාමට වැදගත් වන කරුණු දෙකක් තිබෙනවා.

එනම්
1.උත්සාහය සහ
2.වාසනාව යි


උත්සාහය හා වාසනාව අපේ ජීවිත සාර්ථක කරගැනීමට ඉතාමත් වැදගත් වන කරුණු දෙකකි. මේ ජීවිතය සාර්ථක කර ගැනීමටත් සියලු දුක් නසා නිවන් අවබෝධ කර ගැනීමටත් අප උත්සාහ විය යුතුයි. මේ එළැඹෙන නව වසරේ අපි එය අධිෂ්ඨාන කරගෙන වැඩ ආරම්භ කල යුතු වෙමු. නිවන් මාර්ගයේදී මෙම උත්සාහය “සම්මා වායාම “ යන්නෙන් දක්වා තිබෙනවා. සම්මා වායාමය ඔබේ නව වසර සාර්ථක කර ගැනීමට වඩාත් යෝග්‍ය වෙනවා. එනම් ගෙවී ගිය වසර තුළ ඔබෙන් සිදුවූ වැරැදි අඩුපාඩු අත් හරින්නට,
ඔබ විසින් කරන ලද තමාට හා අන්‍යයන්ට යහපත් වූ කටයුතු තවත් ඉදිරියට ඉටු කර ගෙනයන්නට,ඔබට මෙතෙක් කරගැනීමට අතපසු වූ යහපත් කටයුතු ආරම්භ කරන්නට, ඔබේ අතින් යළි කිසිදු අයහපත් කටයුත්තක් සිදු නොවන්නට යන මෙම කාරණා ඉදිරි වසර ජය ගැනීමට ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. අතීතය දිහා කල්පනා කර කර ජීවිතය තැවෙන මිනිස්සුන්ට කවදාවත් සාර්ථක ජීවිතයක් ගත කරන්න බැහැ. ඊට හේතුව බුදු දහම උගන්වන්නේ සංසාර ජීවිතය ජය ගන්න ක්‍රමයයි. අතීතය සුමිහිරි හෝ අමිහිරි වෙන්න පුළුවන්. ඒත් එය අනාගතය සාර්ථක කරගන්න මාවතක් කරගත යුතුයි. මේ මොහොත අතීතයට හා අනාගතය යන දෙකටම අයිතියි. අතීතයේ සිට මේ මොහොත ගැන සිතුවොත් එය අනාගතයයි. දැන් මේ මොහොත වර්තමානයයි. මේ මොහොත පසු වූ විට එය නැවත අතීතයයි. එනිසා ජීවිතය සාර්ථක කරගැනීමට වටින්නේ මේ මොහොතයි. අංගුලිමාල , පටාචාරා, කිසාගෝතමී,අම්බපාලි, වැනි සමාජයේ ජීවත් වූ ඒ හැම දෙනාගේම අතීතය අමිහිරි වුවත් ඒ අය ධර්මය තුළින් තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගන්නට උත්සාහ කළා. එහි ප්‍රතිඵලය නම් සමාජයේ කොන්වී සිටි ඔවුන් සමාජය ගරුකරන පූජනීයත්වයට පත්වුනා. එනිසා ජීවිතය වාසනාවන්ත වීමට උත්සාහය හැම අතින්ම වැදගත් වනවා.
වාසනාව නැතිව උත්සාහයේ නියම ප්‍රතිඵල ලබන්න බැහැ. කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. මම කෙතරම් උත්සාහ කලත් වාසනාව නැති නිසා උත්සාහවීමේ තේරුමක් නැහැ කියල. ඒක වැරැදියි. අපි දැනගන්න ඔය වාසනාව ලැබෙන්නේ කොහොමද කියලා. වාසනාව ලැබෙන්නේ අප කරන ලද කුසල් අනුවයි. අපි සමාජයට, ලෝකයාට අනෙකුත් සත්වයන්ට පිරිසුදු සිතින් කරනු ලබන පරිත්‍යාගයන් වල ප්‍රතිඵලය වාසනාවයි. එනිසා වාසනාව නැත්නම් එය ඇති කරගන්නට වෙහෙස විය යුත්තේද තමා මයි. ඔබ ඔබේ ජිවිතය තුළ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී අන් අයගේ යහපතට සේවයක් කරන්න. එවිට ඔබට වාසනාව ලැබෙනු නො අනුමානයි. එනිසා උත්සාහයත් වාසනාවත් දෙකම ඇති කරගත හැක්කේ ඔබට මයි. ඒ තුළින් මේ වසර සාර්ථක සුබ නව වසරක් බවට පත්කරගන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සමාජයට අවබෝධ කරගන්න බැරිවීම නිසා සමාජය ධර්මයෙන් ඇතැම් විට ඈත් වෙලා. බුදු හාමුදුරුවෝ සරණ ගියාට අප ඒ වෙනුවෙන් අනුගමනය කළ යුත්තේ කුමක්ද යන්න තේරුම් ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා. බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම ඉගැන්වූ ගැඹුරු දහම උන්වහන්සේ පෙන්නුවේ ආදර්ශයෙන්. ඒ තමා අනිමිසලෝචන පූජාව. අද සමාජයේ බෞද්ධයන් ඒක අමතක කරනවා. එතකොට මුල අමතක කරලා කොහොමද බුදුන් සරණ යන්නේ. තමන්ට උදව් උපකාර කළ අයට ඔබෙන් කෘතගුණ සැලකීම බුදුන් සරණ යාමයි.
ඉන් පසුව බුදු හාමුදුරුවෝ සමාජයේ ජීවත්වන සත්වයන් අතර මනුෂ්‍යයා මුල්කරගෙන ධර්මය දේශනා කළා. මුලින් ගිහි ජීවිතය අතහැර සත්‍ය සෙවු පිරිස්වලට ජීවිතයේ නිසරු බව තුළින් ධර්මය වටහාගෙන පැවිදි බිමට ඇතුළත් වෙලා තමාගේත්, අනුන්ගේත් හිතසුව පිණිස හැසිරෙන්නට මග පෙන්නුවා. එසේම සමාජයේ ජීවිත අවුල් කරගත් නිසි මාර්ගයක් නොදත් සියලු වෘත්තිකයන්ට ඒ ඒ ජීවිත සාර්ථක ගිහි ජීවිත ගෙවන මාර්ගය පෙන්නුවා. ජීවිතයේ දුක නැති කරන්නට මේ සැම දේශනාවක්ම මුල්වුනා.



ජීවිතයේ දුක නැති කිරීම යනු සැපවත් ජීවිතයකට මාර්ගයයි. එනම් සාර්ථක ජීවිතයකට පදනම බුදුදහමේ පදනමයි. මෙය තේරුම්ගත හැක්කේ තමා ළඟ ඇති දෘෂ්ටිකෝණවලට නොව මැදහත්ව ධර්මය දෙස බලන පුද්ගලයන්ට පමණයි. ඒ බව “පච්චත්තබබං වේදිතබෙබා විඤ්ක්‍්‍යුහීති “ යන්නෙන්ම පැහැදිලි වෙනවා. මේ ධර්මය ප්‍රත්‍යක්‍ෂ හෙවත් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නුවනින්ම පමණයි. යන්න බුදුන් වහන්සේගේ දේශනාවයි
පින්වතුනි ,
ගිහි ජීවිතයක් ගත කරන ඔබ නිතරම බලාපොරොත්තු වන කාරනා රාශියක් ඉහත ගාථාවෙන් පෙන්වාදී තිබෙනවා. “ ඉධ ඵෙව නං පසංසන්ති .පෙච්ච සග්ගෙ පමොදති “ යන්නෙන් අර්ථවත් කලේ ඔබ කුමන ජීවිතයක් ගත කළත් මෙලොව ප්‍රශංසාවත් පරලොව සුගතියත් ඇති කරගත යුතුයි යන්නයි. මෙහි දක්වන ප්‍රධාන කරුණු 2 ක් තිබෙනවා. එනම් “භුත්ත “ “භෝගා” යන වචන දෙකයි. “භොගා මේ උප්පජ්ජන්තු සහ ධම්මො “ යන්නෙන් අදහස් වෙන්නේ ධාර්මික වස්තුවයි. අද සමාජයේ ජීවත්වන ඕනෑම අයෙකුට වටිනම දේ තමයි ආර්ථිකය . තමන්ගේ ආර්ථිකය ශක්තිමත් නැත්නම් මේ සමාජයේ ජීවිත අසරණ තත්ත්වයකට පත්වෙනවා. ඒ අතර බුදු දහම පෙන්වා දෙන්නේ ආර්ථිකය ධාර්මික නොවුනොත් මෙලොව පරිහානිය වගේම පරලොව ජීවිතයද අගාධයට පත්වන බවයි.

අපි අධාර්මික ආර්ථිකයක් ඇති කර ගන්නවා කියන්නේ අන් අයට අයුක්තියක් ඉටු කිරීම යි. එනිසා බුදුදහම පුද්ගලයා යහපත් වීම තුළ තමා පමණක් නොව සමාජයම යහපත් අතට පත්වීමට පුද්ගලයා යහපත් වීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා. අපි භුක්ති විදින ධනය අධාර්මික දෙයක් නොවන්නට අපි වග බලා ගන්න ඕනෑ.
“යසො මේ උප්පජ්ජන්තු සහ ධම්මෙන “ යන්නෙන් ධනවත් වීමෙන් අපි සමාජයේ කීර්තියක් අපේක්‍ෂා කරනවා. මේ කීර්තිය රඳා පවතින්නට නම් අපි උපයන දේ ධාර්මික වෙන්නට ඕන. නැතිනම් ටික දවසකින් තමන්ගේ අධාර්මික ව්‍යාපාර බිඳවැටී කායික හා මානසික බිඳවැටීමක් තුළින් සමාජයට මුහුණදෙන්න බැරි තත්ත්වයකට පත්වෙනවා.
පින්වතුනි
අපි සමාජයේ ජීවත් වෙන කොට ධර්මය ට අනුවම ජීවිතය සකස් කරගන්නට උත්සාහ කරන්නට ඕන. හේතුව සමාජය ලාභ අලාභ නින්දා ප්‍රශංසා යසස අයස සැප දුක වැනි ලෝක ධර්මයන් වලින් නිතරම වෙනස් වෙනවා. ලාභය නිසාම අලාභය සිදුවෙනවා නම් ලාභයේ අන්තය හොයන්න හොඳ නැහැ. තමන්ගේ තරම කුමක්ද යන්න කල්පනා කාරීව ජීවත්වෙන්නට ඕන. නින්දා, ප්‍රශංසා , සැප දුක ආදියත් තමන්ට අත්විඳින්නට වෙනවා. ඒ නිසා සැපක් හෝ සැපයේ කෙලවරක් සොයන පුද්ගලයෙකුට ඒ සැපයේ කෙලවර සොයන්න වන්නේ ධර්මය තුළයි. ධර්මය මිනිසාගේ සැපයට කිසිම තැනක බාධා ඇති කරන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කළේ සැප තුනක් පිළිබඳවයි. එනම් මනුෂ්‍ය ‘දිව්‍ය’ නිවන් යන සැප තුනයි. ඔබ ඔබේ ජීවිතය ධර්මානුකූලව ධාර්මිකව ගත කිරීමට අධිෂ්ඨානය ඇතිකරගන්න උත්සාහවත් වෙන්න. එවිට ජිවිතයේ යථාර්ථය තුළින් සාර්ථක ගිහි හෝ පැවිදි ජීවිතයක් ගත කිරීමට ඔබට දැනුම තුළින් බුද්ධිය පහළවෙනු නිසැකයි. ඔබ සැමට තෙරුවන් සරණයි.

තමා ගැනම සොයනු මැන

ධර්ම දේශනාව(බුදුසරණ 2008.01.07)



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අත්තනාවෝද යත්තානං
පඨිමාසෙ අත්තමත්ථනා
සො අත්තගුනෙනා සතීමා ගුතේතා
සුඛං භික්ඛු විහාසසි”
පින්වතුනි ,
අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කර ගන්න යෙදුණේ ධම්ම පදයේ භික්ඛු වර්ගයේ 20 වන ගාථාවයි.
එහි අදහස තමන් තමන් කළ වැරැදි දෙස විමසා බලා එම වැරදි වලට චෝදනා කරගන්නා භික්ෂුව (තැනැත්තා) සැපසේ ජීවත් වෙනවා යන්නයි.
පින්වතුනි, අප අප දෙසම බැලිය යුතු ක්‍රම දෙකක් තියෙනවා. එකක් කායික පැත්ත . අනික මානසික පැත්ත. කායික වශයෙන් ඇස, දත්, ලේ ආදී ශරීරයේ විවිධ කොටස් ගැන පරීක්‍ෂා කර බැලීම තුලින් එම කායික රෝගවලට පිළියම් යොදලා ලෙඩදුක් සුව කරගෙන සැපසේ ජීවත් වන්න පුළුවන්. ඒ අංශය පිළිබඳ අපේ සමාජයේ බොහෝ දෙනෙක් පරීක්‍ෂා කර බලනවා . රෝග ගැන බලනවා වගේම කයින් කෙරෙන වැරැදි මොනවාද? ඒවා මා තුලින් කොතරම් දුරට කෙරෙනවාද? වචනයෙන් කෙරෙන වැරැදි කොතරම් දුරට කරනවාද? කියලා පරික්‍ෂා කර බලා ඒ කෙරෙන වැරැදි අඩුකරගන්න ඕනෑ.
අපේ ඇතැම් දෙනෙක් මානසික පැත්ත ගැන එතරම් සැලකිලිමත් වන්නේ නැහැ. හිතේ ඇතිවන රෝග තමයි, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම , මානය. මෙවැනි රෝග සිත් තුළට ඇතුළු වුණාම සිත රෝගී වෙනවා. ක්‍රෝධය සිතට ඇතුළු වුණාම තමන් ඉන්නේ කොහේද ? කරන්නේ මොනවාද? ආදී සියල්ලක්ම අමතක වෙනවා. එම ක්‍රෝධයෙන් ක්‍රියාකිරීම නිසා නොසිතූ කරදර ගොඩාක් කරගෙන පසුතැවිලි වනවා. අර ඉස්සර එක බමුණෙක් තමන්ගේ කුඩා දරුවාත් සමඟ ගෙදර ඉන්න ගමන් සුරතලයට මුගටි පැටියෙක් හදාගෙන හිටියනෙ. එක දවසක් දරුවා තොටිල්ලේ නිදි කරවා බමුණා ගමනක් ගියා. මුගටියා දරුවා ඉන්න අසල පැත්තක බලාසිටියා. එක පාරටම නයෙක් ආවා. දරුවා ලඟට යන්න යනවා. මුගටියා පැනලා නයා කෑලිවලට කඩලා දැම්මා. කටේ ලේ පෙරාගෙන තමාකල හපන්කම කියන්න බමුණා එන පෙරමඟට ගියා. බමුණා දරුවාට කරදරයක් කරලා කියලා සැක සිතලා කෝපයට පත්වෙලා අතේ තිබු සැරයටියෙන් ගහලා මැරුවා. පසුව සිද්ධිය දැකලා අපරික්‍ෂාකාරී කමත් ක්‍රෝධයත් ගැන හිතලා පසුතැවිලි වුනා.
වෛරය සිතට ඇතුළු වුන නිසා එකිනෙකාගෙන් පළිගන්න හිතනවා. එම වෛරය මුල්කරගෙන කාලියක්‍ෂනීගේ කතාවේ දැක්වෙන විදියට භවයෙන් භවයට මැරී මැරී උපදින්න (ගමන් කරන්න ) සිදුවෙනවා. වෛර කිරීම නිසා තමන්ගේ සිතට නිතරම වේදනාව ගෙන දෙනවා. එම නිසා එය ඉවත් කලයුතු දෙයක්.
ඊර්ෂ්‍යාව මිනිසුන් අතර පමණක් නෙවෙයි. තිරිසන් සතුන් අතරත් පවතිනවා. ඔබේ ගෙදර බලු පැටියෙක් හදාගෙන ඌ ටිකක් ලොකු වුනාම ගෙදරට තව කුඩා පැටවෙක් ගෙන ආ විට බලන්න අර ලොකු සතාගේ හිතේ ඊර්ෂ්‍යාව ඇතිවනවා. එනිසා සමහර විට එයා ගේ අතඇරලා යනවා. නැතිනම් පැටියව හපනවා. චූටි දරුවෙක් ගෙදර ඉන්න විට එයාට තව නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ලැබූණම දෙමාපිය සෙනෙහස ඇල්ම බැල්ම කුඩා කෙනාට සමහර විට ටිකක් වැඩිපුර ගියාම ලොකු දරුවාට ඊර්ෂ්‍යාව ඇති වීමට ඉඩ තිබෙනවා. අල්ලපු ගෙදර දරුවා ටිකක් හොදට ඉගෙන ගන්නවා නම් ඒ ගෙදරට තව කෑල්ලක් එකතු කර ගත්තනම් බයිසිකලයක් වාහනයක් ගත්තනම් කුඩා දියුණුවක් පෙන්නුම් කලා නම් මෙහාගෙදර අයට එය බලා ඉන්න බැරිව විවිධ ඇතැම් විට අරියාදු කරන්නේ ඔය ඊර්ෂ්‍යාව නිසා තමයි. ඇයි අපට තව කෙනෙකුගෙ සතුට දිහා බලල සතුටු වෙන්න බැරි. මේ ගැන හිතන්න.
ලෝභ කමත් ඒ වගේම විනාශයට බලපාන දෙයක්. අධික ලෝභකම , මසුරුකම නිසා පුද්ගලයා අපකීර්තියට පත්වනවා. අදින්න පුබ්බක බමුණා අධික ලෝභයෙන් මසුරුකමින් කටයුතු කරලා ඔහු දැඩි ලෝභියෙක් මසුරෙක් ලෙසට අපකීර්තියට පත් වුනා. ඒ අධික ආශාව මුල්කරගෙන විවිධ සත්ව ආත්මවල උපදින බව ජාතක කථාවලින් පැහැදිලි වෙනවා.
තවත් එවැනිම දුර්ගුණයක් මානය එය හරියට සෙම්ප්‍රතිශ්‍යාව වගේ. වැඩිපුර නෑවත් ටිකක් නෑවත් , දූවිලි ටිකක් ගියත්, පිනිබෑවත් සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා. ඒවගේ තමයි රැකියාවක් ලැබුණත් , හොඳට ඉගෙන ගන්න පුළුවන් වුනත්, රූපය ටිකක් ලස්සන වුනත් සල්ලි ටිකක් තිබුණත් හොඳ ගෙයක් දොරක් ඉඩකඩමක් තිබුනත් මේ හැම දෙයින්ම ඇතැම් විට කෙනකු මානයට පත්වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ට කිසිම දෙයක් නැහැ කියලා කෙනෙක් හීනමානයට පත්වනවා. මානයෙත් කොටස් තුනක් තියෙනවානෙ. සෙය්‍යමාන , සදිසමාන, හීනමාන “ මම අනෙක් අයට වඩා උසස් කියා සිතා ඇතිකරගන්නා මානය සෙය්‍යමානය “ මම අනෙක් අය හා සමානයි කියා ඇතිකරගන්නා මානය සදිසමානය. මම අන්සියල්ලටම වඩා පහත් කියලා ඇතිකරගන්නා මානය හීනමානයයි. මේ කොයි එකෙකුන් පුද්ගලයා පිරිහෙනවා.
පින්වතුනි , නව වසරක් උදාවුන මේ අවස්ථාවේ ඔබට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි නිදහස් තැනකට වෙලා තමන් පසුගිය වසරක කාලය තුළ තමන් කළ කී හොඳ නරක මොනවද කියලා විමසල බලන එක කොපමණ සත්තු මැරුවද ? කොපමණ මත්පැන්වලට මුදල් යට කළාද? දුම්වැටියට කොපමණ වැයකළාද? බොරුවෙන් අන් අය රවටන්න උත්සාහ කලාද, පරුෂ වචන, හිස්වචන , අනුන් බේදකිරීමට බලපාන කේළම් කෙතරම් දුරට ඔබේ මුවින් පිටවුනාද? කෙතරම් දුරට මම ඉගෙනීමට , මගේ රාජකාරි කටයුතු කරගෙන යාමට කම්මැලි වුනාද? මේවා ගැන විමසා බලා ඔබේ අඩුපාඩු වලට චෝදනා කරගන්න. ඔබට ගිය වසරේ පෝය දොලහෙන් කීයක සිල් ගන්න බැරි වුනාද? පන්සිල් වලින් කීයක් කඩකලාද? විමසලා බලා මේ වසර තුල අඩුපාඩු දුරුකර ගන්න. අඩුම තරමින් නව වසර තුල පංචශීලයෙන් එකක්වත් නොකඩවා රකින්න පුළුවන්. ඇතැම් අයකු සමාජයේ පුරුදුවෙලා තියෙන්නේ හැම වරදක්ම තවකෙනෙක් පිට පටවන්න . තමන් කරන වරද තමන්ටම පේන්නේ නෑ. පෙරහරේ ගමන් කරන කෙනාට පෙරහර පේන්නේ නෑනේ. එහි අඩුපාඩු පේන්නේ බලාඉන්න අයට පමණයි. ඒ වගේම තමයි තමන්ගේ වැරැදි අඩුපාඩු තමන්ට පේන්නේ නෑ . තව කෙනෙක් වරදක් පෙන්නුවාම උරන නොවී එම වරද පිළිගැනීමට තරම් නිහතමානි වන්න. දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සිල් ආරක්‍ෂා කරලා භාවනාවට සිත යොමුකරලා මේ වසර අවසානයේ තමන්ටම තමන් ගැන හිතලා සතුටු වන්න පුළුවන්. තමන්ටම ප්‍රශංසා කරගන්න පුළුවන් ස්වභාවයක් ඇතිකර ගැනීමට සිතට ගන්න .
ඔබට තෙරුවන් සරණයි

Thursday, August 30, 2012

කාරුණික අවවාද දෙන තැනැත්තා නිධානයක් පෙන්වන්නකු වැනි ය


ධර්ම දේශනාව(බුදුසරණ 2007.09.10)

නමෝ තස්ස භගවතෝ අරහතො
සම්මා සම්බුද්ධස්ස
නිධීතංව පවත්තාරං
යංපස්සේ වජ්ජ දස්සීනං
නිග්ගයිහවාදිං මේධාවිං
තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමා නස්ස
සෙය්‍යො හෝති නපාපියෝ
(ධම්ම පදය පණ්ඩිත වග්ග 2 )
කාරුණික පින්වතුනි!
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේදී දේශනා කරණ ලද මෙම ගාථා ධර්මයෙහි සාමාන්‍ය තේරුම නම්, අපේ යම් වරදක් දැක එම වරද තේරුම් කරදී අවවාද දෙන නුවණැත්තා, නිදන් පෙන්වන්නෙකු වැනි බවත්, එබඳු ප‍්‍රඥාවන්තයින් ඇසුුරු කිරීමෙන් සැමවිටම යහපතක් සිදුවන බවත්ය.
බුදුරජාණන් වහන්සේ මෙම ගාථාධර්මය දේශනා කිරීමට හේතුවූයේ දිළිඳු බමුණෙකුට පිහිටවීම සඳහාය.
සැවැත්නුවර වාසය කළ එක්තරා බමුණෙක් ආර්ථික අතින් පිරිහී ගොස් ඉතාමත් දිළිඳු බවට පත්විය. ඔහු උසස් පෙළපතක උපන් රාධ නමැත්තෙකි. ඔහුගේ පියාණන් විසූ කාලයේම මේ දිළිඳු බව “ රාධ” බමුණාට උරුම විය. තමන් කරා දෛවෝප සහගත අයුරින් පැමිණි දිළිඳු බවෙන් මිදීමට පියාටද බැරිවිය. එහෙත් දුප්පත්කම කොතෙක් තිබුණත් තම පුතු “ රාධ” ට සැම දෙයක් පිළිබඳව තරමක දැනුමක් ලබාදීමට පියා උත්සාහ ගැනීමට වග බලා ගත්තේය. එය රාධ ගේ ජීවිතය හැඩගසා ගැනීමේදී ඉමහත් පිටුවහලක් වූහ.
රාධ බමුණා ළමා වියේ සිටම අනුන්ගේ අඩුපාඩු නොසොයති. වරද නොසළකති. උඩඟු බවක්ද නොදක්වති. කම්මැළි කමෙන් කල් නොගෙවයි. කීකරු කමින්ද යුක්තය. මෙසේ කල්ගෙවන තරුණ “රාධ” ට තුරුණු වියේදීම තම සෙනෙහෙබර මව්පිය දෙපළ අහිමිවූහ. දෙමව්පියන්ගේ මරණින් පසුව “ රාධ” තරුණයා ඉතාමත්ම අසරණ බවට පත්විය. කුලයෙන් උසස් නිසා අන් අයට වැඩක් පළක් කරදී හෝ වෙනත් කාර්යයක නිරත වී යම් මුදලක් සොයා ගැනීමට ද නොහැකිව සිටියේය.
ඒ තම කුල පරම්පරාවට නිගාවේ යන බියටය. ඉතාමත් අසරණ තත්වයට පත් වූ රාධ එක්තරා නිගමනයකට පැමිණියේය. ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩ වසන සැවැත්නුවර ජේතවනාරාමයට ගොස් බුදුපාමොක් මහසඟුනට ඇප උපස්ථාන කරමින් තමන්ගේ ජීවිතයද ගැටගසා ගැනීම විය.
විහාරමළුව ඇමදීම පරමල් ඉවත්කිරීම, උණුපැන් සකස් කරදීම , සිහිල්පැන් පුරවාතැබීම , භික්ෂූන් වහන්සේලාට උවටැන් කිරීම ඇතුළු හැම කටයුත්තකටම සහයෝගය දක්වමින් “රාධ” ජේතවනාරාමයෙහිම කල් ගෙවීය. පැවිදිවීම සඳහා හිතේ සතුටක් තිබුණත් ඒ අදහස ද ඉටු නොවීය.
බුදුරජාණන් වහන්සේද මේ තරුණ “රාධ” බමුණා කෙරෙහි දැඩි අවධානයක් දැක්වූසේක. රාධ බමුණාට රහත්වීමට තරම් පූර්ව කුශල ඇතිබව දිවැසින් දුටු සේක. මෙදින සවස් කාලයෙහි දෙව්රම් වෙහෙරෙහි සැරිසැරූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ “රාධ” බමුණා දැක “ කුමක් කරනවාදැයි විචාළහ.
එවිට “රාධ” තරුණයා භික්‍ෂු සංඝයා වහන්සේලාට වත් පිළිවෙත් කරමියි කීවේය. මෙහිදී බුදුරජාණන් වහන්සේ රාධගෙන් නැවත මෙසේ විමසූහ. “ ඒ සඳහා කුමක් ලැබේද? “ රාධ බමුණා නැවත පිළිතුරු දෙන්නේ “ බුදුරජාණන් වහන්ස!” වැටුපක් පතා මම එසේ නොකරමි. පින් පිණිස එසේ කරමි,යි පැවසීය. එසේම පැවිදිවීමටද කැමති බව දැන්වීය. එය ඇසූ බුදුරජාණන් වහන්සේ” මෙම රාධ බමුණා කළ උපකාරයක් මතක ඇති කෙනෙක් අත්දැයි විමසූහ. මෙහිදී ඉදිරිපත් වූ සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ පැවසූහ. “ දිනක් පිණ්ඩපාත පිණිස වැඩිය දවසක බත් එළවළු හැන්දක් පූජාකළ බව මතක ඇතැයි පැවසූහ.
“මොහු සංසාර දුකින් අත මිදීම සඳහා කැමති කුශලට හිත ඇති කෙනෙකි. එම නිසා රාධ බමුණා පැවිදි කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ වදාළසේක.
මෙය පැවරුනේ සැරියුත් මහරහතන් වහන්සේටය. සැරියුත් මහරහතන් වහන්සේ රාධ බමුණාට බණ දහම් උගන්වා පැවිද්ද ලබාදුන්හ.
සැරියුත් මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ලැබූ රාධ තෙර ඉතාමත් කීකරුව ගුරු උපදෙස් උතුම්කොට සලකමින්, විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් ඵලයට පැමිණියහ. බොහෝ භික්ෂූන් අතර රාධ තෙරුන්ගේ ගුණ කතාබහට ලක්වූහ. උපතින්ම පිහිටි කීකරුකම, වරදෙහි නොකිපීම , සන්සුන්කම පිළිබඳව කතාබහට ලක්විය. නොයෙක් අවස්ථාවල රාධ මහරහතන් වහන්සේ තුළ ඇති ගුණ සමුදායන් අනෙකුත් භික්ෂූන් වහන්සේලා අතර කතාබහට ලක් විය.
බුදුරජාණන් වහන්සේ මෙය නිමිති කරගෙන, අපේ යම් වරදක් දැක එම වරද තේරුම් කරදී අවවාද දෙන නැණවතා නිදන් පෙන්වන්නෙකු වැනි බවත්, එබඳු ප‍්‍රඥාවන්තයින් ඇසුරුකිරීමෙන් මෙළොවත් පරළොවෙත් යහපතක් සිදුවන බවත් වදාළ සේක.
සමාජයේ වැඩිහිටි අවවාද ඇතැම්විට පිළිපදින්නන් දැක ගැනීම අසීරුය. වරදක් පෙන්වාදෙන තැනැත්තා සතුරෙකු ලෙස සලකා වරද කළ අය වරද පෙන්වාදුන් අයට ද්වේෂ කිරීම්, තරහවීම්, පහරදීම් වැනි අවස්ථා ඇති බවට නම් සාධක ඇතුවාට සැකයක් නැත.
මෙම කුඩා දහම් පණිවුඩය සිහිතබාගෙන කල්ගෙවීමෙන් මෙළොව පරලොව ජය ගැනීමට හැකිවේ. සැමටම උතුම් නිවන් සැප ලැබේවා.

ජීවිතය බබළවන වටිනා සම්පත්

ධර්ම දේශනාව (බුදුසරණ 2007.09.19)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
පඤ්චිමෙ ගහපති ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මිං. කතමෙ පඤ්ච ආයුඛෝ ගහපති ඉට්ඨො කනෙතා මනාපො දුල්ලභො ලොකස්මිං, වණෙණා ඉට්ඨො කනෙතා මනාපො දුල්ලභෝ ලොකස්මිං සුඛං ඉටඨං කනතං මනාපං දුල්ලභං ලොකස්මිං යසො ඉටෙඨාකනෙතා මනාපො දුල්ලභො ලොකස්මිං සග්ගා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකසමිං ඉමෙඛො ගහපති පඤ්චධම්මා ඉටඨා කනතා මනාපා දුල්ලභා ලොකස්මිං (අං.ගු.නි. පඤ්චක නිපාතය ඉට්ඨධම්මසුත්ත)
පින්වත්නි, අප ධර්මදේශනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ එන ඉට්ඨධම්ම සූත‍්‍රයයි. මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අගය කළ වටිනා සම්පත් පහක් ගැන සඳහන් වෙනවා. මෙම කරුණු පිළිබඳව සිහි නුවණින් සිතා බැලීම අපකාගේත් හිතසුව සඳහාම හේතු වන අයුරු සලකා බලන්න. ආයුෂය, ශරීරවර්ණය, ශරීර සුවය, යසස, සමගිසම්පත, යන මේ කරුණු සෑම දෙනාගේම පැතුමයි. නිකම්ම ප‍්‍රාර්ථනා කළ පමණින්ම මේ එකක්වත් හිමි නොවන බව බුදුදහමේ ඉගැන්වීමයි. දාන, ශීල, භාවනා පින්කම්වල නිරතවන ආකාර අනුව හිතේ පහල වන පින් සිතිවිලි ඇසුරින් හිතේ ගොඩනැගෙන පුණ්‍ය බලවේග මේ සම්පත් හිමි කර දෙන ආකාරය හඳුනාගත හැකි වූයේ බුදුරජාණන් වහන්සේටයි. අදෘෂ්‍යමාන දෙවිකෙනෙකුගේ මාර්ගයෙන් ඉල්ලා ලබාගත නොහැකි මෙම සම්පත් ව්‍යායාම් වල නිරතවීමකින්ද හිමිකර ගත හැකි යයි සිතන්නේ නම් එයද නිසරු සිතිවිල්ලකි.
මිනිසත්බවම අතිවිශාල පින්රැසක ප‍්‍රතිඵලයකි. එම මිනිසත්බව බබලවන ආර්ථාන්විත බවට පත්වීමට ඉඩසලසන මෙම කරුණුවලට හිමිකරුවෙක් වීමට ප‍්‍රායෝගික වශයෙන් කි‍්‍රයාත්මක කළ යුතු පුණ්‍යකි‍්‍රයා වෙන වෙනම හඳුනාගෙනම කටයුතු කිරීම මිනිසත් බව බැබලීමට උපකාරවන බව වටහා ගන්න. ඒ බව බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී අනාථ පිණ්ඩික සිටුතුමාට මැනවින් පහදා දුන්සේක. එදා මහත් යස ඉසුරෙන් බැබළුන එතුමා මෙම සම්පත් සියල්ලටම හිමිකරුවෙක්ව මිනිස් සමාජයේම ධර්ම මාර්ගයට අවනත කිරීමට කි‍්‍රයාකළ උතුමෙකි. බුදුරදුන්ගේ ප‍්‍රධාන දාකයාවීමම එතුමා සසර පින්කරමින් කළ ප‍්‍රාර්ථනාවල අග‍්‍රඵලයයි. දෙවි දේවතාවන් අදහමින් දැඩි අන්‍ය ආගමික විශ්වාසයන්ගෙන් පිරී ඉතිරී සිටි එදා දඹදිව වැසියෝ තම සියලු සිතුම් පැතුම්, අදෘෂ්‍යමාන දෙවියන්ගෙන් ලබාගත හැකිය යනුවෙන් විවිධ තපස්ක‍්‍රම අනුගමනය කළහ. විශාල පර්වත වනාන්තර ගස්ගල් සරණගිය ආදිකාලීන මිනිස්සු බියෙන් සැකයෙන් දවස් ගෙවූ ආකාරය බුදුරජාණන් වහන්සේගේ දේශනාවේම දක්නට ලැබේ.
බහුං වෙ සරණං යන්ති
පබ්බතානි වනා නිච
ආරාම රුක්ඛ චෙත්‍යානි
මනුස්සා භය තජ්ජිතා. යනුවෙන් ධම්ම පද දේශනාවේ සඳහන්වන පරිදි එදා දඹදිව සමාජය පිළිබඳ සමාජ පසුබිම සිතාගත හැකියි. එම නිසරු පිළිවෙත් අතර තපස්රැකීම, ජටාධරවීම, දත්නොමැද සිටීම, ඇඟ පුරාමඩගාගෙන සිටීම, ආහාර නොගෙන දින ගණන් ගත කිරීම, අජවුත, ගෝවුත, උක්කුටිකව සිටීම, වැනි ලාමක කි‍්‍රයාවලින් සැනසීමක් බලාපොරොත්තු වූහ. මෙවැනි සිදුවීම් දුටු හැමවිටකදීම ඒවායේ නිසරු බව නොබියව පහදා දුන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. දිගු කලක් ජීවත්වීම, සිත් ගන්නා සිරුරකට හිමිකරුවකු වීම වැනි අද සමාජයද උනන්දු වන කරුණු කිසියම් දෙවියකුට යාඥාකර ඉල්ලා ගත නොහැකි බව අනාථපිණ්ඩික සිටුවරයාට පහදා දීම මෙම දේශනාවේ අරමුණයි. සසර කළ පින් ඇතිව සිටි එතුමා, මෙම සියලු සම්පත්වල උරුමකරුවකුව සිටින බව දත් බුදුපියාණන් වහන්සේ දාන, ශීල, භාවනාදී පින්කම්වල නිරත වීමෙන්ම මෙම ප‍්‍රතිලාභ අත්වන ආකාරය පහදා දුන්හ. ආයුෂ වැඩීමට ආයුසංවත්තිනික පටිපදා, පටිපජ්ජිතබ්බා, ශරීරයේ වර්ණ සම්පන්න බව පිහිටීමට වර්ණ සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, සැපපහසුකම්වලට හිමිකරුවෙක් වීමට නම් සුඛසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, යසස් ලැබීමට යසසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, ස්වර්ග සම්පත් කැමැති වන්නේ නම් සග්ග සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා යනුවෙන් ඒ ඒ සම්පත් ලැබීම සඳහා අවශ්‍ය පිළිවෙත් පහදා දුන් සේක. ආයුෂ වැඩිදියුණුවන පින්කම් අතර අභයදානය විශේෂයි. දාන ආනිසංස දේශනා කළ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ භෝජන සූත‍්‍රයේ මෙසේ වදාළ සේක.
භොජනං භික්‍ඛවෙ දදමානොදායකො පටිගගාහකානං පඤ්චධානානි දෙති, කතාමානි පඤච, ආයුං දෙති, වණ්ණං දෙති, සුඛංදෙති, බලං දෙති, පටිභාහනං දෙති, දන්දීමේ දී ත්‍යාගශීලී හිත මෙන්ම එම දානය ලබන ප‍්‍රතිග‍්‍රාහකයන්ගේ නිදුක් නිරෝගී චිරජීවනය හදපත්ලෙන්ම පැතිය යුතුයි. මැනවින් සැකසූ ආහාරපාන ගැනීම ආයුෂය ප‍්‍රධාන සිරුරේ සංවර්ධනය සමඟම දායකයාට එම සම්පත් හිමිවන කුශලශක්තියක් තමාවටා ගොඩනැංවෙන බව පිළිගත යුතුයි. ප‍්‍රාණඝාතය, සතුන්ට වධදීම, වැනි පාපකි‍්‍රයා ආයුෂ නිරෝගීකම අහිමිකරන දරුණු අකුසල් බව හඳුනා ගන්න. අභයදාන ආමිස දානය සතුටු සිතින් කළ තරමට දීර්ඝායුෂයට හිමිකරුවෙක් වෙනවා ඇත. තුණුරුවන්ට අවනතව කටයුතු කිරීම හිත සැහැල්ලු ආකාරයට තබාගැනීම එදිනෙදා ජීවිතය සුවදායක කරගැනීමට උපකාර වන බව හොඳින් මතකයේ තබා ගන්න. මිනිසෙක් වශයෙන් ඉතා සාර්ථක ජීවිතයක් ගත කළ අනාථපිණ්ඩිත සිටුතුමාට එතුමාගේ පිණින් පිරීගිය ජීවිතය මිනිස් සමාජයටම හඳුනාගත හැකි ආකාරයට අගේ කරමින් මෙම දේශනාව දේශනා කළේ මිනිස් සමාජයටම ආදර්ශයක් වනු පිණිසයි. නුවණින් කටයුතු කිරීම තම තමාගේ වගකීමයි. පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං. තෙරුවන් සරණයි.

මවු පිය ගුණ


ධර්ම දේශනාව(බුදුසරණ 2007.09.26)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
යො මාතරංවා පිතරංවා
ජිණ්ණකං ගතයොබ්බනං
පහුසන්තො න භරති
තං ජඤ්ඤා වසලො ඉති - වසල සූත‍්‍රය
පින්වත්නි, මේ ගාථාවේ අර්ථය විමසා බලමු.
යො - යමෙක්
පහසන්තො - බොහෝ ධන ධාන්‍ය ඇත්තේ
ජිණ්ණකං - ජරපත් වූ
ගතයොබ්බනං - යෞවන බව ඉක්ම ගිය
මාතරංවා - මව හෝ
පිතරං වා - පියා හෝ
න භරති - පෝෂණය නොකෙරේද
තං - ඔහු
වසලො ඉති - වසලයෙකැයි
ජඤ්ඤා - දත යුතුය
මේ අනුව යමෙක් බොහෝ සම්පත් ඇතිව සිටියදී වෘද්ධ බවට පැමිණි දෙමාපියන් පෝෂණය නොකෙරේද? ආරක්ෂා නොකෙරේ ද? ඔහු වසලයෙක් වන බව මේ ගාථාවෙහි විග‍්‍රහ වෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් මවුපිය අගය, වටිනාකම ධර්මානුකූලව විග‍්‍රහ කළ තවත් ශාස්තෘවරයෙක් ලෝකයේ ඇත්දැයි අපට සැක සිතෙනවා. තමන් වහන්සේ දේශනාවෙන් පමණක් නොව තමන් බිහි කළ මහාමායා දෙවඟන සොයා ගොස් අබිදම් දෙසුම කරමින්ද පියා වු “ශුද්ධෝදන” රජු වෙත පැමිණ දම් දෙසා සසරින් මුදවමින් ද, කිරි පොවා පෝෂණය කළ “ ප‍්‍රජාපතී ගෝතමිය වෙත භික්‍ෂුණි සමාජය උරුම කොට සසරින් එතෙර කරවමින් ද ආදර්ශයෙන් ම තම වගකීම ඉටු කොට වදාළහ. මවුපියන් කොතරම් දරුවන්ට අගනේ ද? යන්න තේරුම් ගැනීමට සිඟාලෝවාද සූත‍්‍රයේ දී මූලධර්ම පහක් ඉදිරිපත් කළහ.
1.පාපා නිවාරෙන්ති - දරුවන් පාපයෙන් අයහපතින් මුදවා ගැනීම
2. කල්‍යාණෙ නිවෙසෙන්ති - යහපතෙහි යෙදවීම
3. සිප්පං සික්ඛාපෙන්ති - ශිල්ප ශාස්ත‍්‍ර ප‍්‍රගුණ කරවීම
4. පතිරූපෙන දාරෙන සංයොජෙන්ති - සුදුසු කාලයෙහි ආවාහ විවාහ කරවා දීම
5. සමයෙ දායජ්ජං නිය්‍යදෙන්ති - තම දායාද දරුවන්ට උරුම කරදීම
මේ අනුව දරුවෙකු මවුකුසෙහි පිළිසිඳ ගත්දා සිටම දරුවා අයහපත් ගතිවලින් මුදවනු පිණිසත් යහපත් දරුවෙකු බවට පත් කරනු පිණිසත්, ඉතා කරුණාවෙන් කටයුතු කරන්නේ අම්මාය. පියා ඒ සඳහා අහර සපයමින් සන්සුන් දිවියකට මග හදා දෙනවා. බෝධිරාජ කුමාරයාගේ මව ගර්භණී, සමයෙහි බුදුරදුන් කරා පැමිණ මාගේ කුසෙහි උපන් කුමරා හෝ කුමරිය තෙරුවන් සරණගත කරන්නැයි ඉල්ලා සිටි බව දැක්වෙනවා. එබැවින් මවුවරුන් පියවරුන් දරුවන් රාග ද්වේෂ, මෝහ, ගතිවලින් මුදවා ලීම ආරම්භ කරන්නේ මව්කුසේදීමයි. මව්කුසේදීම කොයිතරම් කරුණාවක් දරුවෙකු වෙනුවෙන් මවක වෙතින් ගලා එන්නේ දැයි සිතා බලන්න.
එපමණක් නොව ලෝකයෙහි විඳිය නොහැකි අපහසුම වේදනාව වූ ප‍්‍රසව වේදනාව විඳිමින් ලොවට බිහි කොට කිරි පොවා නාවා පිරිසුදු ලොවක අප රජ කළේ අම්මාමයි. අම්මා අපෙන් වෙන්වූ මොහොතකදී මුත‍්‍ර මළමුත‍්‍ර අප නොදැනීම අපෙන් පහව ගොස් ඒවා මුළු ශරීරය පුරා තවරා ගෙන අත්වල පවා ගෑවී අපට ආහාර වෙන්නත් ඇති. එසේ නොවූවා යයි කාටවත් කියන්න බැහැ. අප කෙමෙන් ඇති දැඩි වන විට මුත‍්‍ර මළමුත‍්‍ර ඇඟේ නොගා ගනිමින් පිරිසුදු කර ගන්නා , ලෝකයේ හොඳම සෞඛ්‍ය පාඩම දරුවාට කියා දුන්නේ අම්මාමයි. අපේ දෑත් ශක්තිමත්ව තිබෙනතාක් කල් මේ කාර්යය අපම කර ගන්නේ අම්මලාට ණයගැති බව මතක් කර දෙමින් නොවේද?
දරුවන් වෙනුවෙන් පියාගේ වගකීමත් මේ හා සමානව වෙනවා. රාහුල පුතු පැවිදි කළ වේලෙහි ශුද්ධෝදන පියරජුට දරු සෙනෙහස දැනුණු ආකාරය මහාවග්ගපාලියේ ඇතුළත් වී තියෙනවා. ඒ අනුව පුත‍්‍ර පෙ‍්‍ර්මය වනාහී සම සිඳී, සම සිඳ මස් සිඳී, මස් සිඳ නහර සිඳී , නහර සිඳ ඇට සිඳී. ඇට සිඳ ඇටමිදුළු කරාම ගොස් හදෙහි පතුළේම දරු සෙනෙහස කිදා බැස රැදෙන බව දක්වා තිබෙනවා.
බුදුවරුන් මෙන් දෙමාපියන් රකින උත්තම දරුවන් අපේ බොහෝ ගෙවල්වල සිටින බව අපි අමතක කරන්නේ නැහැ. එහෙත් “සිංහබාහු” ලා වගේ, දෙමාපියන්ගෙන් වෙන් වෙලා හොර රහසේ අතරමග හමු වන සෙනෙහසට ආදරයට මුවා වෙලා යන ඇතැම් දරුවන් දෙමාපියන්ගේ කීර්තිය විනාශ කරනවා. සමහර විට දෙමාපියන්ට රිදවන සැමියෙකු හෝ බිරිදක ගෙදරට අරන් එනවා. අම්මාට, තාත්තාට වඩා බාහිරින් පැමිණි සැමියාගේ හෝ බිරිඳ ගේ දුෂ්ට අදහස් වලට අනුව වැඩ කරනවා. මව් කුසේ සිට කළ සියලු උපකාර අමතක කරලා, අම්මල තාත්තල අපට මොනවද කළේ ? කියල සමහර දරුවන්ට අහන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම වූ දරුවන් ඇතැම් වෙලාවට වියපත් දෙමාපියන් ගෙදර සිරකාරයන් බවට පත් කර තිබෙනවා.
මවුපියන් වෙත උපස්ථාන කිරීම මංගල කාරණාවක් සේ දැක්වූ බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත
1. පි‍්‍රයවචනයෙන් අමතන ලෙසත්
2. ඔවුන්ව වන්දනාමාන කරන ලෙසත්
3.ගරු සැලකිලි කරන ලෙසත්
4. ගෞරවනීය ලෙස ඔවුන් ඉදිරියේ හැසිරෙන ලෙසත්
5. ඔවුන්ව ඉක්මවා නොයන ලෙසත්
6. ඔවුන් නාවා කවා පොවා ලෙඩට දුකට පිහිටවන ලෙසත්
7. මිය ගිය පසු සිහිපත් කොට පින් පමුණුවන ලෙසත් වදාළා
අපේ බුදුවරුන් වැනි මව්පියවරුන් රැක ගනිමින් පෝෂණය කිරීම දරුවන්ගේ වගකීමක්. එසේ නොකිරීමෙන් ඉබේම ඔබ වසලයන් බවට පත්වේවි