පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Wednesday, August 29, 2012

වැසි සමයෙන් ඇරැඹුණු මහ පිනැ’ති පින්කම

ධර්ම දේශනාව(බුදුසරණ 2007.10.25)









“අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං අත්ථත කඨිනානං වෝ භික්ඛවේ භික්ඛවේ පංච කප්පිස්සන්ති අනාමන්තචාරෝ අසමාදානචාරෝ ගණ භෝජනං යාචදත්ථ චීවරං, යෝ ච තත්ථ චිවරුප්පාදෝ සෝ නේසං භවිස්සති, අත්ථක කඨිනානං වො භික්ඛවෙ ඉමානි පංච කප්පිස්සන්ති”
කාරුණික පින්වත!
විනය පිටකයට අයත්, මහාවග්ග පාලියේ කඨිනක්ඛන්ධකයෙහි එන මෙම පාඨය මාතෘකාව වශයෙන් යොදා ගත්තේ, ඒ සම්බන්ධයෙන් කථා කරන්නට සුදුසු ම කාලය එළැඹ ඇති බැවිනි. බුද දහමත්, බෞද්ධ විනයත්, බෞද්ධ සංස්කෘතිය හා ශාසන ඉතිහාසයත් එකට කැටිවුණු ඉතා වැදගත් සංසිද්ධියක් වන කඨින මහා පුණ්‍ය කර්මය පැවැත්වෙන්නේ මේ කාල සීමාව තුළ දී වීම ඊට හේතුවයි. භික්ෂූන් වහන්සේට වස් සමාදන්වීම ගැනත්, වස් කාලය නිසියාකාර නිම කිරීමෙන් පසු කඨිනයක් ලබා ගැනීම ගැනත් කඨිනය ලබන භික්ෂුවට ශාසනික පක්ෂයෙන් ලැබෙන වරප්‍රසාදත් සඳහන් වන මෙම පාඨය, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ ක්‍රි. පූ, 6 වන ශත වර්ෂය දක්වා වසර 2550 ක දීර්ඝ ඉතිහාසයක් වෙත අපගේ අවධානය යොමු කරවන්නක් ලෙස හඳුන්වා දිය හැකි ය.
බුදු දහම ව්‍යාප්ත වන විට, විශාල වශයෙන් බුද්ධිමත් පිරිස් බුදු දහම පිළිගත් විට, බුදු දහමට එරෙහි චෝදනා, දෝෂාරෝපණ මෙන් ම බලවේග ද ඉහළ යන්නට වූ බව පෙනේ. අන්‍යාගමික ශාස්තෘවරුන් තුළ තම තමන්ගේ අනුගාමික පිරිස් අඩුවීම නිසා ඇති වූ ද්වේෂයත්, බුදු දහමට ලැබුණු අසීමිත අනුග්‍රහයත් නිසා හටගත් ඊර්ෂ්‍යාවක් මේ විරෝධතාවන්ට මුල් වූ බව නිසැක ය. මේ පසුබිම සැකෙවින් හෝ සිිහියේ තබා ගත යුත්තේ . අප කථාකරන්නට යන මාතෘකාවට පදනම් වන්නේ ද මේ තත්ත්වය වන බැවිනි.
බුදුරජාණන් වහන්සේ තම අනුගාමිකයනට අවවාද කළේ “චරථ භික්ඛවේ චාරිකං බහු ජන හිතාය, බහු ජන සුඛාය, අත්ථාය හිතාය සදේව මනුස්සානං” (මහණෙනි, දෙවියන් සහිත ලෝකයාගේ යහපත පිණිස සදහම් චාරිකාවෙහි හැසිරෙන්න) යනුවෙනි. මේ අවවාදයට අනුගත වූ භික්ෂූන් වහන්සේ, එකී අරමුණු උදෙසා පූර්ණ කාලීනව කැපවෙමින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන්නට වූහ.
අවු - වැසි නොතකා, දිවා - රෑ නොබලා, සැප - දුක නොසලකා සංචාරය කරමින් බුද්ධාවවාදය අනුව ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණු භික්ෂූන් වහන්සේට වැසි සමයේ දී සමාජයෙන් එල්ල වූ බරපතළ දෝෂාරෝපණයක් වූයේ, නව තණ පත්‍ර මඩිමින් ක්ෂුද්‍ර ප්‍රාණීන් නසමින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් මහත් නොකටයුත්තක් කරන බවට යි.
ඒ වන විට ඉන්දියාවේ මුල්බැසගෙන තිබුණු විශ්වාසවලට අනුව වැසි සමයේ දී දළුලන තෘණ වර්ගයන්ට පවා කිසියම් ප්‍රාණයක් වූ බවට පිළිගැනීමක් විය. තෙත පසෙහි අනන්ත අප්‍රමාණ ක්ෂුද්‍ර ජීවීහු ඉපිද වැඩෙති. ජීවත් වෙති. එසේ හෙයින් උග්‍ර අවිහිංසා වාදය පිළිගත් ආගමික පිරිස් වැසි සමයේ දී තෙත් පොළොව මැඩීම පාපයක් ලෙස පිළිගත්හ. වැසි සමයේ දී භික්ෂුන් වහන්සේගේ සංචාරයට එරෙහි වූයේ මේ පසුබිම මතය.
ජනතා හඬට සවන් දුන් බුදුරජාණන් වහන්සේ, වැසි සමය තුළ දී උපසම්පන්න භික්ෂූන් වහන්සේ විසින් පිළිපැදිය යුතු පිළිවෙත අනුදැන වදාළහ. එනම් සෑම උපසම්පන්න භික්ෂුවක් ම කිසියම් ආරාමයක් කේන්ද්‍ර කර ගනිමින් වස් විසීම අනිවාර්ය කිරීමට විනය ප්‍රඥප්තියක් නිර්දේශ කිරීම ය. වස් විසිය යුතු කාලය, වස් විසිය යුතු පිළිවෙළ, ඒ සමය තුළ අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ආදී වශයෙන් විස්තර වශයෙන් පෙන්වා දුන් වැඩ පිළිවෙළක් ඊට ඇතුළත් වෙයි.
ඉන්දියාවේ ඍතු රටාව අනුව, වර්ෂා ඍතුව මාස 03 ක් වෙයි. සාමාන්‍යයෙන් මේ කාලය අධික වර්ෂාව සහිත, දුෂ්කර කාල පරිච්ඡේදයකි. එකල ගමනාගමනය අතිශයින් අපහසු වෙයි. වර්තමානයේ වුවද, මේ තත්ත්වය එසේ ම ය. බුද්ධ කාලයේ මේ තත්ත්වය වඩාත් කටුක වන්නට ඇත. මාර්ග ජලයෙන් යට වී, ගංගා පිටාර ගලා ඇතිවන බරපතළ තත්ත්වය භික්ෂූන් වහන්සේගේ ධර්ම චාරිකාවලට මෙන්් ම උන්වහන්සේ ගේ සෞඛ්‍ය තත්ත්වයට ද අයහපත් අන්දමින් බලපාන්නට ඇත. මේ කාල සීමාව තුළ එක් තැනක රැඳී ආගමික කටයුතුවල නියැළෙන්නට බුදුරජාණන් වහන්සේ නියම කරන්නට ඇත්තේ සමාජයෙන් එල්ල වූ චෝදනා මෙන් ම, එකී තත්ත්වය ද සැලකිල්ලට ගැනීමෙන් විය යුතු ය.
දායකයන්ගේ ආරාධනයක් ඇතත්, නැතත් සෑම උපසම්පන්න භික්ෂුවක් ම නියමිත කාලය තුළ නිශ්චිත ආරාමයක වස් එළැඹිය යුතු වීම, විනය ප්‍රඥප්තියකි. මේ කාල සීමාව තුළ, බොහෝ විට ම දායක දායිකාවෝ වස් විසූ භික්ෂූන් වහන්සේට වැඩි කැමැත්තකින් සිවුපසය සපයති. වස් සමය තුළ - වස් එළැඹි භික්ෂුව, එම ආරාමයෙහි නිත්‍යවාසී විය යුතු ය. කිසියම් අවශ්‍යතාවක් සඳහා බැහැර යෑමට සිදු වන්නේ නම් සත් දිනක් තුළ නොවරදවාම ආපසු පැමිණීම (සත්තාහකරණය) අනිවාර්ය වෙයි. කිසියම් හේතුවකින් එසේ පැමිණීමට නොහැකි වුවහොත් වස් ඡේදනය වෙයි. එසේ වස් ඡේදනය වුවහොත් කඨිනය ලැබීමට හෝ කඨිනානිශංස වශයෙන් විනයානුකූ®ලව හිමිවන වරප‍්‍රසාද ලැබීමට හෝ නොසුදුස්සකු ද වෙයි.
“වස් සමාදන්වීම” යනු, ශාසනික ගිවිසුමකි. ගිවිසුමකට කොන්දේසි අයත් වෙයි. එකී කොන්දේසි සපුරාලමින් ගිවිසුම සපුරා ඉටු කළ පසු, නිශ්චිත දින වකවානුවල දී ගිවිසුමෙන් මිදිය හැකි ය. “වස් පවාරණය” යනු එසේ ගිවිසුමෙන් මිදීම ය. වස් පවාරණය කළ භික්ෂුවකට ලැබෙන ප්‍රතිලාභය, කඨින චීවරයක් ලබා ගැනීමට සුදුස්සකු වීම ය. කඨින චීවරයක් ලැබීම, ශාසනික වරප‍්‍රසාද පහක් ලබා ගැනීමට හිමිකම් ලැබීමකි. ඉහත සඳහන් කළ පාලි පාඨයෙන් පැවසෙන්නේ ඒ සම්බන්ධවයි.
කඨින වස්ත්‍රයක් පිදීමත්, ලැබීමත් මහානිශංසදායක පුණ්‍යකර්මයක් ලෙස පිළිගනු ලැබේ. බුද්ධ කාලයේ සිට අද දක්වා ම එබඳු ආකල්පයක් තහවුරු වී තිබෙන්නේ, එම පුණ්‍ය කර්මයෙහි දුර්ලභකමත්, ඉන් ලැබෙන ආනිශංසයෙහි මහත්වයත් නිසා ය. කඨින පූජාවක් යනු, මුළුමනින්ම විනය කර්මයකි. එය විනය කර්මයක් වශයෙන් දෙවන වන්නේ, සීමා සම්මත විනය කර්මයකට පමණකි. ථෙරවාද - මහායාන භේදයකින් තොරව, සමස්ත සංඝ සමාජයම එක සේ පිළිපදින විනය නීති මාලාවකින් ආවරණය වූ එකම පින්කම, කඨින පූජාව ලෙස සඳහන් කිරීම නිවැරැදි ය.
“කඨින දානං සබ්බදානතෝ අග්ගං ච හෝති සෙට්ඨං ච” (කඨින දානය සියලු දාන අතුරින් අග්‍ර ද
ශ්‍රේෂ්ඨ ද වෙයි) යනුවෙන් කඨින වංශයෙහි සඳහන් වන අන්දමට කඨික පින්කමකින් දායකයාට ලැබෙන ආනිශංස පංච ආනන්තරිය කර්මයකින් හැර අනෙක් කිසිදු අකුසල කර්මයකින් අභිභවනය කළ හැකි නොවේ.
බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පරිද කඨින පූජාවෙන් තමන් ලත් අනේක විධ ආනිශංස පිළිබඳ නාගිත තෙරුන් කරන විස්තරය නාගිතාපදානයෙන් දැකිය හැකි ය. මේ අදහස් පසුකාලීන බෞද්ධ සැදැහැවතුන් කඨින පූජාව කෙරෙහි වඩාත් ඇදී යන්නට හේතුවක් වූ බව නිසැක ය.
සාමාන්‍යයෙන් ඕනෑම පින්කමක ආනිශංස ලබන්නේ, පින්කම කරන්නා හෙවත් දායකයා ය. දානයක් දෙන විට දායකයාට පින් ලැබේ. ප්‍රතිග්‍ර‍්‍රාහකයාට ලැබෙන්නේ එහි ප්‍රතිලාභ ය. එහෙත් කඨින පූජාවක තවත් සුවිශේෂත්වයක් වන්නේ, දායකයාටත්, ප‍්‍රතිග්‍රාහකයාටත් එක සේ එහි ආනිශංස ලැබීම ය.
මෙහි ආරම්භයේ දී සඳහන් කළ පාළි පාඨයෙන් කඨිනයක් ලබන භික්ෂුවකට ලැබෙන විනයානුකූ®ල වරප‍්‍රසාද පහක් සඳහන් වෙයි. පාළි වචන වලින් ඒවා නම් කරන්නේ අනාමත්ත චාර, අසමාදාන චාර, ගණ භෝජන, යාවදත්ථ ධීවරුප්පාද සහ චීවරුප්පාද යන නම් වලිනි. මේවා ගිහි පක්ෂයට අදාළ නො වුව ද සිය පණ මෙන් විනය රකින භික්ෂුවකට වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් අගනා විනයානුකූල වරප‍්‍රසාද ය.
“විනයෝ නාම සාසතස්ස ආයු” (සසුනේ ආයුෂ විනය යි) යන බුද්ධ භාෂිතය අනුව, විනය යනු, භික්ෂු ජීවිතයක ජීවය වෙයි. සසුන පවතින්නේ විනය ගරුක භික්ෂූන් වහන්සේ නිසාය. සිය පණටත් වඩා තමන්ගේ විනය සුරැකි භික්ෂූන් වහන්සේ පිළිබඳ කතා පුවත් බෞද්ධ සාහිත්‍යයේ සුලබ ය. එබඳු තත්ත්වයක් යටතේ විනය නීති පහකින් භික්ෂූන් නිදහස් කිරීම යනු අසිරිමත් ස්වාධීනත්වයක් ලැබීමකි. ඒ ස්වාධීනතාව, කඨිනයක් ලබන භික්ෂුවකට නිශ්චිත කාලයකට හිමි වෙයි.
සංඝයා වහන්සේ ගේ අනුදැනීමකින් තොරව ගම් නියම්ගම්හි සංචාරය කිරීම භික්ෂූන් වහන්සේට අකැප ය. සංඝ සමාජයේ සහජීවනයට එබඳු පැවැත්මක් අත්‍යවශ්‍ය වෙයි. එහෙත් කඨිනයක් ලැබූ භික්ෂුවකට ස්වකීය අභිමතය පරිදි එසේ සංචාරය කළ හැකි ය. “අනාමන්තචාරය” යනු එයයි.
භික්ෂුවක් නිරන්තරයෙන්ම තුන් සිවුරෙන් යුක්තව විසීම, අනිවාර්ය වෙයි. නිදා ගන්නා විටක පවා තම අත්පසක තුන් සිවුර තිබිය යුතු බව විනය නීතියයි. එහෙත් කඨිනය ලත් භික්ෂුවට එය බලපාන්නේ නැත. තමන් කැමැති සිවුරකින් - තම අභිමතය පරිදි පරිභෝග කිරීමේ නිදහස උන්වහන්සේට ලැබෙයි. “අසමාදානචාර” නම් ඒ වරය යි.
යමක් ඉල්ලාගෙන වැළඳීම හෝ තමන් වෙනුවෙන් ම දෙන දෙයක් පිළිගැනීම භික්ෂු විනයට පටහැනි ය. කඨිනයක් ලත් භික්ෂුව එකී වාරණයෙන්ද නිදහස් කැරේ. “ගණ භෝජනය” යනු එය යි.
සඟ සසුනේ වැදගත් අංගයක් වන්නේ බහු භාණ්ඩික නොවීම ය. එය අල්පේච්ඡතාවයේ ලක්ෂණයකි. ඒ නිසාම තුන් සිවුරට අතිරේකව සිවුරු පිළිගැනීම හෝ දැරීම හෝ විනය විරෝධී ය.
කඨින චීවර ලබන භික්ෂුව මේ වාරණයෙන් ද නිදහස් වන්නේ ය. “යාවදත්ත චීවර” නමින් දක්වා ඇත්තේ එම වරප්‍රසාදය යි.
“චීවරුප්පාදය” යනු නිශ්චික කාල සීමාවක් තුළ විහාරයට ලැබෙන සියලු වස්ත්‍රවලට හිමිකමන් ලැබීම ය. එසේ ලැබෙන වස්ත්‍ර තම අභිමතය පරිදි බෙදා දීමට කඨින චීවරය ලත් භික්ෂුවට අයිතිවාසිකමක් හිමි වෙයි. එහි අදහස සාංඝික න්‍යායට ඒ දීමනා අයත් නොවන බව ය.
මේ වරප‍්‍රසාද පහ කථින චීවරයක් ලබන භික්ෂුවකට මාස පහක කාලයක් ගත වන තුරු හිමි වෙයි.

දස ප්‍රසාදනී ධර්මයෝ

ධර්ම දේශනාව(බුදුසරණ 2007.11.01)








නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
එවං මෙ සුතං එකං සමයං ආයස්මා ආන‍ෙන්ද්‍රා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දක නිවාපෙ අචිර පරිනිබ්බුතො භගවතී තෙන බො පන සමයෙන රාජා මාගධො අජාත සත්තු වෙදෙහි පුතේතා රාජගහං ආයස්මා ආනනේද්‍රා පුබ්බනහ සමයං නිවාසෙත්වා පතතමීවචරං අදාය රාජගහං පිණ්ඩාය පාවිසි....

පින්වත්නි,
මෙම පාලි පාඨය මැදුම් සඟියේ උපරි පණ්ණාසකයට අයත් දෙවදහ වර්ගයේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ සඳහන්වන පාඨයකි.
අද වප් අටවක පොහෝ දින බුදුසරණ පුවත් පතේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකාව ලෙස තෝරා ගත්තේ ශීලාදී ගුණ ධර්මයන් පිළිබඳ විස්තර කෙරෙන දස ප්‍රසාදිනීය ධර්මයන් ගැනය.
මෙම දස ප්‍රසාදනීය ධර්මය අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රේෂ්ඨ ධර්ම කොට්ඨාසයකි. උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු, දිනක් ආනන්ද මහරහතන් වහන්සේ පිණ්ඩපාතය වඩින අවස්ථාවක ගෝපක මොග්ගල්ලාන බමුණාගේ වැඩ පලට වැඩියහ. එහිදී මෙම ධර්මය ගැන සාකච්ඡා කරන අවස්ථාවේ දී එම නිවසට මඟධ රාජ්‍යයේ මහාමාත්‍ය වස්සකාර බමුණා ද පැමිණියහ. මහාමාත්‍යතුමා ආනන්ද මහ රහතන් වහන්සේ දැක නමස්කාර කර ස්වාමිනී! මම පැමිණීමට පෙර වූ ධර්ම සාකච්ඡාව කුමක්දැයි ? විචාළහ. ආනන්ද මහරහතන් වහන්සේ මහ ඇමැතිතුමනි! ගෝපක මොග්ගල්ලාන බා‍්‍රහ්මණ තෙමේ මෙසේ විමසූහ.
ස්වාමීනී! අපගේ තථාගතයන් වහන්සේ යම් ධර්මයකින් යුක්ත වූයේ නම් උන්වහන්සේගේ සර්වඥතා ඥානයෙන් සියල්ල දත් සේක. එබඳු එකම භික්‍ෂුවක් දැනට ලොව ඇත්දැයි විචාළහ. බුදුරජාණන් වහන්සේ වැනි සියල්ල දත් එකඳු භික්‍ෂුවක් මෙලොව නැතැයි යනුවෙන් වදාළහ. මෙසේ සංවාදාත්මක මෙම ධර්ම සාකච්ඡාව පැවැත්වීම මෙහි විශේෂත්වයයි.
බමුණ! භාග්‍යවතුන් වහන්සේ තුළ නූපන් සිත් මාර්ග ඉපදීත්, නොහටගත් සිත් මාර්ග හටගෙන එය දැන ඉපදීමත්, නොවදාළ මාර්ගය කියන්නෙකි. මාර්ගය දන්නෙකි. මාර්ගයෙහි දක්‍ෂයෙකි. පසුව මේ මාර්ගවල ගමන් කරන ශ්‍රාවකයෝ මෙකල වාසය කෙරෙති.එසේම බුදුරජාණන් වහන්සේගේ යම් ශ්‍රමණයන් වහන්සේ ඒ අනුව යන්නාහු නම් බුදුපියාණන් වහන්සේ දැක්ක, දන්න, දැකිය හැකි පිළිසරණ ලබන අයෙකි.
බ්‍රාහ්මණයාණෙනි! මහ සංඝ සම්මුතියෙන් බොහෝ මහා තෙරුන්වහන්සේලා අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැයි තබන ලද්දා වූ දැන් අප යමෙකු ගමන් කරන්නා වූ එක භික්‍ෂුවකුත් නොමැත්තේ ය. බමුණ මහා සංඝයා වහන්සේලා අප්‍රතිසරණ නොවෙමු.(පිළිසරණක් නැත්තේය) අපි සප්‍රතිසරණ වෙමු. ස්ථිර සරණ වෙමු. දහම් සරණ කොට ඇත්තෙමු.
අපි හැම විටකම පුද සත්කාර කරන්නේ නම් එවැනි භික්‍ෂූන් වහන්සේලා ඇසුරු කරන්නේ නම් ගරු සත්කාර ලබන්නට පමණක් විසීම සුදුසු නොවේ. එවැනි අයගේ යහපත් යහගුණ පමණක් ගෙන ඇසුරු කරන භික්‍ෂූන් ද ඇත්තේ ය. බ්‍රාහ්මණය, දත යුතු දේ දන්නා වූ දැක්ක යුතු දේ දක්නා වූ තථාගතයන් වහන්සේ විසින් මෙබඳු ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරක් ‘දස ප්‍රසාදනී ධර්ම’ වශයෙන් වදාළහ. යමෙක් මේ ධර්ම පිළිපදිනතාක් බැබලෙන්නේ ය. එවැනි උත්තමයන් වහන්සේලාට සත්කාර කරම්හ. ගරු බුහුමන් කරම්හ.පුද සත්කාර ලබම්හ. එවැන්නෝ සුවසේ වසම්හ. ගරු සත්කාර දක්වන, එය ඇසුරු කරන පින්වත් සැමටද සුවසේ වාසය කළ හැක්කාහ.
පින්වත්නී! මේ ප්‍රසාදනී ධර්ම දහය හැමදෙනාගේම ප්‍රසාදයට සැප විහරණයට හේතු වෙනවා. ඒවා ආරක්‍ෂා කිරීමෙන් විනයත්, ශාසනයත් මැනවින් රැකවරණය ලැබෙනු ඇත.
ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය
කොටස් දෙකකින් යුක්තය. එය චාරිත්‍ර ශීලය හා වාරිත්‍ර සීලයයි.
චාරිත්‍ර ශීලය නම්
ගෙදර දොර පිරිසුදුව පවත්වාගෙන යෑම පරිසරය අලංකාරව තැබීම, තම වස්ත්‍රාදී ඉරී ඇත්නම් මසා ගැනීම් ආදී ගෘහ කටයුතු කිරීම්ද, ගිලනුන්, මහල්ලන් ආදි වැඩිහිටියන්ට මෙන්ම සිල්වත් ගුණවත් අයට උදව් උපකාර කිරීම් ද, වෙහෙර විහාර වල වතාවත් කිරීම් නිතර වැඳුම් කිරීම් ද මැනවින් ඉගෙන ගැනීම, උගත් දේ හොඳින් හදාරා පුරුදු පුහුණු කිරීම් ආදිය ද වේ.
වාරිත්‍ර ශීලය
දස අකුසල් නොකර, දස කුසලයන් වැඩීම, නිතරම සිල් ආරක්‍ෂා කිරීම, විනය ශික්‍ෂාවන් මැනවින් රැක ගැනීම, සුළු වරදකට පවා බිය ඇතිව විසීම, හිරි ඔතප් ඇතිව කටයුතු කිරීමාදිය හැඳින්විය හැක.
ශ්‍රැතිය හෙවත් සූතය
සති සම්පදා ඥානයෙන් යුක්ත, මනාවූ සිහියෙන් ඇසීම, සද්ධර්මය මැනවින් අසා අවබෝධක කර ගැනීම යම් ධර්ම කරුණක් මුල මැද අග හා එහි අක්‍ෂර, ව්‍යඤ්ජන ගැන පරිපූර්ණව සිටීම, අධි ශිල, අධි චිත්ත, අධිපඤ්ඤා යන ත්‍රිවිධ ශීලයන්ගෙන් සමන්නාගතව, ඇසීම (සුනාථ) දැරීම (ධාරෙථ) හැසිරීම (චරාථ) යන කරුණු අවබෝධ කිරීම හෙවත් අර්ථය හා ධර්මය සහ කාරණය නුවණින් දැනගෙන විසීම සූතය නම් වේ.
සිවු පසයෙන් ලද ලෙස සතුටුවීම
චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිවුපස ඉතා ආදර ගෞරවයෙන් පිළිගෙන දුන් අයට පින් අනුමෝදන් කර වැළඳීම, එහි රස, නීරස පිළිබඳ ගුණාගුණ නොකියා නොබලා සතුටු සිතින් පිළිගැනීම, සිවුපසය නම් සිවුරු, දානය, නිදාගන්නා ස්ථාන හා ඇඳ, පුටු, කළාල ආදිය, බෙහෙත් වර්ග වලින් ගන්නා යුෂ ආදිය වේ.
සතර ධ්‍යාන
1.චිතක්ක - සිතෙහි අරමුණ ගැනීමට උපකාර වන ස්වභාවය
2. විචාර – අරමුණෙහි සිත හැසිරීමයි, එම අරමුණ සිතින් පිරිමැදීම වේ.
3. පීති - සිතෙහි ඇතිවන පිනායන ගතිය පී‍්‍රතියයි, සතුටයි
4. සුඛ - මෙය කොටස් දෙකකට බෙදිය හැක. වේදයිත සැපය හා විමුක්ති සැපය
වේදයිත සැපය නම් – පංචකාම වස්තු කෙරෙහි ඇතිවන සතුට ලෞකික සැපයයි.
මිමුක්ති සැපය නම් – ජාති, ජරා, ව්‍යාධි ආදී සසරෙහි ඇති දුක්ඛතාවයන් ගැන මෙනෙහි කරමින් ඒවායෙන් මිදී කෙළවර ලබන සැපය, ලෝකෝත්තර සැප නැමැති නිර්වාන සැපයයි.
සෘද්ධි විධ සම්පත්
මේවා නානාප්‍රකාර වේ. නොයෙක් ලෙස ප්‍රාතිහාර්යය පෑමේ ශක්තියක් පවතී. දියෙහි නොගැටී, අහසෙහි, පොළොවෙහි පහස නොලබා, ගමන් කළ හැකි අදෘශ්‍යමාන බලවේගයකි. ඉර හඳ වූවත් අත්ලෙන් අල්ලා පිරිමැදිය හැකි බලවේගයක් මෙහි ඇත. පක්‍ෂියෙකු මෙන් සැරිසැරිය හැක.
දිව්‍ය ශ්‍රෝත ඤාණය
දිව කණින්, මනුෂ්‍ය කණින්, නොඇසිය හැකි ශබ්ද ඇසිය හැක. ලඟ හෝ දුර හෝ ඕනෑම භවයක සිටින අයගේ ශබ්ද ඇසීමේ ශක්තියක් දිව්‍ය ශ්‍රෝත ඤාණයට ඇත.
පරචිත්ත විජානන ඤාණය
පරසිත් අනුන්ගේ සිත්වල පවත්නා ස්වභාවය දැකීමේ ඤාණයයි. ඒ ඒ පුද්ගලයන්ගේ රාග සිත, විරාග සිත ආදී නානාප්‍රකර සිත දැන ගැනීමේ හැකියාවක් මෙම ඤාණය තුළ පවතී.
පුබ්බේ නිවාසානුස්සති ඤාණය
පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ ඒ ඒ සත්වයා ඒ ඒ ආත්මවල කෙබඳු ලෙස සිටියා දැයි කෙබඳු ආත්මයක සිටියාදැයි ආදී පෙර භවයන්හි විස්තර දැන ගැනීමේ නුවණ මේ තුළ පවතී.
දිබ්බ චක්ඛු ඤාණය
පිරිසුදු වූ මිනිස් ආත්මයේ ඇති මිනිස් ඇස ඉක්මවා පවතින දිව්‍ය ඇසින් දැකීමේ හැකියාව මෙහි ඇත. ඉපදීම, මැරීම ලොකු කුඩා, හොඳ නරක පිළිබඳ ආත්මයන් දැකීමට මෙම දිබ්බ චක්ඛු ඤාණයෙන් ප්‍රබල ශක්තියක් පවතී.
ආශ්‍රවක්‍ෂයකර ඤාණය
කාමාදි නානාප්‍රකාර කෙළෙස් වලින් මිදී, සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඤාණ දර්ශනා ආදි ගුණ නුවණින් යුතු මෙය ශක්තිමත් ඤාණයකි. මෙම දස ප්‍රසාදිනී ධර්මයන් බුදුරජාණන් වහන්සේ විසින් පුරන ලද බෝධි සම්භාර ධර්මවලටද අයත්ය. මේවායින් සමහර ධර්මයෝ රහත් බව ලැබූ හෝ ලබන්නට උත්සාහ දරණ උත්තමයන්ටද සාධාරණව බල පැවැත්වේ. මෙයින් තව කොටසක් පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලාට පමණක් නොව ගිහි ජනතාවටද අවශ්‍ය කරන ධර්මයන් බව පෙනී යයි. දස ප්‍රසාදනී ධර්මයන් යනුවෙන් හැඳින්වනු ලබන්නේ තම තමන්ටම අවංකව සත්‍ය ලෙස මනසට එකඟව ප්‍රසන්නතා සිතින් යුක්තව විමසීමෙන් කටයුතු කිරීමයි. පින්වත් ඔබත්, අපත් මෙම කරුණු පිළිබඳව සිහි නුවණින් කටයුතු කර පරම සත්‍ය වූ නිවන් මඟ සලසා ගැනීමට වෙහෙස ගනිමු.
සැමට තෙරුවන් සරණයි.

තමා ම දල්වා ගත යුතු ජීවන පහන

ධර්ම දේශනාව(බුදුසරණ 2007.11.09)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චත්තාරො මෙ භික්‍ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ චත්තාරො, තමො තමපරායනො, නමො ජොතිපරායනො, ජොති තම පරායනො, ජොති ජොති පරායනො

පින්වත්නි,
තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානව සමාජය කෙරෙහි මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් නිරීක්‍ෂණයකොට සත්වයාගේ උපතේ පටන් ජීවිතාන්තය දක්වා විවිධාකාර පැවැත්ම අනුව බෙදාවෙන්කොට දක්වා වදාළ සේක. නානත්තකාය නානත්තසඤ්ඤා යන ධර්ම නියාමට අනුව විවිධ රූප කාය මෙන්ම විවිධ චින්තනයන් නිසා සත්වයා ස්වලක්‍ෂණයෙන් හඳුනා ගැනීමට පුළුවන. බුදුරදුන් විසින් මානව සමාජය වර්ගකර ඇත්තේ ක්‍රියාකාරීත්වයෙන් සමානකම් දක්නට ඇති නිසාමය. අතිදීර්ඝ වූ මේ සංසාරයේ භවයෙන් භවයට ගමන් කරන විට හමුවන අපමණ සත්වයන්ට අනුරූපව හැඩ ගැසෙන විට ඇතිවන සමාන අසමානකම් කෙදිනක හෝ ප්‍රකාශයට පත්වීම ඒකාන්ත සිද්ධාන්තයක් වේ.
යමෙක් පෙර ආත්මයේ කළා වූ පස්පව් දස අකුසල් නිසාවෙන් මෙලොව ඉතා දිළිඳුව රූපයෙන් අප්‍රසන්නව සම්පතින් ඌනව ක්‍රියාවෙනුත් පාපීව වාසය කෙරේද? ඔහු ජීවිතාන්තයේ දී මහත් දුක්වේදනා විඳ මරණින් මතු සතර අපායේ උපදීද ඒ මේ තමෝ තමපරායන හෙවත් අඳුරෙන් අඳුරට යන පුද්ගලයාගේ ප්‍රධාන ලක්‍ෂණයයි.
යම්කිසි පුද්ගලයෙක් නීච කුලයක ඉපිද දුගී දුප්පත්ව සම්පතින් ඌනව එහෙත් චින්තනයෙන් ක්‍රියාවෙන් කුසල් කෙරේද ඔහු ජීවිත අවසානයේ සැපවත්ව මරණින් මතු සුගති සංඛ්‍යාත දේව මානුෂිකාදී සැප සම්පත් ලබයිද, ඒ තමො ජොති පරායන හෙවත් අඳුරෙන් එළියට යන්නා ය.
පින්වතුනි, මේ ලෝකයේ ජොති තම පරායන පුද්ගලයාගේ ලක්‍ෂණද අප මෙසේ අවබෝධ කරගත යුතු ය. යමෙක් පෙර ජාතිවල කරන ලද කුසල කර්මයන්ගේ ප්‍රතිවිපාක වශයෙන් ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණා දී උසස් කුල පරම්පරාවල ඉපිද ධන ධාන්‍යාදී මහා සම්පත් භුක්ති විඳිමින් එහෙත් සිතින් කයින් වචනයෙන් පස්පව් දස අකුසල් සිදු කෙරේද එයින්ම ජීවිතාන්තයේ දී මහත් දුක්වේදනා විඳ මරණින් මතු දුගති සංඛ්‍යාත සතර අපායාදීන්හි ඉපිද අනේක විධ වධ බන්ධන දුක් කම්කටොළුවලට භාජනය වේ. ඒ මේ ජොති තම පරායන පුද්ගලයා සගමොක්සුව ලබන්නේ කවර කලෙකද?
තවද ජොති ජොති පරායන හෙවත් එළියෙන් එළියට යන්නාගේ ලක්‍ෂණ කෙසේද යත්. පෙර භවයන්හි කළා වූ දානාදී කුශල කර්මවල විපාක වශයෙන් මෙලොව උසස් කුලවල ජනිතව, සියලු සම්පතින් අනූනව රජවරුන්, සිටුවරුන් වශයෙන් ගුරුවර, දෙමව්පිය ආදී පිරිවර සහිතව සැප සම්පත් භුක්ති විඳින්නේ උදාර චින්තනයෙන්, ක්‍රියාවෙන්, දාන ශීල, භාවනාදී දස කුසල් කර්මයන්හි නිරතව ජීවිතාන්තයේ සිහියෙන්, සොම්නසින් මියපරලොව ගොස් මතු උපදින ජාතියක් පාසා දේවාමානුෂිකාදී ලෞකික සැපසම්පත් විඳිමින් උතුම් නිවන් සම්පත් ලබාගනී. එවන් පුද්ගලයන් ආශ්‍රය කිරීම පවා උතුම් භාග්‍යයකි. අප බුදුරජාණන් වහන්සේ විසින් මහාමංගල සූත්‍රදේශනාවෙන් පෙන්වා වදාළ පරිදි පණ්ඩිතානංච සේවනා සීලාදී ගුණයෙන් ධ්‍යානවිදර්ශනාදී ප්‍රඥාවෙන් උසස් පුද්ගලයන් ආශ්‍රය කිරීම සසර සැරිසරණතාක් ලබන ශ්‍රේෂ්ඨතම මංගල කාරණය වේ. එය විමුක්ති මාර්ගයටද මූලික පදනම වේ.
මෙම පුද්ගලයන් සතර දෙනාගෙන් තමොජොතිපරායන පුද්ගලයාත් ජොති ජොති පරායන පුද්ගලයාත් සමස්ත මානව සමාජයට ඝනාන්ධකාරයට උදාහිරු මඬලක්සේ යහපත් ගතිගුණින් එකම ආලෝකයක් වන වග බුදුරදුන් විසින් විස්තර කර ඇත.
සසර උපදින සෑම සත්වයාගේම ජීවනය රඳා පවත්නේ දුක සැපට හේතුවන කුසලා කුසල කර්මය පදනම් කරගෙන නිසා එයින් සත්වයාගේ සංසාර ගමනේ ස්වභාවය භවයක් පාසා ප්‍රකාශනය වේ.
මව්කුසක ප්‍රතිසන්ධියේ සිට මෙලොවට බිහි වී ජීවිතාන්තය දක්වා චින්තනය ක්‍රියාත්මක වන්නේ පෙර කළා වූ හෝ කරන්නා වූ හෝ කර්ම බලවේගය විසිනි. නිර්මාණවාදීන් එම බලයේ සියලු පරාසයන් බාහිර ජීවාත්මයකට ආරෝපණය කරන්නේ ද එයින් අපමණ අකුසල් සිදු කරන්නේ ද අවිද්‍යාදී හේතූන් පිළිබඳ බුද්ධියක් නොමැති නිසාමය. සත්වයාට ස්වයංචින්තනයේ ශ්‍රේෂ්ඨත්වය තේරුම් ගැනීමට අප බුදුරදුන් විසින් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන දේශනා කළ පටිච්ච සමුප්පාද ධර්මය මහෝපකාරී වේ.
තමෝ තමපරායන හා ජෝති තම පරායන පුද්ගලයන් දෙන්නා සත්‍යාලෝකයේ අන්ධභූතව ක්‍රියාකොට තමන්ගේ ජීවිතයන් අන්ධකාරයට පමුණුවා එයින් ඉතා නරක අනර්ථකාරී චරිතයන් ප්‍රකට කරමින් අනුගාමිකයන්ද නොමඟ යවමින් කෙසේ හෝ ජීවත්වීමේ එකම පරමාර්ථය කරගන්නේ අවිද්‍යාදී සංකීර්ණ අදහස් නිසා ය.
මිනිසාට බුදුදහම අවශ්‍ය වන්නේ කෙසේ හෝ භෞතික අපේක්‍ෂාවෙන් පමණක් සම්පූර්ණ කර ගැනීමට නොව ලෝක සිද්ධාන්ත අභිබවා පියවරෙන් පියවර ජීවන දර්ශනයක් ලබා ගැනීමටය . මේ නිසාම අප බුදුරජාණන් වහන්සේ විසින් ස්වයං චින්තනයේ ශ්‍රේෂ්ඨත්වය පහදා දී ඇත. අත්තදීපාවිහරථ, අත්ත සරණා, අත්තාහි අත්තනො නාථො ආදී දේශනාවලින් ප්‍රකට වන්නේ තම ජීවන පහන දල්වා ගත යුත්තේ තමා විසින්ම බවය.
අප ගෞතම සර්වඥයන් වහන්සේද අවිද්‍යාන්ධකාරය නැතිකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ විද්‍යාඥාණය ලබා තුන්ලෝකය ආලෝකමත් කරගත්තේ පෙරදීපංකරාදී, බුදුවරුන්, ශ්‍රාවකයන් ආශ්‍රය කරගෙනය. මේ නිසා යුගයෙන් යුගයට වෙනස් වන මානව පරපුරට පරමාදර්ශයක් වශයෙන් සිතා බලා සිහිබුද්ධියෙන් අනුගමනය කළ හැකි එකම පිරිස බුදු පසේබුදු රහතන් වහන්සේලා පමණි.
තම ජීවිතය අඳුරෙන් එළියට යන්නට උපරිමයෙන් ප්‍රයත්න දරන බෝධි සත්වයන් තමන් මෙන්ම මෙරමාද තමො ජොති පරායන වීමට හා ජෝති ජෝති පරායන වීමට එමෙන්ම සත්ගුණයෙන් මානව සමාජය අතරින් දීප්තිමත්ව බැබලීමට කරුණාවෙන් හා ප්‍රඥාවෙන් සුවිශේෂ වීමට යන්නා වූ ප්‍රයත්නය ඉතා ආශ්චර්ය ජනක බව බොහෝ ජාතක කතාවන්ගෙන් පවා ප්‍රකට වන සත්‍ය කරුණක් ද වේ. ඔබද තමෝ ජෝති පරායන වීමට හා ජොති ජොති පරායන වීමට අප්‍රමාදීවන්න.ඔබ සැමට සසර දුක් කෙළවර අමාමහ නිවන ම හිමිවේවා!

දමනය කළ සිත ගෙන දෙයි සුව සෙත

ධර්ම දේශනාව(බුදුසරණ 2007.11.17)

දමනය කළ සිත ගෙන දෙයි සුව සෙත

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

දුන්නිග්ග හස්ස ලහුනෝ
යත්ථ කාම නිපාතිනෝ
චිත්තස්ස ද මථෝ සාධු
චිත්තං දන්තං සුඛාවහං


පින්වත්නි,
සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් අරබයා ඉහත කී ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.
එදවස අප බුදුරදුන්ගෙන් පැවිදි බව ලබා සුදුසු කමටහන් ගෙන හැටක් පමණ භික්‍ෂූන් වහන්සේ චාරිකාවේ හැසිරෙමින් කොසොල් රට ‘මාතිගාම’ නම් ගමේ පිඬුසිඟා වැඩියහ. මේ ගමට ප්‍රධාන වූ ‘මාතිකා’ නම් මව මෙම භික්‍ෂු පිරිස දැක තම ගෙදරට වැඩමවා ප්‍රණීත දන් පිළිගන්වා ‘ස්වාමීනී’ කොහේ වඩින්නාහුදැයි විචාලාය. ‘උපාසිකාවෙනි’ අපි අපේ පැවිදි පිළිවෙත් සපුරා ගැනීමට පහසු සෙනසුනක් සොයන්නෙමු යැයි පිළිවදන් දුන්හ. එසේනම් ‘ස්වාමීනි’ ඔබ හැමදෙනා වහන්සේම මෙහිම වැඩවසන ‍ෙස්ක්වා, සියලු පහසුකම් සලසාදීමට අපට පුළුවන. භික්‍ෂූන් වහන්සේ ද ‘මාතිකා මාතාව‘ විසින් සකසා පිළියෙල කළ සෙනසුන්වල වස් විසූහ. මෙසේ කල්ගතවන විට දිනක් භික්‍ෂූන් වහන්සේ එක් තැනකට රැස් වී සාකච්ඡා කරන්නෝ ‘අප සැම දෙනාම මෙහි පැමිණියේ මහණ දම් පිරීමට ය. එබැවින් එම පරමාර්ථය ඉෂ්ට සිද්ධ කර ගැනීමෙහිලා අප්‍රමාදව මහණදම් පුරමු. බණ භාවනා කරමු. දාන වේලාවට හා උවටැන් කිරීමාදී අවශ්‍යතාවයකට පමණක් ගෙඩිගේ සඤ්ඤාව සිහියේ තබාගනිමු. තම තමන්ගේ කුටිවල විවේකීව භාවනා කරමු යයි තිරසර කතිකාවක්, අදිටනක් ඇති කරගත්හ.
දිනක් මාතිකා මාතාව ගිලන්පස ආදිය රැගෙන සේවකයන් පිරිවරාගෙන පැමිණියේ භික්‍ෂූන් නොදැක සේවකයන් ලවා ගෙඩිය ගැස්සුවා ය. භික්‍ෂූන් වහන්සේලාද කුමක් සඳහා ගෙඩිය ගැසුවේදැයි කුහුල් සිතින් තමතමන්ගේ කුටිවලින් තනි තනිව වැඩමවා එක්තැනකට රැස්වූහ. ‘මාතිකා’ උපාසිකා මාතාවද එම බුද්ධ ප්‍රත්‍රයන් වහන්සේලාට දැහැත් ගිලන්පස පිළිගන්වා ‘ස්වාමීනී’ ඔබ වහන්සේලා වෙන්ව වැඩ හිඳ කරන භාවනාව කුමක්ද? එය මටද අනුකම්පාවෙන් කියාදෙන සේක්වායි ආයාචනා කළා ය. එවිට භික්‍ෂූහු තමන්වහන්සේලා තමන්ගේ කතිකාව විස්තරකොට ආත්මය පිළිබඳ ක්‍ෂය වන අරමුණු වන සතිපට්ඨාන භාවනාව කියා දුන්හ. ‘මාතිකා’ මාතාව අප්‍රමාදව ඒ භාවනාවෙන් නොබෝ දිනකින් සිව්පිළිසිඹියාපත් මාර්ග ඵලයට පැමිණ ආර්ය ගුණයෙන් සම්පූර්ණව තම ඥානයෙන් තමන්ගේ උපස්ථානයෙන් මහණදම් පුරන භික්‍ෂූන්ගේ මාර්ගඵල ලාභයක් නොමැති බව දන එයට හේතුව බලන්නේ උන්වහන්සේලාගේ ආහාර සප්පාය නොමැති බවත් එය බණ භාවනාවට බාධාවක් බව දැන කැමති කැමති කැඳ අවුල්පත් ආදී ආහාර ඉතා හොඳින් සකස් කළා ය. මෙයින් පසු භික්‍ෂූන් වහන්සේලා ද අප්‍රමාදව මහණ දම් පුරා සිව්පිළිසිඹියාපත් රහත් බවට පත්වූහ.
උතුම් ආර්ය ගුණයෙන් සම්පූර්ණව මෙම ශ්‍රාවකයන් වහන්සේ වස් පවාරණයෙන් පසු උපාසිකාවට දන්වා දෙව්රම් වෙහෙරට ගොස් බුදුරදුන් වැඳ සියලු පුවත් දන්වා වස්කාලය තුළ සිව්පසයෙන් ඇප උපස්ථාන කළ ‘මාතිකා’ මාතාවගේ උතුම් ගුණාංග අප දෙපක්‍ෂයටම විමුක්තිය සඳහා හේතු වූ අයුරු ද ප්‍රථමයෙන් ඇයගේ ආර්ය ඤාණයත් එයින් පසු අපගේ පරමාර්ථය ඉෂ්ට වූ අයුරු ද විස්තර කළහ. එහි සිටි තවත් භික්‍ෂුවක් එම තොරතුරු අසාගෙන එහි ගොස් මාතිකා මාතාව දැන හඳුනාගෙන සිව්පසයෙන් සත්ප්‍රාය ලබා අප්‍රමාදීව භාවනා කොට නොබෝ දිනකින් උතුම් අරහත් ඵලයට පැමිණියහ. එම භික්‍ෂුවගේ චිත්ත දමනය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.
ඉතා ඉක්මනින් ඇතිව නැතිව යන්නා වූ ඇස්කන් නාසාදී පසිඳුරන් කැමති තැනකට යන්නා වූ සිත යමෙක් දමනය කරන්නේ නම් ඉතා යහපත් ය. එයින් රාගාදී කෙලෙස් මුලින්ම නැති කොට විමුක්ති සුවයෙන් සැනසීමට පුළුවන. පින්වත්නි! සත්වයාගේ උතුම්ම වස්තුව සිත වූවද එය තමා විසින් පාලනය කර නොගැනීමෙන් රාගාදී කෙලෙස්වලින් කිලිටි වේ. අසංවර වේ.
ජරා, ව්‍යාධි, මරණාදි නොයෙක් දුක් වේදනාවලින් පීඩාවට පත් වේ. මකුළු දැලක් මැද සිටින මකුළුවා දැලේ බැඳෙන සතුන් පිළිබඳව ක්‍ෂණිකව ක්‍රියාත්මක වනසේ පසිඳුරන් විසින් අරමුණු කරා තබා ඇති සඤ්ඤාව නමැති දැලට වහාම සිත සසල වේ. සංසාරික ස්වභාවය අනුව සත්වයාගේ චිත්ත සන්තානය ලෝභාදී අකුසල මූලයන් පදනම් කරගෙන සිතුම් පැතුම් සකසා ගනී. ඒවාට සංඛාර නමින් හැඳින්වෙන්නේ පංචඉන්ද්‍රයන්ගේ මාර්ගයෙන් කුසල් අකුසල් රැස්වන නිසා ය. සත්වයා සුගති දුගති සංඛ්‍යාත ගමන් මාර්ග දෙකේම ගමන් කරන්නේ අභිසංඛාර බැවින් සංවර සීලය මූලිකව අප්‍රමාදීව වීර්ය වඩා ඒවා ක්‍රමයෙන් නැති කළ යුතු ය. සෝවාන් ආදී සිව් ආර්ය මාර්ගවලින් සන්තානගත සක්කාය දිට්ඨි ආදී දස සංයෝජනයන් ක්‍රමයෙන් සිඳ බිඳ දමා ලබන ආර්යඤාණය උත්කෘෂ්ඨ වේ. “ චිත්තං දන්තං සුඛාවහං” දමනය වූ සිත තමන්ට සැප ගෙනදේ. චිත්ත විවේක සැපය, උපධි විවේක සුවය, මාර්ගඵල සුවය, නිර්මාණ සැපය, තිරසරවන අතර චංචල සිතින් පංචකාම පිළිබඳ කාම තණ්හා, විභව තණ්හාවෙන් ලබන භෞතික සුඛාස්වාදය ක්‍ෂණික සඤ්ඤා සංකල්පයක් පමණක් වන අතර එයින් ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් භයානක ය.
චිත්ත දමනය කිරීමට පෙර ඉන්ද්‍රියන් දමනය කිරීමෙන් ලබන ආත්ම පාලනය මිනිසාගේ උදාර ගුණාංග ආරක්‍ෂා වීමට හේතු වේ. පුද්ගලයා සමාජ ගත වීමේ දී යහපත් තැනැත්තෙකු බවට පත්වීමත් එයින් ආශ්‍රිත සමාජයට යම් කුසලතාවයක් ප්‍රකට කිරීමත් කෙරෙන්නේ ආත්ම පාලනයෙනි. පන්සිල් ආරක්‍ෂා කිරීම සමාජයට කරන මහඟු උපකාරයක් බව අත්දැකීමෙන් අවබෝධ වන පසුතලය තමා විසින්ම සකසා ගැනීමෙහිලා ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍ය වේ. “ කායෙන සංවරෝ සාධු සාධු සබ් බත්ථ සංවරො” යනුවෙන් වදාළ බුදු වදන් නිතර නිතරම මෙනෙහි කරන්නාට ඉන්ද්‍රිය සංවරය ආරක්‍ෂාව වේ. සිත රූප ධර්මයක ආධාරයෙන් නාම ධර්මයක පෝෂණයෙන් සජීවීව පැවතිය ද අප්‍රකට වස්තුවක් බැවින් පංචේන්ද්‍රියන්ගේ චලන මාත්‍රයෙන් ගමන් කරන චිත්ත වීර්ය ඔස්සේ උත්පාද, ථිති භංග වශයෙන් නිතරම අනිත්‍ය ස්වභාවයෙන් සෙසු නාමරූප ධර්මයන්ට ප්‍රධානව පවතී.මෙය දමනය කිරීමට අවශ්‍ය නම් ප්‍රථම කොට ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියයන් පාලනය කිරීමේ මූලික පියවර වශයෙන් සීලය අවශ්‍ය වේ. “සික්ඛ තීති සීලං” යනුවෙන් දක්වා ඇති පරිදි ඉඳුරන් හික්මවා ගැනීමට ප්‍රථමයෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යථා ස්වභාවය හඳුනා ගන්නා ක්‍රමය ඉගෙන ගත යුතු ය.
‘පඨවි රූප’ ධාතුවෙන් ඝනත්වයද, ආපෝ ධාතුවෙන් ජලත්වයද, තේජෝ ධාතුවෙන් උණුසුමද, චලනත්වය වායෝ ධාතු වෙන්ද, පෝෂණය කරන ඇස රූපය අරමුණු කරගෙන විඤ්ඤාණය ඇති වේ. ඇසත්, රූපයත්, විඤ්ඤාණයත් නිසා ස්පර්ෂයත් වේදනාවත් ඒ නිසාම තණ්හාවත් ඇතිවන අයුරු සතිපට්ඨාන සූත්‍රයේ දැක්වේ. එමෙන් කන් නාසාදී ඉන්ද්‍රියන් ද අරමුණු විඤ්ඤාණය යන සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලන විට ඉන්ද්‍රියන් නිසා සිදුවන අකුසල් දුරුවේ. සීල විශුද්ධියෙන් ඉඳුරන් පාලනය කරගෙන සමථ භාවනා වඩා චිත්ත විසුද්ධිය කරා ගමන් කරන්නාට හිත තමාට පාලනය කර ගත හැකි අතර දිට්ඨි විශුද්ධියෙන් සම්මා දිට්ඨි කුසලය ඇතිවේ. ක්‍රමයෙන් සමථ භාවනාව පුරුදු කරගෙන යන විට සප්ත විශුද්ධි ලබා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් උතුම් නිවන් සම්පත් ලබාගැනීමට වාසනා භාග්‍යය වේ.
බුදුරජාණන් වහන්සේ විසින් ‘චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහං’ සිත දමනය කිරීම හොඳයි. දමනය කළ සිත සැප ඇති කරන්නේ ය. යනුවෙන් දේශනා කළේ විදර්ශනා ඤාණයෙන් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය දැනීමත් එයින් ලැබෙන ශාන්තියත් සම්බන්ධයෙනි. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සිව්පිළිසිඹියාපත් නුවණින් ලෝකයත් තමාත් අතර සැසඳීමෙන් මෙයින් මතු මාරයාට ශරීරය දීමක් නැති නිසා නිවන් සුවයෙන් සැනසීමට භාග්‍යවන්ත වේ. මෙතරම් ආශ්චර්ය ජනක සිතේ ශක්තිය ලබාගැනීමට සිතම උපයෝගී කරගෙන අප්‍රමාදීව සිහිබුද්ධියෙන් කටයුතු කරන තැනැත්තාට සිත දමනය කරගත හැකි ය. ඔබ සැමට නිවන් සුව ලැබේවා.

ආලෝකයෙන් ආලෝකයට

ධර්ම දේශනාව(බුදුසරණ 2007.11.24)

ආලෝකයෙන් ආලෝකයට



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චත්තාරො මෙ මහාරාජ පුග්ගලා
සන්තො සංවිජ්ජමානා ලෝකස්මිං
කතමේ චත්තාරො ? තමො තමපරායණෝ
තමෝ ජෝති පරායණෝ
ජෝති තම පරායණෝ
ජෝති ජෝති පරායණෝති
(සංයුත්ත නිකාය , කෝසල වග්ග පුග්ගල සූත්‍රය )
පින්වත්නි,
බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන සමයෙහි දී කොසොල් මහරජතුමන් සමග සාකච්ඡාවක් කළා. එහි දී බුදුරජාණන් වහන්සේ විසින් කළ සූත්‍ර දේශනාවක කොටසක් මා මේ ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළේ “ පුග්ගල සූත්‍රය” නමින් හැඳින්වෙන මේ සූත්‍රය මගින්. මේ ලෝකයෙහි සිටින පුද්ගලයින් හතර දෙනෙකු පිළිබඳව ප්‍රකාශ වෙනවා.
කවුද මේ ප්‍රද්ගලයන් සතර දෙනා තමොතමපරායණො , අඳුරෙන් අඳුරට යන පුද්ගලයා, තමොජෝතිපරායණෝ , අඳුරෙන් එළියට යන පුද්ගලයා ජොතිජෝතිපරායණෝ එළියෙන් අඳුරට සහ එළියෙන් එළියට යන පුද්ගලයා , මෙහි හැඳින්වෙන පළමු පුද්ගලයාගේ ලක්‍ෂණ මොනවාද ? පින්වත්නි ඇතම් අය, අකුසල කර්ම නිසා ඉතා දුක්ඛිතව උපදිනව. කන්න අඳින්න නැති ඔවුන්ට ගේ දොර වැනි වස්තු සම්පත් කිසිවත් නැතිව, විවිධ රෝගාබාධවලටත් විවිධාකාර ජීවන ගැටලු හා ප්‍රශ්න වලින්ද පීඩිතව ජීවත් වනවා. එසේම, භෞතික අංශයෙන් මෙන්ම ,අධ්‍යාත්මික අංශයෙන්ද පිරිහී ඇති ඔවුන්, තිදොරින්ම වැරැදි ක්‍රියාවල යෙදෙනවා.
මිනිසුන්ට නොගැලපෙන පහත් ගති ලක්‍ෂණ වලින් යුක්තව පව්කාර ආකාරයෙන් තමයි ජීවත් වන්නේ. ඔවුන් ජීවත් වන ඒ තත්වය තමයි අඳුරට උපමා කරන්නේ. අඳුරේ ඉන්න ඔවුන් එයින් එළියට එන්න හිතන්නේ නෑ. තම තමන් සිටින තත්වයේම අනාගතය කිසිදින ආලෝකයක් කරා ගමන් කරන්නේ නෑ. අඳුරේ සිටින ඔවුන්ට හිමිවන්නේ අඳුරමයි.
දෙවන පුද්ගලයා තමයි අඳුරෙන් එළියට යන පුද්ගලයා අකුසල කර්ම නිසා දුක්ඛිතව උපදින ඇතම් පුද්ගලයින්, තමන් සිටින දුක්ඛිත තත්වය පිළිබඳව තේරුම් ගන්නට උත්සාහ කරනවා. යහපත් දේ ඉගෙන ගැනීමෙන් යහපත් ආශ්‍රයෙන්, ධර්මශ්‍රවණයෙන් ජීවිතයේ අඳුරුපැත්ත අවබෝධ කරගෙන එම තත්වයෙන් කෙසේ හෝ ඉවත් වෙන්නට සිතන ඔවුන්, මහත් සේ වීර්යවන්ත වනවා.
ඉමහත් උත්සාහයෙන් ඉගෙන ගෙන, එසේම ධන ධාන්‍ය වස්තු හරි හම්බ කරගෙන ජීවිත සුඛිත මුදිත කරගන්න අය සමාජයේ දකින්න පුළුවන්. නූගතුන් අතර ඉපිද වූවත් උත්සාහයෙන් උගතුන් වූ අය දකින්ට පු‍්‍රළුවන්. ඉතා දුප්පත්ව ඉපිද මහත් වෙහෙස දරා ධනවත් වූ අය දකින්න පුළුවන්. එවැනි පුද්ගලයින් අඳුරෙන එළියට යන පුද්ගලයින් ගණයටයි ගැනෙන්නේ.
පසුගිය ආත්මවල කළ කුසල කර්ම නිසා සමහර පුද්ගලයින් උපතින්ම ධනවත් බලවත්, එසේම උගත් රූප සම්පත්තියෙන් පවා අගතැන්පත් වන්න පුළුවන්. එවැනි අය ප්‍රභාමත් ජීවිත ගත කරන අයයි. ඔවුන් ආලෝකයේ සිටින අය ලෙස මේ සූත්‍රයේ සඳහන් වනවා. එසේ උපදින සමහරුන්, විවිධ වැරැදි ක්‍රියා සහිත ඇවතුම් පැවැතුම් නිසා පිරිහීමට පත් වනවා. මේ සඳහා , සුරාව, සුදුව ,දුම්වැටිය , පාපමිත්‍ර සේවනය, ලෝභකම, ඊර්ෂ්‍යාව ආත්මාර්ථකාමීත්වය , මාන්නය වැනි තත්වයන් හේතු වනවා. මෙවැනි පුරුදු හා ගති ලක්‍ෂණ වලට හුරුවෙන කවුරුන්ට වුවද දියුණුව කරා යාමට නොහැකියි. ඔවුන් ලබන ලබන දේ නැති කර ගන්නවා. එසේ කර ගත් අය ඕනෑ තරම් සමාජයේ අපට දකින්නට පුළුවන්.
මේ අයුරින් පින් ඇතිව ඉපදී තමන් ලැබූ පිනැති ජීවිතවල අගය තේරුම් නොගෙන, ජීවිත අවාසනාවන්ත කරගන්නා අය එළියෙන් අඳුරට යන පුද්ගල කණාඩායමට අයත් වනවා. එවැනි අයගේ ජීවිත මෙලොව පමණක් නොව පරලොවක් අඳුරු වෙනවා.
සිව්වන පුද්ගලයා එළියෙන් එළියට යන්නා. ඔවුන් අයත්වන කණ්ඩායම සැමවිටම පින්බර ජීවිත ගත කරමින්, තව තවත් එම ජීවිත උසස් කර ගන්න උත්සාහ දරනවා.
ගුණ නැණ දෙකින් යුත් අය, තව තවත් එම තත්වයන් වර්ධනය කර ගන්නත් උත්සාහ කරන අතර, තම තමන් ලැබූ මිනිසත් බවත්, පින්බර ජීවිතත් අගය කරමින්, වැඩි වැඩියෙන් ගුණ දහමට නැඹුරුව ක්‍රියා කරමින් උත්සාහ කරනවා. ජීවිත පරිහානිය කරා යොමුවන ක්‍රියා මාර්ග අනුගමනය නොකරන ඔවුන් සමස්ත ලෝකයටම හිතැතිව ක්‍රියා කරන්න උත්සාහ දරනවා. එනිසාම ඒ අය එළියෙන් එළියට යන පුද්ගලයින් ලෙස හැඳින්වෙනවා.
මෙලොව උපදින පුද්ගලයින් සමානකම්වලින් යුක්ත වන්නේ නෑ. විවිධ වෙනස් කම් ඔවුන් අතර දකින්නට පුළුවන්. වරක සුභ නමැති තරුණයකු බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා පුද්ගලයින්ගේ අසමානතාවලට හේතුව . එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා පුද්ගල අසමානතාවලට හේතුව කර්මය බව, අල්පේශාක්‍ය බව, විරූපීබව, නිරෝගී නොවීම, අඩු ආයුෂයෙන් මරණයට පත්වීම, මෝඩකම වැනි තත්වයන් අඳුරු පැත්තටයි සම්බන්ධ වන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත එළිය ඇති ආලෝකවත් පැත්තයි. මුලින් සඳහන් කළ අඳුරු පැතිවල සිටින යමෙක් අකුසල යන්හීම යෙදෙමින්, ක්‍රියා කරන්නේ නම් ඔහු සදාකල්ම එහිම සිටින්නෙක්. කිසිදා ආලෝකයක් සොයා නොයන්නෙක්. අ¼ඳුර තුළ සිටින කෙනකු එයින් මිදී, ජීවිතය සුඛිත මුදිත කරගන්නට උත්සාහ කරන්නේ නම් ඔහුට වාසනාවන්ත වූ ආලෝකවත් ජීවිතයක් ඇති කර ගැනීමට පුළුවනි. ධනවත් බව මහෝශාක්‍යබව මනාරූප සම්පත්තියකින් යුතුවීම නිරෝගීකම, දීර්ඝායුෂ විඳීම ඥානවන්තබව වැනි තත්වයන් හිමිකරගෙන උපන් අයෙක් එම තත්වයන් අගය කරමින් ඒවා ආරක්ෂා වන ලෙසත් එම තත්වයන් තව තවත් වැඩි දුයුණුවන ලෙසත් කටයුතු කරයි නම් ඔහුගේ ජීවිතය වඩ වඩාත් ආලෝකවත් වෙනව.
මේ සූත්‍රයට අනුව, බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ, අඳුරේම නො සිට එයි න් එළියට එන්න උත්සාහ කරන්න කියලයි. ආලෝකය ඇති ස්ථානය හැම අතින්ම හොඳයි. අවට ලෝකය මනා සේ පේන්නේ එවිටයි. කවුරුත් අඳුරින් අඳුරට යන්න හොඳ නෑ.එසේම ආලෝකය ඇති තැන සිටින අය එතැනින් අඳුර කරා යනවා නම් එය අඥාන ක්‍රියාවක්. වඩා වැදගත් වන්නේ ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කරන අයකු වීමයි. මොලොව පමණක් නොව පරලොවත්, සැපවත් කර ගැනීමට හැකි වන්නේ ආලෝකය තුළ සිටින අයටයි. එසේම අඳුරින් ආලෝකය සොයා යන අයටයි. එවිට දොලොව යහපත පමණක් නොව සංසාර විමුක්තිය වූ නිවන් සුවයද ඔබට හිමිවනවා. එනිසා පින්වත්නි අඳුරේ නොසිට, ආලෝකය සොයා යන්න ආලෝකයෙන් ආලෝකයට යන්න, ඒ සඳහා මේ උතුම් බුද්ධ දේශනාව උපයෝගී කර ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.