පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

Thursday, June 27, 2013

ඔබ භාවනාවට බිය ද?




ද සමාජයේ සමහරු භාවනාවේ යෙදීමට කැමැති වුණත් ඊට බයයි. මේ පිළිබඳ මොනතරම් විස්තර බුද්ධ දේශනාවල ඇතුළත් දැ යි බොහෝ අය දන්නේ නැහැ. සූත්‍ර දේශනා පමණක් 18,000 ක පමණ ප්‍රමාණයක් තවමත් සුරක්ෂිතව තිබෙන බව අදටත් ඇතැම් බෞද්ධයන් නො දන්නා කාරණාවක්.
දැන් මේ දේශනා බොහෝමයක් සිංහලට පරිවර්තනය වී තිබෙන නිසා ඔබට මේ පිළිබඳ අවබෝධය ලබා ගැනීම ඉතා පහසු වී තිබෙනවා.
තවත් සමහරුන් සිතන්නේ භාවනාවට පුද්ගලයකු යොමුවන්නේ ඒ තැනැත්තා ගේ් ජිවිතයේ පවතින කිසියම් ගැටලුවක් හෝ කරදරකාරී තත්ත්වයක් නිසා බව යි. බුද්ධ දේශනා පිළිබඳ අල්පමාත්‍ර හෝ දැනීමක් ඇත්නම් මෙවැනි මිථ්‍යා මතවල කිසිවකු එල්බ ගන්නේ නැහැ. එහෙත් අද සමාජයේ බහුතරයකට මේ දේශනා ගැන වැටහීමක් නොමැති නිසා මෙවැනි මතමයි වඩාත් ප්‍රචලිත ව තිබෙන්නෙ.
කෙසේ වෙතත් ගරුතර ස්වාමීන් වහන්සේ පවසන්නේ මෙවැනි මත පැතිරී තිබෙන්නේ අප වැනි රටවල පමණක් බව යි. ඉන්දියාවේ බහුතර ජනතාවක ගේ මතය මීට හාත්පසින්ම වෙනස්. බටහිර රටවල පවා මිනිසුන් භාවනාව ගැන අවබෝධයකින් යුතුව යි කටයුතු කරන්නේ.
මම ඔබට මේ සඳහා හොඳ උදාහරණයක් දක්වන්නම්. මා වරක් ධර්ම ප්‍රචාරය සඳහා ඇමරිකාවට යන්නට සූදානම් වූ විට එහි රේගුª නිලධාරියෙක් මගෙන් ඇසුවා එහි යෑමට අදාළ හේතුව ගැන. මා කීවා මා එහි යන්නේ භාවනාව ඉගැන්වීමට යි කියා. ඒ පිළිතුරින් ඔහු ඉතාමත් සතුටට පත් වුණා. ඔහු මට කියනවා ඉතා හොඳයි, මාත් ඉතා කැමැතියි භාවනාවට කියා.
ඉතින් බලන්න එවැනි රටක දී භාවනාවට ඉහළ අගයක් හිමිවීමටත්, අපේ වැනි රටක එය එසේ නො වීමටත් හේතුව කුමක් ද කියා. ඇත්තටම බටහිර රටවල උදවිය බුදුදහම කරා යොමු වන්නේ දැනුම ඔස්සේ නො වේ. භාවනාව ඔස්සේ ම යි. බටහිර රටවල ජනපි‍්‍රය මාතෘකා දෙකක් තිබෙනවා. ඒ තමයි යෝග සහ භාවනාව. ඒ අය ශාරීරික සුවතාව සඳහා යෝග යොදා ගන්නවා. භාවනාව යොදා ගැනෙන්නේ මානසික සුවතාව සඳහා යි. දැන් අපේ රටේ බැලුවොත් මේ දෙක ම නැහැ නේද? අපේ මිනිස්සු මේ දෙකට ම ගරහනවා. මොකක්ද මේ පෙරදිග ඇතිවුණු පිරිහීම? මා ඔබට කියන්නම් මේ පිරිහීමේ රහස මොකක්ද කියලා.
මේ රටවල ඉන්නවා මානසිකව ඔද්දල් වූ ජනතාවක් කාම පිපාසිත වූ. මේ අයට ජීවිතයේ කිසි ම අවබෝධයක් නැහැ. වින්දනය පමණක් ඉලක්ක කරගෙන හිස් ජීවිතයි මේ අය ගත කරමින් ඉන්නේ. මේ හිස් පුද්ගලයන් විසින් සමාජය තුළ ඇති කරන ලද මතයක තමයි අපේ බහුතරයක් එල්ලීගෙන ඉන්නේ.
තවත් මතයක් අපේ රටේ බොහෝ ප්‍රචලිතයි. එනම් භාවනා කිරීමෙන් සිහි විකල් වියහැකි යැයි කියන මතය යි. ඇත්තෙන්ම එහෙම දෙයක් නැහැ. භාවනා කළා කියා එහෙම වන්නේ නෑ.
ඕනෑම මානසික රෝගියෙක් මානසික රෝගී බවට පත් වන්නේ කල්පනා කිරීමෙන්. කිසිවෙක් තමන්ට පීඩාවක් ඇතිවන ආකාරයට වැරැදි යමක් කරන බව දිගින් දිගටම කල්පනා කළ විට එහෙම රෝගී වෙනවා. මානසික රෝගයක මූලාරම්භය අමතක වීම. බලාගත් අත බලාගෙන සිටීම, ඒ වාගේ ම විකෘති ආකාරයට දිගින් දිගටම එක ම දෙයක් ගැන සිතමින් සිටීම ආදිය යි. මේ සියල්ල ම පුද්ගලයකුට පහසු වන්නේ ඒ පුද්ගලයා හුදෙකලා වූ විට යි. මානසික රෝගි බවට පත්වීමට සූදානම් පුද්ගලයා හැමවිට ම උත්සාහ දරන්නේ හුදෙකලා වීමටයි. හුදෙකලා වීමට ඇති කැමැත්ත නිසා ම මෙවැනි අය භාවනා කිරීමට යොමු වෙනවා. ඒත් ඇත්ත වශයෙන් ම ඔහුට තියෙන රෝගයක්. ඔහුට ඒ ගැන දැනීමක් නැහැ. ඉතින් මෙවැන්නෙක් කිසි ම විටෙක නිවැරැදි ආකාරයට භාවනාවේ යෙදෙන්නේ නැහැ. ඔහු කරන්නේ ඔහුට ආවේනික කල්පනාවේ නිමග්න වී සිටීමක්. භාවනා ඉරියව්වෙන් සිටිමින් ම කල්ගත වෙද්දී ඔහුගේ රෝගය උත්සන්න වනවා. දැන් මේ පුද්ගලයා ගැන රාවයක් පැතිරෙනවා භාවනා කිරීම හේතුවෙන් සිහි විකල් වී තිබෙන බවට. ඒත් ඇත්තට ම මේ පුද්ගලයා තුළ එතෙක් පැවැති ආබාධයකුයි මෙසේ උත්සන්නව ඇත්තේ.
අනෙක් අතට සිහි විකල් වන්නේ භාවනාව නිසා නම් භාවනා නොකරන අයට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති නො විය යුතුයි. ඒත් අපි දන්නවා කිසි ආගම් බේදයකින් තොරව පුද්ගලයන් ගේ සිහි විකල් තත්ත්වය ඇතිවනවා කියා. බලන්න කතෝලික හා ඉස්ලාම් වැනි ආගම් අදහන අයට භාවනා උගන්වන්නේ නැහැ. ඒ ආගම්වලට භාවනාව අදාළ නැහැ. ඒත් ඒ ආගම්වලට අයත් අය, මානසික රෝගී බවට පත්වන්නේ නැත්ද?
මූලික කාරණාව තමා, අපේ රටේ මිනිසුන් අතර මත ප්‍රචලිත කර තියෙනවා භවනා කළා ම තමයි පිස්සු වැටෙන්නේ කියලා. තවත් දෙයක් තියෙනවා. කසින භාවනාව නම් කිසිම කෙනෙකුට උචිත නැහැ. මා එය කිසිම විටෙක නිර්දේශ කරන්නේත් නැහැ. මෙතැනදී වන්නේ වර්ණයක් දෙස බලාගෙන භාවනා කිරීමයි. ඒත් මේ විදියට භාවනා කළා ම අභ්‍යන්තර වශයෙන් සතිපට්ඨානයෙන් ලබා ගත හැකි දේ ලැබෙන්නේ නැහැ. චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී ලෙස යෝනිසෝමනසිකාරයේ යෙදෙන්නට බැහැ. ඒ කෙනා කරන්නේ කිසියම් වර්ණයක් අරමුණු කරගෙන භාවනා කිරීම පමණයි. අන්න එතැන දී මේ පුද්ගලයා තුළ කිසියම් මානසික වශයෙන් දුර්වලතාවයක් පැවතියා නම් එය ඉස්මතු වීමේ ඉඩකඩ ඇති වෙනවා. ඇත්තට ම අතීත කාලේ ආරණ්‍යවල කසින භාවනාව වැඩූ හාමුදුරුවරුන්ට මෙවැනි ප්‍රශ්න ඇති වී තිබෙනවා. මෙන්න මේ දේ භාවනාව ගැන වැරැදි මතයක් පැතිර යෑමට විශාල හේතුවක් වුණා.
‘භාවනා’ යන්නෙහි අරුත ‘වැඩීම’ යන්න යි. නැතහොත් යම්කිසි දෙයක් ගොඩනැඟීම. දැන් ආනාපාන සතියෙන් කරන්නේ සිහිය ගොඩනැගීම, වීරිය සහ නුවණ ගොඩනැගීම ආදිය. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ, මෙත් සිත ගොඩ නැගීම, අසුබ භාවනාවෙන් කෙරෙන්නේ, විරාගය ගොඩනැගීම. යථාභූත ඥානය ගොඩ නංවන්න පුළුවන් අනිත්‍ය භාවනාවෙන්. මේ අනුව චිත්ත සමාධියක් කරා පිවිස වැඩි කලක් ගත කළ හැකි ක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන් ම මෙවැනි දේ වෙනත් ආගම්වල නැහැ.
බුදු දහමෙන් උපුටා ගත් යමක් මිස, ඒ අයට භාවනා
නැහැ. දැන් අපි දන්නවා මේ විදිහට බුදු දහමෙන් ක්‍රම උපුටාගෙන සමහර අය භාවනා කරනවා. ඒත් එවැනි අය භාවනාවේ යෙදෙන්නේ අවබෝධයකින් තොරව නිසා එසේ කිරීමෙන් සිහි විකල් වී යා හැකියි. මෙය භයානක තත්ත්වයක්. ඔබ හොඳින් වටහාගත යුතු කාරණාවක් මා කියන්නම්. මේ කාරණාව වටහා නො ගෙන නම් ඔබ කිසි විටෙක භාවනාවට යොමුවන්නට එපා. මනසක් ගොඩ නංවන්නට නම්, මනස පිළිබඳ විග්‍රහ ඉදිරිපත් කොට ඇති විද්‍යාවක් අවශ්‍යයි. සරල සාමාන්‍ය දෙයක් ගැන ඔබ හිතා බලන්න. කිසිවකුට මාවතක් සකසන්නට වුවමනා නම්, ඒ මාවත සැකසීමට අදාළ විද්‍යාව ඔහු උගත යුතුයි. ගොඩනැගිල්ලක් සෑදීමේදීත් ඊට අදාළ ශිල්පීය දැනුම ලබා සිටිය යුතුයි නේද? එසේ නම් මනසක් ගොඩ නංවන්නට නිකම් පුළුවන්ද? මනස දියුණු කළ හැකි ශිල්පීය ඥානය තිබෙන්නේ කොතැන ද? එය ඇත්තේ බුදු දහම තුළ පමණයි.
අනෙක් අතට පුද්ගලයන් දහසක් ගෙන බැලුවොත් එයින් දෙතුන් දෙනකුට මානසික ප්‍රශ්න තිබෙනවා වන්නට පුළුවන්. ඒත් එහෙමයි කියා අපට අනෙක් නවසිය අනූ අට දෙනා ම අත්හැර දමන්නට පුළුවන්ද?
දැන් මං අපේ භාවනා වැඩසටහන්වල දී භාවනා ක්‍රම උගන්වනවා. ඒවා මොනවා ද? මෛත්‍රී‍්‍ර භාවනාව; මෛත්‍රී චිත්තයෙන් නිතර ඉන්නැයි කියන එක. බුද්ධානුස්සතිය; බුදු ගුණ සිහි කරමින් ඉන්නැයි කියා කීම. ඊළඟට අනිත්‍ය යැයි කියන දේ සිතමින් සිටින්නට උපදෙස් දීම. ආනාපාන සතියේ දී සිත තැන්පත් කර ගැනීමට පෙළඹවීම.
ඉතින් ඔබට ම පෙනෙනවා ඇති මේ සියලු දේ භයානක නම්, යහපත් දේ මොනවා ද? මේවා නොසිතිය යුතු නම්, සිතිය යුත්තේ් මොනවා ගැන ද? එසේ නම් අප නිතරම කල්පනා කරන්නේ රූපවාහිනියෙන් පෙන්වන, රේඩියෝවකින් අසන දෙයක් ගැන. නැතිනම් පත්තරවලින් කියවන දේ ගැන.
ඒ කියන්නේ පුද්ගලයා නිතර ම අසහනයෙන්, රාගයෙන්, ද්වේශයෙන් හෝ මෝහයෙන් සිටිය යුතුය යන්නයි. ඇත්තටම මිනිස්සු මේ විදිහට මානසිකව පීඩා විඳිමින් තමයි හැමවිටම ඉන්නේ. ඒත් ඔවුන් පීඩා විඳිමින් ඉන්නා බව ඔවුන්ම දන්නේ නැහැ. මෙහි අනතුර පොදු ජනතාව දකින්නෙත් නැහැ. මෙය තමයි, බහුතර ජනතාවක් වෙලී සිටින අවිද්‍යාව.
අවිද්‍යා සහගත පුද්ගලයා මනස සුවපත් කිරීම ගැන කිසිවක් දන්නේ නැහැ. හැබැයි ඉස්සර වඩා දැන් සමාජයට යම් පමණකින් හෝ භාවනාව ගැන අවබෝධයක් තිබෙන බව පෙනෙනවා.
ඉස්සර නම් තරුණ දරුවෙක් භාවනා කළොතින් හැමෝම කලබල වුණා. හැමෝම හිතුවේ, මේ දරුවට මොකක් හරි ප්‍රශ්නයක් කියලා.
හැබැයි ඔබ අතර ම විදේශිකයෙක් එහෙම භාවනා කරනවා නම් අපේ අය ඒ ගැන ඉතා ඉහළින් කතා කරනවා. අපේ අයට ම තමයි, මෙතැනදීත් ගැරැහුම. මෙතැන දී එක දෙයක් අපට වැටහෙනවා. එනම් මේ අය භාවනාව වර්ණනා කරන්නේත්, ඒ වාගේ ම ඊට ගරහන්නේත් අවබෝධයෙන් නොවේ ය කියන කාරණාව යි.
ඇත්තට ම භාවනාවට යොමුවීමෙන් පුද්ගලයකුට විශාල සුවපත් භාවයක් ඇතිවෙනවා. සුවදායී මානසිකත්වයක් ගොඩනැගෙනවා. මෙය නිවැරැදිව උදා කර ගැනීමට නම් පොදුවේ ඒ ගැන පුළුල්ව සාකච්ඡා කළ යුතුයි.
භාවනාවක් පිළිබඳ උපදෙස් අප රහසේ තබාගතහොත්, ඒ කියන්නේ රහස් බණ කියන්නට ගියෝතින් එතැන අනතුරක් තිබෙනවා ම යි. දැන් රටපුරා තැන් තැන්වල පෞද්ගලිකව භාවනා උපදෙස් දෙනවා නේ, රහසිගතව. එහෙම දේ බුදු දහමේ නොමැති බව ඉතා පැහැදිලිව ඔබ වටහා ගත යුතුයි. අප භාග්‍යවතුන්වහන්සේ ගේ ධර්මය, විවෘත වීමෙන් ම යි බබළන්නේ. මේ බව උන්වහන්සේ පැහැදිලිව ම දේශනා කළා. වැසුණා ම එය බබළන්නේ නැත.
එසේ නම් කිසිවෙක් මෙය විවෘත නො කොට සඟවන්නේ නම්, එය කිසියම් සැකකටයුතු යමක්.
මෙය ඉතා බරපතල වන්නේ මේ උපදෙස් ගත් කෙනාට එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් පැවතීම යි. ඇයි ද කියනවා නම් මේ කතාබහ ඇතිවන්නේ දෙදෙනෙකු අතර පෞද්ගලිකව මිස, විවෘත පරිසරයක දී නො වන නිසයි.
භාවනාව සම්බන්ධව අද සමාජයේ ප්‍රකටව පවතින විවිධ මති මතාන්තර ගැන වාද විවාද පවත්වමින් සිටින්නට බොහෝ අය කැමැතියි. එහෙත්, ධර්මය යනු පහුරකි. එය උපයෝගී කරගෙන අප එතෙර විය යුතුයි. එයින් බැහැරව තමන්ගේ පාණ්ඩිත්‍යය අන් අයට ප්‍රදර්ශනය සඳහා විවිධ දෘෂ්ටි ගොඩනගාගෙන ඒවා තලු මරමින් සිටීම, කිසිසේත් උචිත නැත. බුදුරජාණන් වහන්සේ තම ධර්මය පහුරකට උපමා කර ඇත්තේ, එතෙරවීමට යන කාරණාව පදනම් කරගෙන ම යි.
අනෙක් අතට රහස් කමටහන් දෙන උදවිය පවසන්නේ, මිනිසුන් අතර සිටින රාග, ශ්‍රද්ධා, දේවේශ, මෝහ ආදී චාරිතානුකූලව උපදෙස් දීමයි මෙතැනදී සිදුවන්නේ කියා.
ඉතින් මේක නම් ප්‍රශ්නෙ, බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම දේශනා කොට තිබෙනවා, ද්වේශය තිබෙන කෙනා මෛත්‍රිය වැඩිය යුතුයි කියා. ඉතින් කිසිවකුට දැනෙනවා නම් තමාට ද්වේශය නිතර ඇතිවන බව, ඒ පුද්ගලයා මෛත්‍රී භාවනාව අත්හදා බැලිය යතුයි. මමත්වය වැඩිනම් අනිත්‍ය දකින්නට සිත මෙහෙයවිය යුතුයි.
ඉතින් මේ උපදෙස් කිසිවෙක් අද පිළිගන්නවා නම්, මේ ධර්මය අදත් සන්දිට්ඨික යි. (සන්දිට්ඨිකය යනු, මේ ජීවිතයේ දී ම අවබෝධ කළ යුතුය යන්න යි)
මේ ධර්මය හැමදාමත් ස්වක්ඛාතයි. (මැනවින් දෙසන ලද) අකාලික යි (ඕනෑ ම කාලයක දී අවබෝධ කළ හැක)
බුද්ධ කාලීන ව හෝ වත්මනේ දී ආදී ලෙස ධර්මයේ ස්වභාවය වෙනස් නො වේ. අප ඉතා හොඳින් මේ කාරණා වටහා ගත යුතුයි. මෙයින් පසුව තමයි භාවනාව හුරුකළ යුතු. මේ අනුව බලන කල අප කළ යුතු බුද්ධ දේශනා ප්‍රකට කරවීම ම යි.
අනෙක භාවනාවක් දියුණු කරනවාය යන්නේ් අදහස තමන් ම තමන්ගේ් දුර්වලතා මෙන් ම කුසලතා ද හඳුනාගෙන, තමා තමාව ම පිළිසරණ කර ගැනීම යි. ධර්මය තුළ පිහිටා තමා ගේ දුර්වලතා මැඩ ගැනීමට උත්සාහ දැරීම තමයි, මෙතන දී සිදු වන්නේ. මෙය කිසිසේත් ම, අඳුරේ අතපත ගාමින් යන ගමනක් නො වේ. මේ සඳහා ඉතා වටිනා මාර්ගෝපදේශ සියල්ල ධර්මයේ ඇතුළත්.
දැන් අපේ භාවනා වැඩසටහන්වලට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඇදී ඒමට එක ම හේතුව, ධර්මය ප්‍රකට වීම යි. එසේ නැතිව, ධර්මය යනු මහමෙවුනා අසපු සංචිතයන්හි පෞද්ගලික උරුමයක් නො වේ. එය විවෘත යමක්, එය අප ජනතාවට විවෘත කර දුන්නා, එපමණයි.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සාකච්ඡා කළේ -
තනුජා ධර්මපාල
බුදු සරණ අන්තර්ජාල කලාපයේ පළ වූ ලිපියකි.

මිහිඳු මාහිමි ගෙන් යොවුන් දූ පුතුන්ට..


 



මා අදරැති පින්වත් පුතණුවෙනි, දියණියෙනි,
මා සිතන්නේ ඔබට මා ගැන අමතක නැතිව ඇති. පළමුවෙන් ඔබේ සුන්දර දිවයිනට මා පැමිණෙද්දී මෙහි එන්නට අහස්‌ යානා හෝ මොටෝ රිය හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබැවින්ම අපට ඇවැසි වූයේත් නෑ. සමණමුළුවෙක්‌ වශයෙනුයි අප පැමිණියේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහ සෑ මළුවෙන් අහසට නැඟුණු අපි අම්බස්‌ථල සෑ අසල ඇති ගල් කුලට පැමිණිවිට මා සිතටත් සිසිලසක්‌ දැනුණා. එදා ඔබ පරපුරේ රජුවැ සිටි දෙවන පෑතිස්‌ නිරිඳුන් මට මුණ ගැසුණේ ඔවුන් නැකැත් කෙළිය සමරන්නට දඩ කෙළියෙහි ගොස්‌ සිටියදීය. දෙවියන් හා කතා බස්‌ කොට මුවකුගේ වෙසින් දෙව්පුතකු එවන ලද්දේ ද මා විසිනි. “තිස්‌ස” කියා මා ඔබේ රජු අමතද්දී හේ තැති ගත්තා. නමුත් “ධර්මරාජ වූ ලෝකනාථයන්ගේ සව් වූ සමණ පුතුන් වනාහී අපි වෙමු”යි කී කල්හි හේ තුටු වුණා. අඹ පැනය ඇසූ වේලෙහි ඔහු පිළිවදන් දුන් අයුරු සැබැවින්ම අසිරිමත්. ඔබේ රජ පරපුරේ සිටි නයුවන් දැක්‌වූ විසාරද ප්‍රඥ පාටවය ගැන මා බෙහෙවින්ම තුටු වුණා.
ඇත්පිය උපමාවෙන් යුතු බුදු වදන් ඔහුට පැවසූ වේලෙහි දෙවන පෑතිස්‌ නිරිඳුන් පමණක්‌ නොවේ, මැති ඇමැත්තන් ද බුදු වජන්හි අරුත් වටහාගෙන තිසරණ ගතවැ සැදැහැ සිත්හි මුල් බැස ගත් අයුරු සිතන විට මට මහා ආනන්දයක්‌ දැනේ. ලෝකනාථයන් වහන්සේගේ අසිරිමත් සිරි සදහම් එකිනෙක පෙන්වා දෙද්දී එදා ඔබ මුතුන්මිත්තන් විස්‌මිත සොම්නසකින් යුතුව එය ඇසූ අයුරු තවමත් සිහිවේ. ඇතොවුරෙහි සිටි අනුලාවන් ඇතුළු ඒ කෝමළ ස්‌ත්‍රීන් සැණෙකින් මගඵල ලැබූ අයුරු තවමත් සිහිවේ. මහජන මුළුවට දහම් දෙසනු පිණිස සකස්‌ කැරුණේ ඇත්හල යි. ඔවුනට දිව්‍ය විමාන ගැන විමානවත්ථුවෙන් බණ කියද්දී, දුක්‌ ත ප්‍රේත ලොව ගැන පේතවත්ථුවෙන් බණ කියද්දීත්, ආර්ය සත්‍යය නොදැන යන සසර ගමන ගැන ඔවුන් බියෙන් සලිතව ගියා. ඉක්‌බිති සත්‍ය සංයුක්‌තය නම් බුදුවජන් පවසද්දී ඔවුන් මගඵල ලැබුවේ දස දහස්‌ ගණනිනුයි.
ම පියාණන් වූ දම්සෝ නිරිඳාණන් ඔබේ සොඳුරු දිවයිනට මහත් සේ පෙම් බැන්ඳා. මා නැගෙණියන් වූ සඟමිත් තෙරණින් දකුණු මහබෝ ශාඛා වැඩමවද්දී ම පියාණන් මහත් සේ සතුටු වුණා. හේ දඹදිවෙන් දකුණු පස පිහිටි මේ රම්‍ය දිවයිනෙහි අප ශාස්‌තෘ වූ ගොයුම්ගොත් බුදුරජුන්ගේ සසුන පිහිටන වග ඇසූ තැන් පටන් මේ රම්‍ය දිවයිනට මහත් සේ ඇළුම් කළා. එදා දෙව් නා බඹුන්ගේ අපමණ පුද පෙළහරින් දඹකොළපටුනට මහබෝ ශාඛා වැඩි වේලෙහි දෙවන පෑතිස්‌ නිරිඳුන් අපමණ සොම්නසින් පිළිගත්තා. මහබෝ ශාඛාව මේ හෙළදිවින් පුදද්දී ධරතීමාතා තුන් යලක්‌ සළිත වෙමින් සාදු හඬ දුන්නා. දඹකොළ පටුනෙහි පටන් අනුරපුර බෝ මැඬ පිහිටන මළුව දක්‌වා රඹ තුරින් හා පුන් කළසින් මඟ දෙපස සරහා සුදු වැලි අතුරා මල් වැසි වස්‌සමින් වෙසඟ පුන් පොහෝ දිනයෙහි ඒ මහබෝ ශාඛා මළුවෙහි පිහිටැවූ කල්හි ධරතී මාතා තුන් යලක්‌ සළිත වෙමින් සාදු හඬ දුන්නා. ම පියාණන්ගේ අනුසස්‌ පරිදි දඹදිවෙන් මෙහි පිටත් වෙන්නට පළමු මහබෝ ශාඛාව දඹදිවින් අභිෂේක ලැබුවා. යළිදු අනුරපුර මළුවෙහි පිහිටි කල්හි ඔබේ දිවයිනෙහි රාජාභිෂේකය පළමුව කරන ලද්දේ ඒ බෝ ශාඛාවටයි. දඹදිව රාජාභිෂේකය කරනුයේ යම් අයුරින් ද, ඒ අයුරින් මැ අනවතප් විලෙන් ගෙනා පැන් මහාබෝ ශාඛාවට ඉසින ලද්දේ ක්‌ෂත්‍රීය කන්‍යාවන් විසිනි. ඒ වෙසක්‌ පොහෝ දිනයෙහි දෙවන පෑතිස්‌ නිරිඳුන් රාජාභරණ හා කිරීටය බෝ ශාඛාවට පළඳවා අබිසෙස්‌ කොට පූජා පැවැත්වූ දින පටන් ඒ බෝ ශාඛාව මේ දිවයිනෙහි බෝ රජු බවට පත් වුණා. එදා දෙවන පෑතිස්‌ තෙමේ දොරටුපාල වෙස්‌ ගෙන පූජාව නිම වෙන තෙක්‌ බෝ ශාඛාව මුර කළ අයුරු මට තවමත් සිහිවේ. ඉක්‌බිති කිරීටයත්, රාජාභරණත් පැළැඳගත් දෙවන පෑතිස්‌ නිරිඳුන් මහත් අභිමානයෙන් යුතුව බෝධියට ලක්‌දිව පූජා කළා. එකල්හි ද ධරතී මාතා සලිත වෙමින් සාදු හඬ දුන්නා.
මා ප්‍රිය දරුවෙනි, යොවුන් අරිට්‌ඨයන් ප්‍රමුඛ ඔබ පරපුරෙහි යොවුන් දරුවන් ගෞතම බුදු සසුනෙහි පැවිදි වූයේ සිය දහස්‌ ගණනිනුයි. නිකෙලෙස්‌ හද මඬලක්‌ දරා ගෞතම බුදුන්ගේ ළයෙහි උපන් අරහත් ශ්‍රාවක දරුවන් වන්නට තරම් අසිරිමත් පුණ්‍ය මහිමයකින් හෙබි ඔවුන් ථූපාරාම සෑ මළුවෙහි විනය සංගායනා කරද්දී ධරතීමාතා යළිත් වරක්‌ සලිතව තුන් යලක්‌ සාදු හඬ දුන්නා. මා ඔබට දහම් දෙසුවේ දීප භාෂාවෙනුයි. මාගධී හෙවත් පාළි භාෂාවෙන් මා දරා සිටි තෙවලා බුදු වජන් ඒ අයුරින්ම ඔබ පරපුරෙහි යොවුන් සමණ දරුවන්ට වනපොත් කරවද්දී ඔවුන් පිපාසිත මුවපොව්වන් සිහිල් පැන් වළඳන ලෙසින් මහත් ආශාවෙන් තම ළයෙහි දරා ගත්තා. එහි අරුත් හෙළ බසින් පවසද්දී ඒවා ද මහත් බැතියෙන් තම ළයෙහි දරා ගත්තා. ගොයුම් සම්බුදු සසුන දෙවි මිනිසුන්ගේ හිත සුව උදෙසා සුරකිනු පිණිස දිවි පරදුවට තබා ඔවුන් වෙහෙසුණා. එකල මා ඔවුන්ට ඉගැන්නූයේ බුදු බව පැතීමේ මහායානය නොවේ. බෝසත් වන්දනාව ද නොවේ. ගෞතම බුදුන්ගේ නිමල දහමයි. එහි කියෑවෙන්නේ ශ්‍රාවකයකුවැ දහමේ හැසිර සුගතියෙහි ඉපදීමටයි. එසේ සුගති රැකවරණය ලබමින් භව සයුරින් එතෙරවීමටයි. නිමල බුදුදහම එයයි දරුවෙනි.
මා ප්‍රියාදර දූ පුතුනි, එකල ඔබ පරපුරෙහි යොවුන් දරුවන් දැක්‌වූ කුසලතාව නම් දඹදිවෙහි සිටි මහා පින්වතුන්ගේ කුසලතාවට කිසිසේත් දෙවැනි නොවුණි. මා පිරිනිවන් පානා තෙක්‌ම මේ දිවයිනේ රැඳුණේ එනිසාය. ම පියාණන් වූ දම්සෝ මහ නිරිඳුන් පවා මෙහි ඉපිද කුදුතිස්‌ මහතෙරුන් නමින් සසුන බැබලවූයේ එනිසාය. අකුසල් දරුවැ කුසල් මතුවැ ගොස්‌ රජ නිරිඳුන් ප්‍රමුඛ කොට මැති ඇමැත්තන් ප්‍රමුඛකොට සකල ජනයා දහමෙහි හැසිරුණු කල්හි වෛර සිත් බැහැරකොට මෙත් සිතින් බැබලුණ කල්හී මේ රම්‍ය වූ දිවයින සකල සම්පතින් පිරී ඉතිරී ගියා. බත බුලතින්, කිරියෙන් පැණියෙන් සරු වුණා. පෙරදිග ධාන්‍යාගාරය වුණා. ඉන්දීය සයුරෙහි මුතු ඇටය වුණා. දහම් දිවයින වුණා. ගෞතම බුදුරජුන්ගේ විදුරසුන් මහ බෝ පිහිටි දඹදිව තලයටත් වඩා මේ රම්‍ය දිවයින පූජනීය වුණා.
මා ප්‍රිය දරුවෙනි, එකල දඹදිව දකුණු පෙදෙසෙහි විසූ චෝල රජවරුන් මේ කුඩා දිවයිනෙහි පිරී ඉතිරී ගිය රන්, රිදී, මුතු, මැණික්‌ කෙරෙහි ලොල් බැඳ මේ දිවයිනට අරක්‌ ගත්තේ පස්‌ පියුමෙන් සුසැදි විලක්‌ ඩැහැ ගන්නා දානව රකුසන් ලෙසිනුයි. එහෙත් ඔවුනට පවා බුදුරජුන්ගේ ශ්‍රාවකයන්වීම විනා වෙන කිසිවක්‌ කරගත නොහැකි වුණා. නමුත් මා විසින් මේ දිවයිනෙහි ඔබට දහම් දෙසුවේ, ඔබේ පරපුරෙහි දරුවන් සසුන්ගත කෙරුවේ හෙලදිව්වාසීන් විසින් බුදු සසුන සුරැක පතළ කැරවීම පිණිස ම ය. චෝලයන්ට ඇවැසි නම් ඔවුන්ට ද මේ දිවයිනෙන් සසුන් පිළිවෙත ගෙන ගොස්‌ චෝල දේශය බැබළවිය හැකිය. සැබැවින්ම දරුවෙනි, එය වූයේය. එකල දඹදිව දකුණු පෙදෙස රහතුන්ගෙන් බැබලුණේ. කාංචිපුරය ගෞතම බුදුරජුන්ගේ නිමල දහමේ තෝතැන්න විය.
පින්වත් දරුවෙනි, ලෝකනාථ වූ අප ශාස්‌තෘන් වහන්සේගේ ධර්මය රැකගන්නට අසීරු වූයේ “සියලු දුකින් නිදහස්‌වීම පිණිස නිවන් සාක්‌ෂාත් කිරීම පිණිස මේ සිවුරු මට ලබාදී මා පැවිදි කරන්නැ”යි කියා ආචාර්ය පරපුරෙන් මහණකම ලබාගත් පැවිද්දන් නිසා ම ය. ඔවුන්ගෙන් වෙන්නට තිබෙන අතවර දුටු මහාකස්‌සප මහතෙරුන් පළමුවෙනි සංගායනාව කොට තෙවලා බුදු වදන මැනැවින් පිහිටැවූ සේක. එහෙත් දරුවෙනි, සියවසක්‌ යන්නට පළමුව නිවන් මඟට නිසි, විනයට අවිනය හෙළන්නට විලිබිය නැතිව බැසැගත්තෝ ද අන් කිසිවෙක්‌ නොව පැවිද්දෝ ම ය. දෙවන ධර්ම සංගායනාව කොට උතුම් බුදු වජන් බේරා ගන්නට මහා තෙරවරුන් සමත් වුණා.
අහෝෘ පින්වත් දරුවෙනි, ගෞතම සසුනෙහි පැවිදි වූ ශ්‍රමණයන් කොටසේ කීපයකට බෙදිය හැකිය. ඔවුන්ගෙන් එක්‌ ශ්‍රමණ කොටසක්‌ උතුම් නිවන් මඟෙහි හැසිර ආර්ය සත්‍යය ඉස්‌මතු කොට බුදු සසුන බැබලෙව්වා. තව ශ්‍රමණ කොටසක්‌ එයින් යෑපෙමින් ජීවත් වුණා. තවත් ශ්‍රමණ කොටසක්‌ එයින් යෑපෙමිනුත් ඒ සම්බුදු වදන් ලඝූ කොට තම තම මතිමතාන්තරයන් ගරු කොට බුදු වදන කෙලෙසන්නට පටන් ගත්තා. තවත් ශ්‍රමණ කොටසක්‌ ඒ බුදු වදන් ඇසුරෙන් මගඵල ලබනා මාවතෙහි සැක උපදවන කරුණු මතුකරමින් සසුන් මඟ විපරීත කළා. එවිට බුදු සසුන බබලවන මහතෙරපාණන් වහන්සේලා වහා පෙරට වැඩ ඒ විපරීත මත බැහැරකොට ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවකයන් වන්නට ඇති ඉඩකඩ යළි පිහිටුවමින් තුන්වෙනි ධර්ම සංගායනාව කළා. එයට මුල් වූයේ මා ආචාර්යපාද වූ මොග්ගලීපුත්තතිස්‌ස මහතෙරපාණන් හා ම පියාණන් ය.
දරුවෙනි, දක්‌ ණාපථයෙහි උදේනි නුවර මා යුවරාජව සිටිද්දී නිතර ඇසුරු කරන ලද්දේ ෙච්තියගිරියෙහි වැඩ සිටි උතුම් සඟරුවනයි. රජකම කෙරෙහි මා සිත්හි ඇති ඇල්ම ටිකෙන් ටික දුරු වුණා. සසරෙහි බිය දැනුණා. සුළු කලක්‌ රජ කොට බොහෝ කලක්‌ අපා දුක්‌ විඳි රජවරුන් ගැන මා ඇසූ නිසාම සිත බැඳී ගියේ සිහසුනට නොව සසුනටයි. “පුත, තෙපි සසුන් මඟෙහි පහන්වැ ගියහු ද? ලෝකනාථයන් වහන්සේගේ සසුනෙහි පිළිවෙත් පුරා මගඵල පසක්‌ කරන්නට ද තෙපිත් රිසියෑහු ද?”කියා ම පියාණන් පැළලුප් නුවරට මා කැඳවා විමසූ වේලෙහි නිම්හිම් නැති ආනන්දයක්‌ ම සිතෙහි පැන නැංගා. පියකරු ළඳුන් පිරිවරා මදිරා පානයෙහි ගිජුවැ කාමාසක්‌තව ගෙවන ඒ රාජකීය ජීවිතයට වඩා තුන් සිවුර ගත දරා පාත්‍රය ද රැගෙන පිඬුසිඟා හැසිර රුක්‌ සෙවණක හිඳ බවුන් වඩා ඒ නිවන් මඟ පසක්‌ කරන්නේ කවදාදෝයි සිතමින් සිටි මා හට මෙය කණෙහිලු මීයක්‌ බඳු විය. මා සැණෙකින් ම පියාණන්ගේ පා අබියස වැඳ වැටුණා. “භවත් මහරජාණෙනි, සැබැවින්ම ඒ මට රිසි යෑ. ලෝකනාථයන් වහන්සේගේ අමාදහම් සිසිලස ලබා සැනසෙන්නට ඇත්නම් එයින් ලබනා සැපයෙන් සොලොස්‌ කලාවෙන් එකකට ද මේ රජ සැප නොවටින බව මම දනිමි මහරජාණෙනි.” එවිට ම පියාණන් කඳුළු වෑහෙන නෙතින් මා වැළඳගෙන “අදරැති පුත, සැබවින්ම තොප ද අසිරිමත් යෑෘ රන් බඳුනෙක්‌ හි සිංහ තෙලක්‌ බඳු තොප විසින් අසිරිමත් බුදුවජන් ලයෙහි රුවාගෙන අමා නිවන් පසක්‌ කිරීම මැනැවි. දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස හැසිරීම මැනැවි.”
මා ප්‍රිය දරුවෙනි, එකල්හි පැළලුප් නුවර අශෝකාරාමයෙහි දී සසුන් බිමට වන් මා තුන් වසරක්‌ තුළ මුළු තෙවලා බුදුවජන් ධරන්නට සමත් වුණා. එහි නිධාන කතාවන් ද ධරන්නට සමත් වුණා. මා ඔබ දිවයිනට වැඩමැ වූයේ ඒ නිමල බුදු දහම සමගිනි. මා ඇති කළ සඟ පරපුර උතුම් ගෞතම සසුනෙහි ශ්‍රාවක දරුවන් වී සසුන් පිළිවෙත සරු කරන්නට වෙහෙසෙද්දී තුන් වෙනි සංගායානාවෙන් පළවාහරින ලද සසුන් වෙස්‌ ගත් ශ්‍රමණයින් විසින් මහත් විපතක්‌ කරන ලදී. දුර දිග බැලීමෙහි කුසලතා රහිත වූ ඔවුන් සතර අගතියෙන් යුතුව පිඹුරුපත් සකසන ලද්දේ නිර්මල සඟරුවන බැහැර කිරීමටය. ඒ වෙනුවෙන් ඔවුන් ලෝකනාථයන් වහන්සේ තහනම් කොට වදාළ දෙය වූ පෙළ දහම සංස්‌කෘත භාෂාවට නගන ලදී. තම තමන්ට රිසි පරිද්දෙන් බුදු බව පැතීමෙහි කතා බහන ලදී. මගඵල පසක්‌ කිරීම හීනයාන යෑයි දරා බෝසත් වන්දනාව පෙරට ගෙන බුදුබව පැතීමට පොළඹවන ලදී. ඔවුන්ගේ ව්‍යාජ බෝසතුන්ගේ නම් ගම් දහස්‌ ගණනකිනිදු අවසන් කළ නොහැකිය.
වේද භාෂාවෙන් හෙවත් සංස්‌කෘත භාෂාවෙන් තිබුණේ බමුණන්ගේ වේදය පමණි. ප්‍රාමාණික ග්‍රන්ථ වශයෙන් එය පිළිගත් ඔවුන් අන් දහමක්‌ තම දහමට අභියෝගයක්‌ වෙතැයි නොසිතන ලද්දේ සංස්‌කෘතයෙන් තිබුණේ වේදය පමණක්‌ නිසාවෙනි. එහෙත් සසුනෙන් නෙරපා දමන ලද ව්‍යාජ පැවිද්දන් බෝසත් වන්දනාව පෙරටු කරගත් සංස්‌කෘතයට හරවන ලද දහමට බමුණන් බිය විය. ඉක්‌බිති බමුණන් විසින් ඒ සංස්‌කෘතයෙන් තිබුණු දහම කියවා එයට එරෙහිව වාද විවාද නගන්නට පටන් ගත්හ. එවිට නාලන්දා වැනි මහා සරසවි බිහිකොට මහායානිකයන් කරන ලද්දේ බමුණු දහමට එරෙහිව තම අධ්‍යයන විෂය පුළුල් කිරීමයි. ගෞතම බුදු වදන් පසෙකලා වේද වේදාන්තයන් හා සම තැන් ගැනීමට පමණක්‌ නොව එය යට කොට තම මතය මතු කරන්නටත් ඔවුන් වෙහෙසුණා. නාලන්දාව වැනි ඔවුන්ගේ සරසවිවල අධ්‍යයන භාෂාව වූයේ සංස්‌කෘතයි. බමුණන් අනේකවිධ තපස්‌ රැක පෙළහර පාන කල්හි මේ ව්‍යාජ සංස්‌කෘත ශ්‍රමණ පඬිවරුන් එයට සමවන්නට යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ආරම්භ කළා. ජ්‍යෝතිෂ විශාරදවරුන් වුණා. වාද විවදයන්ට නිසි නොයෙකුත් න්‍යායන් බිහි කළා. “වාද විවාද පිණිස මාගේ දහම හදාරන්නට ගියහොත් ඔවුන් විනාශ වන්නේ සර්පයා වලිගයෙන් අල්ලන්නට ගොස්‌ විනාශ වන මිනිසා මෙන්” බව අලගද්දූපම සූත්‍රයෙහි වදාළ බුදු වදන ඔවුන් බැහැර කළා.
වාද විවාදවලින් ව්‍යාජ ශ්‍රමණයන් ජය ගත් කල්හි ඔවුන් සව්දිය පිරුවේ එම පෙදෙස්‌ වැසි සියලු බමුණු කැල නාලන්දාවේ දාසයන් බවට පත් කිරීමෙනි. බමුණන් ජයගත් කල්හි ඔවුන් සව්දිය පුරන ලද්දේ සියලු ශ්‍රමණවරුන්ගේ ගෙල සිඳලීමෙනි. මෙසේ කෙමෙන් කෙමෙන් වාද විවාද උග්‍ර වෙමින් තිබියදී නිමල බුදු දහම තමනට අභියෝගයක්‌ වෙතියි සැලකූ මහායානිකයන් වාද විවාද කොට එය ද දඹදිවින් අතුරුදන් කරන ලද්දේය. සුවිසල් රුකක්‌ වසා ගත් පිළල රැසක්‌ පරිද්දෙන් මහායානය පැතිර ගොස්‌ තිබියදී බුදු බව පතන බෝසත් වේශයෙන් ඔවුන් කරන ලද්දේ බුදු සසුන අතුරුදන් කිරීමයි. මෙසේ බමුණන්ගේ අධික වෛරයට පාත්‍ර වූ ව්‍යාජ ශ්‍රමණයන්ගේ ආධ්‍යාත්ම බලය දකුණු දඹදිව උපන් සංකරාචාර්ය නම් වූ අන්තවාදී සිව බැතිමතා විසින් වනසන ලදී. ඉනික්‌බිතිව සියවස්‌ කීපයක්‌ පුරා කෙමෙන් කෙමෙන් වැඩී ආ අන්තවාදී ඒක දේව වාදයෙහි උමතු බලවේගය වන මුසල්මාන් ආක්‍රමණයට බමුණන්ගේ සහය ලැබිණි. “එම්බා මුසල්මානුවෙනි, නුඹලාට මේ රට ගන්නට ඇවැසි නම් කාෂායවස්‌ත්‍රධාරී බියකරු සේනාව වැනැසිය යුතුය. ඔවුන්ගේ යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර සහ දර්ශන ඉගැන්වෙන සේනා මූලස්‌ථාන වන නාලන්දාව වැනි තැන් ගිනිබත් කළ යුතුය.” යන වදන් ඇසූ ඔවුන් ද තම මතයෙන් උමතුව සේනා සහිත මාරයාගේ සහයෙන් ඔද වැඩී ව්‍යාජ ශ්‍රමණ පරපුර දඹදිවින් අතුගා දමන ලදී. මෙසේ ගෞතම බුදුසසුන දඹදිවින් අතුරුදන් විය. එහෙත් බමුණන්ගේ බිය තුනී වූයේ නැත. ඉන්දීය සයුරෙහි මුතු ඇටයක්‌ තිබේ. එහි නිමල බුදුදහම බබලයි. යම් හෙයකින් ඔවුන් බලවත්ව පැමිණ යළිත් වේදය වනසන්නට පුළුවනි. එයට පෙර එම දිවයින ද වැනැසුව මනාය. ව්‍යවහාර වර්ෂයෙන් නව වැනි සියවසෙහි රාමායණ නම් වූ මිත්‍යා ප්‍රබන්ධය කරන ලද්දේ සිව භක්‌තිකයන් විසිනි. දකුණු දඹදිව සිටි සියලු පැවිද්දන් වැනැසූ බමුණන් විසින් වෙහෙර විහාර සිව මන්දිර බවට පත් කරන ලදී. රාමායණය නිරතුරුව ජප කරන ලදී. තම දෙවියන් යෑයි කියාගත් රාමාගේ බිසව වන සීතා පැහැරගත් රකුසන්ගේ ද්වීපයෙහි සිටි රාවණයා මරා දැමූ අනුහස්‌ නැවත පෙන්විය යුතු යෑයි කියා රජවරුන් පොළඹවන ලදී. ධර්මද්වීපය රකුසන්ගේ ද්වීපය බවට පත් කළ බමුණ දහම පිළිගත් කාලිංගමාඝයා ලක්‌දිව වෙහෙර විහාර වනසා ගිනි තබන ලදී. පර්සියාවෙන් ආනයනය කළ ව්‍යාජ අනුකරණවාදී සිව ඇදහිල්ලෙන් පන්නරය ලැබූ කෲරත්වය විසින් මහායානිකයන්ගේ තන්ත්‍රයානයෙන් උපුටා ගත් කාම පූජා මිශ්‍රකොට ශිවලිංග පූජාව ධර්මද්වීපයෙහි ද පවත්වන ලදී.
පින්වත් දරුවෙනි, ගෞතම ලෝකනාථයන් වහන්සේගේ වදන් සැබෑ කරමින් දකුණින් පහළ වූ පළමුවෙනි විජයබාහු නරපතියා විසින් මෙම දහම් දිවයින අසීරුවෙන් බේරා ගන්නා ලදී. කාලිංගමාඝයාගේ හිංසාවෙන් දුබල වූ සසුන පැරකුම් නරපතියා විසින් යළි ඔසවන ලදී. එහෙත් කෙමෙන් කෙමෙන් ලක්‌ බුදුසසුනත් පැළලුප් නුවරින් පැමිණි ශාක්‍ය පරපුරේ ලේ ධාතුවෙන් මිශ්‍ර වූ හෙළයා දුබල වන්නට විය. පින්වත් දරුවෙනි, ඔබේ සොයුරු ද්වීපය වූ මාලදිවයිනෙහි සියලු ශ්‍රමණ දරුවන් වනසා වෙහෙර විහාර වනසා අන්තවාදී ඒක දේවවාදය මුසල්මානුවන් විසින් ස්‌ථාපිත කරන ලදී. ඔබගේ මෙම රම්‍ය දිවයිනට මුසල්මානුවන්ගේ බැල්ම වැටෙන්නට පළමු ඒක දේවවාදයේ බටහිර අන්තවාදයේ ග්‍රහණයට ඔබේ මුතුන් මිත්තන් හසුවිය. වරින් වර නාමමාත්‍රික වශයෙන් පවා නොසිට පැවිදි ශ්‍රමණයන් අතුරුදන් වූ අවස්‌ථා තිබේ. ගෞතම සසුනට වින කරන මහායාන මතයන් විසින් සසුනෙහි මූලික සංකල්පය උඩු යටිකුරු කරන ලදී. සසරේ බිය තොර කරන ලදී. රාජබලය ද ධර්ම බලය ද නැතිවී ගිය අබල දුබල නිවට නියාලු හරසුන් ජන කැලක්‌ බවට ලක්‌දිව්වැසියන් පත්වන කල්හි ගෞතම සසුන රකින්නට මා මහත් වෙහෙසෙන් සැකසූ සසුන් පරපුර වඳ වී යන කල්හි මා සිත්හි සංවේගයයි උපන්නේ.
ඒක දේවවාදයෙන් වැඩී ගිය ව්‍යාජ විද්‍යා ලෝකය විසින් කාම උමතුව බිහි කරන ලදී. යොවුන් දූ දරුවන් හට දහම සිතීම පවා අකැප කරන ලදී. දහමේ හැසිරීම පවා විලිබිය උපදවන කරුණක්‌ කරන ලදී. ඔවුන්ගේ කාම උමතුවේ ප්‍රේම සුනාමිය ලොව පුරා පතුරුවන ලදී. ගෞතම සසුන තුළින් යොවුන් දරුවන් ලද දෑ අභිමානය හා මානව ගුණය බැහැර කරන ලදී. නමුත් දරුවෙනි, ඒ අකාලික දහමේ ඔබට කියනා මේ සොඳුරු උපදෙස්‌ බලන්න. සිඟාලක දරු හට ලෝකනාථයන් වහන්සේ මේ දහම වදාළ අයුරු කෙතරම් අසිරිමත් දෘ දරුවෙනි, අගති සතරෙකි. එයින් අගතියට නොයන්න. එනම් ඡන්දයෙන් අගතියට යැමත්, ද්වේෂයෙන් අගතියට යැමත්, භයෙන් අගතියට යැමත්, මෝහයෙන් අගතියට යැමත් ය. මා අදරැති දරුවෙනි, අගතියට ගියහොත් ඔබ පිරිහෙන්නේ අඳුරු වී යන සඳක්‌ මෙනි.
දරුවෙනි, දුක කරා යන කරුණු සයෙන් වළකින්න. මත්පැන් හා මත්ද්‍රව්‍ය සේවනය නොකරන්න. නොකල්හි පාර තොටේ ඇවිද නොයන්න. අරුත්සුන් කාම ප්‍රසංගවලින් ධනය වනසා නොගන්න. දූ කෙළියෙහි නොයෙදෙන්න. පවිටු පුද්ගලයන් සමග මිතුරුදම් නොපවත්වන්න. අලසව නොසිටින්න. පින්වත් දරුවෙනි, ඔබ මේවාට ගිජු වුවහොත් මේවා පුරුදු කළහොත් වැනසෙන නිසාවෙනි ඔබේ ශාස්‌තෘ වූ ලෝකනාථයන් වහන්සේ ඔබට එය වදාළේ.
මා අදරැති දරුවෙනි, සැබෑ මිතුරෙක්‌ වන්න. සැබෑ මිතුරා මිතුරාගෙන් කිසිවක්‌ ලබාගැනීම පිණිස ඔහු රවටා ලන මිතුරු වෙස්‌ ගත් “අඤ්ඤදත්ථුහරයෙක්‌” නොවේ. සැබෑ මිතුරා තම මිතුරාගේ වටිනා කාලය සහ ඔහුගේ කාර්යභාරය වැනැසෙන පරිද්දෙන් ඔහු නොමඟ යවන කතාවට නතු කොට ඔහු පමා කරවන “වචීපරමයෙක්‌” නොවේ. සැබෑ මිතුරා ඔහුගේ මිතුරු බව සුරැකිනු පිණිස ඔහු කරන පව අනුමත කිරීමත්, පින අනුමත කිරීමත්, ඔහු ඉදිරියේ ගුණ කීමත්, ඔහු නැති තැන නින්දා කිරීමත් කරන “අනුපියභාණියෙක්‌” නොවේ. සැබෑ මිතුරා සතුටු වන්නේ තම මිතුරා අපායට වැටෙනු දැකීම නොව සුගතියෙහි ඉපදෙනු දැකීමෙනි. එනිසා සැබෑ මිතුරා අපාගතවීමට හේතුවන දෙයින් තම මිතුරාව වෙලා ඔහුගේ ලාභ ප්‍රයෝජන ගැනීමෙහි යෙදෙන “අපාය සහායක” මිත්‍රයෙක්‌ නොවේ.
පින්වත් දරුවෙනි, කළණ මිතුරෙක්‌ වන්න. කළණ මිතුරා තම මිතුරාව නොමඟින් රැක ගනියි. ඔහු යහපතේ යොදවයි. ඔහු අනතුරෙන් බේරයි. පවින් වළක්‌වයි. අකුසලයෙන් වළක්‌වයි. පෙර නොඇසූ දහම අසන්නට සලස්‌වයි. පිනෙහි යොදවයි. සුගතියට මග කියා දෙයි. සැබෑ මිතුරා තම මිතුරාගේ පිරිහීම ගැන නොසතුටු වෙයි. දියුණුවෙහි තුටු වෙයි. මිතුරාට අභූත චෝදනා කිරීමට ඉඩ නොදෙයි. ඔහුගේ ගුණ මතු කරයි. එවැනි මිතුරෙක්‌ වෙන්න.
මා ප්‍රිය දරුවෙනි, දැහැමි දරුවන්ගේ පෙරදිග දිශාව නම් මවුපියන්ය. දකුණු දිශාව නම් ආචාර්යවරුන්ය. බටහිර දිශාව නම් අඹුදරුවන්ය. උතුරු දිශාව නම් මිතුරන්ය. යට දිශාව නම් සේවකයන් ය. උඩ දිශාව නම් ශ්‍රමණ බමුණන් ය. පින්වත් දරුවෙනි, කිසිදා මවුපිය ද්‍රෝහියෙක්‌ නොවෙන්න. ඔබ දුබල මාපියන් සුරකින්න. ඔවුන්ගේ කටයුතුවලට සහාය වෙන්න. කුල පරපුර රැකගන්න. මාපිය වස්‌තුව සුරකින්න. සුගති ගමනට සහය වෙන්න, සැබෑ කුල දරුවෙක්‌ වෙන්න.
මා ප්‍රිය දරුවෙනි, කිසිදා ආචාර්ය ද්‍රෝහියෙක්‌ නොවෙන්න. ආචාර්යවරයා ඔබව හික්‌මවයි. ඔබට තම දහම උගන්වයි. විනයෙහි පිහිටුවයි. උසස්‌ පුද්ගලයන්ට ඔබව හඳුන්වා දෙයි. සමාජයට ඔබව හඳුන්වා දෙයි. එනිසා ආචාර්යවරුන් දැක හුනස්‌නෙන් නැගිටින්න. උවටැන් කරන්න. වතාවත් කරන්න. සකසා ඉගෙන ගන්න. ආචාර්ය ගෞරවයෙන් යුතු වෙන්න.
පින්වත් දරුවෙනි, ලෝකනාථ වූ ඔබේ ශාස්‌තෘන් වහන්සේ ඔබට භව සයුරෙන් එතෙරවීමට පමණක්‌ නොව, සුගතියෙහි ඉපදීම පිණිස ද පිහිට වූයේ ලොව දකිනා එකම ඇස උන්වහන්සේ නිසාවෙනි. පින්වත් දරුවෙනි, වැලන්ටයින් නම් වූ මිත්‍යා කාම මායාවට හසු නොවී තිලොවග ගුරු වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්‌ වී උන්වහන්සේව මුළු හදවතින්ම සරණ යන්න. ලොවෙහි යථාර්ථය දැකීම සත්‍යයට ආශා කරන අප සියලු දෙනාටම අයත් අද්විතීය උරුමයකි. ඒ උරුමයට ආශා කරන්න. ඔබේ රම්‍ය දිවයිනට ගෞතම බුදුරජුන්ගේ සොඳුරු දහම හඳුන්වා දී මාගේ මුළු දිවිය ම ඔබේ පරපුර සුවපත් කරන්නට කැපවූ නිසාවෙනි ඔබට මේ ලියන්නේ. නිවන් පුර සිට ඔබ අමතන මා, ඔබේ අදරැති මෙත් සිතිනි මිහිඳු මා හිමි…!


෴ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි..

Wednesday, June 26, 2013

ඔබේ ඔය මහන්සිය හිස්‌ අතින් මැරෙන්නද?


මේ ජීවන ගමනේදී ඔබේ ක්‍රියාකාරකම් පැහැදිලිව කොටස්‌ දෙකකට බෙදාගන්න. එකක්‌ ඔබගේ සැපය උදෙසා කරන ක්‍රියාවන්. අනෙක අනුන් උදෙසා කරන ක්‍රියාවන් හැටියට. මෙතැනදී අනුන් උදෙසා කරන ක්‍රියාවන් හැටියට ගැනෙන්නේ රැකියා, ව්‍යාපාර, ගොවිතැන්, පවුල් ජීවිතය සහ සමාජීය ජීවිතය සමග බැඳුණු සියලුම වගකීම්. මේ සියල්ල අනුන් උදෙසායි ඔබ කරන්නේ කියලා දකින්න.

ඔබ උදෙසා ඔබ සිදුකරගන්නා දේවල් මොනවාද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, කර්මය කර්මඵල කෙරෙහි විශ්වාසයෙන් ඔබ සිදුකරගන්නා සියලුම කුසල් ධර්මයන් ඔබ උදෙසා සිදුකර ගන්නා දේවල් හැටියට දකින්න. මේ වගකීම් දෙක නිරතුරුවම පිංවතුන්ලා පටලවාගන්නවා. මේ පටලවාගැනීම නිසාම ජීවිත කාලයම අනුන්ට සේවය කරලා තමා හිස්‌ අතින් මියයනවා.
තමා තමාටවත් අයිති නැතිකොට අනුන් කෙසේ තමාට අයිතිවෙන්නද කියන ධර්මතාවය අවබෝධ කර ගැනීමට ඇති ඔබට, මෙලොව පරලොව සැබෑම සැපය උදාවනුයේ තම වගකීම පටලවා නොගැනීමෙන් පමණක්‌මය. සත්වයා අප්‍රමාණ දුක්‌ විඳින සතර අපායන් අභිබවා, මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ඔබ ලැබුවේ පෙර ජීවිතයේ කරන ලද ව්‍යාපාර, ගොවිතැන්, රැකිරක්‍ෂා නිසා නොවේ. පෙර ජීවිතයේ සිදුකරගත් කුසල් සංස්‌කාරයන් නිසාමය. එහෙයින් එවන් මහඟු අවස්‌ථාවක්‌ සලසාදීම පිළිබඳව පිංවත් ඔබ කෘතගුණ සැලකිය යුත්තේ කුසල් ධර්මයන්ටමය.
‘වෙලාව තිබුණොත් පංසල් යනවා’ ‘නිවාඩු තිබුණොත් සිල් සමාදන් වෙනවා’ ‘වැඩ ඉවර වුණොත් පිංකමට යනවා’…. වර්තමාන සමාජයේ මෙවැනි වචන භාවිතය ඉතාමත් වැඩි නේද? එහෙම ප්‍රකාශ කරන පිංවතාගේ කාර්යබහුල ජීවිතයට වර්තමනා සමාජයේ ලොකු වටිනාකමක්‌ ලැබෙනවා. අපිට ඇහෙනවා සමාජයේදී කියනවා ‘අහවලාට දැන් වගකීම් කටයුතු වැඩියි. ඒ නිසා පිංකමට එන්නේ නැහැ. සිල්ගන්න යන්නේ නැහැ. පංසලට එන්න වේලාවක්‌ නැහැ’ වැනි අදහස්‌ ප්‍රකාශවෙනවා. මෙවැනි නොවටිනා වටිනාකම් ඔබ ඔබේ කරගත්තොත් වටිනා මනුෂ්‍ය ජීවිතය ඔබෙන් ගිලිහී යන බව ඔබ සිහි තබාගන්න ඕනේ. මෙවැනි අයට මැරෙන මොහොතේ මතකයට එන්නේ රැකියාව, ව්‍යාපාරය, ගොවිබිම උපාදානයයි. ඊට පස්‌සේ ප්‍රේත ලෝකයේ ඉපදිලා උපාදානය කරගත් තැනම දිගින් දිගට ඉන්න පුළුවන්. හැබැයි මනුෂ්‍යයෙක්‌ හැටියට නම් නෙමෙයි. ප්‍රේතයෙක්‌ හැටියටයි.
පිංවත් ඔබට මේ කාරණය හොඳින් පැහැදිලිවෙන්න, භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දර්ශනය වූ ප්‍රේත මහත්මයකුගේ කථා පුවතක්‌ මෙහි සටහන් කරනවා.
මේ මහත්මයා හිටපු දේශපාලනඥයෙක්‌. සහජයෙන්ම උරුම බලකාමී ගති ලක්‍ෂණ මේ මහත්මයාට මනුෂ්‍ය ජීවිතයේදී තිබුණා. මේ මහත්මයා හදිස්‌සියේ මැරුණාට පස්‌සේ උපත සකස්‌වෙන්නේ ප්‍රේත ලෝකයේයි. ඒ පරදත්ත රූප ජීවී ප්‍රේත ස්‌වභාවයක්‌. හොඳ ශක්‌තිමත් කළු පැහැති ශරීරයක්‌, සුදුපාට සරමක්‌ කැහිපොට ගසා ඇඳලා, අත් සහිත සුදු මේස්‌ බැනියමක්‌ සරමට යටකර ඇඳලා…. බොහොම කඩිසර ප්‍රේතයෙක්‌. මොහු දැන් ප්‍රේත ලෝකයේ සැරිසරනවා. ඔහු හැසිරෙන ප්‍රදේශය ගැන කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. සමහර විට ඔහුගේම මැතිවරණ ආසනයේ වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රේත දේශපාලනඥයා දුකකින් නෙමෙයි ප්‍රේත ජීවිතය තුළ සිටින්නේ. මනුෂ්‍ය ජීවිතයේදී දේශපාලකයෙක්‌ වශයෙන් ජනතා සේවයක්‌ ලෙසින් කළාවූ ‘දන්දීම’ නිසා.
එම යහපත් ක්‍රියාවන් හේතුවෙන් මොහුට ආයුෂ, සැප, බලය වැඩි ප්‍රේත ජීවිතයක්‌ ලැබිලා තියෙන්නේ. මනුෂ්‍ය ජීවිතයේදී තම දේශපාලන භූමිකාව යම් සේ සටන්කාමීව ගත කළද, එවැනි සටන්කාමීත්වයකින් ‘මමයි චණ්‌ඩියා’ කියන්න වාගේ ස්‌වභාවයකින් තමයි මොහුව භික්‍ෂුවට දර්ශනය වී ඇත්තේ.
මේ කථා පුවතින් පැහැදිලිවෙනවා ඇති පිංකම් කිරීමට, කුසල් දහම් වැඩීමට, ශීලයක්‌ සමාදන්වීමට විවේකයක්‌, වෙලාවක්‌ නොතිබුණ කාර්යබහුල, අවිවේකී මහත්වරුන් ප්‍රේත ලෝකයේත් ගතකරන කාර්යබහුල ජීවිතයේ ස්‌වභාවය. මොහු ප්‍රේත ලෝකයේත් චණ්‌aඩියා වගේ දේශපාලනය කරන්නේ මනුෂ්‍යයන් සමග නෙවෙයි. ප්‍රේත ලෝකයේම සිටින දේශපාලන ප්‍රේතයින් සමගයි. මනුෂ්‍ය ලෝකයේ වගේම ප්‍රේත ලෝකයේද සිටිනවා, දේශපාලනය උපාදානය කරගෙන මැරිලා නිල් පාට, කොලපාට, රතුපාට කමිස ඇඳගත් ප්‍රේතයින්. රැවුල කොණ්‌ඩය වවාගත් ප්‍රේතයින්.
ඔබ අහලා ඇති ‘මම මැරුණත් නිල්, කොල, රතු,…..’ ‘මාව කැපුවත් මගේ ලේ නිල්පාටයි, කොළ, රතු… පාටයි’ වැනි දේශපාලනය උපාදානය කරගත් දේශපාලන සාමාජිකයින්. මෙවැනි අය තමයි මරණින් මතු, දේශපාලන ප්‍රේතයින් වශයෙන් උපත ලබන්නේ. මේ අය සමග තමයි දැන් ඉහත ප්‍රේත දේශපාලනඥයා දේශපාලනය කරන්නේ. මොහු දැන් තමාට විරුද්ධ අනික්‌ පාටවල ප්‍රේතයින්ව තමන්ගේ මැතිවරණ බලසීමාවෙන් පන්නනවා ඇති. පහරදෙනවා, බියගන්වනවා ඇති. දැන් මොහු ගතකරන ප්‍රේත ජීවිතය තුළ අකුසල්මයි රැස්‌වෙන්නේ. ධර්මයක්‌, හොඳක්‌, නරකක්‌, ශීලයක්‌ මොහු දන්නේ නැහැ. ඒ නිසා දුකෙන් දුකටම ඇදීයාම පමණයි සිද්ධවෙන්නේ. මේ කථාව කියවලා පිංවත් ඔබට සිතුණොත් රතු ඉර වැදුණත් කමක්‌ නැහැ, වැටුප් කැපුණත් කමක්‌ නැහැ, නිවාඩු වැටුණත් කමක්‌ නැහැ, ලොක්‌කා බැන්නත් කමක්‌ නැහැ, ලබන පාර පැරදුනත් කමක්‌ නැහැ මම මුල්තැන දෙන්නේ මගේ ධර්ම මාර්ගයටයි’ කියලා. පිංකම් කිරීම කුසල් දහම් කිරීම යොදාගන්නේ අංක එකටයි කියලා. කැපෙන වැටුප මිල කරන්න පුළුවන් වුණත් ව්‍යාපාරයේ පාඩුව මිල කරන්න පුළුවන් වුණත් මේවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳිලා සතර අපායට වැටුණොත් එම දුක ප්‍රමාණය කරන්න බැහැයි කියලා, එය ඔබ ලැබූ භාග්‍යයක්‌මයි.
තෙරුවන් කෙරෙහිම, ශීලය දානය කෙරෙහිම විශ්වාසය තබන්න. ඔබව සැබෑම සැපයට ඔසවා තබන රැකියාව, ව්‍යාපාරය, ගොවිතැන, දේශපාලනය වන්නේ කුසල් දහම් බවම දකින්න.
සමාජයේ ජීවත්වන කාර්යබහුල පිංවතුන්ලාට පසළොස්‌වක පොහොය දිනයට පංසලකට යන්න විවේකයක්‌ නැහැ. නමුත් ඒ පිංවතාට කිව්වොත් රාජකාරි මට්‌ටමෙන් මාසයක්‌ ඇමරිකාවට එන්නය කියලා, ඔහු සිය පවුලත් සමගම එහි යන්න හදන්නේ. ඒ නිසා මෙහි තිබෙන්නේ කාර්යබහුල බව නොවෙයි, කාමච්ජන්දයන් කෙරෙහි ඇතිකරගත් දැඩි තෘෂ්ණාවයි. ඔය තෘෂ්ණාව තමයි ඊළඟ භවයේ උපතට අදාළ උපාදානය සකස්‌ කර දෙන්නේ. මෙතැනදී දුප්පත්, පොහොසත් කියලා උපාදානයේ වෙනසක්‌ නැහැ.
භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙනවිට අරමුණුවෙනවා භික්‍ෂුව වැඩසිටින කුටියට ආසන්නව තිබෙන කුඹුරු යායක්‌. එම කුඹුරුයාය තුළ අමුඩයක්‌ හැඳගත් උස, සිහින්, වර්ණ සැප බලයෙන් හීන ප්‍රේතයින් දෙදෙනෙක්‌ උදළු දෙකක්‌ කරතබාගෙන සිටිනවා. අමුඩය ගසාගෙන සිටින නිසා මේ ගොවි ප්‍රේතයින් දෙදෙනා මීට පෙර පරම්පරාවේ සිට මියගිය දෙදෙනෙක්‌ විය යුතුයි. සමහරවිට ඇඳුම් පැළඳුම් දන් නොදීම නිසා එහි අකුසල් විපාකය වීමටද පුළුවන්. මෙයත් තෘෂ්ණාව නිසා සකස්‌ කරගත් ප්‍රේත ජීවිත දෙකක්‌. පෙරදී සඳහන් කළ කෝටිපති දේශපාලකයා වගේ නෙමෙයි, දුප්පත් ගොවි මහත්වරු දෙදෙනෙක්‌.
අපිට පෙනෙනවා ගම්මාන වල ජීවත්වන විට මිනිසුන් කාලසටහන් සකස්‌කරගෙනයි පිංකම් කරන්නේ. හේන කොටන කාලයට, අස්‌වැන්න නෙළන කාලයට ඒ පිංවතුන් පිංකම්, පන්සල, දානය, ස්‌වාමීන්වහන්සේ අමතක කරනවා. නොදන්නකම නිසාම දෙවැනි තැනටයි දමන්නේ. මුල් තැන අදාළ ගොවිතැන් කටයුත්තටයි දෙන්නේ. කිසිම තර්කයක්‌ නැහැ, එම පිංවතුන් ගොවිතැන, එහි අස්‌වැන්න නිසයි ජීවත්වන්නේ කියන එකට. එයට මුල්තැන දෙන්න ඕනේ. නැතිනම් ඔවුනුත් අපිත් බඩගින්නේ. එහෙත් මෙතැනදී භික්‍ෂුව සඳහන් කරන්නේ ගොවිතැනට නෙමෙයි දිව්‍ය ලෝකයට යන්න ලැබුණත්, පිංකම් උදෙසා දිනකට, නැතිනම් මාසයකට වැයකරන කාලය අහිමි කරගන්න එපා. මොකද ඒ කෙටි කාලයයි ඔබ ඔබ වෙනුවෙන් යමක්‌ කරගන්නාවූ කාලය බවට පත්වෙන්නේ. සැබෑම සැපය උදෙසා කරගන්නාවූ ආයෝaජනය වෙන්නේ. එම නිසා කටයුතු සැලසුම් කරනකොට කුසල් දහම්වලට මුල්තැන දෙන්න. අනිත් කටයුතු වීර්යයෙන් යුතුව කුසලයට බාධාවක්‌, අඩුවක්‌ නොවන සේ සිදුකරන්න.
දුකට හේතුවන වී බුසල් සියයක්‌ වෙනුවෙන් ඔබට ලැබිය හැකි උතුම් දිව්‍ය සැපයක්‌ අහිමි කරගන්න එපා. වී බුසල් සියයක්‌ ඔබේ පරලොව සුගතියත් කියන කාරණා දෙකම සාර්ථක කරගන්න උත්සහ ගන්න. එසේ නොවී ඔබත් අංක එක ගොවිතැනට දුන්නොත් අදාළ ගොවි ප්‍රේතයින් දෙදෙනා මෙන් (වර්තමානයේ අමුඩ නැති නිසා) කොට කලිසම් ඇඳගත් ප්‍රේතයින් ලෙස ඉපදීමට අවශ්‍ය උපාදානය, ඔබගේ තෘෂ්ණාව විසින් ඔබට සකස්‌කර දෙනු ඇත.
මේ භවයේ ඇති බියකරු බව නිසාමය බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තම හිස ගිණිගත්තෙක්‌ ඒ ගින්න නිවන්න වෙහෙසගන්නේ යම්සේද, මේ භව ගින්න නිවාදැමීමට එවැනි වෙහෙසක්‌ ගන්න’ කියලා. එම ගිනි නිවෙන මාර්ගයට අවතීර්ණ වෙන්න කියලා. එසේ නොවුනොත් වැස්‌සෙන්, නියඟයෙන්, සුළඟින් විනාශවෙන අස්‌වැන්න දෙස බලමින් පසුතැවෙමින්ද, අවසානයේ ප්‍රේත ලෝකයේදී ඔබගේ ගොවිබිමේ හිමිකරුවා වීමට ඔබට පුළුවන්. එමනිසා පිංවත් ඔබ ව්‍යපාරයට, ගොවිතැනට, රැකියාවට, ඉඩකඩම්, දූ දරුවාට ඇති තෘෂ්ණාවට වඩා වැඩි කැමැත්තක්‌ පිංකම් කෙරෙහි, කුසල් දහම් කෙරෙහි ඇතිකරගන්න. මොකද තෘෂ්ණාව හේතුවෙනුයි උපාදානය සකස්‌කර දෙන්නේ. උපාදානයයි ඊළඟ භවය සකස්‌කර දෙන්නේ.

Posted on by

Tuesday, June 25, 2013

සසර පින පතළ කළ අසම සම රූ මහිම.



බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමට පෙර ලෝකයේ ‘බුද්ධ කෝලාහලයක්’ පැතිරී යනවා. බුදු කෙනෙක් පහළ වන්නට පෙර ලෝකයේ මිනිසුන්ගේ ගතිගුණවල විශාල පරිවර්තනයක් සිදුවනවා. අප මේ බුද්ධ කාලයේ ඉතිහාසය පරීක්ෂා කර බැලීමේදී පෙනෙනවා මුලින්ම තිබුණේ වේදග්‍රන්ථ ඇදහීම බව. ඊට පස්සේ ඒක ඊට වඩා ප්‍රගතිශීලි මට්ටමින් ‘ බ්‍රාහ්මණ’ නමින් දියුණු වුණා. ඊට පස්සේ උපනිස කියලා මිනිසුන් කල්පනා කර ගොඩනගාගත් ආගමික මතිමතාන්තර තම තමන්ම ප්‍රශ්නකර විසඳන යුගයක් ඇතිවුණා. ගුරුවරයා ළඟ ගෝලයා නතර වී ඉගෙන ගන්න කාලයක් ආවා.
එවැනි කාල පරිච්ඡේදයක බුදු කෙනෙක් පහළවීම පිළිබඳ දෝංකාරයක් පැතිර යද්දී සෘෂිවරු නිරන්තරයෙන්ම සොයන්න ගත්තා කවුද මේ බුදුකෙනා? බුදුවරයකුගේ ලක්ෂණ මොනවාද? බුදුවරයකු සොයාගන්නේ කෙසේද? කියලා.
ඔබ දන්නවා සෘෂිවරු විසින් නොයෙක් ආකාරයේ වේදග්‍රන්ථ, ආයුර්වේද ආදිය නිපදවලා තිබෙනවා වගේ, ලක්ෂණ ශාස්ත්‍රයත් නිපදෙව්වා. එහි තිබෙන්නේ ශාරීරික අංග ලක්ෂණ වලින් බුදුවරයකු හඳුනාගන්නා ආකාරය යි. මේ ලක්ෂණ ශාස්ත්‍රය ඒ කාලයේ බොහෝ බ්‍රාහ්මණ පණ්ඩිතවරු හදාරලා තිබුණා. මේ ලක්ෂණ ශාස්ත්‍රය වෙනම විෂයයක්.
හැබැයි, ඒ වනකොට බොහෝ දෙනා දැනගෙන සිටියා මේ මහපුරුෂ ලක්ෂණ තිස්දෙකම තිබෙන කෙනා බුද්ධත්වයට පත්වනබව. ගිහි ගෙදර සිටියොත් චක්‍රවර්ති රජ බවට පත්වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ නමක් බාහිර ලෝකයාට දැනගන්නට තිබෙන මූලික කාරණයක් ලෙස ප්‍රකට වුණේ මහ පුරුෂ ලක්ෂණයි. ඉතිං ඔබත් ඒ පුරුෂ ලක්ෂණ හිමි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න.
බුදු න්වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ හිමිවන්නට හේතුවූයේ සම්බුද්ධත්වයට පත්වීමට ප්‍රථම මනුෂ්‍ය ලෝකයේදී පෙර ගත කළ බොහෝ ජීවිතයන්හිදී සිදු කළ කායික, වාචික මානසික පුණ්‍ය කර්මයන්ගේ බල මහිමය යි.
මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ මනුලොවින් චුත වී බොහෝ කාලයක් සැප ඇති සුගතියේ ඉපදීමයි. එහි අනෙක් ප්‍රතිඵලය වූයේ බුද්ධත්වයට පත්වන මනුෂ්‍ය ජීවිතයේදී මේ මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත දේහයක් හිමිවීමයි. භාග්‍යවතුන් වහන්සේම උන්වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ එකින් එක ශ්‍රාවක පිරිසට විස්තර කර දී තිබෙනවා.
භාග්‍යවතුන් වහන්සේ පෙර ගතකළ බොහෝ ජීවිතවලදී කාය සුචරිතයේ, වාග් සුචරිතයේ හා මනෝ සුචරිතයේ යෙදීම නිසා එහි පුණ්‍ය විපාකය ලෙස උන්වහන්සේට මනාව පිහිටි සිරිපා යුග හිමි වුණා.
අමනුෂ්‍යයන්ගෙන්, සොරුන්ගෙන් සිදුවිය හැකි උවදුරු වළක්වා බොහෝ දෙනාට දැහැමි රැකවරණය සළසාදීමත් බොහෝ පිරිවර සහිතව දන්පැන් පූජා කිරීමත් ආදී පුණ්‍ය කර්මවල විපාක හේතුවෙන් සක් ලකුණින් සැදි සොඳුරු පා යුගද හිමි වුණා.
පෙර බොහෝ ජාතින්හිදී ප්‍රාණඝාතයෙන් වැළකී සිට ප්‍රාණඝාතයට ලැජ්ජා ඇතිව, දඬුමුගුරු භාවිතා නොකර සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කිරීම හේතුවෙන් උන්වහන්සේට දික් ඇඟිලිත්, බ්‍රහ්මයකු සේ සෘජු වූ දේහ විලාසයකුත් හිමි වුණා.
රසවත් වූ ආහාර, වැළඳිය හැකි ප්‍රණීත දෑ , අෂ්ටපාන වර්ග ආදිය බොහෝ දෙයින් දන් දීමෙන් රැස්කරගත් පුණ්‍ය මහිමයෙන් උන්වහන්සේට පිරිපුන් මාංශයන්ගෙන් යුතු සත් තැනකින් උස් වූ දේහ විලාසයක් හිමිවුණා.
දානයෙන්, පි‍්‍රය වචනයෙන් බොහෝ දෙනාට හිතසුව පිණිස පවතින අර්ථචරියාවෙන් හා සමානාත්මතාවයෙන් යන සතර සංග්‍රහ වස්තුවලින් සෑම කෙනෙකුටම සංග්‍රහ කිරීමේ විපාකයෙන් උන්වහන්සේට මේ මනුලොවදී මත්තෙහි ගොප් ඇට ඇති පායුගත්, උඩුකුරු වූ අංජන නීල ලෝමත් හිමිවුණා.
පෙර බොහෝ ජීවිතවලදී උන්වහන්සේ විවිධ ශිල්ප විද්‍යා ධර්ම ශාස්ත්‍ර මනාව දැනගෙන අන් අයට කරුණාවෙන් ක්‍රමානුකූලව ඉගැන්වූවා. එහි පුණ්‍ය විපාකයක් ලෙස ඕලු මුවන් ගේ බඳු කෙණ්ඩා උන්වහන්සේට හිමිවුණා.
කුසලය යනු කුමක්ද? අකුසලය යනු කුමක්ද? කුමක් වරද සහිතද? කුමක් වරද රහිත ද? කුමක් සෙවිය යුතුද? කුමක් නො සෙවිය යුතුද? මා විසින් කුමක් කිරීමෙන් බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ද? යනාදී කරුණු කාරණා ගැන නැවත විචාරමින් අකුසලයෙන් දුරු වී, කුසල් දහම් වැඩු නිසා උන්වහන්සේට දුහුවිලි පොදක් තරම්වත් නො රැඳෙන ඉතා සියුම් සොඳුරු සමක්ද හිමි වුණා.
නොකිපෙන සුළුව නො ගැටී, ක්‍රෝධ රහිතව, නො කිපුණ සිත් ඇති ව වාසය කිරීමත්, සියුම් වූ මෘදු වූ ඇතිරිලි, පොරෝන, සියුම් ලෙස ෂයන ලද පලස් ආදී බොහෝ දේ දන් දීම නිසාත්, උන්වහන්සේට රන්වන් පැහැයෙන් බබළන සමක් හිමි වුණා.
මව හා පුතු ද, පුතු හා මවද, පියා හා පුතු ද, පුතු හා පියාද, සොහොයුරා හා සොයුරියද, සොයුරිය හා සොයුරාද, වශයෙන් අසමගියෙන් සිටි පිරිස් සමගි කර, ඔවුන්ගේ එකමුතුව දෙස බලා බොහෝ සතුටට පත්වීම නිසා එහි විපාක වශයෙන් කෙමියක බහා ලූ දෙයක් බඳු පුරුෂ නිමිත්ත හිමිවුණා.
පෙර බොහෝ භවයන්හි දී මහජනතාවට සංග්‍රහ කිරීමේදී, මොහු මෙයට සුදුසු ය, මෙම පුද්ගලයා සංග්‍රහයට සුදුසු ය ආදී වශයෙන් ඒ ඒ පුද්ගලයා ගේ ස්වභාවය මැනැවින් තේරුම් ගෙන ඒ ඒ පුද්ගලයන්ට සම සිත් ඇතිව සංග්‍රහ කිරීමේ පුණ්‍ය විපාක ලෙස නුග රුකක් සේ උස මහතින් සම වූ දේහයකින් යුතුව සිටගෙන සිටියදීම අත්වලින් දණ මඬල පිරිමැදීමටත් උන්වහන්සේට හැකි වුණා.
පෙර බොහෝ ජීවිතවලදී උන්වහන්සේ මෙත් සිත පුරුදු කළා. මේ සත්ත්වයන් කෙසේනම් ශ්‍රද්ධාවෙන් සීලයෙන්, ධර්ම ශ්‍රවණයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් දියුණු වන්නද? ධනයෙන් දියුණු වෙන්නද? දෙපා සිවුපා ආදී සතුන්ගේ අඹුදරුවන්ගේ නෑදෑයන්ගේ මිතුරන්ගේ සම්බන්ධතා කෙසේ දියුණු වෙයිද? මේ ආකාරයට කරුණාවෙන් සියලු දෙනාට හිතසුව පිණිස, සැප පිණිස, හේතුවන පරිදි මෙත් සිතින් ජීවත් වුණා. එනිසා සිංහ රාජයකු සේ අභිමානවත් දේහයත් සමව වට වූ දේහයත්, මසින් පිරුණු පිටකරත් හිමිවුණා.
දඬු මුගුරු අවි ආයුධ ආදිය භාවිතා කර හෝ සත්ත්වයන් පීඩාවට පත්වන ස්වභාවයේ කිසි ක්‍රියාවක් සිදු නො කිරීමේ පුණ්‍ය විපාකයෙන් ආහාරය සමව රස විඳිය හැකි අග්‍ර රස නහර හිමිවුණා.
උන්වහන්සේ ගත කළ බොහෝ ජීවිතවලදී කිසි කෙනකු දෙස කෝපයෙන් ඇස් ඔරොවා හෝ හිස් ඇල කොට ඇස් කොණින් බැලීම හෝ සිදු නොකර සෘජු ලෙස, සෘජු සිත් ඇතිව ඇස් විවෘත කොට සෑම කෙනෙක් දෙසම යහපත් චේතනාවෙන්, පැහැදිලි දෙනෙතින් බැලූ නිසා නිල්වන් වූ පිරිපුන් ඇස් ගොබ උන්වහන්සේට හිමිවුණා.
කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය දන්දීම, සීල සමාදානය, පෙහෙවස් සමාදන්වීම මවට පියාට උපස්ථාන කිරීම මහණුන් පිදීම ආදී කුසල කර්ම නිසා පිරිපුන් නළල් තලයක් හිමි වුණා.
බොරු කීමෙන් වැළකී සිට සත්‍යවචන කතා කරමින්, විශ්වාසයෙන් යුතුව අන් අයට පිළිගත හැකි වචන කථා කරමින් ලෝකයා රවටන්නා වූ වචන කථා නො කරමින් බොහෝ ජීවිතවල වාසය කිරීමේ හේතුවෙන් දෙබැම අතර ඌර්ණ රෝම ධාතුවත්, එක් ලෝම කූපයකින් එක් ලෝමය බැගින් ඇති වීමත් හිමි වුණා.
කේලාම් බසින් වැළකී, අන් අය බිඳවීමක් නොකර, කිසිවකු බිඳවීම පිණිස වෙනත් අයද පෙළෙඹවීමක් නොකර, සමගියෙන් සිටින අය තවත් සමඟි කිරීමේ සහ සමගිවූ අය දැක සතුටු වීමේ හේතුවෙන් උන්වහන්සේට හිදැස් රහිත වූ දත් සතළිහක් හිමි වුණා.
සැඩපරුෂ වචනයෙන් වැළකි කණට පි‍්‍රය වූ සිතට සැනසිලි වූ නිර්දෝෂි වූ වචන බොහෝ ජීවිතවල කථාකළ නිසා බ්‍රහ්මයකු සේ ගැඹුරු හඬ ඇති කුරවි කොවුළකු ගේ හඬ බදු බ්‍රහ්ම ස්වරයත්, දික් වූත් පුළුල් වූත් දිවත් හිමි වුණා.
අර්ථ පිණිස නොපවතින වචනවලින් වැළකී සත්‍ය වචන කථා කර අන් අයට වැඩ සලසන කුසල් උපදවන වචනම කථා කළ හෙයින් සිංහයකුගේ මෙන් පිරිපුන් උඩු හා යටි හණු හිමි වුණා.
ගතකළ බොහෝ ජීවිතවල දී සිදු කළ කර්මාන්ත වෙළෙඳාම් ආදියෙහි දී කිරුම් මිනුම් වලදී වංචා නොකර, අල්ලස් නො ගෙන නොයෙක් උපාය සිදු කර අන් අය රවටා හෝ සැඟ වී අන්සතු දේ උදුරා ගෙන හෝ මිථ්‍යා ජීවයෙන් වැළකී සිට යහපත් ජීවිකාවෙන් වාසය කළ නිසා උන්වහන්සේට සුදෝ සුදු සම දත් හිමි වුණා.
ඉතින් මේ මිහිමත වැඩසිටිය මේ උතුම් සම්බුදුරජාණන් වහන්සේට හිමි වී තිබුණු මහා පුරුෂ ලක්ෂණ එසේ හිමි වූයේ, බුද්ධත්වයට ප්‍රථම ගතකළ මිනිස් ජීවිතවල දී රැස්කළ මහා පුණ්‍ය ධර්මවල ප්‍රතිඵල ලෙස බව වටහාගෙන කුසල සම්පන්න, සීලවන්ත, පින්වන්ත ජීවිත ගත කිරීමට ඔබත් අධිෂ්ඨාන කර ගන්න.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
බුදු සරණ පුවත් පතේ පළ වූ ලිපියකි.

ගෞතම බුදු සසුන දිගු කල් පැවතීමට නම්..



බුද්ධ ශාසනය යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට දායාද කරදෙන අතිශයින් ම පාරිශුද්ධ වූ දෙයක්. බුද්ධ ශාසනයට විවිධ නම් පාවිච්චි කරනවා. බ්‍රහ්මචරිය, සද්ධර්මය, ශාස්තෘ ශාසනය ආදී වශයෙන් හඳුන්වනවා. මෙවැනි නොයෙකුත් නම් වලින් බුදුරජාණන් වහන්සේ විසින් ශාසනය විස්තර කරනවා. බුද්ධ ශාසනය ‘නවාංග ශාස්තෘ ශාසනය’ යන නමිනුත් හඳුන්වනවා. එය අංග නවයකින් යුක්ත නිසා. අද අපෙන් කෙනෙක් ඇසුවොත් නවාංග ශාස්තෘ ශාසනය කුමක්ද කියලා, එයට පිළිතුරක් දිය හැකි වන්නේ ඉතා ටික දෙනෙකුට යි. ඒ නවාංග ශාස්තෘ ශාසනය අපි ඉගෙනගත යුතුයි.
සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවය යි ඒ. මේ නවය පිළිබඳ සෑම බෞද්ධයකුටම දැනුමක් තිබිය යුතු යි. ඒ දැනුම ඇති අයට බුද්ධ ශාසනයේ යහපත උදෙසා බොහෝ දේ කළ හැකියි.
ඔබ මෙසේ දරාගන්න, නවාංග ශාස්තෘ ශාසනය…
සුත්ත- යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් කරනු ලබන දේශනා වලට කියන නමක්. එය අපි සූත්‍ර යනුවෙන් සිංහලෙන් හඳුන්වනවා. කරණීය මෙත්ත සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, රතන සූත්‍රය, ආදී දේශනා වලට ‘දේශනාව‘ යන අර්ථය ඇතිව තමයි, සූත්‍රය යන නම භාවිතා වන්නේ. සූත්‍ර යනු බුද්ධ දේශනා යි.
ගෙය්‍ය- යනුවෙන් හඳුන්වන්නේ සමහර සූත්‍ර දේශනා වලදී, ඒ දේශනාව දේශනා කරන අතරතුර දී හෝ දේශනාව අවසානයේදී ගාථා වලින් යම් යම් දහම් කරුණු සම්පිණ්ඩනය කර ඉදිරිපත් කළ ඒවාටයි. මේ ගාථාවලින් කරන ලද දේශනා තමයි භාග්‍යවතුන්වහන්සේ ‘ගෙය්‍ය’ නමින් වදාරා තිබෙන්නේ.
වෙය්‍යාකරණ- වෙය්‍යාකරණ කියා කියන්නේ යම් කිසි දහම් කරුණක් මාතෘකා කරගෙන, ඒ දහම් කරුණ සවිස්තරව ඉදිරිපත් කිරීම යි. අපි දන්නවා ධම්මචක්ක පවත්තන සූත්‍රයේ වෙය්‍යාකරණ ඒ සූත්‍රය අවසානයේ තිබෙන බව. මේ වෙය්‍යාකරණ වදාරන කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් දහම් ඇස පහළ කර ගත්තා යනුවෙන් දැක්වෙනවා.
අනන්ත ලක්ඛණ සූත්‍රයේ සඳහන් වනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වෙය්‍යාකරණය වදාරන කල්හි පස්වග භික්ෂූන්ගේ සිත් උපාදාන රහිතව සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණා බව. දම්සක් පැවැතුම් සූත්‍රයේ විස්තර වන්නේ, චතුරාර්ය සත්‍ය යි. අනන්ත ලක්ඛණ සූත්‍රයේදීත් චතුරාර්ය සත්‍ය විස්තර වූවත්, එහිදී දුක්ඛාර්ය සත්‍යයට අදාළ පංච උපාදානස්කන්ධයෙහි අනාත්ම ලක්ෂණය ගැඹුරින් විස්තර වනවා. මේවා තමයි වෙය්‍යාකරණ කියලා කියන්නේ. එනම් දහම් පදයක් විස්තර ලෙස දේශනා කිරීමයි.
ගාථා- ගාථා වල විශේෂත්වය අපි මැනවින් හඳුනාගත යුතුයි. ඇතැම් අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ යම් සිදුවීමක් නිමිති කරගෙන එක් ගාථාවක් දේශනා කර නිශ්ශබ්ද වනවා. එවිට ඒ දේශනාව එතනින් සමාප්තයි. එයට කියනවා ‘ගාථා’ කියලා.
උදාන- සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ යම් යම් ප්‍රසාදජනක හෝ සංවේග ජනක කරුණු නිමිතිකරගෙන උන්වහන්සේගේ් හදවතෙහි පැන නගින හැඟීම් දහම් කරුණක් වශයෙන් මුවින් පිටකරනවා. විශ්මයජනක කරුණකදී හෝ ශෝකජනක කරුණකදී ‘බුදු අම්මෝ’ ‘අනේ අපොයි’ ආදී වදන් අපේ මුවින් පිට වනවා. ඒ අපේ කල්පනාවේ සීමාව තුළ යි. නමුත් බුදු කෙනෙකුගේ හදවතෙහි පැන නැගුණු දේ පිට වන්නේ දහම් පදයකිනු යි. ධර්ම කරුණුයි. ඒවා තමයි, ‘උදාන’ කියා කියන්නේ. උදාන, ශාස්තෘ ශාසනයට අයිති කොටසක්.
ඉතිවුත්තක- ඉතිවුත්තක කියා කියන්නේ, බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් අදහස් කරන ලද දේ මෙසේ යැයි තහවුරු කොට දරා ගැනීම පිණිස සිහියේ රඳවා ගත යුතු විශේෂ දහම් කරුණු කොටසකු යි. ඒවා තමයි ඉතිවුත්තක. භාග්‍යවතුන් වහන්සේගේ දවසේ මේ ඉතිවුත්තක කුජ්ජුත්තරා උපාසිකාව විසින් දරාගෙන මතක තබාගෙන තිබෙනවා.
ජාතක- ජාතක යනුවෙන් හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අතීත ජීවන තොරතුරු ඇතුළත් කතා යි. එම තොරතුරු සූත්‍ර දේශනාවල; බුද්ධ දේශනාවල දහම් කරුණු හා සම්මිශ්‍රව දේශනා කොට තිබෙනවා.
අබ්භූත ධම්ම- බුදු කෙනකුගේ ජීවිතය තුළ සහ ලෝකය තුළ තිබෙන ආශ්චර්ය අද්භූත දේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් හෙළිදරව් කරනවා. ශාස්තෘ ශාසනයට අයත් ‘අද්භූත ධම්ම’ යනුවෙන් සඳහන් වන්නේ, ඒවා යි.
වේදල්ල- වේදල්ල යනු, ප්‍රශ්නෝත්තර වශයෙන්; සාකච්ඡාවෙන් සිදු වන දහම් කරුණු විමසීමක්. මෙයත්, නවාංග ශාස්තෘ ශාසනයට අයිති එකක්.
භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ කොටස් නවයෙන් යුත් ශාස්තෘ ශාසනය බොහෝ කලක් පැවතීමට නම් එය අවබෝධ කරන පිරිස් සිටිය යුතු බව. එසේ එය අවබෝධ කරන පිරිස් නො සිටියහොත්, ඒ ධර්මය සමාජයෙන් ඈත් වනවා. ධර්ම මාර්ගයට බාධක කරුණු සමාජය තුළ බලවත්වීමෙන්, ඒ සමාජය තුළ අර්බුද හටගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් තුළ හටගන්නා වූ ධර්ම අවබෝධයට බාධක වූ එම අර්බුද වැළැක්වීමට උන්වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පදවලටයි ‘විනය’ කියලා කියන්නේ.
උන්වහන්සේ වදාළා බුද්ධ ශාසනය බොහෝ කලක් පැවැතීමට විනයත් අවශ්‍ය යි කියලා. විනය යනු, ශික්ෂා පද යි.
ඒ වගේම උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට ප්‍රාතිමෝක්ෂ අනුදැන වදාළා. එනම් මසකට දෙවරක් ශ්‍රාවකයන් විසින් ආරක්ෂා කරන්නා වූ විනය ශික්ෂාපද පිළිබඳ විනය උදෙසීමක් කළ යුතු බවයි. එය ‘පාමොක් උදෙසීම’ නමින් හැඳින්වෙනවා. ශික්ෂා පදත්, පාමොක් උදෙසීමත්; ශාසනය දිගු කල් පැවැතීමට උපකාර වනවා.
එනිසා, ඔබ හොඳට මතක තබාගත යුතුයි, බුද්ධ ශාසනයක් වෙනත් කිසිවකුට අතුරුදන් කළ නොහැකි බව. බුදු සසුන අතුරුදන් කරන්න පුළුවන් වන්නේ, ශ්‍රාවක පිරිසටම යි. භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ ශාසනය වෙනත් හේතු නිසා අතුරුදන් වන්නේ නැති බව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් නිසා මේ ශාසනය අතුරුදන් වන්නේ නෑ. විවිධ පුද්ගලයන් ශාසනය තුළම ඉඳලා ශාසනය අතුරුදන් කරන බව යි, බුදුරදුන් දේශනා කළේ. මේ ශාසනයට ඇතුළත් වන අය නිසා ම තමයි, ශාසනය අතුරුදන් වන්නේ. එසේ නම් මේ ශාසනය අතුරුදන් නොවීමට නම් කළ යුතු වන්නේ, නවාංග ශාස්තෘ ශාසනය මනා කොට ඉගෙනගෙන, ශික්ෂා පද මැනවින් ආරක්ෂා කරගෙන මේ කරුණු නිරන්තරයෙන් පාරිශුද්ධ ලෙස පැවැත්වීමයි. එනිසා ගිහි පින්වතුන් විසින් නවාංග ශාස්තෘ ශාසනය පුරුදු කිරීමත්, ශික්ෂා පද මැනවින් රැකීමත් කළ යුතු යි. පැවිදි ශ්‍රාවකයන් විසින් නවාංග ශාස්තෘ ශාසනය පුරුදු කිරීමත්, ශික්ෂාපද ආරක්ෂා කිරීමත්, දින දහ හතරකට වතාවක් හෝ මසකට දෙවරක් ප්‍රාතිමෝක්ෂය උදෙසීමත් කළ යුතු යි.
මේ ආකාරයට බුද්ධ ශාසනය තුළ සිටින පැවිදි – ගිහි දෙපාර්ශ්වයම මේ කාරණා සම්පූර්ණ කළහොත් ගෞතම බුද්ධ ශාසනය බොහෝ කල් පවතිනු ඇත.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
බුදු සරණ අන්තර්ජාල කලාපයේ පළ වූ ලිපියකි.

Saturday, June 22, 2013

බුදු රජානන්වහන්සේ ගේ සෘධි ප්‍රාතිහාර්‍ය ඥානය 04 කොටස

නමෝතස්ස භගවතෝ අරහතෝ සමිමා සමිබුද්ධස්ස!

මින් පෙර ලිපි 03 හිම කරැණු ඉදිරිපත් තථාගතයානන්වහන්සේගේ සෘධි ප්‍රාහිහාර්‍ය ඥානය පිළිබදවයි. මෙම ලිපියෙන් කරැණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන්නේ තථාගතයානන්වහන්සේ විසින් සෘධි ප්‍රාතිහාර්‍ය සමිබන්ධයෙන් දක්වන ලද ආකල්පය පිලිබදවයි. මෙ පි‍ලිබදව තොරතුරැ අන්තර්ගත වන්නේ දිඝ නිකායේ 11 වෙනි කේවටිට සුත්‍රයෙය්. දීඝ නිකායේ සුත්‍ර, වචනාර්ථයෙන්ම දිර්ඝ වන බැවින් මෙහි එම සුත්‍රයේ සාරංශය පමණක් ඉදිරිපත් කරමි.

දිනක් කේවටිට නමි ගෘහපති තෙමෙ තථාගත බු පියානන් වෙත පැමිණ,

"ස්වාමීනි, මෙ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය.  මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුනාහුය.  ස්වාමිනි, යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නේද, එවැනි එක් භික්‍ෂුවක් ප්‍රාතිහාර්ය කිරීමට නියම කරන සේක්වා.  මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්ය පැවැත්වූ කල්හි මෙ නාලන්දා නුවර වාසය කරන ජනයා බොහෝ සෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නේය".

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවටිට ගෘහපති පුත්‍රයාට මෙ කාරණය කී සේක.

"කෙවටිටය, මම මෙසේ භික්‍ෂුන්ට ධර්ම දේශනා නොකරමි.
මහණෙනි, එව. ඔබ, සුදු වස්ත්‍ර අදින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘධි  ප්‍රාතිහාර්ය කරව" යි කියාය.

දෙවනුවද, තෙවනුවද කේවටිට ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය ඉහතින් මෙන් කීයේය.

එවිට තථාගත බුදුපියානන්වහන්සේ විසින් කේවටිට ගෘහපති තෙම වෙත කරණ ලද දේශනයේ සාරංශය  පහතින් දක්වනු ලැබෙ.

"කේවටිටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද මෙ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනමි 

01)නොයෙක් මැවීමි ආදිය කිරීමෙ සෘධි ප්‍රාතිහාර්යය,
02)අනුන්ගේ සිත් දැක්වීමෙ ආදේශනා ප්‍රාතිහාර්යය,
03)අනුශාසනා කිරීමෙ අනුශාසනා  ප්‍රාතිහාර්යය යන තුනයි.

සෘධි ප්‍රාතිහාර්යය
"කේවටිටය, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම නොයෙක් අයුරු ඇති සෘධි විධි වෙන් වෙන් කොට දක්වයි.  එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපිමෙන් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීමි, මතුවීමි කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිදගෙන්ම යයි. මෙ මහත් සෘද්ධි ඇති, මහත් ආනුභාව ඇති සද හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසග බව පවත්වයි."

ආදේශනා ප්‍රාතිහාර්යය
"කේවටිට, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම අනුන්ගේ සිත දැන කියයි.  සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබෙ සිතේ මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබෙ සිත මෙ ආකාරද වෙයි. ඔබෙ සිත මෙ මෙ දෙයක් සිතමින් පවතී යයි කියයි.

මෙ දක්වනු ලැබුයේ මෙ ශාසනයේ භික්ෂුන් විසින් දක්වනු ලබන්නාවු ප්‍රතිහාර්‍යයන් වෙ. මෙලෙස භික්ෂුන් විසින් ප්‍රතිහාර්‍ය දක්වන විට දී එම භික්ෂුන් කෙර් පැහැදුනා වු සැදැහැති ජනයා එම ප්‍රාතිහාර්‍ය ගැන ශ්‍රද්ධාව නොමැත්තාවුත්  බුද්ධ ශාසනයේ පැහැදිමක් නැත්තාවුත් ජනයා වෙත මෙම කරැණු කියයි.

එහිදි ත‍ථාගතයානන්වහන්සේ,
ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ අය, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන අයට මෙසේ කියන්නේය.
"පින්වත, ගන්ධාරී නමි විද්‍යාවක් ඇත්තේය. ගන්ධාර රට බොහෝ සෘෂිහු වාසය කළෝය. ඔවුන් අතරෙහි එකෙක් විසින් කරන ලද විද්‍යාවක් ගන්ධාරී නමි  විය.  ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ නොයෙක් අයුරු ඇති සෘද්ධි වෙන් වෙන් කොට දක්වයි" 

"කේවටිටය, මම සෘධි ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි.  සෘධි ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.

ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තා, මෙසේ කියන්නේය. "පින්වත, චින්තාමණී නමි විද්‍යාවක් ඇත්තේය.  ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ අනුන්ගේ සිත දැන කියයි. ඔබෙ සිත මෙසේ මෙ මෙ දෙයක් සිතමින් පවතීයයි කියයි."

"කේවටිටය, මම ආදේශනා ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි.
 ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.

මෙයින් කියවෙන්නේ උන්වහන්සේගේම වදනින් තථාගතයානන්වහන්සේ සෘධි ප්‍රාතිහාර්‍ය හා ‍ආදේශනා ප්‍රාතිහාර්‍ය අසුචි මෙන් පිළිකුල් කල බවයි.

එසේනමි තථාගතයානන්වහන්සේ විසින් අනුමත කරන ලද ප්‍රාතිහාර්‍ය කුමක්ද?

එය අනුශාසනා කිරීමෙ අනුශාසනා  ප්‍රාතිහාර්යය ලෙස හදුන්වනු ලැබෙ.

"කේවටිටය, අනුශාසනා ප්‍රාතිහාර්යය කවරේද?
"කේවටිටය, භික්‍ෂු තෙම මෙසේ අනුශාසනා කෙරෙයි. "මෙසේ කල්පනා කරවු, මෙසේ කල්පනා නොකරවු, මෙසේ මෙනෙහි කරවු, මෙසේ මෙනෙහි නොකරවු, මෙය දුරු කරවු, මීට පැමිණ වාසය කරවි" කියාය. මෙයට කේවටිටය, අනුශාසනා කිරීමෙ ප්‍රාතිහාර්යයි කියනු ලැබෙ"

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. "කේවටිටය,
අර්හත්වූ, සම්‍යක් සමිබුද්ධවූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට, සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව අෂ්ඨ විද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්තවූ,  යහපත් ගති ඇත්තාවූ, සියඵ ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුර්ෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, සත්‍යවූ උතුමි ධර්ම හතර චතුරාර්‍ය සත්‍ය:  අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමෙ දෙවියන් සහිතවූ,  බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, සියඵ ලෙසින් සමිපූර්ණවූ, පිරිසිදුවූ සියඵ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති".

"ධර්මය ඇසූ අය ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි.  ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසෙ සලකන්නේය. "ගෘහ වාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙය වහන්නහු විසින් සියලු ආකාරයෙන් සමිපූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ ලියවූ හක් ගෙඩියක් මෙන් මෙම බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙන්නෙමි නමි ඉතා යහපතැයි" කියාය.

මෙ දක්වනු ලැබුයේ තථාගතයානන්වහන්සේගේ අනුශාෂනා ප්‍රාතිහාර්‍යයයි. තිලොක රාජ වු බුදුපියානන්වහන්සේ ජිවමානව වැඩසිටි සමයෙත් උන්වහන්සේගේ මහා පරිනිර්වානයෙන් පසුවත් යමෙක් තථාගතයානන්වහන්සේගේ සසුනේ පැවිදි වන්නේ නමි පැවදි වන්නේ උන්වහන්සේගේ අනුසාෂනා ප්‍රාතිහාර්‍යය නිසාය. සිත පහදවා ගන්නේ නමි සිත පහදවා ගන්නේ උන්වහන්සේගේ අනුශාෂනා ප්‍රාතිහාර්‍යය නිසාය. තිසරණ සරණ යන්නේ නමි තිසරණ සරණ යන්නේ උන්වහන්සේගේ උන්වහන්සේගේ අනුශාෂනා ප්‍රාතිහාර්‍යය නිසාය.

ත‍ථාගතයානන් වහන්සේ සංඝරත්නය විසින් මෙසේ කල යුතුය මෙසේ නොකල යුතුයැයි දේ‍ශනා කරනුයේද තථාගතයානන්වහන්සේ කරණ ලද දේශනාවමය. ධර්මය වනාහි තථාගතයානන්වහන්සේ විසින් උන්වහන්සේ විශිෂ්ඨ ඥානයෙන් පසක් කර දුන් පසු. එම ධර්මයට අනුව භික්ෂුන් වහන්සේ හා අන් සැම බෞද්ධයෙකුම කරනු ලබන දේශනා අනුශාෂනා ප්‍රාතිහාර්‍යම වන්නේය.

මෙසේ තතථාගතයානන්වහන්සේගේ ධර්මයේ පැහැදුනාවු සැදැහැති කුලපුත්‍රයන් විසින් උන්වහන්සේ විසින් දේශනා කර වදාල ශිල ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේය. එකි ශිලයේ පිහිටා. විවෙකී සුවයෙන් නිර්වානය අරමුනු කර භාවනාවට සිත යොමන්නේය පංච නිවරණ දුරැ කරන්නේය. මෙසේ භාවනා කොට ප්‍රථම ධ්‍යානයට,දෙවන ධ්‍යානයට,තෙවන ධ්‍යානයට,සිවිවන ධ්‍යානයට සිත පත් කරන්නේය, පංචස් කන්ධයේ දොස් දකිමින් නේවසංඤානාසංඤායතන ආදියට සිත පත්කරන්නේය.

ක්‍රමයෙන කලින් කි පරිදි සෘධි ප්‍රාතිහාර්‍ය ඥාන, ආදේශන ප්‍රාතිහාර්‍ය ඥාන, අභිඥා ඥාන උපද වන්නේය. අභිඥා ඥාන උපදවා

"ඔහු සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්තිය දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි,  ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී.  ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුවූ, දුක්වූ, නිරයට පැමිනෙත්,  නැතහොත් යහපත් පැමිණීමවූ ස්වර්ග ලොකයට පැමිණියෝයැයි දකියි. මෙයින් විචිකිචිචාව දුරැ කොට

"ඔහු සිතේ පැසවන කෙලෙස් පහකිරීමෙ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි,  ඉදිරිපත් කොට නමයි. ඔහු මෙ දුකයයි තතු ලෙස දැනගණී මෙ දුක් ඉපදීමෙ හේතුවයයි තතු ලෙස දැනගණී,  මෙ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මෙ දුක් නැති කිරීමෙ මාර්ගයයි තතු ලෙස දැනගණී, මෙ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගනී. මෙ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී,

මෙසේ දැක සිත සිත නිවන කරා යොමු කරයි.

ඉන් අනතුරැව මෙම සුත්‍රයේ සදහන් වන්නේ තතාගතයානන්වහන්සේ විසින් විසින් දේශිත පෙරවු එක්තරා සිද්ධියකි.

කේවටිටය. පෙර වූ දෙයක් කියමි. මෙ භික්‍ෂු සංඝයා අතුරෙහිමවූ එක්තරා භික්‍ෂුවක් හට  මෙවැනි අදහසක් පහළ වූයේය.
"පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදීන පරිදි විනාශ වන්නාහූදැ" යි කියාය.

එනමි මෙ භික්ෂුවට හටගත්තාවු ගැටලුව වුයේ මෙ සසර පිළිබද ගැටලුවයි. නැතහොත් සංස්කාර පි‍ළිබද ගැටලුවයි.

මෙම භික්ෂුව භාවනා කොට දිව්‍ය ‍ලොවට යා හැකි වනනාවු සෘධියක් උපදවන ලදි. ක්‍රමයෙන් සදෙවි ලොවි සිවිවරමි දෙවිවරැන්, ආදින්ගෙන් මෙම ගැටලුවට පිළිබද විමසා පිළිතුරක් නොලැබු කල, මහා භ්‍රහ්මයා වෙත පැමිණ මෙම ගැටලුව විමසා සිටින ලදි. එහි දී සංවාදය,

"මහණ, යමි හේතුවකින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා මෙ ප්‍රශ්නය විසදීම පිණිස  බඹලොව දක්වා පිටත සෙවීමට පැමිණියෙහිද, මහණ, එබැවින් නුඹවහන්සේ විසින් මෙ කරණය වරදවා  කරන ලද්දේය, අපරාධයක් කරන ලද්දේය.මහණ, නුඹවහන්සේ වැඩිය මැනව. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මෙ ප්‍රශ්නය ඇසුව මැනව. යමි ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ නුඹවහන්සේට ප්‍රකාශ කරන සේක්ද එපරිද්දෙන් එය පිළිගත මැනවයි"  මහාබ්‍රහ්මතෙම කීයේය.

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්තිමත් පුරුෂයෙක් හකුළාගත් අතක් දිගුකරන්නේ හෝ යමිසේද, දිගුකළ අතක් හකුළන්නේ යමිසේද, ඒ ආකාරයෙන් බ්‍රහ්ම ලෝකයෙන් නොපෙනී ගොස් මාගේ ඉදිරියේ පහළවූයේය. කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම වැද එක් පැත්තක උන්නේය. ඒ භික්‍ෂුතෙම මා මෙසේ ප්‍රශ්න කළේය."

"ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි  නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය.

"කේවටිටය, මෙසේ ඇසූ කල මම ඒ භික්‍ෂුවට මෙ කරණය කීවෙමි. "මහණ,  පෙර පැවති කරුණක් කියමි. මුහුදෙහි යාත්‍ර කරන්නාවූ වෙළෙන්දෝ වෙරළ දකින ගති ඇති කවුඩු,  උකුසු යන මොවුන් අතුරෙන් කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදට බැසගනිත්ද,  ඔවුහු වෙරළ නොදක්නාවූ බැවින් වෙරළ දකින ගති ඇති කුරුල්ලා මුදත්. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ දක්නේද ඒ වෙරළ දෙසට යන්නේය.  ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ නොදක්නේ නමි ඒ නැවටම ආපසු එයි. මහණ, එපරිද්දෙන්ම ඔබ යමි හේතුවකින් බ්‍රහ්ම ලෝකය දක්වා සොයන්නේ මෙ ප්‍රශ්නය විසදන්නෙකු වෙතට නොපැමිණියෙහිද එහෙයින් නැවත මාගේ සමීපයටම හැරී ආයේහිය. 

මහණ, ඒ ප්‍රශ්නය මෙසේ නොඇසිය යුතුයි. කෙසේද?
 
"ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි"  කියාය. මහණ, මෙ ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය.

"කුමකට පැමිණ කුමක් හේතුකොට ගෙන පස්, දිය,  ගිනි, වායු යන සතර මහා භුතයෝ නොපිහිටත්ද හෙවත් පිහිටීම නොලබත්ද? කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුමිවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ උපාදාය රූප රැස  මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද හෙවත් පිහිටුම නොලබාද? කවර තැනෙක කුමකට පැමිණ, නාමයත් රූපයත් ෆසිතත් කයත්: ඉතිරි නොවී නිරුද්ධවෙද?" කියාය.

එහි විවරණය මෙසේ වෙයි.

"නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීමි, නැතිවීමි කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මෙ නිර්වාණ ධාතුවට පැමිණ, පස්, දිය, ගිනි,  වායු යන සතර මහා භුතයෝ පිහිටීම නොලබත්. මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්.මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරූද්ධ වෙයි. විඤ්ඤාණ සිත නිරෝධයෙන් මෙ නාම රූප රාශිය මෙ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින  පරිදි නිරුද්ධ වෙයි".

මෙම කථාවෙන් තතාගතයානන් වහන්සේ දේශනාකර සිටින්නේ කුමක්ද? දෙවියන් බ්‍රහ්මයන් සහිත ලොකයේ සංසාරය නැමති ගැටලුවට පිළිතුරැ දිය හැකි එකම තැනැත්තන් වහන්සේ උන්වහන්සේ වන බවය. උන්වහන්සේ දේශනා කලධර්මය පිළිපැදිමෙන්ම මෙම ගැටලුවට පිළිතුරැ ලැබෙන බවය. භික්ෂුව විසින් උපදවන ලද ප්‍රාතිහාර්‍ය ඥානයෙන් ඔහුට ඵලක් නොවිය. එබැවින් එම විශිෂ්ඨ ඥානයන් යොදාගත යුත්තේ නිර්වාණය අරමුණු කරමින් පමණක් වන බවය. නිවනට මාවත තනාගැනිමට පමණක් වන බවය.

එබැවින් මෙම නොයෙක් මැවීමි ආදිය කිරීමෙ සෘධි ප්‍රාතිහාර්යය, අනුන්ගේ සිත් දැක්වීමෙ ආදේශනා ප්‍රාතිහාර්යය ආදියට බුදු සසුනේ ලැබෙනුයේ අසුචි  පිඩක වටිනා කමක් පමණි. මක්නිසාද යත් ඒවායින් සංසාර දුක්ඛයට පිලිතුරක් නොලැබෙන බැවිනි.

සමිපුර්ණ සුත්‍රය මෙතනින් කියවන්න
දීඝ නිකාය

11. කේවටිට සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර සමීපයෙහිවූ පාවාරිකා සිටාණන්ගේ අඹ වනයේ වාසය කරන සේක. එවිට කේවටිට තෙමෙ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැද එකත්පස්ව උන්නේය. ගෘහපති පුත්‍ර කේවටිට භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය කීවෙය.

"ස්වාමීනි, මෙ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුනාහුය. ස්වාමිනි, යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නේද, එවැනි එක් භික්‍ෂුවක් ප්‍රාතිහාර්ය කිරීමට නියම කරන සේක්වා. මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්ය පැවැත්වූ කල්හි මෙ නාලන්දා නුවර වාසය කරන ජනයා බොහෝ සෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නේය".

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවටිට ගෘහපති පුත්‍රයාට මෙ කාරණය කී සේක.

"කෙවටිටය, මම මෙසේ භික්‍ෂුන්ට ධර්ම දේශනා නොකරමි. මහණෙනි, එව. ඔබ, සුදු වස්ත්‍ර අදින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘධි ප්‍රාතිහාර්ය කරව" යි කියාය.

දෙවනුවද, තෙවනුවද කේවටිට ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය ඉහතින් මෙන් කීයේය.

"කේවටිටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද මෙ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනමි නොයෙක් මැවීමි ආදිය කිරීමෙ සෘධි: ප්‍රාතිහාර්යය, අනුන්ගේ සිත් දැක්වීමෙ ආදේශනා ප්‍රාතිහාර්යය, අනුශාසනා කිරීමෙ අනුශාසනා ප්‍රාතිහාර්යය යන තුනයි. කේවටිටය, එයින් සෘද්ධි ප්‍රාතිහාර්ය කවරේද?

"කේවටිටය, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම නොයෙක් අයුරු ඇති සෘධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපිමෙන් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීමි, මතුවීමි කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිදගෙන්ම යයි. මෙ මහත් සෘද්ධි ඇති, මහත් ආනුභාව ඇති සද හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසග බව පවත්වයි."

"මෙසේ නොයෙක් සෘධි විධි වෙන් වෙන් කොට දක්වන්නාවූ, ඒ සෘද්ධිමත් භික්‍ෂුව පැහැදුනාවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකීද, ඒ පැහැදුනාවූ ශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ එක්තරා එකකුට භික්‍ෂුවගේ මහත් සෘද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද, "පින්වත, ඇත්තෙන්ම පුදුමය, පින්වත, ඇත්තෙන්ම ඉතා පුදුමය" යි කියන්නේද,

ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ අය, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන අයට මෙසේ කියන්නේය. "පින්වත, ගන්ධාරී නමි විද්‍යාවක් ඇත්තේය. ගන්ධාර රට බොහෝ සෘෂිහු වාසය කළෝය. ඔවුන් අතරෙහි එකෙක් විසින් කරන ලද විද්‍යාවක් ගන්ධාරී නමි විය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ නොයෙක් අයුරු ඇති සෘද්ධි වෙන් වෙන් කොට දක්වයි" කියාය.

කේවටිටය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තේ, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන තැනැත්තාට මෙසේ කියන්නේදැ"යි ඇසූ සේක. "ස්වාමිනි, කියන්නේය" යි කීයේය.

"කේවටිටය, මම සෘද්ධි ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි. සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.

"කේවටිටය, ආදේශනා ප්‍රාතිහාර්යය කවරේද?

"කේවටිට, මෙ ශාසනයෙහි භික්‍ෂු තෙම අනුන්ගේ සිත දැන කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබෙ සිතේ මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබෙ සිත මෙ ආකාරද වෙයි. ඔබෙ සිත මෙ මෙ දෙයක් සිතමින් පවතී යයි කියයි. ඒ භික්‍ෂුතෙම ප්‍රසන්නවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකීද, "මෙබදු භික්‍ෂුවක් මම දුටුවෙමි" යි ඒ ශ්‍රද්ධාවන්තවූ ප්‍රසන්න තැනැත්තා ශ්‍රදධා නැත්තාවූ, අප්‍රසන්නවූ යමි කෙනෙකුට භික්‍ෂුහුගේ මහත් සෘද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද, ඇත්තෙන්ම ඉතා පුදුමයකැයි කියන්නේද,

ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තා, මෙසේ කියන්නේය. "පින්වත, චින්තාමණී නමි විද්‍යාවක් ඇත්තේය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමෙ අනුන්ගේ සිත දැන කියයි. ඔබෙ සිත මෙසේ මෙ මෙ දෙයක් සිතමින් පවතීයයි කියයි."

"කේවටිටය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තේ, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන තැනැත්තාට මෙසේ කියන්නේදැ" යි ඇසූ සේක. "ස්වාමිනි, කියන්නේය" යි කීයේය.

"කේවටිටය, මම ආදේශනා ප්‍රාතිහාර්යයෙහි මෙ දෝෂ හොදින් දන්නෙමි. ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි" යි වදාළේය.

"කේවටිටය, අනුශාසනා ප්‍රාතිහාර්යය කවරේද?

"කේවටිටය, භික්‍ෂු තෙම මෙසේ අනුශාසනා කෙරෙයි. "මෙසේ කල්පනා කරවු, මෙසේ කල්පනා නොකරවු, මෙසේ මෙනෙහි කරවු, මෙසේ මෙනෙහි නොකරවු, මෙය දුරු කරවු, මීට පැමිණ වාසය කරයි" කියාය. මෙයද කේවටිටය, අනුශාසනා කිරීමෙ ප්‍රාතිහාර්යයි කියනු ලැබෙ"

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. "කේවටිටය, අර්හත්වූ, සම්‍යක් සමිබුද්ධවූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට, සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව අෂ්ඨ විද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියඵ ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුර්ෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, සත්‍යවූ උතුමි ධර්ම හතර චතුරාර්‍ය සත්‍ය: අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමෙ දෙවියන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, සියඵ ලෙසින් සමිපූර්ණවූ, පිරිසිදුවූ සියඵ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති".

"ධර්මය ඇසූ අය ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසෙ සලකන්නේය. "ගෘහ වාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙය වහන්නහු විසින් සියලු ආකාරයෙන් සමිපූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ ලියවූ හක් ගෙඩියක් මෙන් මෙම බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙන්නෙමි නමි ඉතා යහපතැයි" කියායි.

"ඔහු පසු කාලයක සමිපත් රාශියක් හැර, නෑ පිරිස් හැර කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙ. ඔහු ප්‍රධාන සංවර ශීලයෙන් යුක්තවූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ ස්වල්ප වූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන්, වචනයෙන්, ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුමි ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රිය විෂයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි. ආහාරයෙහි පමණ දන්නේ වෙයි. මනා සිහියෙන් හා හරි ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්ත වෙයි".

"කේවටිටය, භික්‍ෂු නමක් කෙසේ නමි සීල සමිපන්න වෙද? කේවටිටය, මෙ සස්නෙහිවූ භික්‍ෂු නමක් ප්‍රාණ වධය හැර, ඉන් සමිපූර්ණයෙන් වැළැක්කේය. බහා තබන ලද දඩු ඇත්තේ මහා තබන ලද ආයුධ ඇත්තේ, පවි කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්ත වූයේ, සියඵ ප්‍රාණීන් කෙරෙහි හිත අනුකමිපාව ඇතුව වාසය කෙරෙයි."

"නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සමිපුර්ණයෙන් වැළැක්කේ දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ සොර නොවූ පිරිසිදුවූ සිතින් යුතුව වාසය කෙරෙ"

"අබ්‍රහ්මචර්යාව හැර උතුමි පැවතුමි ඇත්තේ ස්ත්‍රිපුරුෂ සංසර්ගය නමිවූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්බචාරී වෙයි."

"බොරු කීමෙන් දුරුව, ඉන් සමිපූර්ණයෙන් වැළැක්කේ සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කතා ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කතා ඇති නොකෙරේ"

"පිසිණු බස් හැර ඉන් සමිපූර්ණයෙන් වැළැක්කේ මෙතනින් අසා මොවුන් බිදවීම පිණිස මෙතැනින් නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ, සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ සමගියෙන් ඇලුමි බහුල කොට ඇත්තේ සමගි කමිහි ඇලුනේ සමගිකමිහි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරන තෙපුල් කියන්නේය."


"පරුෂ වචනය, හැර සමිපූර්ණයෙන් වැළැක්කේ, යමි වචනයක් නිදොස් වෙද, කණට සැපද, ප්‍රේමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ සිත් ප්‍රිය කරන්නේද, එබදු වචනම කියන්නේවෙ"

"හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සමිපූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ ධර්මයෙන් යුක්තවූ විනය සමිබන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වෙ. මෙසේ ඒ හිස් වචනයෙන් වැළැක්මද, දියුණුවට හේතුවන වචන කීමද මෙ ඔහුගේ සීලය වෙ"


"තණ ගස්, වැල් සිදීම, බිදීම ආදියෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ, එක් වෙලේ වළදන කෑම ඇත්තේ, රාත්‍රි කෑමෙන් හා අවෙලෙහි කෑමෙන් සමිපූර්ණයෙන් වැළැක්කේය."

"මල්, ගද විලවුන් පැළදීම, ඉන් සැරසීම, අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සමිපූර්ණයෙන් වැළැක්කේය."

"උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය."

"රන්රිදී මසුරන් පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් වැළැක්කේය."

"අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොර වූයේය."

"අමුමස් පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොරවූයේද, ස්ත්‍රින් හා ගැහැනු ළමයින් පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොර වූයේද වෙ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොර වූයේ කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත් යන මෙ පිළිගැන්මෙන්ද සමිපූර්ණයෙන් තොර වූයේය".

"ගිහියන්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සමිපූර්ණයෙන් තොර වූයේ වැළැක්කේය."

"ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වංචා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය, වී ආදිය මැනීමෙන් වංචා කිරීමය, හිමියන් අහිමි කිරීම ආදිය සදහා අල්ලස් ගැනීමය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලෝහ රන් රිදීයයි අගවා වංචා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයෝගය යන මෙයින් සමිපූර්ණයෙන් වැළැක්කේය."

"කැපීමය, මැරීමය, බැදීමය, සැගවී සිට වස්ත්‍ර පැහැර ගැනීමය, ගමි නියමිගමි ආදිය පැහැරීමය, බලහත්කාර කමින් වස්ත්‍ර පැහැර ගැනීමය යන මෙයින්ද සමිපූර්ණයෙන් වැළැක්කේය, මෙ ඔහුගේ සීල වෙ"

සුලු සීලය නිමියේය


"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්.මෙබදුවූ බීජ ගාම භුත ගාමයන් සිදීමි, බිදීමි ආදියෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ වෙ නම
මෙයද ඔහුගේ එක් සීලයක් වෙ"

"එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා ආහාර වර්ග බීම වර්ග දෙවෙනි දිනටතබා ප්‍රයෝජන ගැන්මය, අයිතියට නොගත් සිවුරු ආදිය යාන නමි වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදීවාසය කරත්. මෙබදුවූ සන්නිධිකාර පරිභෝගයන් වැළකී වෙසේ නමි එසේම මන්ත්‍රපිරවීමෙන් නෘත්‍ය ආදී විසුඵ දැක්මෙන් සමිපූර්ණයෙන් වැළකේ නමි මෙයද ඔහුගේ සීලයක් වෙ. එසේම දූ කෙළියෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. උස් අසුන් මහ අසුන්හි හිදීමි ආදියෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. සැරසීමි අලංකාර කිරීමි ආදියෙහි යෙදීමෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. පහත් කථාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි.දෝෂාරෝපන කථාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. දූත භාවය,හසුන් ගෙනයාම යන මෙයින් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි. කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැක්මක් වෙ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."


මැදුමි සිල් නිමියේය

"සමහර මහණ බමුණෝ මෙන් යාග හෝම ආදී හේතුවෙන් සාමුදුකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය හේතුවෙන්කරන ලාමක ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ වෙද මෙයද ඔහුගේ එක් සීලයෙකි."


"සමහර මහණ බමුණෝ මෙන් ලක්‍ෂණ බැලීමෙන් කරන පහත් විද්‍යාවන් නිසා කරන වැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර පහත් බමුණෝ මෙන් රජුන්ගේ බැහැර යෑම ඒම ජය පරාජය ආදී පහත් විද්‍යා හේතුවෙන් කරනවැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර මහණ බමුණෝ මෙන් චන්‍ද්‍රග්‍රහණ, සූර්‍යග්‍රහණ යනාදියේ විපාක කීමෙ පහත් විද්‍යාවන් හේතුකොට ගෙන කරන ලාමක ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර මහණ බමුණෝ මනා වැසි දැති වන්නේය, මනා වැසි නැති වන්නේය ආදී ලෝකයට සිදුවන දේ 
ගැන ශාස්ත්‍ර ඉගෙනීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණ කොට වැරදි ජීවිකා කෙරෙත්.මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර මහණ බමුණෝ ආවාහ කරවීමය, විවාහ කරවීමය, නූල් බැදීමය, මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, ගැහැනු දරුවන්ගේ ශරීරයෙහි දේවතාරෝපණය කොට ප්‍රශ්න 
ඇසීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැදවීම ආදී පහත් ක්‍රියාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබදුවූ පහත් විජ්ජාවන් කරන වැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර පින්වත් මහණ බමුණෝ ශාන්ති කිරීම, මන්ත්‍ර කිරීමය, භුරි කර්මය, පණ්ඩකයා පුරුෂයෙකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය ආදී මෙබදු පහත් විද්‍යා කරණ කොට වැරදි ජීවත් වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබදුවූ වැරදි ජීවිකාවෙන් සමිපූර්ණයෙන් වැළැක්කේ නමි මෙයද ඔහුගේ එක් සීලයෙකි."

කේවටිටය, මෙසේ ශීල සමිපන්නවූ භික්‍ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීල සංවරය හේතුකොට ගෙන කිසිතැනකදී නොඋපදින්නේ කුමක් මෙන්ද යත් කේවටිටය, ක්‍ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂේක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්‍ෂත්‍රිය රජෙක් කිසියමි සතුරෙක්ගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, මහරජ, ශීල සමිපන්නවූ භික්‍ෂු තෙමෙ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය 
හේතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්‍යවූ මෙ ශීල රාශියෙන් යුක්තවු ඒ භික්‍ෂු තෙම, තමන් තුල පිරිසිදුවූ කායික චෛතසික සැපය විදියි. කේවටිටය, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්‍ෂුව ශීලසමිපන්න නමි වෙ"


මහ සිල් නිමියේය

"කේවටිටය, භික්‍ෂුව කෙසේ නමි ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? මහරජ, මෙ සස්නෙහි භික්‍ෂු තෙමෙ,
ඇසින් රූපයක් දැක එහි නොඇලේ, එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ සිතට ඇතුල් වන්නාහුද, එබදු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රිය රකී, ඇස් ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණේ. එසේම කන් ඉන්ද්‍රියෙහිද, නාස් ඉන්ද්‍රියෙහිද,දිවි ඉන්ද්‍රියෙහිද, සිත් ඉන්ද්‍රියෙහිද සංවරයට පැමිණේ. එබදුවූ භික්‍ෂුව උතුමිවූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධි විත්ත සැපය විදියි. මහරජ, මෙසේ වූ භික්‍ෂු තෙමෙ ඉන්ද්‍රියන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි."

කේවටිටය, භික්‍ෂුව කෙසේ නමි සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙද?

මහරජ, මෙ සස්නෙහි භික්‍ෂු තෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද,
අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, දෙපට සිවුරය, පාත්‍රය, සිවුරය යන මෙ දේ දැරීමෙහිදී අනුභව කිරීමය,
පානය කිරීමය, වැළදීමය, රස විදීමය යන මෙහිද මළ මුත්‍රා පහකිරීමිද, නුවණින් ආදීනව සලකා කරන්නේය.
යෑමි, සිටීමි, හිදීමි, සැතපීමි, නිදි තොරකිරීමි, කථා කිරීමි, නිශ්ශබිදව සිටීමි යන මෙ දේ මනා නුවණින් දැන කරන්නේය. කේවටිටය, මෙසේ කරන්නාවූ භික්‍ෂු තෙමෙ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි."

කේවටිටය, භික්‍ෂු තෙමෙ කෙසේ සතුටු වූයේ වෙද?

කේවටිටය, භික්‍ෂු තෙමෙ යන්තමි කය වැසීමට තරමිවූ සිවිරෙන්ද, ආරක්‍ෂාව ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද, සතුටු සිත් ඇත්තේ වෙ. ඔහු යමි යමි තැනකට යේ නමි අට පිරිකරය පිළිබද වූදේ පමනක් ගෙනයයි. මෙසේ වූ භික්‍ෂු තෙමෙ සන්තෝෂයෙන් යුක්ත වෙ.

ඒ භික්‍ෂු තෙමෙ කැලයද, ගහක් මුලද, සොහොන්ද ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණගුහාද යන මෙ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ,
පර්‍යංඞකය බැද කකුල් අකුලුවා හිද ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වශයෙන් සිත ඉදිරියෙහි පිහිටුවාගෙණ හිදී.

"ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නාවූ ක්‍රෝධය පහකොට ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකමිපා ඇත්තේව වාසය කරයි. ක්‍රෝ දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය සිත පිලිබද පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැගීමි ඇත්තේ, සිහි ඇත්තේ යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරු කොට සිත පිරිසිදු කෙරේ. උඩුගුබව හා කුකුස දුරුකොට සංසිදුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුලත සංසිදුනු සිත් ඇත්තේ, සිතඋඩගු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේ. විචිකිචිජාව සැකය දුරුකොට පහකළ විචිකිචිජා ඇත්තේ කුශල ධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ. විචිකිචිජාවෙන් සිත පිරිසිදු කෙරේ.

"කේවටිටය, යමිසේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නමි ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය.

කේවටිටය, යමිසේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩිගිලන් බව ඇති පුරුෂයෙක් වන්නේද ඒ 
පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නමි, ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය.

කේවටිටය, යමිසේ පුරුෂයෙක් සිරගෙයි බැදුනේ වෙද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය.

ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය.

"කේවටිටය, යමිසේ සිය කැමැත්තෙන් යමක් කරන්නට නොහැකි අනුන්ට යටත්වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩ කරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාස භාවයෙන් මිදෙන්නේ, තමාම අධිපති කොට ඇත්තේ අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය.

"කේවටිටය, යමිසේ ධනවත්වූ භොග සමිපත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ භය සහිතවූ, දීර්ඝ වූ, කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්නේ පීඩා නැති ගමිමානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිතිකොට බලවත් සතුටක් ලබන්නේය.

"කේවටිටය, ණය යමිසේද, රෝගය යමිසේද, හිරගේ යමිසේද, දාසභාවය යමිසේද,දීර්ඝ කාන්තාර මාර්ගය යමිසේද එපරිද්දෙන් භික්‍ෂු තෙමෙ පහ නොකළ පඤ් චනීවරණ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකී තමන් තුළ ලා දක්නේය.

"පහකළාවූ මෙ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්‍ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රිතිසහගත සිත් ඇත්තහුගේ නාම කය වෙදනාදී ස්කන්ධ හතර සංසිදෙයි. සංසිදුනුකය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විදියි. සැප ඇත්තහුගේ සිත සමාධියට එකග බවට පැමිණෙයි.  "ඒ භික්‍ෂු තෙමෙ වස්තුකාම ක්ලේශ කාමයන්ගේන් වෙන්වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන්වූයේම අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවෙකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීමි වශයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේ. ඔහු විවෙකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මෙ සකල ශරීරයම සැපවත් කෙරෙයි. සමිපූර්ණ්යෙන් පුරවයි. සැම තන්හි පතුරවයි. ඒ ඔහුගේ පළමුවනි විවෙකයෙන් උපන් ප්‍රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවනි ධ්‍යානයෙන් යුත් සැපය පැතිරෙයි. "කේචටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ. දෙවැනි ධ්‍යානයටද තුන්වැනි ධ්‍යානයටද හතරවැනි ධ්‍යානයටද පැමිණ වාසය කෙරේද, කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ".


"නැවතද, කේවටිටිය ඒ භික්‍ෂු තෙමෙ මෙසේ සිත එකගවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, ක්ලේශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට සුදුසුව සිටි කල්හි, කමිපා නොවන බවට පැමිණි කල්හි විදර්ශනාඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. මාගේ මෙ ශරීරය වනාහි රූපයෙන් යුක්තය සතර මහා භුතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මවිපියන් නිසා හටගත්තේ ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය ඇග, ඉලීමය, පිරිමැදීමය, බිදීමය, විනාශය, යන මෙ දේ ස්වභාව කොට ඇත්තේය. මාගේ මෙ විඤ් ඤාණය ශරීරය ආශ්‍රය කෙලේ වෙයි. මෙහිම බැදී සිටියේය.

"කේවටිටිය, මෙ ඵලයද, දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා බොහෝසේ මනොඥය, බොහෝසේ ශ්‍රේෂ්ඨද වෙයි.

"ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකගවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලේශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නොසැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි. වෙසෙසින් නමයි. ඔහු ආකාරවත්වූ මනොමයවූ ධ්‍යාන සිතින් නිපදවනලද ශරීරය හා අතපය ආදී අවයව ඇති විකල නොවූ ඉදුරන් ඇති මෙ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොද ලෙස සාදයි.

කේවටිටය, එසේම භික්‍ෂුතෙමෙ මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලේශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කමිපා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට ඊට නමයි. ඔහු මෙ කයින් රූ ඇති සිතින් මවන ලද, සියලු ශරීරය හා අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති වෙන කයක් මවයි. කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ.

"ඔහු ඊට පසු සෘඩිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති සෘඩිවිධි වෙන් වෙන් කොට අනුභව කෙරෙයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝ සේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට, නොහැපෙමින් යයි. දියෙහි මෙන් කිමිදීම මතුවීම කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්‍ෂියෙකු මෙන් අහසෙහිද පරියංකයෙන් හිද ගෙනම යයි. මෙ මහත් සෘඩි ඇති, මහත් ආනුභාව ඇති සද හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹ ලොව තෙක් ශරීරයෙන් වසග බව පවත්වයි. "කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ

"ඔහු ඊට පසු දිව්‍ය කණ සමිබන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්‍ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සමිබන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ‘ධයන් අසයි. ඔහු මෙසේ මිනිස් කණ ඉක්මවූ දිව්‍ය කණ සමිබන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබිධයන් අසයි. "කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ.


"ඔහු පර සිත් දැනගන්නා ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිද දනියි. ලෙඃකික හිත් අතුරින් උසස් වූ සිත අනුත්තර සිත යයි දනියි. සමාධිගත වූ සිත සමාධිගත යයි දනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිත යයි දනියි. ක්ලේෂයෙන් මිදුනු සිත, මිදුනු සිත යයි දනියි. නොමිදුනු සිත නොමිදුන සිත යයි දනියි.කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ 

හේ තෙමෙ නොයෙක් විදියේ පෙර විසීම සිහිකෙරෙයි. එක් ජාතියක්ද, දෙජාතියක්ද ආදී වශයෙන් නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන්ද, මෙසේ ආකාර සහිතව, දැක්වීමි සහිතව නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි. කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ

"ඔහු සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්තිය දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුවූ, දුක්වූ, නිරයට පැමිනෙත්, නැතහොත් යහපත් පැමිණීමවූ ස්වර්ග ලොකයට පැමිණියෝය. "කේවටිටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබෙ.

"ඔහු සිතේ පැසවන කෙලෙස් පහකිරීමෙ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මෙ දුකයයි තතු ලෙස දැනගණී මෙ දුක් ඉපදීමෙ හේතුවයයි තතු ලෙස දැනගණී, මෙ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මෙ දුක් නැති කිරීමෙ මාර්ගයයි තතු ලෙස දැනගණී, මෙ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගනී. මෙ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී,


"මෙ ප්‍රාතිහාර්ය තුන මා විසින් තමන්ගේ විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද්දාහුය".

"කේවටටය, පෙර වූ දෙයක් කියමි. මෙ භික්‍ෂු සංඝයා අතුරෙහිමවූ එක්තරා භික්‍ෂුවක් හට මෙවැනි අදහසක් පහළ වූයේය. "පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදීන පරිදි විනාශ වන්නාහූදැ" යි කියාය.

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම යමි ආකාරයකින් සිත එකගවූ කල දිව්‍ය ලෝකයට යන මාර්ගයයි කියන ලද සෘධිවිධඥානය පහළ වන්නේද, එවැනි සමාධියකට සමවැදුනේය. කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම චාතුර්මහාරාජික දෙවියෝ වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුයේය. "ඇවැත්නි, පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නොපවතින පරිදි විනාශ වන්නාහූදැ" යි කියාය. කේවටිටය, මෙසේ කී කල චාතුර්මහාරාජික දෙවියෝ ඒ භික්‍ෂුවට මෙ වචන කීවෝය. "මහණ, මෙ කාරණය අපිද නොදනිමු. අපට වඩා රූප සමිපත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුමිවූ සතරවරමි රජ කෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය, ඒ සතරවරමි මහ රජහූ දන්නාහුය". කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම සතරවරමි රජුහු වෙත පැමිණ ඒ සතරවරමි රජුගෙන්ද මෙ කාරණය ඇසුවෙය. කේවටිටය, මෙසේ ඇසූ කල සතරවරමි රජහූ ඒ භික්‍ෂුවට මෙ වචන කීවෝය. "මෙ කාරණය අපිද නොදනිමු. අපට වඩා රූප සමිපත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුමිවූ තාවතිංස නමි දෙවිකෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය, ඒ තාවතිංස මහ රජහූ දන්නාහුය".

කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම තවිතිසා වැසි දෙවියෝ වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල තවිතිසා වැසි දෙවියෝ ඒ භික්‍ෂුවට "මෙ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සමිපත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුමිවූද, දෙවියන්ට ප්‍රධානවූ ශක්‍ර නමි දෙවිකෙනෙක් ඇත්තේය. මෙ කාරණය, දෙවියනට ප්‍රධානවූ ඒ ශක්‍ර නමි දෙවියා දන්නේය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්‍රදෙවි තෙම වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල ශක්‍ර දෙවියා ඒ භික්‍ෂුවට "මෙ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සමිපත්තියෙන් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුමිවූද යාම නමි දෙවිකෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය, ඒ යාමදෙවියෝ දන්නාහුය". කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම යාම දෙවියෝ වෙත පැමිණ යාම දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල තවිතිසා වැසි දෙවියෝ ඒ භික්‍ෂුවට "මෙ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම‘පත්තියෙන් යුක්තවූද වර්ණය සම‘පත් ආදියෙන් ඉතා උතුමිවූද සුයාම නමි දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. ඒ දිව්‍යපුත්‍රයා මෙ කාරණය දන්නේය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම සුයාම නමි දිව්‍යපුත්‍රතෙම වෙත පැමිණ සුයාම දිව්‍යපුත්‍රයාගෙන් මෙ කාරණය ඇසුවෙය. සුයාම දිව්‍යපුත්‍රයා මෙ වචන කීයේය. "මෙ කාරණය මම නොදනිමි. මහණ, අපට වඩා රූප සමිපත්තියෙන් යුක්තවූද, වර්ණ සමිපත් ආදියෙන් උතුමවූද තුසිත නමි දෙවි කෙනෙක් ඇත්තාහ. ඒ තුසිත දෙවියෝ මෙ කාරණය දන්නාහුය". කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම තුසිත දෙවියෝ වෙත පැමිණ තුසිත දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙ ඇසූ කල තුසිත දෙවියෝ ඒ භික්‍ෂුවට මෙ වචන කීවෝය. "මහණ, මෙ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සි‘පත්තියෙන් යුක්තවූද වර්ණය සිමිපත් ආදියෙන් ඉතා උතුමිවූද සන්තුෂිත නමි දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. ඒ සන්තුෂිත දිව්‍යපුත්‍රයා මෙ කාරණය දන්නේය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම සන්තුෂිතදිව්‍යපුත්‍රයා වෙත පැමිණ, සන්තුෂිත දිව්‍යපුත්‍රයාගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල සන්තුෂිත දිව්‍යපුත්‍රයා ඒ භික්‍ෂුවට මෙ වචන කීයේය. "මෙ කාරණය මම නොදනිමි. මහණ, අපට වඩා ඉතා රූප සමිපත් ආදියෙන් යුක්තවූද, වර්ණ සමිපත් ආදියෙන් උතුම්වූද නිමිමානරති නමි දෙවි කෙනෙක් ඇත්තාහ. මෙ කාරණය ඒ දෙවියෝ දන්නාහුය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම නිමිමානරති දෙවියන් වෙත පැමිණ, නිමිමානරති දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. ඒ දෙවියෝ ඒ භික්‍ෂුවට මෙ වචන කීවෝය. "මහණ, අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සමිපත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සි‘පත් ආදියෙන් උතුමිවූද සුනිමිමිත නමි දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. මෙ කාරණය ඒ දිව්‍යපුත්‍රයා දන්නේය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම සුනිමිමිත නමි දිව්‍යපුත්‍රයා වෙත පැමිණ, සුනිමිමිත දිව්‍යපුත්‍රයාගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල සුනිමිමිත දිව්‍යපුත්‍රයා, "මෙ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සමිපත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සමිපත්තියෙන් උතුමිවූද පරනිමිමිත වසවත්ති නමි දෙවි කෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය ඒ දෙවියෝ දන්නාහුය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම පරනිමිමිත වසවත්ති නමි දෙවියන් වෙත පැමිණ, පරනිමිමිත වසවත්ති නමි දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. කේවටිටය, මෙසේ ඇසූ කල ඒ පරනිමිමිත වසවත්ති දෙවියෝ, "මහණ, මෙ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සමිපත්ති ආදියෙන්ද, වර්ණ සමිපත් ආදියෙන්ද උතුමිවූ වසවත්ති නමි දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. මෙ කාරණය ඒ දිව්‍යපුත්‍රයා දන්නේය".

"කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම වසවත්ති නමි දිව්‍යපුත්‍රයා වෙත පැමිණ, වසවත්ති නමි දිව්‍යපුත්‍රයාගෙන් මෙ කාරණය ඇසුවෙය. මෙසේ ඇසූ කල ඒ වසවත්ති දිව්‍යපුත්‍රයා ඒ භික්‍ෂුවට, "මහණ, මෙ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සමිපත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සමිපත්තියෙන් උතුමිවූද බ්‍රහ්මකායික නමි දෙවි කෙනෙක් ඇත්තාහුය. මෙ කාරණය ඒ දෙවියෝ දන්නාහුය".

"කේවටිටය, එවිට ඒ භික්‍ෂු තෙම යමිසේ සිත එකග වූ කල්හි බඹලොව යන මාර්ගය පහළ වූයේද, එබදූවූ සමාධියට සමවැදුනේය. කේවටිටය, ඉක්බිති ඒ භික්‍ෂු තෙම බ්‍රහ්ම කායික නමි දෙවියන් වෙත පැමිණ, ඒ බ්‍රහ්ම කායික දෙවියන්ගෙන් මෙ කාරණය ඇසුවෙය. "මෙ කාරණය අපිද නොදනිමු, මහණ, අපට වඩා ඉතා රූප සමපත් ආදියෙන් යුක්තවූද, යස ඉසුරු ආදියෙන් උතුමිවූද, සියල්ලන් මැඩපවත්වා සිටියාවූද, අන්‍යයන් විසින් මැඩපැවැත්විය නොහැක්කාවූද, ඒකාන්තයෙන් සියල්ල දන්නාවූ සියලු ජනයා තමා යටතෙහි පවත්වන්නාවූ

ලෝකයට අධිපතිවූ, ලෝකය සාදන්නාවූ, ලෝකය මවන්නාවූ, සත්වයන් කොටස් වලට බෙදන්නාවූ පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තාවූ, උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන් හට පියවූ මහාබ්‍රහ්මවූ බ්‍රහ්මයෙක් ඇත්තේය. මෙ කාරණය ඔහු දන්නේය". "ඇවැත්නි, ඒ මහාබ්‍රහ්ම තෙම දැන් කොතනදැයි" ඇසුවෙය. "මහණ, බ්‍රහ්මතෙම යමි තනෙකදැයි කියා හෝ බ්‍රහ්මතෙම යමි ස්ථානයකදැයි කියා හෝ අපි නොදනිමු. මහණ, එසේ වුවත් යමිසේ නිමිති ලකුණු දකින්ට ලැබෙත්ද, එලියක් හටගනීද, බැබලීමක් පහළවෙද යන මෙ එක පූර්ව ලකුණක් මහාබ්‍රහ්මයාගේ පහළවීම ගැන ඇත්තේය".

"කේවටිටය, එවිට ඒ බ්‍රහ්මතෙම ටික වෙලාවකින්ම පහළවූයේය. එවිට ඒ භික්‍ෂුතෙම, ඒ මහාබ්‍රහ්මයා වෙත පැමිණ බ්‍රහ්මයාගෙන් මෙ කාරණය ඇසුවෙය."

"කේවටිටය, මෙසේ ඇසූ කල ඒ මහාබ්‍රහ්ම තෙම ඒ භික්‍ෂුවට මෙසේ කීයේය. මහණ, මම බ්‍රහ්ම වෙමි, මහාබ්‍රහ්ම වෙමි. සියල්ලන් මැඩපවත්වා සිටින්නාවූ ප්‍රධානියා වෙමි. අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කෙක් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දක්නෙමි. සියලු ජනයා වසගයෙහි පවත්වමි. ලොවට ප්‍රධාන දෙවියා වෙමි. ලෝකයට කර්තෘ වෙමි. ලෝකය මවන්නෙක් වෙමි. ලෝකයට උත්තම වෙමි. සත්වයන් කොටිඨාශ වලට බෙදන්නෙක් වෙමි. පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තෙමි. උපන්නාවුද, උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වෙමි".

"කේවටිටය, දෙවනුවද ඒ භික්‍ෂුතෙම ඒ මහාබ්‍රහ්මයාට මෙ කාරණය කීයේය.

"ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ අසමි. ඇවැත්නි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය.

"කේවටිටය, දෙවනුවද ඒ මහාබ්‍රහ්මතෙම ඉහතින් මෙන් ඔහු ගැනම කීවෙය".

"කේවටිටය, තෙවනුවද ඒ භික්‍ෂුතෙම ඒ මහාබ්‍රහ්මයාට මෙ කාරණය කීයේය.

"ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ නොඅසමි. ඔබ බ්‍රහ්මයෙක් වූවෙහිද, මහාබ්‍රහ්මයෙක් වූවෙහිද, ලොවට ප්‍රධාන දෙවියා වූවෙහිද, ලෝකයට කර්තෘ වූවෙහිද, ලෝකයට උත්තම වූවෙහිද, සත්වයන් කොටස් වලට බෙදන්නෙක් වූවෙහිද, පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තෙක් වූවෙහිද, උපන්නාවුද උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වූවෙහිදැයි" කියාය.

"ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ අසමි. ඇවැත්නි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය.

"කේවටිටය, එවිට ඒ මහාබ්‍රහ්මතෙම ඒ භික්‍ෂුව අතින් අල්වාගෙන එක් පැත්තකට පමුණුවා, ඒ භික්‍ෂුවට මෙ කාරණය කීයේය. "මහණ, මෙ බ්‍රහ්ම කායික දෙවියෝ මා මෙසේ දනිත් මහාබ්‍රහ්මයා විසින් නොදක්නාලද කිසිවක් නැත්තේය, මහාබ්‍රහ්මයා විසින් අවබෝධ නොකරනලද කිසිවකුත් නැත්තේයයි කියාය. එහෙයින් මම ඔවුන් ඉදිරියෙහි මෙ කාරණය නොදන්නා බව ප්‍රකාශ නොකෙළෙමි. මහණ, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ යමි තැනෙක ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුද යන මෙ කාරණය මමද නොදනිමි" කියාය.

"මහණ, යමි හේතුවකින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා මෙ ප්‍රශ්නය විසදීම පිණිස බඹලොව දක්වා පිටත සෙවීමට පැමිණියෙහිද, මහණ, එබැවින් නුඹවහන්සේ විසින් මෙ කරණය වරදවා කරන ලද්දේය, අපරාධයක් කරන ලද්දේය.මහණ, නුඹවහන්සේ වැඩිය මැනව. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මෙ ප්‍රශ්නය ඇසුව මැනව. යමි ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ නුඹවහන්සේට ප්‍රකාශ කරන සේක්ද එපරිද්දෙන් එය පිළිගත මැනවයි" මහාබ්‍රහ්මතෙම කීයේය.

"කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්තිමත් පුරුෂයෙක් හකුළාගත් අතක් දිගුකරන්නේ හෝ යමිසේද, දිගුකළ අතක් හකුළන්නේ යමිසේද, ඒ ආකාරයෙන් බ්‍රහ්ම ලෝකයෙන් නොපෙනී ගොස් මාගේ ඉදිරියේ පහළවූයේය. කේවටිටය, එවිට ඒ භික්‍ෂුතෙම වැද එක් පැත්තක උන්නේය. ඒ භික්‍ෂුතෙම මා මෙසේ ප්‍රශ්න කළේය."

"ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය.

"කේවටිටය, මෙසේ ඇසූ කල මම ඒ භික්‍ෂුවට මෙ කරණය කීවෙමි. "මහණ, පෙර පැවති කරුණක් කියමි. මුහුදෙහි යාත්‍ර කරන්නාවූ වෙළෙන්දෝ වෙරළ දකින ගති ඇති කවුඩු, උකුසු යන මොවුන් අතුරෙන් කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදට බැසගනිත්ද, ඔවුහු වෙරළ නොදක්නාවූ බැවින් වෙරළ දකින ගති ඇති කුරුල්ලා මුදත්. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ දක්නේද ඒ වෙරළ දෙසට යන්නේය. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ නොදක්නේ නමි ඒ නැවටම ආපසු එයි. මහණ, එපරිද්දෙන්ම ඔබ යමි හේතුවකින් බ්‍රහ්ම ලෝකය දක්වා සොයන්නේ මෙ ප්‍රශ්නය විසදන්නෙකු වෙතට නොපැමිණියෙහිද එහෙයින් නැවත මාගේ සමීපයටම හැරී ආයේහිය. මහණ, ඒ ප්‍රශ්නය මෙසේ නොඇසිය යුතුයි. කෙසේද? "ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මෙ සතර මහා භුතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි" කියාය. මහණ, මෙ ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය. 

"කුමකට පැමිණ කුමක් හේතුකොට ගෙන පස්, දිය, ගිනි, වායු යන සතර මහා භුතයෝ නොපිහිටත්ද හෙවත් පිහිටීම නොලබත්ද? කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුමිවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ උපාදාය රූප රැස: මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද හෙවත් පිහිටුම නොලබාද? කවර තැනෙක කුමකට පැමිණ, නාමයත් රූපයත් ෆසිතත් කයත්: ඉතිරි නොවී නිරුද්ධවෙද?" කියාය.

එහි විවරණය මෙසේ වෙයි.

"නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීමි, නැතිවීමි කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මෙ නිර්වාණ ධාතුවට පැමිණ, පස්, දිය, ගිනි, වායු යන සතර මහා භුතයෝ පිහිටීම නොලබත්. මහා භුතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්. මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරූද්ධ වෙයි. විඤ්ඤාණ සිත නිරෝධයෙන් මෙ නාම රූප රාශිය මෙ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින පරිදි නිරුද්ධ වෙයි".

භාග්‍යවතුන් වහන්සේ මෙ ධර්මය වදාළ සේක. සතුටු සිත් ඇති කේවටිට නමි ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව සතුටින් පිළිගත්තේය.


කේවටිට සූත්‍රය නිමි.