මා අදරැති පින්වත් පුතණුවෙනි, දියණියෙනි,
මා සිතන්නේ ඔබට මා ගැන
අමතක නැතිව ඇති. පළමුවෙන් ඔබේ සුන්දර දිවයිනට මා පැමිණෙද්දී මෙහි එන්නට
අහස් යානා හෝ මොටෝ රිය හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබැවින්ම අපට ඇවැසි වූයේත්
නෑ. සමණමුළුවෙක් වශයෙනුයි අප පැමිණියේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහ
සෑ මළුවෙන් අහසට නැඟුණු අපි අම්බස්‌ථල සෑ අසල ඇති ගල් කුලට පැමිණිවිට මා
සිතටත් සිසිලසක් දැනුණා. එදා ඔබ පරපුරේ රජුවැ සිටි දෙවන පෑතිස් නිරිඳුන්
මට මුණ ගැසුණේ ඔවුන් නැකැත් කෙළිය සමරන්නට දඩ කෙළියෙහි ගොස් සිටියදීය.
දෙවියන් හා කතා බස් කොට මුවකුගේ වෙසින් දෙව්පුතකු එවන ලද්දේ ද මා විසිනි.
“තිස්‌ස” කියා මා ඔබේ රජු අමතද්දී හේ තැති ගත්තා. නමුත් “ධර්මරාජ වූ
ලෝකනාථයන්ගේ සව් වූ සමණ පුතුන් වනාහී අපි වෙමු”යි කී කල්හි හේ තුටු වුණා.
අඹ පැනය ඇසූ වේලෙහි ඔහු පිළිවදන් දුන් අයුරු සැබැවින්ම අසිරිමත්. ඔබේ රජ
පරපුරේ සිටි නයුවන් දැක්‌වූ විසාරද ප්‍රඥ පාටවය ගැන මා බෙහෙවින්ම තුටු
වුණා.
ඇත්පිය උපමාවෙන් යුතු
බුදු වදන් ඔහුට පැවසූ වේලෙහි දෙවන පෑතිස් නිරිඳුන් පමණක් නොවේ, මැති
ඇමැත්තන් ද බුදු වජන්හි අරුත් වටහාගෙන තිසරණ ගතවැ සැදැහැ සිත්හි මුල් බැස
ගත් අයුරු සිතන විට මට මහා ආනන්දයක් දැනේ. ලෝකනාථයන් වහන්සේගේ අසිරිමත්
සිරි සදහම් එකිනෙක පෙන්වා දෙද්දී එදා ඔබ මුතුන්මිත්තන් විස්‌මිත සොම්නසකින්
යුතුව එය ඇසූ අයුරු තවමත් සිහිවේ. ඇතොවුරෙහි සිටි අනුලාවන් ඇතුළු ඒ කෝමළ
ස්‌ත්‍රීන් සැණෙකින් මගඵල ලැබූ අයුරු තවමත් සිහිවේ. මහජන මුළුවට දහම් දෙසනු
පිණිස සකස් කැරුණේ ඇත්හල යි. ඔවුනට දිව්‍ය විමාන ගැන විමානවත්ථුවෙන් බණ
කියද්දී, දුක් ත ප්‍රේත ලොව ගැන පේතවත්ථුවෙන් බණ කියද්දීත්, ආර්ය සත්‍යය
නොදැන යන සසර ගමන ගැන ඔවුන් බියෙන් සලිතව ගියා. ඉක්‌බිති සත්‍ය සංයුක්‌තය
නම් බුදුවජන් පවසද්දී ඔවුන් මගඵල ලැබුවේ දස දහස් ගණනිනුයි.
ම පියාණන් වූ දම්සෝ
නිරිඳාණන් ඔබේ සොඳුරු දිවයිනට මහත් සේ පෙම් බැන්ඳා. මා නැගෙණියන් වූ සඟමිත්
තෙරණින් දකුණු මහබෝ ශාඛා වැඩමවද්දී ම පියාණන් මහත් සේ සතුටු වුණා. හේ
දඹදිවෙන් දකුණු පස පිහිටි මේ රම්‍ය දිවයිනෙහි අප ශාස්‌තෘ වූ ගොයුම්ගොත්
බුදුරජුන්ගේ සසුන පිහිටන වග ඇසූ තැන් පටන් මේ රම්‍ය දිවයිනට මහත් සේ ඇළුම්
කළා. එදා දෙව් නා බඹුන්ගේ අපමණ පුද පෙළහරින් දඹකොළපටුනට මහබෝ ශාඛා වැඩි
වේලෙහි දෙවන පෑතිස් නිරිඳුන් අපමණ සොම්නසින් පිළිගත්තා. මහබෝ ශාඛාව මේ
හෙළදිවින් පුදද්දී ධරතීමාතා තුන් යලක් සළිත වෙමින් සාදු හඬ දුන්නා. දඹකොළ
පටුනෙහි පටන් අනුරපුර බෝ මැඬ පිහිටන මළුව දක්‌වා රඹ තුරින් හා පුන් කළසින්
මඟ දෙපස සරහා සුදු වැලි අතුරා මල් වැසි වස්‌සමින් වෙසඟ පුන් පොහෝ දිනයෙහි ඒ
මහබෝ ශාඛා මළුවෙහි පිහිටැවූ කල්හි ධරතී මාතා තුන් යලක් සළිත වෙමින් සාදු
හඬ දුන්නා. ම පියාණන්ගේ අනුසස් පරිදි දඹදිවෙන් මෙහි පිටත් වෙන්නට පළමු
මහබෝ ශාඛාව දඹදිවින් අභිෂේක ලැබුවා. යළිදු අනුරපුර මළුවෙහි පිහිටි කල්හි
ඔබේ දිවයිනෙහි රාජාභිෂේකය පළමුව කරන ලද්දේ ඒ බෝ ශාඛාවටයි. දඹදිව රාජාභිෂේකය
කරනුයේ යම් අයුරින් ද, ඒ අයුරින් මැ අනවතප් විලෙන් ගෙනා පැන් මහාබෝ ශාඛාවට
ඉසින ලද්දේ ක්‌ෂත්‍රීය කන්‍යාවන් විසිනි. ඒ වෙසක් පොහෝ දිනයෙහි දෙවන
පෑතිස් නිරිඳුන් රාජාභරණ හා කිරීටය බෝ ශාඛාවට පළඳවා අබිසෙස් කොට පූජා
පැවැත්වූ දින පටන් ඒ බෝ ශාඛාව මේ දිවයිනෙහි බෝ රජු බවට පත් වුණා. එදා දෙවන
පෑතිස් තෙමේ දොරටුපාල වෙස් ගෙන පූජාව නිම වෙන තෙක් බෝ ශාඛාව මුර කළ
අයුරු මට තවමත් සිහිවේ. ඉක්‌බිති කිරීටයත්, රාජාභරණත් පැළැඳගත් දෙවන
පෑතිස් නිරිඳුන් මහත් අභිමානයෙන් යුතුව බෝධියට ලක්‌දිව පූජා කළා. එකල්හි ද
ධරතී මාතා සලිත වෙමින් සාදු හඬ දුන්නා.
මා ප්‍රිය දරුවෙනි,
යොවුන් අරිට්‌ඨයන් ප්‍රමුඛ ඔබ පරපුරෙහි යොවුන් දරුවන් ගෞතම බුදු සසුනෙහි
පැවිදි වූයේ සිය දහස් ගණනිනුයි. නිකෙලෙස් හද මඬලක් දරා ගෞතම බුදුන්ගේ
ළයෙහි උපන් අරහත් ශ්‍රාවක දරුවන් වන්නට තරම් අසිරිමත් පුණ්‍ය මහිමයකින්
හෙබි ඔවුන් ථූපාරාම සෑ මළුවෙහි විනය සංගායනා කරද්දී ධරතීමාතා යළිත් වරක්
සලිතව තුන් යලක් සාදු හඬ දුන්නා. මා ඔබට දහම් දෙසුවේ දීප භාෂාවෙනුයි.
මාගධී හෙවත් පාළි භාෂාවෙන් මා දරා සිටි තෙවලා බුදු වජන් ඒ අයුරින්ම ඔබ
පරපුරෙහි යොවුන් සමණ දරුවන්ට වනපොත් කරවද්දී ඔවුන් පිපාසිත මුවපොව්වන්
සිහිල් පැන් වළඳන ලෙසින් මහත් ආශාවෙන් තම ළයෙහි දරා ගත්තා. එහි අරුත් හෙළ
බසින් පවසද්දී ඒවා ද මහත් බැතියෙන් තම ළයෙහි දරා ගත්තා. ගොයුම් සම්බුදු
සසුන දෙවි මිනිසුන්ගේ හිත සුව උදෙසා සුරකිනු පිණිස දිවි පරදුවට තබා ඔවුන්
වෙහෙසුණා. එකල මා ඔවුන්ට ඉගැන්නූයේ බුදු බව පැතීමේ මහායානය නොවේ. බෝසත්
වන්දනාව ද නොවේ. ගෞතම බුදුන්ගේ නිමල දහමයි. එහි කියෑවෙන්නේ ශ්‍රාවකයකුවැ
දහමේ හැසිර සුගතියෙහි ඉපදීමටයි. එසේ සුගති රැකවරණය ලබමින් භව සයුරින්
එතෙරවීමටයි. නිමල බුදුදහම එයයි දරුවෙනි.
මා ප්‍රියාදර දූ
පුතුනි, එකල ඔබ පරපුරෙහි යොවුන් දරුවන් දැක්‌වූ කුසලතාව නම් දඹදිවෙහි සිටි
මහා පින්වතුන්ගේ කුසලතාවට කිසිසේත් දෙවැනි නොවුණි. මා පිරිනිවන් පානා
තෙක්‌ම මේ දිවයිනේ රැඳුණේ එනිසාය. ම පියාණන් වූ දම්සෝ මහ නිරිඳුන් පවා මෙහි
ඉපිද කුදුතිස් මහතෙරුන් නමින් සසුන බැබලවූයේ එනිසාය. අකුසල් දරුවැ කුසල්
මතුවැ ගොස් රජ නිරිඳුන් ප්‍රමුඛ කොට මැති ඇමැත්තන් ප්‍රමුඛකොට සකල ජනයා
දහමෙහි හැසිරුණු කල්හි වෛර සිත් බැහැරකොට මෙත් සිතින් බැබලුණ කල්හී මේ
රම්‍ය වූ දිවයින සකල සම්පතින් පිරී ඉතිරී ගියා. බත බුලතින්, කිරියෙන්
පැණියෙන් සරු වුණා. පෙරදිග ධාන්‍යාගාරය වුණා. ඉන්දීය සයුරෙහි මුතු ඇටය
වුණා. දහම් දිවයින වුණා. ගෞතම බුදුරජුන්ගේ විදුරසුන් මහ බෝ පිහිටි දඹදිව
තලයටත් වඩා මේ රම්‍ය දිවයින පූජනීය වුණා.
මා ප්‍රිය දරුවෙනි, එකල
දඹදිව දකුණු පෙදෙසෙහි විසූ චෝල රජවරුන් මේ කුඩා දිවයිනෙහි පිරී ඉතිරී ගිය
රන්, රිදී, මුතු, මැණික් කෙරෙහි ලොල් බැඳ මේ දිවයිනට අරක් ගත්තේ පස්
පියුමෙන් සුසැදි විලක් ඩැහැ ගන්නා දානව රකුසන් ලෙසිනුයි. එහෙත් ඔවුනට පවා
බුදුරජුන්ගේ ශ්‍රාවකයන්වීම විනා වෙන කිසිවක් කරගත නොහැකි වුණා. නමුත් මා
විසින් මේ දිවයිනෙහි ඔබට දහම් දෙසුවේ, ඔබේ පරපුරෙහි දරුවන් සසුන්ගත කෙරුවේ
හෙලදිව්වාසීන් විසින් බුදු සසුන සුරැක පතළ කැරවීම පිණිස ම ය. චෝලයන්ට ඇවැසි
නම් ඔවුන්ට ද මේ දිවයිනෙන් සසුන් පිළිවෙත ගෙන ගොස් චෝල දේශය බැබළවිය
හැකිය. සැබැවින්ම දරුවෙනි, එය වූයේය. එකල දඹදිව දකුණු පෙදෙස රහතුන්ගෙන්
බැබලුණේ. කාංචිපුරය ගෞතම බුදුරජුන්ගේ නිමල දහමේ තෝතැන්න විය.
පින්වත් දරුවෙනි,
ලෝකනාථ වූ අප ශාස්‌තෘන් වහන්සේගේ ධර්මය රැකගන්නට අසීරු වූයේ “සියලු දුකින්
නිදහස්‌වීම පිණිස නිවන් සාක්‌ෂාත් කිරීම පිණිස මේ සිවුරු මට ලබාදී මා
පැවිදි කරන්නැ”යි කියා ආචාර්ය පරපුරෙන් මහණකම ලබාගත් පැවිද්දන් නිසා ම ය.
ඔවුන්ගෙන් වෙන්නට තිබෙන අතවර දුටු මහාකස්‌සප මහතෙරුන් පළමුවෙනි සංගායනාව
කොට තෙවලා බුදු වදන මැනැවින් පිහිටැවූ සේක. එහෙත් දරුවෙනි, සියවසක් යන්නට
පළමුව නිවන් මඟට නිසි, විනයට අවිනය හෙළන්නට විලිබිය නැතිව බැසැගත්තෝ ද අන්
කිසිවෙක් නොව පැවිද්දෝ ම ය. දෙවන ධර්ම සංගායනාව කොට උතුම් බුදු වජන් බේරා
ගන්නට මහා තෙරවරුන් සමත් වුණා.
අහෝෘ පින්වත් දරුවෙනි,
ගෞතම සසුනෙහි පැවිදි වූ ශ්‍රමණයන් කොටසේ කීපයකට බෙදිය හැකිය. ඔවුන්ගෙන්
එක් ශ්‍රමණ කොටසක් උතුම් නිවන් මඟෙහි හැසිර ආර්ය සත්‍යය ඉස්‌මතු කොට බුදු
සසුන බැබලෙව්වා. තව ශ්‍රමණ කොටසක් එයින් යෑපෙමින් ජීවත් වුණා. තවත්
ශ්‍රමණ කොටසක් එයින් යෑපෙමිනුත් ඒ සම්බුදු වදන් ලඝූ කොට තම තම
මතිමතාන්තරයන් ගරු කොට බුදු වදන කෙලෙසන්නට පටන් ගත්තා. තවත් ශ්‍රමණ කොටසක්
ඒ බුදු වදන් ඇසුරෙන් මගඵල ලබනා මාවතෙහි සැක උපදවන කරුණු මතුකරමින් සසුන්
මඟ විපරීත කළා. එවිට බුදු සසුන බබලවන මහතෙරපාණන් වහන්සේලා වහා පෙරට වැඩ ඒ
විපරීත මත බැහැරකොට ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවකයන් වන්නට ඇති ඉඩකඩ යළි
පිහිටුවමින් තුන්වෙනි ධර්ම සංගායනාව කළා. එයට මුල් වූයේ මා ආචාර්යපාද වූ
මොග්ගලීපුත්තතිස්‌ස මහතෙරපාණන් හා ම පියාණන් ය.
දරුවෙනි, දක් ණාපථයෙහි
උදේනි නුවර මා යුවරාජව සිටිද්දී නිතර ඇසුරු කරන ලද්දේ ෙච්තියගිරියෙහි වැඩ
සිටි උතුම් සඟරුවනයි. රජකම කෙරෙහි මා සිත්හි ඇති ඇල්ම ටිකෙන් ටික දුරු
වුණා. සසරෙහි බිය දැනුණා. සුළු කලක් රජ කොට බොහෝ කලක් අපා දුක් විඳි
රජවරුන් ගැන මා ඇසූ නිසාම සිත බැඳී ගියේ සිහසුනට නොව සසුනටයි. “පුත, තෙපි
සසුන් මඟෙහි පහන්වැ ගියහු ද? ලෝකනාථයන් වහන්සේගේ සසුනෙහි පිළිවෙත් පුරා
මගඵල පසක් කරන්නට ද තෙපිත් රිසියෑහු ද?”කියා ම පියාණන් පැළලුප් නුවරට මා
කැඳවා විමසූ වේලෙහි නිම්හිම් නැති ආනන්දයක් ම සිතෙහි පැන නැංගා. පියකරු
ළඳුන් පිරිවරා මදිරා පානයෙහි ගිජුවැ කාමාසක්‌තව ගෙවන ඒ රාජකීය ජීවිතයට වඩා
තුන් සිවුර ගත දරා පාත්‍රය ද රැගෙන පිඬුසිඟා හැසිර රුක් සෙවණක හිඳ බවුන්
වඩා ඒ නිවන් මඟ පසක් කරන්නේ කවදාදෝයි සිතමින් සිටි මා හට මෙය කණෙහිලු
මීයක් බඳු විය. මා සැණෙකින් ම පියාණන්ගේ පා අබියස වැඳ වැටුණා. “භවත්
මහරජාණෙනි, සැබැවින්ම ඒ මට රිසි යෑ. ලෝකනාථයන් වහන්සේගේ අමාදහම් සිසිලස ලබා
සැනසෙන්නට ඇත්නම් එයින් ලබනා සැපයෙන් සොලොස් කලාවෙන් එකකට ද මේ රජ සැප
නොවටින බව මම දනිමි මහරජාණෙනි.” එවිට ම පියාණන් කඳුළු වෑහෙන නෙතින් මා
වැළඳගෙන “අදරැති පුත, සැබවින්ම තොප ද අසිරිමත් යෑෘ රන් බඳුනෙක් හි සිංහ
තෙලක් බඳු තොප විසින් අසිරිමත් බුදුවජන් ලයෙහි රුවාගෙන අමා නිවන් පසක්
කිරීම මැනැවි. දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස හැසිරීම මැනැවි.”
මා ප්‍රිය දරුවෙනි,
එකල්හි පැළලුප් නුවර අශෝකාරාමයෙහි දී සසුන් බිමට වන් මා තුන් වසරක් තුළ
මුළු තෙවලා බුදුවජන් ධරන්නට සමත් වුණා. එහි නිධාන කතාවන් ද ධරන්නට සමත්
වුණා. මා ඔබ දිවයිනට වැඩමැ වූයේ ඒ නිමල බුදු දහම සමගිනි. මා ඇති කළ සඟ
පරපුර උතුම් ගෞතම සසුනෙහි ශ්‍රාවක දරුවන් වී සසුන් පිළිවෙත සරු කරන්නට
වෙහෙසෙද්දී තුන් වෙනි සංගායානාවෙන් පළවාහරින ලද සසුන් වෙස් ගත් ශ්‍රමණයින්
විසින් මහත් විපතක් කරන ලදී. දුර දිග බැලීමෙහි කුසලතා රහිත වූ ඔවුන් සතර
අගතියෙන් යුතුව පිඹුරුපත් සකසන ලද්දේ නිර්මල සඟරුවන බැහැර කිරීමටය. ඒ
වෙනුවෙන් ඔවුන් ලෝකනාථයන් වහන්සේ තහනම් කොට වදාළ දෙය වූ පෙළ දහම සංස්‌කෘත
භාෂාවට නගන ලදී. තම තමන්ට රිසි පරිද්දෙන් බුදු බව පැතීමෙහි කතා බහන ලදී.
මගඵල පසක් කිරීම හීනයාන යෑයි දරා බෝසත් වන්දනාව පෙරට ගෙන බුදුබව පැතීමට
පොළඹවන ලදී. ඔවුන්ගේ ව්‍යාජ බෝසතුන්ගේ නම් ගම් දහස් ගණනකිනිදු අවසන් කළ
නොහැකිය.
වේද භාෂාවෙන් හෙවත්
සංස්‌කෘත භාෂාවෙන් තිබුණේ බමුණන්ගේ වේදය පමණි. ප්‍රාමාණික ග්‍රන්ථ වශයෙන්
එය පිළිගත් ඔවුන් අන් දහමක් තම දහමට අභියෝගයක් වෙතැයි නොසිතන ලද්දේ
සංස්‌කෘතයෙන් තිබුණේ වේදය පමණක් නිසාවෙනි. එහෙත් සසුනෙන් නෙරපා දමන ලද
ව්‍යාජ පැවිද්දන් බෝසත් වන්දනාව පෙරටු කරගත් සංස්‌කෘතයට හරවන ලද දහමට
බමුණන් බිය විය. ඉක්‌බිති බමුණන් විසින් ඒ සංස්‌කෘතයෙන් තිබුණු දහම කියවා
එයට එරෙහිව වාද විවාද නගන්නට පටන් ගත්හ. එවිට නාලන්දා වැනි මහා සරසවි
බිහිකොට මහායානිකයන් කරන ලද්දේ බමුණු දහමට එරෙහිව තම අධ්‍යයන විෂය පුළුල්
කිරීමයි. ගෞතම බුදු වදන් පසෙකලා වේද වේදාන්තයන් හා සම තැන් ගැනීමට පමණක්
නොව එය යට කොට තම මතය මතු කරන්නටත් ඔවුන් වෙහෙසුණා. නාලන්දාව වැනි ඔවුන්ගේ
සරසවිවල අධ්‍යයන භාෂාව වූයේ සංස්‌කෘතයි. බමුණන් අනේකවිධ තපස් රැක පෙළහර
පාන කල්හි මේ ව්‍යාජ සංස්‌කෘත ශ්‍රමණ පඬිවරුන් එයට සමවන්නට යන්ත්‍ර මන්ත්‍ර
තන්ත්‍ර ආරම්භ කළා. ජ්‍යෝතිෂ විශාරදවරුන් වුණා. වාද විවදයන්ට නිසි
නොයෙකුත් න්‍යායන් බිහි කළා. “වාද විවාද පිණිස මාගේ දහම හදාරන්නට ගියහොත්
ඔවුන් විනාශ වන්නේ සර්පයා වලිගයෙන් අල්ලන්නට ගොස් විනාශ වන මිනිසා මෙන්”
බව අලගද්දූපම සූත්‍රයෙහි වදාළ බුදු වදන ඔවුන් බැහැර කළා.
වාද විවාදවලින් ව්‍යාජ
ශ්‍රමණයන් ජය ගත් කල්හි ඔවුන් සව්දිය පිරුවේ එම පෙදෙස් වැසි සියලු බමුණු
කැල නාලන්දාවේ දාසයන් බවට පත් කිරීමෙනි. බමුණන් ජයගත් කල්හි ඔවුන් සව්දිය
පුරන ලද්දේ සියලු ශ්‍රමණවරුන්ගේ ගෙල සිඳලීමෙනි. මෙසේ කෙමෙන් කෙමෙන් වාද
විවාද උග්‍ර වෙමින් තිබියදී නිමල බුදු දහම තමනට අභියෝගයක් වෙතියි සැලකූ
මහායානිකයන් වාද විවාද කොට එය ද දඹදිවින් අතුරුදන් කරන ලද්දේය. සුවිසල්
රුකක් වසා ගත් පිළල රැසක් පරිද්දෙන් මහායානය පැතිර ගොස් තිබියදී බුදු බව
පතන බෝසත් වේශයෙන් ඔවුන් කරන ලද්දේ බුදු සසුන අතුරුදන් කිරීමයි. මෙසේ
බමුණන්ගේ අධික වෛරයට පාත්‍ර වූ ව්‍යාජ ශ්‍රමණයන්ගේ ආධ්‍යාත්ම බලය දකුණු
දඹදිව උපන් සංකරාචාර්ය නම් වූ අන්තවාදී සිව බැතිමතා විසින් වනසන ලදී.
ඉනික්‌බිතිව සියවස් කීපයක් පුරා කෙමෙන් කෙමෙන් වැඩී ආ අන්තවාදී ඒක දේව
වාදයෙහි උමතු බලවේගය වන මුසල්මාන් ආක්‍රමණයට බමුණන්ගේ සහය ලැබිණි. “එම්බා
මුසල්මානුවෙනි, නුඹලාට මේ රට ගන්නට ඇවැසි නම් කාෂායවස්‌ත්‍රධාරී බියකරු
සේනාව වැනැසිය යුතුය. ඔවුන්ගේ යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර සහ දර්ශන ඉගැන්වෙන
සේනා මූලස්‌ථාන වන නාලන්දාව වැනි තැන් ගිනිබත් කළ යුතුය.” යන වදන් ඇසූ
ඔවුන් ද තම මතයෙන් උමතුව සේනා සහිත මාරයාගේ සහයෙන් ඔද වැඩී ව්‍යාජ ශ්‍රමණ
පරපුර දඹදිවින් අතුගා දමන ලදී. මෙසේ ගෞතම බුදුසසුන දඹදිවින් අතුරුදන් විය.
එහෙත් බමුණන්ගේ බිය තුනී වූයේ නැත. ඉන්දීය සයුරෙහි මුතු ඇටයක් තිබේ. එහි
නිමල බුදුදහම බබලයි. යම් හෙයකින් ඔවුන් බලවත්ව පැමිණ යළිත් වේදය වනසන්නට
පුළුවනි. එයට පෙර එම දිවයින ද වැනැසුව මනාය. ව්‍යවහාර වර්ෂයෙන් නව වැනි
සියවසෙහි රාමායණ නම් වූ මිත්‍යා ප්‍රබන්ධය කරන ලද්දේ සිව භක්‌තිකයන්
විසිනි. දකුණු දඹදිව සිටි සියලු පැවිද්දන් වැනැසූ බමුණන් විසින් වෙහෙර
විහාර සිව මන්දිර බවට පත් කරන ලදී. රාමායණය නිරතුරුව ජප කරන ලදී. තම
දෙවියන් යෑයි කියාගත් රාමාගේ බිසව වන සීතා පැහැරගත් රකුසන්ගේ ද්වීපයෙහි
සිටි රාවණයා මරා දැමූ අනුහස් නැවත පෙන්විය යුතු යෑයි කියා රජවරුන් පොළඹවන
ලදී. ධර්මද්වීපය රකුසන්ගේ ද්වීපය බවට පත් කළ බමුණ දහම පිළිගත් කාලිංගමාඝයා
ලක්‌දිව වෙහෙර විහාර වනසා ගිනි තබන ලදී. පර්සියාවෙන් ආනයනය කළ ව්‍යාජ
අනුකරණවාදී සිව ඇදහිල්ලෙන් පන්නරය ලැබූ කෲරත්වය විසින් මහායානිකයන්ගේ
තන්ත්‍රයානයෙන් උපුටා ගත් කාම පූජා මිශ්‍රකොට ශිවලිංග පූජාව ධර්මද්වීපයෙහි ද
පවත්වන ලදී.
පින්වත් දරුවෙනි, ගෞතම
ලෝකනාථයන් වහන්සේගේ වදන් සැබෑ කරමින් දකුණින් පහළ වූ පළමුවෙනි විජයබාහු
නරපතියා විසින් මෙම දහම් දිවයින අසීරුවෙන් බේරා ගන්නා ලදී. කාලිංගමාඝයාගේ
හිංසාවෙන් දුබල වූ සසුන පැරකුම් නරපතියා විසින් යළි ඔසවන ලදී. එහෙත් කෙමෙන්
කෙමෙන් ලක් බුදුසසුනත් පැළලුප් නුවරින් පැමිණි ශාක්‍ය පරපුරේ ලේ ධාතුවෙන්
මිශ්‍ර වූ හෙළයා දුබල වන්නට විය. පින්වත් දරුවෙනි, ඔබේ සොයුරු ද්වීපය වූ
මාලදිවයිනෙහි සියලු ශ්‍රමණ දරුවන් වනසා වෙහෙර විහාර වනසා අන්තවාදී ඒක
දේවවාදය මුසල්මානුවන් විසින් ස්‌ථාපිත කරන ලදී. ඔබගේ මෙම රම්‍ය දිවයිනට
මුසල්මානුවන්ගේ බැල්ම වැටෙන්නට පළමු ඒක දේවවාදයේ බටහිර අන්තවාදයේ ග්‍රහණයට
ඔබේ මුතුන් මිත්තන් හසුවිය. වරින් වර නාමමාත්‍රික වශයෙන් පවා නොසිට පැවිදි
ශ්‍රමණයන් අතුරුදන් වූ අවස්‌ථා තිබේ. ගෞතම සසුනට වින කරන මහායාන මතයන්
විසින් සසුනෙහි මූලික සංකල්පය උඩු යටිකුරු කරන ලදී. සසරේ බිය තොර කරන ලදී.
රාජබලය ද ධර්ම බලය ද නැතිවී ගිය අබල දුබල නිවට නියාලු හරසුන් ජන කැලක් බවට
ලක්‌දිව්වැසියන් පත්වන කල්හි ගෞතම සසුන රකින්නට මා මහත් වෙහෙසෙන් සැකසූ
සසුන් පරපුර වඳ වී යන කල්හි මා සිත්හි සංවේගයයි උපන්නේ.
ඒක දේවවාදයෙන් වැඩී ගිය
ව්‍යාජ විද්‍යා ලෝකය විසින් කාම උමතුව බිහි කරන ලදී. යොවුන් දූ දරුවන් හට
දහම සිතීම පවා අකැප කරන ලදී. දහමේ හැසිරීම පවා විලිබිය උපදවන කරුණක් කරන
ලදී. ඔවුන්ගේ කාම උමතුවේ ප්‍රේම සුනාමිය ලොව පුරා පතුරුවන ලදී. ගෞතම සසුන
තුළින් යොවුන් දරුවන් ලද දෑ අභිමානය හා මානව ගුණය බැහැර කරන ලදී. නමුත්
දරුවෙනි, ඒ අකාලික දහමේ ඔබට කියනා මේ සොඳුරු උපදෙස් බලන්න. සිඟාලක දරු හට
ලෝකනාථයන් වහන්සේ මේ දහම වදාළ අයුරු කෙතරම් අසිරිමත් දෘ දරුවෙනි, අගති
සතරෙකි. එයින් අගතියට නොයන්න. එනම් ඡන්දයෙන් අගතියට යැමත්, ද්වේෂයෙන්
අගතියට යැමත්, භයෙන් අගතියට යැමත්, මෝහයෙන් අගතියට යැමත් ය. මා අදරැති
දරුවෙනි, අගතියට ගියහොත් ඔබ පිරිහෙන්නේ අඳුරු වී යන සඳක් මෙනි.
දරුවෙනි, දුක කරා යන
කරුණු සයෙන් වළකින්න. මත්පැන් හා මත්ද්‍රව්‍ය සේවනය නොකරන්න. නොකල්හි පාර
තොටේ ඇවිද නොයන්න. අරුත්සුන් කාම ප්‍රසංගවලින් ධනය වනසා නොගන්න. දූ
කෙළියෙහි නොයෙදෙන්න. පවිටු පුද්ගලයන් සමග මිතුරුදම් නොපවත්වන්න. අලසව
නොසිටින්න. පින්වත් දරුවෙනි, ඔබ මේවාට ගිජු වුවහොත් මේවා පුරුදු කළහොත්
වැනසෙන නිසාවෙනි ඔබේ ශාස්‌තෘ වූ ලෝකනාථයන් වහන්සේ ඔබට එය වදාළේ.
මා අදරැති දරුවෙනි,
සැබෑ මිතුරෙක් වන්න. සැබෑ මිතුරා මිතුරාගෙන් කිසිවක් ලබාගැනීම පිණිස ඔහු
රවටා ලන මිතුරු වෙස් ගත් “අඤ්ඤදත්ථුහරයෙක්” නොවේ. සැබෑ මිතුරා තම
මිතුරාගේ වටිනා කාලය සහ ඔහුගේ කාර්යභාරය වැනැසෙන පරිද්දෙන් ඔහු නොමඟ යවන
කතාවට නතු කොට ඔහු පමා කරවන “වචීපරමයෙක්” නොවේ. සැබෑ මිතුරා ඔහුගේ මිතුරු
බව සුරැකිනු පිණිස ඔහු කරන පව අනුමත කිරීමත්, පින අනුමත කිරීමත්, ඔහු
ඉදිරියේ ගුණ කීමත්, ඔහු නැති තැන නින්දා කිරීමත් කරන “අනුපියභාණියෙක්”
නොවේ. සැබෑ මිතුරා සතුටු වන්නේ තම මිතුරා අපායට වැටෙනු දැකීම නොව සුගතියෙහි
ඉපදෙනු දැකීමෙනි. එනිසා සැබෑ මිතුරා අපාගතවීමට හේතුවන දෙයින් තම මිතුරාව
වෙලා ඔහුගේ ලාභ ප්‍රයෝජන ගැනීමෙහි යෙදෙන “අපාය සහායක” මිත්‍රයෙක් නොවේ.
පින්වත් දරුවෙනි, කළණ
මිතුරෙක් වන්න. කළණ මිතුරා තම මිතුරාව නොමඟින් රැක ගනියි. ඔහු යහපතේ
යොදවයි. ඔහු අනතුරෙන් බේරයි. පවින් වළක්‌වයි. අකුසලයෙන් වළක්‌වයි. පෙර
නොඇසූ දහම අසන්නට සලස්‌වයි. පිනෙහි යොදවයි. සුගතියට මග කියා දෙයි. සැබෑ
මිතුරා තම මිතුරාගේ පිරිහීම ගැන නොසතුටු වෙයි. දියුණුවෙහි තුටු වෙයි.
මිතුරාට අභූත චෝදනා කිරීමට ඉඩ නොදෙයි. ඔහුගේ ගුණ මතු කරයි. එවැනි මිතුරෙක්
වෙන්න.
මා ප්‍රිය දරුවෙනි,
දැහැමි දරුවන්ගේ පෙරදිග දිශාව නම් මවුපියන්ය. දකුණු දිශාව නම්
ආචාර්යවරුන්ය. බටහිර දිශාව නම් අඹුදරුවන්ය. උතුරු දිශාව නම් මිතුරන්ය. යට
දිශාව නම් සේවකයන් ය. උඩ දිශාව නම් ශ්‍රමණ බමුණන් ය. පින්වත් දරුවෙනි,
කිසිදා මවුපිය ද්‍රෝහියෙක් නොවෙන්න. ඔබ දුබල මාපියන් සුරකින්න. ඔවුන්ගේ
කටයුතුවලට සහාය වෙන්න. කුල පරපුර රැකගන්න. මාපිය වස්‌තුව සුරකින්න. සුගති
ගමනට සහය වෙන්න, සැබෑ කුල දරුවෙක් වෙන්න.
මා ප්‍රිය දරුවෙනි,
කිසිදා ආචාර්ය ද්‍රෝහියෙක් නොවෙන්න. ආචාර්යවරයා ඔබව හික්‌මවයි. ඔබට තම දහම
උගන්වයි. විනයෙහි පිහිටුවයි. උසස් පුද්ගලයන්ට ඔබව හඳුන්වා දෙයි. සමාජයට
ඔබව හඳුන්වා දෙයි. එනිසා ආචාර්යවරුන් දැක හුනස්‌නෙන් නැගිටින්න. උවටැන්
කරන්න. වතාවත් කරන්න. සකසා ඉගෙන ගන්න. ආචාර්ය ගෞරවයෙන් යුතු වෙන්න.
පින්වත් දරුවෙනි,
ලෝකනාථ වූ ඔබේ ශාස්‌තෘන් වහන්සේ ඔබට භව සයුරෙන් එතෙරවීමට පමණක් නොව,
සුගතියෙහි ඉපදීම පිණිස ද පිහිට වූයේ ලොව දකිනා එකම ඇස උන්වහන්සේ නිසාවෙනි.
පින්වත් දරුවෙනි, වැලන්ටයින් නම් වූ මිත්‍යා කාම මායාවට හසු නොවී තිලොවග
ගුරු වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වී උන්වහන්සේව මුළු
හදවතින්ම සරණ යන්න. ලොවෙහි යථාර්ථය දැකීම සත්‍යයට ආශා කරන අප සියලු දෙනාටම
අයත් අද්විතීය උරුමයකි. ඒ උරුමයට ආශා කරන්න. ඔබේ රම්‍ය දිවයිනට ගෞතම
බුදුරජුන්ගේ සොඳුරු දහම හඳුන්වා දී මාගේ මුළු දිවිය ම ඔබේ පරපුර සුවපත්
කරන්නට කැපවූ නිසාවෙනි ඔබට මේ ලියන්නේ. නිවන් පුර සිට ඔබ අමතන මා, ඔබේ
අදරැති මෙත් සිතිනි මිහිඳු මා හිමි…!
෴ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි..
No comments:
Post a Comment