පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Wednesday, May 22, 2013

සම්මා සම්බුදු ගුණ

උපුටා ගැනීම (බුදුසරණ 2010.06.19)



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ආරකත්තා හතත්තාච
කිලේසාරීන සෝ මුනී
හත සංසාර චක්කාරෝ
පච්චයාදීනවා රහෝ
නර හෝ කරෝති පාපානි
අරහංතේන වුච්චතී”තී


මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!

 
                   කාරුණික පින්වත්නි,

ශාක්‍ය මූනීන්ද්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම් වූ උතුමන් වහන්සේ පහළවීම නිසා අප කවුරුත් හරිම වාසනාවන්තයි. ඒ බුදු සසුනේ පිළිවෙත් පුරන්න භාග්‍යය ලැබූ අප හරිම වාසනාවන්තයි. ඒ බුදුපියාණන් වහන්සේ ගැන සිතන්න හොඳ වාසනාවන් සිතක් අපි ලැබුවා. ඒ බුදු ගුණ බුදු බණ අහන්න වාසනාවත් දෙසවන් පත් ලැබුණා. බුදු ගුණයට දෝත නඟා වඳින්න වාසනාවන් දෑතක් ලැබුණා. සියලු කායික මානසික දුක් වේදනා සංහිඳුවා ගන්නට සසර දුක් නිමා කරන්නට බුදු ගුණ බුදු බණ ඔස්සෙ මහා පිහිටක් අපට ලැබුණා.
පින්වත්නි, ඔය ඇත්තන්ගෙ සිත්වලට අරහං බුදුගුණ සුවඳ බෙදා දෙන්නයි අද මගේ බලාපොරොත්තුව . ඉහත සදහන් ගාථාවෙ අදහස විමසමු. “සෝ මුනී”, ඒ මුනින්ද්‍රයන් වහන්සේ
“කිලේසාරීනං” ,කෙළෙස් නමැති සතුරන් “ආරකත්තා” , දුරු කළ නිසාත් “හතත්තාච” , කෙළෙස් නැසු නිසාත්
“හත සංසාර චක්කාරෝ - “ සංසාර චක්‍රයාගේ අර නැසු නිසාත් “ පච්චයාදීනඤ්ච ,” සියලු පූජාවනට
“අරහෝ” , සුදුසුවන නිසාත් “රහෝ” රහසින්වත්
පාපානි, “පව්කම් නකරෝති”, නොකරන ලද නිසාත්,
“තේන, ඒ ඒ කරුණු නිසාත්,” අරහං “අරිහත්ය” යි
“පවුච්චති”, කියනු ලැබේ.

මේ ගාථාවෙන් අරහං ගුණයට අර්ථ පහක් දී තිබෙනව. මුලින්ම කියැවුණේ වාසනා සහිත සියලු කෙළෙසුන් කෙරෙන් දුරු වු නිසා අරහං කියන බව. මොනවද මේ වාසනා කියල කිවුවෙ? අපි මුලිනුත් වාසනාව ගැන කතා බහ කළානෙ.
කෙළෙස් දුරුකළ මහ රහතන් වහන්සේලාගේ සන්තානවලත, කෙළෙස් දුරු නොකළ අයගෙ චිත්ත සන්තානවලත්, ඇසූ දුටු අය නොපහදින යම් යම් ගති පුරුදු තිබෙනව.
එක මහ රහතන් වහන්සේ නමක් වැඩ හිටිය බුද්ධ කාලයේ , අනෙක් අයට වසලය ආදී පහත් විදිහට කතා කළා. මේ ගැන බොහොම දෙනා නොපැහැදීමට ලක්වුණා. බුදුරජාණන් වහන්සෙ වදාළ ඒ පෙර සංසාර කෙලෙස් පුරුදු කියලා. බුදුරජාණන් වහන්සේගෙ බුදු සිතේ මේ වාසනා ගති, සංසාර කෙලෙස් පුරුදු සහමුලින්ම දුරු වුණා.
පින්වත්නි, ඔබටත් මේ වගේ ගති පුරුදු තිබෙනව නම් ඒ නරක පුරුදු දැන්ම අත හරින්න. නැතිනම් ඒවා ඔබටම දුක පිණිස පවතිනව. ඊළඟට කෙළෙස් සතුරන් කියන්නෙ කවුද? කෙළෙස් කියන්නෙ කිළිටි සිතිවිලි නරක නපුරු සිතිවිලි සිත දූෂිත කරන සිතිවිලි. අද දවස, හෙට දවස, මතුභවය සියලු අනර්ථය සිදු කරණ, දුක දොම්නස, කණගාටුව , පසුතැවිල්ල ඇති කරණ සිතිවිලිවලට කෙළෙස් කියනව. සරල නිදර්ශන කීපයක් ගනිමු.
ඔබ රූපයක් දකිනව. පිරිමි හරි ගැහැණු හරි වෙනයම් දෙයක් හරි දකිනව. දැන් ඔබේ දෑසට අරමුණක් ලැබිල. අරමුණ ගැන දැන් හිතනව. එයා හරි ලස්සනයි. කොණ්ඩය ලස්සනයි. මුහුණ ලස්සනයි. ඒ ඇඳුමට වඩාත් ලස්සනයි. ගමන ලස්සනයි. ඔය විදිහට ඒ රූපය ගැන ආශා කරණව. ඇලෙනව, බැඳෙනව, වසඟ වෙනව. දැන් ඒ සිත පුරාම වැගිරෙන්නෙ, ආශාව ,රාගය, කෑදරකම, උපාදානය, දැන් සිත කිළිටිවෙලා, කෙළෙස්බරයි. ඒ සිතිවිල්ල ඔස්සෙ උපදින්නෙ අසහනය, නොඉවසීම.
ළඟට ඇසට ලැබුණු ඒ අරමුණ ගැන අකමැත්තෙන්, නොමනාපයෙන් අසුබවාදීව සිතන්න. දැන් සිතේ පහළ වන්නෙ මොනවාද? නොකැමැත්ත, නොමනාපය, ගැටීම , තරහව, ද්වේශය, ක්‍රෝධය ,වෛරය, පලිගැනීම, ඒත් සිත කිළිටි වෙනව නේද? කෙළෙස් බරයි. ඒ නිසාවෙන් සිදු වන්නෙත් දුකම නේද? ඒ වගෙම බලන්න සමහරු ඉන්නවනෙ, අපි මහ ඉහළ කුලවල අපි ධනවත් අය අපි බලවත් අය, අපි තමා සිල්වත්, අපි තමා උගත් කිය කියා තමන්ව මැන ගන්නව. ඔය මැන ගැනිල්ල තමා මානය කියන්නෙ, ඒකත් සිත කිළිටි කර ගැනිල්ලක්.
මහා අසහනයක් දුකක්, අනුන්ගෙ දියුණුව, සැපත දැකල සමහරු ඊර්ෂ්‍යා කරණව. කෙළෙස් , රූප, ශබ්ද, ගන්ධ, රස, සපර්ශ, අරමුණු, මේ හැම දේ ගැනම ඇතිවන ඇලීම ගැටීම සිතට මහ බරක්, ජලයට දුගඳ, සුගඳ කොයිදේ එකතු වුණත් වෙන්නෙ දූෂිත වෙන එකනෙ. ඒ දෙකම නැති ජලය ඉතාම පිරිසුදුයි. ඒ වගෙ ඇලීම ගැටීම සහමුලින් නැති කළ සිත ඉතාම පිරිසුදුයි. බලගතුයි. බුදුරජාණන් වහන්සේගෙ බුදු සිතත් එබඳුයි.
බුදුපියාණන් වහන්සෙ තමන් වහන්සෙගෙම නුවණින් රාග, ද්වේෂ, මෝහාදි සියලු කෙළෙස් සතුරන් සිඳ දැමුව , සංසාර බැමි සහමුලින් සිඳ දැමුව.
සසර සංසාරෙ කියන්නෙ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙහෙම.
“ඛන්ධානං පටිපාටි ධාතු ආයතනනාන්ච
අබ්බොජ්චින්නං වත්තමානං - සංසාරෝති පවුච්ඡතී”

“ඛන්ධානං” පඤ්චස්කන්ධයන්ගෙන් -ධාතු ආයතනානිච,
අටළොස් ධාතු සහ ආයතන හයක් “අබ්බොෂ්චින්නං”

නොසිඳීමෙන් “වත්තමානං” පවත්නා “ පටිපාටි” , පිළිවෙල
“සංසාරෝති” සංසාරයයි
“පවත්තති” කියනු ලබනව.

මොනවද පඤ්චස්කන්ධ? ඔබටත් මටත් භවයෙන් භවය නොසිඳී පවතින,රූප වේදනා සංඥා සංඛාර ,විඤ්ඤාණ කියන පහට අටළොස් ධාතු කියන්නෙ මොනවාද?
ඒ තමා චක්ඛුධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු , සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාණ ධාතු, ගන්ධ ධාතු, ඝාණ විඤ්ඤාණ ධාතු, ජිව්හා ධාතු, රස ධාතු, ජිව්හා විඤ්ඤාණ ධාතු, කාය ධාතු ඵොට්ඨබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු ඊළඟට ආයතන හය නැත්නම් සළායතන කියන්නෙ මොනවද? චක්ඛායතන සෝතායතන ඝාණායතන ජිව්හායතන , කායායතන, මනායතන, ඒ වගේම බාහිර ආයතන හයකුත් තියෙනව. ඒ තමා රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, ඵොට්ටබ්බායතන ධම්මායතන, මේ සියලුම දේ නොසිඳී පැවතගෙන එන පටිපාටියට තමා සංසාරය කියන්නෙ. මේවා ඉපදී ඉපදී මැරී මැරී නොයෙක් ගතිවල නැවත ඉපදෙමින් ගමන් කරණ හින්දයි සංසාර චක්‍රය කියන්නෙ.
අපි දැන් පඤ්චස්කන්ධය ගැන විස්තර ටිකක් සොයා බලමු. මෙයින් රූප නැත්නම් රූපස්කන්ධ ගැන විමසමු. පඨවි ධාතු හෙවත් තද බවින් යුක්ත කොටස් ආපෝ ධාතු හෙවත් වැගිරෙණ ජලය වැනි කොටස් තේජෝ ධාතු හෙවත් ශරීරයේ සිසිලස හරි උණුසුම හරි වායෝ ධාතු හෙවත් වැනෙන , සැලෙන ගතියෙන් යුක්ත දේවල්. අපේ ශරීරය කුණප හැටියට කොටස් තිස් දෙකකට බෙදෙනව. කුණප කියන්නෙ කුණු ගඳ ගහන, කුණුවෙන කියන එක මොනවද ඒ කොටස්? කෙස්,ලොම් , නියපොතු, දත්, සම, මස්, නහර ඇට, ඇට මිදුළු, වකුගඩු, හෘදය, අක්මාව, ඇලදිව, බඩදිව, පපුමස, පැසුණූ ආහාර, නොපැසුණු ආහාර , උදරය , අශුචි, හිස් මොළ කියන මේවා තද මොළොක් ගතියෙන් යුක්තයි. පඨවි ධාතුවට අයත් පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදය, කබ, කඳුළු , කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍ර වගෙ දියර කොටස් ආපෝ ධාතු, ශරීරයේ පවතින උණුසුම සිසිල්බව තේජෝ ධාතුවට අයත් අපි ගන්න හෙලන සුළඟ ශරීරයේ තැනින් තැන දිව යන සුළඟ, වායෝ ධාතුව ඒ වගෙම රූප දැකීමට මුල්වන ඇහේ ඔප ගතිය හෙවත් චක්ඛු ප්‍රසාදය, ශබ්ද ඇසීමට මුල්වන සෝත ප්‍රසාදය, ගඳ සුවඳ දැනීමට මුල් වෙන ඝාන ප්‍රසාදය, රස දැනීමට මුල් වෙන ජිව්හා ප්‍රසාදය, පහස දැනීමට මුල්වෙන කාය ප්‍රසාදය, ඇසට අරමුණූ වන රූපාරම්මනය, කණට අරමුණු වන ශබ්දාරම්මනය, නාසයට අරමුණු වන ගන්ධාරම්මනය, කයට අරමුණු වන ස්පර්ශය, ස්ත්‍රිභාවය හඟවන , ස්ත්‍රිභාව රූපය, පුරුෂ භාවය හඟවන පුරුෂ භාව රූප හදය වස්තුරූපය ,ජීවිතේන්ද්‍රිය, වැනි දහ අට වැදෑරුම් රූප රූප්කන්ධයට අයිතියි. මේ හැම රූපයක්ම කැඩෙනව, බිඳෙනව, කුණු වෙනව, ලෙඩ වෙනව, ජරා වෙනව, ගඳ ගහනව, විනාශවෙන සුළුයි, මේව කාගෙද? මම කියන එක්කෙනාගෙ මගේදැයි සිතා බලන්න.
ඊළඟට වේදනාස්කන්ධ විඳීම් ගොඩ ඒ මොනවද? සැප විඳීම දුක් විඳීම මධ්‍යස්ථ විඳීම සොම්නස දොම්නස වගෙ හැම විඳීමක්ම මීට අයත්. මේව කාගෙ විඳිම්ද? කවුද විඳින්නෙ? මම විඳින්නෙ. මගේ විඳිම්, මේ විඳීම් තමා ජීවත් වෙනව කියන්නෙ. ඒකට ලොකු පොඩි භේද නැහැනේ. හැම විදිහයකම හඳුනා ගැනීම් සංඥාස්කන්ධ සංස්කාර කියන්නෙ කළ කී දේවල එකතුව. පින් එක් රැස් කරණ වනෙ .
මිය ගිය අයට පින් දෙන්න, අපල උවදුරු ගෙවෙන්න. ජනපි‍්‍රය වෙන්න, දෙව් මිනිස් සැප ලබන්න , පරලොව සුගතිගාමි වෙන්න. ඒ වගෙ නොයෙක් බලාපොරොත්තු ඉටු කර ගැනීමෙ ආශාවෙන් කරන පින්කම් පුඤ්ඤාභිසංඛාර කළ කී හැම පවක්ම අපුඤ්ඤාභිසංඛාර, ධ්‍යාන, සෘධිබල ලැබීමේ ආශාවෙන් කරන සමථ භාවනාවලින් ලබන අනේඤ්ඤාභි සංඛාර මෙම සංස්කාරස්කන්ධයට අයිතියි. ඔය ගොඩටද ඔබත් වැටිල ඉන්නෙ?
කාමාවචර ,රූපාවචර, අරූපාවචර , ලෝකෝත්තර හැටියට බෙදී යන සිත්වල එකතුව තමා විඥානස්කන්ධ මේ පඤ්චස්කන්ධය හදා ගත්තෙ අපිමයි. මම , මට, වගේ කියල උපාදානයෙන් බැඳි බැඳි අපි අපිමයි මෙය හදා ගන්නෙ. අපේ බුදුරජාණන් වහන්සේ මේ පඤ්චස්කන්ධය හට ගැනීමෙ හේතු සියල්ලම, සසර බැමි සියල්ලම සහමුලින් නැති කළා. මේ නිසාම උන් වහන්සේගෙ සිත අරිහත් වුණා. වන්දනීයාති වන්දනීය වුණා. පූජනීයාති පූජනීය වුණා. පරම පූජාර්හ වුණා. සියලු පුජාවනට සුදුසු වුණා. ඒ බුදු සිතේ රහසින්වත් පාප සිතිවිල්ලක් පහළ වුණේ නැහැ. එවැනි උතුම් බුදු සිතක පිරිසුදුකම මොන තරම්ද කියල වර්ණනා කරල අවසන් කළ නොහැකියි.බුදුරජාණන් වහන්සෙගෙ

අරහං බුදු ගුණය මෙනෙහි
කිරීමෙන් පවා
සිත පිරිසුදු වෙනව. සිත සන්සුන් වෙනව.
“අරහං අරහෝති නාමේන
අරහං පාපං නකාරයේ
අරහත්ත ඵලං හෝතී
අරහං නාමතේ නමෝ
අරහං බුදු ගුණ සිසිලසින් ඔබ සැමට යහපත උදාවේවා! බුදු සරණයි

ඇලීම අත්හැර සැනසීම ලබන්න

උපුටා ගැනීම(බුදුසරණ 2013.04.25)



නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අචිචෙන්තිකාල තරයන්ති රත්තියො
වයො ගුණා අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණෙ පෙක්‍ඛ මානො
ලොකාම්සං පජතෙ සන්තිපෙක්ඛා

ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි,
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ සඳහන් ඉතා වැදගත් ගාථාවක් පළමුව දැක්වෙනවා. මේ ගාථාව දේශනා කිරීමට හේතු වූයේ දෙවියකු විසින් දක්වන ලද අදහසක් නිමිතිකොට ගෙනයි. බුදුරදුන් ජේතවනාරාමයේ වැඩ සිටිය දී ‘නන්ද’ නමින් හැඳින් වූ දෙවියකු එක්තරා දිනක මධ්‍යම රාත්‍රියේ දී පැමිණ ගාථාවකින් කදිම අදහසක් ප්‍රකාශ කළා. එයින් පැවසෙන්නේ කාලය අනුක්‍රමයෙන් ගෙවෙමින් ගමන් කොට රෑ දවල් ඉක්ම යන බවත්, ඒ අනුව සියලු සත්ත්වයන් ජීවත් විය යුතු කාලයද අනුක්‍රමයෙන් අවසන් වෙමින් මරණයට පත්වීමේ බියත් ඇති කරන බවයි. මෙසේ මරණයට මුහුණ පෑමට පෙර සෑම දෙනාම සැප ලබා ගැනීමට කැමැති නම් නොපමාව පින් කරන්න ඕන යන අදහස ‘නන්ද’ නම් දෙවියා බුදුරදුන් හමුවේ ප්‍රකාශ කළා.
ඔරලෝසුවක් ‘ටික් ටික්’ යන හඬ නඟමින් තත්පර ගණන් ගෙවා අවසානයේ පැය ගණන් ද ඉකුත් වීමෙන් දිවා රෑ අවසන් කොට ගමන් කිරීමෙන් එක් අවුරුද්දක් අවසන් කරනවා. මෙයට දින කීපයකට පෙර එවැනි අවුරුද්දක් ගෙවී ගොස් සිංහල අලුත් අවුරුද්ද එළඹීමත් සමඟ මේ රටේ බොහෝ අය රතිඤ්ඤා පත්තු කළා. පී‍්‍රතියෙන් උදම් ඇනුව පෞද්ගලික මට්ටමින් සලකන විට ලෝවැසි සෑම දෙනා ම අවුරුද්දේ සියලු දිනයන් අතුරෙන් එක දිනයක කිරිබත් හෝ කේක් කමින් පී‍්‍රතියට පත් වෙනවා. ඒ උපතින් වසරක් ගෙවා තමා උපන් දිනය එළඹීම නිසයි.
වසරක් ගෙවී තවත් වසරක් ගෙවේ නම් උපන් දිනයක් ළඟා වූයේ ය යන අදහස ගැඹුරින් සලකන විට පෙනී යන්නේ ජීවත් විය යුතු ආයු ප්‍රමාණයෙන් එක් වසරක් අඩු වූ බවයි. යම් කෙනෙකුගේ ආයුෂ අවුරුදු අනූවක් සේ සිතුවොත් ඒ බව දැන සිටින තැනැත්තාට තම ආයුෂ අසූ අට නොවේ නම් අසූනවය එළඹුනු කල්හි මා ජීවත් වන්නේ තව වසර දෙකක් හෝ එකක් පමණක් යයි සිහියට නැගුණු විට කලින් මෙන් රතිඤ්ඤා පත්තු කරමින් හෝ කිරිබත් නොවේ නම් කේක් වැනි දේ භුක්ති විඳිමින් සතුටින් ජීවත් විය හැකි දැයි සිතා බලන්න. මා මරණයට භය නෑ යයි සමහර අය ප්‍රකාශ කළත් විචාරාත්මකව සිතන විට පෙනී යන්නේ උපන් සෑම දෙනාම මරණය නිසා බියට පත්වන බවයි.
දෙවියන් බුදුරදුන් හමුවෙහි ප්‍රකාශ කරන ලද්දේ මොහොතක් පාසා අපගේ ගත මෙන්ම සිත ද ඇතිව, පැවැතී, විනාශයට පත් වෙමින් ගමන් කරන බවයි. අභිණ්හ පච්චවෙක්ඛිතබ්බ සූත්‍රයේ දී සෑම දෙනාම නිරන්තරයෙන් සිහියේ තබා ගත යුතු යයි පෙන්වා දුන් කරුණු අතුරින් කවර හෝ අවස්ථාවක හුස්ම ටික හෙළන්නට සිදුවන බව සිත්හි තබා ගෙන කටයුතු කළ යුතු බව සඳහන් වෙනව. එසේ නම් ඒ බිය ජනක මරණයට මුහුණ පෑමට පෙර මතු තමන්ට අවශ්‍ය සැප සම්පත් ලබා ගැනීම සඳහා ‘පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි’ යනුවෙන් පින් කරන්නය යැයි දෙවියන් ප්‍රකාශ කළා.
සැප ලැබීම සඳහා බුදුරදුන් පෙන්වා දුන් ප්‍රධාන පින්කම් තුනකි. එනම් දාන, සීල, භාවනා යන ඒවාය. සත්ත්වයා මැරෙමින් නැවත ඉපදෙමින් මේ සසර ගමන් කිරීමට ප්‍රධාන හේතුව තණ්හාව බව බුද්ධත්වයට පත්ව ප්‍රථමයෙන් දේශනා කළ ‘දම්සක් පැවතුම්’ සූත්‍රයේ දී ‘යායංතණ්හා පොනෝභවිකා’ යනුවෙන් පෙන්වා දුන්නා. බලවත් දුක ඇති කිරීමට දැඩි ලෙස බලපාන මේ තණ්හාව තරමක් හෝ දුබල කළ හැක්කේ පරිත්‍යාගය හෙවත් දීම නිසායි. ඒ උතුම් ක්‍රියාව ත්‍රිවිධ කුසල ක්‍රියාවන් අතුරෙන් ප්‍රථමයෙන් දැක්වෙනවා. දෙඅත් දෙපා ආදී අවයවයන් මෙන්ම ඇස් කන් නාස් ආදී ඉන්ද්‍රියන් ද සමඟ සෑම දෙනෙකුගේම කට නුසුදුසු අන්දමට නොයොදවා මැනවින් සංවර කර ගැනීම සීලයට අයත් වෙනවා. එහෙත් මොන තරම් දන් දුන්නත් කවර අන්දමේ උසස් පරිත්‍යාග කළත්, මුළු ශරීරයම මනා වූ සංවරයෙන් තබා ගෙන ජීවත් වූවත් ඒවා තුළින් සදාකාලික ශාන්තිය හෙවත් සැපත ළඟා කරගන්න පුළුවන්කමක් නෑ.
දානය හෙවත් පරිත්‍යාගය තුළින් කාමාවචර කුසල් රැස් වෙනවා. ඒ කුසල් නිසාම කිසිවෙකුට පරම සැපත උදාකර ගන්න බෑ. සිදු වන්නේ අපමණ සැප ඇති සදෙව් ලොවෙන් එකක නැත්නම් අප ජීවත්වන මනුෂ්‍ය ලෝකය යන කාම ලෝක සතෙන් එකක උත්පත්තිය ලබා ගැනීමයි. මෙලොව වශයෙන් සැළකුවත් මේ දක්වා අතීතයේ සිදු කරන ලද සාමාන්‍ය අකුසල කර්ම වලින් ලැබෙන්නට තිබෙන විවිධ කරදර ලෙඩ දුක් බොහෝ දුරට මැඩ පවත්වා සැපවත්ව ජීවත් වීමට එදිනෙදා සිදු කරන දාන ශීල යන ද්විද යහපත් ක්‍රියාවන් හේතු වෙනවා. සෑම ලෝකයකටම උපත පවතින නිසා ඒ සමඟම ජරාව, ව්‍යාධිය සමඟ මරණය යන තුන් බිය පහ වී නැති බවත් ඒ නිසාම ශෝක, පරිදේව, ඇතිවන බවත් සිතට ගන්න ඕන.
සැප ලැබීමට පින් කරන්නයයි දෙවියන් සඳහන් කළ අදහස තාවකාලික සැපයකට පමණක් හේතුවන නිසා ඒ අදහස සම්පූර්ණයෙන් බුදුරදුන් අනුමත කළේ නෑ. ‘ලෝකාමිසං පජහේ සන්ති පෙෙක්‍ඛා’ යනුවෙන් ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් ආහාර කොට ගන්නා රූපාදී ආරම්මණයන්ගෙන් ඉවත්වීමේ අවශ්‍යතාව උන්වහන්සේ අවධාරණය කොට වදාළ අපේ සිත, ඇස උපයෝගී කොට ගෙන විවිධ රූපවල ඇලෙනවා. එසේ නැතිනම් අපේ සිත කණ උපයෝගී කොටගෙන විවිධ ශබ්ද වල ඇලෙනවා. මේ අන්දමට නාසය, දිව, ශරීරය යන මේවා පිළිවෙළින් ගඳ, රස, ස්පර්ශ යන ඒවාට ආසා කරමින් ඇලෙනවා. ‘යායං තණ්හා නන්දිරාග සහගතා’ යනුවෙන් බුදුරදුන් දක්වා වදාළේ එයයි.
මේ ඇලීම, තණ්හාව, ආශාව, කාමය ආදී විවිධ වචන වලින් ධර්ම ග්‍රන්ථයන්හි දක්වා තිබෙනවා. දැල් වූ ගිනි හුලක් අනුක්‍රමයෙන් දැවෙමින් අවුත් අවසානයේ තමාගේ ශරීරයට ද විපත්ති කරනවා. ඉතා ලස්සනට පෙනෙන ගිනි අඟුරු ගොඩට රැවටී වැළඳ ගන්නට ගියහොත් දරුණු ලෙස පිළිස්සෙනවා. යම් කෙනෙක් සර්පයෙකුගේ හිස ළඟින් අල්ලා ගතහොත් බුරුල් කොට අතහරින්ට සැරසෙත්ම දෂ්ඨ කිරීමෙන් බලවත් සේ විපතට පත් වෙනවා. මෙවැනි උපමා ගෙන හැර දක්වමින් දේපල හා වස්තුවට පමණක් නොව රූප, ශබ්ද ආදිය කෙරෙහි ඇලීම නිසා බලවත් දුක් උපදින බව බුදුරදුන් පෙන්නා දී තිබෙනවා.
සැපයයි සිතා ගමන් කරන කාමසුඛල්ලිකානු යෝගී ජීවන ක්‍රමය යහපත පිණිස හේතු නොවන බවත්, සම්පූර්ණයෙන් අනාර්ථකාරී වන බවත් බුදුරදුන් පෙන්නා දී තිබෙනවා. ඇතිනම් සැපයයි කියා සිතුවත් ඒ ඇතිකමම දුකට හේතුවන බව සිතන්න ඕන. අප ලබා ඇති මේ මනුෂ්‍ය තත්ත්වය පුදුම මහන්සියකින් කුසල් රැස්කොට ගැනීමෙන් හිමි කොට ගත් එකක්. ඒ ලබා ඇති මනුෂ්‍ය ජීවිතය තමාට ම බරක් නොවන ලෙස සැහැල්ලු අන්දමට පවත්වාගෙන යාම අපේ වගකීම. අද සමාජයෙහි බොහෝ අය ගේ, දොර, යාන, වාහන, ඇඳුම්, පැළඳුම්, කෑම්, බීම් ආදී බාහිර දේ කෙරෙහි බෙහෙවින් ඇලුම් කරනවා. ඒවා ලබා ගැනීමට උත්සාහ කරනවා. එහෙත් අවශ්‍ය කරන්නේ බාහිර ආටෝපවත් අනර්ථකාරී පැවැත්මට වඩා අභ්‍යන්තරය සාරධර්මයන්ගෙන් සපිරුණු අධි ප්‍රඥාව උදාකරගත හැකි මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමයි. ඒ සඳහා ත්‍රිවිධ කුසල ක්‍රියාවන්ගෙන් පෙන්වා දුන් භාවනාව කෙරෙහි අපේ අවධානය යොමු වන්න ඕන. එවිට බාහිර සැප සම්පත් වලට වඩා ලෝකෝත්තර සැපත උදාකර ගැනීමට ඇති එකම මඟ විදර්ශනා ප්‍රඥාව උපදවා ගැනීම බව අවබෝධ වෙනවා. ඒ මඟින් ලෝකයේ ඇති සෑම දේකම අනිත්‍ය ස්වභාවයත් ඒ නිසාම දුක් හටගන්නා බවත්, එසේ වීමට හේතුව මගේයයි ගත හැකි කිසිවක් නැති බවත් අවබෝධ කර ගන්න පුළුවනි. සැපත උදාකර ගැනීමට ඇති මඟ මෙයයි.

ඔබ සැමට සැප ලැබේවා!

Tuesday, December 25, 2012

සිවු සඟරා වත

උපුටා ගැනීම (බුදුසරණ 2010.01.07)



ලොවුතුරා දහම තුළින් අප සසර ගමන කෙටි කර ගැනීමට ලැබෙන ශක්තිය අප්‍රමාණ ය. අප කාගේත් දිවි පවත්නා කාලය ඉතා අල්ප ය. ඒ අල්ප දිවියෙන් පිනට දහමට යොමු කෙරෙන කාලය බොහෝ සෙයින් ඊටත් වඩා අල්ප ය. ගෙවී ගෙන යන කාලය පිළිබඳව සිතා බලන හැම විට අතීත ආවර්ජනයේදී සතුටුවීමට හැකි අතීතයක් තිබේ ද?. නොමැති නම් අනාගත කාලය සුචරිත දහමින් ආලෝකවත් කර ගන්නට වර්තමානය පිරිසුදු පිවිතුරු කර ගත යුතු කාලය එළඹී ඇත.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස


‘’චත්තාරිමානි භික්ඛවේ සගහවත්ථුනි කතමානි චත්තාරි දානං, පෙය්‍යවජ්ජං, අත්ථචරියා සමානත්තතා ඉමානි ඛො භික්ඛවේ චත්තාරි සංග්‍රහ වත්ථුනීති’

තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොවට වැඩ පිණිස දේශනාකොට වදාළ කරුණු හතරක් ඉහත සූත්‍ර පාඨයට ඇතුළත් වේ. එනම් දානය, පි‍්‍රය වචනය, අර්ථය පිණිස කටයුතු කිරීම, සමානාත්මතාව - දුක සැප සමව බෙදාගෙන ජීවත්වීම යන ඒ සතර කරුණුය.
මෙ කරුණු හතර මිනිස් වර්ගයා තුළ දියුණුකර ගැනීමෙන් සිදුවන යහපත විමසා බලමු. නව වර්ෂයකට පියමං කරන අප විසින් ගෙවී ගිය කාලයට වඩා එළඹෙන කාලය යහපත් කර ගැනීමට මෙම කරුණු සතර දියුණු කිරීම සඳහා අධිෂ්ඨාන කළ යුතුව ඇත.
සුගත තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල සම්බුදු සසුන අපට දායාද වූයේ සංසාරගත මහානුභාව සම්පන්න කුසල ශක්තිය නිසා බැව් අප නිතර සිහි කටයුතුය. ලොවුතුරා දහම තුළින් අප සසර ගමන කෙටි කර ගැනීමට ලැබෙන ශක්තිය අප්‍රමාණය. අප කාගේත් දිවි පවත්නා කාලය ඉතා අල්පය. ඒ අල්ප දිවියෙන් පිනට දහමට යොමු කෙරෙන කාලය බොහෝ සෙයින් ඊටත් වඩා අල්ප ය.
ගෙවී ගෙන යන කාලය පිළිබඳව සිතා බලන හැම විට අතීත ආවර්ජනයේදී සතුටුවීමට හැකි අතීතයක් තිබේ ද?. නොමැති නම් අනාගත කාලය සුචරිත දහමින් ආලෝකවත් කර ගන්නට වර්තමානය පිරිසුදු පිවිතුරු කර ගත යුතු කාලය එළඹී ඇත.
මන්ද යත් වසරක් නිමා වී නව වර්ෂයකට පා තබන මොහොතේ අප ජීවිත සමාපත්තියට යොමුවිය යුතුය. ගතකළ ජීවිතය පිළිබඳව ආපසු හැරී බැලිය යුතුය. අප කාගේත් යම්යම් මතකයේ පවතින විශේෂ දිනයන් අනුස්මරණය කරනු ලැබේ. එනම් ජන්ම දින විවාහ පත් වූ දින ආදී වශයෙනි. එම දිනයන් ඇතැම්විට අනුස්මරණය කිරීම යථාර්ථයෙන් තොරව ඇතැම් අයකු සිදු කරනු දැකිය හැකිවේ. සමහර කුඩා දරුවන්ගේ ජන්ම දින සමරන ඇතැම් මව්පියන්ගේ බහුරු කෝලන් හා වැරැදි ආදර්ශ දෙන අවස්ථා ගැන දක්නට ලැබේ. මවුපියවරුන් ඥාතීන් හිතවතුන් ඒකරාශිකර විවිධ සාද පවත්වා ආශිර්වාදයන් හෝ සුබ පැතීමක් අපේක්ෂා කැරේ.
එම නිසා යම් යම් විශේෂ සන්ධි ස්ථානයන් සිහි කරන මොහොතේ ලොව්තුරා දහම මුසුව ඒ දිනයන් සැමරීම තුළින් මහත් ලෝක ශාන්තියක් ඉටුවන්නේ ය. එම නිසා මේ එළඹෙන වර්ෂය නව සුබ වර්ෂයක් කර ගැනීමට අප හැම අධිෂ්ඨාන කර ගන්නවා නම් වියයුත්තේ ගතකළ වර්ෂය තුළ අප සිත, කය, වචනය යන තිදොරින් සිදු වී ඇති අඩුපාඩු , හොඳ නරක දෑ පිළිබඳව ආවර්ජනා කිරීමයි. නොදැන හෝ සිදු වී ඇති කාය දුශ්චරිතාදී අකුසලයන් නැවත මේ වර්ෂය තුළත් ඉදිරියටත් නොවීමට අදිටන් කර ගැනීමයි.
සිදු කොට ඇති මව්පිය උපස්ථානාදී කුසල ධර්මයන් නැවත නැවතත් තම දිවිය සාර්ථක කරගන්නට රත්නත්‍රයේ ආශිර්වාද ලබා ගැනීමය. එම නිසා නූපන් අකුසල් නූපදවා ගැනීමට අධිෂ්ඨාන කළ යුතුය. උපන් කුසල් වැඩිදියුණු කර ගැනීමට අදිටන් කළ යුතුය.
තිදොරේ සංවරය ඇතිකරලමින් සදාචාර සම්පන්න ඇවතුම්, පැවතුම් ඇති ගුණ ගරුක දිවියක් ගෙවීමට අධිෂ්ඨාන කරගත යුතු කාලයත් මිනිසත් බව ලබා ඇති කාලය වේ. එලඹෙන වර්ෂයට පා තැබුණ මොහොතේ කළයුතු වන්නේ අප නිරතුරු අප දිවිය පිවිතුරු කරන ඉහත කරණු හතරට අපගේ අවධානය යොමු කිරීම තුළින් ඒ සුචරිතවත්බව අප තුළ ක්‍රමයෙන් දියුණු කර ගැනීමය.
දැඩි ලෝභයෙන්, මුසපත් නොවී තම ආහාර වේලෙන් කොටසක් හෝ සතෙකුට පවා දීමෙන් හෝ දාන චේතනාව දියුණු කළ හැකිය. දීම අන් අයට හිතවත් පුද්ගලයෙකු කරගන්නේය. පි‍්‍රය පරිවාර සම්පත් ලබන්නෙකු වන්නේය.
පි‍්‍රය මව්පියන් හිතවතුන් ලැබීමට හේතු වන්නේය. දානය හෙවත් පරිත්‍යාගය තිදොරම පිරිසුදු කරන මාහැඟි කුසල කර්මයක් වන්නේය. එබවැනින් මේ වර්ෂය තුළ දානය හැකි තරම් සිදු කර ගැනීමට අධිෂ්ඨාන කළ යුතුය.
අප නිවස තුළ සමගිය සමාදානය ඇතිවන්නේ පි‍්‍රය වචනය තුළිනි. බොරුවෙන් කේලමෙන් පරුෂ, හිස් වචනයෙන් වෙන්වීම තුළින් අපගේ වාචසික සංවරය තුළින් අප අන් අයට පි‍්‍රයශීලි පුද්ගලයෙක් වන්නේය. එ බැවින් පි‍්‍රය වචනය අප දිවිය තුළ වචනයෙ පිරිසුදු බවටත් පරිවාර සම්පත් ලබන්නටත් අප අපගේ විශ්වාස කටයුතු පුද්ගලයෙකු වන්නටත් හේතු වන්නකි. තමාටත් අන් අයටත් අර්ථ පිණිස හැසිරීම අර්ථචර්යාවයි.
කාය දුෂ්චරිතාදී අකුසල කර්මයන්ගෙන් බැහැරව අර්ථ පිණිස, තමන්ටත් අන් අයටත් යහපත පිණිස කටයුතු කිරීම වනාහී මහා කල්‍යණ ගුණැතියන් විසින් සිදු කරන්නෙකි.
සැමගේ දියුණුවට අර්ථයෙන් අනුශාසන කරමින් පරහිතකාමීව තද මසුරු අය ත්‍යාගශීලින් කරවීම,නොහික්වුණු පුද්ගලයා හික්මවාලීම ආදී වශයෙන් අවිචාරී පුද්ගලයා සදාචාර සම්පන්න කිරීම ධර්ම දේශනා කරවීම, ධර්ම සාකච්ඡා කිරීම, උපදේශන පැවැත්වීම ආදි තුළින් අපට අර්ථය පිණිස කටයුතු කළ හැකි වේ. තථාගත බුදුපියාණන් වහන්සේ සෑම බුදු ගුණයන් තුළින්ම අර්ථය පිණිස කටයුතු කර ඇති ආකාරය සිතා බලා ඒ සම්බුදු සිරිත ආදර්ශයට ගන්න.
මේ නව වසර තුළ සතර සංග්‍රහ වස්තුවෙන් සියලු ලෝ වැසියන් සම මෙත් සිතින් කටයුතු කිරීමට ශක්තිය ලැබේවා!

Saturday, December 15, 2012

දුරුතු මහේ සඳ එළියෙන් නව වසරක සාර්ථක ගිහි ජීවිතයකට මග

උපුටා ගැනීම (බුදුසරණ 2009.12.31)





නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
භූතත්තා භොගා භතා භච්ඡා - විතිණ්ණා ආපදාසුව
උද්ධග්ගා දක්ඛිණා දින්නා - අථො පඤ්ච බලීකතා
උපට්ඨිතා සීලවනෙතා - සඤ්ඤතා බ්‍රහ්ම චාරියො
යදත්ථං භොග මිච්ඡන්ති - පණ්ඩිතො ඝර මාවසං
සොමෙ අත්ථො අනුප්පතෙතා - කතං අනනු තාපියං
එතං අනුස්සරං මච්චෝ - අරියධම්මෙඨි තොනරො
ඉධචෙව නං පස්සන්ති - පෙච්ච සග්ගෙ පමෝදති”


පින්වත්නි ...

බෞද්ධ අප හැම කෙනෙක් තුළම විවිධ බලාපොරොත්තු බොහොමයක් තිබෙනවා. ඒ අතර අපේ ජීවිතයේ තීරණාත්මක බලාපොරොත්තු තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කළ දහම අප බලාපොරොත්තු වන ඒ සියලු සිතුම් පැතුම් ඉටු කරගැනීමේ මාර්ගයකි. අද ධර්ම දේශනාවෙන් අප මේ මාර්ගය කුමක් දැයි තේරුම් ගැනීමට උනන්දු වෙමු.

වසරක් ගෙවී අවසන් වී නව වසරක උදාව ජන හදවත් තුළ බොහෝ ප්‍රාර්ථනා ඇතිවන කාලයකි. උදාවන නව වසර අර්ථවත් කර ගැනීම අපේ අධිෂ්ඨානය කර ගනිමු. අපේ ජීවිතය වැදගත් ලෙස ඉදිරියට ගෙන යාමට වැදගත් වන කරුණු දෙකක් තිබෙනවා.

එනම්
1.උත්සාහය සහ
2.වාසනාව යි

උත්සාහය හා වාසනාව අපේ ජීවිත සාර්ථක කරගැනීමට ඉතාමත් වැදගත් වන කරුණු දෙකකි. මේ ජීවිතය සාර්ථක කර ගැනීමටත් සියලු දුක් නසා නිවන් අවබෝධ කර ගැනීමටත් අප උත්සාහ විය යුතුයි. මේ එළැඹෙන නව වසරේ අපි එය අධිෂ්ඨාන කරගෙන වැඩ ආරම්භ කල යුතු වෙමු. නිවන් මාර්ගයේදී මෙම උත්සාහය “සම්මා වායාම “ යන්නෙන් දක්වා තිබෙනවා. සම්මා වායාමය ඔබේ නව වසර සාර්ථක කර ගැනීමට වඩාත් යෝග්‍ය වෙනවා. එනම් ගෙවී ගිය වසර තුළ ඔබෙන් සිදුවූ වැරැදි අඩුපාඩු අත් හරින්නට,
ඔබ විසින් කරන ලද තමාට හා අන්‍යයන්ට යහපත් වූ කටයුතු තවත් ඉදිරියට ඉටු කර ගෙනයන්නට,ඔබට මෙතෙක් කරගැනීමට අතපසු වූ යහපත් කටයුතු ආරම්භ කරන්නට, ඔබේ අතින් යළි කිසිදු අයහපත් කටයුත්තක් සිදු නොවන්නට යන මෙම කාරණා ඉදිරි වසර ජය ගැනීමට ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. අතීතය දිහා කල්පනා කර කර ජීවිතය තැවෙන මිනිස්සුන්ට කවදාවත් සාර්ථක ජීවිතයක් ගත කරන්න බැහැ. ඊට හේතුව බුදු දහම උගන්වන්නේ සංසාර ජීවිතය ජය ගන්න ක්‍රමයයි. අතීතය සුමිහිරි හෝ අමිහිරි වෙන්න පුළුවන්. ඒත් එය අනාගතය සාර්ථක කරගන්න මාවතක් කරගත යුතුයි. මේ මොහොත අතීතයට හා අනාගතය යන දෙකටම අයිතියි. අතීතයේ සිට මේ මොහොත ගැන සිතුවොත් එය අනාගතයයි. දැන් මේ මොහොත වර්තමානයයි. මේ මොහොත පසු වූ විට එය නැවත අතීතයයි. එනිසා ජීවිතය සාර්ථක කරගැනීමට වටින්නේ මේ මොහොතයි. අංගුලිමාල , පටාචාරා, කිසාගෝතමී,අම්බපාලි, වැනි සමාජයේ ජීවත් වූ ඒ හැම දෙනාගේම අතීතය අමිහිරි වුවත් ඒ අය ධර්මය තුළින් තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගන්නට උත්සාහ කළා. එහි ප්‍රතිඵලය නම් සමාජයේ කොන්වී සිටි ඔවුන් සමාජය ගරුකරන පූජනීයත්වයට පත්වුනා. එනිසා ජීවිතය වාසනාවන්ත වීමට උත්සාහය හැම අතින්ම වැදගත් වනවා.
වාසනාව නැතිව උත්සාහයේ නියම ප්‍රතිඵල ලබන්න බැහැ. කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. මම කෙතරම් උත්සාහ කලත් වාසනාව නැති නිසා උත්සාහවීමේ තේරුමක් නැහැ කියල. ඒක වැරැදියි. අපි දැනගන්න ඔය වාසනාව ලැබෙන්නේ කොහොමද කියලා. වාසනාව ලැබෙන්නේ අප කරන ලද කුසල් අනුවයි. අපි සමාජයට, ලෝකයාට අනෙකුත් සත්වයන්ට පිරිසුදු සිතින් කරනු ලබන පරිත්‍යාගයන් වල ප්‍රතිඵලය වාසනාවයි. එනිසා වාසනාව නැත්නම් එය ඇති කරගන්නට වෙහෙස විය යුත්තේද තමා මයි. ඔබ ඔබේ ජිවිතය තුළ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී අන් අයගේ යහපතට සේවයක් කරන්න. එවිට ඔබට වාසනාව ලැබෙනු නො අනුමානයි. එනිසා උත්සාහයත් වාසනාවත් දෙකම ඇති කරගත හැක්කේ ඔබට මයි. ඒ තුළින් මේ වසර සාර්ථක සුබ නව වසරක් බවට පත්කරගන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සමාජයට අවබෝධ කරගන්න බැරිවීම නිසා සමාජය ධර්මයෙන් ඇතැම් විට ඈත් වෙලා. බුදු හාමුදුරුවෝ සරණ ගියාට අප ඒ වෙනුවෙන් අනුගමනය කළ යුත්තේ කුමක්ද යන්න තේරුම් ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා. බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම ඉගැන්වූ ගැඹුරු දහම උන්වහන්සේ පෙන්නුවේ ආදර්ශයෙන්. ඒ තමා අනිමිසලෝචන පූජාව. අද සමාජයේ බෞද්ධයන් ඒක අමතක කරනවා. එතකොට මුල අමතක කරලා කොහොමද බුදුන් සරණ යන්නේ. තමන්ට උදව් උපකාර කළ අයට ඔබෙන් කෘතගුණ සැලකීම බුදුන් සරණ යාමයි.
ඉන් පසුව බුදු හාමුදුරුවෝ සමාජයේ ජීවත්වන සත්වයන් අතර මනුෂ්‍යයා මුල්කරගෙන ධර්මය දේශනා කළා. මුලින් ගිහි ජීවිතය අතහැර සත්‍ය සෙවු පිරිස්වලට ජීවිතයේ නිසරු බව තුළින් ධර්මය වටහාගෙන පැවිදි බිමට ඇතුළත් වෙලා තමාගේත්, අනුන්ගේත් හිතසුව පිණිස හැසිරෙන්නට මග පෙන්නුවා. එසේම සමාජයේ ජීවිත අවුල් කරගත් නිසි මාර්ගයක් නොදත් සියලු වෘත්තිකයන්ට ඒ ඒ ජීවිත සාර්ථක ගිහි ජීවිත ගෙවන මාර්ගය පෙන්නුවා. ජීවිතයේ දුක නැති කරන්නට මේ සැම දේශනාවක්ම මුල්වුනා.



ජීවිතයේ දුක නැති කිරීම යනු සැපවත් ජීවිතයකට මාර්ගයයි. එනම් සාර්ථක ජීවිතයකට පදනම බුදුදහමේ පදනමයි. මෙය තේරුම්ගත හැක්කේ තමා ළඟ ඇති දෘෂ්ටිකෝණවලට නොව මැදහත්ව ධර්මය දෙස බලන පුද්ගලයන්ට පමණයි. ඒ බව “පච්චත්තබබං වේදිතබෙබා විඤ්ක්‍්‍යුහීති “ යන්නෙන්ම පැහැදිලි වෙනවා. මේ ධර්මය ප්‍රත්‍යක්‍ෂ හෙවත් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නුවනින්ම පමණයි. යන්න බුදුන් වහන්සේගේ දේශනාවයි
පින්වතුනි ,
ගිහි ජීවිතයක් ගත කරන ඔබ නිතරම බලාපොරොත්තු වන කාරනා රාශියක් ඉහත ගාථාවෙන් පෙන්වාදී තිබෙනවා. “ ඉධ ඵෙව නං පසංසන්ති .පෙච්ච සග්ගෙ පමොදති “ යන්නෙන් අර්ථවත් කලේ ඔබ කුමන ජීවිතයක් ගත කළත් මෙලොව ප්‍රශංසාවත් පරලොව සුගතියත් ඇති කරගත යුතුයි යන්නයි. මෙහි දක්වන ප්‍රධාන කරුණු 2 ක් තිබෙනවා. එනම් “භුත්ත “ “භෝගා” යන වචන දෙකයි. “භොගා මේ උප්පජ්ජන්තු සහ ධම්මො “ යන්නෙන් අදහස් වෙන්නේ ධාර්මික වස්තුවයි. අද සමාජයේ ජීවත්වන ඕනෑම අයෙකුට වටිනම දේ තමයි ආර්ථිකය . තමන්ගේ ආර්ථිකය ශක්තිමත් නැත්නම් මේ සමාජයේ ජීවිත අසරණ තත්ත්වයකට පත්වෙනවා. ඒ අතර බුදු දහම පෙන්වා දෙන්නේ ආර්ථිකය ධාර්මික නොවුනොත් මෙලොව පරිහානිය වගේම පරලොව ජීවිතයද අගාධයට පත්වන බවයි.
අපි අධාර්මික ආර්ථිකයක් ඇති කර ගන්නවා කියන්නේ අන් අයට අයුක්තියක් ඉටු කිරීම යි. එනිසා බුදුදහම පුද්ගලයා යහපත් වීම තුළ තමා පමණක් නොව සමාජයම යහපත් අතට පත්වීමට පුද්ගලයා යහපත් වීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා. අපි භුක්ති විදින ධනය අධාර්මික දෙයක් නොවන්නට අපි වග බලා ගන්න ඕනෑ.
“යසො මේ උප්පජ්ජන්තු සහ ධම්මෙන “ යන්නෙන් ධනවත් වීමෙන් අපි සමාජයේ කීර්තියක් අපේක්‍ෂා කරනවා. මේ කීර්තිය රඳා පවතින්නට නම් අපි උපයන දේ ධාර්මික වෙන්නට ඕන. නැතිනම් ටික දවසකින් තමන්ගේ අධාර්මික ව්‍යාපාර බිඳවැටී කායික හා මානසික බිඳවැටීමක් තුළින් සමාජයට මුහුණදෙන්න බැරි තත්ත්වයකට පත්වෙනවා.
පින්වතුනි
අපි සමාජයේ ජීවත් වෙන කොට ධර්මය ට අනුවම ජීවිතය සකස් කරගන්නට උත්සාහ කරන්නට ඕන. හේතුව සමාජය ලාභ අලාභ නින්දා ප්‍රශංසා යසස අයස සැප දුක වැනි ලෝක ධර්මයන් වලින් නිතරම වෙනස් වෙනවා. ලාභය නිසාම අලාභය සිදුවෙනවා නම් ලාභයේ අන්තය හොයන්න හොඳ නැහැ. තමන්ගේ තරම කුමක්ද යන්න කල්පනා කාරීව ජීවත්වෙන්නට ඕන. නින්දා, ප්‍රශංසා , සැප දුක ආදියත් තමන්ට අත්විඳින්නට වෙනවා. ඒ නිසා සැපක් හෝ සැපයේ කෙලවරක් සොයන පුද්ගලයෙකුට ඒ සැපයේ කෙලවර සොයන්න වන්නේ ධර්මය තුළයි. ධර්මය මිනිසාගේ සැපයට කිසිම තැනක බාධා ඇති කරන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කළේ සැප තුනක් පිළිබඳවයි. එනම් මනුෂ්‍ය ‘දිව්‍ය’ නිවන් යන සැප තුනයි. ඔබ ඔබේ ජීවිතය ධර්මානුකූලව ධාර්මිකව ගත කිරීමට අධිෂ්ඨානය ඇතිකරගන්න උත්සාහවත් වෙන්න. එවිට ජිවිතයේ යථාර්ථය තුළින් සාර්ථක ගිහි හෝ පැවිදි ජීවිතයක් ගත කිරීමට ඔබට දැනුම තුළින් බුද්ධිය පහළවෙනු නිසැකයි. ඔබ සැමට තෙරුවන් සරණයි.

නැණවතුන් පසසන මහඟු යුතුකම

 (බුදුසරණ 2009.12.15)

 ආණමඩුව වෙම්බුවැ ශ්‍රී වර්ධනාරාමයේ  

හිදව සෝභිත හිමි


අප සතු යුතුකම් මොනවාදැයි හරිහැටි වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ. තමා සතු යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම ඔවුනොවුන්ට ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා රාශියක එම යුතුකම් සඳහන් වෙයි.

“නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
යො මාතරංවා පිතරංවා -
මච්චො ධම්මෙන පොසති
තායං න පාරිචරියා -
මාතා පිතූසු පණ්ඩිතා
ඉධවෙ නං පසංසන්ති -
පෙච්ච සග්ගෙ පමොදති.


පින්වත්නි,

මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ටත් අනුන්ටත් හිතකර මෙලොවත් පරලොවත් දියුණුව සලසන උතුම් දහමකි. ධර්මෝපදේශ රාශියක් අන්තර්ගත එහි ඒ හැම උපදේශයක්ම නුවණැති උත්සාහවත් මනුෂ්‍යයකුට ක්‍රියාත්මක කළ හැකි වේ. එබඳු ඉගැන්වීම් දෙස බලන බුද්ධිමත් නූතනලෝකයා පවා අදත් බුදුදහම කෙරෙහි සිත් ඇද ගනිති. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව සත්ව ජීවිත කෙරෙහි බලපාන සාධක රාශියක් තිබේ.
සත්වයා විසින් කරනු ලබන කර්ම ඔහුගේ ජීවිතය කෙරෙහි බලපාන ප්‍රධානම සාධකය වෙයි. සුබ මානවකයාගේ පියා වූ තෝදෙය්‍ය බමුණාගේ ජීවිතය ඊට නිදසුනක්. පුද්ගලයා කරන හොඳ, නරක ක්‍රියාවන්ට ලැබෙන විපාකවලට වගකිවයුත්තේ ද එම පුද්ගලයාම බව චුල්ල කම්ම විභංග සූත්‍රයේ පැහැදිලි කර තිබෙනවා. තමාගේ විමුක්තිය ඇත්තේ තමා තුළම බවත්, අනිත් කෙනෙකුට තමාගේ විමුක්තිය සලසාදීමට නොහැති බවත් දමනය කර ගන්නා ලද පසිඳුරන් ඇති තමා විසින්ම දුර්ලභ වූ නිවන් සුවය අත්පත් කරගන්නා බවත් කුමාරකාශ්‍යප මාතාව නිමිති කරගෙන දේශනා කර තිබේ.
පින්වතුනි, මෙලොව ජීවත්වන අප හැම කෙනෙක්ම කුඩා අවදියේ සිට මරණය දක්වාම ජීවිතයේ විවිධ අවස්ථා පසු කරනවා. ඒ ඒ අවස්ථාවලදී ඉටු කළ යුතු අප සතු යුතුකම් මොනවාදැයි හරිහැටි වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ.
තමා සතු යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම ඔවුනොවුන්ට ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා රාශියක එම යුතුකම් සඳහන් වෙයි.
සමාජයේ ජීවත්වන ඒ ඒ පුද්ගලයන් සතු යුතුකම් මොනවාදැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. එම සිඟාලෝවාද සූත්‍රයේ දී මව්පිය, දූ දරු, ගුරු, ශිෂ්‍ය, ස්වාමි, භාර්යා, හිත, මිතුරු, ස්වාමි, සේවක, ගිහි පැවිදි යනුවෙන් මුළු සමාජයම දිසා වශයෙන් හයකටත් පුද්ගලයන් වශයෙන් කොටස් දොළහකටත් බෙදා ඒ ඒ පුද්ගලයන්ගෙන් ඉටු විය යුතු යුතුකම් සියල්ල උගන්වා තිබේ. එමකොටස්වලට ඇතුළත් නොවන කිසිවෙක් මනුෂ්‍යයන් අතර නැහැ.
මේ යුතුකම් මඟින් සමාජයට අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධ කර තිබේ. සිගාල ගෘහපති පුත්‍රයාට බුදුරදුන් වදාළ සදිසා පිළිබඳ සියලු කරුණු එක්කොට ගත්විට වගකීම් හා යුතුකම් අතර ඇති සම්බන්ධය පැහැදිලි වේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සදිසාවෙන් එක් දිශාවක් පෙන්නුම් කළේ දෙමාපියන් පිළිබඳවය. උන්වහන්සේත් එම උදාර ගුණය පුරුදු කළහ. බෝධිසත්ව කාලයේ දීත් බුද්ධත්වයෙන් පසුවත් මව්පිය උපස්ථානය ආදර්ශයෙන් පෙන්නුම් කළහ. මාතු පොසක ජාතකය, සාම ජාතකය ඊට නිදසුන්ගෙන් කීපයකි. තථාගතයන් වහන්සේ පස්වැනි වස ගත කළ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ දී දිනක් මහා කරුණා සමාපත්තියෙන් ලොව බලද්දී ශුද්ධෝදන මහ රජතුමා දැඩි ලෙස රෝගාතුරව මරණ මඤ්චකයෙහි සිටින බව දැන ගත්තා එදිනම උන්වහන්සේ භික්‍ෂු පිරිසකුත් සමග කිඹුල්වත්පුර රජ මාලිගාවට වැඩමවා පිය රජුගේ ඇඳළඟ පනවන ලද අසුනෙහි වැඩහිඳ පියාගේ හිසට දකුණත තබා සත්‍ය ක්‍රියා කළහ. විගස හිසේ වේදනාව දුරු වී ගියේය. සත්‍ය ක්‍රියා කරත්ම රජතුමාගේ සියලුම ශාරීරික වේදනා දුරුවී ගියහ.
අනතුරුව සතුටට පත් පියාණන්ට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයක් දේශනා කළ විට එතුමා උතුම් වූ රහත් ඵලයට පත් වූහ. තම මවට සැළකීම සඳහා තව්තිසා දිව්‍ය ලෝකයට වැඩඬම කර විජම් බණ, දේශනා කර මාතෘදිව්‍ය රාජයා ඇතුළු දේව සමූහයාට ශාන්තිය සැලැස්වූහ. පින්වතුනි අපේ අම්මාගේ තාත්තාගේ දරු සෙනෙහස සිවියත් සමත්, මසත්, නහරත්, ඇටත්, විනිවිද ගොස් එයින් නොනැවතී ඇට මිදුලුව හැපී පවතී . මවුපියන් විසින් දූ දරුවන් ඇති දැඩි කරනුයේ දහසක් පැතුම් සිත තුළ රඳවාගෙනය. එයින් බලාපොරොත්තු පහක් ගැන සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කොට තිබේ. මවුපියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කටයුතු කරදීම, පරපුර ආරක්‍ෂා කිරීම, මව්පියන් දුන් ධනය රැකීම සහ මියගිය දෙමාපියන්ට පින්දීමය.
එම කරුණු පහෙන් දරුවන් දෙමාපියන්ට සංග්‍රහ කළ යුතුව තිබේ. දූ දරුවන්ගෙන් මෙම සංග්‍රහ ලැබීම දෙමාපියන්ගේ අයිතියකි. ඒ කරුණු එසේ ඉටු කිරීම දරුවන්ගේ යුතුකම සහ වගකීම වේ. දූ දරුවන් කෙරෙහි ඉටු කළ යුතු දෙමාපියන් සතු යුතුකම් ඉටුවන විට එම දූදරු, මව්පිය දෙපක්‍ෂය අතර අන්‍යොන්‍ය සමගිය හා සාමය ඇති වේ. යහපත් සමාජයක් ගොඩනැඟීමේ පදනම එයින් ඇති වේ. ආචාරශීලී ගුණ ගරුක දෙමාපියන්ගේ දරුවන් යහපත් ගුණවතුන් වේ.
මංගල සූත්‍රයේ දී දෙලොව දියුණුව ඇති කරන කරුණු දේශනා කරන බුදුරජාණන් වහන්සේ ‘මාතා පිතූ උපට්ඨානං’ මවුපිය උපස්ථානය මංගල කරුණක් බව දේශනා කර තිබේ. ‘යො මාතරං වා පිතරංවා ජිණ්ණකං ගත යොබ්බනං පහුසන්තො නභරති’ යනුවෙන් යම්කිසි දරුවෙකු පිළිවන්කම තිබියදී තම මවුපිය දෙදෙනාට නොසලකන්නේ නම් එය වසල වූ පහත් ගතියක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
මේ කරුණු ගැන මෙනෙහි කර මව්පිය දෙපළ වෙනුවෙන් කළයුතු යුතුකම් නොපමාව ඉටු කරන්න. අපි මවුපියන් හට හොඳින් සලකා මෙම උදාර බෝධිසත්ව ගුණය දියුණු කොට ඒ පින් බෙලෙන් අමාමහ නිවන් සම්පත් ප්‍රාර්ථනා කර ගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි.