පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Friday, August 31, 2012

නොපමාවෙන් වැඩෙන යසස

ධර්ම දේශනාව(බුදුසරණ 2009.11.16)



පස්, පව්, දස අකුසල් කෙරෙහි චිත්ත සන්තානයේ නම්‍යතාව වැඩි ය. එසේම එවන් කර්ම කිරීමෙන් ලබන සතුට නසා මොහොතින් මොහොත මිනිස් සිත නීවරණ තුළින් කිළිටි වන්නේ ය. එය මරණින් මතු සතර අපායෝත්පත්තියක් ලැබීමට හේතු කාරක වේ. එම නිසා සමථ විදර්ශනා වඩා දෙලොව සුව සලසා ගැනීමටත් කෙළවර නිවනින් සැනසෙන්නටත් පවිත්‍ර චේතනාව මූලාධාරයක් වේ


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස....
උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤ තස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඩති....


කාරුණික පින්වත්නි,

සියලු ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් හා දයාවෙන් යුක්තව පුරා පන්සාලිස් වසක් මුළුල්ලෙහි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දහම් දෙසූහ. මනසින් උසස් වූ මිනිස් වර්ගයා ඇතුළු සත්වයන්, බුදුන් වහන්සේ මේ බියකරු සසර කතරින් එතෙර කරවීමට ගත් වෙහෙස අපමණය.
ධම්ම පදයේ අප්පමාද වග්ගයේ ගාථා ධර්මයක් මාතෘකා ගාථාව වශයෙන් ඉහතින් සඳහන් කරන ලදී. එහි සරල අදහස නම් නොපසුබස්නා වීර්යය සහ යහපත් සිහිය ඇති නිවැරැදි කාය, වාග් කර්ම ඇති මනා නුවණින් විමසා කටයුතු කරන දැහැමිව දිවි ගෙවන තැනැත්තාගේ යසස කීර්තිය නොපමාව වැඩෙන බවයි.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන නම් අරමෙහි වැඩ වසන සමයෙහි කුම්භඝෝෂක නම් තරුණ සිටු පුතකු අරභයා ඉහත ගාථා ධර්මය දේශනා කර වදාළ සේක. රජගහ නුවර හතළිස් කෝටියක් ධනයට හිමිකම් කියූ මහා සිටු පවුලක් විය. එකල රජගහනුවර වැසියෝ අභිවාතක නම් දරුණු වසන්ගත රෝගයකින් පෙළෙන්නට වුහ. එම සිටු මැදුරට ද අභිවාතක නමැති එම රෝගය සෙමින් පැතිරිණි.
සිටු දෙමහල්ලෝ මරණාසන්න තත්ත්වයට ද පත් විය. එම පළාතේ පැවති එම පීඩාකාරී රෝගයෙන් මිදී ජීවත් වීමට අවශ්‍ය කෙනෙකු වේ නම් නිවසේ බිත්තියක් හාරා පලා යා යුතු ය. සිටු යුවල එම රෝගයෙන් පීඩිතව වේදනාවෙන් පසුවන අවස්ථාවේදී තම එකම පුතු මරණයෙන් බේරා ගත යුතු යැයි සිතා පුතු අමතා මෙම රෝගයෙන් මිදී ඈත පළාතකට ගොස් ජීවත් වී පසුව නැවත පැමිණ නිදන් කර ඇති මහ ධනස්කන්ධය ගෙන දිවි ගෙවන ලෙස ඉල්ලා සිටියහ. තම මව්පියන් තනිකර දමා යාමට අකැමැති වූවද, පසුව ඔවුන්ගේ කීමට එකඟ වූ කුමරා ඈත පළාතකට ගොස් එම රෝගයෙන් මිදී ජීවත් විය.
වසර ගණනකට පසුව රජගහ නුවරට කුමරු පැමිණිමුත් කිසිවකුට ඔහුව හඳුනා ගැනීමට ද නොහැකි විය. නුවණින් කල්පනා කළ සිටු කුමරා තම මව්පියන් නිදන් කළ ධනස්කන්දය සුරැකිව තිබේදැයි පරීක්‍ෂා කර බලා නිසි කාලය එනතුරු වෙනත් රැකියාවක් කළ යුතු බව තීරණය කළේ ය. කාලයත් සමග මොහුට අපූරු රැකියාවක් ලැබිණි. ගොවියන් කම්කරුවන් මෙන්ම නගරයේ ප්‍රභූ පන්තියේ සැවොමද පහන් දොර අවධි කරවීම මොහු සතු කාර්යය විය.
හිරු උදාවීමට පෙර ඉතා ශබ්ද නගා නගර වැසියන් අවධි කරවන ඝෝෂාවක් නිකුත් කරන නිසා මොහු ‘කුම්භ ඝෝෂක’ නමින් ප්‍රසිද්ධ විය. මෙසේ දින ගණනක් ගතවන කල බිම්බිසාර රජතුමා අලුයම පිබිදී සිටි මොහොතක මෙම කුම්භ ඝෝෂකගේ කටහඬ තම කන වැටී වහා සේවකයන් යවා ඔහු මාළිගාවට කැඳවාගෙන එන ලෙස අණ කරන ලදී. ශබ්ද විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති රජතුමා එම තරුණයා උසස් කුමාරයකු විය හැකි බව දැන තොරතුරු විමසා මහත් සතුටු වී ඔහු සතු සියලුම ධනය වහා මාළිගාවට ගෙන්වා සත්කාර සම්මාන සහිතව සිටුතනතුරක් ද පිරිනමන ලදී. පසුව මහරජතුමා මෙම සිටු තරණයා ද කැටුව බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට වේළුවනාරාමයට ගොස් එම සියලු පවත් පවසන ලදී.
පින්වත්නී!
අනතුරුව බුදුරජාණන් වහන්සේ මහරජතුමා අමතා මෙම ඝෝෂක තරුණ සිටු පුත්‍රයාගේ ජීවිතය බොහෝ ධාර්මිකය. නුවණින් යුක්තය, එපමණක් ද නොව වීර්යයෙන් ද යුක්තය. එවැනි අයගේ දිවිය ධනයෙන්, ඉසුරුමත් බවින් ප්‍රභාමත් වන්නේ ය. නොපමාව තම කීර්තිය දසත පැතිරෙන්නේ ය. යනුවෙන් පවසා ඉහත ගාථා ධර්මය දේශනා කරන ලදී.
මෙම ගාථා ධර්මයෙන් අප ජීවිතයට ගත යුතු වැදගත් කරුණු හතක් පමණ විවරණය වෙයි. ඉන් පළමු වැන්න නම් උට්ඨානවතෝ හෙවත් උත්සාහයයි. උත්සාහයෙන් ක්‍රියා කිරීමට නම් තමන් කරන කාර්යය ගැන විශ්වාසය හා ඉන් ලැබෙන ප්‍රතිඵලය ගැන මනා අවබෝධයකින් යුක්තව සිටිය යුතු ය.
අප මහ බෝසතාණන් වහන්සේ පාරමිතාවක් ලෙස නියත විවරණයේ සිට බුද්ධත්වය ලැබීම දක්වා පුරණය කළ වීර්යය පාරමිතාව හේතුවෙන් සියලුම පාරමී ධර්මයන් ක්‍රියාත්මක කිරීමේ දී පැමිණි බාධක අභිබවා ගමන් කිරීමට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනැගිණි. එම නිසා බුදු, පසේ බුදු, මහ රහත් පදවි ලබන්නට නම් තම සිත් සතන් තුළ උපදින නීවරණ ධර්මයන් යටපත් කර ධ්‍යාන විදර්ශනා වඩා මඟඵල ලැබීමට උට්ඨාන වීර්යය අවශ්‍යම අංගයකි.
දෙවන කරුණ නම් සතිමතෝ හෙවත් සිහිය පිහිටුවා ගැනීමයි. සෑම කාර්යයකදීම සිහිය අවශ්‍ය වන අතර, එම සිහිය දීර්ඝකාලීනව පවත්වා ගැනීමත්, චිත්ත සන්තානයේ ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙස් ධර්මයන් යටපත් කිරීමටත්, එම කෙලෙස් සිතිවිලි එකිනෙක හඳුනා ගැනීමටත්, ඒ තුළින් කමටහන් වඩා මඟ ඵල ලබා ගැනීමටත්, සතිමතෝ හෙවත් සිහිය අනිවාර්යයෙන්ම තිබිය යුතු ය.
‘සුචිකම්මස්ස’ හෙවත් කයින් වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා පිළිබඳ පිරිසුදු බව කුසලයේ දී අත්‍යවශ්‍යය. විශේෂයෙන් ලෞකික ජීවිතයෙහි සාරවත් බව රඳා පවතින්නේ මෙම කාය, වාග්, කර්මයන්ගේ පවිත්‍රතාවය මතය.
විශේෂයෙන් පස්, පව්, දස අකුසල් කෙරෙහි චිත්ත සන්තානයේ නම්‍යතාව වැඩි ය. එසේම එවන් කර්ම කිරීමෙන් ලබන සතුට නසා මොහොතින් මොහොත මිනිස් සිත නීවරණ තුළින් කිළිටි වන්නේ ය. එය මරණින් මතු සතර අපායෝත්පත්තියක් ලැබීමට හේතු කාරක වේ. එම නිසා සමථ විදර්ශනා වඩා දෙලොව සුව සලසා ගැනීමටත් කෙලවර නිවනින් සැනසෙන්නටත් පවිත්‍ර චේතනාව මූලාධාරයක් වේ.
අපි යම් කර්මයක් හෙවත් ක්‍රියාවක් කරන විට ඒ ගැන සොයා බලා නුවණින් මෙනෙහි කර කටයුතු කිරීම නිසම්මකාරිනෝ යන්නයි.සඤ්ඤතස්සච නම් සිත, කය, වචනය යන තිදොරෙ සංවර බවයි. ජීවිතයේ සාර්ථකත්වයට කය වචන දෙකේ සීල ගුණය ද මනසේ සමාධියද අත්‍යවශ්‍යය.
“ධම්මජීවිනෝ” යනු ධාර්මිකව ජීවිතය පවත්වා ගැනීමයි. බුදුදහමට අනුව පුද්ගල ජීවිතය පවත්වා ගැනීමට දැහැමින් උපයා සපයා ගත් ධනය ඉතා වැදගත් වේ. ව්‍යග්ඝ පජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය ආදී සූත්‍ර තුළින් බුදුපියාණන් වහන්සේ ඒ බව තහවුරු කර ඇත.
‘අප්ප මත්තස්ස’ යනු පමා නොවීමයි. මුලානොවී සිහියෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයා දෙලොව දියුණුව සලසා ගන්නා බවද දේශනා කර ඇති අතර, ඒ අයුරින් කටයුතු කරන පුද්ගලයාගේ යසස, කීර්තිය වර්ධනය වන බව ද මෙම ගාථා ධර්මයෙන් පැහැදිලි වේ.
මෙසේ දැක් වූ උතුම් සප්ත ගුණාංගයන්ගෙන් සම්පූර්ණ වූ පුද්ගලයාගේ භෞතික සම්පත් මෙන්ම කීර්තිය වර්ධනය වන බවත් පෙනී යයි. මෙම ධර්මය තුළින් ඔබ සැමට ජාති, ජරා මරණාදී සසර දුකින් මිදී නිවන් සුව අවබෝධ වේවා!...

 

සෙත් සුව සලසන මෙත් සිත

ධර්ම දේශනාව(බුදුසරණ 2009.11.24)



මෙලොවදීත් මෛත්‍රී කිරීමෙන් සැප විඳීමට හැකි බව මේ දේශනා පාඨවලින් මනාව පැහැදිලි වේ. ‘සුඛං සුපති’ බොහෝම හොඳට නින්ද යනවා. එසේම ‘සුඛං පටිභුජඣති’ උදේට සැපසේ ඇහ ඇරෙනවා. ‘නපාපකං සුපිනං පස්සති’ නපුරු හීන දැකීමෙන් බය වන්නේ නෑ. ‘මනුස්සානං පියො හෝති’ මිනිසුන්ට පි‍්‍රය මනාප පුද්ගලයෙක් ලෙස කවුරුත් ඇසුරට ගන්නවා. එසේම ‘අමනුස්සානං පියෝ හෝති’ අමනුස්සයින්ටත් පි‍්‍රය මනාප ලෙස ලැදිකමක් ඇතිවනවා. ‘දේවතාරක්ඛන්ති’ දෙවියෝ රකිනවා.



නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අචඡරා සංඝාත මත්තමපි චෙත
භික්ඛවෙ භික්ඛු මෙත්තං
චිත්තං ආසෙවති අයං වුච්චති
භික්ඛවෙ භික්ඛු
අරිත්තජජානො විහරති සත්ථු
සාසනකරො ඔවද
පතති කරො අමොඝං රඪ පිණ්ඩං
භුඤජති කො ජන
වාදො යේතං බහුලීකරොන්තීති.


පින්වතුනී,

ඉහත සඳහන් කළේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර ධර්මයක්. මෙම සූත්‍ර ධර්මය අංගුත්තර නිකායේ ඒකක නිපාතයට අයිති සූත්‍ර ධර්මයක්. මෙම සූත්‍ර ධර්මයෙන් ප්‍රකාශ වන්නේ භික්ෂුන් වහන්සේ නමක් විසින් අසුරසනක් ගසන කාලයක තුළින් වත් මෛත්‍රී සහගතව වාසය කරනවා නම් එම භික්ෂුව ධ්‍යාන නොවැඩුවත් ධ්‍යාන වඩන ලද භික්ෂුවක් ලෙසත් බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපදින යහපත් භික්ෂුවක් ලෙසත් දායකයින්ගේ සිව්පසය පිළි ගැනීමට සුදුසුවූත් ප්‍රමාණ නොකළ හැකි පින් ලබා ගැනීමට හැකිවූත් යහපත් මෛත්‍රී සහගත භික්ෂුවක් බවත් මම ප්‍රකාශ කරමියි යනුවෙන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කළ සේක.
මෙයින් පින්වතුනි, මෛත්‍රී‍්‍ර වැඩීමේ වටිනාකම ගැන මනාව සිතීමටත් එසේ සිතමින් එම මෛත්‍රීය සියලුම සත්ත්වයින් කෙරෙහි දැක්වීමටත් එම දැක්වීම නිසා ඒ තුළින් භික්ෂූන් වහන්සේට හෝ ගිහි පින්වත් පිරිසට හෝ උතුම් නිර්වාණ සුවයට පත්වීමට හැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.
පින්වතුනී, මෙලොවදීත් මෛත්‍රී කිරීමෙන් සැප විඳීමට හැකි බව මේ දේශනා පාඨවලින් මනාව පැහැදිලි වේ. ‘සුඛං සුපති’ බොහෝම හොඳට නින්ද යනවා. ඉතාමත් සැප සේ එසේම ‘සුඛං පටිභුජඣති’ උදේට සැපසේ ඇහ ඇරෙනවා. ‘නපාපකං සුපිනං පස්සති’ නපුරු හීන දැකීමෙන් බය වන්නේ නෑ. ‘මනුස්සානං පියො හෝති’ මිනිසුන්ට පි‍්‍රය මනාප පුද්ගලයෙක් ලෙස කවුරුත් ඇසුරට ගන්නවා. එසේම ‘අමනුස්සානං පියෝ හෝති’ අමනුස්සයින්ටත් පි‍්‍රය මනාප ලෙස ලැදිකමක් ඇතිවෙනවා. ‘දේවතාරක්ඛන්ති’ දෙවියෝ රකිනවා.
මෛත්‍රී කරන අය දෙවියෝ වඩාත් ආරක්ෂා කරති. එසේම පින්වතුනි, ‘න ස්ස අග්ගිවා විසංවා සත්තංවා ඛමති’ වස විෂ ආදියෙන් අවි ආයුධ වලින් කිසිම හිරිහැරයක් සිදු කරන්න බෑ. මෛත්‍රී වඩන ඕනෑම කෙනෙකුට මෛත්‍රීයේ ඇති යහපත් ගුණය නිසා හිරිහැර කරදර වැලකිලා යනවා. ‘මුඛවණොණා විප්පසීදති’ මුහුණ දකින දකින අයට පි‍්‍රයමනාප ගතියකින් යුක්ත වෙනවා.
‘අසමමූළෙහා කාලං කරෝති’ සිහි කල්පනාවෙන් යුතුව මැරෙන්න පුළුවන් වෙනවා. එවිට සුගතියක ඉපදීමටත් එම හිත බලපානවා. දෙව්ලොව වැනි තැනකට පත්වෙනවාමයි. ‘අත්තරිං අප්පටි විජ්ජනොතා බ්‍රහ්ම ලොකූපගොහොති’ නොවරදවා ම දිව්‍ය ලෝකයේ හෝ බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට මෛත්‍රීය වැඩීමෙන් හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මෙලොවත් පරලොවත් දෙකේදීම සැප විඳීමට ලැබී අවසානයේදී දුක් නොවිඳ සියලු කෙළෙස් ප්‍රහීණ කොට බුදු පසේ බුදු මහරත් උතුමාණන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ අජරාමර අමා මහ නිවන් ලැබීමට හේතු වෙනවාමයි. එසේම හේතු වේවායි ප්‍රාර්ථනා කටයුතුයි. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා!

 

‘අනුන්ගේ දොස් සෙවීම සැපතට මඟ නොවේ’

ධර්ම දේශනාව(බුදුසරණ 2009.12.01)


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
න පරෙසං විලොමානි - න පරෙසං කතාකතං
අත්තනොව අවෙ‍ෙක්‍ඛය්‍ය -කතානි අකතානි ච


අද උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය යි. ඉහත සඳහන් කළ මාතෘකා ගාථාවෙන් අර්ථවත් වනුයේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකත්වයට පත් කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු පිළිවෙතක් ගැන ය.ලෝකයාගේ සාමාන්‍ය පිළිවෙත වනුයේ අනුන්ගේ දොස් පරොස් ගැන සොයා බැලීම යි. එවැනි දෑ මගින් , එවැනි අය , පරිහානියට පත් වනු මිස , යහපතක් සිදු නොවේ. ඉන් පසක් වන තවත් එක් සත්‍යයක් වනුයේ පුහුදුන් මනුෂ්‍යයා තුළ දුර්වලතා අඩුපාඩු දක්නට ලැබෙන බවයි.ඊට හේතුව නම් බුදුදහමෙන් පෙන්වා දුන් මිනිස් සිතේ ඇති ක්ලේශයන්හි ස්වභාවය යි. එම ක්ලේශ පුහුදුන් සත්වයන් තුළ දක්නට ලැබෙන අතර, ඔවුන්ගේ සසර පැවැත්ම අනුව එහි අඩු වැඩි බවක් දක්නට ලැබෙයි.

එක් පුද්ගලයෙක් අධික ලෙස ලෝභීව කටයුතු කරන අතර, තවත් කෙනෙක් නිර්ලෝභීව කටයුතු කරන අයුරු දක්නට ලැබෙයි. කෙනෙකු තුළ ද්වේශ සහගත ස්වරූපයක් දක්නට ලැබෙන අතර තවත් කෙනෙක් තුළ එහි අඩුවක් දක්නට ලැබිය හැකිය.කෙනෙකු බුද්ධිමත්ව කටයුතු කරන අතර, තවත් කෙනෙක් ඊට වෙනස්ව කටයුතු කරනු දැකිය හැකි ය.
මෙයට හේතු වශයෙන් සම්බුදු දහම පෙන්වා දෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ සිත්වල ස්වභාවය යි.
පාරමිතා යනුවෙන් බුදුදහමේ ඉගැන්වෙන පිළිවෙත් ඉහත කී දුර්වලතා ඉවත් කර ගැනීමට කෙනකුට මඟ සලසා දෙයි. පාරමී පිරූ තැනැත්තකු හා පාරමිතා නොපිරූ තැනැත්තකු අතර දක්නට ඇති වෙනස මගින් එය වටහා ගත හැකියි. රහත් බවට පත්වන තෙක් පුද්ගලයන් තුළ කෙලෙස් අඩු වැඩි වශයෙන් පවතින්නේ ඒ නිසාය.
දාන ,ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මගින් සිදු කරනු ලබන්නේ ද එම වැරැදි අනුක්‍රමයෙන් අඩු කර ගැනීම යි.
ඉහත සඳහන් කළ පරිදි තමා තුළ පවත්නා අඩු පාඩු දෙස අවංකව බලා, ඒවා සකස් කර ගැනීමට ක්‍රියා කරන ලෙස බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුශාසනා කළ වදාළහ.
සසර ගමනේ පැවැත්මට හෝ නැවැත්මට වගකිව යුතු වන්නේ තමා ම බව, බුදුරජාණන් වහන්සේ නිතර පෙන්වා දුන්හ. තම තමන්ගේ අඩුපාඩු දෙස බලා ඒවා නිවැරැදි කර ගැනීමෙන් යහපත් ජීවිතයකට පිවිසීමේ වගකීම ඒ ඒ පුද්ගලයා වෙත ම පැවරෙන බව පෙන්වා දුන්හ.
“තුම්හෙහි කිච්චං ආතප්පං - අක්‍ඛාතාරො තථාගතා “ යනුවෙන් තථාගතයන් වහන්සේ මග කියා දෙන බවත්, ඒ මග ගමන් කිරීමේ වගකීම තමා තුළ පවත්නා බවත් පැහැදිලි කිරීමෙන්, එය වඩාත් සනාථ කර ඇත. එහෙත් භාරතීය සමාජයේ පැවැති යම් යම් ඉගැන්වීම්වලට අනුව පුද්ගලයාගේ විමුක්තිය වෙනත් කෙනකුට පවරා දී තිබූ අදහස එමගින් ඉවත් කර, තමන්ගේ විමුක්තිය තමා තුළම පවත්නා බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
සම්බුදු දහමට අනුව තමාගේ විමුක්තියට මාවත් තුනක් විවරණය වී ඇත. තුන්තරා බෝධිය නමින් හඳුන්වන බුදු, පසේබුදු, මහරහත් යන මාර්ග තුන එමගින් පෙන්වා දෙයි. එය සාර්ථක කර ගැනීමට, ක්‍රියා කළ යුත්තේ ඒ ඒ පුද්ගලයා ය. තමා පතන බෝධියකින් නිවන් සුවයට පැමිණීමට පාරමී පිරිය යුතුයි.
තමාට අභිමත මාවතක් තෝරා ගෙන ඒ ඔස්සේ ගමන් කර, සම්මා සම්බුද්ධත්වයට පත්ව හෝ පච්චේක බුද්ධත්වයට පත්ව හෝ අරහන්ත බුද්ධත්වයට පත්ව නිවනට පිවිසීමට ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වය ම හේතුවෙයි.
ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත නිසි ආකාරයට අනුගමනය කිරීමෙන් තමාගේ අභිමතාර්ථය සාර්ථක කර ගැනීමට හැම කෙනකුටම අවස්ථාව ඇත.
මට නිවන් සුව ලැබේවා යි පතමින් සිටීමෙන් පමණක් එය ලබා ගැනීමට හැකියාවක් නැත. ඒ සඳහා අවශ්‍ය පිළිවෙත ක්‍රියාත්මක කළ යුතුය.
අධ්‍යාපනය ලබන කුඩා දරුවෙක් අනාගත අපේක්‍ෂා වශයෙන් වෛද්‍යවරයකු , ඉංජිනේරුවරයකු ආචාර්යවරයකු ආදී වශයෙන් යම් තත්ත්වයකට පත්වීම සඳහා ප්‍රාර්ථනා කරමින් සිටීමෙන් පමණක් ඔහුට ඒ තත්ත්වයට පත් විය නොහැකි වනු ඇත. එහෙත් නියමිත පරිදි එම කුඩා දරුවා අධ්‍යාපන කටයුතු තමා බලාපොරොත්තු වන තත්ත්වයට සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීම මගින් අදාළ තත්ත්වයට පත්විය හැකි බව පැහැදිලිය.
පුහුදුන් ගතිය නිසා තමා තුළ ඇති අඩුපාඩු ඉවත් කර ගනිමින් භවයෙන් භවය මනස දියුණු කර ගැනීමට පුරුදු පුහුණු විය යුතුය.
ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දස පාරමිතා ආදී පිළිවෙත් පුද්ගල විමුක්තියට ඉවහල් වනුයේ ඒ අයුරිනි. පළමුව සඳහන් කළ පරිදි නිවන් පසක් කර ගැනීම දක්වා එවැනි ක්ලේශ පුහුදුන් මනුෂ්‍යයා තුළ දක්නට ලැබේ.
මිනිස් සන්තාන තුළ පවත්නා විවිධ අන්දමේ ක්ලේශ අනුක්‍රමයෙන් ප්‍රහාණය වන ආකාරය සෝවාන් සකෘදාගාමී අනාගාමී ආදී මාර්ග ඵල පිළිබඳ ඉගැන්වීම් වලින් පැහැදිලි වෙයි.
මිනිස් සිත තුළ බල පවත්නා හැඟීම් වල අවස්ථා තුනක් බුදු දහම පෙන්වාදෙයි. අනුසය, පරියුට්ඨාන සහ ද්වීතික්කම යනු , එම තුනයි. සිතෙහි කෙලෙස් තැන්පත්ව ඇති අවස්ථාව, අනුසය අවස්ථාවයි.එසේ තිබීම, වෙනත් කුසල ක්‍රියා සිදු කිරීමට බාධාවක් නොවේ. එසේ පවතින කෙලෙස් ඉස්මතු වීමට යම් අරමුණක් පැමිණිය යුතුය. ක්ලේශ නැගී සිටීමට හේතුවන අරමුණක් පැමිණි විට ඒවා නැගී සිටියි. එසේ නැගී සිටීමේ අවස්ථාව පරියුට්ඨාන වශයෙන් සඳහන් කළ හැකි ය. එසේ නැගී සිටි ක්ලේශ ක්‍රියාවෙන් සහ වචනයෙන් ක්‍රියාත්මක වන අවස්ථාව ‘ද්විතික්කම’ අවස්ථාවයි.
කෙලෙස් සන්තානයෙන් ඉවත් කිරීමේ වගකීම ඒ ඒ පුද්ගලයා සතුව පවත්නා බව, දහමට අනුව සඳහන් කළ හැකිය.
බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථාවෙන් පෙන්වා වදාළේ, අනුන්ගේ දොස් සෙවීමට වඩා තමන් තුළ පවත්නා දුර්වලතා තේරුම් ගෙන, ඒවා නිවැරැදි කර ගැනීමට උනන්දුවීම වඩාත් ඵලදායක බවයි. දරුවකු යහපතෙහි පිහිටුවීමට මවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් කරන කාරුණික අනුශාසනා සහ මඟ පෙන්වීම්, අඩුපාඩු සොයා බලා නිවැරැදි කිරීම් මෙයට අදාළ නොවේ. එමගින් සිදු කැරෙනුයේ එම දරුවන්ගේ යහපත පිණිස කටයුතු කිරීමයි.

සැමට තෙරුවන් සරණයි

බොදු දිවි පෙවෙත හඳුනා ගනිමු

බළන්ගොඩ නළුවෙල



නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යෝ පාණමතිපාතේතී
මුසාවාදඤ්ච භාසතී
ලෝකේ අදින්නං ආදියති
පරදාරඤ්ච ගච්ඡති
සුරාමේරය පානඤ්ච
යො නරෝ අනුයුඤජති
ඉධේව මේ සෝ ලෝකස්මිං
මූලං ඛණති අත්තනෝ

(ධම්මපදය මලවග්ගය 12, 13)


                                                                                 පින්වතුනි,

මෙම ගාථා දෙකින් ඉදිරිපත් වී ඇත්තේ මෙලොව ජීවත් වන පුද්ගලයෙක් තම වටිනා දිවි පෙවෙත විනාශ කරගන්නා දුසිරිත් පහක් පිළිබඳවයි. මේවාට පඤ්ච දුශ්චරිතයැයි දහමෙහි ව්‍යවහාර වී ඇත. මෙහි සිංහල අනුවාදය මෙසේය. යමෙක් ප්‍රාණඝාතය කෙරෙත් ද සොරකම් කෙරෙත්ද කාම මිථ්‍යාචාරයෙහි හැසිරෙත් ද බොරු කියත් ද සුරාපානයෙහි යෙදෙත්ද හෙතෙම තම දිවි පෙවෙතෙහි මූලය හෙවත් වටිනාකම විනාශ කර ගන්නේය.
මේ කරුණු දෙස විමසා බැලීමේදී පෙනෙන්නේ මෙම පඤ්ච දුශ්චරිත කවදත් සමාජය යහගුණ දහමින් පරිහානියට පත් කරන බවයි. මේ හේතුකොට මනා බොදු දිවි පෙවෙතක් අධිෂ්ඨානශීලීව ගත කිරීම සදහා මෙම දුසිරිත් පහෙන් වැළකෙන ලෙස තුන්කල් ඇතැඹුලක් සේ දත්, බුදුරජාණන් වහන්සේ වදාළහ.
මෙසේ වැළකීම ගිහියා ගේ නිත්‍ය සීලය ආරක්ෂා කිරීමෙකි. බෞද්ධයන් නිති පන්සිල් සමාදන්වන්නේ, පුද්ගලයා සමඟ ලෝකය වනසා දමන, අපරාධ වර්ධනය කරන පඤ්ච දුසිරිත් වලින් මිදීම සඳහාය.
පින්වත, බුදුරජාණන් වහන්සේ විසින් මෙහිලා වදාළේ සිත,කය, වචන යන තිදොර සංවර කර ගැනීමට ත්‍රිශික්ෂා අනුගමනය කරන ලෙසයි. මෙයින් පැහැදිලි කර දෙන්නේ කිමෙක්ද? කය වචන දෙක පාලනයට සීලයත් සිත පාලනය කර ගැනීමෙන් ජීවිත විමුක්තියත් සසර විමුක්තියත් ලැබීමට සමාධියත්, ප්‍රඥාවත් අනුගමනය කළ යුතු බවයි. බෞද්ධ ප්‍රතිපදාව අනුව ජීවිතයේ සෑම අවස්ථාවකදීම මෙම පිළිවෙත් තුන (සීල, සමාධි, ප්‍රඥා) ප්‍රායෝගිකව ජීවතවල පිහිටිය යුතුය.
මේ සඳහා වෙන් වූ ස්ථානයක් හෝ සීමාවක් හෝ නැත. මේ පඤ්ච දුශ්චරිත අසංවර වූ කය, වචන දෙකින් සිදුවන සැටියෙන් වෙන්කර ගනිමු. කයින් සිදුවන දෑ අතර ප්‍රාණඝාතය හෙවත් පරපණ නැසීම, සොරකම, කාමමිත්ථ්‍යාචාරය ප්‍රධාන වෙයි. වචනයෙන් බොරුකීම සිදුවේ.
බොරු කියන්නාගෙන් කේලාම් කීම, පරුෂවචන හෙවත් අමිහිරි වචන භාෂිතය හා දෙලොවට වැඩක් නැති හිස්වචන (සම්ඵප්‍රලාප) කිසිදු පැකිලීමක් නැතිව කියැවෙයි. දස අකුසල කර්ම විග්‍රහයේදී මේවාට චතුර්විධ වාග් අකුසල කර්ම යැයි හැඳින්වේ. සුරාව සියලු පාප කර්මයන්ට නිදාන වූ, අකුසල් කර්මයකි. සුරා පානය කිරීමෙන් මිනිසා ගේ ලජ්ජා බිය නැතිවෙයි. කළයුත්ත නොකළ යුත්ත නොවැටහෙයි.
සුරා ධූර්තයෙක්වීම පරිහානියට හේතුවක් බව පරාභව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළහ. ඒ මෙසේය.
ඉත්ථි ධුත්තෝ
සුරා ධුත්තෝ
අක්ඛ ධුත්තෝ ච යෝනරෝ
ලද්ධං ලද්ධං විනාසේති
තං පරාභවතෝ මුඛං

මෙහි දැක්වෙන්නේ පරදාර කර්මය, සුරාධූතයෙක්වීම, අන්සතු වස්තු සූදුව නමැති කපටිකමින් ගැනීමට වෙහෙසීම ලබන සම්පත් විනාශ කර දැමීම පුද්ගල දිවි මගෙහි පරිහානි දොරටු බවය.
ආත්මාභිමානී පෞරුෂයෙන් හෙබි දිවි පෙවෙතක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන්නන් විසින් මෙම පස්වැදෑරුම් දුසිරිත් වාරණය කොට පඤ්ච සීලය සුරැකිය යුතුය. පුද්ගල සමාජයේ සුරක්ෂිතය සඳහා මෙම සීල ප්‍රතිපදාව දේශනා කර ඇත.
සමාජයක් පැවැත්වීමේදී එහි ජීවත් වන්නන් ගේ හදවත් තුළ අනිවාර්යයෙන්ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා (මැදිහත් බව) පිහිටා තිබිය යුත්තේය.
මේවා ශ්‍රේෂ්ඨ උතුම් ගුණාංග බැවින් ඒ අරුතින්ම මේ අධ්‍යාත්ම පැවතුම් වලට දහමෙහි සතර බ්‍රහ්ම විහරණ ධම්මයැයි සඳහන් කර ඇත. පඤ්චසීල ප්‍රතිපදාවේ පළමුවෙනි ශික්ෂාපදයෙන් “සබ්බේ සත්තා සුඛී හොන්තු” සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! යන පොදු මානව හැඟීම සංවර්ධනය කරයි.
අන්සතු වස්තුව පැහැර ගැනීම වංචනික ක්‍රියාවකි. මෙයට සොරකම යන නාමය සුපරසිදු නාමයයි. තවද උපක්‍රමශීලිව වෙළඳාමේ දී හොරට කිරීම, මැනීම ආදියෙන් ද නොවටිනා භාණ්ඩවලට අධික මිල ගැනීමෙන්ද අදත්තාදාන අකුසල සිදුකරගත හැකිය. එපමණක්ම පමණක් නොව, වේතනයක් අරභයා දෛනිකව වැඩ කරන්නෙක් වැටුපට සරිලන සේ වැඩ නොකරයි ද එම ක්‍රියමාර්ගය ද සොරකමට අදත්තාදානයට අයත් වෙයි.
කාම මිත්ථ්‍යාචාරය නම් අදහැමිව පසිඳුරන් පිනවීමය. මෙහි අර්ථ දැක්වීමේදී ප්‍රධාන වශයෙන් ගැනෙන පරඹුවන් කතුන් සොයායෑම කාම මිථ්‍යාචාරය වශයෙන් දක්වා ඇත. එපමණකින් ම එය විග්‍රහ කිරීම ප්‍රමාණවත් නොවේ. සජීවී මිනිසා ප්‍රධාන සත්ත්වයනට පසිඳුරන් පිනවීම පොදු ධර්මතාවයකි.
මුසාවාදය හෙවත් බොරුවෙන් රැවටීම වචනය ප්‍රධාන වී කෙරෙන්නක් වුව ද ක්‍රියාවද අන්‍යයන් රැවටෙන පරිදි කළ හැකිය.
මුසාවාදයෙන් විශ්වාසය අහෝසි වෙයි. එය පුද්ගලයාටත් සමාජයටත් හානිදායකය. ඉන් අවංකභාවය දුරස්ථ වන්නේය.
‘සුරාව‘ පාපයට මඟ හෙළි කරන අසද්ධර්මයකි. සමාජ අසංවර කම, පුද්ගල විනාශය මින් ඇති කෙරෙයි. එය තේරුම් ගත් පාලකයෝ මත්ද්‍රව්‍ය නිවාරණය කෙරෙති. මෙසමයෙහි අප රටෙහි මත් උවදුරට දැඩි නිති පනවා තිබීම යහපත් ශ්‍රී ලංකාවක් සඳහා දොරටුව විවෘත කිරීමකි.
මනුෂ්‍යයා යනු අරමුණක් ඇතිව මද කලක් ලොව වෙසෙන්නෙකි. එම කාලය තුළ පඤ්ච දුෂ්චරිතයෙන් වෙන්ව සාමකාමී නිදහස් දිවි පෙවෙතක් ගත කළ යුත්තේය. පිළිවෙතින් සපිරුණු බෞද්ධ දිවි පෙවෙත එයම වන්නේය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව

ධර්ම දේශනාව(බුදුසරණ 2009.12.15)



මේ සසර ජීවත්වන සත්වයා විඳීන්නෙ අනන්ත දුකක්. තමන්ට ලැබෙන යම් දෙයක් සැපතක් කියා සිතුවත් එහි අවසානය දුකක්. අපි සසර පුරාම ඇවිදින්නෙ මේ දුක් කරගහගෙන. මේ දුක්ගොන්න බිම තියන්න හැකිවුණොත් එදාට අපට මේ සසර නිම වීමේ නවාතැන වන නිර්වාණ ධාතුවට සමීප වීමේ හැකියාව ලැබෙනව. 
 
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං



                                                                                             පින්වත්නි,

අටලෝ දහම උපතින් පොදි බැඳගත් මිනිසා අවසානයේ ගමන් කරන්නෙ මරණය වෙතය. එය සංසාර ගමනේ එක් අවස්ථාවක් පමණයි. මියගිය සත්ත්වයා එතැනින් තවත් ස්ථානයක උපත ලබනව. එතැනදීද මේ අටලෝදහමට මුහුණ දෙනවා. කෙළවරක් නැති මේ සසරේ ඉපදෙමින් මැරෙමින් ගමන්කරනව. මේ ගමනේ උපත කොතනද? අවසානය කොතනද? කියල කිසි කෙනෙක් දන්නේ නැහැ. බුදු, පසේබුදු මහරහතන් වහන්සේ මේ ගමනේ අවසානය දුටුවා.
දිනක් භික්‍ෂූන් වහන්සේ පිරිවරා වනයක් මැදින් වඩින බුදුපියාණන් වහන්සේ එම වනයෙන් කොළ කීපයක් අහුලා අතටගෙන භික්‍ෂූන් වහන්සේගෙන් මෙලෙස විචාලා මහණෙනි! මගේ අත තිබෙන දෙය පෙනෙනව නේද? එසේය ස්වාමීනි! කොළ ස්වල්පයක් යයි භික්‍ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.
බුදු පියාණන් වහන්සේ නැවත අහනව ඇවැත්නි! මේ මගේ අතේ තිබෙන කොළද වනයේ තිබෙන කොළද වැඩි කියල. භික්‍ෂූන් වහන්සේ පිළිතුරු දෙනව ස්වාමීනි! ඔබ වහන්සේ අත ඇත්තේ ඉතාම සුළු කොළ ප්‍රමාණයක්.
වනයේ තිබෙන කොළ තමයි වැඩි යනුවෙන්, බුදු පියාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේ අමතා මෙසේ දේශනා කළා. ඇවැත්නි, මා අවබෝධ කළ ධර්‍මය මේ වනයේ තිබෙන කොළවලට සමානයි. ඔබලාට දේශනා කර ඇත්තේ මා අතේ තිබෙන කොළවලට සමාන ප්‍රමාණයක්. ඔබලාගේ ඒකායන බලාපොරොත්තුව මා අවබෝධ කළ ධර්‍මය අනුගමනය කර මේ සසර දුකින් මිදීමටයි.
එයට අවශ්‍ය ධර්ම මාර්‍ගය විනා වෙනත් දෙයක් ඔබට අවශ්‍ය නැහැ. වෛද්‍යවරයා රෝගියාට ප්‍රතිකාර කරන්නේ ඔහුට වැළඳී ඇති රෝගයේ නිධානය සොයා එයට අවශ්‍ය ඖෂධ දීමෙන්. මාද ඔබලාට කියා දෙන්නේ මේ සසර ගමනින් එතරවීමට අවශ්‍ය ධර්ම මාර්‍ගය පමණයි.
මා ඔබලාට කියා දෙන්නෙ කාරණා දෙකයි. ඒ කාරණා දෙකනම් දුක සහ දුක නැති කිරීමයි. මේ කාරණා දෙක පමණක් මා කියා දෙන්නේ මේ ලෝකයේ දුක් විඳින සත්ත්වයාට දුකින් මිදීමට ඔය කරුණු දෙක අවශ්‍ය හෙයින්. මම දුක කුමක්ද? කියල ඔබලාට කියා දෙනව.
දුකෙහි අනෙක් පැත්ත සැපය. සැපය ලබන්නෙ කොහොමද කියල කියා දෙනව. අනෙක් දේවල් දැනගත්තට මේ සසර දුකින් නිදහස් වන්න බැහැ. බුදු පියාණන් වහන්සේ මේ කරුණු දෙක නැවත කරුණු හතරක් වශයෙන් විස්තර කරනව. දුක කියල එකක් තියනව. එහෙමනම් ඔය දුක හටගන්න හේතුවක් තියෙන්න ඕනනේ. දුක දිගින් දිගටම දුකටම පත්කරමින් සසර පුරා ගෙන යන හේතුව හොයන්න ඕන.
හේතුව සොයාගත්තට මදි. එහෙමනම් ඒ දුක නැතිකරගන්න ඕන. දුක නැති කරගන්නනම් එයටත් මාර්ගයක් තියෙන්න ඕන. ඒ දුක නැති කරන මාර්‍ගයත් සොයා ගන්න ඕන.
එම භික්‍ෂූන් වහන්සේලාට සසරින් ගැලවීමට කාරණා හතරයි දේශණා කළේ. ඒ කාරනා හතර නැවත කියනවනම්, සසර දුකයි “දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ” දුක මත ලෝකය පිහිටා තියෙන්නෙ. එහෙම නම් ඒ දුක නැතිකරගන්න ඕන.
දුකක් ඇතිවුනානම් එයට හේතුවක් තියෙන්න ඕන. ඒ හේතුව සොයාගන්න ඕන. දුක නැති කරන්න නම් දුක නැති කරන මාර්‍ගයකුත් තියෙන්න ඕන. ඒ මාර්‍ගයත් සොයාගන්න ඕන.
අපි මෙයට කියනව සත්‍ය හතර කියල. නැත්නම් චතුරාර්ය සත්‍ය කියල. ඔය කාරණා හතර ඔබ හරිහැටි ප්‍රත්‍යක්‍ෂකර ගතහොත් මේ සසර දුකින් මිදීමේ ඔබේ අභිමතාර්ථය සම්පූර්‍ණකර ගන්න පුලුවන්.
පින්වත්නි, මේ සසර ජීවත්වන සත්ත්වයා විඳීන්නෙ අනන්ත දුකක්. තමන්ට ලැබෙන යම් දෙයක් සැපතක් කියා සිතුවත් එහි අවසානය දුකක්. මනුෂ්‍ය සත්ත්වයා මව් කෙනෙක් වෙන්න පිය කෙනෙක් වෙන්න දරුසුරතල් බලන්න හරිම කැමතියි. දරුවා ලැබුණට පසුව ඒ මව් පිය දෙපල අනන්ත දුක් විඳිනවා.
දරුවාගේ කැත කුණු අදින්න පාසල් යවන්න, රැකියා ලබාදෙන්න අනන්ත දුක් විඳිනව. දරුවාට ලෙඩක් දුකක් හැදුනාම අනන්ත දුකක් විඳිනව. සැපත කියා සිතුවත් මේ සැම දෙයක්ම දුක්ගොඩක්මත ජනිතවෙලා තියෙන්නෙ.
”ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චං නලභති දුක්ඛං, සංඛිතෙත්න පඤචුපාදානක්ඛන්ධා දුක්ඛා” ස්කන්ධයන්ගේ පහලවීමයි කියන ලද ජාතිය නොහොත් ඉපදීම දුකයි. අංගප්‍රත්‍යයන්ගේ වෙනස්වීම යෞවනභාවය නැතිව යාම, නම්වූ මහලු බවට පත්වීම, ජරාපිදුක්ඛය.
ජීවිතය විනාශකිරීමට තරම් හේතුවන එක් එක් ලෙඩ රෝග සෑදීම ව්‍යාධිපි දුක්ඛය. ජීවිතයේ විනාශවීම මරණංපි දුක්ඛය. අප්‍රිය පුද්ගලයින් ඇසුරට ලැබීමත් දුකක්. ඔහුගෙන් තමන්ට නිතරම වන්නේ විපතක්. එය අප්පියේහි සම්පයෝගෝ දුක්ඛය. ප්‍රියවූ අයගෙන් වෙන්වීමත් දුකක්. මව්පිය, දූදරුවන්, සහෝදරයින්, තමන්ගේ ප්‍රියමිත්‍රයින් වියෝවීමත් දුකක්. එයට කියනව පියේහි විපයෝගෝ දුක්ඛය කියල. තමන් අභිමතාර්ථ යම් දෙයක් නොලැබුණත් එයත් තමන්ට දුකක්. යම් පිච්චංනලභති දුක්ඛං කීවේ එයට.
කොටින්ම කියනවනම් පඤ්චුපාදානක්ඛන්ධයම දුකයි.
පින්වත්නි, අපි සසර පුරාම ඇවිදින්නෙ මේ දුක් කරගහගන. මේ දුක්ගොන්න බිම තියන්න හැකිවුනොත් එදාට අපට මේ සසර සැරිසැරීමේ නවාතැන වන නිර්වාණ ධාතුවට සමීපවීමේ හැකියාව ලැබෙනව. මේ දුක්ගොන්න බැඳල තියෙන්නෙ පටිච්ච සමුප්පාදයෙන් අවිද්‍යා, තෘෂ්ණා සංඛ්‍යාත සංසාර චක්‍රයේ මූලධර්මයන් හොඳීන් හැදිනාගන්නාතුරු නිවනට පැමිනෙන්න බැහැ.
පටිච්චසමුප්පාදය නොදත් තැනැත්තාට ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට නොහැකිබව බුදුපියාණන් වහන්සේ ආනද ස්වාමීන් වහන්සේට එදා වදාළහ.
“ඒතස්ස ආනන්ද ධම්මස්ස අඤ්ඤාණා අනනුබෝධා අප්පටිවේධා ඒවමයං පජා තන්තාකුලක ජාතා ගුලාගුණ්ඨික ජාතා මුඤ්ඡබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති”
”ආනන්දය, මේ පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීම නිසා, අවබෝධ නොකිරීම නිසා, ප්‍රතිවේධ නොකිරීමනිසා මේ සත්ත්වයෝ අවුල්වූවාවූ නූල් පන්දුවක්සේ, අවුල්වූවාවූ මුඤ්ඡබබ්බඡ නම් තණවලින් ඇඹරූ දිරා කැඩීගිය කඹයක තණකෙඳීමෙන් අවුල්වූවාවූ සැපයෙන් පහවූ දුක්ඛයාගේ පැවැත්ම ඇත්තාවූ අපාය හා සංසාරය නොඉක්මවත්”
සකල දුක්ඛස්කන්ධයාගේ පහලවීමට හේතුවන පටිච්චසමුප්පාදය අවිද්‍යාව නොහොත් නොදැනීම නැතොත් මෝහය නිසාම හට ගන්නව.
අවිද්‍යාව නමැති හේතුව නිසා සංස්කාරයෝ හටගන්නව.
සංස්කාරනිසා විඥානය හටගනී
විඥානය නිසා නාමරූප හටගනී
නාමරූප නිසා ෂඩායතන හටගනී
ෂඩායතන නිසා ස්පර්ශය හටගනී
ස්පර්ශය නිසා වේදනාව හටගනී
වේදනාව නිසා තෘෂ්ණාව හටගනී
තෘෂ්ණාව නිසා උපාදානය හටගනී
උපාදානය නිසා භවය හටගනී
භවය නිසා ජාතිය හටගනී

ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනී.
මේ සියලු හටගැනීම් සඳහා උත්පත්ති ස්ථානය අවිද්‍යාවයි.
එසේනම් මාතෘකා කළ ගාථාව අනුව සියලු පව් නොකිරීමද ලොව්තුරා කුසල් වැඩීමද, සිත නීවරණයන්ගෙන් පිරිසුදු කරගැනීමද යන මෙය සියලු බුදුවරයින්ගේ අනුශාසනය බැවින් එම බුදුමඟ ගමන් කිරීමෙන් සසර දුකින් නිවී අනන්ත සැනසීම ඇති නිර්වාණ ධාතුව අවබෝධකර ගැනීමට අධිෂ්ඨාන කරගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි